date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-12-18T00:30:03.000Z
මැතිව්ස් හා මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා දෙවන ඉනිම ගොඩගනිති
මැතිව්ස් හා මෙන්ඩිස් ශ්‍රී ලංකා දෙවන ඉනිම ගොඩගනිති
COLOMBO (News 1st) : තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිව්වන දිනටත් නවසීලනත්යේ වෙලිංටන්හීදී පැවැත්විණ. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 20 ක් රැස් කරගෙන සිටියේ ය. කුසල් මෙන්ඩිස් අද සිය ටෙස්ට් දිවියේ 6 වන ශතකය වාර්තා කරමින් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 116කි. ඇන්ජෙලෝ මැතිව්ස් අද ඔහුගේ 9 වන ටෙස්ට් ශතකය වාර්තා කළ අතර අද දිනය සඳහා තරගය නතර කරන විට ඔහු නොදැවී ලකුණූ 117 ක් රැස් කරගෙන සිටියේ ය. කුසල් මෙන්ඩිස් හා ඇන්ජෙලෝ මැතිව්ස් යන දෙදෙනාම නවසීලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ශතකය මෙය වන අතර නවසීලන්තයට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි. කුසල් මෙන්ඩිස් හා ඇන්ජෙලෝ මැතිව්ස් අද දිනය නිමා වන විට ශ්‍රී ලංකා ඉණිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ ලකුණු සබඳතාව ලකුණු 246කි. එය වාර්තා අතරට එක්වන්නේ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාව ලෙසයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 1994 වසරේදී අසංක ගුරුසිංහ හා හෂාන් තිලකරත්න ගොඩනැගු ලකුණු 192 ක සබඳතාවයි. තවද කුසල් හා මැතිව්ස් මේ වන විට සිව්වන කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් ගොඩනැගු දෙවන ඉහළම සබඳතාවට ද හිමිකම් කියයි. කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 282කි. ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉණිම ක්‍රීඩා කළ සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 578 ක් රැස් කළේ ය. එහීදී ආරම්භක පිතිකරු ටොම් ලැතම් සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම වාර්තා කරමින් නොදැවී ලකුණු 264 ක් වාර්තා කිරීම විශේෂත්වයකි. අනතුරුව ලකුණු 296 ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක යන දෙදෙනා ම පිළිවෙළින් ලකුණු 10කට හා ලකුණු 3කට දවා ගැනීමට නවසීලන්ත වේගපන්දු යවන්නනෝ සමත් වූහ. ඉන් අනතුරුව පිටියට පැමිණි ධනංජය ද සිල්වාට ලකුණු රැස්කිරීමට නොහැකි විය. අද දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉණිමට වඩා කඩුලු 7 ක් අතැතිව ලකුණු 74 ක් පිටුපසින් සිටී.
2018-12-17T23:55:33.000Z
රට රැකියා දෙන බව කියා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
රට රැකියා දෙන බව කියා මුදල් වංචා කළ කතක් දැලේ
COLOMBO (News 1st) : කැනඩාවේ රැකියා සඳහා යවන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, නවගමුව ප්‍රදේශයේ නිවසක කුලී කාමරයක සැඟව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට පත්ව ඇත්තේ 46 හැවිරිදි කාන්තාවකි. ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 51 ක් ලැබී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී ග්‍රැම් 350 ක බරින් යුතු ස්වර්ණාභරණ ,බැංකු පාස් පොත් 50ක් ඒ.ටී.එම් කාඩ් පත් 50 ක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ එම කාන්තාව සන්තකයේ තිබි විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 72 ක් ද සොයා ගත් බවයි.
2018-12-17T22:48:56.000Z
බ්‍රිතාන්‍ය අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්
බ්‍රිතාන්‍ය අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්
COLOMBO (News 1st) : බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර තිබේ. ඒ අග්‍රාමාත්‍ය තෙරේසා මේ බ්රෙක්සිට් ගිවිසුමට අදාළව එරට පාර්ලිමේන්තු ඡන්දය මෙතෙක් පැවැත්වීමට අපොහොසත් වීම නිසායි. ඡන්දය සඳහා ඇය ජනවාරි 14 වන තෙක් කල් ගැනීම තමන් අනුමත නොකරන බවට ඔහු චෝදනා කළේ ය. මෙම සතිය තුළම ඡන්ද විමසීම පැවැත්වීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියට බල කිරීම සඳහා තමන් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළ බව ජෙරමි කෝබින් කියා සිටියේ ය.
2018-12-17T20:39:42.000Z
ජනපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂ ව්‍යාජව සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට
ලිපි ශිර්ෂ ව්‍යාජව සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස සකස් කර භාවිත කළ පුද්ගලයෙකු මහියංගණය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ සැකකරු ගුරුවරයෙකු ලෙස පෙනී සිටිමින් ශිෂ්‍යත්ව ලබා දෙන බවට එම ලිපි ශිර්ෂ යටතේ දැනුවත් කිරීම් කර ඇති බවයි. අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 35 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
2018-12-17T20:07:55.000Z
මහනුවරට පැය 10 ක ජල කප්පාදුවක්
මහනුවරට පැය 10 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) : හෙට උදෑසන 7 සිට පැය 10 ක කාලයක් මහනුවර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පස්වරු 5 දක්වා මහනුවර බුළුවමුදුන, දිගන නගරය, වික්ටෝරියා පාර, ගෝනවල පාර, මල්පාන පාර, කෙන්ගල්ල, මැණික්හින්න, දම්බරාව, පිලවල, මහවත්ත, බෝධිගල, අමුණුගම, ගුන්නෑපාන, පන්විල ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. කුණ්ඩසාල ජල සම්පාදන ක්‍රමයේ අරත්තන ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කළේ ය.
2018-12-17T20:03:28.000Z
සන්ධාන පක්ෂ නායකයින් හා ජනපති අතර හමුවක්..
සන්ධාන පක්ෂ නායකයින් හා ජනපති අතර හමුවක්..
COLOMBO (News 1st) : එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද උදෑසන පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, අද උදෑසන 9.15 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වීමට නියමිත බවයි. එම හමුව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පක්ෂ නායකයින් සහභාගී වන බව ද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන බව නිව්ස් ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ය. මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අද උදෑසන 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ, ඊයේ පස්වරුවේ එම හමුව කැඳවා තිබුණ ද රැළියෙන් අනතුරුව මන්ත්‍රීවරුන් පිටව ගිය නිසා අද එම හමුව පැවැත්වෙන බවයි.
2018-12-17T19:44:45.000Z
පාර්ලිමේන්තුව අද ත් 1.00ට රැස්වෙයි
පාර්ලිමේන්තුව අද ත් 1.00ට රැස්වෙයි
COLOMBO (News 1st) : කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සභාවාරය දහවල් 1.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. මේ අතර පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. පාර්ලිමේන්තු මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, දහවල් 12 ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. එම රැස්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. පසුගිය දිනවල තාවකාලිකව වසා දමා තිබූ මහජන ගැලරිය, ආරාධිත ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය යළි විවෘත කිරිම සම්බන්ධයෙන් ද මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත වේ. මේ අතර පාර්ලිමේන්තු සැසිවාර කිහිපයකට ම සහභාගී නොවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය. ඔහු සඳහන් කළේ, සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවයි.
2018-12-17T19:36:47.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) : 1.ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ගෙනෙන බව අගමැති කියයි : එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ යුක්තියේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළිය ඊයේ කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණ. 2.අර්බූදය විසඳා ගැනීම ගැන යුරෝපා සංගමයේ ප්‍රසාදය : උද්ගත වූ දේශපාලන අර්බුදය ව්‍යවස්ථානුකූලව සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථිර මිතුරන් ලෙස අගය කර සිටින බව යුරෝපා සංගමය පවසයි. 3.“30 දෙනෙකුට නොවැඩි කැබිනට් මණ්ඩලයක් පත් කරන්න උත්සහ කරනවා” – නලීන් බණ්ඩාර : නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම පිළිබඳව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර අදහස් පළ කළේ ය. 4.ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට – උසස් පෙළ ප්‍රතිඵල වසර අවසානයට පෙර : 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අභියාචනා ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරිණ. 5.මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලයට: මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 20 දෙනෙකුගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලය වෙත යොමු කළ බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි. 6.පාර්ලිමේන්තුවේ වූ කළහකාරී සිදුවීම් පිළිබඳ ඉදිරි විමර්ශන CID යට: පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් පිළිබඳ ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. පොලීසිය සඳහන් කළේ, මෙතෙක් සිදු කළ විමර්ශනවල වාර්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි. විදෙස් පුවත්... 1.අබ්දුල්ලා යමීන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමට එරට බලධාරීන් සූදානම්ක් : මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමට එරට බලධාරීන් සූදානම් වෙති. ක්‍රීඩා... 2.ක්‍රිකට් නිළවරණයට තරග නොකරන බව තිලංග කියයි : මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව තිලංග සුමතිපාල මහාතා පවසයි.
2018-12-17T10:05:03.000Z
ක්‍රිකට් නිළවරණයට තරග නොකරන බව තිලංග කියයි
ක්‍රිකට් නිළවරණයට තරග නොකරන බව තිලංග කියයි
COLOMBO (News 1st) : මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව තිලංග සුමතිපාල මහාතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවටක එක් වෙමින් තිලංග සුමතිපාල මහතා මේ බව සඳහන් කළේ ය. ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය ශ්‍රී ලංකාවට අහිමි වීම සම්බන්ධයෙන් ද ඔහු එහදි අදහස් පළ කළේ ය. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේ සභාපති ධූරය සඳහා නාමයෝජනා 4 ක් ඉදිරිපත්වී තිබේ. ඒ මොහාන් ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ශම්මි සිල්වායි. නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරීම දෙසැම්බර් මස 31 වන දා පස්වරු 3ට පෙර සිදු කළ යුතුයි.
2018-12-17T08:12:37.000Z
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ගෙනෙන බව අගමැති කියයි
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක්
COLOMBO (News 1st) : එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ යුක්තියේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළිය අද කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්විණ. ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය අභියසින් අද රථ පෙළපාළියක් මෙලෙස ගමන් ආරම්භ කළේ, කොළඹ වටා සංචාරය කරමින් ජන රැළියට එක්වීම සඳහායි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ, නායකයින් රැසක් ජන රැළියට එක්ව සිටියහ. https://www.youtube.com/watch?v=mixCEjHGCJw
2018-12-17T05:52:01.000Z
අර්බූදය විසඳා ගැනීම ගැන යුරෝපා සංගමයේ ප්‍රසාදය
අර්බූදය විසඳා ගැනීම ගැන යුරෝපා සංගමයේ ප්‍රසාදය
COLOMBO (News 1st): උද්ගත වූ දේශපාලන අර්බුදය ව්‍යවස්ථානුකූලව සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථිර මිතුරන් ලෙස අගය කර සිටින බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජාතික සංහිඳියාව සහ සැමට සෞභාග්‍ය උදාකරලීමේ ප්‍රයත්නය උදෙසා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික හා ව්‍යවස්ථාමය සම්ප්‍රදාය සුරක්ෂිත කරමින් ඇතිවූ දේශපාලන තත්ත්වය අගය කරන බව අමරිකාව අවධාරණය කරයි. ටිවිටර් පණිවුඩයක් නිතුක් කරමින් කොළඹ අමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසන්නේ, ශ්‍රී ලංකාව ඉන්දු -පැසිෆික් කලාපයේ වටිනා හවුල්කරුවෙකු බවයි. ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව අමරිකානු තනාපතිවරිය සඳහන් කළා ය.
2018-12-17T04:40:34.000Z
එජාප රැළිය හේතුවෙන් කොළඹ මාර්ගවල රථවාහන තදබදයක්
එජාප ජන රැළිය නිසා කොළඹ රථවාහන තදබදයක්
COLOMBO (News 1st): එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කරන යුක්තියේ විජයග්‍රහණය වෙනුවෙන් පවත්වනු ලබන ජන රැළියට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් ඇතුළු පිරිස් මේ වන විට ගාලු මුවදොර පිටියට පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවෝ පවසති. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන රැළිය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇති බව ද අප වාර්තාකරුවෝ සඳහන් කළහ. ජන රැළිය හේතුවෙන් මේ වන විට කොළඹ කොටුව ආශ්‍රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ ගාලුමුවදොරට පිවිසෙන මාර්ගවල ද දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි.
2018-12-17T02:21:34.000Z
"30 දෙනෙකුට නොවැඩි කැබිනට් මණ්ඩලයක් පත් කරන්න උත්සහ කරනවා" - නලීන් බණ්ඩාර
"30 නොවැඩි කැබිනට් මණ්ඩලයක් පත් කරනවා"
COLOMBO (News 1st) - නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම පිළිබඳව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර අදහස් පළ කළේ ය. එහිදී ඔහු පැවසූවේ, උපරිම 30 දෙනෙකුට නොවැඩි කැබිනට් මණ්ඩලයක් හා 40 නොවැඩි නියෝජ්‍ය, රාජ්‍ය ඇමති මණ්ඩලයක් පත් කිරීමට උත්සහ කරන බවයි. https://www.youtube.com/watch?v=Qo2uG43s3pY
2018-12-17T00:09:24.000Z
නීති විරෝධි පොලිතින් නිෂ්පාදකයින් සහ භාවිත කරන්නන්ට රතු එළියක්..!
නීති විරෝධි පොලිතින් භාවිත කරන්නන්ට රතු එළියක්..!
