date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-09-29T09:51:48.000Z | යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියට අකුල් හෙළන්නේ කවුද? | ආයෝජකයින් කළකිරවන බලධාරීන්ගේ වැඩපිළිවෙළ | COLOMBO (News 1st) - ආදායම් ලබා දෙන විදේශීය ආයෝජන රටට ගෙන්වා ගැනීම කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් දක්වන ආකල්පයේ තරම යෝජිත අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ව්‍යෘපෘතියට ඉඩ නොදීමේ සිදුවීම තුළින් පැහැදිලිව පෙනේ. මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාර නොලැබීම නිසා ආයෝජකයින් මේ පිළිබඳව ජනාධිපතිවරයාට පවා කරුණු දක්වා තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙන්ම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශ යන ආයතනවලට වතාවන් ගණනාවකදී සිහි කැඳවීම් හෝ විමසීම් ලිපි යවා තිබිණි. එසේ තිබියදීත් මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර නොලැබීම නිසා මේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ අදාළ බලධාරීන්ට චෝදනා එල්ල කෙරිණි. මේ චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනයේ දැක්වෙන්නේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසා ඇති ඇතැම් කරුණු පිළිබඳව ආයෝජකයා විසින් අසම්පූර්ණ තොරතුරු සපයා තිබීම තුළ තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුවට එය අනුමත කිරීමේ හැකියාවක් නොමැති බව ය ඒ පිළිබදව සීලොන් හයි ස්පීඩ් රේල්වේ ආයතනයේ ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ ඇන්ටන් දේශප්‍රිය මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ව්‍යාපාර සැලස්ම, ඉන් ඉපැයීමට බලාපොරොත්තු වන ලාභය ආදී දේ පිළිබඳ තොරතුරු අදාළ බලධාරීන් ඉල්ලා සිටින බව ය. එම තොරතුරු ලබා දීමට ඔවුන් සූදානම් නොමැති බවත් එය රහස්‍ය ලියැවිල්ලක් බවත් ඔහු අවධාරණය කළේ ය. මෙම ආයෝජනයෙහි නීත්‍යානූකුලභාවය සම්බන්ධයෙන් නැගෙන චෝදනාවලට ඔහු පිළිතුරු දෙමින් පැවසුවේ, අදාළ ව්‍යාපෘතිය සඳහා යුරෝපීය සංගමයේ ලියාපදිංචි බැංකුවක් මුදල් ලබා දෙන බව ත් මේ පිළිබඳව යුරෝපීය සංගමය අධීක්ෂණය කරන බවත් ය. |
2018-09-29T09:03:16.000Z | අගමැතිගේ කතාව කෙසේ වෙතත් ක්‍රියාවේ විපාකවල තරම... | අගමැතිගේ කතාව කෙසේ වෙතත් ක්‍රියාවේ විපාකවල තරම... | COLOMBO (News 1st) - වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කිරීම අද සිදු කෙරිණි. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර හා පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අග්‍රාමාත්‍යවරයා මෙහිදී රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය පිළිබඳව අදහස් පළ කළේ ය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය "අද ලෝකයේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. මේ මැදට අපිත් හිර වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් තෙල් මිල වැඩි වෙනවා. අපිට ඩොලර්වලින් ගෙවන්න වැඩිපුර මුදල් වුවමනා වෙලා තියෙනවා. අපි විදේශ ආයෝජන ගන්නේ නැතුව ණය ගන්න පටන් ගත්තා. ණය ගෙවන්න මුදල් හොයන්න තියෙනවා. ඊට පස්සේ වැට් වැඩි කරන්න වෙනවා. වැට් වැඩි කරන කොට හැම එක්කෙනාම ආණ්ඩුවට බනින්න ගත්තා. විදේශ ආයෝජන ලබා ගන්න අපනයන වැඩි කරන්න ඕන. ඒ සැලසුම අපි දැන් ශීඝ්‍රව කරන්න ඉන්නේ" අග්‍රාමාත්‍යවරයා අද එසේ පැවසුව ද පසුගියදා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්. (2018/09/02) රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය "අපි මෙතෙක් කල් හිටියා බැණුම් ඇහුවා. දැන් හරි අපි වැඩේ කරගෙන යනවා. මේ අවුරුද්දේ මං කිව්වා දැන් අත් දෙක දිග ඇරලා වැඩ කරන්න කියලා. තාම අමාරු කාලයක්. මේකෙන් අපි සම්පූර්ණයෙන් පැනලා නෑ. මේක අපි ආරම්භ කළා විතරයි. ගම්පෙරළියෙන් දැන් ගම්වලට යන්න වැඩ කටයුතු කරන්න. දැනට මිලියන 9000ක් අපි දීලා ගම්පෙරළියට. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අතේ මුදල් තියෙනවා වැඩ කටයුතු කරන්න. ඒගොල්ලන්ටත් ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ගම්පෙරළියෙන් කරන්න පුළුවන්. එන්ටප්‍රයිස් ලංකා වැඩසටහනෙන් කරන්න පුළුවන්. දැන් ඉතින් ඇමතිවරු විතරක් නෙවෙයි ගමේ ඉන්න අයත් බැහැලා වැඩ කරන්න. තවත් අපි සල්ලි හොයලා දෙන්නම් කියලා මං කියන්න කැමතියි" අගමැතිවරයාගේ කතාව කෙසේ වුවත් ක්‍රියාවෙන් සිදුව ඇත්තේ කුමක් ද? අප මේ විඳිමින් සිටින්නේ ජනාධිපතිවරයා සහ ඇතැම් අමාත්‍යවරුන්ගේත් විරෝධය නොතකා මිතුරු අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති අසුනට පත් කර සිදු කළ බැඳුම්කර වංචාවෙන් රටට සිදු වූ පාඩුවේ තරම නොවේ ද? රටේ වැඩ කරන ජනතාවට විශ්‍රාම දිවිය ගෙවීමට ඇති සේවක අර්ථ සාධක අරමුදල් පවා මේ වංචාව නිසා අහිමි කළ බව අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අද අප ගෙවමින් සිටින්නේ මේ අපරාධවල වන්දිය නොවේ ද? රටේ තරුණ පරම්පරාවට රැකියා දස ලක්ෂයක් ලබා දෙන බව පවසා පස් අවුරුදු සැලසුම් සකස් කර අවසානයේ මහ බැංකුවෙන් ඉවත් කළ අර්ජුන මහේන්ද්‍රන් එහි ප්‍රධානියා ලෙස පත් කළ මේ අගමැතිවරයා ඉන් නොනැවතී රට රටවල සංචාරය කළේ ද ඔහු සමග ය. අවසානයේ සිංගප්පූරුවට වාසිදායක අයුරින් නිදහස් වෙළෙඳ ගිවිසුමක් සකස් කරන්නට මග පාදන තත්ත්වයට අර්ජුන මහේන්ද්‍රන් මහතා බලවත් විය. මේ ගිවිසුම්වලින් රටට ආදායම් ලැබීම කෙසේ වෙතත් රටේ භාණ්ඩ හා සේවා වෙළෙඳපොළ පිට රටවලට සූරා කෑමට හැකි තත්ත්වයකට පත් කර ඇති බව රටේ සිටින වෘත්තිකයින්ගේ මතයයි. රැකියා දස ලක්ෂය කෙසේ වෙතත් දැන් රටේ තරුණ තරුණියන් අතර ඇති විරැකියාවේ තරම සතියකට කොළඹ නගරයේ පමණක් පවත්වන තරුණ විරෝධතාවලින් පැහැදිලිව පෙනේ. හොරු අල්ලන බවට ජනතාවට පොරොන්දු වී අවසානයේ සිදු වූයේ රාජපක්ෂ පවුලේ මුදල් ඩුබායි ගිණුම්වල දැමූ බවට ඔවුන්ම චෝදනා කළ පුද්ගලයින් සමග හවුල් ව්‍යාපාරවල යෙදීමයි. මහා පරිමාණ ටයර් කම්හලක් ඉදිකරන මුවාවෙන් අගමැතිවරයාත්, මිතුරු මලික් සමරවික්‍රම ඇමතිවරයාත් දැන් මේ පුද්ගලයින්ගේ ගජ මිතුරන් වී තිබේ. රාජගිරියේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මැදිහත්ව කළ ව්‍යාපාරය ද දැන් සතුවන්නේ මේ පුද්ගලයින්ට ය. සොරකම් කළ මුදල් රටට ගෙනැවිත් ජනතාවට සුරපුරයක් සකස් කරන බව පවසා දැන් සිදු කරමින් ඇත්තේ ජනතාවට කෙසේ වෙතත් ඔවුන්ට සුරපුරයක් සකස් කර ගැනීම නොවේ ද? රටේ මුදල කඩාගෙන වැටෙන විට සරල ආර්ථික විද්‍යාවට අනුව නම් එය ශක්තිමත් කිරීමට වැඩියෙන් ඩොලර් රටට රැගෙන ආ යුතුය. නමුත් සිදුව ඇත්තේ විවිධ සෙස් බදු ඉවත් කරමින් දේශීය අපනයන කර්මාන්ත ද කඩා බිඳ දමන තත්ත්වයකට පත් කිරීම නොවේ ද? රටට අවශ්‍ය දේ රටේ නිපදවනවාට වඩා පිටරටින් ගෙන්වා බෙදා හැරීම ලාභදායී තත්ත්වයට පත් කරන ප්‍රතිපත්ති සකස් කරන්නට නම් රටකට පාලකයින් අවශ්‍ය ද? ප්‍රධාන අපනයන ආදායම් මාර්ගය වූ ඇඟලුම් කර්මාන්තය අද පත්ව ඇති තත්ත්වය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. තේ, පොල්, රබර් යන සාම්ප්‍රදායික අපනයන අනුවන ප්‍රතිපත්ති නිසා දැන් ඇත්තේ පණ අදින තත්ත්වයක ය. කිසිදු විධිමත් පරීක්ෂණයකින් තහවුරු නොකර ගත් ඇතැම් තීරණ නිසා සාම්ප්‍රදායික අපනයන ලෝකයේ වැඩිම ඉල්ලුමක් පවතින රටවල් දැන් ප්‍රතික්ෂේප කරමින් සිටියි. රටට ආදායම් උපයන මාර්ග විනාශ කළ ද රටින් මුදල් පිටට ගලා යන දැවැන්ත ව්‍යාපෘති නම් ඕනෑවටත් වඩා ක්‍රියාත්මක වෙමින් ඇත. ඇමති මලික් සමරවික්‍රම මහතාගේ හිතවතුන් රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කර ඔවුන්ගේම සමාගම්වලට බිලියන ගණනින් ණය නිකුත් කළ බව දැන් රටට රහසක් නොවේ. අවසානයේ මේ සමාගම් ණය ගෙවා ගැනීමටවත් නොහැකි මට්ටමින් අර්බුදයට ලක් වෙද්දී ඒවායේ පාඩුව ද දරන්නට සිදු වන්නේ රටේ ජනතාවටම නොවේ ද? අධික පොළියට වානිජ ණය ලබාගෙන අධිවේගී මාර්ග ඉදිකිරීම, ආයෝජකයින් අධෛර්යමත් කරමින් ඔවුන්ගෙන් කොමිස් ඉල්ලා සිටීම, මහ බැංකු බැඳුම්කර වංචාව වැනි ජනතාවට නොදැනෙන ක්‍රමවලින් ජනතා මුදල් සොරකම් කිරීම, කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම, හිත මිතුරන්ගේ බංකොලොත් ව්‍යාපාරවලට සහනදායී පදනමට බැංකු ණය ලබා දීම, රජයේ ව්‍යාපාරවලට මිතුරන් නැත්නම් ඥාතීන් පත් කර ඒවා වසා දමන තත්ත්වයට පත් කිරීම වැනි උපක්‍රම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වෙයි ද? |
2018-09-29T08:04:02.000Z | විදුලි ගාස්තුවටත් ළඟදීම මිල සූත්‍රයක් | විදුලි ගාස්තුවටත් ළඟදීම මිල සූත්‍රයක් | COLOMBO (News 1st) - තෙල් මිල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක කළ මිල සූත්‍රය නිසා දැන් සෑම මසකම ඉන්ධන මිල සංශෝධනය කෙරේ. එනම් පසුගිය මාස කිහිපයේම ඉන්ධන මිල ඉහළ ගියේ ය. මේ අතර පසුගියදා නිකුත් කෙරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම ප්‍රකාශනයක සටහන් වන්නේ, විදුලි ගාස්තු සඳහා ද මිල සූත්‍රයක් ඇති කළ යුතු බව ය. මේ පිළිබඳව අද මාතර බෞද්ධ විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍යයට අදහස් දැක්වුවේ ය. මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් ඇති කිරීමට විශේෂ කමිටුවක් ඉදිරියේදී පත් කිරීමට බලාපොරොත්තු වන බව ය. |
2018-09-29T07:45:23.000Z | වනජීවී නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා වන අලියෙකුට අත්වූ ඉරණම | වනජීවී නිලධාරීන්ගේ නොසැලකිලිමත්කමේ තරම... | COLOMBO (News 1st) - අනුරාධපුර රඹැවෙළේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු මුදා ගැනීමට වනජීවී නිලධාරීන් මීට දින 4කට පෙර සිදු කළ මෙහෙයුමකදී වන අලියා අලි වෙඩිල්ලකට හසු වී තුවාල ලබා ඇතැයි වාර්තා වේ. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙතෙක් අදාළ වන අලියා සොයා ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර නොමැති බව ය. ගල්කිරියාගම වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබිණි. වන අලියා මුදා ගැනීමෙන් අනතුරුව ඔහු පළවා හැරීමට වනජීවී නිලධාරීන් එල්ල කරන අලි වෙඩිල්ලක් වන අලියා සිය හොඬයෙන් කට තුළට දමා ගැනීමට උත්සහ කිරීම හේතුවෙන් තුවාල ලබා තිබේ. අනතුරට පත් වන අලියා කහල්ල පල්ලකැළේ රක්ෂිතයට ගමන් කළ ද එම වන අලියා සම්බන්ධයෙන් පසුව සොයා බැලීමක් සිදු කළේ ද යන්න අපි ගල්කිරියාගම අඩවි වන නිලධාරී ඩී. රාමසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු. අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, එවැනි සිද්ධියක් වාර්තා නොවුණු බව ය. කෙසේ වෙතත් එම වන අලියා අලි වෙඩිල්ලට හසු වී තුවාල ලබන දර්ශන අප වෙත ලැබී තිබේ. අදාළ දර්ශන පහතින් දැක්වේ. වනජීවීන්ගේ ආරක්ෂාවට සිටින ඇතැම් වනජීවී නිලධාරීන් ද තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන්නේ නම් එම සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන්නේ කවුරුන් ද? |
2018-09-29T05:14:45.000Z | රුපියල වෙනුවෙන් අද රෑ මෙහෙයුමක්... | රුපියල වෙනුවෙන් අද රෑ මෙහෙයුමක්... | COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීම සඳහා ආණ්ඩුව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ. මේ අනුව වසරක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම අත්හිටුවා ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ය. අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවලට වාහන ගෙන්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව ද එම නිවේදනයේ සඳහන් ය. රජයේ සේවකයින්ට නිකුත් කළ බලපත්‍ර මත වාහන ආනයනය කිරීම ද මාස 6ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. එම කාල සීමාව තුළ ණයවර ලිපි විවෘත කිරීමට අවසර නොදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. හයිබ්‍රිඩ් වාහන සඳහා කල් බදු පහසුකම් ලබා ගත හැක්කේ වාහනයේ වටිනාකමින් 50%කට පමණි. බස්, ලොරි සහ ගිලන් රථ හැර අනෙකුත් සියලු ම වාහන ආනයනයේදී ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී 200%ක තැන්පතුවක් තැබිය යුතු බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. මේ අතර ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන සහ අනෙකුත් දුරකතන, රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100%ක තැන්පතුවක් ද තැබිය යුතු වේ. රජය අඛණ්ඩව විනිමය අනුපත වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2018-09-29T04:30:49.000Z | පහර දීමක් නිසා පොතුවිල් පොලීසියේ ස්ථානාධිපතිවරයා රෝහලේ | පොතුවිල් පොලීසියේ ස්ථානාධිපතිට පහර දීමක් | COLOMBO (News 1st) - පහර දීමක් හේතුවෙන් පොතුවිල් පොලීසියේ ස්ථානාධිපතිවරයා රෝහල්ගත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, පොතුවිල් මුරුසාන ප්‍රදේශයේ පැවැති ආරවුලක් විසඳීමට ගිය අවස්ථාවේ කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කළ ගල් ප්‍රහාරයකින් ස්ථානාධිපතිවරයා තුවාල ලබා ඇති බව ය. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අම්පාර රෝහලට මාරු කර යවා තිබේ. ඊයේ අලුයම 2.00ට පමණ සිද්ධිය වූ ස්ථානයට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් ඇති අතර පහර දීම සිදු කළේ කවුරුන්ද යන්න මේ වන විටත් තහවුරු වී නොමැත. |
2018-09-29T03:18:00.000Z | ජනපති එ.ජා. සංවිධානයේ මහ ලේකම් හමුවෙයි | ජනපති එ.ජා. සංවිධානයේ මහ ලේකම් හමුවෙයි | COLOMBO (News 1st) - ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් මාධ්‍ය නිදහස පිළිබඳව ශ්‍රී ලංකාව ලබා ඇති සාධනීය ප්‍රගතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ හා පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරියගේ ඇගයීමට ලක් ව තිබේ. ඔවුන් මෙම ඇගයීම සිදුකර ඇත්තේ, නිව්යෝක්හිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා හමු වූ අවස්ථාවේදී ය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරෙස් මහතා ඊයේ පස්වරුවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු විය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, ප්‍රජාතන්ත්‍රවාදයෙ, නිදහස, සාමය හා සංහිඳියාව පිළිබඳ ඉකුත් වසර තුන හමාර තුළ ශ්‍රී ලංකාව ලද සුවිශේෂී අත්දැකීම් උපයෝගී කර ගනිමින් එම ගමන ඉදිරියට තවදුරටත් වේගවත් කරන බවයි. ශ්‍රී ලංකාව උදාකරගෙන තිබෙන මෙම ජයග්‍රහණ අධ්‍යයනය කරමින් නව දෘෂ්ටි කෝණයකින් තම රට දෙස බලන්නැයි ජාත්‍යන්තරයේ සියලු දෙනාට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා එම හමුවේදී ප්‍රකාශ කළේ ය. සාකච්ඡාවේදී අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව ප්‍රකාශ කළේ ය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ කටයුතුවලට ශ්‍රී ලංකාව ලබාදෙන ඉහළ සහයෝගය ද මහ ලේකම්වරයාගේ ඇගයීමට ලක් ව තිබේ. කාලගුණික හා දේශගුණ විපර්යාස හමුවේ මෙරටට මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට එක්සත් ජාතීනගේ සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ ය. මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ද ඊයේ පස්වරුවේ නිව්යෝක් නුවරදී ජනාධිපතිතුමා හමුවිණි. පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය තවදුරටත් ශක්තිමත් කරන බව ප්‍රකාශ කළ මහ ලේකම්වරිය සංවර්ධනයත් සංහිඳියාවත් උදෙසා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහාය ලබාදෙන බවට ද සහතික විණි. ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රය තුළ අනිකුත් රටවල් සමග ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය දෙන බව ද ඇය එම හමුවේ ප්‍රකාශ කළා ය. නීති විරෝධී මත්ද්‍රව්‍ය මැඩලීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවලට යහපතක් වනු ඇති බව ද එම හමුවේදී පෙන්වා දුන්නේ ය. |
2018-09-29T01:10:55.000Z | 2018 ඡන්ද හිමි ලේඛනයේ අභියාචනා විභාගය අදින් අවසන් | 2018 ඡන්ද හිමි ලේඛනයේ අභියාචනා විභාගය අදින් අවසන් | COLOMBO (News 1st) - 2018 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා පිළිබඳ විමර්ශන අදින් අවසන් වන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී එම විමර්ශන සිදු කෙරෙනු ඇති. ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවීම, වැරදියට නම් සඳහන්වීම ඇතුළු ගැටලු කිහිපයක් පදනම් කර ගනිමින් එම අභියාචනා ඉදිරිපත් කර තිබුණි. අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, ලබන මස 25 වන දා 2018 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමට නියමිත බවයි. |
