date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-10-17T06:24:51.000Z
සය හැවිරිදි අන්සාරි දූෂණය කර මරා දැමූ පාපතරයා එල්ලා මරා දැමේ
සය හැවිරිදි අන්සාරිගේ ඝාතකයා එල්ලා මරා දැමේ
News 1st : පසුගිය ජනවාරි මාසයේදී 6 හැවිරිදි පකිස්ථාන දැරිය දූෂණය කර මරා දැමූ සිද්ධියේ වරදකරු වූ 24 හැවිරිදි ඉම්රාන් අලි නමැත්තාට අධිකරණය නියම වූ මරණ දඬුවම අද ක්‍රියාත්මක කෙරිණ. ඒ අනුව අද (17) උදෑසන ලාහෝරයේ කොට් ලක්හ්පට් බන්ධනාගාරයේදී අන්සාරිගේ පියා ඇතුළු ඥාතීන් ඉදිරියේ අලිගේ එල්ලා මරා දමා තිබේ. පසුගිය ජනාවරි 4 වන දා පකිස්ථානයේ කසූර් නගරයේදී සයිනබ් අන්සාරි දැරිය අතුරුදන් වූ අතර ඉන් දින 5කට පසු ඇයගේ නිසල දේහය සොයා ගැනුණේ, නගරයේ කසළ ගොඩක තිබියදීයි. අන්සාරිගේ ඝාතනය සම්බන්ධයෙන් ජනවාරි 23 වන දා ඉම්රාන් අලි නමැති 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනුණු අතර පෙබරවාරි මාසයේදී චූදිතයාට පකිස්ථාන අධිකරණය මරණ දඬුවම නියම කළේ ය. මේ අතර තමාට පැනවුණු මරණ දඬුවමට එරෙහිව අලි අභියාචනා කළ ද අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර අන්සාරිගේ පියා පවසා ඇත්තේ, තම අදාරණීය දියණියට අපාරාධය සිදු කළ ඝාතකයාගේ අවසන් මොහොත සියසින් දැක ගැනීමට හැකිවීමෙන් තමා සෑහිමකට පත් වූ බවයි. අන්සාරිගේ ඥාතීන් ඝාතකයා ප්‍රසිද්ධියේ එල්ලා මරා දමන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර පසුගිය අවුරුදු දෙක ඇතුළත කසූර් නගරයේ දැරියන් 6 දෙනෙකුට වැඩි පිරිසක් මෙලෙස ඝාතනය කර තිබූ අතර එම ඝාතන සම්බන්ධයෙන් ද පසුව අන්සාරිට අපරාධය සිදු කළ අලි ම වරදකරු විය. අන්සාරිගේ ඝාතනයෙන් පකිස්ථානය උණුසුම්..... අන්සාරි අතුරුදන් වී දින 5කට පසු ඇයගේ සිරුර සොයා ගන්නා තුරුත් පොලීසිය කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බවට අන්සාරිගේ ඥාතීහු පොලීසියට චෝදනා එල්ල කළහ. පසුව කිසියම් පුද්ගලයෙකු විසින් දැරිය කැටුව යන ආකාරය දැක්වෙන් CCTV දර්ශන ද නිකුත් වූ අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රචලිත වන්නට විය. පසුගිය ජනවාරි මාසයේ අනාසිරිගේ සාහසික ඝාතනය හෙළිවීමත් සමග රට පුරා විරෝධතා උත්සන්න වූ අතර ඝාතකයා සොයා ගැනීමට පොලීසීය ආකාර්යක්ෂම වූ බව ද චෝදනා එල්ල වූ මෙම විරෝධතාවලදී විරෝධතාකරුවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. #JusticeforZainab
2018-10-17T05:25:43.000Z
ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්
ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්
COLOMBO (News 1st) : ඉන්දීය බුද්ධි අංශ සේවාවක් තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සඳහනක් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා සිදුකර නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉන්දිය බුද්ධි අංශ සේවාවක් පිළිබඳව සඳහන් කෙරුණු බවට දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පිළිබඳව තම අවධානය යොමුව ඇති බවයි. ඊයේ පැවති රැස්වීමේදී ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ක්‍රියාත්මක වී යැයි කියන කුමන්ත්‍රණ තැත සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. ඒ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් එහිදී අවධාරණ්‍ය කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. එම කැබිනට් රැස්වීමේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත සංවර්ධන කටයුතු පිළිබඳව ද සාකච්ඡා වී තිබේ. ජාතික ආර්ථිකයේ යහපත උදෙසා ශ්‍රී ලංකාවට ගැඹුරු මුහුදක් සහිත වරාය පර්යන්තයක් තිබීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. අදාළ මාධ්‍ය වාර්තාවට පසු ඉන්දීය මහකොමසාරිස්වරයා අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමු වී තිබේ. එම සාකච්ඡාවේදී සියලු කරුණු පැහැදිලි කෙරුණු අතර ද්විපාර්ශ්වීය සබඳතා ඉහළ ම සුහදශිලී බවකින් සිදුවන බව සහතික කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එම තත්ත්වය යටතේ දෙරට අතර පවත්නා යහපත් සබඳතාවන්ට මෙන්ම රාජ්‍ය නායකයින් අතර පවතින පෞද්ගලික හිතවත්කමට අනර්ථයක් කිරීමේ අභිලාසයෙන් මෙවැනි විකෘති ප්‍රකාශ කිරීම කනගාටුදායක බවයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්....
2018-10-17T01:36:43.000Z
ජනපති ඝාතන තැත ගැන පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍යයි - රාජිත කියයි
"ජනපති ඝාතන තැත:පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍යයි"
COLOMBO (News 1st) - කැබිනට් රැස්වීමේදී ඊයේ ජනාධිපතිවරයා සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කරුණු පැහැදිලි කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා රෝ ඒජන්තවරයෙකු විය හැකි බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශයක් කළා යැයි පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව ය.
2018-10-17T01:13:30.000Z
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කෙරේ
COLOMBO (News 1st) - පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා තීරණය කර තිබේ. ඒ සඳහා වන නිර්දේශය අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අත්සනින් ජාතික පොලිස් කොමිසම වෙත යවා ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සඳහන් කළේ ය. ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන විමර්ශනවල තොරතුරු මත පදනම්ව ඔහුගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යංශය තීරණය කර තිබේ.
2018-10-17T00:00:27.000Z
සතොස භාණ්ඩ අවභාවිත කිරීමේ චෝදනාවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්
ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කෙරේ
COLOMBO (News 1st) - සතොස භාණ්ඩ අවභාවිත කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග ක‍ළේ ය. තීන්දුව ලබා දුන්නේ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය යි. නඩුව ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් නඩුකරයක් හා සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම මත විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කළා ය.
2018-10-16T23:26:32.000Z
තෙබුවන පොලිස් සැරයන්වරයාව යළි සේවයේ පිහිටුවයි
තෙබුවන පොලිස් සැරයන්වරයාව යළි සේවයේ පිහිටුවයි
COLOMBO (News 1st) - ගිනිඅවියක් අතැතිව කළහකාරීව හැසිරීමේ සිද්ධියක් මුල්කර ගෙන පසුගියදා සේවය අත්හිටවූ තෙබුවන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා යළි සේවයේ පිහිටුවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පොලිස්පතිවරයා විසින් ඊයේ සිට ඔහු සේවයේ පිහිටවූ බව ය. මේ අතර පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊයේ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේ ය. ඔහු අත්අඩංගුවට ගන්නා ලද වැලි ලොරියක් තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරීමට විරෝධය දක්වමින් ගිනිඅවියක් අතැතිව කළහකාරී ලෙස හැසිරිණි.
2018-10-16T22:44:09.000Z
තමා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනපති කියයි
ජනපති ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන තොරතුරු
(News 1st) - තමා ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනාධිපතිතුමා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී පවසා ඇතැයි ද හින්දු පුවත්පත අද වාර්තා කළේ ය. එම වාර්තාවේ දැක්වෙන්නේ, CIA සංවිධානයේ කටයුතු පිළිබඳ ජනපති ට්‍රම්ප් නොදන්නවා සේම, මෙම ඝාතන සැලැස්ම පිළිබඳව ද ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නොදන්නවා විය හැකි බව ය. ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශය පිළිබඳව රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ, රජයේ විවිධ පාර්ශව ඇතුළු මූලාශ්‍ර ගණනාවකින් විමසා කරුණු තහවුරු කර ගත් බව ද හින්දු පුවත්පත සඳහන් කළේ ය. මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව ජනාධිපති උපදේශකයින් සහභාගී වන ප්‍රවෘත්ති සාකච්ඡාවක් සැලසුම් කර තිබූ බවත් පසුව එය අවලංගු කර ඇති බවත් හින්දු වාර්තාවේ සඳහන් ය. මේ පිළිබඳව ජනාධිපති උපදේශක ශිරාන් ලක්තිලක මහතාගෙන් විමසීමක් කර ඇති අතර තවත් තොරතුරු ලැබෙන තෙක් බලා සිටින බැවින් එම සාකච්ඡාව අවලංගු කළ බව ඔහු ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයේදී කළ ප්‍රකාශය හා මෙම මාධ්‍ය හමුව කල් දැමීම පිළිබඳව සම්බන්ධයක් ඇත්දැයි හින්දු පුවත්පත කළ විමසුමකදී ලක්තිලක මහතා පවසා ඇත්තේ, එම ප්‍රකාශය හා සාකච්ඡාව කල් දැමීම අතර කිසිදු සබඳතාවක් නොමැති බව ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සති අන්තයේ නව දිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ඉන්දියාවේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ඇතුළු ද්වීපාර්ශවික කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණු රෝ ඒජන්තවරයෙකු බව කියන ඉන්දීය ජාතිකයා පිළිබඳව පසුගියදා මංගල සමරවීර මහතාගෙන් කළ විමසුමක් සම්බන්ධයෙන් ද හින්දු පුවත්පත කරුණු වාර්තා කර තිබිණි. එහි දැක්වුණේ, ඉන්දීය ජාතිකයා හා සම්බන්ධ සිද්ධියේ තොරතුරු විකෘති ලෙස වාර්තා කිරීමක් බවත් වාර්තාකරුවන් වගකීම් සහගත විය යුතු බවත් අමාත්‍යවරයා පවසා තිබූ බව එහි දැක්විණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව සමග කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය වැඩි දියුණු කිරීමට අදාළව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් සංවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වූ බව පුවත්පත් රැසක් අද වාර්තා කළේ ය. එම වාර්තාවල දැක්වුණේ, ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් එකඟතාව පළ නොකළ බව ය. දූෂණ විරෝධී හඬ නමැති සංවිධානයේ ප්‍රධානී නාමල් කුමාර නමැත්තා සිදු කළ අනාවරණයකින් පසුව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුව කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව කරුණු අනාවරණය විය. අනතුරුව ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනුණේ, නාමල් කුමාර නමැත්තාගේ වරකාපොළ නිවසට වරින් වර පැමිණ කරුණු විමසා බැලූ බව පවසමිනි. නමුත් මෙම ඉන්දීය ජාතිකයා මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීම සිදු වේ. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමත් සමග කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, මොහු අයහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීම නිසා ප්‍රතිකාර පවා ලබා ගත් අයෙකු බව ය.
2018-10-16T22:19:38.000Z
ජාත්‍යන්තර ගනුදෙනුවලදී ඩොලරය අතහැර, යුරෝ භාවිත කිරීමට වෙනිසුවෙලාවෙන් සැලසුම්
වෙනිසුවෙලාව ඩොලරය අතහැරීමට තීරණය කරයි
(News 1st) - ජාත්‍යන්තර ගනුදෙනුවලදී අමෙරිකානු ඩොලරය අතහැර යුරෝ භාවිත කිරීමට වෙනිසුවෙලාව සැලසුම් කර තිබේ. එරට ආර්ථික කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, සැලසුම්වලට අනුව ඉදිරියේදී සිදු කරන සියලු ජාත්‍යන්තර ගනුදෙනු යුරෝවලින් පමණක් සිදු කරනු ඇති බව ය. අමෙරිකාව වෙනිසුවෙලාව මත පනවා ඇති සම්බාධක හේතුවෙන් වෙනිසුවෙලානු රජය මෙම තීරණය ගෙන තිබේ.
2018-10-16T20:26:46.000Z
YouTube බිඳ වැටෙයි
Youtube බිඳ වැටෙයි
COLOMBO (News 1st) - YouTube වෙබ් අඩවියේ බිඳ වැටීමක් මේ වන විට සිදුව තිබේ. මෙම ගැටලුව ඊයේ රාත්‍රියේ සිට පැන නැගී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් YouTubeහි වීඩියෝ දර්ශන නැරඹීමේ හැකියාවක් නොමැති අතර ලොව පුරා YouTube භාවිත කරන්නන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
2018-10-16T20:14:32.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. වැට් බද්දෙන් රජය උපයන ආදායම ඉහළ ගොස් තිබේ. 2. පසුගියදා තෙබුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය පරිත්‍යාගයක් ලබා දී තිබේ. 3. ආනයන සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ. 4. ඔක්තෝබර් මාසයේ ගත වූ දින කිහිපය තුළ බන්ධනාගාර ආශ්‍රිතව කළ වැටලීම්වලදී රැඳවියන් සතුව තිබූ ජංගම දුරකතන 32 ක් ඇතුළු නීති විරෝධි ද්‍රව්‍ය රැසක් හමුවී ඇතැයි බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කළේ ය. 5. වැලිකඩ බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් මහතා ඊයේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විදෙස් පුවත් 6. සෞදි අරාබි ජාතික මාධ්‍යවේදී ජමාල් ඛසෝගි, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ බව තහවුරු කරන සාක්ෂි හමු වූ බව තුර්කි බලධාරීහු පවසති. ක්‍රීඩා පුවත් 7. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් කරුණු දැක්වීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.
2018-10-16T19:50:34.000Z
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානයට තවත් කමිටු 2ක්
ශ්‍රී.ල.නි.ප.ය ප්‍රතිසංවිධානයට තවත් කමිටු 2ක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැගීම සඳහා කමිටු 2ක් පත් කර තිබේ. ඒ, ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය. රාත්‍රී 7.30ට ජනාධිපති නිල නිවසේදී ආරම්භ වූ මධ්‍යම කාරක සභා රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම‍ මහතා පැවසුවේ, එක් කමිටුවක සභාපති ධූරය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දරණ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනෙක් කමිටුවේ සභාපති ධූරය දරණ බව ය.
