date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-07-23T06:12:24.000Z | වලපනේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ජගත් කුමාරට සහ එහි රියැදුරෙකුට වසර 12ක සිර දඬුවමක් | වලපනේ ප්‍රා. සභාවේ හිටපු සභාපතිට සිර දඬුවමක් | COLOMBO (News 1st) - වලපනේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වලපනේ ආසන සංවිධායක ජගත් කුමාර සමරහේවා සහ එහි රියැදුරෙකු ලෙස කටයුතු කළ ජටිලලාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ට නුවරඑළිය මහාධිකරණයෙන් වසර 12 ක සිර දඬුවම් නියම කෙරිණි. ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ජිප් රථයක් 2004 වසරේදී අවභාවිත කිරීම සහ බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවලට වරදකරුවන් කරමිනි. පොදු දේපොළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් වන වරදට වසර 10 බැගින් බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු එස්. යූ. බී. කරලියද්ද මහතා රුපියල් ලක්ෂ 105 ක දඩයක් ද නියම කළේ ය. දඩ මුදල ගෙවීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට තව ත් වසර 4 ක සිර දඬුවම් නියම වනු ඇති. ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවට වසර දෙක බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් 7500 ක දඩයක් නියම කර ඇත. එය නොගෙවන්නේ නම් තව ත් මාස 6 ක අමතර සිර දඬුවමක් පැනවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය. 2004 වසරේදී ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණේ එවකට උඩුපුස්සැල්ලාව පොලීසියේ ස්ථානාධිපතිවරයාව කටයුතු කළ රුවන් ගුණසේකර මහතා ඇතුලු නිලධාරීන් විසිනි. |
2018-07-23T05:23:20.000Z | වාර විභාග ප්‍රතිඵල පාසල් නිවාඩුවට පෙර ලබා දෙන්නැයි උපදෙස් | වාර විභාග ප්‍රතිඵල පාසල් නිවාඩුවට පෙර | COLOMBO (News 1st) - වාර විභාග ප්‍රතිඵල පාසල් නිවාඩුවට පෙර සිසුන් වෙත ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පාසල් විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ ප්‍රතිඵල පාසල් නිවාඩුවෙන් පසු ලබාදීමෙන් දරුවන්ගේ ප්‍රගතිය මැන බැලීමට දෙමව්පියන්ට සහ දරුවන්ට නොහැකිවන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගෙන අධ්‍යාපන ලේකම්වරයා මෙම උපදෙස් දුන් බවයි. ඒ අනුව සිසුන්ගේ ප්‍රගතිවාර්තා අදාළ පාසල් වාරය අවසන්වීමට පෙර දෙමව්පියන් අතට පත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා උපදෙස් ලබාදී ඇත. |
2018-07-23T03:11:42.000Z | ගම්මැද්දෙන් ප්‍රතිසංස්කරණය කළ පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට | ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් නිම කළ වගයි! | COLOMBO (News 1st) : ගම්මැද්ද වැඩදහස යටතේ ප්‍රතිසංස්කරණය කෙරුණු හම්බන්තොට, බදගිරිය යහංගල ප්‍රථමික විද්‍යාල ගොඩනැගිල්ල අද සිසු අයිතියට පත් කෙරිණ. විද්‍යාලය සතු ගොඩනැගිලි දෙකම අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් පසුගිය කාලය පුරාවට එහි දරුවන් ඉගෙනුම ලැබුවේ ජීවිත අවදානම ද අතදරමිනුයි. ගම්මැද්ද ලේකම් කාර්යාලයට කරන ලද ඉල්ලීමට අනුව විදුහල් ශාලාවේ වහල අලුත්වැඩියා කරදීමට තීරණය කළ අතර එහි කටුයුතු ආරම්භ වූයේ, පසුගිය මාසයේ 6 වන දා ය. යහංගල ප්‍රථමික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් වූ මෙම සත්කාරය සඳහා අනුග්‍රහය දැක්වූයේ, එස්ලෝන් ආයතනයයි. මෙම අවස්ථාවට එස්ලෝන් ආයතනයේ ඉහළ පෙළ නිලධාරීහු මෙන්ම ගම්මැද්ද ලේකම් කාර්යාලයේ සාමාජික පිරිසක් ද එක්ව සිටියහ. |
2018-07-23T02:38:37.000Z | ද. අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට | ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියේ ජයගනී | දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව අද ජය ගත්තේ ය. ඒ, කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 199කින් ජය ගැනීමත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 338ට පිළිතුරු ලෙස දකුනු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 124කට දැවී ගියේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිය දෙවැනි ඉණිම කඩුලු 5ක් දැවී ලකුණු 275ක් රැස් කරගෙන සිටියදී අත්හිට වූ අතර ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 490ක ඉලක්කයක් හිමි විය. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් පන්දුවාර 86යි පන්දු 5කදී ලකුණු 290කට දැවී ගියේ ය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ, ලකුණු 278කිනි. |
2018-07-23T02:20:57.000Z | වේලායුධය රැගත් පෙරහැර කතරගම පුදබිම බලා ගමන් අරඹයි | වේලායුධය රැගත් පෙරහැර කතරගම පුදබිම බලා ගමන් අරඹයි | ආඩිවේල් ශක්ති වේල් මංගල්‍ය වෙනුවෙන් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට රැගෙන ආ කතරගම දෙවිදුන්ගේ සුරතෙහි රැඳි වේලායුධය රැගත් රිය පෙරහැර අද කතරගම පූජා භූමිය බලා ගමන් ආරම්භ කළේ ය. අද උදෑසන පැවති විශේෂ පූජාවලින් අනතුරුව පෙරහැර කතරගම බලා ගමන් කිරීම ආරම්භ විය. වේලායුදය රැගත් රිය පෙරහැර වැල්ලවත්ත, දෙහිවල, නුගේගොඩ, මහරගම හරහා මාතර හම්බන්තොට කතරගම පුදබිමට ළඟා වීමට නියමිතයි. යාපනය ඓතිහාසික සෙල්වසන්නිධි කෝවිලේ සිට වැඩම කෙරුණු වේලායුදය දින ගණනක චාරිකාවකින් පසුව සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට ඊයේ වැඩම කෙරුණේ චිචිත්‍රවත් පෙරහැරකින් . ඊයේ දිනය පුරා බැතිමත්හු විශාල පිරිසක් සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණ කතරගම දෙවිදුන්ගේ සුරතෙහි රැඳුණු වේලායුධයෙහි ආශිර්වාද ලබා ගත්හ. |
2018-07-23T01:41:37.000Z | හපුතලේදී මත්ද්‍රව්‍ය සමග කොටු වූ 6දෙනා රිමාන්ඩ් | හපුතලේදී මත්ද්‍රව්‍ය සමග කොටු වූ 6දෙනා රිමාන්ඩ් | හපුතලේ විහාරගල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඊයේ පෙරවරුවේ පොලීසිය ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් පැකට් 332 ක් සමගයි. පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කේරළ ගංජා තොගයක් සහ ගංජා මිශ්‍ර බාබුල් තොගයක් ද සොයා ගැනිණ. |
2018-07-23T00:53:23.000Z | කැනඩාවේ ටොරොන්ටෝහි වෙඩි තැබීමක් | කැනඩාවේ ටොරොන්ටෝහි වෙඩි තැබීමක් | කැනඩාවේ ටොරොන්ටෝහි සිදු වූ වෙඩි තැබීමකින් තරුණියක මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වෙඩි තැබීමෙන් පසු සිදුවූ වෙඩි හුවමාරුවේදී වෙඩික්කරු ද ජීවිතක්ෂයටපත්ව ඇති බවයි. තුවාල ලබූවන්ගෙන් එක් තරුණියකගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර තොරුතුරු තවමත් හෙළි වී නොමැත. සිද්ධිය වන අවස්ථාවේ ප්‍රදේශයේ අවන්හලක සිටි කාන්තාවක පවසා ඇත්තේ, සිය පවුලේ සාමාජිකයින් සමග සිටින අවස්ථාවේ ප්‍රදේශයේ රතිඤ්ඤා පිපිරීම් වැනි ශබ්ද 10 ත් 15ත් අතර සංඛ්‍යාවක් ඇසුණු බව ත් ඒ සමගම ජනතාව කෑ ගසනු ඇසුණු බව ත් ය. කෙසේ වෙතත් වෙඩි තැබීමසම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත. |