2018-09-29T00:49:21.000Z | දුර ගමන් සේවා බස් රථවල ආසන වෙන් කිරීම Online ක්‍රමයට | දුර ගමන් සේවා බස්වල ආසන වෙන් කිරීම Online ක්‍රමයට | COLOMBO (News 1st) - දුර ගමන් සේවා බස් රථ සඳහා Online ක්‍රමයට ආසන වෙන් කිරීම අනිද්දා සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති එම්. ඒ. පී හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, මාර්ග 35 කට මෙම සේවාව හඳුන්වා දී ඇති බවයි. එහිදී බස් ගාස්තුවට අමතරව රුපියල් 30.00 ක මුදලක් අය කර ගන්නා බව ද සභාපතිවරයා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා WWW.NTC BOOKING.LK වෙත පිවිසෙන්නැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-09-29T00:25:46.000Z | ඉන්දුනීසාවේ ඇති වූ භූ චලනයෙන් හා සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384 දක්වා ඉහළට | ඉන්දුනීසාවේ වූ භූ චලනයෙන් හා සුනාමියෙන් 384ක් මරුට | UPDATE: ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයින ආශ්‍රිතව ඊයේ සිදු වූ භූ චලන සහ සුනාමියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 384 දක්වා ඉහළට -------------------------------------------------------------------------------------------------------------------- ඉන්දුනිසියාවේ, සුලාවේසි දුපත් ආශ්‍රිතව ඇති වූ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් මියගිය පිරිස 48 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුලාවේසි දුපතේ පලු ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි. පවුල් ලක්ෂ 3 කට අධික පිරිසකට විදුලි බලය ඇණහිට ඇති අතර සියලුම සන්නිවේදන සබඳතා බිඳ වැටි ඇති බව සඳහන් ය. ඊයේ පස්වරුවේ ඉන්දුනිසියාවේ, සුලාවේසි දුපත් ආශ්‍රිතව මැග්නිටියුට් ඒකක 7.5 ක සහ 6.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයන් කිහිපයක් ඇති විණි. මේ හේතුවෙන් ඊයේ පස්වරුවේ නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම පැය කිහිපයකට පසුව ඉවත් කර ගැනීමට එරට කාලගුණ බලධාරීන් පියවර ගෙන තිබේ. |
2018-09-28T23:51:10.000Z | වසරේ ගත වූ කාලය තුළ මැලේරියා රෝගින් 35 වාර්තා වේ | වසරේ ගත වූ කාලය තුළ මැලේරියා රෝගින් 35 වාර්තා වේ | COLOMBO (News 1st) - වසරේ ගත වූ කාලය තුළ මැලේරියා රෝගින් 35 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මේ අතරින් විදෙස්ගත ව පැමිණි ලාංකිකයින් 11 දෙනෙකු සහ විදේශීය පුද්ගලයින් 24 දෙනෙකු වන බවයි. දකුණු සූඩාන, මැඩගස්කර්, ඉතියෝපියානු සහ උගණ්ඩා ජාතිකයින් අතර මැලේරියා රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති අතර විදේශිය මැලේරියා රෝගීන් වැඩිම පිරිස ලෙස ඉන්දියානු රෝගීන් 15 දෙනෙකු හඳුනාගෙන ඇත. මේ වන විට මෙම රෝගීන් අතරින් වැඩි පිරිසක් කොළඹ කළුතර සහ මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්වලින් වාර්තා වී අති බව ද වෛද්‍යවරයා සඳහන් කළේ ය. |
2018-09-28T22:29:26.000Z | නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි 22,000 ක් අත්අඩංගුවට | නීති විරෝධීව රැගෙන ආ දුම්වැටි 22,000 ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි 22,000 ක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, වරාය පොලීසියට ලද තොරතුරක් මත ධාවනය වූ වෑන් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය සොයා ගත් බවයි. දුම්වැටි තොගය සමග 29 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. |
2018-09-28T21:09:13.000Z | Facebook ගිණුම් මිලියන 50 ක ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවට අනාවරණයක් | Facebook ගිණුම් මිලියන 50 ක් අනාරක්ෂිතයි | Facebook ගිණුම් මිලියන 50 කට ආසන්න ප්‍රමාණයක ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තර්ජනයක් මතුවී ඇති බව අනාවරණය වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් සැක මතුවීමෙන් පසුව Facebook සමාගමේ ඉංජිනේරු අංශය සිදු කළ අධ්‍යයනයකදී මේ බව තහවුරු වූ බවයි. එම තත්ත්වය මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව Facebook සමාගම සඳහන් කළේ ය. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් පළ කරමින් Facebook සමාගමේ ප්‍රධානි මාක් සකබර්ග් පවසා ඇත්තේ, කොතරම් ගිණුම් ප්‍රමාණයක් අවභාවිත වී ඇති ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට Facebook සමාගම පියවර ගෙන තිබේ. මේ වනවිට ලොව පුරා බිලියන 2 කට ආසන්න පිරිසක් Facebook සමාජ ජාලය භාවිත කරන බව සඳහන් ය. අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපැම් කිරීම, කේම්බ්‍ර්ජ් ඇනලටිකා සිදුවීම ඇතුලු කරුණු හේතුවෙන් පසුගිය කාල සීමාව තුළ Facebook සමාගමේ විශ්වසනියත්වය බිඳවැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉන් අනාවරණය වී ඇත්තේ Facebook ගිණුම් මිලියන 50 ක් පමණ හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීමේ අවදානමක් පවතින බවයි. Facebook සමාගම විසින් සිය ගිණුම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකළ පසු විපරමකදී මේ බව තහවුරු විය. |
2018-09-28T20:54:29.000Z | V'FORCE බලකාය අද කලු ගඟ දෙපස පැළ 4000 ක් සිටුවීමට සුදානම් | V'FORCE බලකාය අද කලු ගඟ දෙපස පැළ සිටුවීමට සුදානම් | COLOMBO (News 1st) - මෙරට තරුණ නායකයින් බලගැන්වෙන නිව්ස්ෆස්ට් - ක්‍රියාන්විතයේ V'FORCE තෙවැනි අදියර අද රත්නපුර, වරකාතොට පාලම අසළදී ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් වේ. තරුණ නායකයින් සමග රට ගොඩනැගීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන V'FORCE බලකාය අද කලු ගඟ දෙපස පැළ 4000 ක් සිටුවීමට සුදානම් ය. V'FORCE මෙම ක්‍රියාන්විතයේ දිගුකාලීන අරමුණ වන්නේ පැළ සිටුවා ඉවුරු ඛාදනය අවම කර මෙම ප්‍රදේශවලට තදින්ම බලපා ඇති ගංවතුර අවදානම අවම කර ගැනීමයි. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යලය, ඒ පෑඩ් සංවිධානය හා හරිත උදය ජාතික ව්‍යාපාරය මෙවර ගම්මැද්ද V'FORCE සමග අත්වැල් බැඳගෙන සිටීම විශේෂත්වයකි. ගම්මැද්ද V'FORCE පළමු අදියර සීගිරියේ පැවැත්වුණු අතර එහි දෙවැනි අදියර මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළේදී පැවැත් විය. විශ්වවිද්‍යාල සිසුන් ඇතුලු විශාල පිරිසක් පසුගිය අදියරවලට එක් ව සිටියහ. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ ඔවුන්ගේ පරමාර්ථය වූයේ රට වෙනුවෙන් වගකීම් ඉටු කිරීමයි. |
2018-09-28T20:40:08.000Z | කඩුවෙල - බියගම මාර්ගය තාවකාලිකව වසා දැමේ | කඩුවෙල - බියගම මාර්ගය තාවකාලිකව වසා දැමේ | COLOMBO (News 1st) - අද රාත්‍රි 7.00 සිට හෙට අලුයම 6.00 දක්වා කඩුවෙල - බියගම මාර්ගය තාවකාලිකව වසා තබන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පැවසුවේ, කඩුවෙල - බියගම මාර්ගයේ කැලණි ගඟ හරහා තාවකාලිකව ඉදිකළ බේලි පාලම ගලවා ඉවත් කිරීම හේතුවෙන් එම මාර්ගය වසා තැබෙන බව ය. |
2018-09-28T20:27:22.000Z | ඩොලරය අගය ඉහළ යාම පාලනය සඳහා ඉදිරියේදී ආනයන සීමා කිරීමට තීරණය කර ඇති බව අගමැති කියයි | ආනයන සීමා කිරීමට තීරණය කරන බව අගමැති කියයි | COLOMBO (News 1st) - ඩොලරය අගය ඉහළ යාම පාලනය සඳහා ඉදිරියේදී ආනයන සීමා කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කුරුණෑගල කටුපොත නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමට එක්වෙමිනි. |
2018-09-28T20:16:00.000Z | මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තියක් අවශ්‍ය බව ජනපති කියයි | මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තියක් අවශ්‍යයි | COLOMBO (News 1st) - මධ්‍යසාර සහ එහි නිෂ්පාදන කටයුතු පිළිබඳව ජාත්‍යන්තර ප්‍රඥප්තියක අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබේ. ජනාධිපතිතුමා අවධාරණය කළේ, ඒ සඳහා ජාත්‍යන්තරයේ අවධානය යොමුවිය යුතු බවයි. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ 73 වන මහා සභාවට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවී ඉදිරිපත් කරන ලද ප්‍රකාශයක් මගිනි. එම ප්‍රකාශය, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සභාව වෙත ඉදිරිපත් කර ඇත. මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සඳහා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙත ශ්‍රී ලංකාව සහාය දක්වන බව ද එම ප්‍රකාශයෙහි වැඩිදුරටත් සඳහන් විය. එමෙන්ම ජාතික මධ්‍යසාර හා දුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පත් කිරීම, මධ්‍යසාර ප්‍රචාරක දැක්වීම් තහනම් කිරීම යනාදී වශයෙන් ශ්‍රී ලංකාව මේ වන විට මධ්‍යසාර මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද එහි දිර්ඝ වශයෙන් සඳහන් ව තිබේ. ශ්‍රී ලංකාව මධ්‍යසාරවලින් විශාල බදු මුදලක් ලබාගන්නා නමුත් ඉන් ජනතාවට සිදුවන ශාරීරික හානිය හා වැළඳෙන රෝග අති විශාල බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුනි. ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, සමාජ ජාල මගින් මධ්‍යසාර හා නිෂ්පාදන ප්‍රචාරයන් ලොව පුරා පැතිරෙන බැවින් එය පාලනය කිරීමට ස්වාධීන රාජ්‍යයන්වලට හැකියාවක් නොමැති අතර ඒ සඳහා පවතින ජාත්‍යන්තර ප්‍රඥප්තියක අවශ්‍යය බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ගෝලීය මත්පැන් ප්‍රඥප්තිය පිළිබඳ සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ලෙසට ජනාධිපතිතුමා සියලු ජාත්‍යන්තර නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබේ. |
2018-09-28T19:52:32.000Z | කටුනායක ගුවන්තොටුපොළ සේවකයින්ගේ හදිසි වැඩ වර්ජනය අවසන් | කටුනායක ගුවන්තොටුපොළ සේවක වර්ජනය අවසන් | COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් ඊයේ රාත්‍රීයේ පැයක පමණ කාලයක් වැඩ වර්ජනයක නිරත විය. ගුවන් තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපති එම්. ඩබ්ලිව්. බී. මුහන්දිරම් මහතා පැවසුවේ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ගුවන්තොටුපොළ සේවිකාවක් රේගු භාරයට ගැනීමට විරෝධය පළ කරමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව ය. අදාළ ගුවන්තොටුපොළ සේවිකාව මුදාහැරීමෙන් පසු වර්ජනය අවසන් කළ බව ද ඔහු පැවසුවේ ය. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගුව සඳහන් කළේ, සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව ගුවන්තොටුපොළ සේවිකාවකගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. ගුවන්තොටුපොළ ප්‍රධානීන්ගේ අනුදැනුම ඇතිව එම ප්‍රකාශය සටහන් කරගත් බව රේගුව සඳහන් කළේ ය. |
2018-09-28T19:42:03.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. “මන්ත්‍රීවරු සහ සියලුම දෙනා මේ සුඛෝපභෝගී වාහන පිටරටින් ගෙන්වන එක නැවැත්විය යුතුයි” – මංගල සමරවීර: ජනතාව විසින් ආනයනය කරන ලද සුඛෝපභෝගී දේ මිලදී ගැනීම නතර කර ජාතික ආර්ථිකය සුරැකීමට කටයුතු කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේ ය. 2. SAITM වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇරඹේ: සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබේ. වෛද්‍ය සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව එම තීරණය ගත් බවයි. 3. ගෝඨාභය රාජපක්ෂගේ අතුරු තහනම් නියෝගය දිර්ඝ කෙරේ: හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පවරා ඇති නඩුවෙහි සාක්ෂි විභාගය වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 05 වන දා දක්වා දිර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ නියෝග කර තිබේ. 4. ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සිසුවා සතුව තිබූ සටහන් පොත්වල අත් අකුරු ඔහුගේ නොවන බවට තහවුරු වෙයි: ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවා සතුව තිබී සොයා ගත් බව කියන සටහන් පොත්වල තිබූ අත් අකුරු ඔහුගේ නොවන බවට විශේෂඥයින් තහවුරු කර තිබේ. මේ අනුව මෙහොමඩ් කමර් නිසාම්ඩීන් මෙම ශ්‍රී ලාංකික සිසුවා ඇප මත මුදා හැරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය. විදෙස් පුවත් 5. ඉන්දුනිසියාවේ සුනාමි තත්ත්වයක්: ලංකාවට බලපෑමක් නැහැ: ඉන්දුනිසියාවේ සුලාවේසී දිවයින ආශ්‍රිතව ඇති වූ මැග්නිටියුඩ් ඒකක 7.7 ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනයෙන් අනතුරුව සුනාමි තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. |
2018-09-28T19:28:56.000Z | තියුණු සටනකින් පසු ආසියානු කුසලානයේ ජය ඉන්දියාවට | තියුණු සටනකින් පසු ආසියානු කුසලානයේ ජය ඉන්දියාවට | ආසියාවේ ක්‍රිකට් බලවතා අන් කවරෙකු හෝ නොව තමන් යයි නැවත වරක් ඔප්පු කරමින් හත්වන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, අවසන් මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමිනි. තරගය අබුඩාබිහිදී පැවැත් විණි. කාසිය වාසිය දිනා ගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි. ඒ අනුව බංග්ලාදේශ ඉනිම ආරම්භ කරමින් ලිටන් දාස් හා මෙහිදී හසන් පිටියට පිවිසියේ ය. තරගාවලියේ මුල් තරගවලදී ආරම්භක පිතිකරුවන් ලෙස අසාර්ථක වූව ද ඊයේ තරගයේදී බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩනැගු සබඳතාව ලකුණු 120 කි. එය වාර්ථා අතරට එක්වුනේ ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකදී පළමු කඩුල්ල සඳහා ගොඩනැගු දෙවන ඉහළම ලකුණු සබඳතාව ලෙසයි. කණ්ඩායම පන්දු යවන්නෙක් ලෙස නියෝජනය කරන බංග්ලාදේශයේ මෙහිදී හසන් ඊයේ දිනයේදී ආරම්භක පිතිකරුවෙක් ලෙස පිටියට පැමිණ ලකුණු 32 ක් රැස් කළේ ය. සිය එක්දින දිවියේ මංගල ශතකය වාර්ථා කළ ලිටන් දාස් පන්දු 117 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 121 කි. එය වාර්ථා අතරට එක්වුනේ ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකදී රැස් කළ 5 වන ශතකය හා අවසන් මහා තරගයකදී ක්‍රීඩකයෙක් රැස් කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. සෞම්‍ය සාකර් ලකුණු 33 ක් රැස් කර තිබේ. කෙසේ වෙතත් බංග්ලාදේශ ඉනිමේ අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 8 සීමාව පසු කිරීමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත. කුල්දීප් යාදෙව් ලකුණු 45 ට කඩුලු 3 ක් දවා ගත් අතර කේදර් ජාදෙව් ලකුණූ 41 ට කඩුලු 2 ක් දවා ගත්තේ ය. අනතුරුව ලකුණු 223 ක පහසු ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින්ගේ ජයග්‍රහනය සිය ඉනිමේ අවසන් පන්දුවාරය තෙක් රැගෙන යාමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විණි. ලකුණු 167 කට කඩුලු 5 ක් බිඳ වැටීමෙන් ඉන්දීය ඉනිම මදක් අඩපන වී තිබූ නමුත් රවීන්ද්‍ර ජදේජා සහ කේදර් ජාදව් එක් ව ලකුණු සංඛ්‍යාව ගොඩනැංවීමට සමත් විය. ඉන්දීය ක්‍රීඩකයින් තරගය ජය ගත්තේ, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් පමණක් දැවී තිබියදී යි. නායක රෝහිත් ශර්මා ලකුණු 48 ක් රැස් කළ අතර දිනේෂ් කාර්තික් ලකුණු 37 යි. මහේන්ද්‍ර සි දෝනි ලකුණූ 36 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැදි සිටි කේදර් ජාදෙව් ලකුණු 23 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී මුස්ටෆිසර් රහමන් හා රබෙල් ශුසෙන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගොස් තිබුණි. |
2018-09-28T08:45:32.000Z | ඉන්දුනිසියාවේ සුනාමි තත්ත්වයක්: ලංකාවට බලපෑමක් නැහැ | ඉන්දුනිසියාවේ සුනාමි තත්ත්වයක්:ලංකාවට බලපෑමක් නැහැ | ඉන්දුනිසියාවේ සුලාවේසී දිවයින ආශ්‍රිතව ඇති වූ මැග්නිටියුඩ් ඒකක 7.7 ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනයෙන් අනතුරුව සුනාමි තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. ඉන්දුනිසියානු භූ විද්‍යා නියෝජිත ආයතනය මේ බව තහවුරු කර ඇතැයි ආර්. ටී පුවත් සේවය අනාවරණය කළේ ය. ජංගම දුරකතනයක් මගින් ලබාගත් වීඩියෝවක දැක්වූයේ මුහුදු රළ ගොඩබිම ප්‍රදේශයකට ඇතුලු වන ආකාරයයි. මේ වනවිට ඉන්දුනියාවේ සුලාවේසි දිවයින ආශ්‍රිතව නිකුත් කර තිබු සුනාමි අනතුරු ඇඟවීමද ඉවත් කර ඇත. ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ. |
2018-09-28T07:49:12.000Z | වරකාපොළදී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටෙයි (CCTV) | වරකාපොළදී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටෙයි (CCTV) | COLOMBO (News 1st) - කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තිස්හයේ කන්ද ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් ඒ ආසන්නයේ වෙළෙඳසැළක තිබු CCTV කැමරාවක සටහන් විය. කොළඹ සිට නුවර දෙසට ගමන් කරමින් තිබු මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී තිබේ. අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු බරපතළ තුවාල ලැබුවේ ය. තුවාලකරු කෑගල්ල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේවන විට ප්‍රතිකාර ලබන අතර මෝටර් රථයේ රියැදුරු වරකාපොළ පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ. |
2018-09-28T07:17:26.000Z | ලයිබිරියාවේ එසේ වුවත් ශ්‍රී ලංකාවේ එසේ නොවන්නේ මන් ද? | ලයිබිරියාවේ එසේ වුවත් ලංකාවේ එසේ නොවන්නේ මන් ද? | හිටපු මහ බැංකු නිලධාරීන් 30 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට ලයිබිරියානු අධිකරණය අද නියෝග කර තිබේ. ඒ, එරට මහ බැංකුව සතුව පැවැති ඩොලර් මිලියන 104 ක මුදලක් අතුරුදහන් වීමේ සිදුවීමකට අදාළ පරීක්ෂණවලට අදාළවයි. අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිස අතර ලයිබිරියානු මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වන මිල්ටන් වික්ස් සහ එරට හිටපු ජනාධිපති පුත්‍රයා වන චාර්ලිස් සර්ලිෆ් ද ඇතුළත් ය. ලයිබිරියාවේ එසේ වුවත් ශ්‍රී ලංකාවේ එසේ නොවන්නේ මන් ද? |
