date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-11-18T01:25:09.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01. දුමින්ද සිල්වා නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමේ සූදානමක්.. මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබ සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් . දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පොදු සමාව ලබාදීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකුවෙකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දරන් මහතා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. 02.වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රිමාන්ඩ්.. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 03.ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබෙයි ලිංගික චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබේ. 04.ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේ සංගණනයක් ශ්‍රී ලංකාවේ දිවි ගෙවන අලි ඇතුන් පිළිබඳව ලබන වසරේදී සංගණනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 05.රත්ගම මුහුදේ ගිලී තරුණයෙක් මරුට රත්ගම මහජන ක්‍රීඩාපිටිය පිටුපස මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබේ. විදෙස් පුවත් 01.පෝලන්තයට එල්ල වන්නට ඇත්තේ යුක්රේන මිසයිලයක් බව නේටෝ සංවිධානය කියයි පෝලන්තයට එල්ල වන්නට ඇත්තේ යුක්රේන මිසයිලයක් බව නේටෝ සංවිධානය අනාවරණය කර තිබේ. |
2022-11-17T16:07:11.000Z | දුමින්ද සිල්වා නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමේ සූදානමක්.. | දුමින්ද නඩුවේ වගඋත්තරකරුවෙකු ගැන දැනුම් දීමක් | COLOMBO ( News 1st ) – මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබ සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් . දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පොදු සමාව ලබාදීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකුවෙකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දරන් මහතා අද(17) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පාර්ශ්ව 03 ක් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගාමිණි අමරසේකර හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේදී අද කැඳවිය. හිටපු ජනාධිපතිවරයා මේ වනවිට ජනාධිපති ධුරය නොදරන බැවින් ඔහුට හිමිවිය යුතුව තිබූ ජනාධිපති මුක්තිය අහෝසි වී ඇති බවත්, ඒ අනුව ඔහු වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අපේක්ෂා කරන බවත්, ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී කරුණු දැක්වීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල එම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට දින නියම කළේ ය. |
2022-11-17T13:41:21.000Z | වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රිමාන්ඩ්.. | වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රිමාන | COLOMBO ( News 1 st ) – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. |
2022-11-17T12:21:25.000Z | රාජ්‍ය ආයතනවල ලේඛනයක් පළමු වරට පාර්ලිමේන්තුවේදී සභාගත කෙරේ.. | රාජ්‍ය ආයතනවල ලේඛනයක් පළමු වරට පාර්ලිමේන්තුවට | COLOMBO ( News 1 st ) – රාජ්‍ය ආයතනවල ලේඛනයක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (17)පාර්ලිමේන්තුවේදී සභාගත කළේ ය. මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය ආයතන ලේඛනයක් එලෙස සභාගත කළ බවයි. එම ලේඛනයට අනුව රජයට අයත් ආයතන සංඛ්‍යාව 1,283 කි. වැය ශිර්ෂ 19ක් යටතේ මුදල් වෙන් කරන එම ආයතන අතරට අමාත්‍යාංශ 29 ක් , දෙපාර්තමේන්තු 99 ක් , දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක් , පළාත් සභා 09 ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341 ක් සහ පළාත් පාලන ආයතන 341 ක් ඇතුළත් ය. එම ලේඛනයට අනුව රාජ්‍ය ව්‍යාපාර ඇතුළුව හිමිකාරිත්වය සහිත ආයතන සංඛ්‍යාව 420 කි. |
2022-11-17T10:28:27.000Z | මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීම් සිදුවිය හැකියි - දුම්රිය දෙපාර්තමේන්තුව | මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීමක්.. | COLOMBO (News 1st) – මුහුදුබඩ මාර්ගයේ කොටුව සහ වැල්ලවත්ත අතර දුම්රිය ධාවනය වන්නේ එක් මාර්ගයක පමණක් බව ත් , ඒ අනුව දුම්රිය ප්‍රමාදවීම් සිදුවිය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ , පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් ය. |
2022-11-17T09:41:43.000Z | අධිකරණයට භාර වූ නීතිඥ නුවන් බෝපගේට ඇප.. | නීතිඥ නුවන් බෝපගේට ඇප.. | COLOMBO (news 1 st) – අධිකරණයට භාර වූ නීතීඥ නුවන් බෝපගේ මහතා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය අද (17)නියෝග කළේ ය. ඒ, සැකකරු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. පසුගිය ජුනි 09 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 59 වන සැකකරු ලෙස නිතීඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබුණි. මිට දින කිහිපයකට පෙර ඔහුව එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කළ අතර, නීතීඥවරුන් කළ දැනුම්දීම අනුව නුවන් බෝපගේ මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. |
2022-11-17T05:48:02.000Z | රාජ්‍ය ඇමති ඩයනාට තවදුරටත් රට ගමන් තහනම් | රාජ්‍ය ඇමති ඩයනාට තවදුරටත් රට ගමන් තහනම් | COLOMBO (news 1 st) – ව්‍යාජ හැඳුණුම්පත් හා උප්පැන්න ඉදිරි පත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම ඇතුළු චෝදනා එල්ලවී ඇති රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහි නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම් නියෝගය දෙසැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ. නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇත්තේ, ඇයට විදෙස් ගමන් තහනම යුක්ති සහගත නොවන බැවින් එය ඉවත් කර ගන්නා ලෙසයි. මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊට දැඩිව විරුද්ධත්වය දක්වා, අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි. කෙසේ වෙතත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීම සම්බන්ධ නියෝගය ඉදිරියේදි නිකුත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා එහිදි පවසා තිබේ. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අද (17) දින දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 11 වැනිදා තහනම් නියෝගය නිකුත් කළේ ය. |
2022-11-17T04:24:47.000Z | BREAKING : ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබෙයි | BREAKING : ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබෙයි | COLOMBO (News 1st) – ලිංගික චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබේ. සිඩ්නි අධිකරණය හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්ක ගුණතිලක මහතා වෙනුවෙන් පෙනී සිටි මුරුගන් තංගරාජ් මහතා පෙන්වා දුන්නේ ඉදිරිපත්ව ඇති කරුණු අනුව ගොනුකළ චෝදනා තුළ ශක්තිමත් නඩු නිමිත්තක් නොමැති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සහා ශ්‍රී ලංකා රජය තම සේවා දායකයාට සහය දක්වන බවත් , ඔහුට ඇප ලබා නොදුනහොත් ඔහුගේ ක්‍රීඩා ජිවිතය අවසන් වනු ඇති බවත් නිතීඥවරයා පෙන්වා දී තිබේ. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔස්ට්‍රේලියානු ඩොලර් 150000 ක ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මහතා නිදහස් කළේ ය. ඇප මත මුදාහැරි ධනුෂ්ක ගුණතිලක මහතා සෑම දිනකම පොලිසියට වාර්තා කළ යුතු අතර සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා ඔහුට සංචරණ සීමා පනවා තිබේ. පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීමත් , මුණගෑසීම් සම්බන්ධ ඇප් භාවිතයත් ධනුෂ්ක ගුණතිලකට තහනම් කර තිබේ. ධනුෂ්ක ගුණතිලක අද උසාවිය හමසුවේ පෙනී සිටියේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සෙයි. |
2022-11-16T22:49:27.000Z | රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමයි | රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමයි | COLOMBO (News 1st) – මෝටර් රථ ලියාපදිංචි ගාස්තු හා වාර්ෂික බලපත්‍ර ගාස්තු ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. නව ගැසට් පත්‍රය අනුව එන්ජින් ධාරිතාව 1600 ට අඩු මෝටර් රථයක් ලියාපදිංචි කිරිමේ නව ගාස්තුව රුපියල් 25 ,000 කි. එන්ජින් ධාරිතාව 1600 ට වැඩි මෝටර් රථයක් සඳහා වන නව ලියාපදිංචි ගාස්තුව රුපියල් 40,000 ක් දක්වා ඉහළ නංවා තිබේ. ආබාධ සහිත පුද්ගලයින් භාවිත කරනු ලබන වාහන සඳහා ලියාපදිංචි ගාස්තුව 2,000කි. මෝටර් ගිලන් රථ, මෝටර් අවමංගල්‍ය රථ සඳහා ලියාපදිංචි ගාස්තුව රු 10,000ක් බව නව ගැසට් පත්‍රයේ සඳහන් ය. යතුරු පැදියක නව ලියාපංදිචි ගාස්තුව රුපියල් 3,000 කි. කිලෝග්‍රෑම් 762 කට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව රුපියල් 2500 කි. යතුරු පැදියක හා වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව රුපියල් 900 ක් බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය. කිලෝග්‍රැම් 762 කට වැඩි ඩීසල් මෝටර් රථ සඳහා වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව 3900 කි. මෙම නව ගාස්තු හෙට සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් ය. සංශෝධනය කෙරුණු ගාස්තු පිළිබඳ විස්තර මෙතැනින්... |
2022-11-17T01:42:21.000Z | පෝලන්තයට එල්ල වන්නට ඇත්තේ යුක්රේන මිසයිලයක් බව නේටෝ සංවිධානය කියයි | පෝලන්තයට වැටුණේ යුක්‍රේන මිසයිලයක් | News 1st - පෝලන්තයට එල්ල වන්නට ඇත්තේ යුක්රේන මිසයිලයක් බව නේටෝ සංවිධානය අනාවරණය කර තිබේ. නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් බීබීසීය සමග ප්‍රකාශ කළේ, පසුගිය අඟහරුවාදා පෝලන්තයේදී පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳ වූ මිසයිල ප්‍රහාරය බොහෝ විට යුක්රේන මිසයිලක් විය හැකි බවයි. යුක්රේන දේශසීමාව ආසන්නයේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර බොහෝ විට මෙය යුක්රේන ගුවන් ආරක්ෂක මිසයිලයක් විය හැකි බව ඔහු සඳහන් කළේ ය. කෙසේවෙතත් දිගින් දිගටම යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් අවසානයේ රුසියාවටම මෙම ප්‍රහාරයට දොස් පැවරිය යුතු බව ඔහු අවධාරණය කළේ ය. යුක්රේනයම දිගින් දිගටම චෝදනා කරන්නේ, රුසියාව විසින් මෙම මිසයිලය එල්ල කළ බවටයි. "මෙය අපගේ මිසයිලයක් නොවන බවට මට කිසිදු සැකයක් නැහැ" යුක්‍රේන ජනාධිපති වොලඩමීර් සෙලන්ස්කි ප්‍රකාශ කර තිබේ. ඔහු කියා සිටියේ, යුක්‍රේන හමුදා වාර්තා මත පදනම්ව මෙය රුසියානු මිසයිලයක් යැයි තමා විශ්වාස කරන බවයි. පෙබරවාරි 24 වන දින යුක්‍රේන ආක්‍රමණයෙන් පසු මාස නවය තුළ රුසියාව සිය විශාලතම මිසයිල ප්‍රහාරක රැල්ල ලෙස සැලකෙන ප්‍රහාරයක් පසුගිය අඟහරුවාදා යුක්‍රේනය වෙත එල්ල කිරීමත් සමග යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය වී ඇත. රුසියානු මිසයිල ගණනාවක් යුක්‍රේනය විසින් ඉලක්ක කර ඇති අතර ඔවුන් පවසන්නේ එම මිසයිලවලින් බොහොමයක් බිම හෙළීමට තමන් සමත් වූ බවයි. ඉන්දුනීසියාවේ පැවති G 20 සමුළුව අතරතුර පෝලන්තයට එල්ල වූ මෙම මිසයිල ප්‍රහාරය ජාත්‍යන්තර කැළඹීමක් ඇති කළ අතර නේටෝ සාමාජික රාජ්‍යයක් වන පෝලන්තයේ භූමිය තුළ මිසයිල පිපිරීමක් පිළිබඳ පුවත යුද්ධය භයානක ලෙස තීව්‍ර වනු ඇතැයි යන බිය මතු කළ බව විදෙස් වාර්තාවල සඳහන් ය. නේටෝ සන්ධානයේ සාමාජිකයෙකු නොවන නමුත් පුළුල් හමුදා ආධාර ලබන යුක්රේනයට වඩා දියුණු ගුවන් ආරක්ෂක පද්ධතියක් සැපයීමට නේටෝ සංවිධානය ප්‍රතිඥා දුන් බව නේටෝ මහලේකම් ස්ටෝල්ටන්බර්ග් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2022-11-17T01:27:37.000Z | ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේ සංගණනයක් | ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේ සංගණනයක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ දිවි ගෙවන අලි ඇතුන් පිළිබඳව ලබන වසරේදී සංගණනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පළමු රැස්වීමට එක්වෙමිනි. මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ, 2011 වසරේදීයි. අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර ඇත්තේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බවයි. |