2018-10-16T11:26:18.000Z
වැට් බද්දෙන් රජය උපයන ආදායම ඉහළට
වැට් බද්දෙන් රජය උපයන ආදායම ඉහළට
COLOMBO (News 1st) - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2017 වසර සඳහා වන කාර්ය සාධන වාර්තාව පසුගියදා නිකුත් කෙරිණි. මෙමගින් අපූරු කරුණු රැසක්ම අනාවරණය කෙරේ. වර්තමාන රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ රජයේ ආදායම් ගැන කතා කෙරෙන සැම විටම බලධාරීන්ගේ අදහස වූයේ ඍජු බදු ප්‍රමාණය ඉහළ දමන, වක්‍ර බදු ප්‍රමාණය අවම කරවන අර්ථීක සහ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන බව ය. නමුත් කතාව කෙසේ වුවත් ක්‍රියාවෙන් සිදු වී ඇත්තේ ඊට හාත්පසම වෙනස් දෙයක් බව මෙම වාර්තාව පෙන්නුම් කරයි. ඍජු බදු වර්ධනය කර ගැනීම අපේක්ෂාව බව ප්‍රකාශ වුණ ද ප්‍රධානම ඍජු බද්දක් වන ආදායම් බදු ප්‍රමාණය 2015 වසරේ සිට 2017 වන විට 11.57%කින් අඩු වී තිබේ. එනම් රුපියල් බිලියන 256.43 සිට රුපියල් බිලියන 229.84 දක්වා ය. නමුත් විශේෂතම කරුණ වන්නේ, දුප්පත් පොහොසත් බේදයකින් තොරව රටේ සියලු මහජනතාව ගෙවිය යුතු වක්‍ර බද්දක් වන වැට් බදු අය කර ගැනීම බරපතළ ලෙස ඉහළ යාම ය. 2015දී රුපියල් බිලියන 214ක් වූ වැට් බදු 2017 වන විට රුපියල් බිලියන 443.74ක් දක්වා 107.2%කින් ඉහළ ගොස් තිබේ. මෙම නිරීක්ෂණ මනාව පෙන්නුම් කරන්නේ මෙරට බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බලධාරීන් සහ දේශපාලනඥයින්ගේ නොහැකියාව නොවේ ද? තව ද මෙම වාර්තාව තවත් වැදගත් කාරණාවක් අනාවරණය කරයි. එනම් 2017 වසර අවසන් වන විට අය කර ගැනීමට නොහැකි වූ බදු ප්‍රමාණය රුපියල් මිලියන 19343ක් හෙවත් බිලියන 19ක් බව ය. අප රජයේ සීමිත ජාතික ආදායම සලකා බලන කල රුපියල් බිලියන 19ක් යනු ඉතා විශාල මුදල් ප්‍රමාණයකි. මේවා අය කර ගන්නට බලධාරීන් අවශ්‍ය පියවර ගන්නවද? නොඑසේ නම් එම වාසිය කූට බදු වංචාකරුවන්ට යළිත් අත් වෙන්නට ඉඩ දෙනවා ද?
2018-10-16T11:10:08.000Z
තෙබුවන පොලිස් සැරයන්වරයාට ජනපති රු. ලක්ෂ 10ක් පරිත්‍යාග කරයි
තෙබුවන පොලිස් සැරයන්වරයාට ලක්ෂ 10ක පරිත්‍යාගයක්
COLOMBO (News 1st) - පසුගියදා තෙබුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද රුපියල් ලක්ෂ 10ක මූල්‍ය පරිත්‍යාගයක් ලබා දී තිබේ. ඒ, ඔහු අද ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදී ය. සනත් ගුණවර්ධන මහතා මුහුණ දී ඇති දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබා දිය යුතු සහය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ පරිත්‍යාගය සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
2018-10-16T10:55:17.000Z
තමන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ICCයට කරුණු දක්වන්න සනත් සැරසෙයි
ICCයට කරුණු දක්වන්න සනත් ජයසූරිය සැරසෙයි
COLOMBO (News 1st) - අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් කරුණු දැක්වීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි ඊයේ දිනයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය කරුණු දෙකක් යටතේ හිටපු තේරීම් කමිටු සභාපතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. ඒ අනුව ඔක්තෝබර් මස 15 වන දා සිට දින 14ක් ඇතුළත අදාළ කරුණු සම්බන්ධයෙන් කරුණු දැක්විය යුතු ය. ICCය ගොනු කළ චෝදනා... *2.4.6 වගන්තිය සාධාරණ හේතුවකින් තොරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම. *2.4.7 වගන්තිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය විසින් කරනු ලබන පරීක්‍ෂණ සඳහා බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ, මේ අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දැක්වීමෙන් වැළකී සිටින ලෙස සිය නීතිඥවරුන් තමාව දැනුවත් කර ඇති බව ය. එසේම සිය නීතිඥවරු අදාළ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කටයුතු කරමින් සිටින බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා එම නිවේදනයෙන් පවසයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, තමාට කිසිසේත්ම තරග පාවා දීම් පිළිබඳ හෝ තණතීරු පවා දීම් පිළිබඳ චෝදනා එල්ල නොවන බවත් විමර්ශනයට සහය ලබා නොදීම පිළිබඳව පමණක් චෝදනා ගොනු කර ඇති බවත් ය. තමා සෑම අවස්ථාවකදීම විනිවිද භාවයෙන් යුතුව කටයුතු කර ඇති අතර ක්‍රීඩාව තුළදී ක්‍රීඩාවේ ගෞරවය වෙනුවෙන් ඉදිරියේදීත් කටයුතු කරන බව නිවේදනයේ දැක්වේ.
2018-10-16T09:38:16.000Z
ජනපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධ විපක්ෂය මත ගැටුමක
ජනපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධ විපක්ෂය මත ගැටුමක
COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂය මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති කර ගෙන තිබෙන මත ගැටුම කුමක් ද? තම සහෝදරයාට නියත වශයෙන්ම 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් ද හින්දු පුවත්පතට ප්‍රකාශ කළේ ය. එහිදී ඔහු පැවසුවේ, ජනාධිපති අපේක්ෂකයෙකු වීම සඳහා වයස අවුරුදු 35 සම්පූර්ණ විය යුතු බවට ඇතුළත් කළ වගන්ති නිසා තම පුත්‍රයාට 2019දී තරග කළ නොහැකි බව ය. මෙවැනි ප්‍රකාශත් සමග ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ ද නැතහොත් ගෝඨාභය රාජපක්ෂ ද යන්න මත ගැටුමක් ඒකාබද්ධ විපක්ෂය තුළ නිර්මාණය විය.
2018-10-16T09:25:27.000Z
ආනයන සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සතියක් තුළ වාර්තාවක් දෙන්නැයි ජනපති මුදල් අමාත්‍යංශයට දන්වයි
ආනයන සීමා කළ හැකි භාණ්ඩ ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි
COLOMBO (News 1st) - ආනයන සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබේ. ඒ, ලෝක වෙළෙඳපොළ තුළ දැනට උද්ගත වී ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අභියෝගයන්ට විසඳුම් සෙවීමේ අරමුණිනි. නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ජාතික ආර්ථික සභාව අද රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන් බව ය. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සමග මතුව ඇති ආර්ථික අභියෝගයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සීමා කර ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය දිරි ගැන්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව ය. දැනට මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ අතරින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා යාවත්කාලීන කර පොළිතීන් ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් ද අද රැස් වූ ජාතික ආර්ථික සභාවේ අවධානය යොමුව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මංගල සමරවීර, රාජිත සේනාරත්න, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බව ය.
2018-10-16T00:43:50.000Z
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් යළි රිමාන්ඩ්
එමිල් රංජන් යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් මහතා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ලබන 30 වන දා නඩුව යළි කැඳවීමට නියමිතව වේ.
2018-10-15T23:11:16.000Z
Avengers 4 රූගත කිරීම් අවසන්
Avengers 4 රූගත කිරීම් අවසන්
ඇවෙන්ජර්ස් ෆෝ හොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කර තිබේ. එහි අධ්‍යක්ෂවරුන් වන ඇන්තනි සහ ජෝ රූසෝ සොහොයුරන් වන බව ප්‍රකාශ කළේ, සිය ට්විටර් ගිණුමට ඡායාරූපයක් නිකුත් කරමිනි. ඇවෙන්ජර්ස් ෆෝ චිත්‍රපටය ලබන වසරේ මැයි 3 වන දින එළිදැක්වීමට නියමිතවේ.
2018-10-15T22:43:06.000Z
විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අලි රොෂාන් ඇතුළු 7 දෙනෙකුට සිතාසි
අලි රොෂාන් ඇතුළු 7 දෙනෙකුට සිතාසි
COLOMBO (News 1st) - කුප්‍රකට අලි ජාවාරම් කරුවෙකු වන අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට ලබන 26 වැනි දින විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ. ඒ, බස්නාහිර පළාත්බද ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද ලබාදුන් නියෝගයකට අනුවය. නීත්‍යානූකුල බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 4 දෙනෙකු සන්තකයේ තබාගැනීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.
2018-10-15T20:41:51.000Z
මාධ්‍යවේදී ජමාල් ඛසෝගි ඝාතනය කළ බවට සාක්ෂි ඇතැයි තුර්කිය කියයි
මාධ්‍යවේදී ජමාල් ඛසෝගි ඝාතනය කළ බවට සාක්ෂි හමුවෙයි
සෞදි අරාබි ජාතික මාධ්‍යවේදී ජමාල් ඛසෝගි, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ බව තහවුරු කරන සාක්ෂි හමු වූ බව තුර්කි බලධාරීන් පවසයි. තුර්කිය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ පසුවරුවේ තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලය පරීක්ෂා කිරීමෙන් පසුවය. මෙය ජමාල් ඛසෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල විශාල ප්‍රගතියක් සටහන් කරන බව තුර්කි බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ. ඔවුන් සඳහන් කළේ, පරීක්ෂණයේ ප්‍රතිඵල තව දින දෙක තුනකින් ප්‍රකාශයට පත් කරන බවයි. සිය බිරිඳගෙන් දික්කසාද වූ බව තහවුරු කිරීමට අදාළ ලිපියක් ලබාගැනීම සඳහා ජමාල් ඛසෝගි මීට සති දෙකකට පෙර තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ගිය අතර ඉන් පිටතට ඔහු පැමිණ තිබුණේ නැත. මේ අතර ජමාල් ඛසෝගි ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සිදු වූ වැරැද්දකින් ඔහු ඝාතනය කෙරුණු බව පිළිගැනීමට සෞදි අරාබිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ජමාල් ඛසෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා දායකත්වය ලබාදීමට අමෙරිකාව කැමැත්ත පළකර තිබුණි. ජමාල් ඛසෝගි සැලකෙන්නේ සෞදි අරාබි ඔටුන්න හිමි කුමරුගේ දැඩි විවේචකයකු ලෙසයි.
2018-10-15T20:28:56.000Z
අයහපත් කාලගුණයත් සමග එළවළු මිල යළි ඉහළට
එළවළු මිල යළි ඉහළට
COLOMBO (News 1st) - එළවළු මිල ගණන් යළි ඉහළ යමින් තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ විගණක ශාන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේ, වැසි සමග ලැබෙන අස්වනු අඩුවීම හමුවේ මෙම තත්ත්වය නිර්මානය වී ඇති බවයි. ඉදිරි සතිය වන විට දැනට පවතින මිල ද ඉක්මවා එළවළු මිල ගණන් ඉහළ යාමේ අවදානමක් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. එළවළු මිල ගණන් පිළිබඳ කොළඹ මැනිං වෙළෙඳපොළෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි පොදු වෙළෙඳ සමිති ලේකම් ගාමිණි හඳුන්ගේ මහතා සඳහන් කළේ, බෝංචි, තක්කාලි සහ ගෝවා ඇතුලු එළවළු මිල ගණන් දෛනිකව ඉහළ යමින් ඇති බවයි.
2018-10-15T20:19:16.000Z
ලෝක ආහාර දිනය අද යි
ලෝක ආහාර දිනය අද යි
COLOMBO (News 1st) - ලෝක ආහාර දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව "අපගේ ක්‍රියාවන් අපගේ අනාගතය - 2030 වන විට කුසගින්නෙන් තොර ලොවක්" යන්නයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අළෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, මේ වන විට ලෝක ජනගහනය ඉහළ යාමට සාපේක්ෂව ආහාර නිෂ්පාදනය අවම වී ඇති බවයි. එම තත්ත්වය හමුවේ, ලෝකයේ ආහාර අර්බුදයක් නිර්මාණයවීමේ අවදානමක් මතුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මෙරට නිෂ්පාදනය කළ හැකි ආහාර බෝග විදෙස් රටවලින් ආනයනය කිරීම හමුවේ මෙරටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම රටට අහිතකර මෙන් ම රටේ ආර්ථිකයට ප්‍රභල අභියෝගයක් බව ද ඔහු පෙන්වා දෙයි.
2018-10-15T19:59:34.000Z
බන්ධනාගාර වැටලීමකින් ජංගම දුරකතන 32 ක් ඇතුලු නීති විරෝධි ද්‍රව්‍ය රැසක් හමුවේ
බන්ධනාගාර වැටලීමකින් ජංගම දුරකතන 32 ක් සොයා ගැනේ
COLOMBO (News 1st) - ඔක්තෝබර් මාසයේ ගත වූ දින කිහිපය තුළ බන්ධනාගාර ආශ්‍රිතව කළ වැටලීම්වලදී රැඳවියන් සතුව තිබු ජංගම දුරකතන 32 ක් ඇතුලු නීති විරෝධි ද්‍රව්‍ය රැසක් හමුවී ඇතැයි බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ ය. බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කොළඹ මැගසින්, රිමාන්ඩ් බන්ධනාගාරවලින් පමණක් දුරකතන 18 කට අධික ප්‍රමාණයක් හමු වූ බවය. කළුතර, මීගමුව සහ දුම්බර බන්ධනාගාර ආශ්‍රිතව කළ හදිසි වැටලීම්වලදී හමුවී ඇති දුරකතන සංඛ්‍යාව 14 කට අධිකය. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, රැඳවියන් සතුව තිබී හමු වූ එම දුරකතන ඉදිරි විමර්ශන සඳහා මුද්‍රා තැබීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට පියවර ගන්නා බවය. මේ අතර රැඳවියන් සමග සබඳතා පැවැත්වීම ඇතුලු විවිධ චෝදනා යටතේ, විනය පරීක්ෂණවලට ලක් වූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මූලික විමර්ශනවලින් පසු විධිමත් පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ද බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මූලික විමර්ශනවලදී චෝදනාවලින් නිදහස් වූ නිලධාරීන් දෙදෙනෙකු නැවත සේවයේ පිහිටුවා ඇති බවයි. නිලධාරීන් සම්බන්ධයෙන් දෛනිකව නිර්ණාමික පැමිණිලි 10 - 15 අතර ප්‍රමාණයක් අමාත්‍යාංශයට ලැබෙන බව ද ඔහු පවසා ඇත. මේ අතර බන්ධනාගාරවල බාහිර ආරක්ෂා සඳහා යෙදවීමට නියමිතව තිබු පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීම ලබන 20 වන දා දක්වා ප්‍රමාද වන බව ද බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් ඊයේ සිට හඳුනාගත් බන්ධනාගාර කිහිපයක බාහිර ආරක්ෂාවට යෙදවීමට සැලසුම් කර තිබු බවයි. එහෙත් බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන ප්‍රතිසංස්කරණ හේතුවෙන් එම පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඒ අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ්, වැලිකඩ සහ අගුණකොළපැලැස්ස යන බන්ධනාගාර වෙත ලබන 20 වන දා සිට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් යෙදවෙනු ඇති. පැය 24 සේවය යෙදවෙන පරිදි සෙබළුන් 300 ක භට පිරිසක් ඒ සඳහා අනුයුක්ත කෙරෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.
2018-10-15T19:37:24.000Z
ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ අද විශේෂ රැස්වීමක්
ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ අද විශේෂ රැස්වීමක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි 7.00 ට ජනපති නිල නිවසේදී රැස්වීම පැවැත්වෙන බවයි. එහිදී ඉදිරි මැතිවරණ, පක්ෂ සම්මේලනය ඇතුලු කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. එස්. බී. දිසානායක මහතා පැවසුවේ, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව කාරක සභා රැස්වීමේදී පුළුල්ව අවධානය යොමු කරනු ඇති බවයි.