2018-07-23T00:33:00.000Z | 60 වසරකට පසු මැලේරියා ඖෂධයකට අනුමැතිය | 60 වසරකට පසු මැලේරියා ඖෂධයකට අනුමැතිය | වසර 60ට පසු ප්‍රථම වරට මැලේරියා රෝගයට ප්‍රතිකාර ලෙස නිපදවූ නව ඖෂධයක් සඳහා අනුමැතිය ලබාදීමට අමෙරිකාවේ බලධාරීන් පිරිසක් පියවර ගනු ලැබීය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිරන්තරයෙන් වෙනස් වෙන මැලේරියා රෝගයට ප්‍රතිකාර කිරීම විශේෂයෙන් අරමුණු කරගනිමින් මෙම නව පෙති විශේෂය නිපදවා ඇති බවයි . වාර්ෂිකව ලොව මැලේරියා රෝගය වැළඳෙන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 8.5 කි. ඔවුන් පෙන්වා දෙන්නේ මැලේරියා රෝගකාරකය , යළි යළිත් ක්‍රියාකාරී වීමට පෙර වසර ගණනාවක් අක්මාව තුළ සැඟව උදාසීනව පවතින බැවින් ඉන් මීදීම අභියෝගයක් බවයි . මේ අනුව මෙම නව ඖෂධය ජයග්‍රහණයක් බව ද විද්‍යඥයෝ පවසති. |
2018-07-23T00:21:28.000Z | කළුගඟ ජලාශයට මංගල දියවර මුදා හැරේ | කළුගඟ ජලාශයට මංගල දියවර මුදා හැරේ | COLOMBO (News 1st) : කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ මොරගහකන්ද කළුගඟ උමං මාර්ගයේ දෙවන අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ විය. උත්සවයේ කටයුතු ආරම්භ වූයේ, මොරගහකන්ද ජලාශය සමීපයේ ඉඳි කළ අඩි 27 ක් උස අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව නිරාවරණය කිරීමෙන් පසුවයි. මොරගහකන්ද ජලාශය, කුලසිංහ ජලාශය ලෙස නම් කිරීම ද අද සිදු විය. ජලාශය මෙසේ නම් කෙරුණේ මෙරටට නව තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම රැසක් දායාද කළ ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ මහතාට ගෞරවයක් ලෙසිනි. මොරගහකන්ද බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ මෙගාවොට් 25ක ධාරිතාවකින් යුත් විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීම ද අද සිදු වුෙය් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. කළුගඟ ජලාශයේ ජලය පිරවීම ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. මාතලේ දිස්ත්‍රික්කයේ නකල්ස් කඳුවැටියේ කලූපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල - පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කර තිබේ. වර්ග කිලෝමීටර 14.5 ක් වන ජලාශයේ ධාරිතාව ඝන මීටර් දස ලක්ෂ 248 කි. මහවැලි සංවර්ධන සැලැස්ම යටතේ ජලාශ 5 ක් ඉදිකිරීමට යෝජනා වූ අතර මොරගහකන්ද එම සැලැස්මේ පස්වන ජලාශයයි. මොරගහකන්ද, කළුගග ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, මාතලේ, ව්වනියාව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය සහ කෘෂි කාර්මික අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය සැපයෙනු ඇති. මේ මගින් අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල හෙක්ටයාර 95 දහසකට අධික භූමි ප්‍රමාණයක් කන්න දෙකේම වගා කිරීමට ජලය සැපයෙන අතර පවුල් එක්ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයකට සෘජු වාරි ජලය සැපයෙනු ඇති. මෙම ව්‍යාපෘතියට සමගාමීව මැදිරිගිරිය ප්‍රදේශයේ අක්කර 9000 ක් යල මහ වගාකල හැකි ආකාරයට ජලය සැපයෙන අතර කළුගඟ පහළ නිම්නයේ සහ බිසෝපුර නව කෘෂි කාර්මික ප්‍රදේශයක් ලෙස අක්කර 12500 ක් සංවර්ධනය වනු ඇත. මනම්පිටිය හා සෝමාවතී ප්‍රදේශයේ ගංවතුරින් යටවීම නිසා ජනතාවට සිදුවන පීඩාවන්ට ද මෙම ව්‍යාපෘතිය සමග විසදුම් ලබෙනු ඇති. මොරගහකන්ද කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝමීටර් 96 ක් දිගින් යුතු උමං මාර්ගයේ ඉදිකිරීම් ද ජනාධිපතිතුමා අද නිරීක්ෂණය කළේ ය. මෙය සැලකෙන්නේ දකුණු ආසියාවේ දිගම උමං මාර්ගය ලෙසයි. එහි දෙවන කොටසේ ඉදිකිරීම් අද ආරම්භ විය. මෙම ඇළ මාර්ගය මගින් කළුගඟ ජලාශයේ පිරෙන ජලය තත්ත්පරයකට ඝන මීටර් 35 බැගින් මොරගහකන්ද ජලාශයට රැගෙන යාමට සැලසුම් කර තිබේ. රුපියල් කෝටි 6700 ක වියදමින් ඉදිවන මෙම උමං ඇළ මාර්ගයේ ඉදිකිරීම් මාස 36 කදී අවසන් කිරීමට අපේක්ෂිතයි. |
2018-07-22T23:13:16.000Z | ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස සමාන් වාර්තා අතරට එක්වෙයි | පකිස්ථානයේ ෆක්හර් සමාන්ගෙන් වාර්තාවක් | එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස පකිස්ථානයේ ෆක්හර් සමාන් වාර්තා අතරට එක් විය. ඔහු මෙම වාර්තාව පිහිටුවූයේ ඉනිම 21ක් තුළදීයි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති පස්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී ෆක්හර් සමාන් මෙම වාර්තාව පිහිටුවීය. ඔහු එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85කි. සමාන් මෙම තරගාවලියේදී ලකුණු 515ක් රැස් කළේ ය. ඒ අනුව එක් රටකට එරෙහිව පැවැති එක්දින තරගාවලියකදී දෙවැනියට වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු වන්නේ ද ඔහුයි. ඉන්දීය නායක විරාත් කෝලි එහි පෙරමුණේ පසු වේ. මේ අතර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තරග 5ට 0ක් ලෙස ජය ගැනීමට පකිස්ථානය සමත් විය. ඒ ඊයේ පැවැති පස්වැනි තරගය ලකුණු 131කින් ජය ගැනීමත් සමගයි. බුලවායෝහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය කඩුලු 4කට රැස් කළ ලකුණු 364ට පිළිතුරු ලෙස පන්දුවාර 50 අවසන් වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4කට ලකුණු 233ක් රැස් කරගෙන සිටියේ ය. |
2018-07-22T21:14:32.000Z | පකිස්ථාන හිටපු ජනපති වකුගඩු අක්‍රීය වීමේ අවදානමක | පකිස්ථාන හිටපු ජනපති වකුගඩු අක්‍රීය වීමේ අවදානමක | සිර දඬුවම් නියමව සිටින පකිස්ථාන හිටපු ජනාධිපති නවාස් ෂරීෆ්, බන්ධනාගාර රෝහලට මාරු කරන්නැයි, වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. ඒ ඔහු වකුගඩු අක්‍රීය වීමේ අවදානමකට මුහුණ පා ඇති බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වීමත් සමගයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ හෘද ස්පන්ධනය අක්‍රමව සිදුවන බවයි. ඊට අමතරව ඔහු විජලනයෙන් ද පෙළෙන බව එම වෛද්‍යවරු පවසති. |