COLOMBO (News 1st) - නීති විරෝධි පොලිතින් නිෂ්පාදනය කළ නිෂ්පාදකයින්, අළෙවිකරුවන් සහ ඒවා භාවිතයට ගත් ආපනශාලා හිමිකරුවන් 366 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි විමර්ශන අධ්‍යක්ෂ එන්. එස්. ගමගේ මහතා සඳහන් කළේ, ඉන් 350 දෙනෙකු අළෙවිකරුවන් සහ ආපනශාලා හිමියන් වන බවය. 16 දෙනෙකු නිෂ්පාදකයන් වේ. විමර්ශන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, නීති විරෝධි පොලිතින් නිෂ්පාදකයින් කොළඹ, මාතලේ සහ ගම්පහ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. කුරුණෑගල, ගාල්ල, කළුතර, ගම්පහ සහ කොළඹ ප්‍රදේශවලින් අළෙවිකරුවන් සහ ආපනශාලා හිමියන් වැඩි වශයෙන් අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කළේ ය. අධ්‍යක්ෂ එන්. එස්. ගමගේ මහතා පැවසුවේ, අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින් නීති විරෝධි පොලිතින් නිෂ්පාදන වැඩි වශයෙන් වෙළෙඳපොළේ පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි. එවැනි පොලිතින් නිෂ්පාදන පිළිබඳ අවධානයෙන් පසුවී ඒවා අළෙවිය සඳහා මිලදී නොගන්නැයි, ඔහු වෙළෙඳුන්ට දැනුම් දෙයි. ඔහු සඳහන් කළේ, වැටලීම්වලදී වෙළෙඳුන්ට එරෙහිව ද දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක් ව දීපව්‍යාප්ත වැටලීම් ක්‍රියාත්මක වේ.
2018-12-16T23:03:33.000Z
අබ්දුල්ලා යමීන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමට එරට බලධාරීන් සූදානම්ක්
අබ්දුල්ලා යමීන්ට අධිකරණ නියෝගයක්...!
මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමට එරට බලධාරීන් සූදානම් වෙති. ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් තැන්පත් කර තිබූ ඔහුගේ පෞද්ගලික ගිණුමක් අත්හිටුවීමට මාලදිවයින් අධිකරණයක් නියෝග කිරීමෙන් පසුවය. මාලදිවයින් අධිකරණය මෙම නියෝගය කළේ, එරට මහ බැංකුව, අබ්දුල්ලා යමීන්ගේ පෞද්ගලික ගිණුමක සිදු වූ සැකසහිත මුදල් ගනුදෙනු දෙකක් පදනම් කර ගනිමින් පොලීසියට ගොනු කළ පැමිණිල්ලක් පදනම් කර ගනිමිනි. මූල්‍ය වංචා චෝදනා එල්ලවීම හමුවේ අබ්දුල්ලා යමීන්ගෙන් ඉකුත් සිකුරාදා එරට පොලීසිය ප්‍රශ්න කර තිබුණි . ඉකුත් සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් අබ්දුල්ලා යමීන් පරාජය විය.
2018-12-16T23:11:06.000Z
ගිනි අවියක් සමග පුද්ගලයින් තිදෙනෙකු ගම්පහදී අත්අඩංගුවට
ගිනි අවියක් සමග තිදෙනෙකු ගම්පහදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු ගම්පහ, මාතම්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 04 ක් ද සිය භාරයට ගත් බවයි. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ගිනි අවි ජාවාරමට සම්බන්ධ තව ත් සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ අනාවරණ වී ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ ය. සැකකරුවන් 43 සහ 30 හැවිරිදි මිනුවන්ගොඩ බිංගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2018-12-16T22:21:46.000Z
ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද පස්වරුවේ
ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් හමුවෙයි
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත වේ. ඒ, පස්වරු 5.00 ට ජනාධිපති කර්යාලයේදීයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි. නව ආණ්ඩුව සමග එක් ව කටයුතු කරනවා ද නැද් ද යන්න පිළිබඳ අවසන් තීරණය ජනාධිපතිතුමා විසින් ඉදිරියේදී ගනු ඇති බව ද එම සමාජිකයා සඳහන් කළේ ය.
2018-12-16T21:05:18.000Z
අමෙරිකාව පැනවූ නවතම සම්බාධක උතුරු කොරියාව දැඩි සේ හෙළාදකී
අමෙරිකාව පැනවූ සම්බාධක උතුරු කොරියාව හෙළාදකී
අමෙරිකාව තමන්ට එරෙහිව පැන වූ නවතම සම්බාධක උතුරු කොරියාව දැඩි සේ හෙළාදැක තිබේ. ඒ, එම සම්බාධකවලට කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කළ කලාපයක් බවට පත්වීමේ මාර්ගය සදාකාලිකවම අවහිර කළ හැකි බව පවසමිනි. උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු මානව හිමිකම් කඩ කළ බව වාර්තාවීමෙන් පසු අමෙරිකාව ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවිය. සිංගප්පූරුවේ පැවති ඓතිහාසික හමුවකදී අමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා මුල්වරට හමුව කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කළ කලාපයක් බවට පත්කිරීමට එකඟවූ නමුත් මේ දක්වා එම කටයුතු සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන නොමැත. ඔවුන් දෙදෙනා අතර දෙවන වරටත් හමුවක් සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තාවල පළ වූ නමුත් එම හමුව කඩිනම් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළ සිටියේ ය.
2018-12-16T20:29:48.000Z
ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට - උසස් පෙළ ප්‍රතිඵල වසර අවසානයට පෙර
ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අභියාචනා ප්‍රතිඵල අද නිකුත් කෙරේ. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී ඇති බවයි. මේ අනුව අද එම ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුවේ www.doenets'. lk වෙබ් අඩවියේ පළ කරනු ඇති. මේ සතිය තුළ පාසල්වලට ප්‍රතිඵල ලේඛන තැපැල් කිරීමට කටයුතු යොදා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. මෙම වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නැවත සමික්ෂණය සඳහා ඉදිරිපත් තිබු අභියාචනා සංඛ්‍යාව 35000 කට අධිකයි. මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසර අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පුජිත මහතා ප්‍රකාශ කළේ, ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි. අයැදුම්කරුවන් තුන් ලක්ෂ 21,469 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටියහ. ඒ, විභාග මධ්‍යස්ථාන 2267 කදියි.
2018-12-16T19:54:27.000Z
මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලයට
මරණ දඬුවම නියම වූවන්ගේ ලැයිස්තුවක් යළි ජනපතිට
COLOMBO (News 1st) - මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් 20 දෙනෙකුගේ ලැයිස්තුවක් යළි ජනාධිපති කාර්යාලය වෙත යොමු කළ බව බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම පිරිසෙන් 8 දෙනෙකුට අධික පිරිසක් මරණ දඬුවමට එරෙහිව අභියාචනා ගොනු කර ඇති බවය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනා අතුරින් දෙදෙනෙකු පාකිස්ථාන ජාතිකයින් වන අතර කාන්තාවක් ද වන බව බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම අමාත්‍යාංශය සඳහන් කළේ, මීට පෙර ද මරණ දඬුවම ලබා සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් ජනාධිපති කාර්යාලයට යොමු කළ බවයි.
2018-12-16T19:25:33.000Z
එජාපයේ 'යුක්තියේ සටන' ජන රැළිය අද කොළඹදී
'යුක්තියේ සටන' ජන රැළිය අද කොළඹදී
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන 'යුක්තියේ සටන' ජන රැළිය අද කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. අද පස්වරුවේ පැවැත්වෙන රැළිය හේතුවෙන්, රථ වාහන රාජකාරි සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
2018-12-16T19:15:09.000Z
පාර්ලිමේන්තුවේ වූ කළහකාරී සිදුවීම් පිළිබඳ ඉදිරි විමර්ශන CID යට
පාර්ලිමේන්තුවේ ගැටුම් පිළිබඳ ඉදිරි විමර්ශන CID යට
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් පිළිබඳ ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. පොලීසිය සඳහන් කළේ, මෙතෙක් සිදු කළ විමර්ශනවල වාර්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි. මේ වන විට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් 30 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. පොලීසිය පැවසුවේ, ආශූ මාරසිංහ, විජිත හේරත්, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, දිලුම් අමුණුගම, සහ ගාමිණි ජයවික්‍රම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි. ඊට අමතරව පොලිස් නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ ලබා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සිදුවීම්වලට අදාළව මිරිස් කුඩු සාම්පල සහ ආරක්ෂිත කැමරා දර්ශන සහිත සංයුක්ත තැටි කිහිපයක් ද නඩු භාණ්ඩ ලෙස ලබා ගෙන ඇති බවයි. මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම්වලට අදාළ කැමරා දර්ශන පෞද්ගලික මාධ්‍ය ආයතන මගින් ලබා ගැනීමට තීරණය කර තිබේ. කළහකාරී සිදුවීම් පිළිබඳ විමර්ශනයට පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, මාධ්‍ය ආයතන මගින් ලබා ගන්නා දර්ශන විශේෂ පොලිස් කණ්ඩායමක් සමග එක් ව නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බවයි. පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශන කමිටුවේ සෙසු සමාජිකයින් දෙදෙනා බැගින් වෙන් වෙන්ව අධ්‍යනය කරන බව ද ඔහු සඳහන් කළේ ය.
2018-12-16T19:03:38.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි: ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 2. "රනිල්ට අගමැති ධූරය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්"- ජනපති: රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 3. අර්බූදය විසඳා ගැනීම ගැන ‘ළඟ ම නෑයා’ගේ ප්‍රසාදය: මෙරට පැවති දේශපාලන අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ප්‍රසාදය පළ කරයි. 4. අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සමන් ඒකනායකට: නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කර තිබේ. 5. එ.ජා.පෙ. කැබිනට් මණ්ඩලය තිහකට සීමාකළ යුතුයි – එරාන් වික්‍රමරත්න: ඉදිරි පැය 48 තුළ අමාත්‍ය මණ්ඩලය තෝරා ගැනීමට නියමිත බවත්, එය 30 දෙනෙකුට පමණක් සීමා වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඊයේ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ ය. විදෙස් පුවත් 6. ගෝලීය උණුසුම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගවලට පෝලන්ත දේශගුණික සමුළුවේදී රටවල් අතර අවසන් එකඟතාවක්: පැරිස් දේශගුණික සම්මුතිය බලාත්මකව පවත්වාගෙන යාම උදෙසා ක්‍රියාමාර්ග රැසක් ගැනීමට පෝලන්තයේ පැවති කෝප් 24 සමුළුවේදී ලොව රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් අවසන් එකඟතාවකට පැමිණ තිබේ.
2018-12-16T07:01:45.000Z
''රනිල්ට අගමැති ධුරය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්''- ජනපති
"රනිල් අගමැති කළේ, ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින්"
COLOMBO (News 1st) : රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. තව ද පාර්ලිමේනේතුවේ 225 දෙනාම අත්සන් කළ ද අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදෙන බවට තමා කළ ප්‍රකාශය සිය පෞද්ගලික දේශපාලන මතය බව ත් එය අදටත් එලෙස ම පවතින බව ත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටී. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහතා දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් අමතමිනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම , වාර අවසන් කිරීම, අගමැති ඉවත් කිරීම, අගමැති පත් කිරීම ඇතුළු සියලු පියවර තමා ගනු ලැබුවේ, සිය තනි කැමැත්තට නොවන බව ත් ඒ සඳහා රටේ ඉහළම නීති විශාරදයින්ගේ උපදෙස් ලබා ගනිමින් බව ත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. තව ද එකී පියවරයන් මාතෘ භූමිය වෙනුවෙන් ඉතා සද්භාවයෙන් ගත් තීරණ බව ත් ඉන් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ කිසිදු අයහපත් චේතනාවක් තමා තුළ නොතිබූ බව ත් ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ. අමාත්‍යංශ වෙන් කිරීමේදී විද්‍යාත්මක පදනම අනුගමනය කිරීමට කටයුතු නොකිරීම, මහ බැංකු කොල්ලය හා ඒ සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම, භික්ෂු සමාජය අහිමි කර ගැනීම සහ රණවිරුවන් සිරගත කිරීම වැනි ක්‍රියා ඔස්සේ පසුගිය වසර 4කට ආසන්න කාලයක් රජය කටයුතු කළ ආකාරය පිළිබඳ කලකිරීමෙන් පසු වූ බවත් පසුගිය දා තමා ගත් දේශපාලන තීන්දු තීරණ සඳහා එම තත්ත්වයන් දැඩි බලපෑමක් ඇති කළ බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. අධිකරණයට පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වයට සලකා නොමැති බවට විනිසුරුවන් අතරේ තමාට චෝදනාවක් ඇති බව පැවසූ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, එලෙස තමාට චෝදනා එල්ල කරන ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්ගේ නම් සියල්ල තමන් ව්‍යවස්ථාදායක සභාවට යොමු කර ඇති බව ත් ව්‍යවස්ථාදායක සභාව විසින් එකී නම් ප්‍රතික්ෂේප කර ඇති බවත් ය. මහා වංචාවක් සිදු වූ මහ බැංකු බැඳුම්කරයට සම්බන්ධ හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට යහපාලන ආණ්ඩුව යටතේ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවත් ඒ පිළිබඳ තමා දැඩි ලෙස කනගාටුවට පත්ව සිටි බව ත් පැවසී ය. බිලියන 1000කට වැඩි මහා වංචාවක් සිදු වූ මහ බැංකු බැඳුම්කරයට සම්බන්ධ හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට යපපාලන ආණ්ඩුව යටතේ කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවත් ඒ පිළිබඳ තමා දැඩි ලෙස කනගාටුවට පත්ව සිටි බව ත් පැවසී ය. තව ද මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ විමර්ශන සිදු කළ නිලධාරීන්ට එකී විමර්ශනවලදී විවිධ පාර්ශවල බලපෑම්වලට ලක්වීමට සිදු වූ බව ද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර සිටියේ ය. තව ද තමා අග්‍රාමාත්‍යවරයාට කෙතරම් කළගුණ සැලකුවේ ද කිවහොත් අගමැතිවරයා තමාගේ බලතළ ද සියතට ගෙන කටයුතු කරද්දී පවා තමා කිසිදු අවස්ථාවක ඒ පිළිබඳ නොවිමසූ බව ත් ජනාධිපතිවරයා පිරිස අමතමින් පැවසී ය. යහපාලන ආණ්ඩුව යටතේ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ආයතනවල අනුමැතියෙන් තොරව හිතුමතේ එකී තීරණ ගෙන ඇති බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේ ය. අලි ඇතුන් ප්‍රශ්න මුල්කර ගෙන භික්ෂුන් වහන්සේ සිර දඬුවම් පැමිණවීම හා විවිධ කරුණු මුල්කර රණවිරුවන් සිරගත කිරීම් සම්බන්ධයෙන් තමා දැඩි ලෙස විරුද්ධ වූ බව ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඑන බවට පළ ප්‍රකාශයන් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කර තිබේ. ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, තමා සිරගත කළ ද පිරිසිදු චේතනාවෙන් හා සද්භාවයෙන් රටේ ජනතාව වෙනුවෙන් ගත් නිවැරදි තීන්දු තීරණ ගලේ කෙටූ අකුරක් සේ ඉතිහාසයේ ලියවෙනු ඇති බවයි. තව ද ජනාධිපතිවරයා සිහිපත් කළේ , තමා රට තුළ ගොඩ නැගූ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කරමින් ඇතැමුන් ඉතිහාසයේ කිසිදු නායකයෙකුට සිදු නොකළ ආකරයේ කෘර ප්‍රකාශයන් තමාට එරෙහිව සිදු කළ බවයි. අසාර්ථක වූ සහ අමු අමුවේ විනාශ කළ යහපාලන සංකල්පය ඉටුකර ගත හැක්කේ, රටට ආදරය කරන සංස්කෘතික වටිනාකම් සහ සමාජ හර පද්ධතිවලට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් තුළින් පමණක් බව ද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත. https://www.youtube.com/watch?v=fwMqPjX8btY
2018-12-16T06:47:37.000Z
අර්බූදය විසඳා ගැනීම ගැන 'ළඟ ම නෑයා'ගේ ප්‍රසාදය
අර්බූදය විසඳා ගැනීම ගැන 'ළඟ ම නෑයා'ගේ ප්‍රසාදය
COLOMBO (News 1st) : මෙරට පැවති දේශපාලන අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය ප්‍රසාදය පළ කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, මේ හරහා ලංකාවේ දේශපාලන බලවේගයන්හි පරිනතභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නුම් කරන බවයි. ශ්‍රී ලංකාවේ දේශපාලය තත්ත්වයට විසඳුමක් ලැබීම ගැන ශ්‍රී ලංකාවේ ළඟ ම නෑයෙකු සහ මිතුරෙකු ලෙස තමන් සතුටට පත් වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසී ය. එහි දැක්වෙන්නේ , ඉදිරියට ශ්‍රී ලංකාවේ ජන ජිවිතය නගා සිටුවීම සඳහා ජන ජිවිතය කේන්ද්‍ර කරගත් ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා ඉන්දියාව කැපවී සිටින බවයි. තවදුරටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා දියුණුවේ යැයි අපේක්ෂා කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ සඳහන් කළේ ය.