2018-09-28T07:19:40.000Z | SAITM වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇරඹේ | SAITM උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇරඹේ | COLOMBO (News 1st) - සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ. වෛද්‍ය සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව එම තීරණය ගත් බවයි. මේ වනවිට සයිටම් වෛද්‍ය උපාධිධාරීන් 81 දෙනෙකු සිය උපාධිය සම්පුර්ණ කර ඇත. වෛද්‍ය සභාව පැවසුවේ, අයැදුම්පත් භාර ගැනීම ආරම්භ කළ ද මෙතෙක් එම කිසිදු උපාධිධාරියෙකු වෛද්‍ය සභාව වෙත අයැදුම්පත් භාරදී නොමැති බවයි. මේ අතර රජය සම්මත කරගත් පනත අනුව සයිටම් වෛද්‍ය උපාධි අපේක්ෂකයින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ. එහි නියෝජ්‍ය උපකුලපති මේජර් ජනරාල් ඉදුනිල් රණසිංහ මහතා සඳහන් කළේ, දැනට කණ්ඩායම් 5 ක් වෛද්‍ය පීඨය සඳහා බඳවා ගෙන ඇති බවයි. ඉතිරි කණ්ඩායම් ද සයිටම් ආයතනයෙන් ලබාදෙන ලිපි ලේඛන සම්පුර්ණ වූ වහාම බඳවා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය. |
2018-09-28T06:42:27.000Z | "මන්ත්‍රීවරු සහ සියලුම දෙනා මේ සුඛෝපභෝගී වාහන පිටරටින් ගෙන්වන එක නැවැත්විය යුතුයි" - මංගල සමරවීර | සුඛෝපභෝගී පරිභෝජනවලින් වළකින්න... | COLOMBO (News 1st) - ජනතාව විසින් ආනයනය කරන ලද සුඛෝපභෝගී දේ මිලදී ගැනීම නතර කර ජාතික ආර්ථිකය සුරැකීමට කටයුතු කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ කොළඹ පැවති උත්සවයකදී සඳහන් කළේ ය. ජනතාවට පටි තද කරගන්නැයි මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළ ද සැබැවින්ම පටි තද කර ගත යුත්තේ ඔවුන්ම නොවේ ද? අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද රුපියල් මිලියන 244 කට අධික වාහන අදත් ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවලට බෙදා දුන්නේ ය. ඇමතිවරුන් ජනතාවට උපදෙස් දුන්න ද ඔවුන්ගේ විදෙස් ගමන්, සුඛෝපභෝගී වාහන ගෙන්වීම, නිවාඩුගත කිරීම් අඩුකර තිබේ ද? මේ අතරවාරයේ නොවැම්බර් 5 වන දා ඉදිරිපත් කිරීමට සූදානම් වන අයවැයෙන් රජයේ ආදායම වැඩි කර ගැනීම, මහා පරිමාණ රාජ්‍ය ව්‍යාපාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම, සමාජ ආරක්ෂණ ජාලය සඳහා පවුල් නිසි ලෙස හඳුනා ගැනීම ඇතුලු කරුණු අපේක්ෂා කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉඟි පළවී තිබේ. පස්වන ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් සිදු කළ සමාලෝචනය අවසානයේ ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුනේ ඉලක්කගත මට්ටමට වඩා රජයේ ආදයම අඩුවී ඇති බවයි. එම නිසා බදු ප්‍රතිපත්ති වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ යුතුව ඇති බවයි. ඉන්ධන මිල සම්බන්ධයෙන් සිදු කළ වෙනස්කම් අගය කරන ඔවුන් විදුලි බලය සඳහා ද ස්වයංක්‍රීයව මිල තීරණය වන යාන්ත්‍රණයක් හඳුන්වාදිය යුතු බව අවධාරණය කර තිබේ. |
2018-09-28T05:40:20.000Z | රුපියල් 5000 හොර නෝට්ටු 465 ක් සමග සැකකරුවන් තිදෙනෙකු කන්තලේදී අත්අඩංගුවට | ව්‍යාජ මුදල් නෝට්ටු සමග තිදෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු කන්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගයේ කන්තලේ, තඹලගමුව ප්‍රදේශයේ 96 ස්ථානයේ සිදු කළ වාහන සෝදිසියකදී මෙම ව්‍යාජ නෝට්ටු තොගය හමුවී තිබේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, රුපියල් 5000 නෝට්ටු 465 ක් එහි තිබූ බවයි. ව්‍යාජ මුදල්වල මුළු වටිනාකම රුපියල් 23 ලක්ෂ 25 දහසක් වනු ඇත. සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ, මාතර සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් අද කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තඹලගමුව පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇත. |
2018-09-28T05:19:24.000Z | ගෝඨාභය රාජපක්ෂගේ අතුරු තහනම් නියෝගය දිර්ඝ කෙරේ | ගෝඨාභයගේ අතුරු තහනම දිර්ඝ කෙරේ | COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පවරා ඇති නඩුවෙහි සාක්ෂි විභාගය වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 05 වන දා දක්වා දිර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ. අදාළ නඩුව විභාග වන්නේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක අලාභයක් සිදු කළ බව කියන චෝදනාවට ය. අභියාචනා පෙත්සම අචල වෙංගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේදී අද පස්වරුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් විවෘත අධිකරණය හමුවේදී එම පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ගොනු කර ඇත. ඊට අදාළ ප්‍රතිවිරෝධතා ලබන ඔක්තෝබර් මස 19 වන දා ගොනු කරන ලෙසට පෙත්සම්කාර පාර්ශවය නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් සළකා බැලීම නොවැම්බර් මස 30 වන දාට කල් තබා ඇත. |
2018-09-28T04:13:44.000Z | බන්ධනාගාර රැඳවියන් බැලීමට එන අමුත්තන් රැගෙන එන සියලු ද්‍රව්‍ය STF පරීක්ෂාවට | බන්ධනාගාරයට රැගෙන එන සියලු ද්‍රව්‍ය STF පරීක්ෂාවට | COLOMBO (News 1st) - බන්ධනාගාර රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් රැගෙන එන සියලු ද්‍රව්‍ය විධිමත් පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය ලබන 01 වන දා සිට අනුයුක්ත කරන බවයි. ඒ අනුව බන්ධනාගාර තුළට රැගෙන එන ද්‍රව්‍ය විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට සැළසුම් කර තිබේ. මේ අතර බන්ධනාගාරවල රැඳවියන් හා පිටත පුද්ගලයින් සමග පවතින සබඳතා වැළැක්වීමට මේ යටතේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද බන්ධනාගාර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. |
2018-09-28T03:00:28.000Z | රුපියල අවප්‍රමාණය වීම හමුවේ ඩීසල්, පෙට්‍රල් අලාභය ඉහළට | රුපියල බාල්දු වීම හමුවේ ඩීසල්, පෙට්‍රල් අලාභය ඉහළට | COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණය වීම හමුවේ ඩීසල් ලීටරයකින් හා පෙට්‍රල් ලීටරයකින් ලබන අලාභය මේ වන විට ඉහළ ගොස් තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයකින් ලබන අලාභය රුපියල් 12ක් දක්වාත්, ඩීසල් ලීටරයකින් ලබන අලාභය රුපියල් 18ක් දක්වාත් වැඩි වී ඇතැයි ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළ විමසීමකදී එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, පාඩු ලබමින් වුවද කිසිදු හිඟයකින් තොරව තෙල් සැපයීමට පියවර ගෙන ඇති බව ය. |
2018-09-28T00:38:07.000Z | නෙදර්ලන්තය මහා විනාශයකින් බේරෙයි | නෙදර්ලන්තය මහා විනාශයකින් බේරෙයි | (News 1st) - නෙදර්ලන්තයේ ප්‍රධාන නගර ඉලක්ක කර දියත් කිරීමට සැලසුම් කළ ප්‍රබල ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ. අර්නීම් නගරයේදී පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ සහ ගිනිඅවි සමග පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. නෙදර්ලන්ත විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබුණේ, ඔවුන් AK47 වර්ගයේ ගිනිඅවි, පුපුරණ ද්‍රව්‍ය සහ අත්බෝම්බ යොදා ගනිමින් ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කර ඇති බව ය. ප්‍රහාරකයින්ගේ ඉලක්කය වී තිබුණේ, ප්‍රධාන නගරයක් කේන්ද්‍ර කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාරයක් එකවර සිදු කිරීමට ය. අනතුරුව තවත් ස්ථානයක මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන් සැලසුම් කර තිබිණි. නෙදර්ලන්ත ආරක්ෂක අංශ පවසන්නේ, 2014 වසරේ අප්‍රේල් මාසයේ බුද්ධි අංශවලට වාර්තා වූ තොරතුරක් පදනම් කර ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බව ය. එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු අතර ඉන් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බව ආරක්ෂක අංශ පවසයි. කෙසේ වෙතත් ත්‍රස්ත ප්‍රහාර සැලසුම අනාවරණය වීමත් සමග ආරක්ෂාව තර කිරීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. |
2018-09-28T00:22:45.000Z | හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවන්නැයි ඒකාබද්ධය කළ ඉල්ලීම අගමැතිට යොමු කිරීමට පියවර | හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවන්නැයි ඉල්ලීමක් | COLOMBO (News 1st) - රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී වතාවරණය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවන්නැයි ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කිරීමට පියවර ගන්නා බව කථානායක කාර්යාලය නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමේ බලය අගමැතිවරයා සතු බව ය. ස්ථාවර නියෝග 16 අනුව එම බලය අගමැතිවරයාට පැවරෙන බව ද එහි සඳහන් ය. ඒ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පෙරේදා කථානායක කරු ජයසූරිය මහතා වෙත කරන ලද ඉල්ලීම් ලිපිය අග්‍රාමාත්‍යවරයාට යොමු කිරීමට පියවර ගන්නා බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. |
2018-09-27T23:23:56.000Z | රු. කෝටි 3කට අධික මුදලක් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට | මූල්‍ය වංචාවක් කළ කාන්තාවන් දෙදෙනෙකුට වැඩ වරදී | COLOMBO (News 1st) - මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු අත්තිඩිය සහ බොරලැස්ගමුව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකාරියන් විසින් රුපියල් තුන්කෝටි අනූ එක් ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූදෙකක මුදලක් එලෙස වංචා කොට සාවද්‍ය පරිහරණය කර ඇති බව ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් පසු එම සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ. 26 සහ 32 හැවිරිදි වියේ පසුවන සැකකාරියන් බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-09-27T21:25:15.000Z | ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සිසුවා සතුව තිබූ සටහන් පොත්වල අත් අකුරු ඔහුගේ නොවන බවට තහවුරු වෙයි | ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික සිසුවාට ඇප | COLOMBO (News 1st) - ත්‍රස්ත ක්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවා සතුව තිබී සොයා ගත් බව කියන සටහන් පොත්වල තිබූ අත් අකුරු ඔහුගේ නොවන බවට විශේෂඥයින් තහවුරු කර තිබේ. මේ අනුව මෙහොමඩ් කමර් නිසාම්ඩීන් මෙම ශ්‍රී ලාංකික සිසුවා ඇප මත මුදා හැරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය. මෙම ශ්‍රී ලාංකික සිසුවා පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, මැල්කම් ටර්න්ඩුල් සහ ජූලි බිෂොප් වැනි ඔස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ තොරතුරු ඔහු සතුව තිබූ සටහන් පොත්වල ඇතුළත්ව තිබූ බවට චෝදනා කරමිනි. |
2018-09-27T20:02:32.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. මානුෂීය මෙහෙයුමේ අවසන් සති දෙක තුළ රට තුළ ඇතිව තිබූ තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ නිව් යෝර්ක් නුවරදී අදහස් පළ කළේ ය. 2. අභියාචනාධිකරණය දුන් ඇප කොන්දේසි අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ ඇප මත මුදා හැරිණි. 3. නායකයින් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ උත්සහයක් ඇතැයි අනාවරණයක් කළ දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ මෙහෙයුම් නාමල් කුමාර මහතා ඊට අදාළ දුරකතන සංවාද තමන් සතුව නොමැති බව හෙළි කළේ ය. 4. බත්, ආප්ප, තේ ඇතුළු ආහාර පාන කිහිපයක මිල ඊයේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය. 5. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 11 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විදෙස් පුවත් 6. චීනය, අමෙරිකාවේ පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයට බලපෑම් කිරීමට ප්‍රයත්න දරණ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. |
2018-09-27T19:43:48.000Z | මාස 9ක් තුළ දුම්රියවල ගැටීමෙන් පුද්ගලයින් 241 දෙනෙකු මරුට | මාස 9ක් තුළ දුම්රියවල ගැටීමෙන් 241 දෙනෙකු මරුට | COLOMBO (News 1st) - දුම්රිය අනතුරු වාර්තා වීම ඉහළ යමින් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ දුම්රියවල ගැටීමෙන් 241 දෙනෙකු මිය ගොස් ඇති බව ය. දින තුනකට වරක් දුම්රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයෙකු මිය යන බව ද නවතම සංඛ්‍යාලේඛන අනුව හෙළි වී තිබේ. වාර්තා වන දුම්රිය අනතුරු සම්බන්ධයෙන් සහ එම තත්ත්වයන් පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳව විධිමත් අධ්‍යයනයක් ආරම්භ කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ, අධ්‍යයනයේ වාර්තාව කඩිනමින් අමාත්‍යංශයට ද යොමු කරන බව ය. මේ අතර දුම්රියේ ගැටීමෙන් වන අලි මිය යාම ද ඉහළ ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම තත්ත්වය පාලනය කිරීම සඳහා නවීන ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව ය. මෙරට අලි මංකඩ ලෙස හඳුනාගෙන ඇති ස්ථාන සංඛ්‍යාව 80කි. ඉන් 40ක් අනතුරු වීමේ අධි අවදානම් කලාප ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. එම ස්ථාන ආශ්‍රිතව දුම්රිය ධාවනයේදී අලීන් ගැවසෙන බවට දුම්රිය රියැදුරන්ට දැනුම් දීමට සහ වන අලි එම ස්ථානවලින් පළවා හැරීමට නවීන ක්‍රමවේදය හරහා අවස්ථාව සලසා ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව සමග අද විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බව ය. |
2018-09-27T19:30:05.000Z | කුරුණෑගලට බලපෑ තද සුළඟකින් නිවාස 25කට හානි | කුරුණෑගලට බලපෑ තද සුළඟකින් නිවාස 25කට හානි | COLOMBO (News 1st) - කුරුණෑගල ප්‍රදේශ කිහිපයක් හරහා හමා ගිය තද සුළඟකින් නිවාස 25කට පමණ හානි සිදුව තිබේ. කුරුණෑගල, මාස්පොත, සුන්දරාපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම සුළං තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබේ. දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ, නිවාස හානි වීම්වලින් වැඩි සංඛ්‍යාවක් අර්ධ හානි වශයෙන් වාර්තා වන බව ය. මෙම සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම් ද සිදුව ඇති අතර මාර්ග කිහිපයක් ද අවහිර වී තිබේ. මේ අතර අවහිර වී ඇති මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුද හමුදාවේ සහය ද ලබා ගනිමින් අද උදෑසන සිට මෙහෙයුම් ආරම්භ කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. හමා ගිය තද සුළං හේතුවෙන් කුරූණෑගල, මාස්පොත, සුන්දරාපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම ද බිඳ වැටී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් පවුල් 200කට අධික පිරිසකට විදුලි සැපයුමට බාධා මතුව තිබෙන බව ය. සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-09-27T11:21:47.000Z | වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට ඇප | පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට ඇප | COLOMBO (News 1st) - අභියාචනාධිකරණය දුන් ඇප කොන්දේසි අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද ඇප මත මුදා හැරිණි. 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් සහ සැකකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නියෝමාල් රංගජීව මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. රංගජීව මහතා අභියාචනාධිකරණයට ගොනු කළ ඇප අයැදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අභියාචනාධිකරණය පසුගියදා නියෝග කළේ ය. ඒ අනුව රංගජීව මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඇප කොන්දේසි සම්පූර්ණ කළ අතර පසුව ඔහු අධිකරණ භූමියෙන් පිටව ගියේ ය. අභියාචනාධිකරණයේ නියෝග අනුව රංගජීව මහතාගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහු පෙනී සිටිය යුතුයි. |
2018-09-27T11:11:38.000Z | යුද්ධයේ අවසන් සති දෙකේ රටේ සිදු වූ දේ ගැන ජනපති නිව් යෝර්ක්හිදී කතා කරයි | යුද්ධයේ අවසන් සති දෙකේ රටේ සිදු වූ දේ... | COLOMBO (News 1st) - මානුෂීය මෙහෙයුමේ අවසන් සති දෙක තුළ රට තුළ ඇතිව තිබූ තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිව් යෝර්ක් නුවරදී අදහස් පළ කළේ ය. ඒ, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමු වූ අවස්ථාවේදී ය. අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික විද්වතුන්, වෘත්තියවේදීන්, ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හා ජනාධිපතිතුමා අතර විශේෂ හමුවක් නිව් යෝර්ක් නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් සිරගත කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළේ ය. |