2018-07-22T21:02:46.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්.. | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. ප්‍රධානීන් මිලියන ගණනින් වරප්‍රසාද ඉල්ලද්දී පල්ලම් බසින ශ්‍රීලංකන් : ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය හිමිව ඇත්තේ 95 වන ස්ථානය දක්වා පසුබැස තිබේ. එය 2015 වසරේ සිටි ස්ථාන 22 ක පසුබෑමක් වන අතර ලොව පුරා සිටින ගුවන් මගීන්ගේ කැමැත්ත මත මෙම වර්ගීකරණය සිදුවේ. 2. හිරේ ඉදන් මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ගත් දුරකථන සංවාද 3000ක් ගැන විමර්ශන : බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් අතර සිදුවූ දුරකථන සංවාද තුන් දහසකට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඒ අතරට ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ද ඇතුළත් බව ද වාර්තා වේ. 3. රැඳවියන්ට සහය දෙන නියාමකවරුන් 6ක් ගැන විමර්ශන: බන්ධනාගාරගතව සිටින, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය පළ කරන නියාමකවරුන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔවුන් ජංගම දුරකතන ඇතුළු නීතිවිරෝධි උපකරණ රැඳවියන්ට ලබාදීම වැනි අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ය. විදෙස් පුවත් 1. ''අමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය කැලෑ නීතිය වගේ'' – ප්‍රංශ මුදල් ඇමති : ජාත්‍යන්තර වෙළෙඳ යුද්ධය යථාර්ථයක් වී ඇති බවට ප්‍රංශය අනතුරු අඟවයි. ප්‍රංශ මුදල් අමාත්‍ය බුරුනෝ ලී මයිරේ මේ බව සඳහන් කළේ, ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 රටවල අමාත්‍ය සමුළුවේදී ය. 2. පකිස්ථාන හිටපු අගමැති සල්දාරි ඇතුළු 20කට නඩු : මුදල් විශුද්ධිකරණය යටතේ පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය අසීෆ් අල් සර්දාරි සහ ඔහුගේ සොහොයුරිය ඇතුළු 20 දෙනෙකුට එරෙහිව එරට අධිකරණයකින් නඩු පවරා තිබේ. ඒ, පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් පකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ නිලධාරීන් සඳහන් කළේ, ඔවුන් අධිකරණය මග හරිමින් සිටින බව ය. ක්‍රීඩා... 1. ගාලු පිටියේ ජාත්‍යන්තර තරග නැවැත්වීමේ සැබෑ උවමනාව ඇත්තේ කාට ද? : ගාලු ක්‍රීඩාංගණයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල හා සුනාමියෙන් පසුව ඉදිකරනු ලැබූ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ඉවත් කිරීමේ කතිකාව පසුගිය දින කිහිපය පුරා දේශපාලන වේදිකාව ද උණුසුම් කළේ ය. ගාලු ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ, පසුගිය 3 වන දා ය. 2. ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් : ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් පැන වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙනි. ව්‍යාපාරික... 1. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති : දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. |
2018-07-22T20:39:01.000Z | සිරකරුවන් ළඟ ඇති ජංගම දුරකතන හඳුනා ගැනීමට විශේෂ උපකරණයක් | සිරකරුවන්ගේ දුරකතන හඳුනා ගැනීමට උපකරණයක් | COLOMBO (News 1st) : බන්ධනාගාරගතව සිටින රැඳවියන් රහසිගතව ළඟ තබාගෙන ඇති ජංගම දුරකතන හඳුනා ගැනීම සඳහා විශේෂිත උපකරණයක් සවි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසුවේ, බන්ධනාගාර ගත සිරකරුවන්, ජංගම දුරකතන භාවිතයෙන් විවිධ ජාවාරම් කිරිම පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග මෙම පියවර ගත් බවයි. සංවිධානාත්මක අපරාධ කල්ලි 30 කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයින් 170 ත් 200 ත් අතර සංඛ්‍යාවක් මේ වන විට බන්ධනාගාරගතව සිටිති. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, එවැනි සිරකරුවන් වැඩි වශයෙන් සිටින්නේ කළුතර , මීගමුව සහ බුස්ස බන්ධනාගාරවල බවයි. මේ අතර බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් පැවැත් වූ දුරකතන සංවාද තුන්දහසකට අධික ප්‍රමාණයක් පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකාය විමර්ශන ආරම්භ කර තිබේ. |
2018-07-22T20:29:50.000Z | දුම්රිය තාක්ෂණික නිලධාරීන් අකුරට වැඩ | දුම්රිය තාක්ෂණික නිලධාරීන් අකුරට වැඩ | COLOMBO (News 1st): දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. එහි ලේකම් කමල් පිරිස් මහතා පැවසුවේ, සිය ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් වර්ජනය ක්‍රියාත්මක බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, ඔවුන් සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡාවකට සූදානම් බවයි. කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් නැතැයි, News 1st කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. |
2018-07-22T11:09:54.000Z | ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් | ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් | ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් පැන වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙනි. දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්ක ගුණතිලක, ක්‍රීඩක ආචාර ධර්ම කඩ කළ බවට කණ්ඩායම් කළමනාකාරීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ. එම ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ධනුෂ්කට අදාළ කරුණු විමසීම තවදුරටත් සිදු කරන බවයි. එම විමර්ශන කටයුතු නිමා වීමෙන් අනතුරුව මේ වන විට ක්‍රියාත්මක වන දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්කට හිමි තරග ගාස්තුව ලබා දෙන්නේ ද යන්න තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව මෙම දඬුවම ක්‍රියාත්මක වීමට නියමිතයි. |
2018-07-22T10:09:43.000Z | ප්‍රධානීන් මිලියන ගණනින් වරප්‍රසාද ඉල්ලද්දී පල්ලම් බසින ශ්‍රීලංකන්... | ශ්‍රීලංකන් ගුවන් සේවය 95 වන ස්ථානය දක්වා පසුබසී | COLOMBO (News 1st) : ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය හිමිව ඇත්තේ 95 වන ස්ථානයයි. එය 2015 වසරේ සිටි ස්ථාන 22 ක පසුබෑමකි. ලොව ප්‍රමුඛතම ගුවන්සේවා වර්ගීකරණය ලෙසින් සැලකෙන Skytrax awards 2018 ශ්‍රේණිගත කිරීමේ දී ලොව හොඳම ගුවන්සේවය ලෙසින් සිංගප්පූරු ගුවන්සේවය නම් කර තිබේ. ලොව පුරා සිටින ගුවන් මගීන්ගේ කැමැත්ත මත මෙම වර්ගීකරණය සිදුවේ. එය 2017 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට හිමිව තිබුණේ, 81 වැනි ස්ථානයයි. මෙම වර්ගීකරණයට අනුව 2011 වසරේ දී ශ්‍රීලංකන් ගුවන්සේවය 52 වන ස්ථානයේ පසු වූ අතර 2016 වසරේ දී 67 වන ස්ථානයේ පසුවිය. පසුගිය වසර කිහිපයේ ශ්‍රීලංකන් ගුවන් සමාගම අලාභ ලබමින් පසුබෑමට ලක්විය. 2015 වසරේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක චරිත රත්වත්තේ මහතාගේ සහෝදරයා වන සුරේන් රත්වත්තේ මහතා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් කෙරිණ. පාඩු ලැබූ ගුවන් සමාගමෙන් විශ්‍රාම යන විට සුරේන් රක්වත්තේ මහතා මිලියන ගණනින් වරප්‍රසාද ඉල්ලා සිටියේ ය. තම බිරිඳ සමග ඕස්ට්‍රේලියාවට යාමට ඒමට සමාගමේ වියදමෙන් ගුවන් ටිකට් පත් ඉල්ලා තිබූණේ, එම වරප්‍රසාද යටතේයි. ඔහුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 32කි. බිලියන ගණනින් පාඩු ලබන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි පල්ලම් බහින මෙරට ජාතික ගුවන් සේවය විනාශ මුඛයට තල්ලු කරන පුද්ගලයින් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සුරේන් රත්වත්තේ පත්කෙරුණේ ඔහුගේ සහෝදරයා වන අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ වන නිසා ද ? ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ වගකීම පැවරෙන්නේ කාට ද ? |