2018-10-15T19:22:12.000Z
මෙරට සියලු රාජ්‍ය ආයතනවල මුදල් අවභාවිතයන් සිදු ව ඇති බවට විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්
විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්
COLOMBO (News 1st) - මෙරට රජයේ ආයතන සියල්ලෙහිම පාහේ මූල්‍ය අවභාවිතයන් සිදු ව ඇති බවට අනාවරණ වී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා සඳහන් කළේ, 2017 වර්ෂයට අදාළව සිදුකළ විගණනය කිරීම්වලදී ඒ බව අනාවරණ වී ඇති බවය. සම්පුර්ණ කරන ලද එම විගණන වාර්තා පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය. විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසුවේ, සිදු ව ඇති අවභාවිතයන් පිළිබඳ සවිස්තර වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට ද පියවර ගන්නා බවයි.
2018-10-15T19:09:05.000Z
ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - මෙරට ප්‍රථම සංගීත මහාචාර්ය, ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ. හෘදයාබාධයකින් ඇය මියයන විට 79 වැනි වියේ පසු විය. ඇයගේ පවුලේ ඥාතීන් පැවසුවේ, දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇය ඊයේ රාත්‍රියේ මියගිය බවයි. ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරිඳ වූයේ මහාචාර්ය අමරා රණතුංග මහත්මියයි. අභාවප්‍රාප්ත මහාචාර්යවරියගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතවේ.
2018-10-15T18:54:27.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශිය පුවත් 1. විදුලි බිලටත් මිල සූත්‍රයක් – වෘත්තිය සමිති අනාවරණයක්: විදුලි බිලටත් මිල සූත්‍රයක් ගෙන ඒමට විදුලි බල මණ්ඩලය සැලසුම් සකස් කරමින් පවතින බව විදුලි බල වෘත්තිය සමිති අනාවරණය කරයි. 2. මහනුවරදී ජනපති, හිටපු ජනපති හමුවෙයි: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මහනුවර පැවති ආගමික වැඩසටහනකට සහභාගි වී තිබේ. 3. බගවන්තලාව – මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නිවාස 4 ක් නාය යයි: බගවන්තලාව – මස්කෙලිය ප්‍රධාන මාර්ගය සහ නිවාස 4 ක් නාය යෑමට ගොදුරුවීම හේතුවෙන් කාසල් රී ජලාශයට තල්ලු වී ගොස් තිබේ. ප්‍රධාන මාර්ගය වසා දමා රථ වාහන ධාවනය ද සම්පූර්ණයෙන් නතර කර ඇත. 4. ත්‍රිරෝද රථ ගාස්තු සිට ඉහළට: ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ඊයේ සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර තිබේ. විදෙස් පුවත් 5. කාන්තාවකට පහර දුන් දේශපාලනඥයාට පක්ෂය තහනම් වෙයි: කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් මුල්කරගෙන තමිල්නාඩු ප්‍රාන්තයේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ හිටපු ප්‍රාදේශී ‍මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමජිකත්වය අත්හිටුවයි. ක්‍රීඩා පුවත් 6. හලාවත පාරමී මාරිස්ටෙලාට යොවුන් ඔලිම්පික් පදක්කමක්: යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමේ ගෞරවය හිමිකරගැනීමට හලාවතින් ක්‍රීඩාවට දායාද වූ පාරමී මාරිස්ටෙලා සමත් විය. දවසේ සිත්තම...
2018-10-15T11:20:17.000Z
විදුලි බිලටත් මිල සූත්‍රයක් - වෘත්තිය සමිති අනාවරණයක්
විදුලි බිලටත් මිල සූත්‍රයක්...
COLOMBO (News 1st) - තවමත් රට නිසි අයුරින් දැනුවත් නොකළ තෙල් මිල සූත්‍රය කතා බහ අතරතුර විදුලි බිලටත් මිල සූත්‍රයක් ගෙන ඒමට විදුලි බල මණ්ඩලය සැලසුම් සකස් කරමින් පවතින බව විදුලි බල වෘත්තිය සමිති අද අනාවරණය කර තිබේ. ඒ, කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
2018-10-15T09:04:46.000Z
හලාවත පාරමී මාරිස්ටෙලාට යොවුන් ඔලිම්පික් පදක්කමක්
හලාවත පාරමී මාරිස්ටෙලාට යොවුන් ඔලිම්පික් පදක්කමක්
යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමේ ගෞරවය හිමිකරගැනීමට හලාවතින් ක්‍රීඩාවට දායාද වූ පාරමී මාරිස්ටෙලා සමත් වූවාය. ආර්ජන්ටිනාවේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් තුන්වැනි ස්ථානය දිනා ගත් පාරමී, අද පැවති කිලෝමීටර් 4 ක් වූ රට හරහා දිවීමේ තරගය 17 වැන්නා ලෙස අවසන් කරමින් මෙම පදක්කම තහවුරු කරගැනීමට සමත්ව තිබේ. මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදියර දෙකක් යටතේ තරග කළ යුතු අතර, තරග දෙකේදීම දක්වන දක්ෂතා අනුව පදක්කම් පිරිනැමීම සිදුකරයි පාරමී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමිකරගෙන තිබීම හේතුවෙන්, අද පැවති තරගයේ දක්ෂතාද ගණනය කර ලෝකඩ පදක්කම පිරිණමා තිබේ. 2007 වසරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙ ්දී සුසන්තිකා ජයසිංහ විසින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමෙන් පසුව මලල ක්‍රීඩාවෙන් මෙරට ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලැබූ ඉහළම ජයග්‍රහණය මෙය වේ. 16 වියැති පාරමී වසන්තී මාරිස්ටෙලා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදරන සිසුවියක්.
2018-10-15T10:08:34.000Z
මහනුවරදී ජනපති, හිටපු ජනපති හමුවෙයි
මහනුවරදී ජනපති, හිටපු ජනපති හමුවෙයි
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර පැවති ආගමික වැඩසටහනකට සහභාගි විය. තායිලන්ත රජයේ ධම්මචක්ක රාජකීය සම්මානයෙන් පිදුම්ලැබූ ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් පිළිගැනීම වෙනුවෙන් අද මහනුවරදී මෙම වැඩසටහන පැවැත්විණි. තායිලන්ත රජයෙන් පිරිනැමුණ රාජකීය සම්මානය ජනාධිපතිතුමා අතින් මෙහිදී පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් වෙත පිළිගැන් විය.
2018-10-15T06:01:51.000Z
මෙගන් මව් පදවියට සැරසෙයි
මෙගන් මව් පදවියට සැරසෙයි...
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගන් මර්කල් මුල් වරට මව්පිය පදවි ලැබීමේ අපේක්ෂාවෙන් සිටි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙගන් මර්කල් නොහොත් සසෙක්ස් හි ආදිපාදවරිය ලබන වසරේ වසන්ත සමයේදී සිය ප්‍රථම දරුවා බිහි කිරීමට නියමිත බවයි. පැසිෆික් කලාපයේ සංචාරයක් අරඹන අවස්ථාවේදී හැරී කුමරු සහ මෙගන් කුමරිය මෙය නිවේදනය කර ඇත. හැරී කුමරු අමෙරිකානු නිළියක වූ මෙගන් මර්කල් සමග යුගදිවියට ‍පිවිසයේ ඉකුත් මැයි මාසයේදීයි.
2018-10-15T04:53:20.000Z
බගවන්තලාව - මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නිවාස 4 ක් නාය යයි
බගවන්තලාව - මස්කෙලිය මාර්ගයේ නිවාස 4 ක් නාය යයි
COLOMBO (News 1st) - බගවන්තලාව - මස්කෙලිය ප්‍රධාන මාර්ගය සහ නිවාස 4 ක් නාය යෑමට ගොදුරුවීම හේතුවෙන් කාසල් රී ජලාශයට තල්ලු වී ගොස් තිබේ. ඊයේ දිනයේ සිට ප්‍රධාන මාර්ගය වසා දමා රථ වාහන ධාවනය ද සම්පූර්ණයෙන් නතර කෙරුණි. අද බගවන්තලාව, බලංගොඩ, මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නිව් වැලිගම කොටසේ අඩි 100 ක පමණ කොටසක් සහ නිවාස 4 ක් නාය යෑමට ලක් විය. අද දහවල් එක් නිවසක් නාය යෑමට ලක් වූ අයුරු ජංගම දුරකතනයකින් පටිගතකළ දර්ශන අප වෙත ලැබිණි. මේ වනවිට නිවාසවල පදිංචිව සිටි පවුල් 5 කට අයත් සාමාජිකයින් 23 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත. ප්‍රධාන මාර්ගය අඩි 10 පමණ ගිලා බැස තිබෙන බව අප හැටන් ප්‍රාදේශිය වාර්තාකරු පැවසූවේය.
2018-10-15T04:31:57.000Z
යාපනයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට
යාපනයේ මෙහෙයුමකින් පුද්ගලයින් 30 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - යාපනය ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 30 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරු 4.00 සිට රාත්‍රි 8.00 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. එහිදි රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රදේශ කිහිපයක සිදු වූ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් සහ වරෙන්තුකරුවන් තිදෙනෙකු ඒ අතර වන බව පොලීසිය පැවසුවේ ය. තව ත් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
2018-10-15T02:55:19.000Z
කාන්තාවකට පහර දුන් දේශපාලනඥයාට පක්ෂය තහනම් වෙයි
කාන්තාවකට පහර දුන් දේශපාලනඥයාට පක්ෂය තහනම්
කාන්තාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් මුල්කරගෙන තමිල්නාඩු ප්‍රාන්තයේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ හිටපු ප්‍රාදේශී ‍මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමජිකත්වය අත්හිටුවා තිබේ. එස්.සේල්වකුමාර් නමැති මෙම ප්‍රාදේශීය දේශපාලඥයා පසුගිය අගෝස්තු මාසයේ 10 වනදා පරම්බලූර් දිස්ත්‍රික්කයේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයකදී කාන්තාවකට පහරදෙන දර්ශන මේ දිනවල ඉන්දීය මාධ්‍ය ප්‍රසිද්ධියට පත්කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මෙම රූපලාවන්‍ය මධ්‍යස්ථානය හිමි කාන්තාව අදාළ ප්‍රාදේශීය දේශපාලනඥයාගේ දිගු කාලීන මිතුරියක බවයි. ව්‍යාපාරික කටයුතු සඳහා එස්.සෙල්වකුමාර් නමැති මෙම දේශපාලනඥයාගෙන් ආදාළ කාන්තාව මුදල් ලබාගෙන ඇති අතර එම මුදල් ආපසු ලබාදීම ප්‍රමාද කිරීමේ ප්‍රශ්නයක් මත මෙම පහර දීම සිදුව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල සඳහන් ය. සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන අතර වාරයේ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය සිදුකළ විමර්ශනයකින් පසුව මෙම දේශපාලඥයාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර තිබේ. https://www.youtube.com/watch?v=fFFrf2tAr4U
2018-10-15T00:28:27.000Z
ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව ජර්මනියේ මික් ශූමාකර්ට
ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව මික් ශූමාකර්ට
ජර්මනියේ මික් ශූමාකර්, ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව දිනා ගත්තේ ය. ඔහු හිටපු සුපිරි ‍ෆෝර්මියුලා වන් ධාවන ජර්මනියේ මයිකල් ශූමාකර්ගේ පුත්‍රයායි. යුරෝපා ෆෝර්මියුලා ත්‍රී ධාවන තරගාවලියේ අවසන් තරගය ජර්මනියේදී පැවැත්විණ. එහිදී ජර්මනියේ මික් ශූමාකර් දෙවැන්නා ලෙස තරගය අවසන් කළ අතර සමස්ත ශ්‍රේණිගතකිරීම් අනුව ඔහුට මෙවර ශූරතාව හිමි විය. මෙවර ලෝක ශූරතාවලිය අවසානයේදී ඔහු පෙරමුණේ රැඳී සිටින්නේ ලකුණු 365ක් ලබා ගනිමිනි. 19 වියැති මික් ශූමාකර්, පවසන්නේ තමන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව අතිශය සතුටු වන බවයි. නිමා වූ තරග සමයේදී තම දක්ෂතා පිළිබඳව සෑහීමකට පත් වෙන බව ද ඔහු සඳහන් කළේ ය. මික් ශූමාකර්ගේ පියා හිටපු සුපිරි ෆෝර්මියුලා වන් ධාවන මයිකල් ශූමාකර් වන අතර ඔහු වාර්තා අතරට එක් වූයේ අවස්ථා 7කදී ලෝක කිරුළ දිනා ගනිමිනි.
2018-10-14T22:29:53.000Z
දෙහිඅත්තකණ්ඩියේ අනතුරින් මියගිය ගණන 4ක් දක්වා ඉහළට
දෙහිඅත්තකණ්ඩියේ අනතුරින් මියගිය ගණන 4ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) : දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටි පිරිමි දරුවා ද මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කළ ඔහුගේ මව ද බරපතළ තත්ත්වයේ පසුවන බවයි. ඊයේ පස්වරු 5ට පමණ සඳුන්පුර ලිහිණියාගම මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. පොලීසිය පැවසුවේ, අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් එක ම පවුලේ පියා, මව හා පිරිමි දරුවන් තිදෙනා තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 35 හැවිරිදි පියා, 14 හා 10 යන වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු මියගිය බවයි. මව සහ අනෙක් පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යැවූ අතර එම පිරිමි දරුවා ද මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, මව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇති අතර ඇය බරපතළ තත්ත්වයේ පසුවන බවයි. එක ම පවුලේ සිව් දෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
2018-10-14T21:35:07.000Z
සින්දාත්‍රිමාතා විදුහලේ දරුවන් පොල්අතු මඩුවේ අකුරු කළ කාලය අදින් අවසන්..
පොල්අතු මඩුවේ අකුරු කළ කාලය අදින් අවසන්
COLOMBO (News 1st) : ගම්මැද්ද වැඩ 1000 ව්‍යාපෘතිය යටතේ කල්පිටිය, සින්දාත්‍රිමාතා ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය අද සිසු අයිතියට පත් කෙරුණි. අවම පහසුකම් හෝ නොමැති මේ පාසැලේ දරුවන් අකුරු කළේ පොල් අතු සෙවිලි කළ ගොඩනැගිලි තුළයි. ගම්මැද්ද ගෙයින් ගෙට ගමනේදී අපට හමු වූ මේ දරුවන්ගේත්, ඔවුන්ගේ දෙමාපියන්ගේත් ප්‍රමුඛ අවශ්‍යතාව බවට පත් වූයේ අව්වට වේලෙන්නේ නැති, වැස්සට තෙමෙන්නේ නැති ගොඩනැගිලිවල අකුරු කිරීමයි. ලන්කැන් පදනම සමග එක් ව ගම්මැද්ද වැඩ 1000 නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය ජනවාරි මස 22 වැනි දායි. ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සඳහා ලන්කැන් පදනම හා ගම්මැද්ද එක් ව මියැසිතොට නමින් සංගීත ප්‍රසංගයක් ද පවත්වනු ලැබීය. මාස නවයක් වැනි කෙටි කාලයකින් ඒ දරුවන්ගේ අහිංසක බලාපොරොත්තු යාථාර්තයක් බවට පත් කරන්නට ලන්කැන් පදනමට හා ගම්මැද්ද වැඩ 1000 ට අද හැකියාව ලැබුණි. පන්ති කාමර 6 ක් සහ විද්‍යාලයීය ප්‍රධාන කාර්යාල ස්ථාපිත කිරීමට හැකි පරිදි මෙම ගොඩනැගිලි සංකීර්ණය මෙන් ම, දරුවන්ගේ සෙල්ලම් මිදුල ද අද සිසු අයිතියට පත්කෙරුනේ, ලන්කැන් පදනමේ සභාපති රුවන් කෑරගල හා කැපිටල් මහාරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ය. මේ අවස්ථාවට කල්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දීප්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් රැසක් එක් ව සිටියහ.