2022-11-17T01:22:14.000Z | ලැප්ටොප් පරිගණකයක සිදු වූ විදුලි කාන්දුවකින් සිසුවෙක් ජීවිතක්ෂයට | ලැප්ටොප් එකේ විදුලි කාන්දුවකින් සිසුවෙක් මරුට | COLOMBO (News 1st) - බටපොල, කොබෙයිතුඩුව ප්‍රදේශයේ 14 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකපළ කෙරෙන්නේ අදාළ සිසුවා භාවිත කරමින් සිටි ලැප්ටොප් පරිගණකයේ සිදු වූ විදුලි කාන්දුවක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි. අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (16) පස්වරුවේ දරුවා පරිගණකය උකුලේ තබාගෙන භාවිත කරමින් සිට ඇති බවයි. ඒ, අවස්ථාවේදී පරිගණකය විදුලියට සම්බන්ධ කර තිබී ඇතැයි නිවැසියන් පවසති. මියගොස් ඇත්තේ, අම්බලන්ගොඩ ගාමිණි විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගැනුම ලැබූ ඩබ්ලිව්. ඒ.සෙනත් ඉදුවර නැමැති සිසුවාය. |
2022-11-17T00:59:57.000Z | රත්ගම මුහුදේ ගිලී තරුණයෙක් මරුට | රත්ගම මුහුදේ ගිලී තරුණයෙක් මරුට | COLOMBO (News 1st) - රත්ගම මහජන ක්‍රීඩාපිටිය පිටුපස මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, 26 හැවිදිරි තරුණයෙකු එලෙස මිය ගොස් ඇති බවයි. ඔහු සිය පවුලේ සමාජිකයින් සමග මුහුදේ දිය නෑම සඳහා ගොස් සිටි අවස්ථායේ එම අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පැවසීය. මේ අතර තඹුත්තේගම රාජාංගණය ජලාශයේ බිඳුම්කඩ අසල නාන තොටුපොළේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් 44 හැවිදිරි දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සිය මව සමග රාජාංගණය ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී එම අනතුරට මුහුණ පා ඇතැයි පොලීසිය පැවසීය. |
2022-11-17T00:46:29.000Z | හෙරොයින් වැටලීමකදී පොලීසියට ගල්මුල් ප්‍රහාරයක්...කාන්තාවන් 6 ක් ඇතුළු 10 ක් අත්අඩංගුවට | හෙරොයින් වැටලීමකදී පොලීසියට ගල්මුල් ප්‍රහාරයක් | COLOMBO (News 1st) - අනුරාධපුර, සමුහ ගොවිපල පුබුදුපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කළ කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, හෙරොයින් සමග සැකකරුන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදීය. පුබුදුපුර ප්‍රදේශයේදී ඊයේ (16) කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 220 ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, එම සැකකරුවන් පුබුදුපුර ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා පොලීසිය වෙත රැගෙන ඒමේදී ඔවුන් මුදා ගැනීම සඳහා කාන්තාවන් 6 දෙනෙකු පොලිස් නිලධාරීන්ට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රථිකාර සඳහා අනුරාධුපර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා සහ සැකකාරියන් 06 දෙනා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම මෙහෙයුම අතරතුර එක් සැකකරුවෙකු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය. |
2022-11-17T00:36:15.000Z | අයවැය දෙවැනිවර කියවීම: විවාදයේ තුන්වැනි දිනය | අයවැය දෙවැනිවර කියවීම: විවාදයේ තුන්වැනි දිනය | COLOMBO (News 1st) - අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ තුන්වැනි දිනය අදයි. ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වෙනු ඇති. |
2022-11-17T00:28:48.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. වී සඳහා නිර්දේශ කළ මුළු යූරියා පොහොර ප්‍රමාණය එකවර ගොවීන්ට – ඇමති මහින්ද අමරවීර - වී වගාව සඳහා හෙක්ටෙයාරයකට ලබා දෙන සම්පූර්ණ පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 157ක් එක්වර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. 2. දකුණු අප්‍රිකා ජනපති සිරිල් රමපෝසා දිවයිනට - දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට පැමිණ තිබේ. 3. විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට.. - අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කර තිබේ. 4. හිඟ වැටුප් නොගෙවීම: පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කණගාටුව කරයි - පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හා පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොන්දේසි විරහිතව දැඩි කණගාටුව පල කළහ. 5. සතොසේ බඩු මිල අඩු වෙයි - ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබේ. |
2022-11-16T16:56:52.000Z | වී සඳහා නිර්දේශ කළ මුළු යූරියා පොහොර ප්‍රමාණය එකවර ගොවීන්ට - ඇමති මහින්ද අමරවීර | වී ගොවීන්ට දැනුම්දීමක් | COLOMBO (News 1 st ) - වී වගාව සඳහා හෙක්ටෙයාරයකට ලබා දෙන සම්පූර්ණ පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 157ක් එක්වර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අද(16) සිට දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථානවලින් ගොවීන්ට වී වගාවට අවශ්‍ය සම්පූර්ණ යුරියා පොහොර ප්‍රමාණයම මිලදී ගැනිමට හැකි බවය. කිසියම් ප්‍රදේශයක යූරියා පොහොර සැපයීම මෙන්ම ගොවිජන සේවා මධ්‍යස්ථානවලදී එම කටයුතුවලට සම්බන්ධ නිලධාරීන්ගෙන් හා සේවකයින්ගෙන් ගොවීන්ට යම් යම් හිරිහැර හා සිත්රිදවීම් මෙන්ම සේවය පැහැර හැරීම් සිදුවන්නේ නම් පහත සඳහන් දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චන්දන ලොකුහේවාගේ මහතාගේ 0718714219 මෙම දුරකතන අංකයට දැනුම් දිය හැකිය. කාර්යය පැහැර හරින නිලධාරීන් හා සේවකයින් සම්බන්ධව ලැබෙන පැමිණිලි වහා විමර්ශනය කරන ලෙසත්, අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ වැඩ තහනම් කරන ලෙසත් අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන් බව ද නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වේ. මේ වනවිට ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම දිවයිනේ මේ වනවිට වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවලට අවශ්‍ය තරම් යූරියා පොහොර තොග යවා තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ(15) යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් සහිත නෞකාවක් කොළඹට පැමිණි අතර එම යූරියා පොහොර ගොඩබෑම මෙන්ම රාජ්‍ය පොහොර සමාගම් දෙක මගින් බෙදාහැරීම කටයුතු ද ආරම්භ කර ඇති බවය. |
2022-11-16T16:34:35.000Z | දකුණු අප්‍රිකා ජනපති සිරිල් රමපෝසා දිවයිනට | දකුණු අප්‍රිකා ජනපති දිවයිනට | COLOMBO ( News 1 st ) - දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට පැමිණ තිබේ. ඒ, G20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව, කෙටි සංචාරයක් සඳහායි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවය. |
2022-11-16T15:21:31.000Z | විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට.. | අයවැයෙන් ඉහළ යන පාස්පෝට් ගාස්තු.. | COLOMBO ( News 1 st ) - හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කර තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 2023 වර්ෂයේ අයවැය යෝජනාවකට අනුව එම සංශෝධනය සිදු කර ඇති බවයි. එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 15,000 සිට රුපියල් 20,000 දක්වා සංශෝධනය කර තිබේ. එක්දින සේවය යටතේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 03 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමේ ගාස්තුව සංශෝධනය කර ඇත්තේ රුපියල් 7500 සිට රුපියල් 9000 දක්වායි. සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තුව රුපියල් 3500 සිට රුපියල් 5000 දක්වා සංශෝධනය කර තිබෙන අතර ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල නොමැති රටවලින් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් සෘජුවම භාරදීම සඳහා වන ගාස්තු සංශෝධනය කර ඇත්තේ රුපියල් 23,200 සිට රුපියල් 40,000 ක් දක්වායි. |
2022-11-16T15:11:37.000Z | හිඟ වැටුප් නොගෙවීම: පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කණගාටුව කරයි.. | පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කණගාටුව කරයි | COLOMBO ( News 1 st ) - පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා හා පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොන්දේසි විරහිතව දැඩි කණගාටුව පල කළහ. උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා වැඩතහනමට ලක්ව සිටි කාලය සඳහා වහාම හිඟ වැටුප් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මැයි 8 වැනිදා නියෝගය ඉටු කිරීමට ප්‍රමාද වීම මීට හේතුවයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති,වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. අභියාචනාධිකරණය ඇප මත මුදා හරිනු ලැබූ, තමා නැවත සේවයේ පිහිටුවන ලෙස හා සේවය අත්හිටුවා තිබු කාලය සදහා හිග වැටුප් ගෙවන ලෙස ඉල්ලා එම උප පොලිස් පරීක්ෂකවරයා ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මැයි 08 වැනිදා නියෝග කළේ, වහාම හිඟ වැටුප් ගෙවීමට පියවර ගන්නා ලෙසය. පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කළ එම නියෝගය ඉටු කර නැතැයි පෙන්වා දෙමින්, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා කළ කරුණු දැක්වීම සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීම සදහා අද පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 23 වැනිදා පොලිස්පතිවරයාට හා නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ නියෝගයට අනුව ඔවුන් අද(16 ) අධිකරණය හමුවේ පෙනී සිටියහ. |
2022-11-16T13:18:29.000Z | දේශීය ණයත් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සැලසුමක් - ජාතික සභා අනුකාරක සභාවේ පළමු වාර්තාවෙන් අනාවරණයක් | ජාතික සභා අනුකාරක සභාවේ පළමු වාර්තාව | COLOMBO ( News 1 st ) - දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවන බව, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සදහා වූ ජාතික සභා අනුකාරක සභාවේ පළමු වාර්තාව අනාවරණය කර ඇත. එම කමිටුව සඳහන් කරන්නේ, විධිමත් සාකච්ඡාවකින් පසුව සාමූහික එකඟතාවකින් එය කළ යුතු බවය. පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවට අනුව පිහිටුවනු ලැබූ ජාතික සභාවට ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගෙන යෝජනා කිරීම සඳහා ජාතික අනුකාරක සභාවක් පත් කළේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙනි. ටිරාන් අලස් හා වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මේ කමිටුවට ඇතුළත්. එහි පළමු වාර්තාව අද ප්‍රකාශයට පත්කළ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව වාර්තාවේ සඳහන් කරුණු අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානම පිළිබඳව කරුණු සඳහන් කර තිබේ. කමිටුව පෙන්වා දෙන්නේ, ණය තිරසරභාවය තහවුරු කිරීම සදහා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව බොහෝ ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන බවයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකිරීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන වඩාත් දුෂ්කර ඉලක්කයක් බවට පත්කර ඇතැයි ද එම වාර්තාවේ සදහන් වේ. මේ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවන බව සඳහන් කරන ජාතික කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ, දැනටමත් දේශීය ණය මිලදී ගැනීමේ හැකියාව 60% කට වඩා සංකෝචනය වී ඇති බැවින් සාමූහික එකඟතාවකින් එය සිදුකළ යුතුව ඇති බවයි. එහිදී දේශීය බැංකුවල තැන්පත්කරුවන්, සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පත්කරුවන් හා දේශීය ආයෝජකයන් සදහා විධිමත් සාකච්ඡාවකින් පසුව සාමූහික එකඟතාවක් ඇති කරගත යුතු යැයි කමිටුව යෝජනා කරන අතර මෙවැනි ක්‍රියාමාර්ගයක් තුළින් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව විශ්වසනීයත්වයක් ඇතිකරනු ඇතැයි කමිටුවේ විශ්වාසයයි. ආර්ථික ස්ථායීකරණයට අදාළ වැඩසටහන් හඳුනා ගැනීමේ ජාතික සභා අනු කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වමින් කියා සිටියේ ලෝක බැංකුවෙන් ලද විශේෂඥ තොරතුරුවලට අනුව මූල්‍ය අරමුදල කරා යාමට ලංකාව ප්‍රමාද වී තිබේ.ලෝක ඉතිහාසයේ IMF දත්ත අනුව සිය සංචිත වූ පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය මූල්‍ය අරමුදලේ උපකාර අපේක්ෂා කළ එකම රට ශ්‍රී ලංකාව බවත් ඒ නිසා ඇතිව ඇති අයහපත් තත්ත්වය හේතුවෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටළුවක් මතුව ඇතැයි ඔහු සඳහන් කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකාව ද්වීපාර්ශ්වික හා විවෘත වෙළෙඳපොළෙන් ලබාගත් විදේශීය ණය ගෙවීම් අත්හිටුවා තිබේ. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන අමෙරිකානු ඩොලර් බිලියන 2.9 විස්තීරණ ණය පහසුකම කෙරෙහි අවධානය යොමු කර තිබේ. කාර්ය මණ්ඩල එකඟතාවට අනුව සමාන වාරික 4 කින් ලබාදෙන ඩොලර් බිලියන 2.9 ලබා ගැනීම සඳහා අයි.එම්.එෆ්. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නොගෙවා ඇති ණය සම්බන්ධයෙන් නිසි වැඩ පිළිවෙළක් සකස් කළ යුතු වේ. අයි.එම්.එෆ්. අපේක්ෂාව වන්නේ මේ ණය ප්‍රමාණයෙන් යම් කොටසක් කපා දැමීමයි. නමුත් මෙරටට ණය ලබාදුන් විශාලතම ද්වීපාර්ශ්වික ණය හිමියා වන චීනය ණය කපා හැරීම පිළිබඳව තවමත් එකඟතාවය ප්‍රකාශ කර නොමැති අතර ඉන්දියාව හා ජපානය සමග සාකච්ඡා සිදුවෙමින් ඇතත් චීනය සමග කෙරෙන සාකච්ඡා පිළිබඳව නිශ්චිත තීරණයක් තවමත් පළ නොවීම ද විශේෂත්වයකි. මේ අතරවාරයේ ඉන්දුනීසියාවේ, බාලි නගරයට රැස්වී සිටින ලොව බලවත්ම ආර්ථිකයන් හිමි රටවල එකතුව වන ජී - 20 සංවිධානය අවධාරණය කළේ ,සියලුම රාජ්‍ය හා පෞද්ගලික ණය හිමියන් මධ්‍ය ආදායම් ලබන රටවලට ණය සහන ලබාදීම සඳහා මැදිහත් වී සාධාරණ දායකත්වයක් ලබා දිය යුතු බවයි. සමුළුව අවසානයේ නිකුත් කිරීමට සූදානම්වන ඒකාබද්ධ ප්‍රකාශය උපුටා දක්වමින්, රොයිටර් පුවත් සේවය වාර්තා කළේ දුප්පත්ම රටවල තත්ත්වය ඉක්මවා මධ්‍ය ආදායම් ලබන රටවල අර්බුදය උග්‍ර තත්ත්වයට පත්ව ඇති බවයි. ණය ප්‍රතිකාර සදහා පුරෝකථනය කළ හැකි, කාලෝචිත හා සම්බන්ධීකරණයක් සහිත පොදු රාමුවක් අවශ්‍ය බව ජී-20 නායකයින් අවධාරණය කර තිබේ. මෙම පොදු රාමුව අඩු ආදායම් ලබන රටවලට COVID-19 අර්බුදයට මුහුණ දීම සඳහා 2020 අගභාගයේදී ජී- 20 සහ නිල ණය හිමියන්ගේ පැරිස් සමාජය විසින් නිර්මාණය කර ඇතැයි රොයිටර් වාර්තාවේ සදහන්. එහි අපේක්ෂිත ප්‍රතිඵල නොපෙනෙන බව පෙන්වා දෙන රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ මෙම රාමුව යටතේ ණය ප්‍රතිකාර සඳහා විධිමත් ලෙස අයදුම් කර ඇත්තේ චැඩ්, සැම්බියා සහ ඉතියෝපියාව පමණක් බවයි. අයි.එම්.එෆ්., ලෝක බැංකුව, අමෙරිකා එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර බලවතුන් අවධානමට ලක්විය හැකි මධ්‍යම ආදායම් ලබන රටවලට ඔවුන් සකස්කළ රාමුව ඇතුළත් කිරීමට උත්සාහ කළත් ලෝකයේ විශාලතම ස්වෛරී ණය හිමියා වන චීනය එය අවහිර කරන බව ද රොයිටර් වාර්තාවේ සඳහන්ව තිබේ. සැප්තැම්බර් මුල ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. කාර්යය මණ්ඩල එකඟතාවක් ඇතිකරගත්ත ද ණය පහසුකම මුදා හැරීම සදහා චීනය සහ ජපානය ඇතුළු බහුවිධ ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීම අවශ්‍යවී ඇතැයිද එම වාර්තාවේ පෙන්වා දී තිබේ. |
2022-11-16T11:39:14.000Z | රත්ගම මුහුදේ ගිලී 27 හැවිරිදි එක්දරු පියෙක් මරුට.. | මුහුදේ ගිලී එක්දරු පියෙක් මරුට.. | COLOMBO ( News 1 st ) - රත්ගම මුහුදේ ගිලීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, 27 හැවිරිදි රත්ගම ප්‍රදේශයේම පදිංචි එක් දරු පියෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය. ඔහු සිය බිරිඳ සහ දරුවා සමග රත්ගම මුහුදේ දියනෑමට ගොස් ඇති අතර, එහිදී ඔවුන් තිදෙනාම රළ පහරට හසුව තිබේ. අනතුරට පත් පිරිස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී අදාළ පුද්ගලයා මියගොස් තිබේ. |
2022-11-16T10:44:17.000Z | සතොසේ බඩු මිල අඩු වෙයි | සතොසේ බඩු මිල අඩු වෙයි | COLOMBO (News 1st) – ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබේ. ලංකා සතොස නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රතු පරිප්පු ක්‍රිලෝගෑම් 1 ක් රුපියල් 9 කින්,දේශිය ටින් මාළු ගෑම් 425 ටින් එකක් රුපියල් 45 කින් ද ,රතු කැකුළු ක්‍රිලෝගෑම් 1 ක් රුපියල් 5 කින්ද අද සිට පහත දමා ඇති බවයි. මීට පෙර රතු පරිප්පු ක්‍රිලෝගෑම් 1 ක් රුපියල් 389 ක්ද ,ටින් මාළු දේශීය ග්‍රෑම් 425 ක ටින් එකක් රුපියල් 540 කට ද,රුතු කැකැළු ක්‍රිලෝගෑම් 1 ක් රුපියල් 205 ක මිලකට ද මීට පෙර අළෙවි කෙරිණ. |
2022-11-16T10:25:36.000Z | සම්මානිත මහාචාර්ය මර්ලින් පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි | මහාචාර්ය මර්ලින් පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි | COLOMBO (News 1st) – සුවහසක් දරුවන්ගේ නැණස පාදමින් මෙරට උසස් අධ්‍යාපන ක්‌ෂේත්‍රයට මෙන්ම සාහිත්‍යට මහඟු මෙහෙයක් ඉටු කළ සම්මානිත මහාචාර්ය මර්ලින් පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1930 ජූලි 9 වැනිදා කොළඹදී උපත ලද ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලවලින් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති අතර ද්විතියික අධ්‍යාපනය හදාරා ඇත්තේ, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙනි. උපාධිය හැදෑරීමෙන් පසු රාජ්‍ය ආයතන රැසක විවිධ වෘත්තින්හි නියැලුණු පීරිස් මහතා 1961 වසරේ විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා පිළිබඳ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලැබී ය. පසුව මර්ලින් පීරිස් මහතා 1963 වසරේදී කථිකාචාර්යවරයකු ලෙසත්, 1972 දී සම්භාව්‍ය භාෂා පිළිබඳ අධ්‍යන අංශයේ අංශාධිපති ලෙසත්, 1980 වසරේ සිට එම අංශයේ මහාචාර්යවරයකු ලෙසත් සේවය කර ඇත. මහාචාර්ය මර්ලින් පීරිස් මහතා පරිවර්තන ද ඇතුළුව ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 50ට අධික ය. ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍ය සිංහල බසට පරිවර්තනය කරමින් පීරිස් මහතා සිංහල සාහිත්‍ය සුපෝෂණය සඳහා ඉටු කළ මෙහෙය අනභිබවනීයයි. ශ්‍රී ලාංකීය සාහිත්‍යයට ඉටු කළ මහඟු දායකත්වය වෙනුවෙන් 2016 වසරේ පැවති 59 වැනි සාහිත්‍ය සම්මාන උළෙලේදී මර්ලින් පීරිස් මහතා 'සාහිත්‍යරත්න' සම්මානයෙන් ද පිදුම් ලැබීය. |
2022-11-16T08:02:28.000Z | මිල්ලනිය සිසුන්ට පහරදීමේ සිද්ධිය: විදුහල්පතිනියට හා පොලිස් නිලධාරීන්ට ඇප | මිල්ලනිය විදුහල්පතිනියට හා පොලිස් නිලධාරීන්ට ඇප | COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මිල්ලනිය කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිනිය මෙන්ම මිල්ලනිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (16) නියෝග කර තිබේ. ඒ, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 බැගින් නියම කරමිනි. ළමාරක්ෂක අධිකාරිය මගින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, ගුරුවරියකගේ මුදල් පසුම්බියක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහරදීම ඇතුළු චෝදනා යටතේයි. එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාවින්ද ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥයන් කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කරනු ලැබීය. එහිදී ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල මුලික කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් වී ඇති බවයි. විදුහල්පතිනියගේ හිංසනයට ලක් වූ එම පාසලේ 5 ශේණියේ ඉගෙනුම ලබන සමහර සිසු දරුවන්ගේ මව්පියන් සහ භාරකරුවන් ඔවුන් අධිකරණය වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට අකමැත්තක් දක්වන බව ද ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. නඩුව යළිත් ජනවාරි 18 වැනි දා කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. |
2022-11-16T06:46:06.000Z | නාසා අධිබල රොකොට්ටුවක් අභ්‍යාවකාශගත කරයි | නාසා අධිබල රොකොට්ටුවක් අභ්‍යාවකාශගත කරයි | COLOMBO (News 1st) – සඳ මතට මිනිසුන් රැගෙන යන රොකට්ටුවේ සහ අභ්‍යවකාශ යානයේ පළමු ඒකාබද්ධ පරීක්ෂණ ගමන මීට ටික වේලාවකට පෙර ආරම්භ කළේ ය. ඇමරිකානු අභ්‍යවකාශ වැඩසටහන යටතේ මේ පරීක්ෂණ ගමන සිදුකරන්නේ නාසා ආයතනයයි. |
2020-10-27T03:50:06.000Z | මෙරට සිටින විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ | මෙරට සිටින විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව තුළ සිටින සියලුම විදේශිකයින්ගේ වීසා කාලය දින 60 කින් දීර්ඝ කර තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව සියලු වීසා බලපත්‍රවල වලංගු කාලය ඔක්තෝබර් 7 වැනි දා සිට දෙසැම්බර් 5 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බවය. අදාළ දීර්ඝ කිරීමට අදාළව වීසා ගාස්තු ගෙවීම හා පිටසන් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව එම දෙපාර්තමේන්තුව පැවසීය. තව ද එම කාලය තුළ විදේශ ගතවීමට අපේක්ෂා කරන්නේ නම් දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු පමණක් ගුවන්තොටුපොළ වෙත ගෙවා කිසිදු දඩයකින් තොරව විදේශගත විය හැකිය. |
2020-10-27T02:36:15.000Z | මෙරට 17 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි | මෙරට 17 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි | COLOMBO (News 1st) - මෙරට 17 වැනි කොරෝනා මරණය අද (27) දහවල් වාර්තා විය. මෙලෙස මිය ලොස් ත්තේ, කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයස අවුරුදු 41 ක් වන අදාළ ආසාදිතයා ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. මේ අතර මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 8413 දෙනෙකු වාර්තා වී ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 4354කි. අද වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 4043 කි. |
2020-10-27T02:05:29.000Z | STF ඇතුළු පොලීසියේ 17 කට කොරෝනා | STF ඇතුළු පොලීසියේ 17 කට කොරෝනා | COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ද ඒ අතර වන බවයි. මේ වන විට පොලිස් නිලධාරීහු 180ක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටිති. |
2020-10-27T01:45:49.000Z | රිෂාඩ් බදියුදීන් යළි රක්ෂිත බන්ධනාගාරයට | රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 10 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 19 වනදා දෙහිවල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබිණ. පසුගිය මහ මැතිවරණ සමයේ අවතැන්වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට වූ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබිිිණ. හිටපු ඇමති අත්අඩංගුවට ගන්නැයි, නීතිපති උපදෙස් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවට අධිකරණය නියෝග කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 13 වන දා නීතිපතිවරයා පොලීසියට උපදෙස් දුන්නේ ය. ඔහු ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි. රිෂාඩ් බදියුදීන් අධිකරණ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාළ වරෙන්තු නියෝගය ඉල්ලා සිටියේ ය. හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් යෙදවූව ද දින කිහිපයක් යන තුරුම ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ඔහු සොයා විමර්ශන සිදු කළ අතරතුර බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගත්තේ ය. රිමාන්ඩ් භාරයේ සිටින රිෂාඩ් පාර්ලිමේන්තුවට මේ අතර පසුගි 22 වන දා පැවති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීමට සහභාගී වීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවට රැගෙන ආවේ ය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ආවේ නිරෝධායන ක්‍රියාවලියට අනුකූලවයි. |
2020-10-27T01:43:39.000Z | මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කෞතුකාගාර නැවත දැනුම් දෙන තුරු වසා දැමේ | සංස්කෘතික අරමුදලට අයත් කෞතුකාගාර තාවකාලිකව වැසෙයි | COLOMBO (News 1st) : මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලු කෞතුකාගාර නැවත දැනුම් දෙන තුරු වසා දමන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණි අධිකාරි මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට අනුගතව කෞතුකාගාර එලෙස වසා තබන බවයි. ඒ අනුව පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල මහනුවර ප්‍රධාන මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාරගාර නැවත දැනුම්දෙන තුරු වසා දැමෙනු ඇති. |
2020-10-26T23:55:45.000Z | අමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට පැමිණීමට එරෙහිව විරෝධතාවක් | අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් | COLOMBO (News 1st) - අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා දිවයිනට පැමිණීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වේ. 'ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අත නොතබනු - ශ්‍රී ලංකාවට විදේශ බලපෑම් එපා' යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද රාත්‍රීයේ දිවයිනට පැමිණිමට නියමිතය. |