2018-07-22T09:45:10.000Z | ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි | නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි | ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රංගන ශිල්පී ජගත් චමිල මහතා සඳහන් කළේ, කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද පස්වරුවේ සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 85කි. 60 දශකයේදී රන්තෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් තිස්ස ගුණවර්ධන මහතා වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණය විය. සිසිල දිනූ දෑත් ඔහුගේ දෙවැනි වේදිකා නාට්‍ය විය. මෙම නාට්‍ය දෙකම එළිමහන් වේදිකාවල ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි. ඉන් අනතුරුව අධ්‍යක්ෂණය කළ වාඩිය, ප්‍රසිද්ධ වේදිකාවේ වේදිකාගත කළ පළමු නාට්‍ය වේ. දිගු නාට්‍ය 50 කට අධික සංඛ්‍යාවක් සහ කෙටි නාට්‍ය 150 කට අධික සංඛ්‍යාවක් තිස්ස ගුණවර්ධනයන් විසින් දේශීය වේදිකා නාට්‍ය කලාවට දායාද කරන්නේ පාසල් නාට්‍ය කලාවට ද නැවුම් ජීවියක් ලබාදෙමිනි. 1961 වසරේ සිට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ නාට්‍ය ආචාර්යවරයා ලෙස කටයුතු කළ ඔහු මෙරටට කලාශිල්පීන් රැසක් දායා ද කළේ ය. විවිධ වයස් කාණ්ඩවලට අයත් තම ගෝල පරපුර සම්බන්ධ කරගනිමින් තිස්ස ගුණවර්ධනයන් අවසන්වරට අධ්‍යක්ෂණය කළේ, දුටුගැමුණු වේදිකා නාට්‍යයයි. චිත්‍ර , මූර්ති සහ කැටයම් ශිල්පියෙකු ලෙස ද තිස්ස ගුණවර්ධනයන් මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළේ ය. |
2018-07-22T09:29:28.000Z | ගාලු පිටියේ ජාත්‍යන්තර තරග නැවැත්වීමේ සැබෑ උවමනාව ඇත්තේ කාට ද? | ගාල්ලේ ජාත්‍යන්තර තරග නැවතීමේ උවමනාව ඇත්තේ කාටද? | ගාලු ක්‍රීඩාංගණයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල හා සුනාමියෙන් පසුව ඉදිකරනු ලැබූ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ඉවත් කිරීමේ කතිකාව පසුගිය දින කිහිපය පුරා දේශපාලන වේදිකාව ද උණුසුම් කළේ ය. මේ ස්පෝර්ට්ස් ෆස්ට් ඒ පිළිබදව සිදු කරන අනාවරණයක්. ගාලු ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළමු සාකච්ඡාව පසුගිය 3 වන දා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ, දක්ෂිණ සංවර්ධන සහ තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක, එහි රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. එහි දිගුවක් ලෙස මේ පිළිබඳ තවත් සාකච්ඡාවක් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වන දා සෙත්සිරිපායේදී පැවැත්විණ. මේ පිළිබඳ ස්පෝර්ට්ස් ෆස්ට් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ, ශ්‍රී ලංකාවේ පිහිටි ස්මාරක හා අඩවි පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය හෙවත් අයිකොමොස් ආයතනය මගින් යුනෙස්කෝ ආයතනය වෙත මීට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි. කෙසේ නමුත් එම නිර්දේශ ඇතුළත් වාර්තාවේ ගාලු ක්‍රීඩාංගණයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවට වාර්තා වේ. මෙම වාර්තාව 2016 වසරේ ජූලි මස 11වන දා සිට 15 වැනිදා දක්වා සිදු කළ තොරතුරු ගවේෂණයක නිර්දේශ ද ඇතුළත් කරමින් සකස් කර තිබේ. යුනෙස්කො කොමිසමේ ශ්‍රී ලංකා මහලේකම් ලාල් රණවීර මහතා අදාළ වාර්තාවේ කරුණු දක්වා ඇත්තේ අදාළ ඉදිකිරීම් සිදු කොට තිබෙන්නේ නියමිත නිර්දේශ හා ක්‍රියා පටිපාටි උල්ලංඝනය කරමින් බවයි. අදාළ ඉදිකිරීම් මගින් ලෝක උරුමය ලෙස සැලකෙන ගාලු කොටුව දර්ශනය වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැණ නැගී ඇති බව අදාළ වාර්තාව මගින් තොරතුරු අනාවරණය කරයි. එසේම ඔවුන් ලබාදුන් නිර්දේශවලට අනුව පැති තණතීරු කිහිපයක් ඉවත් කළ යුතු බව ද අදාළ වාර්තාවේ සඳහන් ය. අදාළ ඉදිකිරීම් සම්බන්ධයෙන් එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස කටයතු කළ ඩී.එස්. ද සිල්වා මහතා සහ සියලු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කරුණු සාකච්ඡා කර තිබේ. එහිදී අදාළ ඉදිකිරීම් කිසිවක් ඉවත් කිරීමට තීරණය වී නොමැත. එසේම යම්කිසි දිනෙක අදාළ ඉදිකිරීම් ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එහිදි ඉතාම සංවේදී සහ පරීක්ෂාකාරී ලෙස එම කටයුතු සිදු කළ යුතු බවට එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ. යුනෙස්කෝ සංවිධානය හෝ එහි තීන්දු තීරණ සම්බන්ධයෙන් වගකීම් දරණ ශ්‍රී ලංකාවේ පිහිටි අයිකොමස් හෙවත් ස්මාරක හා අඩවි පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය හෝ යුනෙස්කෝ ආයතනය මගින් ගාලු ක්‍රීඩාංගණයේ කිසිදු ඉදිකිරීමක් ඉවත් කිරීමට කිසිදු නිර්දේශයක් හෝ තීරණයක් ගෙන නොමැති නමුත් එවැනි අවශ්‍යතාවයක් මතු වූයේ කාට ද? මෙම වාර්තාවේ ඇතුළත් තොරතුරුවලට පරිභාහිරව යුනෙස්කෝ සංවිධානය හෝ වෙනත් වගකිව යුතු ආයතනයක් මෙම ඉවත් කිරීම් සිදු කළ යුතු බවට නිර්දේශ කර ඇත්නම්, බලධාරීන් එය ඉදිරිපත් කිරීමට පසුබට වන්නේ ඇයි? ගාලු ක්‍රීඩාංගණයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල හා මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ඉවත් කොට එහි ජාත්‍යන්තර තරග පැවැත්වීමේ නැවැත්වීමේ සැබෑ උවමනාව ඇත්තේ කාට ද? |
2018-07-22T08:56:37.000Z | බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ගත් දුරකථන සංවාද 3000ක් ගැන විමර්ශන | සිරගත අපරාධකරුවන් ගත් ඇමතුම් 3000ක් ගැන පරීක්ෂණ | බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් අතර සිදුවූ දුරකථන සංවාද තුන් දහසකට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඒ අතරට ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ද ඇතුළත් බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඉන්දියාව, ඩුබායි, නයිජිරියා සහ පකිස්ථානය වන රටවල සිටින විවිධ අපරාධකරුවන් සමග ඔවුන් දුරකතන සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලදී තහවුරු වූ බවයි. එලෙස විදේශීය රටවල අපරාධකරුවන් සමග සබඳතා පවත්වා ඇත්තේ ගාල්ල, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර සිටින සිරකරුවන් ය. අදාළ දුරකථන සංවාද සම්බන්ධයෙන්, පොලිස් විශේෂ කාර්ය බලකායෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. අදාළ බන්ධනාගාරවල විදේශිකයින් කිහිපදෙනෙකු ද රඳවා සිටි අතර ඔවුන් සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර බන්ධනාගාරගතව සිටින, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය පළ කරන නියාමකවරුන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔවුන් ජංගම දුරකථන ඇතුළු නීතිවිරෝධී උපකරණ රැඳවියන්ට ලබාදීම වැනි අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි. එවැනි නිලධාරින් 6 දෙනෙකු සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඔවුන් කොළඹ කේන්ද්‍ර කරගත් බන්ධනාගාරවල සේවය කරන නිලධාරීන් ය. වසරේ මේ දක්වා කාලය තුළ එවැනි අක්‍රමිකතාවලට සම්බන්ධ, බන්ධනාගාර නියාමකවරුන් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිධාරියා සඳහන් කළේ ය. එමෙන්ම මේ වන විට මෙරට තුළ ක්‍රියාත්මක සංවිධානත්මක අපරධ කණ්ඩායම් 30ක සැකකරුවන් 200ක් පමණ ද බන්ධනාගරගතව සිටී. |