2018-10-14T19:47:34.000Z
හෙරොයින් කිලෝ 2ක් සමග යුවළක් කටුනායකදී කොටු
හෙරොයින් කිලෝ 2ක් සමග යුවළක් කටුනායකදී කොටු
COLOMBO (News 1st) : රුපියල් ලක්ෂ 240 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික තොගයක් සමග විදෙස් යුවළක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ මෙහෙයුමකදී අද අලුයම එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දීය ජාතික යුවළකි. මේ අතර රුපියල් කෝටි 3 ක කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කළ පකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගැනිණ.
2018-10-14T19:30:16.000Z
ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළට..
ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළට..
COLOMBO (News 1st) : ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව අද සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර තිබේ. ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පැවසුවේ, අද සිට තම සංගමය දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දමා ඇති බවයි. ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසුවේ, අද සිට බස්නාහිර හා දකුණු පළාතේ පමණක් දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවයි. මේ අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පැවසුවේ, මිල සූත්‍රයක් අනුසාරයෙන් ගාස්තු ඉහළ දැමීමට තම සංගමය තීරණය කර ඇත බවයි. එක් ත්‍රිරෝද රථ සංගමයක් ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර තවත් සංගමයක් රුපියල් 10 කින් ගාස්තු ඉහළ දමා ඇත්තේ, දකුණු හා බස්නාහිර පළාත් දෙකෙහි පමණි.
2018-10-14T19:10:26.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) : දේශීය පුවත් 1 . නාලක ද සිල්වා සහ නාමල් කුමාර අතර දුරකතන සංවාද ඇතැම් අතුරුදන් : නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර අතර ඇතිවු දුරකථන සංවාදවල ඇතැම් කොටස් විනාශ කර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 2. දෙහිඅත්තකණ්ඩියේ අනතුරකින් එකම පවුලේ තිදෙනකු මරුට : දෙහිඅත්තකණ්ඩිය ලිහිණියාගම උත්තලපුර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබේ. 3. ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු ග්‍රාම නිලධාරීන්ට ගෙවීමේ අවස්ථාව : ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු ග්‍රාම නිලධාරීන්ට ගෙවීමට හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 4. පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන් : ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන් වේ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නව සමාජිකයින් පත් කරන තෙක් වත්මන් සාමාජිකයින් සිය ධූරවල කටයුතු කරනු ඇති බවයි. 5. දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් නොකර, රට හා ජාතිය පිළිබඳ වගකීමකින් කටයුතු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් : දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් කිරීම වෙනුවට රටත්, ජාතියත් පිළිබඳ වගකීමකින් කටයුතු කරන්නැයි තමන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. විදෙස් පුවත්... 1. රයිස්’ නගරයේ සංක්‍රමණිකයින් ඉවතට – තීන්දුවට එරෙහි වූ නගරාධිපති නිවාස අඩස්සියේ : සුප්‍රසිද්ධ රයිස් නගරයෙන් සංක්‍රමණිකයින් ඉවත් කිරීමට ඉතාලි රජය තීරණය කර තිබේ. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ලබන සතියේ ඔවුන් වෙනත් සංක්‍රමණික මධ්‍යස්ථානවලට යොමු කරන බවයි.
2018-10-14T09:34:00.000Z
නාලක ද සිල්වා සහ නාමල් කුමාර අතර දුරකතන සංවාද ඇතැම් අතුරුදන්
නාලක සහ නාමල් අතර දුරකතන සංවාදවල කොටස් අතුරුදන්
COLOMBO (News 1st) : නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර අතර ඇතිවු දුරකථන සංවාදවල ඇතැම් කොටස් විනාශ කර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම කරුණු අනාවරණ කර ගැනීමට මෙරට පවතින තාක්ෂණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි. මේ පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයා සමග කළ සාකච්ඡාවලින් පසු එම තීරණයට එළැඹි බව ද, එම නිලධාරියා අනාවරණය කළේ ය. ඔහු පැවසුවේ, ඉදිරි පරික්ෂණ සඳහා අදාළ දුරකථන සංවාද කුමන රටක් වෙත යොමු කරන්නේ ද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. ඉදිරි සතිය තුළ ඊට අවශ්‍ය අවසන් තීරණයකට එළඹීමට නියමිත බව ද, ඔහු සඳහන් කළේ ය. ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි පෙරමුණේ නාමල් කුමාරට චෝදනා එල්ල වී තිබේ. මේ අතර, දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර ඇතිවූයේ යැයි, කියන ඝාතන කුමන්ත්‍රණයට අදාළ දුරකථන සංවාදය තහවුරු කර ගැනීම සඳහා කැඳ වූ රස පරීක්ෂක වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 9 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර දෙනු ලැබීය. මේවන විට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබේ.
2018-10-14T09:03:33.000Z
දෙහිඅත්තකණ්ඩියේ අනතුරකින් එකම පවුලේ තිදෙනකු මරුට
දෙහිඅත්තකණ්ඩියේ අනතුරකින් එකම පවුලේ තිදෙනකු මරුට
COLOMBO (News 1st) : දෙහිඅත්තකණ්ඩිය ලිහිණියාගම උත්තලපුර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කලේ, ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි. අනතුර සිදුවන විට යතුරුපැදියේ පස් දෙනෙකු ගමන් කර ඇතැයි පොලිසිය පවසනවා. අනතුරින් තුවාල ලැබු එකම පවුලේ මව පියා සහ පුතුන් තුන්දෙනා රෝහල් ගත කර ඇති අතර, එහිදී පියා සහ පුතුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, 40, 9 සහ 8 හැවිරිදි වියේ පසුවන උත්තලපුර පදිංචිකරුවන්. අනතුරින් තුවාල ලැබු මව සහ 6 හැවිරිදි තවත් පුතෙකු පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ලොරි රථයේ රියාදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. දෙහිඅත්තකණ්ඩිය ලිහිණියාගම උත්තලපුර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කලේ, ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි. අනතුර සිදුවන විට යතුරුපැදියේ පස් දෙනෙකු ගමන් කර ඇතැයි පොලිසිය පවසනවා. අනතුරින් තුවාල ලැබු එකම පවුලේ මව පියා සහ පුතුන් තුන්දෙනා රෝහල් ගත කර ඇති අතර, එහිදී පියා සහ පුතුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, 40, 9 සහ 8 හැවිරිදි වියේ පසුවන උත්තලපුර පදිංචිකරුවන්. අනතුරින් තුවාල ලැබු මව සහ 6 හැවිරිදි තවත් පුතෙකු පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ලොරි රථයේ රියාදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ලිහිණියාගම උත්තලපුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක ම පවුලේ තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි. අනතුර සිදුවන විට යතුරුපැදියේ 5 දෙනෙකු ගමන් කර ඇතැයි, පොලීසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ එක ම පවුලේ මව පියා සහ පුතුන් තිදෙනා රෝහල්ගත කර ඇති අතර එහිදී පියා සහ පුතුන් දෙදෙනෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, 40, 9 සහ 8 හැවිරිදි වියේ පසුවන උත්තලපුර පදිංචිකරුවන් ය. අනතුරින් තුවාල ලැබූ මව සහ 6 හැවිරිදි තවත් පුතෙකු පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා තිබේ. ලොරි රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2018-10-14T07:05:45.000Z
ලබන සතියේ සිට සහල් මිල පහළට..?
ලබන සතියේ සිට සහල් මිල පහළට..?
COLOMBO (News 1st) : මේ දිනවල වෙළෙඳපොළේ සහල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ලබන සතියේ සිට රුපියල් 10කින් සහල් මිල පහත දැමීමට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේ, සහල් නිෂ්පාදකයින් ඊට සිය එකඟතාව පළ කර ඇති බවයි. පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් එම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර, සහල් සඳහා ලබන ජනවාරි මස සිට උපරිම සිල්ලර මිලක් නියම කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති නීතිඥ උපාලි මෙහොට්ටි මහතා සඳහන් කළේ, පසුගිය මස 4 වනදා ඊට අදාළ කබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති බවයි. ඒ අනුව සම්බා හාල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 98ක මිලක් සහ නාඩු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 82ක උපරිම සිල්ලර මිලක් නියම කෙරෙනු ඇති.
2018-10-14T01:59:38.000Z
අම්පාර වැවේ හංස බෝට්ටු සේවාව නතර කරන්නැයි නියෝගයක් !
අම්පාර වැවේ හංස බෝට්ටු යෑම තහනම් !
COLOMBO (News 1st) - අම්පාර වැවේ පවත්වාගෙන යන හංස බෝට්ටු සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන 17 වැනි දාට පෙර නතර කරන්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අම්පාර නගර සභාවට දැනුම් දී තිබේ. ඒ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට පටහැනි ක්‍රියාවක් සිදුකළ බවට චෝදනා කරමිනි. අම්පාර දිස්ත්‍රික් සහකාර වනජීවි අධ්‍යක්ෂක ගාමිණී වික්‍රමතිලක මහතා පැවසුවේ, අවසරයකින් තොරව එම බෝට්ටු සේවාව පවත්වාගෙන යන බවයි. ගල්ඔය නිම්න ඊසානදිග අභයභූමියේ පිහිටි අම්පාර වැවේ එලෙස බෝට්ටු සේවාවක් පවත්වාගෙන යාම නීති විරෝධි ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කළේ ය. සිය දැනුම්දීමට අනූව ලබන 17 වැනි දාට පෙර බෝට්ටු සේවාව නතර නොකරන්නේ නම්, අම්පාර නගර සභාවට එරෙහිව නඩු පවරන බව ද සහකාර වනජීවි අධ්‍යක්ෂකවරයා පැවසුවේ ය. මේ සම්බන්ධයෙන් අම්පාර නගර සභාවේ සභාපති චමින්ද සුගත් මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, දැනුම්දීමක් කළ ද එම බෝට්ටු සේවාව නතර නොකරන බවයි.
2018-10-14T01:42:59.000Z
රජය ණය උගුලකට හසු වී ඇතැයි එක්සත් ජනතා නිදහස් පෙරමුණ කියයි
ආණ්ඩුව ණය උගුලකට හසු වෙලා - මෛත්‍රී ගුණරත්න
COLOMBO (News 1st) - ආණ්ඩුව ණය උගුලකට හසු වී ඇතැයි එක්සත් ජනතා නිදහස් පෙරමුණේ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, හබරාදූව ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන පිළිබඳව ද ඔහු අදහස් පළ කළේ ය.
2018-10-14T01:18:22.000Z
මතුගමදී බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මතුගමින් බෝම්බයක් හමුවෙයි
COLOMBO (News 1st) - මතුගම, ඇලදූවවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි යටදොල පදිංචිකරුවෙකි. ඔහු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-10-14T00:09:50.000Z
අධ්‍යක්ෂ විකාස් බාල්ට රිතික් රෝෂන්ගෙන් චෝදනාවක්
අධ්‍යක්ෂ විකාස් බාල්ට රිතික්ගෙන් චෝදනාවක්
ජනප්‍රිය ඉන්දීය නළු රිතික් රෝෂන් සිය නවතම සිනමා පටයේ අධ්‍යක්ෂ විකාස් බාල්ට චෝදනා කර තිබේ. ඒ, සුපර් 30 නමැති එම සිනමා පටය තිරගත කිරීම සඳහා යොදාගත් දිනය ගැටලු සහගත බව පවසමිනි. සුපර් 30 සිනමා පටය තිරගතවීමට නියමිතව ඇත්තේ, ලබන වසරේ ජනවාරි 25 වන දායි. එහෙත් එදිනට කන්ගනා රනෝට් රඟන ද කුවින් ඔෆ් ජාන්සි සිනමා පටය ද තිරගතවීම් ආරම්භ කිරීමට නියමිතය. මේ හේතුවෙන් සුපර් 30 සිනමා පටය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂක සංඛ්‍යාවේ අඩුවක් විය හැකි බැවින් එය වෙනස් කරන්නැයි රිතික් රෝෂන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට දැනුම් දී තිබේ.
2018-10-13T21:30:20.000Z
පදක්කමක් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යොවුන් ඔලිම්පික් තරග බිමට
පදක්කමක් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරග බිමට...
ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලේ තරග 9 වන දිනටත් අද පැවැත්වේ. සිය මූලික වටයේ තරග ඉසව්වලදී ඉහළ දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද සිය තරග ඉසව්වේ අවසන් තරගය සඳහා සහභාගිවීමට නියමිත වේ. ශ්‍රී ලංකාවේ සෙනිරු අමරසිංහ උස පැනීමේ තරග ඉසව්වේ අවසන් තරගය සඳහා අද සහභාගී වනු ඇති. මීටර් 400 ධාවන තරග ඉසව්වේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන්නේ හසිත බෝයගෝඩයි. පසුගිය 6 වන දා ආරම්භ වූ යොවුන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 13 කි. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු පදක්කමක් ලබාගෙන නැත. යොවුන් ඔලිම්පික් උළෙලේ තරග පැවැත් වූ දින 8 ක් අවසානයේ සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ හිමි ව ඇත්තේ රුසියාවටයි. ඔවුන් රන් පදක්කක්ම් 21 ක් රිදී පදක්කම් 8 ක් හා ලෝකඩ පදක්කම් 6 ක් සමගින් සමස්ත පදක්කම් 35 ක් දිනාගෙන ඇත. සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානය ඒකාබද්ධ කණ්ඩායමට හිමි ව ඇති අතර ඔවුන්ට හිමි ව ඇති පදක්කම් ගණන 29 කි. රන් පදක්කම් 10 ක් රිදී පදක්කම් 9 ක් හා ලෝකඩ පදක්කම් 10 ක් ඇතුළත් වේ. සමස්ත පදක්කම් සටහනේ තෙවන ස්ථානය ජපානයට හිමි ව තිබේ.
2018-10-13T21:09:08.000Z
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු ග්‍රාම නිලධාරීන්ට ගෙවීමේ අවස්ථාව
හැඳුනුම්පත් ගාස්තු ග්‍රාම නිලධාරීට ගෙවීමට අවස්ථාව
COLOMBO (News 1st) - ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු ග්‍රාම නිලධාරීන්ට ගෙවීමට හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විට නිකුත් කර ඇති බවයි. ඒ අනුව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු රුපියල් 100 ක මුදල ග්‍රාම නිලධාරීන්ට ලබා දිය හැකියි. මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ලේකම් එස්. ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් පරිදි ඊට අනුමැතිය දුන් බවයි. මේ අතර රටපුරා ග්‍රාම නිලධාරීන් 1980 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, ලබන 22 වැනි දා තව ත් පත්වීම් 300 ක් ලබාදීමට නියමිත බවයි. පවතින හිඟය අවම කිරීම සඳහා කඩිනමින් අනෙකුත් පත්කිරීම් සිදු කිරීමට ද පියවර ගනිමින් ඇතැයි ඔහු සඳහන් කළේ ය.