2020-10-26T22:45:07.000Z | හැටන් නගරය හුදෙකලා කෙරේ | හැටන් නගරය හුදෙකලා කෙරේ | COLOMBO (News 1st) - හැටන් නගරය හුදෙකලා නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි එම පියවර ගත් බවය. |
2020-10-26T21:55:54.000Z | ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි | ජනාධිපති කාර්යාලය:මහජන සේවාවලට අංක කිහිපයක් | COLOMBO (News 1st) - කොරෝනා හමුවේ සෞඛ්‍ය උපදෙස් මත සේවක සංඛ්‍යාව සීමා කර තිබුණ ද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, රෝගය පැතිරයාම පාලනය පිණිස පනවා තිබෙන සීමාවන් මත මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන දුරකතන, තැපෑල සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමටත්, ඉටු කිරීමටත් අවස්ථාව සලසා ඇති බවයි. ඒ අනුව පහත සඳහන් දුරකතන හා ෆැක්ස් අංක මෙන්ම ඊමේල් ඔස්සේ ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සම්බන්ධ වීමට හැකියාව පවති. ජනාධිපති මහජන සම්බන්ධතා අංශය දුරකතන අංක 0114354550/ 0112354550 ෆැක්ස් 011 2348855 ඊමේල් ලිපිනය [email protected] ඔම්බුඩ්ස්මන් කාර්යාලය දුරකතන අංකය 0112338073 ඊමේල් ලිපිනය [email protected] ජනාධිපති අරමුදල දුරකතන අංකය 0112354354 ෆැක්ස් 011 2331243 ඊමේල් ලිපිනය [email protected] |
2020-10-26T21:12:06.000Z | නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කෙරේ | නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ | COLOMBO (News 1st) - නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත් කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බව තහවුරු කළේ ය. වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ය. වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය හා බෞද්ධ අධ්‍යානය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධියක් ද ලබා තිබේ. 1994 වර්ෂයේ දී මොණරාගල, බඩල්කුඹුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ලෙසත්, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මාතෘ හා ළමා සෞඛ්‍ය නිලධාරි ලෙසත් සේවය කර තිබුණි. 2001 වසරේ සිට 2003 දක්වා කාලය තුළ මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කර ඇත. මේ අතර හොරණ මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙසත් මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙසත්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කටයුතු කළේ ය. |
2020-10-26T20:44:10.000Z | ජයිකා ආයතනයේ සභාපති සම්මානයෙන් පිදුම් ලැබු පළමු විදේශිකයා බවට මහාචාර්ය ආනන්ද කුමාර පත්වෙයි.. | මහාචාර්ය ආනන්ද කුමාර සම්මානයට පාත්‍රවෙයි.. | COLOMBO (News 1st) - මේ වසරේ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් 'ජයිකා' ආයතනයේ සභාපතිගේ සම්මානයෙන් පුද ලැබීමට ශ්‍රී ලාංකිකයෙකු සමත් විය. මෙම සම්මානය හිමිකර ගත්තේ, මහාචාර්ය ආනන්ද කුමාර මහතායි. මෙම සම්මානය පුදකරන්නේ ජපානයේ ජයිකා ආයතනය සමග අත්වැල් බැඳගනිමින් සිදු කරන සේවාවන් ඇගයීම සඳහාය. මෙම සම්මානය විදේශිකයෙකු දිනාගත් පළමු අවස්ථාව මෙයයි. මහාචාර්ය ආනන්ද කුමාර මහතා මේ වනවිට සේවය කරන්නේ, ජපානයේ මෙයිජෝ විශ්වවිද්‍යාලයේ විදේශ කටයුතු පිළිබඳ පීඨයේය. එහි සමාරම්භක පීඨාධිපතිවරයා වන්නේ ද මහාචාර්ය ආනන්ද කුමාර මහතායි. මීට අමතරව ජයිකා ආයතනය සමග අත්වැල් බැඳගනිමින් මහාචාර්ය ආනන්ද කුමාර මහතා සිය මව්රටට ද ඉමහත් සේවයක් සිදුකර තිබේ. 1993 සිට වයඹ පළාතේ දුෂ්කර ගම්මාන 175ක් ඉලක්ක කරගෙන වෘත්තීය පාඨමාලා හඳුන්වාදීම ද ඔහු සිදු කළේ වයඹ පළාත් සභාව ද දායක කර ගනිමිනි. ජයිකා ආයතනය සමග අත්වැල් බැඳගත් මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහනේ ජපානයේ මියේ ප්‍රාන්තයේ සමාරම්භක සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ඔහුයි. එය විදේශිකයෙකු පළමුවරට එම තනතුර දැරූ පළමු අවස්ථාවයි. මීට අමතර සුසුකා අන්තර් ජාතික විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ධුරය ද ඔහු විසින් හොබවා තිබේ. ඔහු වසර කිහිපයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සේවය කර ඇත. ගම්පහ, වෑබඩ ප්‍රදේශයේ උපන් මහාචාර්ය ආනන්ද කුමාර මහතා හේනේගම මධ්‍යමහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් පළමුපෙළ පන්ති සාමාර්ථ්‍යයක් දිනා ගත්තේ ය. |
2020-10-26T20:56:38.000Z | අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අද දිවයිනට | අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අද දිවයිනට | COLOMBO (News 1st) - ආසියානු කලාපයේ රටවල් 4 ක සංචාරයක නිරත වන අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙම සංචාරය අතරතුරදී පොම්පේයෝ මහතා මෙරට නායකයින් හා විදේශ අමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා පවත්වනු ඇති බවය. දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් මෙරටට පැමිණෙන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට දිනය දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධුර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පේයෝ මහතා වන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ ය. මේ අතර පසුගිය සතියේ වොෂින්ටන් නුවරදී මාධ්‍ය ඇමතූ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්සන් මහතා පැවසුවේ, රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවන බවයි. මේ අතර ආසියානු කලාපයේ රටවල් 4 ක සංචාරයක් ආරම්භ කරමින් ආමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ඊයේ පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවිය. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සමග ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා ද ඉන්දීය සංචාරයට සහභාගි විය. මෙරට සංචාරයෙන් අනතුරුව මාලදිවයින බලා පිටත්ව යන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරාය සිය සංචාරයේ අවසන් පියවර ලෙස ඉන්දුනීසියාවේ සංචාරය කරනු ඇති. |
2020-10-26T21:00:45.000Z | කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිවස තුළ නිරෝධායනය කිරීම ගැන අසල්වැසියන් බිය විය යුතු නැහැ.. - සෞඛ්‍ය අංශ කියයි | නිරෝධායන ගෙවල් අවට වැසියන් බයවෙන්න එපා | COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 541 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගෙන තිබේ. මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොරෝනා පොකුරුවලන් මේ දක්වා වාර්තාවන ආසාදිතයින් ගණන 4941 කි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8413 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය. මේ අතර ආසාදිතයින් 130 දෙනෙකු ඊයේ සුවය ලබූහ. ඒ අනුව මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3933 කි. වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 4464 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 16 කි. වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, අසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට ලක්කිරීම සම්බන්ධයෙන් අසල්වැසියන් අනිසි බියක් ඇති නොකරගත යුතු බවයි. |
2020-10-26T11:55:27.000Z | යෝෂිත රාජපක්ෂ දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනපති කොමිසමට.. | යෝෂිත රාජපක්ෂ ජනපති කොමිසමට | COLOMBO (News 1st ) - හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පෙනී සිටීම පැහැර හැරී පුද්ගලයින් බවට වාර්තා කරන බව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද ප්‍රකාශ කළේය. ඒ, ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස පිලපිටිය සහ යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් කොමිසමට කළ පැමිණිලි විභාගයට ගත් අවස්ථාවේදීය. පැමිණිලිකරුවන් කොමිසමට කළ, කරුණු දැක්වීමට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රවුෆ් හකීම්, එම්.ඒ .සුමන්තිරන් සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවේය. මීට අමතරව අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ , ජනාධිපති නීතීඥ ජේ.සී.වැලිඅමුණ , ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙන්ම දූෂණ විරෝධී කමිටුවේ හිටපු අධ්‍යක්ෂ ආනන්ද විජේපාල යන මහත්ම මහත්මීන් ද මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ. ඔවුන්ට අද කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතිසී නිකුත් කළ ද ඔවුන් පෙනී සිටියේ නොසිටියේය. සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, අදාළ පුද්ගලයින් කොමිසම විසින් නිකුත් කළ නොතීසි නොසලකා හරින බවට නිරීක්ෂණය වී ඇති බවයි . එබැවින් ඔවුන් සියලු දෙනා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම මගහැරී පුද්ගලයින් බවට වාර්තා කරන බව සභාපති විනිසුරුවරයා සදහන් කළේය . කෙසේ වෙතත් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අදාළ පැමිණිලි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දින හතක කාලයක් ඉල්ලා කොමිෂන් සභාවට මෝසමක් ඉදිරිපත් කර තිබුණ ද එම ඉල්ලීම ද කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කළේය. මේ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන්ට හෙට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද නොතිසි නිකුත් කෙරුණි. ඒ අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කොමිසමට කළ කරුණු දැක්වීමකට අදාලවයි. කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපොළ භාවිත කර ඇති බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේ දී තමාව අත්අඩංගුවට ගෙන දින 45 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබේ. ඔහු සඳහන් කළේ 2016 ජනවාරි මාසයේදී තමාව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේදී දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි. එය හුදෙක් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ මාධ්‍ය සංදර්ශනයක් බව යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කළේය. "ජනාධිපති , අගමැතිටවත් නැති ආරක්ෂාවක් මට ලබා දී තිබුණා" යෝෂිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය . සී.එස්.එන් නාලිකාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා යෝෂිත රාජපක්ෂ මහතාගෙන් කරුණු විමසුවා. "මා ඊට කිසිදු සම්බන්ධයක් නැහැ. අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ කටයුතු කර නැහැ" රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නේය. රොහාන්ත අබේසූරිය මහතා යළි විමසුවේ "ඔබ බී වාර්තාවේ ඇතුළත් කරුණු ප්‍රතික්ෂේප කරනවාද?" යන්නයි. "ස්වාමීනි මගේ මුල්ම ප්‍රශ්න කිරීමේදී මම දැනගත්තා මගේ පියාගෙන් පළිගන්න හෝ මඩ ගහන්න හෝ තමයි මෙහෙම කරන්නේ කියලා. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමක්" යෝෂිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේය. |
2020-10-26T11:52:09.000Z | දුමින්ද සිල්වා හා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි.. - මනෝ ගනේෂන් | දුමින්ද සිල්වා නිදහස් කළ යුතුයි.. - මනෝ ගනේෂන් | COLOMBO (News 1st) - මරණීය දණ්ඩනය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කොට සමාජ ගතකළ යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායන මනෝ ගනේෂන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඝාතන චෝදනායවක් මත මරණ දඬුවම නියම වී සිරගත වී සිටින හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අදාල සිද්ධිය සිදුවන අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බව මනෝ ගනේෂන් මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේය. අදාල වරදට ඔහු මේ වනවිට අවුරුදු 05කට ආසන්න කාලයක් සිර දඬුවම් විද ඇති බව ගනේෂන් මහතාගේ ලිපියේ සඳහන් වේ. මානව හිමිකම් පිළිබඳව නිරත්තරයෙන් පෙනි සිටින දේශපාලනඥයකු වන තමන් ඉල්ලා සිටින්නේ තරුණයින් දීර්ඝ කාලයක් සිරගත නොකළ යුතුය යන්න බව මනෝ ගනේෂන් මහතා සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ. එබැවින් ඔවුන් කළ වැරදි නිවැරදි කරගෙන නිවැරදි මාර්ගයට යාමට අවස්තාව ලබාදිය යුතු බව මනෝ ගනේෂන් මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේය. දුමින්ද සිල්වා මහතා වසර 5 ක් දඬුවම් විද ඇති බැවින් ඔහු පුනුරුත්ථාපනය වී ඇති බව තමන් විස්වාස කරන බව ද අදාල නිවේදනයේ සඳහන් වේ. එබැවින් ඔහුට යළි සමාජගතවීමට අවස්ථාවක් දියයුතු බව මනෝ ගනේෂන් මහතා පවසයි. දේශපාලන හේතු මත වූ චෝදනා නිසා දෙමළ දේශපාලන සිරකරුවනුත් දිර්ඝ කාලයක් සිරගත වී සිටින බව සඳහන් කරන මනෝ ගනේෂන් මහතා ඔවුන්වත් පුනරුත්ථාපනය කර ඔවුන්ගේ පවුල් සමග සාමාන්‍ය පරිදි ජීවත් විමේ අවස්ථාව ලබා දිය යුතු බව පවසයි. |