2018-07-22T08:21:05.000Z | උඩරට මාර්ගයේ දුම්රියක් පීලීපනී | උඩරට මාර්ගයේ දුම්රියක් පීලීපනී | උඩරට මාර්ගයේ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලී පැනීමට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක නැරඹුම් මැදිරිය, එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි. පීලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරිය රැගෙන ඒම සඳහා කොළඹින් ආපදා රථයක් පිටත් කර යවා තිබේ. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් නොවන බව ද පාලක මැදිරිය ප්‍රකාශ කළේ ය. |
2018-07-22T07:32:10.000Z | ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති | ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලිය 30% කට අඩු කෙරේ | COLOMBO (News 1st) - දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවයි. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු, නැගෙනහිර පළාත්වල ජනතාව ණය බරෙන් මිරිකී සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. කිසියම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් එම නීතිරීති අනුව කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මකවීමට සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය. |
2018-07-22T07:16:38.000Z | ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසන් | ලංකා-දකුණු අප්‍රිකා දෙවන තරගයේ තෙවන දිනය අවසන් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනටත් කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වේ. අද දිනය අවසන් වන විට ලකුණු 490 ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 139කි. කොළඹ එස්. එස්. සී පිටියේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 338 ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 124 කට දැවී ගියේ ය. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණූ 151 ක් රැස්කරගෙන සිටියේ ය. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න හා ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 63 කි. අද සිය ටෙස්ට් දිවියේ 17 වන අර්ධ ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 85 කි. ඇන්ජෙලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ 29 වන අර්ධ ශතකය අද වාර්තා කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම අද සිය දෙවැනි ඉනිම අත්හිටුවූයේ කඩුලු 5ක් දැවී ලකුණු 275ක් රැස් කරගෙන සිටියදීයි. ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 490 ක ඉලක්කයක් හිමි විය. දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ආරම්භ කළේ, ඩීන් එල්ගා සහ එයිඩන් මාක්‍රම්. ලකුණු 14කට මාක්‍රම් දැවී ගියා. ඔවුන්ගේ පළමු කඩුලු දෙක බිඳ වැටුනේ ලකුණු 80කදීයි. රංගන හේරත් සහ අකිල ධනංජය කඩුලු 2 බැගින් දවා ගත්තේ ය. |
2018-07-22T02:08:38.000Z | රැඳවියන්ට සහය දෙන බන්ධනාගාර නියාමකවරුන් 6ක් ගැන විමර්ශන | බන්ධනාගාර නියාමකවරුන් 6ක් ගැන විමර්ශන | COLOMBO (News 1st) - බන්ධනාගාරගතව සිටින, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය පල කරන නියාමකවරුන් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔවුන් ජංගම දුරකතන ඇතුළු නීතිවිරෝධි උපකරණ රැඳවියන්ට ලබාදීම වැනි අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ය. එවැනි නිලධාරින් 6 දෙනෙකු සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඔවුන් කොළඹ කේන්ද්‍ර කරගත් බන්ධනාගාරවල සේවය කරන නිලධාරින් වේ. වසරේ මේ දක්වා කාලය තුළ එවැනි අක්‍රමිකතාවලට සම්බන්ධ, බන්ධනාගාර නියාමකවරුන් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව ද, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය. |
2018-07-21T22:51:28.000Z | පකිස්ථාන හිටපු අගමැති අසීෆ් අල් සල්දාරි ඇතුළු 20දෙනෙකුට නඩු | අසීෆ් අල් සල්දාරි ඇතුළු 20දෙනෙකුට නඩු | COLOMBO (News 1st) - මුදල් විශුද්ධිකරණය යටතේ පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය අසීෆ් අල් සර්දාරි සහ ඔහුගේ සොහොයුරිය ඇතුළු 20 දෙනෙකුට එරෙහිව එරට අධිකරණයකින් නඩු පවරා තිබේ. ඒ, පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් පකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ නිලධාරීන් සඳහන් කළේ, ඔවුන් අධිකරණය මග හරිමින් සිටින බව ය. ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ රුපියල් බිලියන 35 ක වංචාවක් සම්බන්ධයෙනි. ඊට අදාළව චෝදනා ලැබූවන්ට අතරට පකිස්තාන හිටපු අගමැති අසීෆ් අල් සර්දාරී, ඔහුගේ සොහොයුරිය වන ෆාර්යල් තල්පූර්, පෞද්ගලික බැංකුවක සභාපතිවරයෙක් ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 20 දෙනෙකු ඇතුළත් ය. |
2018-07-21T22:23:17.000Z | දියේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ කාන්තාවක් මරුට | දියේ ගිලීමෙන් තිදෙනෙකු මරුට | COLOMBO (News 1st) - මස්කෙලිය, ගාඩ්මෝර් ඔයේ ගිලීමෙන් කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, 69 හැවිරිදි ගාඩ්මෝර්වත්ත පදිංචිකාරියක් එලෙස මියගොස් ඇති බව ය. ඇයගේ මෘත ශරීරය නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ. මේ අතර වේයන්ගොඩ, තල්ගස්මොටේ දී ඇල්ල ඔයේ දියනෑමට දිය පාසල් සිසුන් දෙදෙනෙකු ද ඊයේ දියේ ගිලී මියගොස් තිබේ. ඔවුන් 16 හැවිරිදි නිට්ටඹුව, පින්නදොලවත්ත සහ පත්තලගෙදර පදිංචිකරුවන් වේ. |
2018-07-21T22:11:13.000Z | අමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය කැලෑ නීතිය වගේ - ප්‍රංශ මුදල් ඇමති | අමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය කැලෑ නීතිය වගේ | (News 1st) - ජාත්‍යන්තර වෙළෙඳ යුද්ධය යථාර්ථයක් වී ඇති බවට ප්‍රංශය අනතුරු අඟවයි. ප්‍රංශ මුදල් අමාත්‍ය බුරුනෝ ලී මයිරේ මේ බව සදහන් කළේ ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 රටවල අමාත්‍ය සමුළුවේදී ය. අමෙරිකාවේ වත්මන් වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ කැලෑ නීතිය පදනම් කර ගනිමින් බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇති රටවල් ගණන 28 කි. |