2018-10-13T20:47:02.000Z
'රයිස්' නගරයේ සංක්‍රමණිකයින් ඉවතට - තීන්දුවට එරෙහි වූ නගරාධිපති නිවාස අඩස්සියේ
ඉතාලි රජය 'රයිස්' නගරයේ සංක්‍රමණිකයින් ඉවත් කෙරේ
COLOMBO (News 1st) - සුප්‍රසිද්ධ රයිස් නගරයෙන් සංක්‍රමණිකයින් ඉවත් කිරීමට ඉතාලි රජය තීරණය කර තිබේ. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ලබන සතියේ ඔවුන් වෙනත් සංක්‍රමණික මධ්‍යස්ථානවලට යොමු කරන බවයි. රජයේ තීරණවලට විරුද්ධ වූ රයිස් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. ඒ, රයිස් නගරයෙන් සංක්‍රමණිකයින් ඉවත් කිරීමට ඉතාලි රජය ගත් තීරණයට එරෙහිවී ඔවුන් රැක ගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. නගරාධිපති ඩොමිනිකෝ ලුකානෝ රයිස් නගරය ලෝක ප්‍රකට සංක්‍රමණික කලාපයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කළ අයෙක් ය. 1998 වසරේදී ඔහු ආරම්භ කළ වැඩපිළිවෙළට අනූව සංක්‍රමණිකයින් සඳහා රැකියා සහ භාෂා පුහුණුව පවා ලබා දුන්නේ ය. මේ වන විට එම නගරයේ සිටින සංක්‍රමණිකයින් සංඛ්‍යාව 2000 කට අධිකයි. 2016 වසරේදී රයිස් නගරාධිපති ඩොමිනිකෝ ලුකානෝ ලොව හොඳම නායකයින් 50 දෙනා අතරට ඇතුළත් විණි. ඒ, සංක්‍රමණිකයින් සුරැකීම වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළත් සමගයි. මේ හේතුවෙන් ඔහු ලෝක ප්‍රකට චරිතයක් බවට පත් විය. කෙසේ වෙතත් ඉතාලියේ නම ලෝකයට ගෙන ගිය රියාස් ආකෘතිය කඩා බිඳ දැමීමට රජය ගෙන ඇති තීරණය එරට විපක්ෂ දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුලු විද්වතුන් හෙළාදැක තිබේ. මෙම ගැටලුව උද්ගතව ඇත්තේ කිසිදු සංක්‍රමණිකයෙකු යළි භාර නොගැනීමට, ඉතාලි නව රජය ප්‍රතිප්තිමය එකඟතාවකට පැමිණ ඇති පසුබිමකයි.
2018-10-13T20:25:15.000Z
වර්ෂාවත් සමග මදුරු කීට ඝනත්වය ඉහළ යාමේ අවදානමක්
වර්ෂාවත් සමග මදුරු කීට ඝනත්වය ඉහළට
COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග මදුරු කීට ඝනත්වය යළි වර්ධනයවීමේ අවදානමක් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වලින් එම තත්ත්වය නිරීක්ෂණය වී ඇති බවයි. මේ අතර ලබන මස පළමුවන දා සහ 2 වන දා මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු යොදා තිබේ. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, හඳුනාගත් ස්ථාන කේ‍න්ද්‍ර කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39793 කි.
2018-10-13T20:09:28.000Z
පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන්
පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන්
COLOMBO (News 1st) - ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන් වේ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නව සමාජිකයින් පත් කරන තෙක් වත්මන් සාමාජිකයින් සිය ධූරවල කටයුතු කරනු ඇති බවයි. ජාතික පොලිස් කොමිසමට සමාජිකයින් පත් කිරීම සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙනි. 2015 ඔක්තෝබර් මස 14 වන දා සිට පොලිස් කොමිසම බලාත්මක විය. එහි සභාපතිවරයා ලෙස පත් කෙරුනේ, මහචාර්ය සිරි හෙට්ටිගේ මහතායි. පොලිස් කොමිසමේ වත්මන් සභාපතිවරයා ලෙස පී. එම්. මනතුංග මහතා කටයුතු කරනු ඇත. මේ අතර ගත වූ වසර 3 තුළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 5000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි. ඉන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ, රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙනි. පැමිණිලිවලින් බොහෝමයක් වසර 8 කට අධික කාලයක් විභාග නොවීමෙන් ගැටලු රැසක් උද්ගත වූ බව ද ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ ය.
2018-10-13T19:57:40.000Z
මහ කන්නයට අවශ්‍ය පොහොර තොග නිකුත් කෙරේ
මහ කන්නයට අවශ්‍ය පොහොර තොග නිකුත් කෙරේ
COLOMBO (News 1st) - මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග දිවයිනේ සියලු ගබඩා වෙත නිකුත් කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, වී සඳහා යොදන පොහොර මිටියක් රුපියල් 500 ක මිලකට අළෙවි කෙරෙන බවයි. අතිරේක භෝග සඳහා යොදන පොහොර මිටියක් අළෙවි කෙරන්නේ රුපියල් 1500 ක මිලකට බව ද ඔහු සඳහන් කළේ ය. වී සඳහා නිකුත් කරන කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියකට රුපියල් 3000 ක මිලක් දැරීමට රජයට සිදුවනු ඇති. අතිරේක බෝග සඳහා වන කිලෝග්‍රෑම් 50 පොහොර මිටියකට රජයට දැරීමට සිදුව ඇති මිල රුපියල් 2000 කි. මෙවර මහ කන්නයේ වගා කිරීමට අපේක්ෂිත කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 8 කට ආසන්නයි. ඒ සඳහා යුරියා මෙට්ට්‍රික්ටොන් 245,000 ක්, එම් ඕ පී මෙට්ට්‍රික් ටොන් 75,000 ක් සහ ටී එස් පී වර්ගයේ පොහොර මෙට්ට්‍රික් ටොන් 65,000 කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වන බවට ඇස්තමේන්තු කර ඇත. මේ අතර ජාත්‍යන්තර වෙළෙඳපොළේ පොහොර මිල ගණන් ඉහළ ගිය ද පොහොර සහනාධාරයට කිසිදු බලපෑමක් නොවන බව කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ක්‍රියාත්මක වන පොහොර සහනාධාර ප්‍රතිපත්තිය කිසිදු අයුරකින් හෝ වෙනස් නොකරන බවයි.
2018-10-13T19:47:10.000Z
දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් නොකර, රට හා ජාතිය පිළිබඳ වගකීමකින් කටයුතු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් !
ජනපතිගෙන් ඉල්ලීමක් !
COLOMBO (News 1st) - දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් කිරීම වෙනුවට රටත්, ජාතියත් පිළිබඳ වගකීමකින් කටයුතු කරන්නැයි තමන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමිනි. එම පරිපාලන ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 445 ක් වනු ඇත. වාණිජ බැංකු, තැපැල් කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාලය, ග්‍රාම නිලධාරී කාර්යාල ඇතුලු ආයතන රැසකින් මෙය සමන්විත වේ.
2018-10-13T19:37:45.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහල ප්‍රථම වතාවට කෘතිම දණහිස් බද්ධ කිරීමක් සිදු කරයි: තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහල් ඉතිහාසයේ ප්‍ර‍ථම වතාවට කෘතිම දණහිස් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමට වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වී තිබේ. පැය දෙකයි මිනිත්තු 30ක කාලයක් මෙම ශල්‍යකර්මය සිදු කර ඇති අතර විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඊට එක් විය. 2. සා/පෙළ හා උ/පෙළ විභාග දෙසැම්බර් පැවැත්වීමට රජයේ අවධානය: සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ය. 3. උදා ගම්මාන ව්‍යාපෘතියට ඉන්දීය රජයෙන් රුපියල් ලක්ෂ 6000ක්: ඉන්දීය රජය විසින් උදා ගම්මාන ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 6000ක මුදල් ආධාරයක් ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් බර්නාඩ් වසන්ත යන මහත්වරු එක් ව සිටියහ. 4. විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වියදම් බිලියන ගණනක් වුවත් බොහෝ වැඩ කොන්ත්‍රාත් පදනමට:ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික මෙහෙයුම් වියදම් ගත වූ වසර කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පසුගිය දා කොන්ත්‍රාත් පදනම මත සිටි සේවකයින් 6759 දෙනෙකු ස්ථිර සේවයට බඳවා ගැනීම, වර්ෂ තුනකට වරක් සියයට 25ත් 30ත් අතර අගයකින් සිදු වන වැටුප් වැඩි කිරීම් මෙම වියදම් ඉහළ යාමට බලපා තිබේ. මෙතරම් විශාල මුදලක් විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් වැය කරන පසුබිමක් තුළ විදුලිබල මණ්ඩලය හරහා සිදු කළ හැකි බොහෝ කටයුතු අද සිදු කෙරෙන්නේ පෞද්ගලික කොන්ත්‍රාත් මතයි. 5. රුපියල් කෝටි 3 ක හෙරොයින් රැගෙනා ආ විදේශිකයා කටුනායකදී අත්අඩංගුවට: රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ඒමට තැත්කළ පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. ජාත්‍යන්තර විවේචන මැද නව සාමාජික රාජ්‍යයන් 18 ක් එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට එක්වෙයි: එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව රාජ්‍යන් 18 ක් එක් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ ඊයේ පැවැති ඡන්ද විමසීමකදී මෙම නව රාජ්‍යන් 18 ට තේරි පත් වී ඇති බවයි. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 31ක ජයක්: ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය එංගලන්තය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 31කින් ජය ගත්තේ ය.
2018-10-13T11:30:10.000Z
තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහල ප්‍රථම වතාවට කෘතිම දණහිස් බද්ධ කිරීමක් සිදු කරයි
තෙල්දෙණිය මූලික රෝහල දණහිස් බද්ධ කිරීමක් සිදු කරයි
COLOMBO (News 1st) - තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහල් ඉතිහාසයේ ප්‍ර‍ථම වතාවට කෘතිම දණහිස් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමට වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වී තිබේ. මීට මාස දෙකකට පමණ පෙර සියලු පහසුකම්වලින් සමන්විත නවතම ශල්‍යාගාරයක් තෙල්දෙණිය රෝහලේදී විවෘත කිරීමෙන් පසු මෙම සැත්කම කිරීම විශේෂත්වයකි. සැත්කමට භාජනය කර තිබෙන්නේ තෙල්දෙණිය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 52ක අයෙකි. පැය දෙකයි මිනිත්තු 30ක කාලයක් මෙම ශල්‍යකර්මය සිදු කර ඇති අතර විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඊට එක්වී තිබේ.
2018-10-13T11:17:40.000Z
සා/පෙළ හා උ/පෙළ විභාග දෙසැම්බර් පැවැත්වීමට රජයේ අවධානය
සා/පෙළ හා උ/පෙළ විභාග දෙසැම්බර් පැවැත්වීමට අවධානය
COLOMBO (News 1st) - සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ 134 වන ගුණ සමරුව වෙනුවෙන් තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමිනි.
2018-10-13T11:11:28.000Z
අභිරහස් තෙල් සූත්‍රයට එරෙහිව බිබිලෙන් මතු වූ විරෝධය...
අභිරහස් තෙල් සූත්‍රයට එරෙහිව බිබිලෙන් මතුවූ විරෝධය
COLOMBO (News 1st) - අගමැති හා මුදල් ඇමතිත් නොදන්නා අබිරහස් ඉන්ධන මිල සූත්‍රය... වගකිව යුතු අය මිල සූත්‍රය නොදන්නවා වූණාට ඒ මිල සූත්‍රය අනුව පසුගිය 10 වන දා තුන්වන වරටත් ඉන්ධන මිල ඉහළ දැමිණි. ඊට එරෙහිව මේ වන විට විවිධ විරෝධතා එල්ල වෙමින් පවතියි. මාස 03ක් පුරා රටට හෙළි නොකළ මිල සූත්‍රය අනුව පසුගිය 10 වන දා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් ද, ඔක්ටේන් 95 ‍පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8 කින් ද ඉහළ දැමිණි. ඊට සමගාමීව ලංකා අයි.ඕ.සී. සමාගම ද පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් 10 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ. ඔවුන්ගේ මිල සංශෝධනය අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 172කි. එය ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට වඩා රුපියල් 03ක වැඩි වීමකි. එමෙන් ම ලංකා ඛණිජ තෙල් සංස්ථාව මෙවර මිල සංශෝධනයට යටත් නොකර රුපියල් 123 මිලටම පවත්වාගෙන යන ඔටෝ ඩීසල් ලීටරයක් ලංකා අයි.ඕ.සී. සමාගමේ අලෙවි කරන්නේ රුපියල් 129කට ය. මේ අතර මිල සංශෝධනයට විරෝධය පළ කරමින් බිබිල නගරයේ ත්‍රිරෝද රථ, වෑන් රථ, ලොරි රථ ඇතුළු ප්‍රවාහන රථ සංගම් අද සිය සේවාවන්ගෙන් ඉවත්ව නගරය පුරා විරෝධතා රථ පෙළපාලියක නිරත විය. පසුව නගර මධ්‍යයේදී විරෝධතාවක් ද පැවැත්විණි.
2018-10-13T10:05:55.000Z
උදා ගම්මාන ව්‍යාපෘතියට ඉන්දීය රජයෙන් රුපියල් ලක්ෂ 6000ක්
උදා ගම්මාන ව්‍යාපෘතියට ඉන්දීය රජයෙන් ලක්ෂ 6000ක්
COLOMBO (News 1st) - සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවූ දිවයිනේ 138 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත් කෙරිණි. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. හම්බන්තොට ගොන්නෝරුව ප්‍රදේශයේ ඉදිකළ මෙම උදා ගම්මානය සත්සුරුගම ලෙසින් නම් කෙරිණි. නිවාස ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 204කි. මෙහිදී ඉන්දීය රජය විසින් උදා ගම්මාන ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 6000ක මුදල් ආධාරයක් ලබා දීමේ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් බර්නාඩ් වසන්ත යන මහත්වරු එක්ව සිටියහ. සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය විසින් මෙම මුදල් ආධාරය ලබා දී තිබේ. එම ආධාරවලින් උතුරු සහ දකුණු පළාත්වල ගම්මාන 50ක් ඉදිකිරීමට නියමිත ය.
2018-10-13T09:25:44.000Z
විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වියදම් බිලියන ගණනක් වුවත් බොහෝ වැඩ කොන්ත්‍රාත් පදනමට
විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ ඇයි?
COLOMBO (News 1st) - ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික මෙහෙයුම් වියදම් ගත වූ වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. විදුලිබල මණ්ඩලයේ ආදායම් වියදම් වාර්තාවක් අවසන් වරට ඉදිරිපත් වී ඇත්තේ 2015 වර්ෂයේදී ය. එම වර්ෂයේදී බිලියන 42ක් පමණ වූ විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් වියදම 2017/2018 වර්ෂ වන විට බිලියන 47 ඉක්මවා ඇති බවට තොරතුරු වාර්තා වේ. එනම් එක් සේවකයෙකු වෙනුවෙන් වන මාසික වියදම දළ වශයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න ය. පසුගියදා කොන්ත්‍රාත් පදනම මත සිටි සේවකයින් 6759 දෙනෙකු ස්ථිර සේවයට බඳවා ගැනීම, වර්ෂ තුනකට වරක් සියයට 25ත් 30ත් අතර අගයකින් සිදු වන වැටුප් වැඩි කිරීම් මෙම වියදම් ඉහළ යාමට බලපා තිබේ. මෙතරම් විශාල මුදලක් විදුලිබල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් වැය කරන පසුබිමක් තුළ විදුලිබල මණ්ඩලය හරහා සිදු කළ හැකි බොහෝ කටයුතු අද සිදු කෙරෙන්නේ පෞද්ගලික කොන්ත්‍රාත් මත ය. විදුලි රැහැන් ආශ්‍රිත ගස්වල අතු කැපීම, නව රැහැන් එළීම, නව විදුලි මනු ස්ථාපනය කිරීම, විදුලි කණු නිෂ්පාදනය, විදුලි රැහැන් ඇදීමට අදාළ කොටස් හා උපාංග නිෂ්පාදනය වැනි දේ පවා කොන්ත්‍රාත් පදනම මත සිදු කෙරේ. මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් සිදු කරන වියදම් ඉහළ ගොස් ඇති බව සඳහන් වූ නමුත් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, කම්කරු මට්ටමේ සිටින සේවකයින්ගේ රැකියාවට අවශ්‍ය අත්වැසුම් වැනි මූලික මෙවලම් පවා නිසි පරිදි ලබා දීමට පාලනාධිකාරිය අසමත් වී ඇති බව ය. කෙසේ නමුත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත ඉහළ මිලට සූඛෝපභෝගී වාහන භාවිත කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පෙන්වා දෙයි. මේ අතර විදුලිබල මණ්ඩලය අවාසි සහගත ලෙස එළැඹ ඇති ගිවිසුම් මත විදුලිය මිලදී ගැනීම තුළ ද මේ වන විට විශාල මූල්‍යමය පාඩුවක් සිදු වෙමින් පවතියි. ඊට හේතුව විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලගාර සඳහා සිදු කරන ඇතැම් ගෙවීම් ඩොලර් පදනම මත සිදු කිරීමට එකඟ වී තිබීම ය. ගත වූ කෙටි කාලය තුළ අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් පෞද්ගලික බලාගාර සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. මෙහි ඇති අනෙක් ගැටලු සහගත කරුණ නම් දේශීය පෞද්ගලික බලාගාරවලට ඩොලර්වලින් ගෙවීම් සිදු කිරීමට ඇති අවශ්‍යතාව කුමක් ද යන්න යි.