2018-09-27T10:48:11.000Z | අමෙරිකාවට කළ හැකි දේ ලංකාවට බැරි ඇයි? | අමෙරිකාවට කළ හැකි දේ ලංකාවට බැරි ඇයි? | COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම රටට පැමිණෙන ආනයන සීමා කිරීමට තීරණය කර තිබේ. මේ අතර අමෙරිකාව චීනයෙන් ආනයනය කරන භණ්ඩ සඳහා ද විශේෂිත බදු ද පැනවීමට පියවර ගත්තේ ය. අමෙරිකාව චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 505ක භාණ්ඩ වාර්ෂිකව ආනයනය කරනු ලබයි. නවතම අධ්‍යයනයන් අනාවරණය කරන්නේ, අමෙරිකාව පැනවූ නව බදු හේතුවෙන් අමෙරිකාව චීන භාණ්ඩ මත අය කරන මුළු බදු ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 250ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය. ඒ අනුව අමෙරිකාව චීන භාණ්ඩ මත 50%ක බදු අය කිරීමට යොමු වී තිබේ. මෙයින් පැහැදිලි වෙන්නේ අමෙරිකාව සිය රටේ රැකියා සුරක්ෂිත කරමින් කර්මාන්ත ද ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන ඇති බව ය. මෙලෙස ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව මෙවැනි තීන්දු තීරණ ගනින්දී ශ්‍රී ලංකාව ද තම රැකියා කර්මාන්ත රැක ගැනීම වෙනුවෙන් මෙවැනි උපක්‍රමශීලී තීරණ ගත යුතු නොවේ ද? මේ අතර පසුගිය සති කිහිපය තුළ අපේ රටේ භාණ්ඩ හා සේවා ගණනාවක මිල ගණන් ඉහළ ගියේ ය. රටේ පොදු ජනතාවගේ ජීවන වියදම මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත්තේ ඇයි ද යන්න පිළිබඳව නිව්ස්ෆස්ට් කළ විමසා බැලීමක් මේ... නිව්ස්ෆස්ට් ෆේස්බුක් පිටුව හා නිල වෙබ් අඩවිය හරහා අද අප මහජනතාවගෙන් විමසා සිටියේ, රජයේ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබට විශ්වාසයක් ඇත්ද යන්නයි. එයින් 79%ක් නැත යන ප්‍රතිචාරය දක්වා තිබූ අතර 21%ක් ඇත යන ප්‍රතිචාරය දක්වා තිබිණි. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දමා තිබේ. ඊට සමගාමීව ආහාර ඇතුළු භාණ්ඩ හා සේවා ගණනාවක මිල ඉහළ යෑමට නියමිත ය. පසුගියදා කළ තෙල් මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු, පාසල් වෑන් ගාස්තු ඇතුළු සේවා රැසක මිල ගණනන් ද ඉහළ දැමිණි මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙමින් තිබීම තුළ ආනයනික භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යමින් තිබේ. |
2018-09-27T09:27:19.000Z | ඝාතන කුමන්ත්‍රණ ගැන හඬ පට නැහැ - නාමල් කුමාර පිළිගනියි | ඝාතන කුමන්ත්‍රණ ගැන හඬ පට නැහැ - නාමල් කුමාර | COLOMBO (News 1st) - නායකයින් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ උත්සහයක් ඇතැයි අනාවරණයක් කළ දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ මෙහෙයුම් නාමල් කුමාර මහතා අද යළිත් මාධ්‍යයට අදහස් පළ කළේ ය. එහිදී අනාවරණය වූයේ, ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදු කළ බව කියන දුරකතන සංවාද ඔහු සතුව නොමැති බව ය. මේ අතර හෙට පෙරවරු 10.00ට රජයේ රස පරීක්ෂකවරයා වෙත ගොස් කටහඬ සාම්පල ලබා දෙන්නැයි අධිකරණය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළා ය. අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ එම නියෝගය රජයේ රස පරීක්ෂකවරයාට සහ නාලක ද සිල්වා මහතාට භාර දෙන ලෙස ය. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා සමඟ සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයා ද අද කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරිණි. එම්. තෝමස් නමැති එම ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග පරිදි මාස 3ක් රඳවා සිටියි. කොටුව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළේ, සැකකාර ඉන්දීය ජාතිකයා කායික, මානසික සහ විකලාංග වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ය. |
2018-09-27T08:13:37.000Z | බත්, ආප්ප, තේ මිල ඉහළට: ආපන ශාලා හිමියන් පාලන මිලක් ඉල්ලයි | බත්, ආප්ප, තේ මිල ඉහළට | COLOMBO (News 1st) - බත්, ආප්ප, තේ ඇතුළු ආහාර පාන කිහිපයක මිල අද සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, බත් පැකට්ටුවක මිල රුපියල් 140 දක්වාත්, ප්ලේන්ටියක මිල රුපියල් 20ක් දක්වාත්, ආප්පයක මිල රුපියල් 15 දක්වාත් ඉහළ දැමූ බව ය. මේ වන විට දිවයින පුරා පවතින ආපන ශාලා ගණන ලක්ෂ 5කි. එම ආපන ශාලාවල ආහාර පාන අලෙවි වන්නේ විවිධ මිල ගණන් යටතේ ය. මේ හේතුවෙන් ඒ සඳහා පාලන මිලක් පනවන්නැයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රජයෙන් ඉල්ලීමක් කළේ ය. |
2018-09-27T06:39:00.000Z | ලසන්ත වික්‍රමතුංග ඝාතනය: නඩු විභාගය ලබන ජනවාරි දක්වා කල් යයි | ලසන්ත ඝාතනය: නඩු විභාගය ජනවාරි දක්වා කල් යයි | COLOMBO (News 1st) - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශනවල වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ, ඝාතන සිද්ධිය පිළිබඳව දැනට ඔස්ට්‍රේලියාවේ සිටින ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳගෙන්, ඔහුගේ දියණියගෙන් සහ සහෝදරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ය. මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදාහැර සිටින හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල, හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ යුද හමුදාවේ හිටපු බලලත් නිලධාරී සේනානන්ද උදුලාගම යන මහත්වරු අද අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ, තිස්ස සුගතපාල මහතාට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය. නඩු විභාගය ලබන වසරේ ජනවාරි 17 වන දා තෙක් කල් තැබීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා නියෝග කළේ ය. |
2018-09-27T06:11:07.000Z | ඇලෝසියස්ට හා පාලිසේනට ඇප අහිමි වෙයි | ඇලෝසියස්ට හා පාලිසේනට ඇප අහිමි වෙයි | COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 11 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී ය. මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති වන ජෙෆ්රී ජෝෂෆ් ඇලෝසියස් මහතාට මෙම මස 29 වන දා සිට ලබන මස 15 වන දා දක්වා සිංගප්පූරුවට යාමට මහේස්ත්‍රාත්වරිය අද අවසර දුන්නා ය. |
2018-09-27T06:03:49.000Z | 56 වන නිව් යෝර්ක් සිනමා උළෙල හෙට ඇරඹේ | 56 වන නිව් යෝර්ක් සිනමා උළෙල හෙට ඇරඹේ | (News 1st) - 56 වන නිව් යෝර්ක් සිනමා උළෙල හෙට ආරම්භ වේ. එය එළැඹෙන ඔක්තෝබර් මස 14 වන දා දක්වා පැවැත්වීමට නියමිත ය. ශාස්ත්‍රීය චිත්‍රපටවලට මූලිකත්වය දෙමින් මෙවර සිනමා උළෙල පැවැත්වෙන බව එහි සංවිධායකයෝ පවසති. |
2018-09-27T05:56:18.000Z | නියඟය හේතුවෙන් වසා දැමුණු රජරට සරසවියේ පීඨ 3ක් ලබන සඳුදා සිට විවෘත කෙරේ | රජරට සරසවියේ පීඨ 3ක් ලබන සඳුදා සිට විවෘත කෙරේ | COLOMBO (News 1st) - නියඟය හේතුවෙන් වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ වේ. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ කළමනාකරණ, තාක්ෂණික සහ ව්‍යවහාරික විද්‍යා පීඨවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා යළි ආරම්භ වන බව ය. ඊට අමතරව සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, විභාග කටයුතු සඳහා ලබන සඳුදා යළි විවෘත වනු ඇති. නේවාසිකාගාර පහසුකම් ඇති සිසුන්ට ලබන 30 වන දා පස්වරු 4.00ට පෙර නේවාසිකාගාරවලට පැමිණෙන්නැයි පාලනාධිකාරිය දැනුම් දෙයි. |
2018-09-27T05:04:20.000Z | එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමග නව ගිවිසුමකට එළැඹේ | එ.ජා. සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමග නව ගිවිසුමකට | COLOMBO (News 1st) - මෙරට සමාජ සංවර්ධනයට අදාළ සෘජුව බලපාන ක්ෂේත්‍රවල ශීඝ්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග ශ්‍රී ලංකාව නව ගිවිසුමකට අත්සන් තබා තිබේ. ජනාධිපතිවරයා නිව් යෝර්ක් නුවර සංචාරයේදී ගිවිසුමට අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. සමාජ ප්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම හා සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීම ද මේ හරහා සිදුවනු ඇති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකා ව්‍යාපෘති සඳහා පෞද්ගලික අංශය ද සහභාගී කරවා ගැනීම මේ තුළින් අපේක්ෂිත ය. |
2018-09-27T02:42:17.000Z | කෘෂිකර්මාන්තයට වන හානි වැළැක්වීමට ජාත්‍ය. ආහාර ප්‍රතිපත්ති ආයතනයේ සහය | ආහාර ප්‍රතිපත්ති ආයතනයෙන් ජනපතිට පොරොන්දුවක් | COLOMBO (News 1st) - වන සතුන්ගෙන් මෙරට ආහාර භෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමාට සහතික විය. ඒ, ජාත්‍යන්තර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන්ගන් ෆැන් මහතා සහ ජනාධිපතිතුමා අතර නිව්යෝක් නුවරදි පැවති සාකච්ඡාවකදීයි. මෙරට ගොවීන් වගා කරන ආහාර භෝග එළවළු හා පළතුරු ආදි අස්වැන්නෙන් 40 % ක් පමණ වන සතුන් හේතුවෙන් විනාශ වන බව මෙම සාකච්ඡාවේදී අණාවරණ විණි. මෙය වාර්ෂික ආහාර භෝග අස්වැන්නට දැඩි බලපෑම් කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේ ය. එහිදි අදහස් දැක්වූ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, මෙය රටවල් රැසක් මුහුණ දී ඇති තර්ජනයක් බවයි. එම ගැටළුව විසඳා ගැනීම සඳහා දුන් විසඳුම්වල අත්දැකීම් පාදක කර ගනිමින් මෙරට ගැටලුවට විසඳුම් ලබාදීමට ද කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. මන්ද පෝෂණය තුරන් කරමින් ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීමට රජය ලෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීමට සූදානම් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සාකච්ඡාවේදී පැවසීය. ඒ සඳහා ආධාර ලබාදීමට අපේක්ෂා කරන අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමක් කඩින්මින් කෙටුම්පත් කරන බව ද ඔහු එහිදී පවසා තිබේ. |
2018-09-27T00:52:26.000Z | වැලිකඩ හා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවලට STF ආරක්ෂාව | වැලිකඩ හා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවලට STF ආරක්ෂාව | COLOMBO (News 1st) - ලබන මස 01වන දා සිට වැලිකඩ සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය පැවසුවේ, එම බන්ධනගාරවල රැඳවියන් හා පිටත පුද්ගලයින් සමග පවතින සබඳතා වැළැක්වීමට මේ පියවර ගන්නා බවයි. ඒ අනුව අදාළ බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට විශේෂ කාර්ය බලකා සෙබළුන් යෙදවීමට නියමිත වේ. මේ අතර නිව්ස්ෆස්ට් මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් නීති විරෝධි ක්‍රියා පාලනය සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගන්නා බවයි. |
2018-09-26T23:09:08.000Z | රාගමදී දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට, දෙදෙනෙකුට තුවාල | රාගමදී දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට | COLOMBO (News 1st) - මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 8.10 ට පමණ රාගම දුම්රිය හරස් මාර්ගයේදී ඔවුන් මෙම අනතුරට ලක් ව ඇති බවයි. දුම්රිය ආරක්ෂිත ගේට්ටු වසා අවදානම් සංඥා දැල්වෙමින් තිබියදී ඔවුන් දුම්රිය මාර්ගය හරහා ගමන් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අනතුරින් තුවාල ලැබු දෙදෙනා මේ වනවිට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇති. මියගිය දෙදෙනාගේ සිරුරු රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. |
2018-09-26T22:14:34.000Z | චීනය අමෙරිකාවේ අතුරු මැතිවරණයට බලපෑම් කිරීමට ප්‍රයත්න දරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා | ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනාවක් ! | චීනය, අමෙරිකාවේ පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයට බලපෑම් කිරීමට ප්‍රයත්න දරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ලෝක නායකයන් අමතමිනි. චීනයට වෙළෙඳාම සම්බන්ධයෙන් අභියෝග කළ ප්‍රථම ජනාධිපතිවරයා තමන් බැවින් තමන් හෝ සිය පක්ෂය ජයග්‍රහණය කරනු දැකීමට චීනයට අවශ්‍ය නොමැති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම චෝදනා තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කර නොමැත. වෙළෙඳ බදු පැනවීම හමුවේ චීනය සහ අමෙරිකාව අතර බවතින වෙළෙඳ යුද්ධය උත්සන්නව ඇති මෙවන් අවස්ථාවක අමෙරිකානු ජනාධිපතිවරයා එල්ල කළ මෙම චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. |
2018-09-26T20:56:32.000Z | ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට බංග්ලාදේශය සුදුසුකම් ලබයි | පකිස්ථානය පරාජය කළ බංග්ලාදේශය අවසන් මහ තරගයට | බංග්ලාදේශය ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගෙන තිබේ. ඒ, පකිස්ථානය පරාජය කරමිනි. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම තීරණය වූ තීරණාත්මක තරගය අබුඩාබිහිදී ඊයේ පැවැත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුනේ ලකුණු 12 කදීයි. අනතුරුව මුෂ්ෆිකර් රහීම් සහ මොහොමඩ් මිතුන්, බංග්ලාදේශ සිව්වැනි කඩුල්ලට ලකුණු 144ක සබඳතාවක් ගොඩනැගුවේ ය. දෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ මිතුන් ලකුණු 60යි. 30 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ මුෂ්ෆිකර් රහීම් ලකුණු 99 කට දැවී ගියේ ය. ඔහුගේ ඉනිමට 4 පහර 9ක් ඇතුළත් වේ. බංග්ලාදේශ පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත. ජුනයිඩ් ඛාන් ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය. ශාහීන් අෆ්‍රිඩි සහ හසාන් අලී අතර කඩුලු 2 බැගින් බෙදී ගොස් ඇත. බංග්ලාදේශය පන්දුවාර 48 යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 239 කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ලකුණු 83 ක් රැස් කළේ ය. ශොහීබ් මලීක් ලකුණු 30 ක් රැස් කළ අතර අසීෆ් අලී ලකුනු 31යි. පකිස්ථාන පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව පසු කිරීමට පෙර දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විණි. මුස්තාෆිසූර් රහ්මන් ලකුණු 43ට කඩුලු 4යි. තරගයේ නියමිත පන්දුවාර 50 අවසන් වන විට පකිස්ථානය කඩුලු 9ක්දැවී ලකුණු 202ක් රැස් කරගෙන සිටියේ ය. ඒ අනුව ලකුණු 37ක ජයක් වාර්තා කළ බංග්ලාදේශයට තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව හිමි විය. තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර හෙට පැවැත්වීමට නියමිත වේ. |
2018-09-26T20:31:38.000Z | කේරළ ගංජා කිලෝ 28 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට | කේරළ ගංජා කිලෝ 28 ක් නාවික හමුදා භාරයට | COLOMBO (News 1st) - උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වේග ප්‍රහාරක යාත්‍රාව විසින් උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයේදී කන්කසන්තුරයට උතුරින් නාවික සැතපුම් 13 ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම කේරළ ගංජා තොගය සමග පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදා සැක කරන්නේ කුඩා යාත්‍රාවක් මගින් කේරළ ගංජා තොගය ඉන්දීයාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවයි. මෙම පුද්ගලයින් යාපනය ප්‍රදේශයේ පදිංචි 32 සහ 39 වන වියේ පසුවන පුද්ගලයින් වන අතර අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි පොලීසිය වෙත භාරදී තිබේ. |
2018-09-26T20:18:51.000Z | අයිස් සඳහා නව පාලන මිලක්... | අයිස් සඳහා නව පාලන මිලක්... | COLOMBO (News 1st) - ධීවරයින් භාවිත කරන අයිස් හොන්ඩරයක් සඳහා රුපියල් 200 ක පාලන මිලක් පැනවීමට ධීවර දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ. ඒ, ඩීසල් මිල ඉහළ ගොස් ඇති බව පවසමින් අයිස් හොන්ඩරයක මිල රුපියල් 30 - 70 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවට ධීවරයින්ගෙන් එල්ල වූ චෝදනා සැළකිල්ලට ගනිමිනි. ධීවර වරායන් තුළ මීට පෙර අයිස් හොන්ඩරයක් රුපියල් 200 - 230 ත් අතර මිලකට අළෙවි වුවත් මේ වන විට එය රුපියල් 300 ක පමණ අගයක් දක්වා වැඩි වී ඇති බවට ධීවරයින් චෝදනා කරති. ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා පැවසුවේ, ධීවරයින් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී අයිස් හොන්ඩරයක් සඳහා රුපියල් 200 ක පාලන මිලක් පැනවීම සඳහා එකඟතාවකට පැමිණි බව යි |
2018-09-26T20:05:58.000Z | කොළඹ කුණු නොවැම්බර් 01 වන දා සිට පුත්තලමට | කොළඹ කුණු ලබන මාසයේ සිට පුත්තලමට | COLOMBO (News 1st) - කොළඹ මහ නගර සභාවේ කැළි කසළ පුත්තලම අරුවක්කාඩු හි ඉදිකළ සනීපාරක්ෂක කසළ රඳවනයට රැගෙන යාමට නොවැම්බර් 01 වන දා සිට ආරම්භ කරන බව බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, පළමු අදියරේදී විශේෂිත වාහන යොදා ගනමින් කොළඹ මහ නගර සභාවේ කසළ ටොන් 600 ක් දෛනිකව අරුවක්කාඩු වෙත රැගෙන යාමට සැළසුම් කර ඇති බවයි. කෙසේ වෙතත් පුත්තලම, අරුවක්කාඩු කසළ රඳවනයට විරෝධය පළ කරමින් පසුගිය සති කිහිපයේ ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම උද්ඝෝෂණවල නිරත විය. |