2018-12-16T04:24:25.000Z
අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සමන් ඒකනායකට
අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සමන් ඒකනායකට
COLOMBO (News 1st) : නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කර තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 (1) බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍ය ලේකම්වරයා පත් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පැවසී ය.
2018-12-16T03:05:42.000Z
මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්
මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක්
COLOMBO (News 1st) - මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ යටතේ දැනටමත් මිරිස් බීජ ගම්මාන ආරම්භ කර ඇති බවයි. වියළි කලාපයේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වල ඉඩම්, මිරිස් වගාව සඳහා තෝරා ගැනෙන්නේ එම පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණිනි.
2018-12-16T02:51:39.000Z
එ.ජා.පෙ. කැබිනට් මණ්ඩලය තිහකට සීමාකළ යුතුයි - එරාන් වික්‍රමරත්න
කැබිනට් මණ්ඩලය තිහකට සීමාකළ යුතුයි - එරාන්
ඉදිරි පැය 48 තුළ අමාත්‍ය මණ්ඩලය තෝරා ගැනීමට නියමිත බවත්, එය 30 දෙනෙකුට පමණක් සීමා වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරයි. එක්සත් ජාතික පෙරමුණ තනිව කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට සාකච්චා පවත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරගන්වාදැයි විමසීමේ දී ඔහු පැවසුවේ, සුදුසුකම් සහිත නම් ඔවුන්ට තනතුරු වරප්‍රසාද ලබා දීමට තමන් ඇතුළු බහුතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විරුද්ධ නොවන බවයි. නමුත්, කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30 ඉක්මවා යාමට විරුද්ධ බවත්, එක් එක් පුද්ගලයා අනුව තීරණ තීන්දු වෙනස් නොකළ යුතු බවත් එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය. මෙය තම පුද්ගලික අදහසක් නොවන බවත්, පක්ෂයේ බහුතරයගේ මතයද මෙය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ලබන වසරේ අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමක දී එරාන් මහතා පැවසුවේ, ජනවාරි මස මුල් සතියේ දී පාර්ලිමේන්තුවට අයවැය ගෙන ඒමට හැකි බවත් පෙබරවාරි මාසයේ දි සම්මත කර ගැනත හැකි බවත්ය. අයවැය සම්මත කරගැනීමට ඇති ක්‍රියාවලියට දින 26 ක පමණ කාලයක් අවශ්‍යවීම මෙයට හේතුව ලෙසද ඔහු පැවසුවේය. https://www.facebook.com/119154468144820/videos/1118809384954443/
2018-12-16T02:09:39.000Z
උත්සව සමය වෙනුවෙන් අධිවේගී මාර්ගවල අතිරේක දොරටු විවෘත කිරීමට තීරණයක්
අධිවේගි මාර්ගවල අතිරේක දොරටු විවෘත කිරීමේ තීරණයක්
COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන් අ‍ධිවේගි මාර්ගවල අතිරේක දොරටු විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකරිය තීරණය කරයි. එහි අ‍ධිවේගි මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, පිවිසුම් දොරටු ආශ්‍රිතව ඇතිවිය හැකි තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
2018-12-16T02:15:17.000Z
රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමින්, රටේ සංවර්ධනය යලිත් ලබා දෙනවා - රනිල් වික්‍රමසිංහ
රටේ සංවර්ධනය යලිත් ලබා දෙනවා - රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයා ලෙස පස්වැනි වරට දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ දී සිය පාක්ෂිකයන් හා සාමාජිකයන් අමතා ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු අවධාරණය කළේ, පසුගිය සති කිහිපය තුළ රටේ පසුගාමී තත්ත්වයක් උද්ගත වූ බවත් ඉන් සංවර්ධනය ඇණ හිටිය බවයි. රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමින්, රටේ සංවර්ධනය යලිත් ලබල දෙන්න ඇපකැප වෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය. එසේම එක්සත් ජාතික පාක්ෂිකයන් හා උදව් උපකාර කළ සියල්ලන්ටම ස්තුතිය පළ කළ ඒ මහතා දීර්ඝ කතාවක් සිදුකරමින් ඉදිරි වැඩ පිළිවෙල ගැන ඉදිරියේ දී සඳහන් කරන බව ද පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව‍
2018-12-16T01:28:34.000Z
නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින්න: ධීවරයින්ට උපදෙස්
දැනුම් දෙන තුරු මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්
COLOMBO (News 1st) - නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙති. ධීවර දෙපාර්තමේන්තුවේ සොදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, පේතායි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්‍රදේශ ඉතා රළු බවයි. මේ අතර පේතායි සුළි කුණාටුව ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 490 ක් නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතිනු ඇත.
2018-12-16T00:26:14.000Z
නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
රනිල් වික්‍රමසිංහ යළි ත් අගමැති ධූරයට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ 5 වැනි වරටයි. මෙරට දේශපාලන හා සමාජ වෙනස්කම් රැසකට මුල පිරූ 1977 මැතිවරණයේදී බියගම ආසනය ජය ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු වරම් ලැබුවේ ය. ඒ වන විට 27 වැනි වියේ පසු වූ ඔහු එකල සිටි ළාබාලතම කැබිනට් අමාත්‍යවරයායි. අධ්‍යාපන, තරුණ කටයුතු, රැකි රක්ෂා හා කර්මාන්ත අමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික තරුණ සේවා සභාව බිහි කිරීමට මෙන්ම නිදහස් වෙළෙඳ කලාප ස්ථාපිත කිරීමට පුරෝගාමී මෙහෙවරක නිරත විය. ජනතාවගේ පිළිගැනීමට ලක් වූ පරිනත දේශපාලනඥයෙකු වන වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූයේ 1994 වසරේදීයි. අර්බුද හමුවේ පක්ෂය හා පාක්ෂිකයින් ඒකරාශි කරමින් ඔහු විපක්ෂ නායකයා ලෙස ක්‍රියා කළේ ය. වික්‍රමසිංහ මහතා මෙරට දීර්ඝ කාලයක් විපක්ෂ නායක ධූරය දැරූ දේශපාලනඥයා ද වනු ඇත. ඒ අනූව ඔහු වසර 20 ක කාලයක් විපක්ෂ නායක ධූරයේ කටයුතු කළේ ය. 2015 වසරේ ජනවාරි 08 වැනි දා අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනි දා දක්වා අග්‍රාමාත්‍ය ධූරය හොඹවනු ලැබීය. අනතුරුව ජනාධිපතිතුමා විසින් ඔහු ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළේ ය. ඒ, එතෙක් පැවති එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකතුවෙන් පවත්වාගෙන ගිය යහපාලන රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත්වීමත් සමගයි. ඊයේ දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය.
2018-12-15T23:09:50.000Z
වාකරේදී කාන්තාවක් ඝාතනය කෙරේ
සැමියාගේ පහරින් බිරිඳ මරුට
COLOMBO (News 1st) - වාකරේ, සින්නතට්ටමුණි ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් මත සැමියා සිදු කළ පහරදීමකින් මෙම ඝාතනය සිදු ව ඇති බවයි. මියගොස් ඇත්තේ 22 කාන්තාවකි. මෘත ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ අද සිදු කිරීමට නියමිත ය.
2018-12-15T22:20:16.000Z
ගෝලීය උණුසුම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගවලට පෝලන්ත දේශගුණික සමුළුවේදී රටවල් අතර අවසන් එකඟතාවක්
පෝලන්ත දේශගුණික සමුළුවේදී රටවල් අතර අවසන් එකඟතාවක්
පැරිස් දේශගුණික සම්මුතිය බලාත්මකව පවත්වාගෙන යාම උදෙසා ක්‍රියාමාර්ග රැසක් ගැනීමට පෝලන්තයේ පැවති කෝප් 24 සමුළුවේදී ලොව රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් අවසන් එකඟතාවකට පැමිණ තිබේ. ඒ, අවසන් මොහොතේ පාර්ශවකරුවන් සමග ඇති කරගත් එකඟතාවකට අනූවයි. නව නීති මගින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය කපා හැරීමට රටවල් ලබාදුන් පොරොන්දු තවදුරටත් රකිනු ඇතැයි එක්සත් ජාතින්ගේ නියෝජිතයින් සඳහන් කළේ ය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක දෙකකට අඩු අගයකින් පවත්වාගෙන යාම සඳහා පැරිස් දේශගුණික සමුළුවේදී ඇතිකරගත් ඉලක්ක, පෝලන්ත ගිවිසුමෙන් යථාර්ථයක් කරගත හැකි වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, විවිධ දේශපාලන මත මෙන්ම විවිධ අදහස් දරන ලොව රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් ඇතිකර ගත් මෙම ගිවිසුම ගෝලීය පරිසර සංරක්ෂණය වෙනුවෙන් තැබූ වැදගත් පියවරක් වනු ඇති බවයි.
2018-12-15T21:28:04.000Z
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණය ප්‍රතිඵල හෙට නිකුත් කෙරේ
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණය ප්‍රතිඵල හෙට
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අභියාචනා ප්‍රතිඵල හෙට නිකුත් කෙරේ. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයට භාරදී ඇති බවයි. ඒ අනුව හෙට එම ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුවේ www.doenets. lk වෙබ් අඩවියේ පළ කරනු ඇති. මේ වනවිට පාසල්වලට ප්‍රතිඵල ලේඛන තැපැල් කිරීමට කටයුතු යොදා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. මෙම වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් තිබු අභියාචණා සංඛ්‍යාව 35000 කට අධිකයි.