2020-10-26T08:36:49.000Z | මයික් පොම්පේයෝ ඉන්දියාවට: හෙට රාත්‍රියේ දී ශ්‍රී ලංකාවට... | මයික් පොම්පේයෝ ඉන්දියාවට: හෙට ශ්‍රී ලංකාවට | COLOMBO (News 1st) - ආසියානු කලාපයේ රටවල් 4 ක සංචාරයක් ආරම්භ කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවිය. ඔහු හෙට රාත්‍රියේ කොළඹට පැමිණීමට නියමිතය. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සමග ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා ද ඉන්දීය සංචාරයට සහභාගි වේ. නවදිල්ලි ගුවන් තොටුපොළේදී ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයා පිරිස පිළිගත් අතර නිල සංචාරය අද රාත්‍රියේ ආරම්භ වේ. ටූ ප්ලස් ටූ (2+2) ලෙස හඳුන්වන දෙරට ආරක්ෂක සහ විදේශ ආමත්‍යවරුන්ගේ නිල සාකච්ඡාවටය පැවැත්වෙන්නේ හෙට උදෑසන 10.00 ටයි. අනතුරුව පිරිස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවනු ඇති. දෙරට අතර ද්වීපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතාව පුළුල් කරන මූලික හුවමාරු හා සහයෝගිතා ගිවිසුම හෙවත් බෙකා ගිවිසුම පිළිබඳව අවසන් අදියරේ සාකච්ඡා මෙහිදී සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා ට්විටර් පණිවිඩයකින් පවසා තිබුණේ, ඉන්දු , පැසිෆීක් කලාපයේ එක්සත් ජනපද සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් දත්ත හුවමාරු කරගැනීමේ පද්ධති ශක්තිමත් කරන බවයි. සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කර ගනිමින් ජාත්‍යන්තර නීති තහවුරු කරමින් මෙය ක්‍රියාත්මක කිරීම සිය අපේක්ෂාව බව ද ඔහු කියා සිටියේය. පසුගිය සතියේ වොෂින්ටන් නුවරදී මාධ්‍ය ඇමතූ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්සන් මහතා පැවසුවේ, රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවන බවයි. ඔවුන් හමුවී ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් සහ ස්වාධීන ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා අමෙරිකාවේ ඇති කැපවීම තහවුරු කරන බවයි. රාජ්‍ය ලේකම්වරයා හෙට රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන අතර අනිද්දා උදෑසන ද්වීපාර්ශ්වික සාකච්ඡාවටය සූදානම් කර තිබේ. අනතුරු මාලදිවයින බලා පිටත්ව යන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරාය සිය සංචාරයේ අවසන් පියවර ලෙස ඉන්දුනීසියාවේ සංචාරය කරනු ඇති. ඔහු ඉන්දීය සංචාරයේදී සාකච්ඡාකරන ප්‍රධාන ද්වීපාර්ශ්වික කරුණ වන්නේ මූලික හුවමාරු හා සහයෝගිතා ගිවිසුමයි. මාලදිවයිනේදී ද්වීපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා ගිවිසුම පිළිබඳව අවසන් අදියරේ සාකච්ඡා පැවැත්වෙන බව දැනටමත් ප්‍රකාශවී තිබේ. ඉන්දුනීසියාවේදී ද ආරක්ෂක සහයෝගිතාව පිළිබඳව තීරණාත්මක සාකච්ඡා වටයක් පැවැත්වෙනු ඇති. නමුත් ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡාවන කරුණු පිළිබඳව තවමත් නිශ්චිත අදහසක් ප්‍රසිද්ධ වී නැත. |
2020-10-26T08:15:31.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 280ක් | තවත් කොරෝනා ආසාදිතයින් 280ක් | COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 280 දෙනෙකු හදුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙ පාර්තුමේන්තුව සඳහන් කරයි. |
2020-10-26T07:07:33.000Z | ආසාදිතයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිවසේම නිරෝධානයට පියවර | නිරෝධානය පිළිබඳ විශේෂ දැනුම් දීමක්.. | COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් ඔවුන්ගේ නිවසේම නිරෝධානයට ලක් කිරීමට අද(26) සිට පියවර ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. |
2020-10-26T05:32:51.000Z | කොළඹ ජනතාව බහුලව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කෙරේ | කොළඹ විෂබීජහරණය පිටකොටුවෙන් ඇරඹේ | COLOMBO (News 1st) - කොළඹ මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කිරීම අද පිටකොටුවෙන් ආරම්භ විය. ඒ අනුව මැනිං වෙළඳපොළ , මධ්‍යම බස් නැවතුම්පොළ , ගුණසිංහපුර බස් නැවතුම්පොළ , බැස්ටියන්පුර බස් නැවතුම්පොළ විෂබීජහරණය කරන බව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ නොවැම්බර් මස 02 වැනිදා දක්වා මෙම කටයුතු සිදු කරන බවයි. ඒ අනුව කොටුව, පිටකොටුව, මරදාන, බොරැල්ල හා කොළඹ ආශ්‍රිත සෑම ප්‍රදේශයකම ජනතාව බහුලව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කිරීමට නියමිතය. |
2020-10-26T04:57:18.000Z | 2019 A/L විභාගයේ සරසවි කඩඉම් ලකුණු අන්තර්ජාලයට | A/L කඩඉම් ලකුණු අන්තර්ජාලයට | COLOMBO (News 1st) - 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අන්තර්ජාලයට මුදාහැර තිබේ. කඩඉම් ලකුණු ugc.ac.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යන පාඨමාලාවට ඇතුලත් වීමට අවශ්‍ය අවම "Z" ලකුණු පහත පරිදි වේ. |
2020-10-26T03:47:16.000Z | තවත් කොරෝනා රෝගීන් 130ක් සුවය ලබයි | තවත් කොරෝනා රෝගීන් 130ක් සුවය ලබයි | COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 130 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3933ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. |
2020-10-26T03:24:52.000Z | රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා | රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ආසාදිතයින් 10ක්.. | COLOMBO (News 1st) - රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්වන ලෙසය. |
2020-10-26T02:27:54.000Z | කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම ඇරඹේ | ඇඳිරි නීතිය: කොළඹ ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය | COLOMBO (News 1st) – කොළඹ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම අද(25) ආරම්භ වෙයි. දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසුවේ පොලීසිය, ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් එම කටයුතු ආරම්භ කරන බවයි. |
2020-10-25T21:34:05.000Z | පාර්ලිමේන්තුව අද සහ හෙට වැසේ.. | පාර්ලිමේන්තුව අද සහ හෙට වැසේ.. | COLOMBO (News 1st) – අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරයි. ඒ , විෂබීජහරණ කටයුතු වෙනුවෙන් ය. |
2020-10-25T22:34:55.000Z | ගොඩ ගැසුණු මත්ස්‍ය අස්වැන්න වෙළෙඳපොළට ගෙන යාමට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් | මාළු වෙළෙඳපොළට ගෙනි යන්න මාර්ගෝපදේශ මාලාවක් | COLOMBO (News 1st) – ධීවර වරායන්වල ගොඩගැසී ඇති මත්ස්‍ය අස්වැන්න වෙළෙඳපොළට ගෙන යාම සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ, වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් ය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/cut-online-audio-converter.com_.mp3"][/audio] |
2020-10-25T20:54:07.000Z | පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 152ක් දැලේ.. | පැය 24ක් තුළ ඇඳිරි නීතිය කැඩූ 152ක් කොටු.. | COLOMBO (News 1st) – ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. |
2020-10-25T20:47:21.000Z | ස්පාඤ්ඤයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි | ස්පාඤ්ඤයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි | COLOMBO (News 1st) – ස්පාඤ්ඤයට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස යළි ඉහළ යාමත් සමගයි. ස්පාඤ්ඤයට රාත්‍රීයේ ඇඳිරි නීතිය ද පනවා තිබේ. එරටින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 11 ලක්ෂ 10,372 කි. මරණ 34,752 ක්ද ස්පාඤ්ඤයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. ස්පාඤ්ඤයේ මෙන්ම සමස්ත යුරෝපයේම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. ඒ අනුව පැය 24 ක් තුළ ප්‍රංශයෙන් ආසාදිතයින් 52,010 ක් හඳුනා ගැනුණි. ඊට අමතරව ඉතාලිය, බ්‍රිතාන්‍ය සහ ජර්මනියේ ද ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් අදාළ රටවල රෝහල් කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ , ඇඳන් ආසාදිතයින්ගෙන් පිරී යාමත් සමග බරපතල අර්බුධයකට මුහුණ පා ඇති බවයි. |
2020-10-25T20:42:48.000Z | ගාලු වරායෙන් මුහුදු යාමට ධීවරයින්ට අවසර | ගාලු වරායෙන් මුහුදු යාමට ධීවරයින්ට අවසර | COLOMBO (News 1st) – ධීවරයින්ට අද සිට ගාල්ල වරායෙන් මුහුදු යාමට අවසර ලබා දී තිබේ. ගාල්ල ධීවර වරාය කළමනාකරු නිරංජන් දිසානායක මහතා පැවසුවේ , සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ධීවරයින්ට අද සිට මුහුදු යාමට අවසර ලබා දී ඇති බවයි. කොරෝනා හේතුවෙන් පසුගිය 21 වැනිදා සිට ගාල්ල වරාය තාවකාලිකව වසා දැමූ බව ඔහු සඳහන් කළේ ය. |
2020-10-25T20:04:38.000Z | සරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයට | සරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයට | COLOMBO (News 1st) – 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද නිකුත් කෙරේ. ඒ අනුව අද පස්වරුවේ 2019 උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අන්තර් ජාලයට එක් කෙරෙනු ඇති. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට සඳහා සිසුන් 41,500 ක් බඳවා ගන්නා බවයි. වෛද්‍ය, ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, නව සහ පැරණි විෂය නිර්දේශ දෙකම යටතේ පැවැත්විය. |
2020-10-25T20:25:36.000Z | කොස්ගොඩ පොලිස් නිලධාරීන් ස්වයං නිරෝධායනයට | කොස්ගොඩ පොලිස් නිලධාරීන් ස්වයං නිරෝධායනයට | COLOMBO (News 1st) – කොස්ගොඩ පොලීසියේ සියලු නිලධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. පොලීස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කොරෝනා වෛරසය ආසාදිත ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. පොලීසියේ රාජකාරි කටයුතු සඳහා වෙනත් නිලධාරීන් පිරිසක් අනියුක්ත කර තිබේ. |
2020-10-25T12:11:19.000Z | මෙරට 16 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි | මෙරට 16 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි | COLOMBO (News 1st) - අද (25) දින අලුයම් කාලයේදී කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇති රෝගියෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. මෙම මියගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පසුගිය 23 වැනිදා රුධිරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබේ. එම රෝගියා මියගොස් ඇත්තේ ද අදාළ සංකූලතා හේතුවෙනි. මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත 16 වැනි පුද්ගලයාගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. |
2020-10-25T11:44:07.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 85ක්.. | තවත් කොරෝනා ආසාදිතයින් 85ක්.. | COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 85 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔවුන් මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරුවල ආශ්‍රිතයින් වන අතර අද දින මේ දක්වා හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 348කි. |
2020-10-25T11:36:37.000Z | බස් රථ ධාවනයේ වෙනසක්.. | බස් රථ ධාවනයේ වෙනසක්.. | COLOMBO (News 1st) - අද(25) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනය නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති නගරවල ආසන්න සීමාව දක්වා පමණක් බව ලංගම සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. |
2020-10-25T11:02:46.000Z | මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වැසේ.. | නාරාහේන්පිට,වේරහැර කාර්යාල වැසේ | COLOMBO (News 1st) - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා දැමෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සඳහන් කළේය. |