2018-07-21T21:30:27.000Z | දකුණු අප්‍රිකාව අසරණ කළ ශ්‍රී ලංකාවට වැඩි වාසි | දකුණු අප්‍රිකාව අසරණ කළ ශ්‍රී ලංකාවට වැඩි වාසි | COLOMBO (News 1st) - තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 151කි. ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 7ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 365ක් ඉදිරියෙන් සිටී. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදීත් පළමු කඩුල්ලට ලකුණු 91 ක සාර්ථක සබඳතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරු යුගල වන ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්න සමත් විය. ධනුෂ්ක ගුණතිලක සිය ටෙස්ට් දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 61 ක් ලබා ගත්තේය. ඊයේ දිනය අවසන් වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 17 වන අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 59ක් රැස් කරගෙන සිටී. තරගයේ කාසිය වාසිය හිමිකර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 338 ට පිළිතුරු ලෙස දකුනු අප්‍රිකා කන්ඩායමට සියළු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 124 ක් පමණි. අකිල ධනංජය ලකුණු 52ට කඩුලු 5ක් දවා ගත්තේය. ඩිල්රුවන් පෙරේරා ලකුණු 40ට කඩුලු 4යි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩක අකිල ධනංජය. |
2018-07-21T20:00:06.000Z | මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට ලබාගත් දුරකතන ඇමතුම් 3,000ක් පිළිබඳ STF විමර්ශන | මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඇමතුම් ගැන විමර්ශන | COLOMBO (News 1st) - බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් පැවැත්වූ දුරකතන සංවාද 3,000කට අධික ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. ඒ, අතරට ජාත්‍යන්තර දුරකතන ඇමතුම්ද ඇතුළත් ය. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඉන්දියාව, ඩුබායි, නයිජිරියා සහ පකිස්ථානය වැනි රටවල සිටින විවිධ අපරාධකරුවන් සමග ඔවුන් දුරකතන සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලදී තහවුරු වූ බව ය. එලෙස විදේශීය රටවල අපරාධකරුවන් සමග සබඳතා පවත්වා ඇත්තේ ගාල්ල, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර සිටින සිරකරුවන් ය. අදාළ දුරකතන සංවාද සම්බන්ධයෙන්, පොලිස් විශේෂ කාර්ය බලකායෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය. |
2018-07-22T00:00:06.000Z | ආඩිවේල් පෙරහැර කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට | Watch Live :- ආඩිවේල් පෙරහැර | COLOMBO (News 1st) - ජාතික සහජීවනය ගොඩනැංවීමේ අරමුණින් පවත්වනු ලබන ආඩිවේල් පෙරහැර කොළඹ 02 බේබෲක් පෙදෙස සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශයට ළඟා විය. ආඩිවේල් පෙරහැරේ සිව්වන දිනය අදයි. මෙය සංවිධානය කරනු ලබන්නේ සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානය විසිනි. වේලායුධය වැඩම කරවන රිය පෙරහැර ඊයේ රාත්‍රියේ කොළඹ ජින්තුපිටිය ශ්‍රී ෂිව සුභ්‍රමණියම් කෝවිලට ළඟා වූ අතර අනතුරුව එහි සිට සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට පැමිණියේය. |
2018-07-21T20:01:57.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත් 1 - කුමන බාධක පැමිණියත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා – ජනපති: රජයට කවර බාධක පැමිණියත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමේ තීරණය නැවත වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුවේ ඉදිකිරීමට නියමිත චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය. 2 - ශ්‍රීලංකන් සේවකයින්ට අඩු පඩි: ප්‍රධාන විධායක නිලධාරියාට රු. ලක්ෂ 32ක මූලික වැටුපක්: ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා රුපියල් ලක්ෂ 32ක මූලික වැටුපක් ලබද්දී බහුතරයක් සේවකයින් ඉතාමත් අඩු පඩි ලබන බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පෙන්වා දෙයි. වාහන දීමනා සහ තෙල් දීමනා ආදී වෙනත් දීමනා ද ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේන් රත්වත්ත මහතාට හිමි බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයකදී අනාවරණය වී තිබේ. 3 - සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 418ක් අතුරුදන්: සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යංශය මගින් පසුගියදා අත්සන් කළ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මෙතෙක් සම්පූර්ණයෙන් ජනතාවට ප්‍රසිද්ධ කර නොමැති බවට වෘත්තිකයෝ චෝදනා කරති. සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 1500ක් ඇති බවට අමාත්‍යංශය ප්‍රකාශ කළ ද ජනාතවට ඉදිරිපත් කළ ගිවිසුමේ ඇත්තේ පිටු 1082ක් පමණක් බවට වෘත්තිකයෝ පෙන්වා දෙති. ඒසේ නම් ඉතිරි පිටු 418ට හිතාමතා වසන් කළා ද? 4 - ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉවත් කිරීමට එරෙහිව දකුණේ ජනතාව වීදි බසී: ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා විශාල පිරිසක් ඊයේ විරෝධතාවක නිරත වූහ. ඔවුන් මෙලස විරෝධතාවක නිරත වුණේ, මාතර – කොළඹ ප්‍රධාන මාර්ගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලින් අවහිර කරමිනි. 5 - අල්ලස් ලබා ගත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක රිමාන්ඩ්: අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක මහගමගේ ගාමිණි මහතා ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා ගැනීමට යාමේදී ය. 6 - ජන සුබ සාධනය වෙනුවෙන් රටක් පෙළ ගැස්වූ ගම්මැද්ද V’Force ක්‍රියාන්විතය සීගිරියෙන් ඇරඹෙයි: ජන සුබ සාධනය වෙනුවෙන් රටක් පෙළ ගැස්වූ ගම්මැද්ද ඊයේ තවත් දැවැන්ත ජාතික කාර්ය භාරයකට මුල පිරුවේ ය. ඒ අනුව ගම්මැද්ද V’Force ක්‍රියාන්විතය සීගිරියෙන් ආරම්භ කළේය. විදෙස් පුවත් 1 - ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයෙන් ඉන්දීය අගමැති මෝදිට පහසු ජයක්: ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැටලු මුල් කර ගනිමින් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ ආණ්ඩුව පහසු ජයග්‍රහනයක් හිමි කර ගෙන තිබේ. ඒ, විශ්වාසභංග විවාදයට ලොක් සභාවට පැමිණ සිටි පාර්ලිමේන්තු සභිකයින් 451 අතුරින් 325 ක බහුතර ඡන්දයෙනි. ක්‍රීඩා පුවත් 1 - ශ්‍රී ලංකා - දකුනු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනයට ඊයේ නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 151කි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 7ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 365ක් ඉදිරියෙන් සිටී. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 338යි. දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 124කට සීමා විය. |
2018-07-21T11:29:38.000Z | බලංගොඩ දස හැවිරිදි දරුවෙකු අතුරුදන්: පොලිස් නිල සුනඛයින් ද යොදා මෙහෙයුම් | බලංගොඩ දස හැවිරිදි දරුවෙකු අතුරුදන් | COLOMBO (News 1st) - බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 10ක පිරිමි දරුවෙකු අතුරුදන්ව තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ පස්වරුවේ සිට දරුවා අතුරුදන්ව සිටින බව ය. සමනළවත්ත විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහන් කුමාර ධර්මසිරි ඊයේ පස්වරුවේ පාසල් අවසන් වී නිවසට පැමිණීමෙන් අනතුරුව නිවසින් පිටව ගොස් ඇත්තේ දර කැඩීමට ගිය සිය පියා සෙවීමේ අරමුණින් ය. සවස් වන විටත් සහන් නිවසට නොපැමිණි නිසා දෙමාපියන් පොලීසිය ද දැනුවත් කර තිබේ. අද දෙවන දිනටත් ප්‍රදේශවාසීන් හා පොලීසිය පුංචි සහන් සොයා මෙහෙයුම් දියත් කළේ ය. ඒ, පොලිස් සුනඛයින් ද යොදා ගනිමිනි. නමුත් සහන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොලැබුණු අතර ගම අවට පසුගිය දිනවල සැරි සැරූ දිවියන්ගේ ගොදුරක් බවට දරුවා පත් වූවාදැයි සැක කෙරේ. |