2018-12-15T21:20:45.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් ශාන්තට පළායාමට සහය වූ පුද්ගලයා සොයා STF මෙහෙයුම්
සුනිල් ශාන්තට පළායාමට සහයවූ පුද්ගලයා සොයා මෙහෙයුම්
COLOMBO (News 1st) - ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නැමැත්තාට බන්ධනාගාරයෙන් පළා යාමට ආධාර අනුබල දුන් පුද්ගලයකු සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධ මෙහෙයුමක් අාරම්භ කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියකු සඳහන් කළේ, සුනිල් ශාන්තගේ පාපොච්චාරණයකට අනුව මෙහෙයුම ක්‍රියාත්මක බවයි. සුනිල් ශාන්ත නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පළාගොස් තිබුණේ බන්ධනාගාර නිලධාරීයෙකුගේ වෙස් ගත් සිය සහායකයාගේ ආධාරයෙන් ය. ඒ, පසුගිය මස 07 වැනි දා කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත සහ ඔහුගේ තව ත් සහයකයෙකු ලබන 26 වැනි දා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
2018-12-15T20:49:39.000Z
රු. මිලියන 388 ක් වටිනා හෙරොයින් සමග විදෙස් තරුණියක් පොලීසියට මාට්ටු
කේක් ඇසුරුමක හෙරොයින් ඇසුරු විදෙස් තරුණිය මාට්ටු
COLOMBO (News 1st) - රුපියල් මිලියන 388 ක් වටිනා හෙරොයින් තොගයක් සමග බංග්ලාදේශ තරුණියක් දෙහිවලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත කළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගත් බවයි. එම අවස්ථාවේ සැකකාර 23 හැවිරිදි තරුණිය සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම්යක් සොයා ගෙන ඇත. අනතුරුව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී රත්මලාන, දෙල්ගහවත්ත ප්‍රදේශයේ ඇය රැඳි සිටින කුලී නිවස පරීක්ෂාවට ලක් කළ පොලීසියට තව ත් හෙරොයින් කිලෝග්‍රෑම් 31 යි ග්‍රෑම් 329 ක් හමු විය. අදාළ හෙරොයින් තොගය අසුරා ඇත්තේ කේක් ඇසුරුම්වලයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර අද උදෑසන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2018-12-15T20:06:25.000Z
විපක්ෂ නායක ධූරය හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට
විපක්ෂ නායක ධූරය පිළිබඳ අවසන් තීරණය හෙට
COLOMBO (News 1st) - විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය පිළිබඳ හෙට අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, හෙට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්විමේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-16-UDAYA-GAMMANPILA.wav"][/audio]
2018-12-15T19:34:11.000Z
රනිල් වික්‍රමසිංහ යළි අගමැති ධූරයේ දිවුරුම්දීම අද පෙරවරුවේ
රනිල් යළි ත් අගමැති ධූරයේ දිවුරුම් දෙයි
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමට නියමිත වෙයි. ඒ, ජනාධිපති කාර්යාලයේදී ය. අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණු පුර්ණ ආණ්ඩුවක් බිහි කිරීමට මන්ත්‍රිවරුන්ගේ එකඟතාව ලැබි ඇති බවයි.
2018-12-15T19:22:29.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි: මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට අදාළ ලිපියට ඊයේ අත්සන් තබා තිබේ. 2. “ධූරයෙන් ඉවත්වී අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමාට ඉඩ දෙනවා” – මහින්ද රාජපක්ෂ: මහ මැතිවරණයක් නොමැතිව අගමැතිධූරය දැරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති නිසාත්, තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත් ධූරයෙන් ඉවත්වී අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමාට ඉඩ දෙන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 3. අඟහරුවාදට කලින් කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනවා – අකිල විරාජ් කාරියවසම්: ලබන අඟහරුවාදාට පෙර නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 4. රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා – සජිත් ප්‍රේමදාස: එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම සඳහා එකඟතාවකට පැමිණි බව ය. 5. කෝටි 3කට අධික කොකේන් සමග ගිනිබිසව් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට: රුපියල් මිලියන 30කට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 2ක් සමග ගිනිබිසව් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. ඕවන් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවට කඩා වදී: ඕවන් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වෙරළට සමීප වී තිබේ.
2018-12-15T10:05:38.000Z
අඟහරුවාදට කලින් කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනවා - අකිල විරාජ් කාරියවසම්
"අඟහරුවාදට කලින් කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනවා"
COLOMBO (News 1st) - ලබන අඟහරුවාදාට පෙර නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, අද අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙහිදී ජනාධිපතිවරයා සමග ඇති කර ගත් එකඟතා පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කෙරූ අතර ඊට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, ජනාධිපතිවරයා සමග එකඟතාවන්ට නොපැමිණි බව ය.
2018-12-15T09:57:12.000Z
රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා - සජිත් ප්‍රේමදාස
"රනිල්ට අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා"
COLOMBO (News 1st) - අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළේ ය. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම සඳහා එකඟතාවකට පැමිණි බව ය. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා හෙට අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.
2018-12-15T07:51:49.000Z
ආසියාවේ නැගී එන කණ්ඩායම් එක්දින ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට
ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර ශූරතාව ශ්‍රී ලංකාවට
COLOMBO (News 1st) - ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය. ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 3කිනි. මෙම තරගය කොළඹ අර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශම්මු අශාන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 270කි. හසිත බෝයගොඩ ලකුණු 54යි. කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක් රැස් කළේ ය. අන්කිත් රාජ්පූට් ලකුණු 61කට කඩුලු 2ක් දවා ගත්තේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 271ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 83කදී බිඳ වැටිණි. නිතිෂ් රානා ලකුණු 40යි. නායක ජයන්ට් යාදේව් ලකුණු 71ක් රැස් කළේ ය. ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 267ක් පමණි. අසේල ගුණරත්න ලකුණු 38ට කඩුලු 3ක් දවා ගත්තේ ය. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්. ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර 2017 වසරේදී ද මෙම තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ය.
2018-12-15T05:28:11.000Z
කෝටි 3කට අධික කොකේන් සමග ගිනිබිසව් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
කෝටි 3කට අධික කොකේන් සමග අයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් මිලියන 30කට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 2ක් සමග ගිනිබිසව් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු අත්අඩංගුවට ගෙන තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, 28 හැවිරිදි සැකකරු නයිජීරියාවේ සිට දෝහා හරහා අද පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති බව ය. ඔහුගේ ගමන් මල්ලේ රහසිගත පතුළක සඟවා තිබියදී එම කොකේන් තොගය සොයා ගෙන තිබේ.
2018-12-15T05:00:04.000Z
ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 5ක්
ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 5ක්
COLOMBO (News 1st) - ගත වූ පැය 24ක කාලය තුළ ඌරුබොක්ක, අගුණුකොළපැලැස්ස, කොළඹ වරාය, හබරණ සහ යාපනය ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් කුඩා දැරියක ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඌරුබොක්ක - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ත්‍රිරෝද රථයක් හා බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් කුඩා දැරියක් මිය ගොස් ඇති බව ය. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු සහ එහි ගමන් කළ කාන්තාවක ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. මිය ගොස් ඇත්තේ 8 හැවිරිදි මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි දැරියකි. මේ අතර අගුණුකොළපැලැස්ස නෝනාගම ඇඹිලිපිටිය මාර්ගයේ රම්බා විහාරය අසළදී ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයක් රියැදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගය ආසන්නයේ නවතා තිබූ යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. මිය ගොස් ඇත්තේ 66 හැවිරිදි අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ වරාය පොලිස් වසමේ වෙරළබඩ සිට චීන වරාය දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මිය ගොස් ඇති බව ය. 41 හැවිරිදි කන්තලේ ප්‍රදේශයේ පදිංචි නාවික සෙබළෙකු අනතුරින් මිය ගොස් තිබේ. මේ අතර හබරණ පොළොන්නරුව මාර්ගයේ ඊරියගොල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය හරහා ගමන් ගත් පුද්ගලයෙකුගේ ගැටී තිබේ. පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ 54 හැවිරිදි පාතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මිය ගොස් ඇති බව ය. මේ අතර යාපනය කයිට්ස් මාර්ගයේ පළමුවන කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව පදික පුද්ගලයෙකුගේ ඇඟේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 48ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2018-12-15T03:09:07.000Z
මෙවර සා/පෙළ ට මුහුණ දුන් සිසුන්ට වෘත්තිය පුහුණු පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව
මෙවර සා/පෙළ නිම කළ සිසුන්ට ශිෂ්‍යත්වයක්
COLOMBO (News 1st) - මෙවර සමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ට වෘත්තිය පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නවීන තාක්ෂණයත් සමග වෙනස් වෙමින් පවතින ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය නිපුණතාවයෙන් හෙබි පුහුණු ශිල්පීන් බිහිකිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු WWW.YOUTHJOBS.LK වෙබ් අඩවියෙන් හෝ 0112 081 808 යන දුරකතන අංකය මගින් ලබාගත හැකි වනු ඇති.
2018-12-15T02:29:39.000Z
"ධූරයෙන් ඉවත්වී අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමාට ඉඩ දෙනවා" - මහින්ද රාජපක්ෂ
ධූරයෙන් ඉවත්වී අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ දෙනවා
COLOMBO (News 1st) - මහ මැතිවරණයක් නොමැතිව අගමැතිධූරය දැරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති නිසාත්, තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත් ධූරයෙන් ඉවත්වී අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමාට ඉඩ දෙන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, ඒකාබද්ධ විපක්ෂයත්, ආණ්ඩුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයත්, එක්වීමත් සමග රටේ ඡන්දවලින් 54% ක් පමණ නියෝජනය වන ප්‍රබල දේශපාලන බල කඳවුරක් දැන් නිර්මාණය වී ඇති බවයි. උතුරු, නැගෙනහිර හා කඳුරට ඡන්ද පදනමක් සහිත පක්ෂ ගණනාවක් එක් ව රටට එරෙහිව බලවේගවලට විරුද්ධ වන කිසිවෙකුටත් නැවතිය නොහැකි, දීපව්‍යාප්ත දේශපාලන බලවේගයක් නොඩනගන බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. ඔහු කියා සිටින්නේ, දැනටමත් අවුරුද්දකුත්, මාස තුනක් පමණ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීම ප්‍රධාන ඉලක්කය බවයි. තමන් ඔක්තෝබර් 26 වැනි දා අගමැතිධූරයේ දිවුරුම් දුන්නේ ජනවාරි 05 වැනි දා පැවැත්වීමට සැලසුම් කර තිබූ මහ මැතිවරණය අවසන් වන තෙක් අන්තර්කාලීන පාලනයකට පමණක් බව රාජපක්ෂ මහතා සිය විශේෂ ප්‍රකාශයේ සඳහන් කර ඇත. ඔහු කියා සිටියේ, ඔක්තෝබර් 26 වැනි දින ජනාධිපතිතුමා ගත් එඩිතර තීන්දුව අගය කරන බවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නැරඹිය හැකිය.
2018-12-15T01:39:41.000Z
නිදන් හෑරූ පුද්ගලයින් 25 දෙනෙකු ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට
නිදන් හෑරූ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - නිදන් හැරූ පුද්ගලයින් 25 දෙනෙකු දිවයිනේ ස්ථාන තුනකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, වාලච්චේන පේරාල්වලී පුලිපංකල් රක්ෂිත ප්‍රදේශයකදී කැණීම් කරමින් සිටි සැකකරුවන් 15 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සන්තකයේ තිබි ස්කෑන් යන්ත්‍රයක්, ලොරි රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් සිය භාරයට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරුවන් 19, 32, 34, 37, 42, 52, 75 යන වයස්වල පසුවන මාතලේ, ගොකරැල්ල, බකමූන, මාකඩවැව, මැදිරිගිරිය, ගුන්නෑපාන, දියසෙන්පුර, වේයන්ගොඩ, කෑගල්ල, සීදුව සහ පුලාවලී යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මේ අතර ඇල්පිටිය මගුරුකඩුව කොට්ටගල රක්ෂිත ප්‍රදේශයේදී කැණීම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් 30, 44 හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් සන්තකයේ තිබි කැණීම් උපකරණ තොගයක් ද සිය භාරයට ගෙන ඇත. තව ද ඇතිමලේ උඩික්කපු ආර බෝගස්යාය ප්‍රදේශයේ තව ත් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරුවන් අවුරුදු 19 ත් 75 ත් යන අතර වයස්වල පසුවන ඇතිමලේ, ඇඹිලිපිටිය, උඩවලව, ගලෙන්බිදුණු වැව, මොණරාගල සහ හුලංනුගේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
2018-12-15T01:07:48.000Z
අලුත්වැඩියා නොකළ පාසල් බස් රථවලට වැඩ වරදින ලකුණු
අලුත්වැඩියා නොකළ පාසල් බස් රථවලට වැඩ වරදින ලකුණු
COLOMBO (News 1st) - අලුත්වැඩියා කළ යුතු බවට නිවේදන නිකුත් කර ඇති පාසල් බස් රථ හා වෑන් රථ කඩිනමින් අලුත්වැඩියා කර දිස්ත්‍රික් පරීක්ෂකවරුන් වෙත යොමු කරන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එහි සහකාර කොමසාරිස් සුනිල් ජයවීර මහතා සඳහන් කළේ, වසරේ ගත වූ කාලසීමාවේදී ධාවනයට නුසුදුසු වාහන 250 ක් පමණ හඳුනාගෙන නිවේදන නිකුත් කර ඇති බවයි. එම වාහන අලුත්වැඩියා නොකර ධාවනය වුවහොත්, පාසල් සිසුන් ප්‍රවාහන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2018-12-14T23:55:26.000Z
මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි
මහින්ද අගමැති ධූරයෙන් ඉවත්වීමේ ලිපියට අත්සන් තබයි
COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට අදාළ ලිපියට මීට ටික වේලාවකට පෙර අත්සන් තබා තිබේ. ඒ, ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී ය.
2018-12-14T23:37:39.000Z
2019 බර්ලින් අන්තර්ජාතික චිත්‍රපට උළෙලට දින නියම වෙයි
බර්ලින් අන්තර්ජාතික චිත්‍රපට උළෙලට දින නියම වෙයි
2019 බර්ලින් අන්තර්ජාතික චිත්‍රපට උළෙල සඳහා දින නියම වී තිබේ. ඒ අනූව පෙබරවාරි 7 වැනි දා සිට 17 වැනි දා දක්වා සිනමා උළෙල පැවැත්වෙනු ඇති. මෙවර බර්ලින් චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ 69 වැනි වරටයි. මෙවර ඒ සඳහා චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2018-12-14T23:18:57.000Z
වී අළෙවි මණ්ඩලයේ සහල්වලට මිල ගණන් නියම වෙයි
සහල්වලට මිල ගණන් නියම වෙයි
COLOMBO (News 1st) - වී අළෙවි මණ්ඩලය මගින් නිෂ්පාදිත සහල් සඳහා මිල ගණන් නියම කර තිබේ. එම මණ්ඩලය සඳහන් කළේ, කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 83.00 ක් වන බවයි. නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 86.00 ක් ලෙස නියම කර ඇත. එම සහල් ඉදිරි සති දෙක ඇතුළත වෙළෙඳපොළට මුදාහරින බව වී අළෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ ය. එම මණ්ඩලය පැවසුවේ, සහල් අළෙවිය සම්බන්ධයෙන් සතොස ආයතනය සහ සුපිරි වෙළෙඳසැල් කිහිපයක් සමග මේ වන විට සාකච්ඡා කරමින් ඇති බවයි. ඒ අනුව සහල් කිලෝග්‍රෑම් 50000 ක් වෙළෙඳපොළට මුදාහරිනු ඇති. මේ අතර මහ කන්නයේ වී මිලදී ගැනීම ලබන මස අවසන් සති කිහිපයේ ආරම්භ කිරීමට වී අළෙවි මණ්ඩලය තීරණය කර තිබේ. එම මණ්ඩලය සඳහන් කළේ, වී මෙට්ට්‍රික් ටොන් 175,000 ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.