2020-10-25T09:25:46.000Z | දුම්රිය ගමන් කිහිපයක් හෙට සිට අවලංගුයි: A/L සිසුන් වෙනුවෙන් සහනයක්.. | දුම්රිය ධාවනයේ වෙනසක්.. | COLOMBO (News 1st) -හෙට(26) සිට ප්‍රධාන මාර්ගයේ, කැලණිවැලි සහ පුත්තලම මාර්ගයේ කාර්යාල දුම්රිය සේවා, දුරගමන් දුම්රිය සේවා, සීඝ්‍රගාමී දුම්රිය සේවා හා තැපැල් දුම්රිය සේවා අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර හෙට(26) සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක් කොල්ලුපිටිය දක්වා ක්‍රියාත්මක කෙරේ. මේ අතර උසස් පෙළ සිසුන් වෙනුවෙන් ප්‍රධාන මාර්ගයේ හා හලාවත මාර්ගයේ දුම්රිය ගමන්වාර 12ක් ක්‍රියාත්මක බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. |
2020-10-25T08:49:20.000Z | දඹාන ආදිවාසී ගම්මානය නැරඹීම සීමා කෙරේ.. | දඹාන ආදිවාසී ගම්මානය නැරඹීම සීමා කෙරේ.. | COLOMBO (News 1st) - පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දඹාන ආදිවාසී ගම්මානය නැරඹීම සංචාරකයන්ට සීමා කර තිබේ. දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ නැවත රට යථා තත්ත්වයට පත් වනතුරු සම්බාහන කෞතුකාගාරය හා අවට ප්‍රදේශ වසා දමන බවයි. මෙය රජයේ තීරණයක් නොවන බවත් තමන්ගේ තීරණයක් බවත් ඉදිරියේදී තවත් මේ රෝගය දරුණු තත්ත්වයට පත්වුවහොත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දඹාන ආදිවාසී ගම්මානයට පිටස්තර කිසිම පුද්ගලයකුට ඇතුළුවීමට ඉඩ නොදෙන බවත් දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ සඳහන් කළේය. |
2020-10-25T08:41:48.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 263ක්: 227ක්ම මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරින්.. | තවත් කොරෝනා ආසාදිතයින් 263ක් | COLOMBO (News 1st) - අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 263 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. * නිරෝධායන මධ්‍යස්ථානවලින් 36 * මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරුවල ආශ්‍රිතයින් 227 මෙම පොකුරුවල මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4313ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. |
2020-10-25T08:36:57.000Z | කොරෝනා එන්නතක් ගැන සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් අනාවරණයක්.. | කොරෝනා එන්නතක්ගැන සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් අනාවරණයක් | COLOMBO (News 1st) - කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිෂ්පාදනය කෙරෙන එන්නත් තවමත් පවතින්නේ සායනික පරික්ෂණ මට්ටමේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහි ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය මේ බව අනාවරණය කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහි දී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය.. "දැනට ආරම්භ වී ඇති සායනික පරීක්ෂණවල ප්‍රගතිය අපි සමීපව නිරික්ෂණය කරමින් සිටිනවා. මේ වෙනකොට අපට අදියර තුනේ පවතින පරික්ෂණ 10 ක් පමණ තිබෙනවා. ඉදිරි මාසයක් දෙකක් ඇතුළත බොහෝ දුරට තරගකරුවන් දෙදෙනෙක් අදියර දෙකේ සිට තුන දක්වා පැමිණිමේ ප්‍රවණතාවයකුත් පවතිනවා. මේ අවුරුද්ද අග වෙද්දි අපට බොහෝ විට පරීක්ෂණ එකකින් හෝ දෙකකින් අවසන් ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙයි. බොහෝ දුරට නොවැම්බර් අග වෙද්දි. මේ පරීක්ෂණල ප්‍රතිඵල සාර්ථක වුණෙත් නියාමකයි එය සලකන්නේ හදිසි අවස්ථාවකදී හෝ එම ඖෂධ භාවිතා කල හැකිද යන්න පිළිබදවයි. අපි බලාපොරොත්තු වෙනවා 2021 වෙද්දි මේ පිළිබද යම් තීරණ ගන්න. නමුත් කිසි දෙයක් අපට වේලාසනින් කියන්න බැහැ. 2021 මුල් කාර්තුවේදී ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වුණාම මුළු ලෝකයෙන්ම සමහර එන්නත් බිහිවෙයි වඩාත් අවදානම් කලාපයේ සිටින රෝගීන් වෙනුවෙන්. අපි බොහෝ දුරට බලන්නේ ඉතාමත් සාධාරණ ලෙස මෙම එන්නත් මුළු ලෝකය අතරම බෙදා හරින්න. යථාර්ථය වන්නේ මුලදි ඉතාමත් සිමිත ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතිං අපි බලාපොරොත්තු වෙනවා එය සාර්ථකව බෙදාහරින්න අවදානම් කලාපයේ සිටින පුද්ගලයින්ට. විශේෂයෙන්ම ඕනෑම රටක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු ඉදිරි පෙළ නිලධාරීන් වෙනුවෙන්" කෙසේවෙතත් කොරෝනා වැළැක්වීමේ එන්නතක් පාවිච්චි කිරීමට සුදානමින් සිටින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ට දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ(24) රත්නපුරේදී සඳහන් කළාය. මේ අතර ඉදිරි මාස කිහිපයේදී අසීරු තත්ත්වයත් මතුවීමට යන බව මෙන්ම හා ඇතැම් රටවල් අනතුරුදායක මාර්ගයක ගමන් කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පේනවා දෙන්නේය. එම සංවිධානය පෙන්වා දෙන්නේ දැනටමත් බෝහෝ රටවල අසීමිත ලෙස රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් පවතින බවත් ප්‍රධාන රෝහල්වල සහ දැඩි සත්කාර එකකවල ධාරිතාව අවසන් වෙමින් පවතින බවටයි. එබැවින් එම රටවල නායකයින් විසින් අනවශ්‍ය මරණ වළක්වා ගැනීමට අවශ්‍ය ක්ෂණික ක්‍රියාමාර්ග ගනු ලැබිය යුතු බවත් එම සංවිධානය පෙන්වා දෙන්නේය. |
2020-10-25T08:06:58.000Z | බේරුවල, අලුත්ගම සහ පයාගලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් | බේරුවල,අලුත්ගම,පයාගල නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් | COLOMBO (News 1st) - බේරුවල, අලුත්ගම සහ පයාගල යන පොලිස් බල ප්‍රදේශයන්ට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට(26) උදෑසන 5.00ට ඉවත් කරන බව මින් පෙර දැනුම් දී තිබුණ ද, එම නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. |
2020-10-25T08:27:25.000Z | UPDATE: රට පුරා කොරෝනා තත්ත්වය? | UPDATE: රට පුරා කොරෝනා තත්ත්වය? | COLOMBO (News 1st ) - හලාවත, බණ්ඩාරවත්ත, මුන්නේෂ්වරම, අලුත්වැල්ල ඇතුළු ප්‍රදේශ රැසකින් ඊයේ(24) ආසාදිතයින් හමුව ඇති අතර ඔවුන්ගනේ සිව්දෙනෙකු පෑලියගොඩ මාළු වෙළෙදපොළට සම්බන්ධ ආශ්‍රිතයින් වේ. මිරිහාන පොලිස් නිලධාරියෙකු ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් එම පොලිස් ස්ථානය අද විෂ බීජහරණයට ලක් කෙරිණි. ඔහු ද පෑලියගොඩ ආශ්‍රිතයෙක් බවට හදුනාගෙන තිබේ. හැටන් නගරයේ මාළු ව්‍යාපාරිකයෙකු අසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් එහි පොදු වෙළෙඳ සංකීර්ණය වසා දැමුණි. බගවන්තලාව ප්‍රදේශයේ මාළු ප්‍රවාහන ලොරි රථයක සහයකයෙකු ද අසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් නගරයේ ස්ථාන රැසක ආරක්ෂිත පියවර ගෙන තිබේ. ගම්පහ වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු ද අසාදිතයෙකු බවට පත්වීම හේතුවෙන් එහි සේවකයින් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. පසුගිය 22වැනිදා මැනිං පොදු වෙළෙඳපොළ ද තාවකාලිකව වසා දැමුණේ පෑලියගොඩ මතුවූ තත්ත්වයත් සමගිනි. ගාල්ල ධීවර වරායේ පුද්ගලයින් 800 කට අධික පිරිසක් ඊයේ PCR පරීක්ෂණ සඳහා යොමු කෙරිණි. ගාල්ල ධීවර වරාය ආශ්‍රිතව ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 05කි. |
2020-10-25T07:40:48.000Z | අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අනිද්දා දිවයිනට.. | මයික් පොම්පියෝ අනිද්දා දිවයිනට.. | COLOMBO (News 1st) - විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අනිද්දා(27) දිවයිනට පැමිණීමට නියමිතය. විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 27 සහ 28 දෙදින මෙරට නිල සංචාරයක නිරතවන බවයි. සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා නිල වශයෙන් විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සදහන් වේ. දෙරට අතර ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනු ඇති. |
2020-10-25T06:32:57.000Z | මධ්‍යම තැපැල් හුවමාරුව සහ තැපැල් මූලස්ථානය පාරිභෝගිකයින්ට වැසේ.. | මධ්‍යම තැපෑල,තැපැල් මූලස්ථානය පාරිභෝගිකයින්ට වැසේ | COLOMBO (News 1st) - මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ තැපැල් මූලස්ථානයේ සේවා කටයුතු පාරිභෝගිකයින් සඳහා විවෘත නොකරන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. |
2020-10-25T05:31:59.000Z | ගාල්ල හැර අනිකුත් සියලු තැපැල් දුම්රිය අද අවලංගු කෙරේ.. | ගාල්ල හැර සියලු තැපැල් දුම්රිය අද අවලංගු කෙරේ.. | COLOMBO (News 1st): අද (25) රාත්‍රියේ ධාවනය වීමට නියමිත ගාල්ල තැපැල් දුම්රිය හැර, අනිකුත් සියලු තැපැල් දුම්රිය ගමන් වාර අවලංගු කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. |
2020-10-25T04:16:58.000Z | බේරුවල ,අලුත්ගම හා පයාගලට නිරෝධායන ඇඳිරි නීතිය හෙට ඉවත් කෙරේ | බේරුවල ,අලුත්ගම,පයාගල ඇඳිරි නීතිය හෙට අවසන් | COLOMBO (News 1st) – බේරුවල ,අලුත්ගම සහ පයාගල යන පොලිස් බල ප්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හෙට(26) දින ඉවත් කිරීමට තීරණය කර තිබේ. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරොල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ, හෙට අලුයම 5.00 ට එය ඉවත් කරන බවයි. |
2020-10-25T03:06:38.000Z | හෙට ගම්පහ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතයි | හෙට ගම්පහ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතයි | COLOMBO (News 1st) – ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව තබන බව Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. ඒ අනුව බැංකු විවෘත කිරීමට අවශ්‍ය වන කාර්ය මණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිතා කර බැංකු ශාඛා වෙත පැමිණිය හැකි බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි . . |
2020-10-25T02:54:41.000Z | ගම්පහට අඛණ්ඩව නිරෝධායන ඇඳිරි නීතිය , අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෙට සහන කාලයක් | ගම්පහට අඛණ්ඩව නිරෝධායන ඇඳිරි නීතිය | COLOMBO (News 1st) – ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේ වුවද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට ( 26) පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දිස්ත්‍රික්කයේ වෙළෙඳ සැල් හා ඖෂධ සැල් විවෘතව තබන බව එම නිවේදනයේ දැක්වෙයි. |
2020-10-25T02:24:58.000Z | කොටුව, පිටකොටුව ඇතුළු පොලිස් බල ප්‍රදේශ 4 කට නිරෝධායන ඇඳිරි නීතිය | කොටුව , පිටකොටුවටත් නිරෝධායන ඇඳිරි නීතිය | COLOMBO (News 1st) – කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ පොලිස් බල ප්‍රදේශ වලට අද ( 25 ) පස්වරු 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. |
2020-10-25T01:44:15.000Z | ගෙවීම්වලදී සිදු කළ 15% කප්පාදුවට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එකඟ වෙයි.. | ගෙවීම් කප්පාදුවට ක්‍රිකට් ක්‍රීඩකයින් එකඟයි | COLOMBO (News 1st) – 2020 - 2021 තරග වර්ෂයට අදාළ ගෙවීම්වලින් 15%ක් අඩු කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ආ යෝජනාවට එරට ක්‍රීඩකයින් එකඟ වී තිබේ. පාලක මණ්ඩලය එම යෝජනාව ගෙන ආවේ COVID-19 වසංගත තත්ත්වය නිසා තරග පැවැත්වීමට නොහැකි වීම වැනි කරුණු නිසා ඇති වූ මූල්‍ය පාඩුව හේතුවෙන් ය. ජොෆ්රා ආචර්, ජෝස් බට්ලර්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස් සහ ක්‍රිස් වෝක්ස්ට පසුගිය මාසයේදී එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය වසරක තරග කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේ ය. |
2020-10-25T01:34:04.000Z | ජනතාවට පීඩාවක් නොවන ලෙස පොදු ප්‍රවාහනය ප්‍රතිසංවිධානය කරනවා - ප්‍රවාහන ඇමති | පොදු ප්‍රවාහනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක් | COLOMBO (News 1st) – මහජනතාවට අපහසුතාවක් නොවන ආකාරයකට පොදු ප්‍රවාහන සේවා ප්‍රතිසංවිධානය කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ගේ විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ප්‍රවාහන සේවා පවත්වාගෙන යන ලෙස බලධාරීන් උපදෙස් දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. |