2018-10-13T09:01:57.000Z
යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදන සමාගමෙන් 10%ක් ඉල්ලුවේ කවුද?
දුම්රිය නිෂ්පාදන සමාගමෙන් 10%ක් ඉල්ලුවේ කවුද?
COLOMBO (News 1st) - යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියට ඉඩ ලබා දීම සඳහා කොමිස් මුදල් ඉල්ලූ බව එම සමාගමේ නියෝජිතයෝ අද යළිත් ප්‍රකාශයක් කළහ. මේ පිළිබඳව මීට පෙර අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ද සම්බන්ධයක් ඇතැයි සඳහන් විය. කෙසේ වෙතත් ඔහු ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේ ය.
2018-10-13T06:17:24.000Z
ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 31ක ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 31ක ජයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය එංගලන්තය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 31කින් අද ජය ගත්තේ ය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ජෝ රූට් ලකුණු 71ක් රැස් කළ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් ලකුණු 92යි. එංගලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස් කළහ. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පන්දුවාර 10කදී එක් නිලකුණ පන්දුවාරයක් ද සමගින් ලකුණු 44 ට කඩුලු 5ක් දවා ගත්තේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 279ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 31 කදී බිඳ වැටිණි. කුසල් ජනිත් ලකුණු 30යි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 140ක් රැස් කර ගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල විය.
2018-10-13T05:01:52.000Z
හැටන්, නෝවුඩ් මාර්ගය නිව් වැලිගම ප්‍රදේශයෙන් වසා දැමේ
හැටන්, නෝවුඩ් මාර්ගයේ ගිලා බැසීමක්
COLOMBO (News 1st) - හැටන්, මස්කෙළිය, නෝවුඩ් මාර්ගය නිව් වැලිගම ප්‍රදේශයෙන් ගිලා බැසීම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා මතුව තිබේ. පොලීසිය සඳහන් කළේ, මේ වන විට එම ස්ථානයෙන් මාර්ගය වසා දමා ඇති බව ය. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
2018-10-13T03:01:14.000Z
උපරිම මිල ඉක්මවා සීනි අළෙවි කරන වෙළෙඳුන් සොයා දීපව්‍යාප්තව වැටලීම්
වැඩි මිලට සීනි අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම්
COLOMBO (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි සඳහා පැනවූ උපරිම සිල්ලර මිල උල්ලංඝණය කරන වෙළෙඳුන් සොයා දීපව්‍යාප්ත වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. උපරිම මිල අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 100 ක මිලකටත්, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 105 කටත් අළෙවි කළ යුතුයි. එසේම කිසිම ආනයනකරුවෙකු සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 92 කට වඩා වැඩි මිලකට වෙළෙඳාම් නොකළ යුතු බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති අනුර මැද්දෙගොඩ මහතා සඳහන් කළේ, එම මිල ගණන් ඉක්මවා සීනි අළෙවි කරන ස්ථාන පිළිබඳව පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය දැනුවත් කරන ලෙසයි.
2018-10-13T01:53:35.000Z
'වෛශ්නාවී' හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට වරම් ලබයි
'වෛශ්නාවී' ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට වරම් ලබයි
COLOMBO (News 1st) - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛශ්නාවී සිනමා පටය වියට්නාම හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට වරම් ලබා තිබේ. ඒ, ලෝක සිනමා කාණ්ඩය යටතේයි. මේ අනූව ඔක්තෝබර් 27 වැනි දා සිට 31 වැනි දා දක්වා පැවැත්වෙන හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී වෛශ්නාවී සිනමා පටය තිරගත වනු ඇති. ඒ සඳහා වෛශ්නාවී සිනමා පටයේ ඔසඳගේ චරිතය නිරූපණය කරන ජනප්‍රිය රංගන ශිල්පී තුමිඳු දොඩංතැන්න සහභාගීවීමට නියමිත ය.
2018-10-13T01:03:24.000Z
ඩ්‍රැගන් ෆෘට් ගොවීන්ට පණිවුඩයක් !
ඩ්‍රැගන් ෆෘට් ගොවීන්ට පණිවුඩයක් !
COLOMBO (News 1st) - අපනයනය ඉලක්ක කර ගනිමින් ඩ්‍රැගන් ෆෘට් වගා කරන ගොවීන් දිරි ගැන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ යටතේ රතු සහ කහ ප්‍රබේධයන්ගේ ඩ්‍රැගන් ෆෘට් බීජ ගොවින්ට ලබාදීමට පියවර ගනු ඇති. ගොවීන්ගේ අදායම් ඉහළ නැංවීම මෙහි අරමුණයි.
2018-10-13T00:40:19.000Z
සහල් මිලදී ගැනීමේදී ඔබ මේ පිළිබඳ දැනුවත් ද?
සහල් මිලදී ගැනීමේදී ඔබ මේ පිළිබඳ දැනුවත් ද?
COLOMBO (News 1st) - වර්ණ මිශ්‍රිත සහල් වර්ග අළෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවර්ණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, විශේෂයෙන් රතු කැකුළු සහල් වෙනුවට, වර්ණ කළ වෙනත් සහල් වර්ග වෙළෙඳපොළේ පවතින බැවින් සහල් මිලදී ගැනීමේදී සැළකිලිමත්වන ලෙසයි. මේ වනවිට පස්සර, අනුරාධපුර, කුරුණෑගල ඇතුලු ප්‍රදේශ රැසකින් ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු අණාවර්ණය වී තිබේ.
2018-10-12T21:54:31.000Z
වෙන්නප්පුවේ පියෙකු තම පුතා ඝාතනය කරයි
වෙන්නප්පුවේ පියෙකු තම පුතා ඝාතනය කරයි
COLOMBO (News 1st) - වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේදී පියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පුත්‍රයා ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදු ව ඇති බවයි. ඝාතනයට ලක් ව ඇත්තේ, 30 හැවිරිදි උල්හිටියාව දකුණු කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සැකකරු පියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.
2018-10-12T22:30:16.000Z
රුපියල් කෝටි 3 ක හෙරොයින් රැගෙනා ආ විදේශිකයා කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටි 3 ක හෙරොයින් ගෙන ආ විදේශිකයාට වැඩවරදී
COLOMBO (News 1st) - රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ඒමට තැත්කළ පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කළ පරීක්ෂාවකදීයි. ඔහු සතුව තිබි සොයා ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 426 ක් ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෝහා කටාර් සිට මෙරටට පැමිණ 38 හැවිරිදි පාකිස්ථාන ජාතිකයෙකි. ඔහු සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක් සකසා එම තොගය රැගෙන ඒමට තැත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. මේ අතර වීරගුල පොලිසියේ නිලධාරීන් උදුගොඩ රුක්ගහවිල ප්‍රදේශයේ නිවසක කළ පරීක්ෂාවකදී හෙරොයින් ග්‍රැම් 23 යි මිලිග්‍රැම් 500 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. 29 හැවිරිදි සැකකරු ළඟ තිබි රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද සොයා ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. මේ අතර කෙසෙල්වත්ත කැඩිච්චවත්ත ප්‍රදේශයේ හෙරොයින් ග්‍රැම් 19 යි මිලිග්‍රැම් 960 ක් සමග 33 හැවිරිදි සැකකරුයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
2018-10-12T21:17:36.000Z
ජාත්‍යන්තර විවේචන මැද නව සාමාජික රාජ්‍යයන් 18 ක් එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට එක්වෙයි
මානව හිමිකම් කවුන්සිලයට නව රාජ්‍යන් 18 ක් එක්වෙයි
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව රාජ්‍යන් 18 ක් එක් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ ඊයේ පැවැති ඡන්ද විමසීමකදී මෙම නව රාජ්‍යන් 18 ට තේරි පත් වී ඇති බවයි. ඒ අනුව මෙම නව රාජ්‍යන් 18 ට වසර තුන බැගින් වූ ධූර කාල දෙකක් හිමි වනු ඇති. කෙසේ වෙතත් හියුමන් රයිට් වොච් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, නව සාමාජිකත්වය ලැබු ඇතැම් රටවල් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ. පිලිපිනය, එරිත්‍රියාව, බහරේන් සහ කැමරුන් වැනි රාජ්‍යන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට පත්වීම පිළිබඳව එම විරෝධය එල්ල වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිලිපිනය, එරිත්‍රියාව, බහරේන් සහ කැමරුන් ආශ්‍රිතව බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝණයවීමේ සිදුවිම් වාර්තාවීම හමුවේ මෙලෙස විරෝධය එල්ල වී ඇති බවයි.
2018-10-12T20:46:43.000Z
ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි එක් දින ක්‍රිකට් තරගය අද දඹුල්ලේදී
ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි එක් දින තරගය දඹුල්ලේදී
ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. නිව්ස්ෆස්ට් දඹුල්ල ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රදීප් ගුණවර්ධන ප්‍රකාශ කළේ, ක්‍රීඩාංගණය ආශ්‍රිතව යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බව ය. මේ අතර අද තරගයේදි ලකුණු 275 කට වඩා අඩු සංඛ්‍යාවකට ප්‍රතිවාදී එංගලන්තය සීමා කිරීමට උත්සාහ කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය පවසයි. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝ රූට් පැවසූවේ, ශ්‍රී ලංකා තණතිලිවල සාර්ථක ලෙස ලකුණු රැස් කළ හැකි බවට සනාථ කිරීමට තම කණ්ඩායම උත්සාහ කරන බව ය. ශ්‍රී ලංකා පිතිකරු උපුල් තරංග එක්දින ලකුනු 7000 සීමාව පසු කිරීමට තව ත් ලකුණු 64 ක් පසු පසින් සිටි. මේ අතර එංගලන්තයේ ජොනී බෙයාස්ටෝව්ට මේ වසර තුළ එක්දින ක්‍රිකට් ලකුණු 1000 සීමාව පසු කිරීමට තව ත් අවශ්‍යව ඇත්තේ ලකුණු 5ක් පමණි. 2014 වසරෙන් අනතුරුව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව කිසිදු එක්දින ක්‍රිකට් තරගයක් ජයගෙන නොමැත. එම නිසා අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇති. මෙම තරගය අද උදෑසන 10.00 ට ආරම්භවීමට නියමිත වේ. සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ තරගයේ සියලු තොරතුරු සජීවි ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.
2018-10-12T20:29:50.000Z
අධිවේගීයේ Electronic ක්‍රමවේදයෙන් ගෙවීම් කරන පාරිභෝගිකයින්ට 10% ක වට්ටමක්
Electronic ගෙවීම් කරන පාරිභෝගිකයින්ට 10% ක වට්ටමක්
COLOMBO (News 1st) - අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය භාවිත කරන පාරිභෝගිකයින්ට 10% ක වට්ටමක් ලබාදෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අධිවේගී මාර්ග නඩත්තු සහ කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ, ගෙවීම් දොරටුවලදී තම වාහනය නතර කිරීමකින් තොරව මෙම ක්‍රමවේදයෙන් මුදල් ගෙවිය හැකි බව ය. කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පමණක් දැනට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක අතර දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ද එය කඩිනමින් හඳුන්වා දෙන බව ඔහු සඳහන් කළේ ය. අධිවේගී මාර්ග සඳහා ඉලෙක්ට්‍රොනික් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය සඳහා 15,000 කට අධික පාරිභෝගිකයින් පිරිසක් ලියාපදිංචි වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
2018-10-12T20:03:56.000Z
"අරුවක්කාරුවලට කොළඹ කසළ බැහැර කිරීමට ඉඩ දෙන්නේ නැහැ" - රංගේ බණ්ඩාරගෙන් ප්‍රකාශයක්
අරුවක්කාරුවලට කොළඹ කසළ බැහැර කරන්න ඉඩ දෙන්නේ නැහැ!
COLOMBO (News 1st) - කොළඹ මහ නගර සභාවේ කසළ පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයට බැහැර කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු කියා සිටියේ, ඊට එරෙහිව ජනතාව නැගී සිටීම සාධාරණ බවයි. මේ අතර අරුවක්කාරු ප්‍රදේශයට කසළ දැමීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඊයේ දිනයේත් ප්‍රදේශවාසින් ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.
2018-10-12T19:55:24.000Z
දිවයිනේ ප්‍රදේශ රැසකට අද ත් මිලිමීටර් 75 ඉක්මවූ වැසි
අද ත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි...
COLOMBO (News 1st) - අද දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අයහපත් කාලගුණයෙන් නිවාස හානිවූ පුද්ගලයින් සඳහා රුපියල් 10,000 ක අත්තිකාරම් මුදලක් ලබාදීම ආරම්භ කර ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනු ඇත. එහි අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පැවසුවේ, ඔවුන්ගේ නිවාස සඳහා පූර්ණ තක්සේරුවක් සිදුකර වන්දි ලබාදෙන තෙක් එම අත්තිකාරම් ලබාදෙන බවයි. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ 4000 කට ආසන්න පිරිසක් තවදුරටත් කඳවුරුගත ව සිටින බවය. කොළඹ නගරය ආශ්‍රිත ගංවතුර පාලනය සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතා පවසා ඇත. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, කැලණි ගඟ පහළ මිටියාවතේ වම් ඉවුර සහ කොළඹ නගරය ආශ්‍රිත ගංවතුර පාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘති වාර්තාවක් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
2018-10-12T19:44:38.000Z
ෂීෂෙල්ස් අත්අඩංගුවෙන් නිදහස ලැබූ ධීවරයින් පිරිස අද දිවයිනට
ෂීෂෙල්ස්වල අත්අඩංගුවේ සිටි ධීවරයින් අද දිවයිනට
COLOMBO (News 1st) - ෂීෂෙල්ස් රාජ්‍යයේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලංකික ධීවරයින් 6 දෙනෙකු නිදහස් කර ඇත. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ, පසුගිය දා ජනාධිපතිතුමා එරට සිදුකළ සංචාරයේදී කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිසට නිදහස ලැබී ඇති බවයි. මේ අතර බෙංගාල බොක්ක ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරතව සිටියදී අතුරුදන්වූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු ගමන් ගත් දුලාජ් පුතා ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව සිටින බවට තොරතුරු අනාවරණවී ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ, ඉන්දිය රජය මගින් සැහැල්ලු ගුවන් යනාවක් යොදවා සිදුකළ විමර්ශනලදී එම ධීවරයින් සිටින ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ය.