2018-12-14T23:01:38.000Z
පොලිස් නිලධාරීන් යැයි පවසා කප්පම් ගත් දෙදෙනෙකු හොරණදී කොටුවෙති
පොලිස් නිලධාරීන් ලෙස කප්පම් ගත් දෙදෙනාට වැඩවරදී
COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කප්පම් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු හොරණදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් ව්‍යාපාරික ස්ථානවල හිමිකරුවන්ට පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දුරකතනය මගින් තර්ජනය කර කප්පම් මුදල් ලබා ගෙන ඇති බවයි. පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 1 ක් ද සිය භාරයට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරුවන් 35 සහ 50 හැවිරිදි හොරණ සහ බුලත්සිංහල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-12-14T22:17:16.000Z
ඖෂධ ආනයනය කිරීමේදී බාධා මතු ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
ඖෂධ ආනයනයට බාධා - සෞඛ්‍ය අමාත්‍යාංශය
COLOMBO (News 1st) - පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඖෂධ ආනයනය කිරීමේ කටයුතුවලට බාධා මතු ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඖෂධ ඇණවුම් කිරීම සඳහා ප්‍රසම්පාදන ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවය. ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති බව ද එම නිලධාරියා අනාවරණ කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, මෙරටට අවශ්‍ය ඖෂධ ණයවර ලිපි නිකුත් කොට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පසු පමණක් නිෂ්පාදනය වන බවයි. ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රමාදවීම හමුවේ, මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය ද නැවතී තිබේ. පවතින තත්ත්වය තුළ ලබන වසරේ පළමු මාස 4 ක කාලය තුළ රට තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය. එම නිලධාරියා පැවසූවේ, මේ වන විට ඖෂධ හිඟයක් නොමැති නමුත් ඖෂධ ගෙන්වීමේ කටයුතු මේ වන විට ඇණහිටිමින් ඇති බැවින් ඉදිරියේදී මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවනු ඇති බවයි.
2018-12-14T21:39:39.000Z
රු. ලක්ෂ 121 ක් වටිනා හෙරොයින් සමගින් දෙදෙනෙකු නුගේගොඩදී අත්අඩංගුවට
රු. ලක්ෂ 121 ක හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමග සැකකරුවන් දෙදෙනෙකු නුගේගොඩ පාගොඩ පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එහි වටිනාකම රුපියල් ලක්ෂ 121 කට අධික වන බවයි. හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් 34 සහ 25 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
2018-12-14T21:02:56.000Z
ඕවන් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවට කඩා වදී
ඕවන් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවට කඩා වදී
ඕවන් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වෙරළට සමීප වී තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, සුළි කුණාටුව හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර ඇති බවයි. සුළි කුණාටුව පැයට කිලෝමීටර් 200 ක වේගයකින් ගොඩබිම් ප්‍රදේශ වෙත කඩා වදිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් පුරෝකතනය කරති. ඒ, හතරවැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙසයි. එහි බලපෑමෙන් ගංවතුර හා නාය යෑම් තත්ත්වයන් ඇතිවිය හැකි බවට ඔස්ට්‍රේලියානු බලධාරීන් අනතුරු අඟවා ඇත. සුළි කුණාටුවෙන් බලපෑමට ලක්විය හැකි ප්‍රදේශ වෙත මේ වන විටත් හදිසි සහන සේවකයින් පිටත්කර යවා ඇතැයි විදෙස් වාර්තා අනාවණ කර තිබේ.
2018-12-14T20:47:53.000Z
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු
ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනයක්
COLOMBO (News 1st) - නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පැය 12 ක් තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 540 ක පමණ නැගෙනහිර දෙසින් ස්ථානගත ව ඇති බවය. මේ හේතුවෙන් හෙට දිනය තෙක් පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, එම මුහුදු ප්‍රදේශවල මේ වන විට රැඳි සිටින ධීවර සහ නාවුක ප්‍රජාවන්ට ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත හෝ ගොඩබිම් ප්‍රදේශ වෙත ගමන් කරන ලෙසයි.
2018-12-14T20:32:12.000Z
රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය සීරුවෙන්
රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය සීරුවෙන්
COLOMBO (News 1st) - රට තුළ සාමය ස්ථාපිත කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ ඒ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට සියලු නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස්දී ඇති බවයි. ඒ අනුව, දැනට ක්‍රියාත්මක ජංගම මුර සංචාර ඉහළ නැංවීමට පියවර ගන්නැයි ද පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස්දී තිබේ. පොලීසිය සඳහන් කළේ, අවශ්‍ය ඕනෑම අවස්ථාවක යෙදවීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ද සීරුවෙන් තබා ඇති බවයි. මේ අතර උත්සව සමය වෙනුවෙන් අද සිට කොළඹ ආශ්‍රීත ප්‍රදේශ වෙත පොලිස් නිලධාරීන් 2000 ක් යොදවන බව පොලීසිය පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිවිල් සහ නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් වශයෙන් යෙදවීමට පියවර ගෙන ඇති බවයි.
2018-12-14T20:15:17.000Z
2018 ඡන්ද හිමි නාම ලේඛනය ඡන්ද දායකයින් 231,229 දෙනෙකුගෙන් ඉහළට...
2018 ඡන්ද නාම ලේඛනයට නව ඡන්ද දායකයින් 231,229 ක්
COLOMBO (News 1st) - නව ඡන්ද දායකයින් 231,229 දෙනෙකු ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් ව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, 2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව එක්කෝටී පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනුහයක් වන බවයි. 2017 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව එම සංඛ්‍යාව එක් කෝටි පනස් හත් ලක්ෂ හැට දහස් අටසිය හැට හතකි. තව ද ඔහු පැවසූවේ, ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා සහතික කරන ලද නව ඡන්ද හිමි නාම ලේඛනය වලංගු වන බවයි. ඡන්ද හිමියන්ට තමන්ගේ ලියාපදිංචිය තහවුරු කර ගැනීම සඳහා කොමිෂන් සභා වෙබ් අඩවියෙන් අවස්ථාව ලබාදී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
2018-12-14T19:44:27.000Z
විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ අද අගමැති ධූරයට සමු දෙයි
මහින්ද රාජපක්ෂ අද අගමැති ධූරයට සමු දෙයි
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, එම ප්‍රකාශයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවය. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/15-12-LAKSHMAN-YAPA.wav"][/audio]
2018-12-14T19:37:00.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මහින්ද අද අගමැති ධූරය හැර යයි: මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ. 2. ඇමති මණ්ඩලයට එරෙහි අතුරු වාරණ නියෝගය තවදුරටත් බල පැවැත්වේ: මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූරවලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණ දුන් අතුරු නියෝගය අත්හිටුවන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය. 3. වැඩ බලන අභියාචනාධිකරණ සභාපති ලෙස එස්. තුරෙයිරාජා දිවුරුම් දෙයි: වැඩ බලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ඊයේ ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 4. සරත් එන්. සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්: හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඊයේ පෙත්සමක් ගොනු කර තිබේ. 5. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පැන ගිය අයුරු හෙළි කරයි: බන්ධනාගාර නිලධාරියෙකු ලෙස සැරසුණු තම සහයකයෙකු මගින් තමන් බන්ධනාගාරයෙන් පළා ගිය බව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නමැත්තා හෙළි කර තිබේ. විදෙස් පුවත් 6. අමෙරිකානු සෙනෙට් මණ්ඩලය, සෞදියට එරෙහිව යෝජනා 2ක් සම්මත කර ගනී: අමෙරිකානු සෙනෙට් මණ්ඩලය, සෞදි අරාබියට එරෙහිව යෝජනා 2ක් සම්මත කර ගෙන තිබේ.
2018-12-14T09:47:38.000Z
වැඩ බලන අභියාචනාධිකරණ සභාපති ලෙස එස්. තුරෙයිරාජා දිවුරුම් දෙයි
එස්. තුරෙයිරාජා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
COLOMBO (News 1st) - වැඩ බලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා දිවුරුම් දී ඇත. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදු කෙරිණි.
2018-12-14T09:30:45.000Z
සරත් එන්. සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
සරත් එන්. සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
COLOMBO (News 1st) - හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අද පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සම ගොනු කරනු ලැබුවේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු තිදෙනෙකු විසිනි. පසුගිය 03 වැනි දා මරදානේ පැවති උත්සවයකදී කළ ප්‍රකාශයකින් ශ්‍රේෂ්ඨාධිකරණය අපහාසක් වූ බවට මෙම පෙත්සමෙන් දක්වා ඇත.
2018-12-14T08:10:47.000Z
මහින්ද හෙට අගමැති ධූරය හැර යයි
මහින්ද හෙට අගමැති ධූරය හැර යයි
COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා හෙට විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ. මෙම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ, රටේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ මහතා මෙම ඉල්ලා අස්වීමේ තීරණය ගන්නා බවයි. තව ද මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව ද සමගින් ජනාධිපතිවරයා සමග එක් ව පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරනු ඇත.
2018-12-14T07:37:38.000Z
මහින්ද රාජපක්ෂ හා සන්ධාන මන්ත්‍රීවරුන් ජනපති කාර්යාලයට
මහින්ද ජනපති සමග සාකච්ඡාවක
COLOMBO (News 1st) - ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා ඇත. අද පස්වරුවේ අභියාචනාධිකරණය සිය තීරණය ප්‍රකාශ කරන අවස්ථාව වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියේ ය. සන්ධාන මන්ත්‍රීවරුන් රැසක් ද එහි පැමිණ සිටි අතර ඉදිරි ක්‍රියාමාර්ග එහිදී සාකච්ඡා කරන බව වාර්තා වේ.