2020-10-25T01:27:28.000Z | මාළු ගැන පැතිර යන කටකතාවලට රැවටෙන්න එපා - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් | මාළු ගැන පැතිර යන කටකතාවලට රැවටෙන්න එපා.. | COLOMBO (News 1st) – හොඳින් පිසින ලද මාළු පරිභෝජනයෙන් කොරෝනා වෛරසය බෝවන බවට පැතිරෙන කටකතාවලට නොරැවටෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ නොමැති බවයි. එහෙත් මාළු පිසීම හෝ ගබඩා කිරීම සඳහා සකස් කරන අතරතුර මුහුණ ස්පර්ශ කිරීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේය. ඒ, කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ඨයක රැඳී තිබිය හැකිය යන පදනම මතය. ඉන් පසුව භාවිත කළ උපකරණ සහ දෑත් හොඳින් සබන් යොදා සේදිය යුතුයි. පදනමකින් තොරව මාළු අලෙවි සැල් වසා දැමීමෙන් වළකින්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත් සේදීම සහ මුහුණු ආවරණ පැළඳීම යන මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් අදාළ වෙළෙඳසැල් පවත්වාගෙන යා හැකියි. |
2020-10-24T23:51:43.000Z | මත්ද්‍රව්‍ය සමග 188 දෙනෙකු දැලේ | මත්ද්‍රව්‍ය සමග 188 දෙනෙකු දැලේ | COLOMBO (News 1st) – පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 188 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි එම වැටලීම ක්‍රියාත්මක විය. පොලීසිය පැවසුවේ එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්, අයිස්, ගංජා සහ නීති විරෝධී මත්පැන් සිය භාරයට ගත් බවයි. |
2020-10-24T23:30:07.000Z | පැය 24 ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 165ක් අත්අඩංගුවට | නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 165ක් දැලේ | COLOMBO (News 1st) – පැය 24 ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 165 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. |
2020-10-24T23:08:11.000Z | රනිල්ගෙන් හරස් ප්‍රශ්න අහන්න අනුර කුමාර ජනපති කොමිසමෙන් අවසර ඉල්ලයි | රනිල්ගෙන් හරස් ප්‍රශ්න අහන්න අනුර අවසර ඉල්ලයි | COLOMBO (News 1st) – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ( 24 ) පස්වරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියේ ය. දිසානායක මහතා සඳහන් කළේ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දූෂණ විරෝධී කමිටුව පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ව්‍යාකූල බවයි. අදාළ කැබිනට් පත්‍රිකාවට තමාගේ කිසිදු දායකත්වයක් නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට කැඳවා ඒ පිළිබඳ විමසීම වඩා උචිත බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ය. රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට තමාටත් අවස්ථාවක් ලබා දෙන්නැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කළේ ය. |
2020-10-24T23:01:13.000Z | යුරෝපයේ කොරෝනා මරණ ගණන 250,000 ඉක්මවයි: ඉදිරි සති 2 අවදානම්.. | යුරෝපයට ඉදිරි සති 2 අවදානම්.. | COLOMBO (News 1st) – ලොව පුරා කොරෝනා මරණ දෙලක්ෂ පනස් දහස ඉක්ම වූ දෙවැනි කලාපය බවට යුරෝපය පත්ව තිබේ. මරණ දෙලක්ෂ පනස් දහස ඉක්ම වූ ලොව පළමු කලාපය වන්නේ ලතින් අමෙරිකාවයි. යුරෝපයෙන් පැය 24 ක් තුළ දෛනික ආසාදිතයින් දෙලක්ෂය ඉක්ම වූ සංඛ්‍යාවක් හඳුනා ගැනුණි. යුරෝපයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව ලොව පුරා වාර්තාවන මරණ සංඛ්‍යාවෙන් 19% කි. ආසාදිතයින්ගේ ප්‍රතිශතය ද 22% ක් පමණ වේ. යුරෝපයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, රුසියාව, බෙල්ජියම සහ ස්පාඤ්ඤයෙනි. ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, දෛනික ආසාදිතයින් වාර්තා වීමේ ධාරිතාව ඉහළ යාමත් සමග රෝහල්වල ඉඩ පහසුකම් නොමැති වනු ඇති බවයි. ඉදිරි සති දෙක තුළ ඉන් සිදුවන බලපෑම වළක්වාගත නොහැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් හාර කෝටි 29 ලක්ෂ 16 171 ක් වාර්තා වේ. ලොව පුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 11 ලක්ෂ 54,297කි. |
2020-10-24T21:47:22.000Z | ඇඳිරි නීති බලපත්‍ර ගැන ගැටලු නිරාකරණයට පොලිස් නිලධාරීන් පිරිසක් පත්කෙරේ | ඇඳිරි නීති බලපත්‍ර ගැටලු විසදීමට පොලිස් නිලධාරීන් | COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ඇඳිරි නීති බලපත්‍ර සම්බන්ධයෙන් වන ගැටලු නිරාකරණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මේ වනවිට දිවයින පුරා පොලිස් වසම් සංඛ්‍යාව 56 ක නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 15 ක, ගම්පහ දිස්ත්‍රික්කයටම, කුරුණෑගල පොලිස් බල ප්‍රදේශ 5 කට හා කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 3 කට මේ වනවිට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ය. |
2020-10-24T21:05:21.000Z | ලංකාවට අමෙරිකාව කළ අනතුරු ඇඟවීම සීතල යුද්ධය හා බැඳුණු මානසිකත්වය ප්‍රදර්ශනය කිරීමක් - චීනය | අමෙරිකාවේ අනතුරු ඇඟවීම ගැන චීනය මතය | COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට අමෙරිකාව කළ අනතුරු ඇඟවීම සීතල යුද්ධය හා බැඳුණු මානසිකත්වය ප්‍රදර්ශනය කිරීමක් බව චීනය පවසයි. චීනය චෝදනා කරන්නේ , අමෙරිකාව තමන්ට පක්ෂපාතීව කටයුතු කරන්නැයි ලෝකයේ සෙසු රටවල්වලට බලපෑම් කරමින් සිටින බවයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් අමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ අදාළ ප්‍රකාශය සීතල යුද්ධයක මානසිකත්වය හා ආධිපත්‍යය සමග බැඳී තිබෙනවා. එය මා දකින්නේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවල්වලට හිරිහැර කරමින් අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ ඔවුන්ගේ සාමාන්‍ය පුරුද්ද හෙළි කිරීමක් ලෙසයි. ඔවුන්ගේ අවශ්‍යතා මත පදනම්ව විදේශ සබඳතා ස්වාධීනව වර්ධනය කර ගැනීමේ අයිතිය තියෙනවා.නමුත් රටවල් අතර සාමාන්‍ය සහයෝගීතාවයට බාධා කිරීම සඳහා පීඩනය හා බලහත්කාරය භාවිතා කිරීමට දරන ඕනෑම උත්සාහයක් සාර්ථක නොවනු ඇති මාගේ විශ්වාසයයි. අවසානයේදී ඔවුන් නින්දාවට හා අපහාස පත්වනු ඇත. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ සිනහවට ලක්වන කොටසක් බවට පත්වෙයි. " කවුරුන් සමග එක්ව ඉදිරියට ගමන් කරන්නේදැයි තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙළඹවීමට උත්සාහ කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් මහතා ප්‍රකාශයක් කර පැය 24කටත් පෙර චීනය මේ ප්‍රතිචාර දැක්වීම විශේෂත්වයකි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා පවසා තිබුණේ ආර්ථික සබඳතාවලදී අත්වැල් බැදගන්නේ කවුරුන් සමග දැයි තීරණය කිරීම අපහසු නමුත් ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන්ම තෝරා ගැනීමක් කළ යුතු බවයි. වෙනත් පාර්ශව ඉදිරිපත්කරන කරුණුවලට හාත්පසින් වෙනස්ව තමන් ඉදිරිපත් කරන විනිවිද භාවයකින් හා තිරසර ආර්ථික සංවර්ධනයකින් යුත් විකල්ප සළකා බලන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ අමෙරිකානු නිලධාරියා ඉල්ලා තිබුණි. මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කණ්ඩායමක් රැගත් යානයක් පෙරේදා ( 23 ) මෙරටට පැමිණියේ ය.. අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ, මෙම සංචාරයේ සියලු කටයුතු ශ්‍රී ලංකා රජය සමග සමීප සම්බන්ධීකරණයකින් සංවිධානය කර ඇති බවයි. ඉන්දියාව, මාලදිවයින සහ ඉන්දුනීසියාවේ සංචාරයක් අතරතුර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන සතියේ 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. |
2020-10-24T19:00:43.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1.කොළඹ තවත් පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය – කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලීසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 2. Covid-19: කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් : දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයැදුම්පත් භාරගැනීම ළඟම ඇති කම්කරු කාර්යාලයෙන් පමණක් සිදු කිරීමට කටයුතු කරන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි . 3. දළදා මාලිගාවට පැමිණෙන්නන්ට හැඳුනුම්පත අනිවාර්යයි – මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන සැඳැහැවතුන්ට ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 4. 2019 උ/පෙ කඩඉම් ලකුණු ලබන සඳුදා : 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන සඳුදා නිකුත් කිරීමට නියමිත ය. 5. මෙරට 15 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි – මෙරට 15 වැනි කොරෝනා මරණය ඊයේ ( 24) පෙරවරුවේ වාර්තා විය. විදෙස් පුවත් 1. කොරෝනා නිසා ඉදිරි මාස 03 තුළ අමෙරිකානුවන් මිලියන භාගයක් මියයනු ඇතැයි අධ්‍යයනයක් හෙළි කරයි : කොරෝනා වසංගතය හේතුවෙන් ලබන පෙබරවාරි මාසය වනවිට අමෙරිකානුවන් මිලියන භාගය ඉක්ම වූ සංඛ්‍යාවක් මියයනු ඇතැයි නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි. |
2020-10-24T20:49:17.000Z | දිවයින අවට මුහුදේ සුළං වේගය ඉහළට | දිවයින අවට මුහුදේ සුළං වේගය ඉහළට | COLOMBO (News 1st) – දිවයින ආශ්‍රිත මුහුදේ සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මහත්මිය පවසන්නී ය. |
2020-10-24T20:26:42.000Z | මැනිං වෙළෙඳපොළ ලබන 02 වැනිදා දක්වා යළිත් වැසේ.. | මැනිං වෙළෙඳපොළ ලබන 02 දක්වා වැසේ | COLOMBO (News 1st) – කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ ලබන 2 වැනිදා දක්වා තවදුරටත් වසා දැමීමට තීරණය කර තිබේ.. මැනිං පොදු වෙළෙඳ සංගමයේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ , සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇති බවයි. හෙට උදෑසන 5 දක්වා එම වෙළෙඳපොළ වසා දැමුවේ පසුගිය සඳුදා පෙරවරු 10 සිට ය. |
2020-10-24T20:06:47.000Z | මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 4050 දක්වා ඉහළට.. | මිනුවන්ගොඩ,පෑලියගොඩ පොකුර 4050 දක්වා ඉහළට | COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ (24) හඳුනා ගැනුණි. රජයේ දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ වනවිට අසාදිතයින් 4050 දෙනෙකු වාර්තා වී ඇති බවයි. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7521 කි. 3714 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මෙරට 15 වැනි කොරෝනා මරණය ඊයේ (24) පෙරවරුවේ වාර්තා විය. එලෙස මියගියේ කුලියාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි පුද්ගලයෙකි . මේ අතර කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේ, මේ වනවිට කොළඹ නගරය ආශ්‍රිතව කොරෝනා අසාදිතයින් 700 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. මේ අතර රටම වසා දැමීමේ ක්‍රමවේදය හරහා සරලව විසඳුමක් පෙන්නුම් කළ හැකිවුව ද ඒ හරහා ජන ජීවිතයට බලපෑම් එල්ලවිය හැකි බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ය. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ඉදිරියේදී තවත් රෝගීන් වාර්තා වීමට ඉඩ ඇති බවයි. කොරෝනා වැළැක්වීමේ එන්නතක් පාවිච්චි කිරීමට සූදානමින් සිටින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ රත්නපුරේදී හෙළි කළා ය. |
2020-10-24T10:48:49.000Z | කොළඹ තවත් පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය | තවත් පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය | COLOMBO (News 1st) - කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලීසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. |
2020-10-24T10:47:36.000Z | බෙදා හැරීමට නොහැකි වූ මාළු කිලෝ තුන් ලක්ෂ පනස් දහසක් බහුදින යාත්‍රා තුළ.. | මාළු කිලෝ 350,000ක් බහුදින යාත්‍රා තුළ.. | COLOMBO (News 1st) - පවතින තත්ත්වය හමුවේ ධීවර කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සමස්ත ලංකා පොදු ධීවර සංගමය අද ගාල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා පොදු ධීවර සංගමයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා අදහස් පළ කළේය. "අද වන විට ගාල්ල වරායේ පමණක් ධීවර බෝට්ටුවල ටොන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් මාළු ගොඩ ගැසී තිබෙනවා. රට පුරාම ධීවර වරායන්වල මේ තත්ත්වය උදාවෙලා. එම තොග ලංකා ධීවර සංස්ථාව මගින් මැදිහත්ව කල් තබා ගැනීමට සහ අලෙවි කිරීමට යම් ක්‍රමවේදයක් සකස් කරන්න කියා ඉල්ලා සිටිනවා." මේ අතර පවතින තත්ත්වය හමුවේ ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යාමට අවශ්‍ය ධීවර වරායන් සඳහා වූ විශේෂිත සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මේ වනවිට වසා දමා ඇති බේරුවල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 32 ක සහ ගාල්ල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා 21 ක මාළු කිලෝ තුන් ලක්ෂ පනස් දහසක් පමණ තිබෙන බව ධීවර අමාත්‍යාංශය මෙහිදී පෙන්වා දී තිබේ. ඒ අනුව බහුදින යාත්‍රා තුළ තිබෙන මෙම මාළු තොග පාරිභෝගිකයා අතට බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සැලසුමක් කඩිනමින් සකස් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. |