2018-10-12T19:31:12.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. නලින් පෙරේරා අගවිනිසුරු ධූරයේ දිවුරුම් දෙයි: නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා මහතා ඊයේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 2. සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක්: අද සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 100 ක මිලකටත්, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑම්යක් රුපියල් 105 ත් අළෙවි කළ යුතුය. 3. හම්බන්තොට, ලුණුගම්වෙහෙර බස් රථ අනතුරින් 80 දෙනෙකුට තුවාල: හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස්නැවතුම්පොළ අසළ බස් රථ දෙකක් එකිනෙක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව පුද්ගලයින් 80 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. 4. පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් බව හෙළිවෙයි: පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. විදෙස් පුවත් 5. ලොව දීර්ඝතම ගුවන් ගමන සාර්ථකව අවසන්: ලොව දීර්ඝතම ගුවන් ගමන සටහන් කරමින් සිංගප්පූරුවෙන් ඊයේ පියාසර කිරීම ඇරඹූ මගී ගුවන් යානය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට නිරුපද්‍රිතව ගොඩබස්වා තිබේ. ඒ, පැය 17 යි මිනිත්තු 25 ක ගුවන් කාලයකින් අනතුරුවයි. දවසේ සිත්තම...
2018-10-12T07:53:36.000Z
නලින් පෙරේරා අගවිනිසුරු ධූරයේ දිවුරුම් දෙයි
නලින් පෙරේරා අගවිනිසුරු ධූරයේ දිවුරුම් දෙයි
COLOMBO (News 1st) - නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඒ, අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදීයි. ප්‍රියදාස් ඩෙප් මහතා අගවිනිසුරු ධූරයෙන් විශ්‍රාමයාම හේතුවෙන් පුරප්පාඩු වූ එම ධූරයට නලීන් පෙරේරා මහතාගේ නම ජනාධිපතිතුමා විසින් නාම යෝජනා කිරීමෙන් අනතුරුව අද දහවල් රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එය අනුමත කළේ ය. මේ අනූව නලින් පෙරේරා මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ 46 වැනි අගවිනිසුරුවරයා ලෙස දිවුරුම්දී ඇත. 2016 මාර්තු 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වන ඔහු නීතිඥවරයකු ලෙස පත්වන්නේ 1977 අගෝස්තු 25 වැනි දායි. නලින් පෙරේරා මහතා මූලික හා ද්විතික අධ්‍යාපනය හදාරනු ලැබුවේ කෝට්ටේ සහ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලවලිනි. 1980 වර්ෂයේදී අධිකරණ ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු 1984 වර්ෂයේදී මහේස්ත්‍රාත්වරයකු ලෙස පත්වූවේ ය. ගල්කිස්ස, වලස්මුල්ල, කළුතර සහ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ නලින් පෙරේරා මහතා 1990 වර්ෂයේදී දිසා විනිසුරුවරයකු සහ අතිරේක දිසා විනිසුරුවරයකු ලෙස පත්වීම් ලබා තිබේ. ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ සංගමයේ කථිකාචාර්යවරුන්ගේ කමිටුවේ සාමාජිකයෙකු වන නලින් පෙරේරා මහතා කැනඩාවේ පොදු රාජ්‍ය මණ්ඩලීයය අධිකරණ අධ්‍යාපන ආයතනයේ උසස් අධ්‍යාපනය හැදැරූ අයෙකි. 2001 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වන ඔහු රත්නපුර, මහනුවර සහ නුවරඑළිය මහාධිකරණවල විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබේ. මහනුවර සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණයේ පළමු විනිසුරුවරයකු ලෙස ද නලින් පෙරේරා මහතා තෝරාපත්කර ගැණිනි.
2018-10-12T06:10:41.000Z
අද මධ්‍යම රාත්‍රියේ සිට සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක්
සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක්
COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 100 ක මිලකටත්, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑම්යක් රුපියල් 105 ත් අළෙවි කළ යුතුයි. එසේම කිසිම ආනයනයකරුවෙකු සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 92 කට වඩා වැඩි මිලකට වෙළෙඳාම් කිරීම නොකළ යුතු බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය එම නිවේදනයෙන් පෙන්වා දෙයි. ඊට අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇති අතර උපරිම මිල ඉක්මවා සීනි අළෙවි කරන්නන්, සැපයුම්කරුවන්, ආනයනකරුවන් හා බෙදාහරින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කර තිබේ. සුදු සීනි මිල වැඩිවීම පිළිබඳව ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙම තීරණය ගත් බව පරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
2018-10-12T05:58:46.000Z
ලොව දීර්ඝතම ගුවන් ගමන සාර්ථකව අවසන්
ලොව දීර්ඝතම ගුවන් ගමන..
ලොව දීර්ඝතම ගුවන් ගමන සටහන් කරමින් සිංගප්පූරුවෙන් ඊයේ පියාසර කිරීම ඇරඹූ මගී ගුවන් යානය අද අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට නිරුපද්‍රිතව ගොඩබස්වා තිබේ. ඒ, පැය 17 යි මිනිත්තු 25 ක ගුවන් කාලයකින් අනතුරුවයි. කෙසේවෙතත් මෙම ගුවන් ගමන සඳහා පැය 19 ක කාලයක් ගතවනු ඇතැයි මීට පෙර පුරෝකතනය කර තිබුණි. ගමනේ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 16,700 ක් වනු ඇත.
2018-10-12T05:20:57.000Z
19 වසරකට පසු පාසල් සිසුවෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම
පාසල් සිසුවෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම
COLOMBO (News 1st) - අවුරුදු 14 ක් වයසැති පාසල් සිසුවෙකු පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට ගම්පහ මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබේ. ඒ, ඝාතනය සිදුකර වසර 19 කට පසුවයි. ඝාතනය සිදුකළ අවස්ථාවේදී තව ත් දෙදෙනෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාවට බරපතළ වැඩ ඇති ව වසරක් බැගින් සිර දඬුවම් හා රුපියල් 1000 ක දඩයක් වරදකරුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා තීන්දු කළේ ය. 1996 වර්ෂයේ ජුලි මස 31 වන දා නිට්ටඹුව, නිකහැටිකන්ද ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු ව තිබේ. සුසාන භූමියක් අසළදී අදාළ තැනැත්තා බිය ගැන්වීමේදී ඇති වූ ආරවුලකදී මෙම පිහි ඇණුම සිදු ව ඇති අතර අද මරණ දඬුවම නියම වූයේ 59 හැවිරිදි පස්දරු පියෙකුටයි.
2018-10-12T02:30:06.000Z
හම්බන්තොට, ලුණුගම්වෙහෙර බස් රථ අනතුරින් 80 දෙනෙකුට තුවාල
80 දෙනෙකුට තුවාල සිදු කළ බස් රථ අනතුර
COLOMBO (News 1st) - හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස්නැවතුම්පොළ අසළ බස් රථ දෙකක් එකිනෙක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව පුද්ගලයින් 80 කට අධික පිරිසක් තුවාල ලැබූහ. වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණුට මුහුණ ගැටී මෙම අනතුර සිදු ව තිබේ. අනතුර සිදුවන විට ඒ ආශ්‍රිතව මද වැසි තත්ත්වයක් ද පැවති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. අනතුරින් තුවාල ලැබූවන් හම්බන්තොට, ලුණුගම්වෙහෙර හා දෙබරවැව යන රෝහල්වලට ඇතුළත් කෙරිණි. අනතුරින් බස් රථ දෙකෙහිම, රියැදුරන් අතුළු පුද්ගලයින් 80 කට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ ය. මේ අතර හම්බන්තොට මූලික රෝහලේ 24 දෙනෙකුත්, දෙබරවැව ප්‍රදේශීය රෝහලේ 13 දෙනෙකුත් සහ ලුණුගම්වෙහෙර රජයේ රෝහලේ තිදෙනෙකුගෙත් නේවාසික ප්‍රතිකාර ලබනු ඇති.
2018-10-12T02:24:10.000Z
පුරප්පාඩු වී ඇති අගවිනිසුරු ධූරය සඳහා ජනපති යොමු කළ නාම යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
අගවිනිසුරු ධූරය සඳහා යොමු කළ නාම යෝජනාවට අනුමැතිය
COLOMBO (News 1st) - නව අගවිනිසුරු ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් කරන ලද නාම යෝජනාවට අද දහවල් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිය නිගමනය ජනාධිපතිවරයාට දන්වා යැවූ බව ය.
2018-10-12T00:59:23.000Z
අමෙරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් බාල්දු වෙයි
අමෙරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් බාල්දු වෙයි
COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දින වාර්තාගත අයුරින් අවප්‍රමාණය වී තිබේ. අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ බැංකුවල අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ, රුපියල් 173.20ක් ලෙස ය. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය දිනෙන් දින වාර්තාගත අයුරින් අවප්‍රමාණය වූ අතර ගෙවුණු දින කිහිපය තුළ එය තවදුරටත් අවප්‍රමාණය වනු දක්නට ලැබිණි. මේ අතර මෙරට වාණිජ බැංකුවල ද අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ, රුපියල් 173.20 ක් ලෙස ය.
2018-10-12T00:52:55.000Z
පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් බව හෙළිවෙයි
පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක්
COLOMBO (News 1st) - පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් ලෙස නම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වර්තමානයේ මෙරට පාසල් දරුවන් බහුතරයක් පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහි වී තිබේ. කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා සඳහන් කළේ, පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ මොළයේ සිදු වන වෙනස්වීම් සම්බන්ධයෙන් විද්‍යාඥයින් පරීක්ෂණ සිදු කර ඇති බව ය. ඔවුන් සිදු කළ පරීක්ෂණ තුළින් හෙළිව ඇත්තේ, හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ මොළයේ සිදු වන රසායනික වෙනස්කම්වලට හා සමාන වෙනස්කම් පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ මොළයේ සිදු වන බව ය.
2018-10-11T23:57:19.000Z
'මයිකල්' ෆ්ලොරිඩාහි ජන ජීවිතය අඩපණ කරයි
'මයිකල්' ෆ්ලොරිඩාහි ජන ජීවිතය අඩපණ කරයි
(News 1st) - අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශයට බලපෑ මයිකල් සුළි කුණාටුවෙන් නිවාස හා දේපළ රැසකට හානි සිදුව තිබේ. ෆ්ලොරිඩාහි ආණ්ඩුකාරවරයා පවසන්නේ, ඉන් ප්‍රාන්තයේ ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් කර ඇති බවත් බොහෝ පවුල් සඳහා සියලු දේවල් අහිමිව ඇති බවත් ය. සුළි කුණාටු අවදානම හමුවේ පුද්ගලයින් 370,000ක් ආරක්ෂිත ස්ථාන කරා යැවීමට කටයුතු කළ බව අමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි. මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් පසුගියදා ෆ්ලොරිඩා, ඇලබාමා, ජෝර්ජියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණි.
2018-10-11T23:33:21.000Z
වල්ලපට්ටා තොගයක් සමග ලාංකිකයෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
වල්ලපට්ටා තොගයක් සමග ලාංකිකයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 23ක් සමග ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, ඔහු බහරේන් හරහා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට සිටියදී අත්අඩංගුවට ගත් බව ය. සැකකරු ගමන් මලු 3ක සහ අත්බෑගයේ සඟවා මෙම වල්ලපට්ටා තොගය මෙරටින් රැගෙන යාමට උත්සහා දරා තිබිණි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 23කි.
2018-10-11T21:47:24.000Z
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
COLOMBO (News 1st) - කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඒ, කොස්ගම සිට පැමිණි දුම්රියක් කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය 3ක් විනාඩි 40 ක් පමණ ප්‍රමාද වන බව ය. කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය අලුත්වැඩියා කරන බව පාලක මැදිරිය සඳහන් කළේ ය.
2018-10-11T21:39:08.000Z
බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට
බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට
COLOMBO (News 1st) - බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට ඊයේ පස්වරුවේ මුහුණපා ඇති බව ය. මිය ගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ වයස අවුරුදු 49කි. මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.
2018-10-11T20:22:35.000Z
සභාග ආණ්ඩුව ගැන විසඳුමකින් තොරව ඒකාබද්ධ පක්ෂ නායක හමුව නිම වෙයි
සභාග ආණ්ඩුව ගැන විසඳුමකින් තොරව හමුව නිම වෙයි
COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. එම හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ, සභාග ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවරක් ගන්නා තුරු බලාපොරොත්තුවෙන් සිටින බව ය. මේ අතර පොදුජන පෙරමුණේ සම්මේලනයේදී එම පක්ෂයේ සාමාජිකත්වය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා මෙහිදී අවධාරණය කළේ ය.
2018-10-11T19:57:23.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ පස්වරුවේ ඒකමතිකව නිෂ්ප්‍රභ කළේ ය. 2. වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය මිහින් ලංකා ගුවන් සේවයට ලබා දුන් රුපියල් මිලියන 300ක ණය මුදල හා පොළිය ආපසු ගෙවා නැතැයි සමාගමේ ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය විය. 3. සයිටම් වෛද්‍ය සිසුවියක සම්බන්ධයෙන් දුන් අධිකරණ නියෝගය වෛද්‍ය සභාව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් එම සිසුවිය යළිත් අධිකරණය හමුවට ගොස් තිබේ. 4. එකම පවුලේ පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ විත්තිකරුවන් 10 දෙනෙකුට තංගල්ල මහාධිකරණයෙන් ඊයේ මරණ දඬුවම නියම කෙරිණි. 5. ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. විදෙස් පුවත් 6. කාර්මික දෝෂයකට ලක් වූ ගඟනගාමීන් දෙදෙනෙකු රැගත් කැප්සූලය සහිත රුසියානු සොයූස් රොකට්ටුව ආරක්ෂිත ලෙස යළි පෘථිවියට පතිත වී තිබේ. දවසේ සිත්තම...
2018-10-11T19:35:12.000Z
නව අගවිනිසුරුවරයෙකු තෝරා පත් කර ගැනීම අද
නව අගවිනිසුරුවරයෙකු තෝරා පත් කර ගැනීම අද
COLOMBO (News 1st) - අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත ය. ඒ අනුව නව අගවිනිසුරුවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ. ඒ, අද දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනාට ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් ජාවිඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමරන් යන මහත්වරුන් පත් කෙරිණි. අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියත්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්ෂ මහතාත් ව්‍යවස්ථා සභාවට පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පත් කර ඇත්තේ සුළු පක්ෂ නියෝජිතයා ලෙස ය. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මීට පෙර යෝජනා වී තිබිණි.
2018-10-11T11:33:46.000Z
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කඩා වැටීමට වගකිව යුත්තේ කවුරුන් ද?
ශ්‍රීලංකන් කඩා වැටීමට වගකිව යුත්තේ කවුරුන් ද?