2018-12-14T06:15:23.000Z
ඇමති මණ්ඩලයට එරෙහි අතුරු වාරණ නියෝගය තවදුරටත් බල පැවැත්වේ
ඇමති මණ්ඩලයට එරෙහි අතුරු වාරණ නියෝගය තවදුරටත්
COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූරවලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණ දුන් අතුරු නියෝගය අත්හිටුවන්නැයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ. එම අතුරු සහනය ලබාදීම ප්‍රතික්ෂේප කළත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු ගොනු කළ අභියාචනය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචනාධිකරණයේ ගොනු කළ හෝ වොරොන්ටෝ පෙත්සම් විභාගය අත්හිටුවමිනි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු ගොනු කළ අභියාචන පෙත්සම් අද සලකා බැලුවේ, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. මෙම අභියාචන පෙත්සම් ජනවාරි මස 16, 17 සහ 18 යන දිනවලදී වැඩිදුර විභාගය සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය. පැමිණිලිකාර පාර්ශවයට දැනුම් දුන්නේ, සති තුනක් ඇතුළත ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසයි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙනුවට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නම් ඒ පිළිබඳව අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස එහිදී ඊවා වනසුන්දර මහත්මිය වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දුන් අතර එම ඉල්ලීම අගවිනිසුරුවරයාට යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරය දැරීම, කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම වළක්වන ලෙස ඉල්ලමින් පසුගිය නොවැම්බර් මස 23 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අත්සන් තබමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේ ය. දෙසැම්බර් මස 03 වැනි දා එම පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධූරයත්, කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධූරවලත් කටයුතු කිරීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. අභියාචනාධිකරණය එදින නියෝග කළේ, ජනවාරි මස 16, 17 සහ 18 දිනවල පෙත්සම් යළි කැඳවන බවයි. පසුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකු එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 4 ක් ගොනු කළ අතර අභියාචනාධිකරණයේ අතුරු නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේ ය. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද පෙන්වා දුන්නේ, මෙම කරුණ මහජනතාව දැඩි උනන්දුවක් දක්වන ඉතා වැදගත් කරුණක් වන බැවින්, අද දිනය තුළම සලකා බැලීමට අවසර ලබාදෙන ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන පෙත්සම් විභාගයක් පවත්වා මාස දෙකක කාලයත් තුළ තීන්දුවක් ලබාදිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේ ය. මෙම කරුණ මහජන උනන්දුවක් ඇති කරුණක් බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වගඋත්තරකාර පාර්ශවය ද පිළිගෙන ඇතැයි ජනාධිපති නීතිඥවරයා කියා සිටි. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා ඉල්ලා සිටියේ මෙවැනි කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන අභියාචනයක් හෝ පෙත්සමක් කිසිදු ප්‍රමාදයකින් තොරව විභාගයට ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ පෙර නිකුත් කර ඇති තීන්දු හා නියෝග අනුව පෙන්වා දී ඇති බැවින් සිය පෙත්සම් අද දින සලකා බලා ඉල්ලා ඇති සහනය ලබාදෙන ලෙසයි. පෙත්සමේ පළමුවන වගඋත්තරකරු ලෙස නම් කර තිබු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ එස්. කනග්ඊස්වරන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තුව හමුවේ දෙවරක්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය හා අමාත්‍ය මණ්ඩලය මෙන්ම රජය සම්බන්ධයෙන් ද විශ්වාසභංග දෙකක් සම්මත කර තිබියදී එම ධූර දැරීමේ නීතිමය අයිතියක් තවදුරටත් නොමැති බව තීරණය කළ අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි. සිය සේවා දායකයන් විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කළ මෝසම මගින් ඊවා වනසුන්දර මහත්මිය නොමැති පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස ඉල්ලා ඇති බව වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ය. නීතිඥවරයා පැවසුවේ, විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප හිතවතෙකු බව ඇය විසින්ම පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බැවින් සිය සේවා දායකයා ඊවා වනසුන්දර මහත්මිය නොමැති විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට ඉල්ලා ඇති බවයි. එම ප්‍රකාශයට පිළිතුරු දුන් විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෝසම් පත්‍රය ඊයේ වනවිට අගවිනිසුරුවරයා වෙත යොමු කර තිබූ බවත්, එසේ තිබියදී තමා මෙකී පෙත්සම් සලකා බලා තීන්දුවක් ලබාදීම සඳහා පත් කර ඇති බැවින් එම පෙත්සම් සලකා බලා තීන්දුවක් ලබාදීම තම රාජකාරී යුතුකම බවත් අවධාරණය කර තිබේ. තමා තීන්දු හෝ නියෝග ලබා දෙන්නේ, පුද්ගලයින්ගේ මුහුණු හෝ තරාතිරම බලා නොව, රටේ පවත්නා නීතියට එකඟව පමණක් යැයි ද ඊවා වනසුන්දර මහත්මිය එහිදී පැවසුවා ය. සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුව හමුවේ සම්මත වූ වහාම අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ස්වභාවික විසුරුවා යාමක් සිදුවන බවයි. මෙය පාර්ලිමේන්තුවට සම්බන්ධ පත් කිරීමක් හෝ ඉවත් කිරීමක් බැවින්, එවැනි කරුණක් විභාග කළ හැක්කේ අභියාචනාධිකරණයට පමණක් යැයි නීතිඥවරයා තර්ක කළේ ය. එබැවින් අභියාචනාධිකරණය ලබා දී ඇති එකී නියෝගයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීමේ නීතිමය හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බවයි. දෙපාර්ශවයේ අදහස් දැක්විම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශව ගොනු කළ පෙත්සම් 4 විභාග කිරීමට තීරණය කර ඇත. විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද සිය අධිකරණ සේවාවෙන් විශ්‍රාම ගන්නා අතර තීරණය ප්‍රකාශ කරමින් ඇය කියා සිටියේ තමන් චේතනාන්විතව කිසිදු අයහපත් ක්‍රියාවක් සිදුකර නොමැති බවයි. ඉතා ගෞරවණීයව රාජකාරිය ඉටුකර ඇතැයි අධිකරණ ශාලාවෙන් පිටත්වීමට පෙර විනිසුරුවරිය ප්‍රකාශ කළා ය. 5.45pm : ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු අදට අවසන් 5.45pm : අභියාචනාධිකරණය මගින් ලබා දුන් අතුරු තහනම් නියෝගය තවදුරටත් බල පැවැත්වේ. 5.40pm : පෙත්සම් විභාගය නැවත ජනවාරි මස 16, 17 හා 18 සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරයි. 5.30pm: පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු යළි ඇරඹේ 5.15 pm : මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් අමාත්‍ය මණ්ඩලයේ සෙසු සමාජිකයින් එම ධූරවලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීම අවසන්, ශ්‍රේෂාඨාධිකරණය විනාඩි 10 කට කල් තැබෙයි
2018-12-14T05:10:44.000Z
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්
රාජගිරියේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - හෙට මධ්‍යම රාත්‍රි 12.00 සිට ඉරිදා පස්වරු 6.00 දක්වා පැය 18 ක කාලයක් රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත, රාජගිරිය, නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා මාර්ගය ද ජල සැපයුම අත්හිටුවනු ඇති. මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය.
2018-12-14T04:59:14.000Z
උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ වැල්ලව අතර දුම්රිය ප්‍රමාදයක්
කුරුණෑගල සහ වැල්ලව අතර දුම්රිය ප්‍රමාදයක්
COLOMBO (News 1st) - දුම්රියක, ලොරි රථයක් ගැටීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ වැල්ලව අතර දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව පාලක මැදිරිය පවසයි. අනතුරට ලක් ව ඇත්තේ, කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකි. ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇත. අනතුරට ලක් වූ ලොරි රථය සහ දුම්රිය, මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය.
2018-12-14T04:37:13.000Z
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හා ඔහුගේ දියණියගේ ග්‍රන්ථ 6 ක් එළිදැක්වෙයි
ග්‍රන්ථ 6 ක් දොරට වඩී...
COLOMBO (News 1st) - ප්‍රවීණ සාහිත්‍යවේදී, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා සහ ඔහුගේ දියණිය වන සම්මානි විජේසිංහ මහත්මිය විසින් රචිත ග්‍රන්ථ 6 ක් ඊයේ පස්වරුවේ එළිදැක්විය. ඒ, කොළඹ මහවැලි කේන්ද්‍රයේදී යි. මෙම අවස්ථාවට කලාකරුවන්, විද්වතුන් ඇතුළු සාහිත්‍ය ලෝලීන් විශාල පිරිසක් එක් ව සිටියහ. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත වීනක හා රෝස කුමාරි, රන් තැටියට ගී සින්දු හා ළමා ගී සරණිය යන ග්‍රන්ථ තුනක් එහිදී එළිදැක්විණි. නඩු ගාස්තුව, හොල්මන් ගෙදර සහ දුවකගේ මතක යන ග්‍රන්ථ ත්‍රිත්වය ද එහිදී එළිදක්වනු ලැබු අතර එම ග්‍රන්ථ රචනා කර ඇත්තේ සම්මානි විජේසිංහ මහත්මියයි.
2018-12-14T03:56:59.000Z
එක්දින සහ පන්දුවාර 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට
එක්දින සහ 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට
COLOMBO (News 1st) - නවසීලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමි ව තිබේ. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, එහි නායකත්ව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමි ව ඇති බවටයි. එහි උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර ඇත. ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා ද අද නම් කළ 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වේ. මේ අතර කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්ට, දුෂ්මන්ත චමීරට ද අවස්ථාව හිමි විය. ශ්‍රී ලංකා සංචිතයට නම් කළ සෙසු ක්‍රීඩකයින් වන්නේ ලක්ෂාන් සඳකැන් සහ ලහිරු කුමාර වේ.
2018-12-14T03:15:19.000Z
පොලිස් සැරයන්ට පහර දුන් එ.ජා.ප. ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වැඩ වරදී
පොලිස් සැරයන්ට පහර දුන් එ.ජා.ප. මන්ත්‍රීට වැඩ වරදී
COLOMBO (News 1st) - තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සමන් කුමාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පිරිසකට පහර දීමක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව ය. රතිඤ්ඤා දැල්වීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පොලිස් සැරයන්වරයා ඇතුළු තිදෙනෙකුට මෙම පහර දීම සිදුව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මේ වන විට වීරකැටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. ඔහු කාල්ටන් නිවසේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන බව ද පොලීසිය සඳහන් කළේ ය.
2018-12-14T02:29:50.000Z
පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම: නාවික හමුදාවේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
පුද්ගලයින් 11ක් ඝාතනය:තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - 2008 2009 කාල සීමාවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සුළු නිලධාරී ඉඹුලාන ලියනගේ උපුල් චමින්ද සහ නායක නැවි සංජීව සේනානායක නමැති සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගත් බව ය. පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට දුරකතනයෙන් අමතා පැහැරගත් පුද්ගලයා මුදා හැරීම සඳහා කප්පම් ඉල්ලා සිටීම, එක් පුද්ගලයෙකුගේ බිරිඳ නාරම්මල කඩහපොළට ගෙන්වා රුපියල් ලක්ෂ 5ක කප්පම් මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනා මත සුළු නිලධාරී උපුල් චමින්ද නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව පැහැර ගැනීමට ලක් වූ අයෙකුගේ ඥාතීන් තඹලගමුවට ගෙන්වා අවි ආයුධ පෙන්වා රුපියල් ලක්ෂ 5ක් කොල්ල කෑම සහ පැහැරගෙන ගිය 11 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනා ද මෙම සැකකරුට එල්ල වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. නාවික නැවි සංජීව සේනානායක නමැත්තාට එල්ල වී ඇති චෝදනා වන්නේ පැහැරගෙන යාම, අයුතු ලෙස රඳවා තබා ගැනීම, පුද්ගල ඝාතනවලට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය යන චෝදනා ය. සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත්, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-12-14T01:32:20.000Z
අගමැති ඇතුළු ඇමති මණ්ඩලයට දුන් අතුරු තහනමට එරෙහි පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂඨාධිකරණය තීන්දු කරයි
මහින්ද ඇතුළු 49කගේ පෙත්සම් විභාග කිරීමට තීන්දුවක්
COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් අමාත්‍ය මණ්ඩලයේ සෙසු සමාජිකයින් එම ධූරවලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ පෙත්සම, ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීම අද පෙරවරුවේ ආරම්භ විය. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ය. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ අදාළ, පෙත්සම විභාග කිරීමටයි. එහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ, මෙම පෙත්සම අදම විභාගයට ගත යුතු බව ය. පෙත්සම් අදම විභාගයට නොගන්නේ නම් ඉදිරියට යාමක් නොමැති බව පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද පැවසුවේ ය. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ, ඇතැම් වගඋත්තරකරුවන්ට අධිකරණය නිකුත් කළ නොතීසි තවමත් ලැබී නොමැති බව ය. පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය බව ජනාධිපති නීතිඥ කේ. කනග ඊස්වරන් මහතා පැවසුවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටිමිනි.
2018-12-14T00:03:01.000Z
දින 3ක් තුළ බීමත් රියැදුරන් 150කට නඩු
දින 3ක් තුළ බීමත් රියැදුරන් 150කට නඩු
COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වැටලීම්වලදී දින 3ක් තුළ බීමත් රියැදුරන් 150 දෙනෙකුට එරෙහිව නඩු ගොනු කළ බව පොලීසිය පවසයි. රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, කොළඹ ආශ්‍රිතව කළ මෙහෙයුම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ය. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම ඉහළ ගොස් ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර උත්සව සමය වෙනුවෙන් රථ වාහන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සීමා කිරීමට සිදු වන බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසයි. ඔහු පැවසුවේ, මහජනතාවගේ ආරක්ෂාව සහ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් එම පියවර ගන්නා බව ය.
2018-12-13T22:15:01.000Z
අමෙරිකානු සෙනෙට් මණ්ඩලය, සෞදියට එරෙහිව යෝජනා 2ක් සම්මත කර ගනී
සෞදියට එරෙහිව යෝජනා 2ක් සම්මත වෙයි
(News 1st) - අමෙරිකානු සෙනෙට් මණ්ඩලය, සෞදි අරාබියට එරෙහිව යෝජනා 2ක් සම්මත කර ගෙන තිබේ. ඉන් එක් යෝජනාවක් වන්නේ, යේමන යුද්ධය සඳහා සෞදියට ලබා දෙන ආධාර නතර කිරීමයි. එම යෝජනාව සම්මත වී තිබුණේ වැඩි ඡන්ද 16කිනි. මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධ වගකීම, සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරුට පැවරීම, අනෙක් යෝජනාව වේ. එම යෝජනාව අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඒකමතිකව සම්මත කර ගෙන තිබිණි. සම්මත වූ යෝජනා නීතිගත කිරීමට නම් ඊට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි විය යුතු ය.
2018-12-13T20:26:10.000Z
සමාන්‍ය පෙළ විභාගයේදී විභාග වංචා කළ 5 දෙනෙකුට ප්‍රතිඵල අහිමි වන ලකුණු...
විභාග වංචා කළ සිසුන් 5කට ප්‍රතිඵල අහිමි වන ලකුණු
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේදී විභාග අක්‍රමිකතාවලට සම්බන්ධ සිසුන් 5 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මෙවර විභායේදී විභාග අක්‍රමිකතා පිළිබඳව බරපතළ ඝණයේ සිදුවීම් 5ක් වාර්තා වී ඇති බව ය. ඒ පිළිබඳ විමර්ශන මේ වන විට විශේෂ කණ්ඩායම් මගින් සිදු වන බව ද ඔහු පැවසුවේ ය. එම සිදුවීම් අතරින් අපේක්ෂකයෙකු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු විභාගයට පෙනී සිටීම සහ ජංගම දුරකතනයක් භාවිත කරමින් තොරතුරු ලබා ගැනීම ප්‍රධානයි.
2018-12-13T20:16:40.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පැන ගිය අයුරු හෙළි කරයි
සුනිල් ශාන්ත බන්ධනාගාරයෙන් පැන ගිය අයුරු හෙළි කරයි
COLOMBO (News 1st) - බන්ධනාගාර නිලධාරියෙකු ලෙස සැරසුණු තම සහයකයෙකු මගින් තමන් බන්ධනාගාරයෙන් පළා ගිය බව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නමැත්තා හෙළි කර තිබේ. ඒ, සැකකරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම් හමුවේ ය. පොලීසිය සඳහන් කළේ, සැකකරුගේ සහයකයා බන්ධනාගාර නිලධාරීයෙකුගේ වෙස් ගෙන, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පැහැරගෙන ගොස් ඇති බව ය. පසුගිය මස 07 වන දා කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව සැකකාර සුනිල් ශාන්ත නමැත්තා එලෙස පළා ගොස් තිබිණි. මේ අතර පෙරේදා මීමුරේ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලබන 26 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. බන්ධනාගාර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා සිටින බව ය. මේ අතර ඔහුගේ සහයකයෙකු ද ලබන 26 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2018-12-13T20:05:03.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මස 9 වන දා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කළ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ පස්වරු 4.55ට එම ගැසට් නිවේදනය බල රහිත කරමින් ඒකමතික නියෝගයක් නිකුත් කළේ ය. 2. රනිල් වික්‍රමසිංහ සමග යළිත් ආණ්ඩු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කර තිබේ. 3. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු නියෝගයට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචනය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන්නැයි, ඊයේ ඉල්ලීමක් ඉදිරිපත් විය. 4. අධිකරණ නියෝගයට අනුව මැතිවරණයක් පැවැත්වීමේ අවස්ථාව අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 5. ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවට ගරු කරනු ඇතැයි විශ්වාසය පළ කරන බව ට්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විදෙස් පුවත් 6. තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් ජය ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සමත් විය.