2018-09-26T19:47:34.000Z | මෙරට පැල්පත්වාසීන්ට නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළට මැලේසියාවේ සහය | මෙරට පැල්පත්වාසීන්ට නිවාස ඉදිකිරීමට මැලේසියාවේ සහය | COLOMBO (News 1st) - මෙරට මහ නගර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ පැල්පත්වාසීන්ට නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළට උපරිම සහය ලබාදීමට මලයාසියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා සහතික විය. ඒ, නිව්යොර්ක් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති හමුවකදී යි. මෙම හමුවේදී මලයාසියානු අග්‍රාමාත්‍යවරයා පවසනවා ඇත්තේ, මෙරට ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීම සඳහා ඕනෑම සහයක් ලබා දෙන බවයි. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මලයාසියාව කෙරෙහි දක්වන සුහදශීලිත්වය පිළිබඳව මහතීර් මොහොමඩ් මහතාගේ ඇගයීමට ලක් විය. මේ අතර නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද බෝ නොවන රෝග වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය විමසා බැලෙන සැසියකට සහභාගි වනු ඇති. එහිදී රජය බෝ නොවන රෝග පාලනය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග හෝ අත්දැකීම් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර හුවමාරු කර ගැනීමට නියමිත වේ. එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සමුළුවට සමගාමීව පැවැත්වෙන මෙම සැසිවාරය මෙරට වේලාවෙන් අද රාත්‍රි 8.30 ට ආරම්භවීමට සැළසුම් කර ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගිවීමට නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපතිතුමා ලබන 29 වන දා යළි මෙරටට පැමිණීමට නියමිත ය. |
2018-09-26T19:11:51.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | 1.ගෑස් මිල සිට ඉහළට: ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 195 කින් ඉහළ දමා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, ඒ සඳහා ගෑස් සමාගම්වලට අවසර ලබාදුන් බවයි. ඒ අනුව රුපියල් 1538 ක්ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 1733 ක් දක්වා ඉහළ යනු ඇති. 2. ට්‍රම්ප්ගෙන් ජනපති මෛත්‍රීට උණුසුම් පිළිගැනීමක්: එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි සියලු රාජ්‍ය නායකයින් වෙනුවෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ. ඒ, නිව්යෝක් පැලස්හිදීයි. 3. රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් ඇතුළු 6 දෙනෙකුට එරෙහිව වාරණ නියෝගයක්: ගාල්ල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ඊයේ වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. 4. හෙරොයින් ළඟ තබා ගත් තරුණයාට මරණ දඬුවම: හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 41 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු වූ තරුණයෙකුට කොළඹ මහාධිකරණ ඊයේ මරණ දඬුවම නියම කර තිබේ. 5. අපේ ප්‍රශ්න අපිට විසඳ ගන්න ඉඩ දෙන්න, විදෙස් බලපෑම් අවශ්‍ය නැහැ – ජනපති ලෝක නායකයින්ගෙන් ඉල්ලයි: ශ්‍රී ලංකාව දෙස නව මානයකින් බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම සැසිය අමතමින් ජනාධිපතිවරයා රට තුළ ඇති ප්‍රශ්න විදෙස් බලපෑමකින් තොරව විසඳා ගැනීමට ඉඩ දෙන ලෙස ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කළේ ය. විදෙස් පුවත් 6. අමෙරිකානු ජනපතිගේ දේශනය එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ලෝක නායකයින්ගේ සරදමට: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති හසන් රුහානි එකිනෙකා සරදමට ලක් කිරීම හමුවේ මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට කළ තර්ජනය හමුවේ ඉරාන ජනාධිපතිවරයා, ජනපති ට්‍රම්ප් බුද්ධිය මඳ වශයෙන් ඇති අයෙකු බව ප්‍රකාශ කළේ ය. |
2018-09-26T09:42:51.000Z | ට්‍රම්ප්ගෙන් ජනපති මෛත්‍රීට උණුසුම් පිළිගැනීමක් | ට්‍රම්ප්ගෙන් ජනපති මෛත්‍රීට උණුසුම් පිළිගැනීමක් | COLOMBO (News 1st) : එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි සියලු රාජ්‍ය නායකයින් වෙනුවෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ. ඒ, නිව්යෝක් පැලස්හිදීයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඊට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එම මැතිනිය අමෙරිකානු ජනපතිවරයා සහ එම මැතිනිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් බවයි. අනතුරුව ජනාධිපතිවරුන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. |
2018-09-26T09:09:18.000Z | රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් ඇතුළු 6 දෙනෙකුට එරෙහිව වාරණ නියෝගයක් | රනිල් වික්‍රමසිංහ, අකිල ඇතුළු 6 දෙනෙකුට වාරණයක් | COLOMBO (News 1st ) : ගාල්ල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව අද වාරණ නියෝගයක් නිකුත් කළේ ය. එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිවරුන් වන අන්වර් අස්වර් මොහොමඩ්, රෙෂාන් ලතීෆ්, මොහොමඩ් රෝෂන්, මොහොමඩ් එෆ්. නිසාන්, මොහොමඩ් ශිරාජ් , මොහොමඩ් මිලාම් මහතා ඇතුළු 6 දෙනෙකු විසින් ගොනුකරනු ලැබ තිබූ පෙත්මසක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය එම වාරණය නියෝගය නිකුත් කර තිබේ. ඔක්තෝම්බර් 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිට පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට ද විනිසුරුවරිය නියෝග කළා ය. පසුගිය පළාත් සභා මැතිවරණයේදී ගාල්ල මහනගර සභාවේ පාලන බලය එක්සත් ජාතික පක්ෂය දිනා ගත් නමුත් පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයකු නගරාධිපති ධුරයට පත්විය. ඊට සහය දැක්වූ බවට චෝදනා කරමින් පක්ෂය විසින් තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව අදාළ මන්ත්‍රීවරුන් පෙත්සමෙන් පෙන්වා දී තිබේ. පෙත්සම්කරුවන් පවසන්නේ බහුතර මන්ත්‍රිවරුන්ගේ අභිමතය පරිදි නගරාධිපතිවරයා තෝරා පත්කර ගත් බැවින් ඒ සඳහා සහය දැක්වූයේ යැයි චෝදනා කරමින් විනය පරීක්ෂණයක් පැවැත්වීම නිත්‍යනුකූල නොවන බයි. |
2018-09-26T07:16:49.000Z | එංගලන්තයට එරෙහි තරගාවලියෙන් මැතිව්ස් ඉවතට | එංගලන්තයට එරෙහි තරගාවලියෙන් මැතිව්ස් ඉවතට | COLOMBO (News 1st) : එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළේ ය. දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන එම සංචිතයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නොමැත. උපුල් තරංග, සදීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, කුසල් ජනිත් පෙරේරා, අමිල අපොන්සු සහ ලක්ෂාන් සඳකැන් අද නම් කළ ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත් වෙති. මේ අතර කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ශෙහාන් මදුශංක සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබේ. දෙරට අතර එක්දින තරගාවලිය ලබන 10 වන දා ආරම්භ වීමට නියමිතයි. |
2018-09-26T04:54:29.000Z | ගෑස් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට | ගෑස් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට | COLOMBO (News 1st) : ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් ඉහළ දමා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, ඒ සඳහා ගෑස් සමාගම්වලට අවසර ලබාදුන් බවයි. සමාගම් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ගෑස් මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ එකඟතාව පළ කළේ ය. මිල තීරණය කිරීම, ජීවන වියදම් කමිටුවට පැවරුණු අතර ජීවන වියදම් කමිටුව තීරණය කළේ, රුපියල් 195 කින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමටයි. ඒ අනුව රුපියල් 1538 ක්ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1733 ක් දක්වා ඉහළ යනු ඇති. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ, ප්‍රවාහන ගාස්තු පදනම් කර ගනිමින් දිස්ත්‍රික්ක වශයෙන් ගෑස් සිලින්ඩරයක මිල සුළු වශයෙන් සංශෝධනය වන බවයි. . |
2018-09-26T04:20:03.000Z | හෙරොයින් ළඟ තබා ගත් තරුණයාට මරණ දඬුවම | හෙරොයින් ළඟ තබා ගත් තරුණයාට මරණ දඬුවම | COLOMBO (News 1st) : හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 41 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකට වරදකරු වූ තරුණයෙකුට කොළඹ මහාධිකරණ අද මරණ දණ්ඩනය නියම කළේ ය. ඒ, විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. 2012 අගෝස්තු 21 වන දා ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි 23 හැවිරිදි විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණ. විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා දෙකම පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එකී මරණ දඬුවම නියම කළේ ය. |
2018-09-26T00:06:26.000Z | මාතර පියෙකු සිය පුතුව ඝාතනය කිරීමට යෙදූ සැලසුම... | මාතර පියෙකු සිය පුතුව ඝාතනය කිරීමට යෙදූ සැලසුම... | COLOMBO (News 1st) - මාතර වල්ගම ප්‍රදේශයේදී පියෙකු විසින් සිය පුත්‍රයා විදුලි සැර වැදීමට සලස්වා ඝාතනය කර තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, 29 හැවිරිදි වල්ගම ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙකි. ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, දෙදෙනා අතර පැවති ආරවුලක් හේතුවෙන් තරුණයාට පියා විසින් ඊයේ රාත්‍රී 11.50ට පමණ විදුලි සැර වැදීමට සලස්වා ඇති බවට සැක කරන බව ය. මිය ගිය තරුණයාගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත ය. https://www.youtube.com/watch?v=pd4pp_kZRkE |
2018-09-25T23:54:30.000Z | මහනුවර ලංගම ඩිපෝ 7ක සේවකයින් වැඩ වර්ජනයක | මහනුවර ලංගම ඩිපෝ 7ක සේවකයින් වැඩ වර්ජනයක | COLOMBO (News 1st) - මහනුවර ප්‍රදේශයේ ලංගම ඩිපෝ කිහිපයක සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කළමනාකාරවරයා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුරට පත් කිරීමට තීරණය කර ඇති නිලධාරියාට විරෝධය පළ කරමිනි. මධ්‍යම පළාත් වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු හේ.මු. බණ්ඩාර මහතා සඳහන් කළේ, වර්ජනය සඳහා ලංගම ඩිපෝ 7ක සේවකයින් එක්ව සිටින බව ය. මහනුවර දකුණ, යටිනුවර, වත්තේගම, දෙල්දෙණිය, උඩුදුම්බර හා මාතලේ ඩිපෝවල සේවකයෝ වැඩ වර්ජනයට එක්ව සිටිති. මේ පිළිබඳව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, වැඩ වර්ජනයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ය. |
2018-09-25T22:47:23.000Z | මන්නාරම සමූහ මිනී වළෙන් සොයා ගත් මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 144 දක්වා ඉහළ යයි | මන්නාරම සමූහ මිනී වළෙන් මිනිස් ඇට සැකිලි 144ක් | COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැනීම්වලදී සොයා ගත් මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ස්ථානයේ කැනීම් ආරම්භ කෙරුණේ පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැනීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග ය. මන්නාරම අධිකරණයේ නියෝගයකට අනුව මෙම කැනීම පසුගිය මැයි මස 28 වන දා ආරම්භ කෙරිණි. ඒ සඳහා මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් හා වෝහාරික පුරාවිද්‍යා පරීක්ෂණ සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා එක්ව සිටියි. සොයා ගත් ඇට සැකිලි අතර කුඩා ළමයින් 18 දෙනෙකුගේ ඇට සැකිලි ද වේ. මේ වන විට කැනීම් කර ඇත්තේ සමස්ත මිනී වළෙන් 35%ක ප්‍රදේශයක් පමණි. මේ අතර සමූහ මිනී වළේ කැනීම් ඊයේ සිට සතියක කාලයක් තාවකාලිකව නතර කර තිබේ. ඒ කැනීම් අධික්ෂණය කරන නිලධාරීන්ට අධිකරණ කිහිපයක ඇති නඩු කටයුතු කිහිපයක් හේතුවෙනි. |
2018-09-25T20:36:27.000Z | අමෙරිකානු ජනපතිගේ දේශනය එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ලෝක නායකයින්ගේ සරදමට | ට්‍රම්ප් ලෝක නායකයින්ගේ සරදමට | (News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති හසන් රුහානි එකිනෙකා සරදමට ලක් කිරීම හමුවේ මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට කළ තර්ජනය හමුවේ ඉරාන ජනාධිපතිවරයා, ජනපති ට්‍රම්ප් බුද්ධිය මඳ වශයෙන් ඇති අයෙකු බව ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කළ කතාවේ වැඩි කාලයක් වෙන් කළේ ඉරානය න්‍යෂ්ටික බලය වර්ධනය කරමින් මැද පෙරදිග කලාපය අස්ථාවර කිරීමට පියවර ගන්නා බව ය. ඉරාන නායකයින් දේශසීමා හෝ සිය අසල්වැසි රාජ්‍යයන් හෝ ස්වාධීන රාජ්‍යයක අයිතිවාසිකම් පිළිබඳව නොතකන බවට ද ජනපති ට්‍රම්ප් චෝදනා කළේ ය. අමෙරිකානු ජනාධිපතිවරයා සිය කතාව තුළ අමෙරිකාවට ප්‍රමුඛස්ථානය ලබා දීමේ ප්‍රතිපත්තිය ද ඉස්මතු කළ අතර ඊට ලෝක නායකයින්ගෙන් ලැබුණේ නිහඬ පිළිතුරකි. ධූරයට පත්ව වසර දෙකකට අඩු කාලයකදී තමන් මීට පෙර කිසිදු අමෙරිකානු ජනාධිපතිවරයෙකු අත්කර නොගත් සාර්ථකත්වයක් අත්කර ගත් බවට පුරසාරම් කියූ අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක නායකයින්ගේ සිනහවට ද ලක් විය. ලෝක නායකයින්ගෙන් ලද එම ප්‍රතිචාරය හමුවේ වික්ෂිප්ත භාවයට පත් වූ ජනපති ට්‍රම්ප් පැවසුවේ, තමන් එවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා නොකළ බව ය. මේ අතර ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන් අමතා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් ගත් පියවර තරයේ විවේචනය කළේ ය. ජනපති ට්‍රම්ප් සමග ඡායාරූපයකට පෙනී සිටීමට අවශ්‍ය නැති බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා, ගෝලීය ආයතනවලින් ඈත් වීමට අමෙරිකානු ජනාධිපතිවරයා දරණ උත්සහය ඔහුගේ පෞර්ෂත්වයේ අඩුපාඩුවක් බව ද පෙන්වා දුන්නේ ය. ඒ, එය ශක්තිමත් බවේ සංකේතයක් නොව සංකීර්ණ, එකිනෙකට සම්බන්ධ ලෝකය තේරුම් ගැනීමට ජනපති ට්‍රම්ප්ගේ නොහැකියාව පෙන්නුම් කරන බව පවසමිනි. |
2018-09-25T20:22:02.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. ජනපතිගේ හා හිටපු ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂාවට සැක කටයුතු ගැටලු ඇති කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට. 2. ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ ය. 3. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. 4. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම අද වන විට භයානක තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 5. පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම විදෙස් රටකට ලබා නොදිය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යළි අවධාරණය කර තිබේ. ක්‍රීඩා පුවත් 6. ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි, රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් ඊයේ පිදුම් ලැබුවේ ය. |
2018-09-25T20:12:50.000Z | මෙරට බදු බර හා පාරිභෝගික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව එක්සත් ජාතීන් වෙත පැමිණිල්ලක් | මෙරට බදු බර පිළිබඳව එක්සත් ජාතීන් වෙත පැමිණිල්ලක් | COLOMBO (News 1st) - මෙරට පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, බදු බර පිළිබඳව පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට පැමිණිල්ලක් කර තිබේ. පැමිණිල්ල භාර දී ඇත්තේ, ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව නමැති සංවිධානයක් ද සමග එක්වයි. මේ පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව නිව් යෝර්ක් නුවරදී මාධ්‍යට අදහස් පළ කරමින් නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේ රටේ එදිනෙදා වැඩි වන ජීවන වියදම සහ හිතුමතේ වැඩි කරන බදු බර පිළිබඳව පැමිණිල්ලේ සඳහන් බව ය. |
2018-09-25T19:48:58.000Z | අපේ ප්‍රශ්න අපිට විසඳ ගන්න ඉඩ දෙන්න, විදෙස් බලපෑම් අවශ්‍ය නැහැ - ජනපති ලෝක නායකයින්ගෙන් ඉල්ලයි | අපේ ප්‍රශ්න අපිට විසඳ ගන්න ඉඩ දෙන්න - ජනපති | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව දෙස නව මානයකින් බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන ප්‍රධාන සැසිය අමතමිනි. ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම ජනාධිපතිවරයා සැසිය ඇමතුවේ ය. මෙම සැසිය අමතමින් ජනාධිපතිවරයා රට තුළ ඇති ප්‍රශ්න විදෙස් බලපෑමකින් තොරව විසඳා ගැනීමට ඉඩ දෙන ලෙස ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ... |
2018-09-25T11:18:35.000Z | විරාත් කෝලි, රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් පිදුම් ලබයි | කෝලි ඉන්දියාවේ ඉහළ ම සම්මානයට පාත්‍ර වෙයි | (News 1st) - ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි, රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් අද පිදුම් ලැබුවේ ය. ඉන්දීය රජය මගින් එරට ක්‍රීඩකයෙකුට පිරිනමන ඉහළ ම සම්මානය වන්නේ මෙයයි. ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාශ්ට්‍රපති භවන්හිදී අද පැවැති උත්සවයේදී මෙම සම්මානය ප්‍රදානය කර තිබේ. මීට පෙර රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයින් වන්නේ සචින් තෙන්ඩුල්කාර් සහ මහේන්ද්‍ර සිං දෝනි පමණයි. 29 හැවිරිදි කෝලි මීට පෙර අර්ජුන සහ පද්ම ශ්‍රී සම්මානවලින් ද පිදුම් ලබා තිබේ. මේ අතර බර ඉසිලීමේ ලෝක ශූර මීරාබායි චානුට ද අද දිනයේදී රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානය පිරිනැමිණි. |