2018-07-21T11:09:49.000Z | සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්තා ත් හෙරොයින් සමග STF අත්අඩංගුවට | රත්තා ත් හෙරොයින් සමග STF අත්අඩංගුවට | COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්තා නොහොත් හෂාන් කුමාර නමැත්තා අත්බෝම්බයක් හා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබේ. 32 හැවිරිදි එම සැකකරු ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර ගෙවුණු පැය 24ත් ස්ථාන කිහිපයක සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කෙරිණි. සේරුනුවර ඊච්චලන්පත්තු ප්‍රදේශයේදී හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 69ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය. මේ අතර අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806ක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ රාත්‍රියේ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු බැංගලෝරයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 96 කි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව උපාය දූතයින් යොදා ගනිමින් එම මත්ද්‍රව්‍ය මෙරට බෙදා හරින බවට සැක කරන පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද දහවල් අත්අඩංගුවට ගැනුණේ නාරාහේන්පිටදී ය. පොලීසිය සඳහන් කළේ, එම සැකකරු 37 හැවිරිදි කිඹුලාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය. සැකකරුවන් දෙදෙනා ලබන 26 දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ. |
2018-07-21T10:06:09.000Z | ඇඹිලිපිටියේ පෞද්ගලික බලාගාරයකට රු. මිලියන 840ක නීති විරෝධී ගෙවීමක් | ඇඹිලිපිටියේ පෞ. බලාගාරයකට නීති විරෝධී ගෙවීමක් | COLOMBO (News 1st) - මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියකින් තොරව ලබා ගත් විදුලිය වෙනුවෙන් ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරය සඳහා රුපියල් මිලියන 840 අධික මුදලක් අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ මහතාගේ විශේෂ අවසරයක් මත ගෙවා දමා ඇති බවට වාර්තා වේ. අදාළ විදුලිය මිලදී ගැනිම් නීති විරෝධී බව සඳහන් කරමින් ඒ සඳහා වන ගෙවීම් සිදු කිරීම ප්‍රතික්ෂේප කළ ලංකා විදුලිබල මණ්ඩලයේ බලශක්ති මිලදී ගැනීම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව කේ. අබේවික්‍රම මහතාගේ වැඩ පසුගියාදා තහනම් කර තිබිණි. ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා තිබූ දීර්ඝ කාලීන ගිවිසුම අවසන් වී ඇත්තේ 2015 වසරේදී ය. එහෙත් මේ වසර මුලදී කැබිනට් මණ්ඩලයේ අවසර මත යළිත් එම සමාගමෙන් වසර 3ක් සඳහා විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය ගවිසුම්ගතව තිබේ. නමුත් මෙම විදුලිය මිලදී ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියක් අවශ්‍ය වුවද ඒ සඳහා මෙතෙක් කොමිෂන් සභාව අවසර දී නොමැත. එවැනි තත්ත්වයක් උඩ අදාළ විදුලිය මිලදී ගැනීම සඳහා වන ගෙවීම් තමාට සිදු කිරීමට නොහැකි බවත් එම ගෙවීම් නීති විරෝධී බවත් ප්‍රකාශ කිරීම නිසා තමා සේවයෙන් පහ කළ බව මීට පෙර විදුලිබල මණ්ඩලයේ බලශක්ති මිලදී ගැනීම් හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව කේ. අබේවික්‍රම මහතා අප සමග සඳහන් කළේ ය. සුජීව කේ. අබේවික්‍රම මහතාගේ වැඩ තහනම් කිරීමත් සමග ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඒ.කේ. සමරසිංහ මහතා පසුගිය 17 වන දා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට ලිපියක් යොමු කරමින් මෙම ගෙවිම් සිදු කිරීමට විශේෂ අවසරයක් ඉල්ලා තිබේ. එම ඉල්ලීම සඳහා අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ මහතා අවසර ලබා දීමක් සිදු කළ ද ඔහු සිය ලිපියේ මෙම බලාගාරයෙන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් පරිපාලනමය ගැටලු පවතින බව සඳහන් කර තිබේ. |
2018-07-21T09:03:49.000Z | සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 418ක් අතුරුදන් | සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ පිටු 418ක් අතුරුදන් | COLOMBO (News 1st) - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යංශය මගින් පසුගියදා අත්සන් කළ සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මෙතෙක් සම්පූර්ණයෙන් ජනතාවට ප්‍රසිද්ධ කර නොමැති බවට වෘත්තිකයෝ චෝදනා කරති. සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පිටු 1500ක් ඇති බවට අමාත්‍යංශය ප්‍රකාශ කළ ද ජනාතවට ඉදිරිපත් කළ ගිවිසුමේ ඇත්තේ පිටු 1082ක් පමණක් බවට වෘත්තිකයෝ පෙන්වා දෙති. ඒසේ නම් ඉතිරි පිටු 418ට හිතාමතා වසන් කළා ද? මෙම ගිවිසුම අත්සන් තැබීමේදී කැබ්නට් මණ්ඩලය පවා නොමග යැවූ බවට විශාල චොදානාවක් එල්ල විය. එවැනි පසුබිමක් තුළ ගිවිසුමේ ඇතැමි පිටු සැඟවීමෙන් සිදු කරනුයේ රටේ ජනතාවට මෙම තොරතුරු වසන් කිරීමක් ද ? |
2018-07-21T08:22:09.000Z | ශ්‍රීලංකන් සේවකයින්ට අඩු පඩි: ප්‍රධාන විධායක නිලධාරියාට රු. ලක්ෂ 32ක මූලික වැටුපක් | ශ්‍රීලංකන් CEOට රු. ලක්ෂ 32ක මූලික වැටුපක් | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා රුපියල් ලක්ෂ 32ක මූලික වැටුපක් ලබද්දී බහුතරයක් සේවකයින් ඉතාමත් අඩු පඩි ලබන බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පෙන්වා දෙයි. වාහන දීමනා සහ තෙල් දීමනා ආදී වෙනත් දීමනා ද ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේන් රත්වත්ත මහතාට හිමි බව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයකදී අනාවරණය වී තිබේ. වැඩිදුරටත් හෙළි වී ඇත්තේ ඔහුට ඒ 320 ජෙට් කන්වර්ෂන් ගුවන් යානයේ පෞද්ගලික පියාසර පුහුණුව සඳහා අමෙරිකානු ඩොලර් 23,568ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 37ක් වැය වී ඇති බව ය. මීට අමතරව ආයතනයේ තවත් ඉහළ තනතුරු සඳහා ද විශාල වැටුපක් හා දීමනා ලැබෙන බව ද මෙහිදී හෙළි වී තිබේ මේ අතර සේවකයින්ට සාධාරණ වැටුප් වැඩි කිරීමක් සිදු නොකළහොත් ලබන සතියේදී කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අඩාල වන මට්ටමට මෙම ගැටලුව දුරදිග යා හැකි බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජානක විජේපතිරත්න මහතා පෙන්වා දෙයි. |