2018-12-13T19:51:59.000Z
අගමැති ඇතුළු ඇමති මණ්ඩලයට දුන් අතුරු තහනම් නියෝගයට එරෙහි අභියාචනය සලකා බැලීම අද
මහින්ද ඇතුළු 49 දෙනෙකුගේ අභියාචනය සලකා බැලීම අද
COLOMBO (News 1st) - අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනය අද සලකා බැලීමට නියමිතව තිබේ. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ය. තමන් ඇතුළු කැබිනට් මණ්ඩලයට අගමැති ධූරය ඇතුළු අමාත්‍ය ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය 3 වන දා නිකුත් කළ අතුරු තහනම් නියෝගය අවලංගු කරල ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු ගොනු කර ඇති අභියාචනා පෙත්සම් අද පෙරවරුවේ මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිත ය. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කෙරූ පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සම් විභාගයට ගෙන අවසන් වන තුරු බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.
2018-12-13T09:22:32.000Z
''රනිල් සමග ආණ්ඩු කරන්නේ නැහැ'' - ජනපති යළි අවධාරණය කරයි
රනිල් සමග ආණ්ඩු කරන්නේ නැහැ - ජනපති අවධාරණය කරයි
COLOMBO (News 1st) : රනිල් වික්‍රමසිංහ සමග යළි ත් ආණ්ඩු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කර තිබේ. ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එය අවධාරණය කළ බවයි. මේ අතර මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය දැරීම හා අමාත්‍ය මණ්ඩලයට තනතුරු දැරීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා මහින්ද රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් ගොනු ගොනු කළ අභියාචනා පෙත්සම හෙට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය. https://www.youtube.com/watch?v=sfqiCB0qKWk
2018-12-13T08:05:28.000Z
මැතිවරණයක් එපා කියල සමරන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය - නාමල් රාජපක්ෂ
මැතිවරණයක් එපා කියල සමරන එකම පක්ෂය එජාපය - නාමල්
අධිකරණ නියෝගයට අනුව මැතිවරණයක් පැවැත්වීමේ අවස්ථාව අහිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ, මැතිවරණයක් පැවැත්වෙනවා ද නැද්ද යන්න විමසා බැලීම සඳහා තමන් පැමිණි බවයි. සම්පූර්ණ වීඩියෝව
2018-12-13T09:13:27.000Z
ඇමති මණ්ඩලයේ කටයුතු වැළකූ අතුරු නියෝගය විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
අතුරු තහනම විභාගයට විනිසුරුවන් 5ක් ඉල්ලයි
COLOMBO (News 1st) : මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු නියෝගයට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචනය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන්නැයි, අද ඉල්ලීමක් ඉදිරිපත් විය. මෝසමක් මගින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසිනි. මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් සහ කැබිනට් මණ්ඩලය ඇතුළු අමාත්‍යවරුන්ට එම ධුර දැරීම වළක්වමින් පසුගිය 3 වන දා අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නේ ය. ඊට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු ගොනු කළ අභියාචනා පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචන සලකා බැලීමට නියමිත අතර රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ශ්වයන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසයි. තම පාර්ශ්වයට සාධාරණ සහ යුක්ති සහගත නියෝගයක් ලබා ගැනීම සඳහා එකී ඉල්ලීම සිදුකරන බව ද ඔවුන් ඉදිරිපත් කළ මෝසමේ සඳහන් ය.
2018-12-13T07:08:02.000Z
තීන්දුව ගැන රනිල් වික්‍රමසිංහගෙන් ට්විටර් පණිවුඩයක්
තීන්දුව ගැන රනිල්ගෙන් ට්විටර් පණිවුඩයක්
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවට ගරු කරනු ඇතැයි විශ්වාස කරන බව එහි සඳහන් ය. ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම කුළුණු තුන වන්නේ ව්‍යවස්ථාදායක, විධායකය , අධිකරණය බව එහි දැක්වේ. මේවා පුරවැසියන්ගේ ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා ඉතා වැදගත් බවද රනිල් වික්‍රමසිංහ මහතාගේ ට්විට්ර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ. We trust that the President will promptly respect the judgment of the courts. The legislature, judiciary, and the executive are equally important pillars of a democracy and the checks and balances that they provide are crucial to ensuring the sovereignty of its citizens. — Ranil Wickremesinghe (@RW_UNP) December 13, 2018
2018-12-13T05:42:07.000Z
වෙළඳසල් 2175කට නඩු
වෙළඳසල් 2175කට නඩු
COLOMBO (News 1st) : උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් වෙළඳසල් හිමියන් 2175 නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් මහතා සඳහන් කළේ, සිදුකළ වැටලීම්වලදී දඩ වශයෙන් වෙළඳසල් හිමියන්ගෙන් රුපියල් 98 ලක්ෂ දස දහසක මුදලක් අය කර ගෙන ඇති බවයි. පාරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කිරීම , ප්‍රමිතියෙන් තොර පොලිතින් , වැඩි මිලට භාණ්ඩ අළෙවි කිරිම, කල් ඉකුත් වූ ආහාර අළෙවි කිරීම , ඇසුරුම්වල ලේබල් ඉවත් කර භාණ්ඩ අළෙවි කිරිම සම්බන්ධයෙන් එම නඩු පවරා තිබේ. උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය දිවයින පුරා පිහිටි වෙළඳසල් පරීක්ෂාව ආරම්භ කළේ, පසුගිය නොවැම්බර් 15 වැනිදායි. එය ලබන වසරේ 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. පසුගිය නොවැම්බර් 15 සිට ඊයේ දිනය දක්වා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 2742කි.
2018-12-13T05:29:35.000Z
හෙරොයින් ගෙනා ‍ට්‍රෝලර් යාත්‍රා හිමිකරුගේ නිවස පොලිස් පරීක්ෂාවට
බේරුවල මුහුදින් වැටලූ කුඩු ජාවාරමේ තවත් තතු
COLOMBO (News 1st) : හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් සමග අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ බේරුවල පිහිටි නිවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, සැකකරුගේ නිවසේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 59ක් සහ චන්ද්‍රිකා දුරකථන දෙකක් සොයාගත් බවයි. දුලිප් සමන්ත සිල්වා නමැති 44 හැවිරිදි සැකකරු බේරුවල , මොරගල්ල ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු මේ වනවිට රැඳවුම් භාරයේ පසුවේ. මේ අතර අදාළ හෙරොයින් තොගය බෝට්ටුවකින් රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
2018-12-13T06:09:32.000Z
BREAKING : පාර්ලිමේන්තුව විසුරුවීම: ‍ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ..
පාර්ලිමේන්තුව විසුරුවීම:තීන්දුව ප්‍රකාශයට පත්කෙරේ
COLOMBO (News 1st) : ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මස 9 වන දා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කළ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල අද පස්වරු 4.55 ට එම ගැසට් නිවේදනය බල රහිත කරමින් ඒකමතික නියෝගයක් නිකුත් කළේ ය. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ විනිසුරුවරුන් 6 දෙනෙකු එක්ව තීන්දුවක් නිකුත් කළ අතර විනිසුරු සිසිර ද ආබෘ මහතා වෙන්ව තීන්දුවක් ලබාදුන්නේ ය. කෙසේ නමුත් එකී තීන්දුව නිකුත් කරමින් විනිසුරු සිසිර ද ආබෘ මහතා පෙන්වා දුන්නේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නිකුත් කළ තීන්දු ප්‍රකාශයේ මූලික හරයට තමන් ද එකඟ වන බවයි. වසර 4 යි මාස 6 ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිතුමාට බලයක් නොමැති බවසත් පුද්ගල විනිසුරු මඩුල්ල තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසී ය. එම කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර යෝජනාවක් සම්මත විය යුතු බවද විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ ය. සත් පුද්ගල විනිසුරු මඩුල්ල මේ අනුව ප්‍රකාශයට පත් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කළ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මෙම පෙත්සම් සලකා බැලුණේ, අගවිනිසුරු නලීන් පෙරේරා, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දූ ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මස 9 වනදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කළේ ය. පසුව එය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ය. පසුගිය මස 13 වැනිදා එම පෙත්සම් සලකා බැලූ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලරහිත කරමින් අතුරු නියෝගයක් නිකුත් කිරිමට පියවර ගත්හ. එහිදී පෙත්සම් විභාගයට දින නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ දෙසැම්බර් මස 4, 5, 6 යන දිනවලදී වැඩිදුර විභාගය සිදුකෙරෙන බවයි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙනුවට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස ඉන් අනතුරුව උදය ගම්මන්පිල මහතා මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ය. මේ අනුව පෙත්සම් විභාගය සඳහා සිසිර ද ආබෲ, බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ හා මුර්දූ ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලැබූහ. පසුගිය දෙසැම්බර් 4 වන දා සිට දෙසැම්බර් 7 වන දා රාත්‍රිය දක්වා ම ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් මෙන්ම අතරමැදි පෙත්සම් සියල්ල සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තේ අතුරු තහනම ද දින කිහිපයකට දිර්ඝ කරමිනි. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින්ගේ ප්‍රධාන තර්කය වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නොමැති බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු දැක්වූ නීතිපතිවරයා සහ තවත් අතරමැදි පෙත්සම්කරුවෝ කිහිපදෙනෙකුගේ නීතිඥයින් අවධාරණය කළහ. එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 7 වැනිදා රාත්‍රියේ දැනුම් දුන්නේ තම තීන්දුව දැනුම් දෙන තුරු අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක බවයි. https://www.youtube.com/watch?v=eGre1d8ZFuE
2018-12-13T02:52:25.000Z
අම්බානි දියණියගේ විවාහ මංගල්‍යයේ නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහට
ඊෂා අම්බානිගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂණය ලාංකිකයෙකුට
(News 1st) - ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය ඊයේ මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඇය විවාහ වූයේ, ඉන්දියාවේ තවත් ප්‍රකෝටිපති ව්‍යාපාරික යුවළකගේ පුත්‍රයෙකු වන ආනන්ද් පීරමල් සමග ය. මුම්බායිහි පිහිටි මහල් 27 කින් යුත් අන්තිලියා අම්බානි නිවසේදී පැවති මෙම විවාහ මංගල්‍යය උත්සවය විචිත්‍රවත් අංග රැසකින් සමන්විත වූයේ දුටුවන්ගේ නෙත් පුදුමයට පත් කරවමිනි. මෙම උත්සවයට බොලිවුඩ් සුපිරි තරු මෙන්ම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහ දේශපාලනඥයින් රැසක් ද සහභාගී වූහ. ඊට අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරුන් වන හිලරි ක්ලින්ටන් සහ ජෝන් කෙරී මෙන්ම ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි ද ඇතුළත් ය. හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරුන් වන හිලරි ක්ලින්ටන් සහ ජෝන් කෙරී මෙහිදී ආර්තී නමැති සාම්ප්‍රදායික ඉන්දීය නර්තනාංගයකට ද සහභාගී වූහ. මෙම උළෙලේ තවත් විශේෂත්වයක් වූයේ, නර්තනයෙන් අගතැන්පත් ඉන්දියාවේ පැවති මෙම අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යය උත්සවයේ නර්තන අධ්‍යක්ෂණය ශ්‍රී ලාංකික නර්තන ශිල්පියෙකුට පැවරීමයි. ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහතාගේ නර්තන අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුණු මෙරට නර්තන ශිල්පීන්ගේ දක්ෂතාවයන්, උත්සවයට සහභාගී වූ ආරාධිතයින්ගේ දෙනුවන් අමන්දානන්දයට පත් කිරීමට සමත් විය. ඊෂා අම්බානිගේ පූර්ව විවාහ මංගල සාදය ද අතිශය අලංකාරවත් විය. ජායිපූර්හි පැවති මෙම උ‍ළෙලට සහභාගී වීමට පැමිණෙන ආරාධිතයින් වෙනුවෙන් මුකේෂ් අම්බානි ගුවන් යානා 100ක් සූදානම් කර තිබීම ද විශේෂත්වයකි. දින 5ක් පුරා පැවති පූර්ව විවාහ මංගල සාදය රස ගන්වන්නට පැමිණි පිරිස අතරට ලෝප්‍රකට පොප් ගායිකාවක වන බියොන්සේ නොවෙල්ස් ද එක්ව සිටියා ය. සුපිරි බොලිවුඩ් සුපිරි තරු වන ප්‍රියංකා චොප්රා, අමීර් ඛාන්, අමිතාබ් භච්චන්, ශාරුක් ඛාන් ඇතුළු නළු නිළියන් රැසක් එහිදී අලංකාර නර්තනාංගයන් ඉදිරිපත් කළහ.