2018-09-25T10:46:28.000Z | ජනපතිගේ හා හිටපු ආරක්ෂක ලේකම්ගේ ආරක්ෂාවට සැක කටයුතු ගැටලු ඇති කළ අයෙක් අත්අඩංගුවට | ජනපතිගේ ආරක්ෂාවට ගැටලු ඇති කළ අයෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වන ආකාරයේ දුරකතන සංවාද පිළිබඳව සිදු කළ අනාවරණයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද යළිත් අධිකරණයට කරුණු වාර්තා කළේ ය. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, මෙම අනාවරණය කළ බව කියන දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා සමග සබඳතා පැවැත්වූ බව කියන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ය. මෙම පුද්ගලයා එම්. තෝමස් නමැත්තා ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුගෙන් ලබා ගත් ප්‍රකාශවලට අනුව ජනාධිපතිවරයාට අමතරව හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට ද බලපෑම් එල්ල විය හැකි බවට සැක කරන තොරතුරු අනාවරණය වී තිබේ. නමුත් මේ ප්‍රකාශ පිළිබඳව සැකකරු රඳවාගෙන තවදුරටත් විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේ ය. මේ අතර දුරකතන සංවාදවලට අදාළ විමර්ශන සඳහා නාමල් කුමාර නමැත්තා හෙට පෙරවරුවේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද නියෝග කළේ ය. |
2018-09-25T08:53:28.000Z | ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාට හා දැව සංස්ථාවේ හිටපු සභාපතිට ඇප | ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාට ඇප | COLOMBO (News 1st) - ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ඒ, සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ඉන්දීය ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ මාස හතර හමාරකට අධික කාලයක් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ. 4 වන වරටත් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇපකරුවන් 6 දෙනෙකුගේ ඇප බැඳුම්කර මත සැකකරුවන් මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේ, ඇප නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් දෙසැම්බර් 11 වන දා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ය. |
2018-09-25T08:29:29.000Z | කීත් නොයාර් පැහැර ගැනීම ගැන සරත් ෆොන්සේකාගෙන් CIDය යළි ප්‍රශ්න කරයි | සරත් ෆොන්සේකාගෙන් CIDය යළි ප්‍රශ්න කරයි | COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. අද දහවල් 12.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සරත් ෆොන්සේකා මහතාගෙන් පැය 4කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පස්වරු 4.10ට පමණ එම ස්ථානයෙන් පිටව ගියේ ය. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගිය සමයේ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ ය. මේ අතර මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වර්තමාන ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබා ගත් ප්‍රකාශ අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය. පසුගියදා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, බදුවත්ත ආරක්ෂක නිවස්නය පිළිබඳව ප්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් වර්තමාන ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ය. ඒ සම්බන්ධයෙන් වන ලිපි ලේඛන යුද හමුදාව සතුව නොමැති බව වර්තමාන ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. නිලධාරීන් කියා සිටියේ, නමුත් ඒ සම්බන්ධයෙන් වන ලිපි ලේඛන කිහිපයක් ලැබීමට නියමිතව ඇති බව ය. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කර ගත් ප්‍රකාශය ද අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. |
2018-09-25T08:10:08.000Z | රුපියල අවප්‍රමාණය වීම රජයේ මූල්‍ය පාලනයේ දුර්වලතාවක් - මහින්ද රාජපක්ෂ | "රුපියල බාල්දු වීම රජයේ මූල්‍ය පාලනයේ දුර්වලතාවක්" | COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම අද වන විට භයානක තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම තුළ රුපියල අවප්‍රමාණය වෙමින් ඇති බව රජය ප්‍රකාශ කළත් එය සැබවින්ම වත්මන් රජයේ මූල්‍ය පාලනයේ දුර්වලතාවක් බව ය. 2007 - 2008 කාලයේ ඇති වූ ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි තත්ත්වයක් ඇති වුවත් එහි බලපෑම ලංකාවට ඇති නොවන පරිදි කළමනාකරණය කිරීමට තම රජය සමත් වූ බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, 2007 රුපියල් 110.62ක් වූ අමෙරිකානු ඩොලරයක් 2009 ලෝක ආර්ථික අර්බුදය අවසානයේ යුද්ධයකට ද මුහුණ දෙමින් පවා රුපියල් 114.92ක අගයක පවත්වා ගැනීමට සමත් වූ බව ය. 2015 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කිසිදු වග විභාගයකින් තොරව වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිල පහළ හෙළීම හා ඇතැම් ආනයනික ද්‍රව්‍යවල බදු අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග නිසා ආණ්ඩුවේ වියදම් එකවර ඉහළ ගිය බව එම නිවේදනයේ සඳහන් ය. මේ අතර ඉන්ධන හා මෝටර් රථ ආනයනය වැඩි වීම වැනි ක්‍රියාදාමයන් තුළ සිදු වූ වෙළෙඳ හිඟය හා අයවැය පරතරය පියවීමට වත්මන් ආණ්ඩුව ඉවක් බවක් නොමැතිව විදේශීය වානිජ ණය ලබා ගත් බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. |
2018-09-25T06:37:24.000Z | පලාලි ගුවන්තොට සංවර්ධනය විදේශයකට දෙන්නේ නැහැ - නිමල් සිරිපාල ද සිල්වා | "පලාලි ගුවන්තොට සංවර්ධනය විදේශයකට දෙන්නේ නැහැ" | COLOMBO (News 1st) - පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම විදෙස් රටකට ලබා නොදිය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යළි අවධාරණය කර තිබේ. ඒ 320 ගුවන් යානා ගොඩ බැස්විය හැකි තත්ත්වයට ගුවන් ධාවන පථය දීර්ඝ කොට ප්‍රතිසංස්කරණය කිරීමට දැනටමත් සිවිල් ගුවන් සේවා අධිකාරිය හා සංචාරක මණ්ඩලය අවශ්‍ය මුදල සපයා දීමට එකඟ වී ඇති බව අමාත්‍යවරයා අද පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ ය. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයන් නොපමාව සිදු කර ප්‍රතිසංස්කරණ ආරම්භ කළ යුතු බව අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දැනටමත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය ඒකාබද්ධ සංදේශයක් මගින් මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇති බව ය. පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය සූදානම් වන බව පසුගියදා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබූ අතර ඒ අනුව අමාත්‍යවරයා අද පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව ඉහත අදහස කළ කර තිබේ. |
2018-09-25T05:19:13.000Z | පිදුරංගලදී අඩ නිරුවත් ඡායාරූප ගත් පුද්ගලයින්ට වැඩ වරදින ලකුණු | අඩ නිරුවත් ඡායාරූප ගත් පුද්ගලයින්ට වැඩ වරදී | COLOMBO (News 1st) - සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන එම ඡායාරූප සමාජ මාධ්‍යවලට මුදා හැරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ලැබුණු පැමිණිලි මත විමර්ශනයක් ආරම්භ කළ බව ය. ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවතින් ගත් ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබේ. අප කළ විමසීමකදී සිගිරිය පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ය. 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත හා පොලිස් අඥා පනතට අනුව මෙම ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. |
2018-09-25T05:44:33.000Z | ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම හා ඇන්ජලෝගේ ඉවත්ව යෑම | ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම හා ඇන්ජලෝගේ ඉවත්ව යෑම | පසුගිය වසර දෙකක පමණ කාලයක සිට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ සීමිත පන්දු වාර ක්‍රිකට් තරග දෙස අවධානය යොමු කිරීමේදී කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටින බව නොරහසකි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශයට හා ඇෆ්ගනිස්තානයට එරෙහිව පරාජය වීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් එක්දින නායකත්වයෙන් ද පසුගියදා ඉවත්විය. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ නික්ම යාම මෙන්ම අනතුරුව සිදු වූ ටී. එම්. ඩිල්ෂාන්ගේ නික්ම යාමෙන් පසුව කණ්ඩායම ස්ථිර සැලැස්මක් සහිතව ක්‍රීඩා කළා ද? යන්න සැක සහිත ය. එදා මෙදා තුර තේරීම් කමිටු මෙන්ම, පුහුණුකරුවන් ද කණ්ඩායම හැරගිය අතර, නායකත්වය ද විටින් විට වෙනස්වීම්වලට ලක්විය. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග 71 ක් ක්‍රීඩා කර ඇති ඉන් තරග 4 ක් විසඳුමකින් තොරව හා එක් තරගයක් ලකුණු සමව ලබමින් අවසන් වූ අතර ක්‍රීඩා කළ ඉනිම 69 න් ඉනිම 33 ක දී නියමිත පන්දුවාර 50 හෝ ක්‍රීඩා කිරීමට කණ්ඩායමට නොහැකිව ඇත. මෙලෙස සියලු දෙනා දැවී ගිය අවස්ථා 33න් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ තරග දෙකක් පමණක් වන අතර, එක් තරගයක් විසඳුමකින් තොරව හා ඉතිරි තරග 30 න් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය. ඉහත සඳහන් කළ තරග 71 න් ශ්‍රී ලංකාව ජයගත් තරග සංඛ්‍යාව 22 කි. විසඳුමකින් තොරව අවසන් වූ තරග සංඛයාව 5 ක්. ක්‍රීඩා කළ තරග 69 අතරින් (තරග දෙකක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබී නැත) පළමුවෙන් පන්දුවට පහරදුන් ඉනිම 38 න් ඉනිම 17 කදී ම ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 ක්‍රීඩා නොකර සියලු දෙනා දැවී ගොස් ඇත. පළමුවෙන් පන්දුවට පහරදෙමින් පන්දුවාර 50 ම ක්‍රීඩා කල තරග 21 න් තරග 7 ක් ජයගෙන එක් තරගයක් ලකුණු සමව අවසන් කරගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ගත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට ස්ථිර පිතිකරණ අනුපිළිවෙළක් සකසා ගැනීමට අපොහොසත් වීම, ප්‍රබල ලෙස බල පා ඇති බව නොරහසකි. දිගින් දිගට ම ලද පරාජයන් හමුවේ ක්‍රීඩාලෝලීන්ගේ අප්‍රසාදය මතුවීමත් සමග සනත් ජයසූරිය ප්‍රමුඛ තේරීම් කමිටුව පසුගිය වසරේ සැප්තැම්බර් මසයේදී ඉල්ලා අස් වන විට 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව තරග 51 ක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 16 ක් පමණක් ජයගෙන තිබිණ. එය තරග සංඛ්‍යාවට අනුව 31% ක ජයග්‍රහණ ප්‍රතිශතයකි. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ජාතික තේරීම් කමිටුවේ වෙනසක් සිදුකරමින් කපිල විජේගුණවර්ධන මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පත් කළ අතර, 2016 මාර්තු මස දී, ඔහු ඉවත් කරමින් අරවින්ද ද සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් යුතු නව තේරීම් කමිටුවක් පත් කෙරිණ. කපිල විජේගුණවර්ධන මහතාගේ කාලය තුළ එක්දින තරග 13 ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව තරග 6 ක් ජයගෙන තරග 6 ක් පරාජය වී ඇත. එහිදී ක්‍රීඩකයන් 23 දෙනෙකු අතරට නවක ක්‍රීඩකයන් රැසක් අත්හදා බලා ඇති අතර, තරග 10 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ 5 දෙනෙක් සිටිති. ඔහුගෙන් පසුව නිත්‍ය තේරීම් කමිටුවක් ලෙස පත් වූයේ නැවතත් සනත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ තේරීම් කමිටුවයි. සනත් ජයසූරිය මහතාගේ තේරීම් කමිටුව පැවති වකවානුව තුළ (2016 මැයි සිට 2017 අගෝස්තු අග දක්වා) එක්දින තරග 38 ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 24 ක් පරාජයට වී ජයගත්තේ තරග 10 ක් පමණි. එහිදී ක්‍රීඩකයන් 43 දෙනෙකු භාවිත කර තිබු අතර ක්‍රීඩා කර ඇති ඉනිම 34 න් 17 ක දී සියලු දෙනා දැවී ගිය අවස්ථා සටහන් ව තිබේ. ඉන් පසුව පත් වූ ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුව යටතේ මේ දක්වා තරග 20 ක් ක්‍රීඩා කර ඉන් ජයගෙන ඇත්තේ ද තරග 6 ක් පමණි. එය තරග සංඛ්‍යාවට අනුව 30% ක ජයග්‍රහණ ප්‍රතිශතකයකි. මේ අනුව ගත් කළ සාධනීය වෙනසක් සිදුකිරීමට ලැබ්‍රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුවට ද නොහැකිව ඇති බව පැහැදිලි වේ. එම කාල වකවානුව තුළ ක්‍රීඩා කර ඇති එක්දින තරග 20 න් තරග දොළහකදීම ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා දැවී ගොස් තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම එම අවස්ථා 12 න් තරග 11 ක්ම පරාජයට පත්විය. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට අද දක්වා වන කාලයේදී ශ්‍රී ලංකාව එක්දින තරගවලදී ක්‍රීඩකයින් 51 දෙනෙකු අත්හදා බලා තිබේ. ඒ අනුව ගත් කළ මේ වන විට ප්‍රබල කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුවිය යුතු ය. නමුත්, එම ක්‍රීඩකයන් 51 දෙනාගෙන් කණ්ඩායමට ලද දායකත්වය විමසා බැලීමේ දී සැලසුම් සහගතව ඔවුන් යොදා ගත්තා දැයි සැක සහිත ය. තේරීම් කමිටුව එක්දින තරග ජය පරාජ වි.තො ක්‍රීඩකයන් ජයග්‍රහණ ප්‍රතිශතය කපිල විජේගුණවර්ධන ප්‍රමුඛ (2015 මැයි සිට 2016 මාර්තු දක්වා) 13 6 6 1 23 46.15% සනත් ජයසූරිය ප්‍රමුඛ (2016 මැයි සිට 2017 අගෝස්තු දක්වා) 38 10 24 5 43 26.32% ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රමුඛ (2017 සැප්තැම්බර් සිට) 20 6 14 0 34 30.00% ඉහත සඳහන් කළ ක්‍රීඩකයන් 51 අතරින් ක්‍රීඩා කළ තරග 69 න් තරග 40 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති පිතිකරුවන් ගණන 5 දෙනෙකු පමණක් වන අතර ඉන් තරග 50 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්තේ උපුල් තරංග (53) හා කුසල් මෙන්ඩිස් (51) පමණි. සාපේක්ෂව ගත් කළ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සිටින ඉන්දියාව තරගාවලි කිහිපයකදී ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් විවේක ගන්වා ක්‍රීඩා කරමින් වුව ද තරග 65 ක් ක්‍රීඩා කිරීමට භාවිත කර ඇත්තේ, ක්‍රීඩකයන් 42 දෙනෙකු පමණි. ඉන් ක්‍රීඩකයන් 8 දෙනෙකු නිත්‍ය ස්ථානවල ක්‍රීඩා කරමින් තරග 40 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබේ. ඔවුන් ක්‍රීඩා කර ඇත් තරග 65 න් සියලු දෙනා දැවී ඇත්තේ , තරග 11 ක දී පමණි. ඉහත දත්ත පරිශීලනය කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වරද සිදුව ඇත්තේ, නිත්‍ය කණ්ඩායමක් තොරාගැනීමට හා ක්‍රීඩකයන් අතර විශ්වාසය තහවුරු කරමින් සැලසුම් සහගතව තරග වැදීමට අපොහොසත් වීම නිසා නොවේ ද ? ශ්‍රී ලංකා කණ්ඩායම භාවිත කළ ක්‍රීඩකයන් 51 අතරින් ක්‍රීඩකයන් 27 දෙනෙකු තරග 10 ක් හෝ ක්‍රීඩා කර නොමැති අතර, ඉන් ක්‍රීඩකයින් 8 දෙනෙකු ක්‍රීඩා කර ඇත්තේ එක් තරගය බැගින් වීම විශේෂත්වයකි. නව තේරීම් කමිටුව යටතේ ද තරග 20 ක් සඳහා ක්‍රීඩකයින් 34 දෙනෙකු යොදාගෙන ඇත. ඉන් තරග 15 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති පිතිකරුවන් වන්නේ, තිසර පෙරේරා (20) හැරුණු විට උපුල් තරංග (20) හා නිරෝෂන් දික්වැල්ල (17) යන පිතිකරුවන් දෙදෙනා පමණි. පන්දුවාර 50 ක් සැලසුමක් සහිතව අවස්ථානුකූලව ප්‍රවේගකාරී ලෙස හා සංයමයකින් යුතුව පහරදෙමින් ජයග්‍රාහී ඉලක්කයක් වෙත ගමන් කරවීමේ හැකියාව සහිත පිතිකරු අනුපිළිවෙළක් සැකසීම සිදු නොකර තනි ක්‍රීඩක දක්ෂතා මත ජයග්‍රහණ පසුපස හඹායාම සිදුකිරීම අපහසු බවට පසුගිය කාලය නිදර්ශන සපයයි. - දත්ත මූලාශ්‍ර - ක්‍රික් ඉන්ෆෝ |
2018-09-25T01:58:12.000Z | ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් කෝටි 8000ක ආධාරයක් | ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් කෝටි 8000ක ආධාරයක් | COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 8000කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට අමෙරිකාවට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාව සූදානම් බව එහි ප්‍රධාන විධායක නිලධාරි බ්‍රොක් බියර්මන් මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ හමුවෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. අමෙරිකාවට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ සභාපති බ්‍රොක් බියර්මන් මහතා සඳහන් කළේ, මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර ඇති අතර එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි. ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් මාසයේදී අදාළ ගිවිසුමට අත්සන් කළ හැකි බව ද ඔහු සඳහන් කර තිබේ. එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහභාගී විය හැකි නම්, ඒ පිළිබඳව කෘතඥතාව පළ කර බව පැවසීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඒ සඳහා එකඟතාවය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන මෙම නව සංවර්ධන ආධාරය ඉතා අගය කරන බව පැවසූ ජනාධිපතිවරයා, මෙරට මගී ප්‍රවාහන සේවය සංවර්ධනය මෙන්ම මාර්ග තදබදය අවම කිරීමේ නව ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව ද බ්‍රොක් බියර්මන් මහතාට පවසා තිබේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි. ජනාධිපතිවරයා මෙවර මහා මණ්ඩලය අමතන්නේ 4 වැනි වරට වීම විශේෂත්වයකි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරිමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට, සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කළේ ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ප්‍රධාන සැසිවාරයට අමතරව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මෙණ්ඩෙලා සාම සමුළුව ද ඊයේ ආරම්භ විය. එහි විශේෂ දේශනයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලු නායකයින්ට ආරාධනා කරන බවයි. |