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රීලංකන් කේටරින් සහ මිහින් ලංකා ආයතන තුළ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම අදත් රැස් විය. අද දින සාක්ෂි සටහන් වූයේ ජනාධිපති නීතිඥ සජිත් බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ආයතනය ලියාපදිංචි කළා යැයි කිසිදු සාක්ෂියක් නොමැතිව මහා භාණ්ඩාගාරයේ රුපියල් බිලියන 14.5ක මුදලක් 2006 සිට 2015 දක්වා යන කාල සීමාව තුළ මිහින් ලංකා ආයතනයට ලබා දී ඇති බව පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් අද කොමිසම හමුවේ පැවසුවා ය. මෙහිදී වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් නාවික සංවර්ධන අරමුදලින් මිලියන 300ක ණයක් මිහින් ලංකා ආයතනයට ලබා දී ඇති බව ද අනාවරණය විය. හිටපු ජනාධිපති, හිටපු භාණ්ඩාගාර ලේකම් සුමිත් අබේසිංහ සහ මිහින් ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අනුමැතිය ඇතුව මෙය ලබා ගෙන ඇති අතර මේ අයුරින් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය ණය මුදලක් ලබා දී ඇති ප්‍රථම අවස්ථාව ද මෙයයි. මේ ණය මුදලට අදාළ මිලියන 37ක පොළිය ද එවකට පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේන් බටගොඩ මහතාගේ නියෝග පරිදි කපා හැර තිබේ. 2006 සිට 2018 දක්වා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සම්පූර්ණ අලාභය රුපියල් බිලියන 143කි. මෙයට අමතරව දැනට ගෙවිය යුතු මුළු මුදල රුපියල් බිලියන 167කි. එවිට මේවායේ සම්පූර්ණ එකතුව රුපියල් බිලියන 280කි. මෙම මුදල 1% පොළී අනුපාතයක් යටතේ ආයෝජනය කළ හැකි වූවා නම් ප්‍රතිලාභය රුපියල් බිලියන 2.8ක් විය හැකි ය. 2% පොළී අනුපාතයක් යටතේ ප්‍රතිලාභය රුපියල් බිලියන 5.6ක් විය හැකි ය. 5% පොළී අනුපාතයක් යටතේ ප්‍රතිලාභය රුපියල් බිලියන 14ක් විය හැකි ය. 22% වෙළඳපොළ පොළී අනුපාතය යටතේ ප්‍රතිලාභය රුපියල් බිලියන 61.6ක් විය හැකි ය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කඩා වැටීමට වගකිව යුත්තේ කවුරුන් ද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරා, නිශාන්ත වික්‍රමසිංහද ? නොඑසේ නම් අග්‍රාමාත්‍යවරයාගේ උපදේශක, සුරේන් රත්වත්තේගේ සහෝදරයා ද?
2018-10-11T11:20:50.000Z
නෙකටුණුවැව දහම් පාසල් දරුවන්ට ගම්මැද්දෙන් නව ගොඩනැගිල්ලක්
නෙකටුණුවැව දහම් පාසල් දරුවන්ගේ සිහිනය සැබෑ වෙයි
COLOMBO (News 1st) - ජන හදවතට සංවේදී වූ ගම්මැද්ද වැඩ දහසක් අද අනුරාධපුර, නෙකටුණුවැව ජනතාවගේ තවත් බලාපොරොත්තුවක් සැබෑ කිරීමට හැකියාව ලැබිණි. අනුරාධපුර, නෙකටුණුවැව, සීප්පුකුලම දහම් පාසල් දරුවන්ගේ වගේම ආචාර්ය මණ්ඩලයේ එකම සිහිනය මල්ඵල ගන්වන්නට ගම්මැද්දට හැකියාව ලැබිණි. ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයට අනුබද්ධව ඇති මෙම දහම් පාසලේ දරුවන් 150ක් පමණ ඉගෙනුම ලබති. එම දරුවන් අඩක් සාදා නිම කළ ගොඩනැගිල්ල තුළ දහම් අධ්‍යාපනය ලැබුවේ මහත් අපහසුතාවකිනි. ගම්මැද්ද වැඩ දහසක් ව්‍යාපෘතිය මගින් අද පෙරවරුවේ දහම් පාසලේ අඩක් ඉදිකළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිමා කර සිසු අයිතියට පත් කළේ ය. මේ උත්සවයට නිව්ස්ෆස්ට් පරිපාලන අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද මහතා ඇතුළු නිව්ස්ෆස්ට් සාමාජිකයින් සහ එස්ලෝන් පුද්ගලික සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ඉන්දික ගීකියනගේ සහ වෙළෙඳ සන්නාම කළමනාකරු ඉසුරු ජයවීර යන මහත්වරු එක්ව සිටියහ. මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දැක්වූයේ එස්ලෝස් ආයතනය, ජේ.එස්. ගුණවර්ධන මහත්මිය හා එම්.පී.එස්. පෙරේරා මහත්මිය යි.
2018-10-11T10:26:10.000Z
ගුටි බැට හුවමාරුවකින් අවසන් වූ බළංගොඩ නගර සභා රැස්වීම
බළංගොඩ නගර සභාවේ ගුටි බැට හුවමාරුව
COLOMBO (News 1st) - බළංගොඩ නගර සභා රැස්වීම අද ගුටි බැට හුවමාරුවකින් අවසන් විය. ගැටුම ඇති වුණේ හිටපු සභාපතිවරයා හා වත්මන් සභාපතිවරයා අතර ය. බළංගොඩ නගර සභාව අද පෙරවරුවේ සභාපති චමික ජයමිණි වැවේගෙදර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විණි. ඉන්ධන මිල සුත්‍රය, ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය ආදී කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා රැස්වීමට පැමිණියේ කළු පටි පැළඳගෙන ය. සභාපතිවරයා පසුගිය සභාවාරයේ වාර්තාව ඉදිරිපත් කළ අතර හිටපු සභාපති නිමල් ගාමිණි වීරසිංහ මහතා එය අසත්‍ය වාර්තාවක් ලෙස සභාවට යෝජනා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය. සභාව පාලනය කිරීමට පොලීසිය පවා කැඳවීමට සිදු වූ අතර අවසානයේ රැස්වීම කල් තැබීමට සභාපතිවරයාට සිදු විය. පසුගිය දින කිහිපයේ දකුණු පළාත් සභාවේ සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ද මේ අයුරින් ගැටුම් ඇති විණි.
2018-10-11T09:36:08.000Z
සහෘද රසික රසිකාවන්ගේ කඳුළු මධ්‍යයේ රොනී ලීච් දැයෙන් සමුගනියි
රොනී ලීච් දැයෙන් සමුගනියි
COLOMBO (News 1st) - ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරට අද පස්වරුවේ රැගෙන ආ අතර ආගමික වතාවත් එහිදී සිදු කිරීමෙන් පසු අවසන් කටයුතු සිදු විය. ප්‍රසංගයක් සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වූයේ පසුගිය පළවෙනි දා ය. දේහය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට ඊයේ මෙරටට රැගෙන ආවේ ය. මිය යන විට ඒ මහතා 65 වන වියේ පසු වූ අතර ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. අද පස්වරු 2.00 තෙක් මහජන ගෞරවය සඳහා දේහය බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබිණි. දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් අද පැමිණියහ.
2018-10-11T09:23:06.000Z
වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය, මිහින් ලංකා වෙත දුන් මිලියන 300ක ණය ගෙවා නැතැයි හෙළි වෙයි
මිහින් ලංකා පිළිබඳව ජනපති කොමිසමේදී හෙළිදරව්වක්
COLOMBO (News 1st) - වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය මිහින් ලංකා ගුවන් සේවයට ලබා දුන් රුපියල් මිලියන 300ක ණය මුදල හා පොළිය ආපසු ගෙවා නැතැයි සමාගමේ ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අද අනාවරණය විය. එහිදී හෙළි වූයේ, මෙම ණය මුදලට අදාළව රුපියල් මිලියන 37ක පොළී ආදායමක් ගුවන් සේවා අමාත්‍යංශයට ගෙවිය යුතුව ඇති බව ය. නමුත් මෙම පොළිය යළි ගෙවිය යුතු නැතැයි ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ නියෝගය මත තීරණය කර තිබේ. ඔහු එවක මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කර ඇතැයි ද අද අනාවරණය විය. කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියකි.
2018-10-11T09:03:35.000Z
අධිකරණ නියෝගය වෛද්‍ය සභාව ක්‍රියාත්මක නොකිරීම නිසා සයිටම් වෛද්‍ය සිසුවිය යළිත් අධිකරණය හමුවට
සයිටම් වෛද්‍ය සිසුවිය යළිත් අධිකරණය හමුවට
COLOMBO (News 1st) - සයිටම් වෛද්‍ය සිසුවියක සම්බන්ධයෙන් දුන් අධිකරණ නියෝගය වෛද්‍ය සභාව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් එම සිසුවිය යළිත් අධිකරණය හමුවට ගොස් තිබේ. සයිටම් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුවියක ලියාපදිංචි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය මෙතෙක් ඉටු නොකිරීමෙන් අධිකරණයට කළ අපහාසය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නොවැම්බර් 16 අධිකරණයේ පෙනී සිටින ලෙස අද වෛද්‍ය සභාවට නොතීසි නිකුත් කෙරිණි. 2016 ජනවාරි 31 වන දා අභියාචනාධිකරණය දුන් තීන්දුව පසුව ශ්‍රේෂ්ඨාධිකරණය ද අනුමත කර තිබියදීත් තමන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකිරීම පිළිබඳව දිල්මා කසුන්දා සූරියාරච්චි මෙනෙවිය නැවත පෙත්සමක් ගොනු කරමින් අධිකරණයට කරුණු දන්වා තිබේ.
2018-10-11T08:57:16.000Z
හිරුණිකාට එරෙහිව සිදු කරන විමර්ශනය කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ද?
හිරුණිකාට නගන චෝදනාවේ ඇත්ත නැත්ත
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මග නැගුමින් රුපියල් කෝටි 2ක මුදලක් අයථා ලෙස ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් කරන බවට මේ දිනවල වාර්තා පළ වේ. සැබැවින්ම සිදුව ඇත්තේ කුමක් ද? මෙම සිදුවීමට අදාළව තොරතුරු රැසක් නිව්ස්ෆස්ට් වෙත ලැබී තිබේ. මග නැගුම මාර්ග කොන්ත්‍රාත් සමාගමේ සේවක සුබ සාධක සංගයේ ගිණුමකින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලන හා වෙනත් කටයුතුවලට යොදා ගෙන ඇතැයි පවසමින් ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පුවත්පත් කිහිපයක් ඊයේ සහ අද වාර්තා කළේ ය. මග නැගුම සුබ සාධක සංගමයේ සභාපති යැයි කියන ජේ.ජේ. වික්‍රමරත්න නමැත්තා 2016 වසරේ මාර්තු 17 වන දා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට යවා තිබූ ලිපියක සඳහන් වන්නේ 2014- 2015 කාල සීමාවේ තම සුබ සාධක අරමුදලේ ආදායම් වියදම් පිළිබඳව සිදු කළ විගණනයේදී ගැටලු මතුව ඇති නිසා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ය. නමුත් එහි කිසිදු ස්ථානයක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ නමක් සඳහන් නොවේ. ඇගේ නම සඳහන්ව ඇත්තේ රාජගිරිය නාවල පාරේ උත්සව භාණ්ඩ සපයන ආයතනයකට මෙම කාල සීමාවේ වරින් වර රුපියල් 243,000ක මුදලක් ගෙවීමට අදාළව නිකුත් කර ඇති බිල්පත්වල ය. මේ අනුව රුපියල් කෝටි දෙකකට ආසන්න ගනුදෙනුවක් ගැන විමර්ශනය කරන බවට පළ වන වාර්තා ගැටලු සහගත ය. උත්සව භාණ්ඩ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නමින් ඇනවුම් කළ බව බිල්පත්වල සඳහන් වුවත් ඇගේ අත්සනක් හෝ ඇය මෙම ගනුදෙනු අනුමත කළ බවක් බිල්පත්වල කිසිදු ස්ථානයක සඳහන්ව නොමැත. නමුත් වරින් වර රුපියල් 243,000ක මුදලක් මග නැගුම සේවක සුබ සාධක අරමුදලින් ප්‍රසන්න කුමාර නිස්සංක නමැති අයෙක් අත්සන් කර ලබා ගෙන තිබේ. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය ද මෙම ගනුදෙනුවට අදාළ ලිපි ලේඛනවල සඳහන් ය. වාර්තාවල පළ වන ආකාරයට රුපියල් කෝටි දෙකක මුදලක් මෙහිදී අරමුදලින් නිකුත් කර නොමැති අතර බිල්පත් 7ක් සඳහා නිකුත් කර තිබූ මුදල රුපියල් 243,000ක් පමණි. රුපියල් 243,000ක මුදලක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනය කුමක් ද? රටේ ජනතාව දන්නා නීතිය අනුව නම් මෙවැනි ගනුදෙනු බොහෝ විට විමසා බලන්නේ සමථ මණ්ඩලයෙනි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම මුදල් ගත් බවට ඇති සාක්ෂි, සාධක මොනවා ද? මේ උත්සහ දරන්නේ කාගේ හෝ වුවමනාවක් මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලන අනාගතය විනාශ කිරීමට ද?
2018-10-11T07:45:39.000Z
සොයූස් රොකට්ටුවේ ගඟනගාමීන් නිරුපද්‍රිතව පෘථිවියට...
අතරගමග නැවතුණු අභ්‍යවකාශ ගමන..
(News 1st) : කාර්මික දෝෂයකට ලක් වූ ගඟනගාමීන් දෙදෙනෙකු රැගත් කැප්සූලය සහිත රුසියානු සොයූස් රොකට්ටුව ආරක්ෂිත ලෙස යළි පෘථිවියට පතිත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කරමින් තිබූ සොයූස් රොකට්ටුව එහි බූස්ටරයේ හටගත් කාර්මික දෝෂයක් ‍හේතුවෙන් අකර්මන්‍ය වී ඇති බවයි. රුසියානු ජාතික ගඟනගාමී ඇලෙක්ස් ඔව්චිනින් සහ අමෙරිකානු ජාතික ගඟනගාමී නික් හේග් රැගත් මෙම රොකට්ටුව පතිතව ඇත්තේ, කසකස්ථානයටයි. මුදා ගැනීමේ කණ්ඩායම් සහ සෝදිසි කණ්ඩායම් මේ වනවිට රොකට්ටුව පතිත වූ ස්ථානය වෙත පිටත්ව ගොස් ඇති අතර නාසා ආයතනය පවසන්නේ, ගඟනගාමින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි. ගඟනගාමීන් දෙදෙනා මාස 6ක පමණ කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් විද්‍යාත්මක පර්යේෂණ රැසක් සිදු කිරීමට සැලසුම් කර තිබිණ.
2018-10-11T09:38:38.000Z
ගිනිඅවියක් සමග කළහකාරීව හැසිරුණු පොලිස් සැරයන්වරයා සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු අනාවරණය කරයි
කළහකාරීව හැසිරුණු පොලිස් සැරයන්වරයා කළ අනාවරණය...
COLOMBO (News 1st) - වැලි ප්‍රවාහන ලොරියක් සම්බන්ධ ගැටලුවක් මුල් කර ගෙන ගිනිඅවියක් රැගෙන පැය කිහිපයක් නොසන්සුන් ලෙස හැසිරුණ කළුතර, තෙබුවන පොලීසියේ සැරයන්වරයා සමාජ මාධ්‍ය ඔස්සේ සිද්ධිය පැහැදිලි කර තිබේ. තමන් පොලීසිය භාරයට ගත් වැලි ලොරියක් මුදාහැරීමට එරෙහිව විරෝධය පළ කරමින් නගරයට පැමිණ විරෝධය දැක්වූ තෙඹුවන පොලීසියේ සේවය කළ මෙම සැරයන්වරයා පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මේ වන විට ඇප මත මුදාහැර සිටියි.