2018-12-13T00:50:51.000Z
‍හොරොව්පතාන යාන් ඔය පාළම අසළින් තවත් ආයුධ තොගයක් සොයා ගනී
යාන් ඔය පාළම අසළින් තවත් ආයුධ තොගයක් සොයා ගනී
COLOMBO (News 1st) - හොරොව්පතාන යාන් ඔය පාළම අසළ තිබී තවත් උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් සොයා ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් කළ මෙහෙයුමකිනි. පොලීසිය පැවසුවේ, සෙයා ගත් ගිනිඅවි කොටස් අතර එල්.එම්.ජී. පතොරම් ගැබ් දෙකක්, ඒ සඳහා යොදන පතොරම් 1000 ක්, බෝම්බ දෙකක් ද වන බව ය. මීට අමතරව ටි 56 මැගසිනයක් හා හඳුනා නොගත් තවත් මැගසින් දෙකක් ද සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඩෙටනේටර් 14ක් සොයා ගත් ද්‍රව්‍ය අතර වන බව ය. මීට පෙර පසුගිය මස 30 වන දා හා මේ මස 3 වන දා ද මෙම ස්ථානයෙන්ම ටී 56 පතරොම්, අත්බොම්බ ඇතුළු ආයුධ රැසක් සොයා ගත්තේ ය. කෙසේ වෙතත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. මේ වන විට එම ස්ථානයේ දිය නෑමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන්ට ආරක්ෂක අංශ උපදෙස් දී තිබේ.
2018-12-13T00:33:52.000Z
විදෙස් රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සම්බන්ධයෙන් ජනපතිගෙන් උපදෙස්
නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් ජනපතිගෙන් උපදෙස්
COLOMBO (News 1st) - විදේශ රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමේදී ඉන් මෙරටට අත්වන වාසි පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනයකින් අනතුරුව ඒ සඳහා එළැඹෙන ලෙස ජනාධිපතිතුමා ජාත්‍යන්තර වෙළෙඳ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයට උපදෙස් දී තිබේ. එහි ලේකම් එස්.ටී. කොඩිකාර මහතා සඳහන් ඒ අනුව අදාළ කරුණු පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කිරීම් ආරම්භ කර ඇති බව ය. මේ වන විට තායිලන්තය හා බංග්ලාදේශය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සමබන්ධයෙන් සාකච්ඡා මට්ටමේ පවතී. අදාළ ගිවිසුම් අත්සන් කිරීමට පෙර එමගින් මෙරටට අත්වන වාසි පිළිබඳව අධ්‍යයනයන් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසුවේ ය. ඒ සඳහා විද්වත් මණ්ඩලයකින් වාර්තා කැඳවා ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. මේ අතර දැනට අත්සන් කර ඇති සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි ක්‍රියාවලිය මෙරටට වාසි දායක වන අන්දමට සකසා ගැනීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. එම ගිවිසුම අධ්‍යයනය සඳහා ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ වාර්තාවේ නිර්දේශ ද ඒ සඳහා පාදක කර ගැනෙණු ඇති . අදාළ කමිටුවේ වාර්තාව එහි සභාපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් පසුගියදා ජනාධිපතිතුමා වෙත භාර දුන්නේ ය.
2018-12-12T23:34:35.000Z
පාර්ලිමේන්තුව විසුරුවීම: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද
පාර්ලිමේන්තුව විසුරුවීම: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද
COLOMBO (News 1st) - ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පස්වරු 4.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් ප්‍රදීප් මහමුතුගල මහතා නිවස්ෆස්ට් වෙත ඒ බව තහවුරු කළේ ය. එම පෙත්සම් විභාගය අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගලය විනිසුරු මඩුල්ලක් හමුවේදී පසුගිය 4,5,6,7 යන දිනවලදී විභාගයට ගැනිණි. ජනාධිපතිවරයාගේ එකී ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ. එම පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු 12 දෙනෙකු ද පෙත්සම් ගොනු කර තිබූ අතර එම පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු හා නීතිපතිවරයා පුරා දින 4 ක් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.
2018-12-12T20:26:40.000Z
මීමුරේ සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුනිල් ශාන්ත CIDය භාරයට
සුනිල් ශාන්ත CIDය භාරයට
COLOMBO (News 1st) - කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා ගොස් මීමුරේ ගම්මානයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. ඔහු ඊයේ අත්අඩංගුවට ගැනුණේ, පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී ය.‍ පොලීසිය සඳහන් කළේ, සැකකරු සමග සිටි ඔහුගේ දියණිය සහ සැඟව සිටීමට ආධාර අනුබල දුන් යුවළක් ද ප්‍රශ්න කිරීම සඳහා සිය භාරයට ගත් බව ය. පසුගිය මස 07 වන දා සැකකරු කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පළා ගොස් තිබිණි. සුනිල් ශාන්ත නමැති මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ඇතුළු නඩු 10කට අදාළ සැකකරුවෙකි.
2018-12-12T20:15:41.000Z
පුද්ගලයෙකු මිය යාමෙන් අනතුරුව කටුවන පොලීසිය ඉදිරිපිට විරෝධතා
කටුවන පොලීසිය ඉදිරිපිට විරෝධතා
COLOMBO (News 1st) - හම්බන්තොට, කටුවන, බෙන්ගමුකන්ද ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කටුවන පොලීසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. යතුරු පැදි දෙකකින් වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් 4 දෙනෙකු විසින් තුවාල ලබා මාර්ගයේ වැටී සිටි පුද්ගලයෙකු කටුවන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. අදාළ පුද්ගලයාගේ මරණයට එම පොලිස් නිලධාරීන් 4 දෙනා සම්බන්ධ බවට චෝදනා කරමින් එම පිරිස විරෝධතාවයේ නිරත වූ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. එලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි කටුවන, බෙන්ගමුකන්ද ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි. විරෝධතාවයේ නිරත පිරිස චෝදනා කරන්නේ, එම පුද්ගලයාට කටුවන පොලීසියේ නිලධාරීන් දෙදෙනා පහර දී ඇති බවට ය. විරෝධතාව හේතුවෙන් කටුවන පොලීසිය අවට විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව ද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.
2018-12-12T20:04:28.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාව සම්මත විය. 2. ඇඹිලිපිටිය 96 හන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. 3. සපුගස්කන්ද, ගල්වල පාරේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. 4. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත් වීමේ කඩයිම් ලකුණු ඊයේ නිකුත් කෙරිණි. 5. බේරුවල මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විදෙස් පුවත් 6. ලබන වසර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඉතා දුෂ්කර වසරක් වනු ඇතැයි ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි පවසයි. ක්‍රීඩා පුවත් 7. ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීමේදී ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් එහි ඉහළම කාණ්ඩයට හෙවත් ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට කාණ්ඩගත වී තිබේ.
2018-12-12T19:48:36.000Z
තෙරේසා මේ විශ්වාසභංගයෙන් ජය ගනී
තෙරේසා මේ විශ්වාසභංගයෙන් ජය ගනී
(News 1st) - තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් ජය ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සමත් විය. ඇයගේ නායකත්වය අභියෝගයට ලක් කරමින් ඊයේ පැවති මෙම ඡන්ද විමසීමේදී 63%ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට තෙරේසා මේ සමත් වූ බව සඳහන් ය. සංඛ්‍යාත්මකව ගත් කළ මන්ත්‍රීවරුන් 200 දෙනෙකු තෙරේසා මේට පක්ෂව ඡන්දය භාවිත කළ අතර විපක්ෂව ලද ඡන්ද සංඛ්‍යාව 117කි. මේ අනුව තවත් වසරක් ගත වන තෙක් තෙරේසා මේට එරෙහිව නායකත්ව අභියෝගයක් ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති. විශ්වසභංගය ජය ගැනීමෙන් පසු බ්‍රෙක්සිට් ගිවිසුම යථාර්ථයක් කරන බවට ප්‍රතිඥා දුන් තෙරේසා මේ තමන්ට විපක්ෂව ඡන්දය පළ කළ මන්ත්‍රීවරුන්ගේ අදහස් වෙත සවන් දුන් බව ද ප්‍රකාශ කළා ය. ඇයගේ ආධාරකරුවන් බාධක නොතකා ඉදිරියට යන ලෙස තෙරේසා මේ දිරිමත් කළ නමුත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකක සහය අහිමි වීම ඇයගේ නායකත්වයට ප්‍රබල පහරක් බව ය. බ්‍රෙක්සිට් ප්‍රතිපත්තිය 2016 වසරේ පැවති ජනමත විචාරණ ප්‍රතිඵලවලට එරෙහි බව පවසන මන්ත්‍රීවරුන් 48 දෙනෙක් අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහි මෙම විශ්වාසභංගය ගෙන ඒමට මුල් වූහ. විශ්වාසභංග ඡන්ද විමසීමට සුළු මොහොතකට පෙර මන්ත්‍රීවරුන් ඇමතූ තෙරේසා මේ, 2022 වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග නොකරන බවට ප්‍රතිඥා දුන්නා ය. ඒ, සිය පක්ෂ සාමාජිකයින්ට තමන් තවත් මැතිවරණයකට ඉදිරිපත්වනු දැකීමට අවැසි නැති බව පවසමිනි. මෙම විශ්වාසභංගයෙන් තෙරේසා මේ පරාජය වූවා නම් ඇයට කොන්සවටිව් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධූරයෙන් ද ඉල්ලා අස්වීමට සිදුවනු ඇති.
2018-12-12T11:26:17.000Z
ඇඹිලිපිටියේ අනතුරකින් පසු බස් රථය ගිනිබත්
ඇඹිලිපිටියේ අනතුරකින් පසු බස් රථය ගිනිබත්
COLOMBO (News 1st) : ඇඹිලිපිටිය 96 හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරත් සමග ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ද හටගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. තුවාලකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, අප යූ රිපෝටර් වාර්තාකරු සඳහන් කළේ අනතුරත් සමග පිරිසක් බස් රථයට ගිනි තබා ඇති බවයි.
2018-12-12T10:58:33.000Z
සපුගස්කන්දේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට
සපුගස්කන්දේ වෙඩි තැබිමකින් ව්‍යාපාරිකයෙක් මරුට
COLOMBO (News 1st) : සපුගස්කන්ද, ගල්වල පාරේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද රාත්‍රි 8 ට පමණ වෙඩි තැබීම සිදුකර ඇති බවයි. ඉන් මියගොස් ඇත්තේ සංජීව ධනුෂ්ක නමැති 35 හැවිරිදි මාකොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ දේහය කඩවත රෝහලේ තැන්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
2018-12-12T07:10:21.000Z
5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ පාසල් කඩයිම් ලකුණු මෙන්න...
5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ පාසල් කඩයිම් ලකුණු මෙන්න..
COLOMBO (News 1st) : 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩයිම් ලකුණු අද නිකුත් කෙරිණ. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළත්වීමේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 187කි. කොළඹ ආනන්ද විද්‍යාලයට ලකුණු 185 ක්, කොළඹ නාලන්ද විද්‍යාලය ලකුණු 184 ක්, සහ කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලය ලකුණු 182 ක් වශයෙන් නම් කර තිබේ. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත්වීමේ ලකුණු කඩයිම් වන්නේ, ලකුණු 179 කි. කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඇතුළත් කර ගැනෙන්නේ ලකුණු 178 සීමාව යටතේයි. බාලිකා පාසල් අතරින් වැඩිම කඩයිම් ලකුණු සංඛ්‍යාව කොළඹ විශාඛා විද්‍යාලයට හිමිව තිබෙනවා. එම සංඛ්‍යාව ලකුණු 189 කි. කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ලකුණු 185 ක්, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ලකුණු 182 ක්, මහනුවර උසස් බාලිකා විද්‍යාල ලකුණු 181 ක් ලෙස කඩයිම් ලකුණු නම් කර තිබේ. ඊට අමතරව ගම්පහ යශෝදරා දේවි බාලිකා, මහනුවර පුෂ්පදාන බාලිකා, සහ රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා යන විද්‍යාලවලට ඇතුලත්වීමේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 177 කි. මෙවර කඩයිම් ලකුණුවලට අනුව මිශ්‍ර පාසල් සදහා වැඩිම ලකුණු අගයක් නම් කර ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලටයි. එම සංඛ්‍යාව ලකුණු 182 කි. හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 179 කි. ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින්....
2018-12-12T06:20:34.000Z
ගැඹුරු මුහුදු ප්‍රදේශවල සිටින ධීවරයින්ට දැනුම්දීමක්
ගැඹුරු මුහුදේ සිටින ධීවරයින්ට දැනුම්දීමක්
COLOMBO (News 1st) : දිවයිනට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් දක්වා මඩකළපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බවයි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා වැඩි විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසී ය. මේ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් ,මඩකළපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත නොවන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ , බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සිටින ධීවරයින් සහ නාවුක ප්‍රජාව ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙසයි.
2018-12-12T05:55:31.000Z
මාතර පොල් වගා බිම්වල අතුරු බෝග වගාවට පියවර
මාතර පොල් වගා බිම්වල අතුරු බෝග වගාවට පියවර
COLOMBO (News 1st) : මාතර දිස්ත්‍රික්කයේ පොල් වගා ඉඩම්වල අතුරු බෝග වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙහි මුල් අදියර යටතේ පුහුල්වැල්ල හා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුරුඳු, අන්නාසි , ඉඟුරු හා බුලත් වගා කිරීමට ගොවීන් යොමු කරන බවයි. වගාකරුවන් සඳහා රෝපණ ද්‍රව්‍ය හා වගා කටයුතු සඳහා ඉඩම් ප්‍රමාණය අනුව සහනාධාර මුදල් ලබා දෙන බව ද දෙපාර්තමේන්තුව පැවසී ය.
2018-12-12T05:33:13.000Z
බේරුවල මුහුදේදී කුඩු සමග ඇල්ලූ සැකකරුවන් යළි රිමාන්ඩ්
බේරුවල මුහුදේදී කුඩු සමග ඇල්ලූ දෙදෙනා යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) : බේරුවල මුහුදේදී හෙරොයින් කිලෝග්‍රැම් 231 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, පසුගිය 6 වන දා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවේ සහායෙන් දියත් කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනිණ. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2778 කට අධික ය. මේ අතර මත්ද්‍රව්‍ය ජාවරමට වරදකරු වූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද මරණ දඬුවම නියම කළේ ය. ඒ, හෙරොයින් ග්‍රැම් 18 යි මිලිග්‍රැම් 97 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙනි. 2013 ජනවාරි 07 වන දා මරදානේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.