2018-09-25T00:08:17.000Z | නියොමාල් රංගජීවට අභියාචනාධිකරණයෙන් ඇප | නියොමාල් රංගජීවට අභියාචනාධිකරණයෙන් ඇප | COLOMBO (News 1st) : 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් සහ සැකකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇප මත මුදාහැරීමට අභියාචානාධිකරණය අද නියෝග කළේ ය. රංගජීව මහතාට විදෙස් ගමන් ද තහනම් කෙරිණ. අභියාචානාධිකරණය නියෝග කළේ, නියෝමාල් රංගජීව මහතා රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි. සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද රංගජීව මහතාට නියෝග කෙරිණ. |
2018-09-24T23:32:02.000Z | ස්ථාන මාරුවීම් ලබා සේවයට නොඑන වෛද්‍යවරුන්ට වැටුප් නැහැ | ස්ථාන මාරු ලබා සේවයට නොඑන වෛද්‍යවරුන්ට වැටුප් නෑ | COLOMBO (News 1st) : ස්ථාන මාරුවීම් ලබා දී තිබියදී නව සේවා ස්ථානයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් බී.ජී.එස්. ගුණතිලක මහත්මියට දැනුම් දී ඇති බවයි. එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් මුදා නොහරින රෝහල් අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබේ. එම රෝහල් සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන නතර කිරීමට මෙන්ම රෝහල් අධ්‍යක්ෂවරයාට උසස්වීම් ලබාදීමේදී පරිපාලන දක්ෂතාවලට ලකුණු ලබාදීම යටතේ ද මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇති. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී මෙම උපදෙස් ලබාදී තිබේ. සෞඛ්‍ය බලධාරීන් එහිදී පෙන්වා දී ඇත්තේ, පළාත් සභා රෝහල්වල වෛද්‍ය සහ හෙද හිඟය පියවීමට ස්ථාන මාරුවීම් ලබාදී තිබියදී නව සේවා ස්ථානය වෙත වාර්තා නොකරන නිලධාරින් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි. |
2018-09-24T23:07:02.000Z | අක්කරෙයිපත්තුවේ මාරක අනතුරක්: දැරියක ඇතුළු තිදෙනෙක් මරුට | අක්කරෙයිපත්තුවේ මාරක අනතුරක් | COLOMBO (News 1st) : පොතුවිල්, අක්කරපත්තු මාර්ගයේ කුඤ්ඤඕඩය පාලම අසලදී සිදුවූ රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගතව සිටි 12 හැවිරිදි දැරිය මියගොස් තිබේ. එම අනතුරින් ඊයේ ඇගේ මව සහ සහෝදරිය ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූහ. මාර්ගය හරහා ගමන් කරමින් සිටි එක ම පවුලේ මව, දියණියන් දෙදෙනෙකු හා පුත්‍රයෙකු ගැටීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු විය. ඔවුන් එලෙස ගැටී තිබුණේ, අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ මෝටර් රථයකයි. අනතුරින් තුවාල ලැබූ මව, දියණියන් දෙදෙනා සහ පුත්‍රයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මව සහ එක් දියණියක් ජීවිතකෟෂයට පත්වූහ. පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ 11 හැවිරිදි පුත්‍රයා අක්කරපත්තුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. |
2018-09-24T21:21:37.000Z | අද ත් ප්‍රදේශ රැසකට ධාරාණිපාත වැසි | අද ත් ප්‍රදේශ රැසකට ධාරාණිපාත වැසි | COLOMBO (News 1st) : ගතවූ පැය කිහිපය තුළ මිලිමීටර් 79.4 ක් වූ වැඩිම වර්ෂාපතනය කොළඹින් වාර්තා වී තිබේ. බදුල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 45 .9 ක වර්ෂාපතනයක් ද යාපනයෙන් 33.2 ක වර්ෂාපතනයක් ද රත්මලාන ප්‍රදේශයෙන් මිලිමීටර් 30 .3 ක වර්ෂාපතනයක් ද ලැබි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේ අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවයි. ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ඔහු ජනතාවට දැනුම් දෙයි. |
2018-09-24T20:30:50.000Z | ක්‍රොඒශියාවේ ලූකා වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගනී | ලූකා වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගනී | News 1st : අන්තර් ජාතික පාපන්දු සම්මේලය විසින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ රාත්‍රී පැවැත්විණ. එහි දී බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දින ගත්තේ 2018 වසරේ ලෝක පාපන්දු අනුශුරතාව හිමිකරගත් ක්‍රොඒශීයා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ලූකා මොඩ්රිච් ය. සම්මාන රාත්‍රිය මෙවර පැවැත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවරදීයි. ලොව පුරා සිටින විශිෂ්ට පාපන්දු ක්‍රීඩක ක්‍රීඩීකාවන්, පුහුණුකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම සම්මාන රාත්‍රීය සඳහා සහභාගී වූහ. අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් වාර්ෂිකව පිරිනමන හොඳ ම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය මෙවරත් සුපුරුදු පරිදි පිරිනැමිණ. ක්‍රොඑශියා පාපන්දු කණ්ඩායමේ නායක ලූකා මොඩ්රිච් , ඊජිප්තුවේ මොහොමඩ් සාලා හා පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එම සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ. ඔවුන් තිදෙනා අතුරන් ක්‍රොඑශියා පාපනදු කණ්ඩායමේ හා රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ලූකා මොඩ්රිච්ට මෙවර අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිවිය. මොඩ්රිච් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරමින් චැම්පියන්ස් ලීග් පාපන්දු ශුරතාව හිමිකර ගත් අතර නිමාවට පත්වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රොඑශියා කණ්ඩායම අවසන් මහා සටන කරා ගෙන ඒමට විශාල මෙහෙයක් සිදු කළේ ය . කෙසේ වෙතත් මෙම සම්මාන උළෙල සඳහා වසරේ පාපන්දු ක්‍රීඩකායට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ මොහොමඩ් සාලා හා ලූකා මොඩ්රිච් පැමිණි සිටිය ද පෘතුගාලයේ ක්‍රිස්ටියානේ රෝනාල්ඩෝ පැමිණ නොසිටිය හ. මෙම සම්මාන රාත්‍රීයේදී වසරේ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවුණේ බ්‍රසීල පාපන්දු ක්‍රීඩිකා මර්ටා වියෙරා ඩා සිල්වාටයි. මෙවර පාපන්දු ලෝක කුසලානය හිමිකර ගත් ප්‍රංශ පාපන්දු කන්ඩායමේ පුහුණුකරු ඩිඩියර් ඩිස්චැම්ප්ස් වසරේ පාපන්දු පුහුණුකරුට හිමි සම්මානය හිමිකර ගත් අතර වසරේ හොඳ ම ගෝලයට හිමි සම්මානය හිමිවුනේ ඊජිප්තුවේ මොහොමඩ් සාලාටයි. වසරේ පාපන්දු ප්‍රේක්ෂකයාට හිමි සම්මානය හිමිකර ගත්තේ පේරූ ජාතික දිරිගන්වන්න්ටයි. |
2018-09-24T19:57:01.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) : දේශීය පුවත්.... 1. ජනපති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතයි: එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව සංවිධානය වූ ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව ඊයේ අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වේ. 2. එන්නතකින් පසු නුවරඑළියේ රෝගීන්ට අක්ෂි රෝග වැළඳීම ගැන විමර්ශනයක් : නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් විවිධ සංකූලතාවලට ලක් වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී තිබේ. 3. උ /පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු අවසන් : අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ඊයේ අවසන් වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 4. අධිවේගි මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි රියැදුරන්ට උපදෙස් : කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් අධිවේගි මාර්ගය භාවිතා කිරීමේදී විමසිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය ඊයේ රියැදුරන්ගෙන් ඉල්ලීමක් කළේ ය. එම අධිකාරිය ඉල්ලා සිටියේ, රිය ධාවනයේදී ඉදිරිපස ලාම්පුව දල්වා ගෙන යෑම සහ බඳ පටි පැළඳගෙන යෑමට පියවර ගන්නා ලෙසයි. විදෙස් පුවත්.... 1. මාලදිවයින් ජනපතිවරණ ජය ඊබ්‍රහිම් සෝලිට : මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජය ගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් ඊයේ නිවේදනය කළේ ය. ක්‍රීඩා පුවත්... 1. මැතිව්ස් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි : එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මේ අතර ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටු දැනුම්දීමකට අනුව තමා නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ය. |
2018-09-24T19:48:01.000Z | පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නි. පොලිස්පතිවරයෙක්? | ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නි. පොලිස්පතිවරයෙක්? | COLOMBO (News 1st) : පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහා නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු නම් කිරීමට නිර්දේශ ඉදිරිපත් කරන්නැයි, පොලිස්පතිවරයාට දැන් වූ බව ජාතික පොලිස් කොමිසම පවසයි. එම කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා පැවසුවේ, පොලිස්පතිවරයාගේ නිර්දේශ මත එම පත් කිරීම සිදුකිරීමට නියමිත බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ දැනුම්දීම මත අදාළ නිර්දේශ කඩිනමින් යැවීමට පියවර ගන්නා බවයි. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරා ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යැවීමට පසුගියදා පියවර ගත්තේ ය. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ අදාළ කුමන්ත්‍රණය හෙළිදරව් කළ දුෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයගේ දුරකථන සංවාද සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ දුරකථන සංවාද රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබිණ. රජයේ රස පරික්ෂක වාර්තා අනුව ඉදිරි විමර්ශන කටයුතු ස්වාධීනව සහ කඩිනම්ව සිදු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර අදාළ කුමන්ත්‍රණය හෙළිදරව් කළ දූෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයගේ නිවසට පැමිණි බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාමල් කුමාර මහතා පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු ඉන්දියානු ජාතිකයෙකු බවත් ඩේලි මිරර් පුවත් පත ඊයේ වාර්තා කළේ ය. |
2018-09-24T19:21:04.000Z | ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි | ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි | COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේදී ඊයේ ආරම්භ විය. ඒ එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම, සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාව යටතේයි. ජනාධිපතිවරයා මෙවර මහා මණ්ඩලය අමතන්නේ 4 වැනි වරට වීම විශේෂත්වයකි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරිමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට, සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193 ක් මෙවර මහා මණ්ඩල සැසිවාරයට එක්වේ. ඉක්වදෝරයේ මාරියා ෆර්නැන්ඩර් මහත්මියගේ සභාපතිත්වයෙන් යුක්තව ඊයේ ආරම්භ වු සමුළුව දින 9 ක් පුරා නිව්යෝර්ක් නුවරදී පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ප්‍රධාන සැසිවාරයට අමතරව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මෙණ්ඩෙලා සාම සමුළුව ද ඊයේ ආරම්භ විය. එහිදී ලෝක නායකයින් ගෝලිය සාමය ගොඩනැගීම, මානව හිමිකම් හා යුද ගැටුම් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පවතින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව අමතමින් ප්‍රකාශ කළේ, නෙල්සන් මැන්ඩලා චරිතය ලෝක සංහිඳියාවට මහත් රුකුලක් බවයි. එළැඹෙන 26 වන දා පැවැත්වෙන හමුවේදී ක්ෂය රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු වනු ඇති. මේ අතර ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සමගාමීව 2018 ගෝලීය ඉලක්ක සතිය සහ 2018 දේශගුණය සතිය ආරම්භ වන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. |
2018-09-24T11:13:23.000Z | ජනපති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතයි | ජනපති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතයි | COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව සංවිධානය වූ ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව මේ වනවිට අමෙරිකාවේ නිව්යෝර්ක් හිදි පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 9.15ට පමණ සමුළුව ඇමතුවේ ය. නෙල්සන් මැන්ඩෙලා ඡන්ම ශත සංවත්සරය වෙනුවෙන් මෙම සමුළුව සංවිධානය කර තිබේ. එහිදි ලෝක නායකයින් ගෝලිය සාමය ගොඩනැගීම, මානව හිමිකම් හා යුද ගැටුම් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පවතින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව අමතමින් ප්‍රකාශ කළේ, නෙල්සන් මැන්ඩලා චරිතය ලෝක සංහිදියාවට මහත් රුකුලක් බවයි. එමෙන්ම අද ලෝක නායකයින් දෙස බැලීමේදී නෙල්සන් මැන්ඩලා තුළ පැවති ගුණාංග සහිත නායකයින් ඉතා අල්ප බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ, ලෝක නායකයින් නෙල්සන් මැන්ඩලා චරිතය අධ්‍යනය කරමින් ඔහුගෙන් ඉගෙන ගත යුතු පාඩම් ඉගෙන ගැනීමට කාලය එළඹ ඇති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීමට නියමිත ය. |
2018-09-24T10:29:27.000Z | නායකත්වයෙන් ඉල්ලා අස්වෙන ලෙස මැතිව්ස්ට බලපෑම් - ඉල්ලා අස්වීමේ ලිපිය මැතිව්ස් භාරදෙයි | ඉල්ලා අස්වීමේ ලිපිය මැතිව්ස් භාරදෙයි.. | COLOMBO (News 1st) - එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මේ අතර ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටු දැනුම්දීමකට අනුව තමා නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ය. මැතිව්ස් ලිපියක් මාර්ගයෙන් තම ඉල්ලා අස්වීම දැනුම් දී තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී ලැබු පරාජය සැළකිල්ලට ගෙන නායකත්වයෙන් ඉවත් වන ලෙස ක්‍රිකට් බලධාරීන් සිදු කළ ඉල්ලීම පරිදි තමා නායකත්වයෙන් ඉවත් වන බව ඇන්ජලෝ මැතිව්ස් අදාළ ලිපියෙන් දක්වා තිබුණි. ආසියානු කුසලාන තරග මාලාව තුළ ලැබූ පරාජයේ සමස්ත වගකීම ලෙස අවසානයේදී තමාට භාර ගැනීමට සිදු වී ඇතැයි ඔහු පවසා තිබේ. තරගයකදී ගන්නා සියලු තීරණ තමාගේ නොවන බවත් ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටුව මෙන් ම කණ්ඩායමේ සාමුහික තීරණ බවත් ඇන්ජලෝ මැතිව්ස් මෙම ලිපිය මගින් පෙන්වා දුනි. සෑම පරාජයකම වගකීම නායකයාගේ කර මත පැටවීම පිළිබඳ තමා එකඟ නොවූව ද ප්‍රධාන පුහුණුකරුගේ සහ තේරීම් කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම් මත නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බවට මැතිව්ස් පැවසීය. එංගලන්තයට එරෙහි තරගාවලි ජයග්‍රහණය, ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ සමස්ත තරගාවලි ජයග්‍රහණයත් 2014 ආසියානු කුසලානය ජය ගැනීම සිය නායකත්ව වගකීමේ සුවිශේෂී මතකයන් ලෙස ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී සඳහන් කර තිබුණි. 2017 වසරේ සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී ලසිත් මාලිංග, චාමර කපුගෙදර, තිසර පෙරේරා, උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වුව ද ඔවුන්ට නායකයින් ලෙස ස්ථාවර තත්ත්වයකට පත් වීමට නොහැකි වූ බව මැතිව්ස් පෙන්වා දුනි. මේ අතර එම ලිපියෙන් මැතිව්ස් අවධාරණය කරන්නේ, නායකයෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමේ කැමැත්තක් තමාට නොතිබූ බවයි. කෙසේ නමුත් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වීමෙන් අනතුරුව ඔහු ඉදිරිපත් කළ 2019 ලෝක කුසලාන තරගාවලි සැළැස්මට අනුව සිය මව්බිම කෙරෙහි තමන් සතු වගකීම ගැන සිතා බලා තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තමා භාර ගත් බවට මැතිව්ස් පවසයි. ආසියාන කුසලාන තරගාවලිය පරාජය වුව ද දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය සාධනීය මට්ටමකින් අවසන් කර ගැනීම හැකි වූ බව පවසන මැතිව්ස් ලෝක කුසලානයට ආසන්නව තිබියදී මෙම තත්ත්වයෙන් පළා යාමට කිසිදු උවමනාවක් තමන්ට නොවු බව ද මෙම ලිපියේ සඳහන් කෙරිණි. තේරීම් කමිටුව තමාගෙන් කළ ඉල්ලීම අනුව යමින් තමා නායකත්වයෙන් ඉවත්වීමට කටයුතු කරන බවත්, එම තීරණය ගැනීමට තමාට ඉඩ සැළසීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත් ලිපිය මගින් කරුණු දක්වන ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සුබ පැතුම් එක් කොට තිබේ. මේ අතර අද පැවැති ප්‍රජා වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අදහස් පළ කළේ ය. |