2020-10-24T07:52:26.000Z | තවත් කොරෝනා ආසාදිතයින් 201ක්: 140ක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආශ්‍රිතයින් | තවත් කොරෝනා ආසාදිතයින් 201ක් | COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 201 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වාර්තා වූ ආසාදිතයින් මෙසේය. පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආශ්‍රිතයින් 140 නිරෝධායන මධ්‍යස්ථානවලින් 37 ධීවර වරායන්වලින් 24 |
2020-10-24T07:40:31.000Z | ප්‍රදේශ රැසක PCR පරීක්ෂණ: ත්‍රීකුණාමලය තොග මාළු වෙළෙඳපොළ තාවකාලිකව වැසේ | ත්‍රීකුණාමලය තොග මාළු වෙළෙඳපොළ වැසේ | COLOMBO (News 1st) - ඉකුත් දින කිහිපයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිදෙනා වාර්තා වී තිබුණේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලිනි. පෑලියගොඩ මාළු වෙළඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස සැලකෙන පිරිසකගේ PCR පරීක්ෂණ අද තොටළඟ, මුවදොර උයන නිවාස සංකීර්ණයේදී සිදුකෙරිණි. නුගේගොඩ ජනතා පොළ අද පෙරවරුවේ නැවත දැනුම් දෙනතුරු වසා දැමුණේ පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් මාළු මිලදී ගෙන වෙළදාම් කළ, වෙළෙඳුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත බව අද තහවුරුවීමත් සමගයි. පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් මාළු මිලදී ගත් බව සැලකෙන පිරිසකගේ PCR පරීක්ෂණ අද සිදුකෙරුණේ ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේදීය. ගම්පහ නගර සභාව සඳහන් කළේ, ඒ අනුව අද දිනයේ 200 දෙනෙකුගේ PCR පරීක්ෂණ මෙලෙස සිදුකළ බවයි. ඊයේ දිනයේ ද 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ බව ගම්පහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සඳහන් කළේය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳ සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද ගම්පහ දිස්ත්‍රික් ලේක්ම් කාර්යාලයේදී පැවැත්වුණි. ඒ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙනි. ත්‍රීකුණාමලය තොග මාළු වෙළෙඳපොළේ වෙළෙඳුන් ඇතුළු 06 දෙනෙකුට කොරෝනා ආසාදිත බව අද තහවුරු විය. ඒ හේතුවෙන් ත්‍රීකුණාමලය තොග මාළු වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමුණු බව අප වාර්තාකරු පැවසුවේය. මේ අතර ත්‍රීකුණාමලය චැනල් පටුමග, සුමේධගම, අභයපුර , පහේ කණුව, ගල්මැටියාව සහ පුල්මුඩේ යන ප්‍රදේශවලට සංචරණ සීමා ද පනවා තිබේ. අප වාර්තාකරු පැවසුවේ ත්‍රීකුණාමලය, කොඩ්බේ ධීවර වරායට ඇතුළු වීම හා පිටවීම සීමා කර ඇති බවය. |
2020-10-24T07:23:05.000Z | ගාමිණි දිසානායක මහතාගේ 26වැනි ගුණ සමරුව අදයි.. | ජන හද දිනූ මිනිසා ගාමිණි දිසානායක.. | COLOMBO (News1st) - ශ්‍රී ලංකාවේ කීර්තිමත් දේශපාලනඥයෙකු වූ ගාමිණි දිසානායක මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 26 ක් සපිරේ. ඒ වෙනුවෙන් වූ ගුණ සමරු උත්සවයක් අද කොළඹ එතුමාගේ පිළිරුව අසලදී පැවැත්විය. දිවංගත ගාමිණි දිසානායක මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර පුද කිරීම සඳහා හිටපු කතානායක කරූ ජයසූරිය, නවීන් දිසානායක, මයන්ත දිසානයක ඇතුළු පවුලේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ. 1942 වසරේ මාර්තු මස 20 වැනිදා, ව්‍යාපාරික ඇන්ඩෲ දිසානායක මහතාට සහ සමරතුංග වෙලගෙදර කුමාරිහාමිනේට දාව, දිසානායක මුදියන්සේ රාළහාමිලාගේ ලයනල් ගාමිණි දිසානායක මහතා උපත ලැබුවේ එම පවුලේ දෙවැන්නා ලෙසය. ගාමිණී දිසානායක මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. ඉන් පසුව ඔහු කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව උපාධිය හදාරා , 1988 වර්ෂයෙදී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. 28 හැවිරිදි තරුණ නීතීඥයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය ආසනය ජය ගත් ගාමිණී දිසානායක මහතා , 1970 දී පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. 1977 දී විදුලිබල, වාරිමාර්ග හා මහාමාර්ග අමාත්‍ය ධූරයට පත් ඔහු කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කළේ, මෙරට ඉතිහාසයේ තවත් පරිච්ජේදයක් සනිටුහන් කරමිනි. ඔහුගේ නායකත්වයෙන් නිර්මාණය වූ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ,මාදුරුඔය, උල්හිටිය ජලාශවලට අමතරව වන්නි ප්‍රදේශයේ ඉගිණිමිටිය ජලාශයත්, දකුණේ ලුණුගම්වෙහෙර ජලාශයත් ඉලක්කගත කාලයට පෙර ඉදි කෙරුණි. සියලු දෙනාට ස්ථීර ඉඩම් හිමිකමක් ලබා දීම සඳහා ආරම්භ කෙරුණු ස්වර්ණ භූමි ව්‍යාපාරය ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයකි. දෙවරක්ම මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට පත් ඔහු 1982 වසරේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිසානායක මහතාගේ පාලන කාලය තුළ මේට්ලන්ඩ් පෙදෙස පුහුණු පාසලත්, කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පරිශ්‍රය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල මූලස්ථානයත් පිහිටුවීමට පියවර ගැනිණි. මහනුවර අස්ගිරිය ක්‍රිඩාංගණය අන්තර් ජාතික ටෙස්ට් ක්‍රීඩාංගණයක් බවට පත් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ ද ගාමිණී දිසානායක මහතායි. පසුකාලීනව ඔහු සිය දේශපාලන මතය අනුව විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතු බව පවසමින් අරගලයක නිරත වූ ගාමිණී දිසානායක මහතා, 1994 වසරේ ඔක්තෝම්බර් 24 වැනිදා තොටළඟ පැවති රැස්වීමකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක් වුයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 52 කි. වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මියගේ දයාබර සැමියා වූ ගාමිණී දිසානායක මහතා නවීන්, මයන්ත, සහ වරුනි දූ පුතුන්ට සෙනෙහෙබර පියෙකු විය. නොසිතූ මොහොතක හදිසියේ දිවියෙන් සමුගෙන ගිය ද විශිෂ්ට දැක්මක් සහිත පිරිපුන් නායකත්ව ගුණාංග ප්‍රකට කළ ගාමිණී දිසානායක මහතා පිළිබඳ මතකය ශ්‍රී ලංකාවාසීන්ගේ හදවත්වල සදා ජීවමානයි.. |
2020-10-24T07:17:08.000Z | දුම්රිය ගමන් වාර 16 ක් අවලංගුයි - දුම්රිය දෙපාර්තමේන්තුව | දුම්රිය ගමන් වාර 16 ක් අවලංගුයි | COLOMBO (News 1st) - දුම්රිය මාර්ග කිහිපයක ගමන් වාර 16 ක් අවලංගු කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග මගීන් අවම වීම සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි. ඒ අනුව පුත්තලම දුම්රිය මාර්ගයේ දෛනික ගමන් වාර 8 ක් අවලංගු කර තිබේ. මුහුදුබඩ මාර්ගයේ අවලංගු කර ඇති දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 6 කි. කැලණිවැලි මාර්ගයේ ද දෛනික ගමන් වාර 2 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. |
2020-10-24T04:31:23.000Z | මුල්ලේරියාවට සහ ගොතටුවට අද රාත්‍රී 07.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය | මුල්ලේරියාවට සහ ගොතටුවට නිරෝධායන ඇඳිරි නීතිය | COLOMBO (News 1st) -ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශවලට අද(24) රාත්‍රී 07.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. |
2020-10-24T04:17:02.000Z | Covid-19: කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් | කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක් | COLOMBO ( News 1st ) : දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයැදුම්පත් භාරගැනීම ළඟම ඇති කම්කරු කාර්යාලයෙන් පමණක් සිදු කිරීමට කටයුතු කරන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි . එමෙන්ම 2020. 10.26 දින සිට දුරකතනය මගින් දිනයක් හා වේලාවක් වෙන් කර දීමටත් තීරණය කර තිබේ. |
2020-10-24T02:09:49.000Z | දළදා මාලිගාවට පැමිණෙන්නන්ට හැඳුනුම්පත අනිවාර්යයි | දළදා මාලිගාවට පැමිණෙන්නන්ට හැඳුනුම්පත අනිවාර්යයි | COLOMBO (News 1st) – මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන සැඳැහැවතුන්ට ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයින් හා ඒ ආශ්‍රිත පිරිස් දළදා මාළිගා පරිශ්‍රයට ඇතුළත් කර ගැනීම නවතා ඇති බවයි. |
2020-10-24T00:11:41.000Z | පොඩි ලැසීගේ T56ක් හා රිවෝල්වරයක් තෙල්වත්තෙන් සොයා ගනී | පොඩි ලැසීගේ T56ක් හා රිවෝල්වරයක් සොයා ගනී | COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් රැඳවුම් භාරයේ සිටින 'පොඩි ලැසී' ට අයත් T56 ගිනි අවියක් හා රිවෝල්වරයක් මීටියාගොඩ, තෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. |
2020-10-24T00:07:56.000Z | 2019 උ/පෙ කඩඉම් ලකුණු ලබන සඳුදා | 2019 උ/පෙ කඩඉම් ලකුණු ලබන සඳුදා | COLOMBO (News 1st) : 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන සඳුදා නිකුත් කිරීමට නියමිත ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට සඳහා සිසුන් 41,500 ක් බඳවා ගන්නා බවයි. වෛද්‍ය, ඉංජිනේරු ආදී උපාධි පාඨමාලා කිහිපයක් සඳහා මෙවර බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, නව සහ පැරණි විෂය නිර්දේශ දෙකම යටතේ පැවැත්විය. |
2020-10-23T23:43:37.000Z | බස්නාහිර පළාතේ වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග 205ක් අත්අඩංගුවට | බස්නාහිරින් මත්ද්‍රව්‍ය සමග 205 දෙනෙකු දැලේ | COLOMBO (News 1st) : පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 205 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි එම වැටලීම ක්‍රියාත්මක විය. පොලීසිය පැවසුවේ, එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්, අයිස්, ගංජා සහ නීති විරෝධී මත්පැන් සිය භාරයට ගත් බවයි. |
2020-10-24T00:24:13.000Z | මෙරට 15 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි | මෙරට 15 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි | COLOMBO (News 1st) – මෙරට 15 වැනි කොරෝනා මරණය අද පෙරවරුවේ වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගිය බවය. ඔහු කුලියාපිටිය, කිතලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇත්තේ තෙවැනි වරට කළ PCR පරීක්ෂණයේදී ය. පෙරේදා IDH රෝහලේදී මියගිය 50 හැවිරිදි කාන්තාව සමග ඔහු කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇතැයි ද විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය. |
2020-10-23T21:14:48.000Z | පැය 24 ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 71 දෙනෙකු දැලේ.. | පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 71ක් | COLOMBO (News 1st) : පැය 24 ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 71 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි . |
2020-10-23T20:58:06.000Z | කොරෝනා නිසා ඉදිරි මාස 03 තුළ අමෙරිකානුවන් මිලියන භාගයක් මියයනු ඇතැයි අධ්‍යයනයක් හෙළි කරයි | COVID-19:අමෙරිකානුවන් ගැන ඉඟියක් | COLOMBO (News 1st) : කොරෝනා වසංගතය හේතුවෙන් ලබන පෙබරවාරි මාසය වනවිට අමෙරිකානුවන් මිලියන භාගය ඉක්ම වූ සංඛ්‍යාවක් මියයනු ඇතැයි නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි. එම අධ්‍යයනය කර ඇත්තේ, වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිති හා ඇගයීම් ආයතනයේ පර්යේෂකයින් විසින් ය. මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 29,280 කි. පෙබරවාරි වනවිට එම සංඛ්‍යාව පන් ලක්ෂය ඉක්මවනු ඇතැයි අදාළ පර්යේෂකයින් පෙන්වා දෙයි. එහෙත් මුව ආවරණ පැළඳීම අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් ඉන් මරණ එක් ලක්ෂ තිස් දහසක් වළක්වා ගත හැකි බව ඔවුන් ප්‍රකාශ කළේ ය. මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් අමෙරිකාව නිශ්චිත නීති මාලාවක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඇතැම් ප්‍රාන්තවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇතත් , ඇතැම් ප්‍රාන්ත ඒ පිළිබඳ කිසිදු තීන්දුවක් ක්‍රියාත්මක නොකරන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. එම තත්ත්වය උද්ගත වූයේ , අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුව ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 87 ලක්ෂ 45,226 කි. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.