2018-09-24T10:16:14.000Z | "යුනිෆොම් එක ගැහුවා කියලා විශේෂ වරප්‍රසාදයක් දෙන්න බැහැ" - මහින්ද අමරවීර | යුනිෆොම් එක ගැහුවා කියලා විශේෂ වරප්‍රසාද දෙන්න බැ | COLOMBO (News 1st) - ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැළැස්මක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, මම පළමු දවසේම කිව්වා මේ දුරකතන සංවාදයේ තොරතුරු අනුව අනිවාර්යෙන් ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා අයින් කරන්න මාරු කරන්න නෙවෙයි අත්අඩංගුවට අරන් පරීක්ෂණ කරන්න කියලා. ඇයි යුනිෆොම් එක ගැහුවා කියලා විශේෂ වරප්‍රසාදයක් දෙන්න බෑ රටේ රාජ්‍ය නායකයට හිටපු ආරක්ෂක ලේකම්වරයට තමයි මේ තර්ජණය එල්ල කරලා තියෙන්නේ. එක නිසා මේක වහාන්න කවුරු හරි උත්සහා කරනවනම් අපි ඉඩ දෙන්නේ නෑ අනිවාර්යෙන් මේ පිළිබඳව කටයුතු කරනවා වගේම මේකට සම්බන්ධ වෙලා ඉන්නවනම් කවුරු හරි මේකට අනුබල දිලා තියෙනවනම් කවුරු හරි ඒ පුද්ගලයාගේ තරාතිරම අපිට අදාළ වෙන්නේ නෑ ඊට එරෙහිව කටයුතු කරන්න අපි පසුබට වෙන්නේ නෑ කියන එක මම ඉතාම පැහැදිලිව කියනවා මේ අතර අදාළ කුමන්ත්‍රණය හෙළිදරව් කළ දූෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයගේ නිවසට පැමිණි බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාමල් කුමාර මහතා පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු ඉන්දියානු ජාතිකයෙකු බවත් ඩේලි මිරර් පුවත් පත අද වාර්තා කර ඇත. වර්තමාන ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඝාතන සැළැස්ම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ නාමල් කුමාර මහතාගේ නිවසට ඉන්දීය ජාතිකයෙකු පැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම ඉතා වැදගත් වේ. ඊට හේතුව හිටපු ජනාධිපතිවරයෙකු වන ආර්. ප්‍රේමදාස මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූයේ ඉන්දීය ඔත්තු සේවාවකට සම්බන්ධ බව කියූ බාබු නැමැත්තෙකුටයි. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හා නාමල් කුමාර නැමැත්තා අතර සිදු වූ බව කියන මතභේදාත්මක දුරකතන සංවාදයේදී පොලිස්පතිවරයාගේ ද නම සඳහන් විය. ඊට අමතරව චෝදනා කිහිපයක් එල්ල වී සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පුහුණු වැඩසටහනක් සඳහා ලන්ඩනයට යෑමට නියමිත බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් පත අද වාර්තා කළේ ය. අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්. සූරියප්පෙරුම සහ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් ද ලබන 30 වන දා ලන්ඩනයේ පුහුණු වැඩසටහන සඳහා සහභාගීවීමට නියමිත බව පුවත්පත් වාර්තාවේ සඳහන් විය. |
2018-09-24T05:51:39.000Z | එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහනාධාර ණය යෝජනා යටතේ 23000 කට ණය | එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා යටතේ 23000 කට ණය | COLOMBO (News 1st) - එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ මේ වන විට ආයතන හා පුද්ගලයන් 22,957ට ණය ලබාදී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. රජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදී ඇති ණය මුදල්වල මුලු වටිනාකම රුපියල් මිලියන 49,176 කි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා, රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ පොලී සහන ණය යෝජනා ක්‍රම 16 ක් හඳුන්වාදෙනු ලැබුවේ ය. මෙම ණය යෝජනා ක්‍රමවල විශේෂත්වය වන්නේ ඊට අදාළ සම්පූර්ණ පොලිය හෝ පොලියෙන් කොටසක් රජය මගින් අදාළ ණයලාභියා වෙනුවෙන් බැංකු වෙත ගෙවීමයි. ඒ අනුව ණය නිකුත් කිරීම සඳහා වන 13.5% ක් වූ බරිත පොලී අනුපාතයෙන් 6.75% ක් රජය මගින් ණය ලාභියා වෙනුවෙන් අදාළ බැංකු වෙත ගෙවනු ලබන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය. පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන වෙනුවෙන් පොලී සහන ගෙවීම සඳහා පමණක් 2018 අයවැය මගින් රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 5,300 කි. මෙම ණය ලබාදීම සම්බන්ධයෙන් මාස තුනකට වරක් සියලු බැංකු හා අදාළ රාජ්‍ය නිලධාරීන් සමග එහි ප්‍රගතිය සමාලෝචනය කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ ය. |
2018-09-24T05:30:27.000Z | උ /පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු අදින් අවසන් | උ /පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු අවසන් | COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු අදින් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ඇගයීම් කටයුතු හේතුවෙන් සම්පුර්ණයෙන්ම වසා දැමුණ පාසැල් 04 ක අධ්‍යයන කටයුතු හෙට සිට නැවත ආරම්භ කරන බව ය. ඒ අනුව ඇගයීම් කටයුතු සඳහා යොදා ගැණුනු කොළඹ ආනන්ද විද්‍යාලය, කළුතර ගුරුළුගෝමි මහා විද්‍යාලය, ගාල්ල සුදර්මා විද්‍යාලය, මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා හෙට විවෘත කෙරේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසැල් 37 ක් යොදා ගත් අතර ඉන් සම්පුර්ණයෙන්ම වසා දැමුණේ පාසැල් 04 ක් පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. |
2018-09-24T05:04:07.000Z | අධිවේගි මාර්ගය භාවිතා කිරීමේදී විමසිලිමත් වන්නැයි රියැදුරන්ට උපදෙස් | අධිවේගි මාර්ගය භාවිතයේදී විමසිලිමත් වන්නැයි උපදෙස් | COLOMBO (News 1st) - කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් අධිවේගි මාර්ගය භාවිතා කිරීමේදී විමසිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එම අධිකාරිය ඉල්ලා සිටියේ, රිය ධාවනයේදී ඉදිරිපස ලාම්පුව දල්වා ගෙන යෑම සහ බඳ පටි පැළඳගෙන යෑමට පියවර ගන්නා ලෙසයි. වර්ෂාව පවතින වේලාවන්වලදී අධික වේගයෙන් රිය පැදවීමෙන් වළකින ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටි. අධිවේගි මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, නිවාඩු සමය හේතුවෙන් අධිවේගි මාර්ගය භාවිතා කරන වාහන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. සාමාන්‍ය දිනයකදී අධිවේගි මාර්ගයේ ගමන් කරන වාහන සංඛ්‍යාව 50,000 ක් වනු ඇත. මේ දිනවල එය 70,000 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එස්. ඕපනායක මහතා ප්‍රකාශ කළේ ය. අධිවේගි මාර්ගයේ අදායම රුපියල් මිලියන 24 - 25 ත් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු පවසා තිබේ. |
2018-09-24T01:34:07.000Z | අතුරුදන් වන ධීවර යාත්‍රා සෙවීමට නව උපකරණයක් | අතුරුදන් වන ධීවර යාත්‍රා සෙවීමට නව උපකරණයක් | COLOMBO (News 1st): අතුරුදන් වූ ධීවර යාත්‍රා සොයා ගැනීම සඳහා නව උපකරණයක් හඳුන්වා දීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියමයෙන් මෙම උපකරණය ධීවරයින්ට ලබාදීමට කටයුතු සිදුකරන බවයි. මෙම උපකරණය සෑම යාත්‍රාවකම සවි කිරීමේ හැකියාව පවතින අතර යාත්‍රාවක් අනතුරට ලක්ව කිසියම් මුහුදු සීමාවක පවතින්නේ නම් එම ස්ථානය හඳුනා ගැනීමට මෙම උපකරණය මගින් හැකියාව පවතින බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. මේ අතර සෑම ධීවර යාත්‍රාවක් සඳහා ම කාලගුණ නිවේදනයක් එස්. එම්. එස්. සේවාව මගින් ලබා දීමට කටයුතු කිරීමට ද නියමිත වේ. වසරේ මේ දක්වා කාලය ධීවරයින් 13 දෙනෙකු අනතුරුදන් ව 12 දෙනෙකු මියගොස් තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-09-24T01:20:51.000Z | තෙලිප්පලේ අනතුරකින් දෙහැවිරිදි දරුවෙක් මරුට | තෙලිප්පලේ අනතුරකින් දෙහැවිරිදි දරුවෙක් මරුට | COLOMBO (News 1st) : තෙලිප්පලේ, කල්ලාරි මල්ලාකම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු දෙක හමාරක දරුවෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, නිවසේ නවතා තිබූ ට්‍රැක්ටරයක් හිමිකරු විසින් පිටුපසට ධාවනය කිරිමේදී කුඩා දරුවා එහි ගැටී ඇති බවයි. ඉන් බරපතළ තුවාල ලැබූ දරුවා තෙලිප්පෙලයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. |
2018-09-24T00:53:15.000Z | අද පස්වරුවේ ප්‍රදේශ රැසකට මහ වැසි | අද පස්වරුවේ ප්‍රදේශ රැසකට මහ වැසි | COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළ මිලිමීටර් 131.5 ක් වූ වැඩි ම වර්ෂාපතනය හබරණ ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ. කොළඹට මිලිමීටර් 114.1 ක වර්ෂාපතනයක් ද, රත්මලානට 94.2 වර්ෂාපතනයක් ද මත්තලට මිලිමීටර් 77.1 ක වර්ෂාපතනයක් ද ලැබි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය. ගත වූ පැය 24 තුළ සෙල්සියස් අංශක 37.7 ක් වූ වැඩිම උෂ්ණත්වය වාර්තාවී ඇත්තේ, වවුනියාව ප්‍රදේශයෙනි. පොළොන්නරුව ප්‍රදේශයට ද සෙල්සියස් අංශක 37.6 ක උෂ්ණත්වයක් වාර්තාවී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ, අද දිනයේ පළාත් රැසකට මිලිමිටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවයි. |
2018-09-24T00:30:59.000Z | එන්නතකින් පසු නුවරඑළියේ රෝගීන්ට අක්ෂි රෝග වැළඳීම ගැන විමර්ශනයක් | නුවරඑළියේ රෝගීන්ට අක්ෂි රෝග වැළඳීම ගැන විමර්ශනයක් | COLOMBO (News 1st) : නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් විවිධ සංකූලතාවලට ලක් වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී තිබේ. එම අමාත්‍යංශය පැවසුවේ, අමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට එක්ව සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා දුරකථනයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට මෙම උපදෙස් ලබාදී ඇති බවයි. නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනය සඳහා ලබා දී ඇති මෙම එන්නත් තොගය තාවකාලිකව භාවිත කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට දැනුම් දී තිබේ. මෙම අක්ෂි සායනයට පසුගිය දා රෝගීන් 55 ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් 17 ක් මෙම සංකූලතාවලට ගොදුරු වූ බව ප්‍රකාශ කරමින් නැවත රෝහල්ගත වී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ, එම රෝගීන්ට ද යළි ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර ඔවුන් ද සුව අතට පත්වෙමින් සිටින බවයි. මෙම එන්නත භාවිත කළ වෙනත් රෝහල්වල අක්ෂි සායනවලින් මෙවැනි ගැටලුවක් වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. මෙම එන්නත වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයට යොමු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් විවිධ සංකූලතාවලට ලක් වූ බවට පසුගිය දා අනාවරණය කෙරිණ. |
2018-09-24T00:05:47.000Z | මාලදිවයින් ජනපතිවරණ ජය ඊබ්‍රහිම් සෝලිට | මාලදිවයින් ජනපතිවරණ ජය ඊබ්‍රහිම් සෝලිට | COLOMBO (News 1st) : මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජය ගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කළේ ය. නිල නිවේදනයට අනුව සෝලි ඡන්ද 134616 ක් ලබා ගෙන තිබේ. ඡන්ද මාධ්‍යස්ථාන 472කදී 233877 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති අතර එය 89.22%ක ප්‍රතිශතයකි. මෙම ජයග්‍රණයත් සමග වසර 5 ක් බලයේ සිටි ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට සිය ධූරයෙන් නික්ම යාමට සිදුවනු ඇති. |
2018-09-23T20:33:06.000Z | ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළි චන්දිමාල්ට | ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළි චන්දිමාල්ට | COLOMBO (News 1st) : එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ දිනයේදී තීරණයට එළැඹි බවයි. ඒ අනුව ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස්ට එම කටයුතුවලින් ඉවත්වන ලෙස තේරීම් කමිටුව දන්වා ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වේ. කෙසේ නමුත් මැතිව්ස් මෙලෙස නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ හේතුවක් අදාළ නිවේදනයේ සඳහන් නොවන අතර ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්වීම ඊට ආසන්නතම හේතුව විය හැකි බවයි. නිමා වූ මාස 18ක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට කිහිප දෙනෙක්ම පත් කළ අතර උපුල් තරංග, ලසිත් මාලිංග, චාමර කපුගෙදර සහ තිසර පෙරේරාද ඊට ඇතුළත් වෙති. 2017 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගී වූ එක්දින තරග 40න් තරග 30ක් පරාජයට පත් වී තබේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදු වුණේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය වීම හේතුවෙනි. මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන දිනේෂ් චන්දිමාල් මීට පෙර ද ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායම මෙහෙයවා තිබේ. එක්දින ජාත්‍යන්තර තරග 5කින්, පන්දුවාර 20යි 20 තරගයකින් සහ ටෙස්ට් තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලිය ලබන ඔක්තෝබර් 10 වන දා ආරම්භ වීමට නියමිතයි. |
2018-09-23T20:15:23.000Z | මාලදිවයින් ජනපතිවරණයෙන් තමා ජයගත් බව ඊබ්‍ර්හිම් මොහොමඩ් කියයි | ජනපතිවරණයෙන් තමා ජයගත් බව ඊබ්‍ර්හිම් මොහොමඩ් කියයි | COLOMBO (News 1st) : මාලදිවයින් ජනාධිතිවරණ ඡන්ද ප්‍රතිඵලවලින් ජනතාවගේ ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට නැවත වරක් අවස්ථාව උදා වී ඇති මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ් පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, නිව්ස් ෆස්ට් වෙත විශේෂ ප්‍රකාශක් නිකුත් කරමිනි. පසුගිය පාලන සමයේදී මාධ්‍යවේදීන් සිරගත කරමින් ප්‍රජාතන්තවාදි අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ගෙන ගිය පාලනය ප්‍රතික්ෂේප කිරීමට ජනතාව එක්වීමත් සමග මාලදිවයිනේ ප්‍රජාතන්තවාදය තහවුරුවී ඇති බව මින් සනාථ වේ. මේ අතර මාලදිවයින් ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ජන්ද ප්‍රතිඵල අනුව තමන් ජයගත් බව එරට එක්සත් පොදු විපක්ෂයේ අපෙක්ෂක ඊබ්‍ර්හිම් මොහොමඩ් සොල්හි ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ජනාධිපතිවරණයේ ප්‍රතිවාදි අපෙක්ෂකයා වූ වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමින්ට වඩා 16%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් මැතිවරණයේ ජය තහවුරු කරගෙන ඇති බවයි. කේසේ වෙතත් මාලදිවයින් මැතිවරණ කොමිසම මෙතෙක් කිසිදු නිල ජන්ද ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කර නොමැත. එ අනුව මාලදිවයින් මැතිවරණ කොමිසම නිවේදනය කළේ, අවසන් නිල ජන්ද ප්‍රතිඵලය මෙ මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බවයි. |
2018-09-23T19:43:07.000Z | එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අද ඇරඹෙයි | එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අද ඇරඹෙයි | COLOMBO (News 1st) : එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මුලස්ථානයේදී අද ආරම්භ වේ. ඒ එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම , සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාව යටතේයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට පස්වරුවේ සැසිවාරය අමතන අතර ජනාධිපතිවරයා මෙවර මහා මණ්ඩලය අමතන්නේ 4 වැනි වරට වීම විශේෂත්වයකි. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරිමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට, සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදි විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193 ක් මෙවර මහා මණ්ඩල සැසිවාරයට එක්ව සිටී. ඉක්වදෝරයේ මාරියා ෆර්නැන්ඩර් මහත්මියගේ සභාපතිත්වයෙන් යුක්තව අද ආරම්භ වන සමුළුව දින 9 ක් පුරා නිව්යෝර්ක් නුවරදී පැවැත්වේ. අද ලෝක සාමය පිළිබඳව අවධානයට යොමු කරමින් රාජත්‍රාන්ත්‍රික නිලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙන බව විදෙස් වාර්තාවල සඳහන් ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ප්‍රධාන සැසිවාරයට අමතරව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව ද අද ආරම්භ කෙරෙන අතර එම සමුළුවේ විශේෂ දේශනයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ආරාධනා ලැබී තිබේ. එළැඹෙන 26 වන දා පැවැත්වෙන හමුවේදී රාජ්‍ය නායකයින්ගේ අවධානය ක්ෂය රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් යොමු වනු ඇති. මේ අතර අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සමගාමීව 2018 ගෝලීය ඉලක්ක සතිය සහ 2018 දේශගුණ සතිය ආරම්භ වන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. |
2018-09-23T19:35:29.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) : දේශීය පුවත්.... 1. දකුණේ පාතාලය යළි හිස ඔසවයි : තංගල්ලේ සහ හික්කඩුවේ ඊයේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් එක් වෙඩි තැබීමක් හික්කඩුව බද්දේගම පාරේ තැපැල් කාර්යාලයක් අසලදී සිදු වූ අතර අනෙක් වෙඩි තැබීම සිදු වූයේ, තංගල්ල , කතරගම මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේදී ය. 2. ජනපති නිව්යෝක් නුවරට ළඟා වෙයි : එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ නිව්යෝක් නුවරට ළඟා විය. 3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරි සතියේ නව සාමාජිකයින් : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරි සතිය තුළ නව සාමාජිකයින් පත් කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. ඒ, එහි සමාජිකයින් 5 දෙනෙකුගේ නිල කාලය ඊයේ අවසන්වීමත් සමග ය. 4. එන්නතකින් පසු නුවරඑළියේ රෝගීන්ට අක්ෂි ආබාධ : අක්ෂි රෝග සඳහා ලබාදෙන එන්නතකින් පසු නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පිරිසකට ඇස් පෙනීමේ ආබාධ මතු ව තිබේ. විදෙස් පුවත්... 1. මාලදිවයින් ජනාධිපතිවරණය උණුසුම් : මාලදිවයින් ජනාධිපතිවරණය ඊයේ පැවැත්විණ. ඊයේ සවස 4ට අවසන්වීමට නියමිතව තිබු ඡන්දය ප්‍රකාශ කිරීමේ කාල සීමාව, රාත්‍රී 7 දක්වා දීර්ඝ කිරීමට එරට මැතිවරණ කොමිසමට සිදුවිය. ක්‍රීඩා පුවත්... 1. සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි : බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ හිමිකර ගෙන තිබේ. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.