2018-07-21T04:54:57.000Z | සූර්මා චිත්‍රපටයට සතියක් තුළ වාර්තාගත ආදායමක් | සූර්මා චිත්‍රපටයට සතියක් තුළ වාර්තාගත ආදායමක් | (News 1st) - දිලිජිත් දූසාන්ජ් සහ තාප්සි පන්නු රංගනයෙන් එක් වන සූර්මා බොලිවුඩ් චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කර දින 7ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 21කට අධික ආදායමක් ඉපයීමට සමත්ව තිබේ. සූර්මා චිත්‍රපටයට පදනම්ව ඇත්තේ, ජාත්‍යන්තර ජයග්‍රහණ කරා මෙන් ම ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ද ඉන්දීය හොකී කණ්ඩායම මෙහෙය වූ සන්දීප් සිං නමැති හොකී ක්‍රීඩකයාගේ ජීවිත කතාව යි. තරුණ වියේදී අබාධයකට ලක්වීම හේතුවෙන් සන්දීප්ට හොකී ක්‍රීඩාවෙන් තාවකාලිකව බැහැර වීමට සිදු වන අතර පසුව ඔහු එම ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් ඉන්දීය හොකී ක්‍රීඩාවට සිදු කළ මෙහෙය අගයමින් මෙම චිත්‍රපටය නිපදවා තිබීම විශේෂත්වයකි. සූර්මා චිත්‍රපටය ෂාද් අලිගේ අධ්‍යක්ෂණයකි. |
2018-07-21T02:48:22.000Z | අල්ලස් ලබා ගත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක රිමාන්ඩ් | ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක රිමාන්ඩ් | COLOMBO (News 1st) - අල්ලසක් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක මහගමගේ ගාමිණි මහතා ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පන්නිපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා ගැනීමට යාමේදීයි. වසර 10 ක් පැරණි වාහන දෙකක් නීත්‍යානුකූලව ජපානයෙන් ගෙන්වා ගැනීමට අදාළ නිර්දේශ ලබාදීම වෙනුවෙන් අදාළ අල්ලස් මුදල ලබාගෙන ඇත. අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ අධක්ෂ්‍ය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මීට පෙර නිර්දේශය ලබාදී ඇති අතර අදාළ අල්ලස ලබා නොදුනහොත් එය අවලංගු කරන බවට තර්ජනය කරමින් අදාළ අල්ලස ලබාගෙන ඇති බවයි. |
2018-07-21T02:30:47.000Z | තේ පර්යේෂණායතනයෙන් නව තේ ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි | තේ පර්යේෂණායතනයෙන් නව තේ ප්‍රභේද 2 ක් හඳුන්වා දෙයි | COLOMBO (News 1st) - තේ පර්යේෂණායතනය වැඩි අස්වැන්නක් ලබාදෙන නව තේ ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබේ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ, ටී. අයි. ආර් 5000 කාණ්ඩයට එම නව තේ ප්‍රභේද දෙක අයත් වන බවයි. මාතර මොරවක කෝරළයේ නව තේ නියමු ව්‍යාපෘතියක් ලෙස නව ප්‍රභේද වගාවට පියවර ගෙන ඇති අතර ඉදිරි වසර 3 තුළ තලවකැලේ තේ පර්යේෂණායතනය වගාව පිළිබඳව සොයා බලනු ඇති. |
2018-07-21T01:46:11.000Z | ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉවත් කිරීමට එරෙහිව දකුණේ ජනතාව වීදි බසී | ගාලු ක්‍රීඩාංගණය වෙනුවෙන් ජනතාව වීදි බසී | COLOMBO (News 1st) - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා විශාල පිරිසක් අද විරෝධතාවක නිරත වූහ. ඔවුන් මෙලස විරෝධතාවක නිරත වුණේ, මාතර - කොළඹ ප්‍රධාන මාර්ගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසලින් අවහිර කරමිනි. පැය 2කට ආසන්න කාලයක් පැවති විරෝධතාවය හේතුවෙන් මාතර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති විය. අප වාර්තාකරු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි, රමේෂ් පතිරණ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් ද මෙම ස්ථානයට පැමිණ සිටි බව ය. පසුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ආරක්ෂා කර දෙන බවට වූ පොරොන්දුවක් මත පිරිස විසිර ගියහ. |
2018-07-21T01:33:10.000Z | කුමන බාධක පැමිණියත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා – ජනපති | "කුමන බාධක පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා" | COLOMBO (News 1st) - රජයට කවර බාධක පැමිණියත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමේ තීරණය නැවත වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුවේ ඉදිකිරීමට නියමිත චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් එතුමා මේ බව සඳහන් කළේ ය. චීන ආධාර යටතේ මෙම නව ජාතික වකුගඩු රෝහල ඉදිවේ මේ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 12කි. මේ අතර චීන ජනාධිපති ෂී ජිං පිං මහතා ජනාධිපතිවරයාට ලබා දුන් තවත් ආධාර මුදලක් පිළිබඳව ද මෙහිදී කරුණු හෙළිවිණි. ඕනෑම කාර්යයක් සඳහා යොදා ගැනීමට රුපියල් බිලියන 48ක ආධාර මුදලක් චීන ජනාධිපතිවරයා විසින් එවා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා පැවසුවේ, එම මුදලින් රට පුරා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව ය. |
2018-07-21T01:03:49.000Z | ජන සුබ සාධනය වෙනුවෙන් රටක් පෙළ ගැස්වූ ගම්මැද්ද V'Force ක්‍රියාන්විතය සීගිරියෙන් ඇරඹෙයි | ගම්මැද්ද V’Force ක්‍රියාන්විතය ඇරඹෙයි | COLOMBO (News 1st) - ජන සුබ සාධනය වෙනුවෙන් රටක් පෙළ ගැස්වූ ගම්මැද්ද අද තවත් දැවැන්ත ජාතික කාර්ය භාරයකට මුල පිරුවේ ය. ඒ, ගම්මැද්ද වී ෆෝර්ස්. තරුණ නායකයින් සමග රට ගොඩනැගීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන මේ ස්වේච්ඡා බලකාය අද ගියේ සීගිරියට යි. වී ෆෝර්ස් සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණි කණ්ඩායම් රැසක් එක්ව සිටියේ රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමේ අරමුණිනි. සීගිරිය මුදුන හා උතුරු පිවිසුම් මාර්ගය පිරිසිදු කිරීම් කටයුතු සිදු වූයේ, මොරටුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල සිසුන්ගේ ද සහභාගීත්වය ඇතිව ය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරිණි. සීගිරියේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රැගෙන ආ ගඩොල් පර්වතය මුදුනට රැගෙන යාමට ද වී ෆෝර්ස් සාමාජිකයෝ පියවර ගත්හ. සීගිරිය අවට පිරිසිදු කිරීමෙන් අනතුරුව ස්වෙච්ඡා බලකායේ සාමාජිකයින් ඇගයීම සිදු කෙරුණේ, ඉටු කළ කාර්යයන් අනුව පදක්කම් පිරිනමමිනි. පදක්කම් ලාභීන්ට සිය නායකත්වය යටතේ තවදුරටත් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් විශේෂ අවස්ථා හිමි කර ගත හැකි ය. අගෝස්තු 18 වන දා ගම්මැද්ද වී ෆෝර්ස් සාමාජිකයින් හලාවත වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා සූදානමින් සිටියි. |
2018-07-21T00:28:28.000Z | ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 කට සීමා වේ | ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 කට සීමා වේ | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවන දිනටත් කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වේ. දෙවන දිනටත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සියල්ලන් දැවි ලකුණු 338 ලබා ගෙන සිටි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස දැවි ගියේ ලකුණු 35 ලබා ගෙන සිටි රංගන හේරත් ය. රංගන හේරත්ගේ කඩුල්ල දවා ගනු ලැබුවේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක මහාරාජ් වේ. කේෂව් මහරාජ් පන්දුවාර 41 කදි ලකුණු 129 කට කඩුලු 9 ක් දවා ගැනීමට සමත් විය. මේ තරගයේදී වසර 8 කට පසුව මෙරට පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගීමට දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක ඊයේ සමත් විය. ඒ, පළමු කඩුල්ලට ලකුණු 116 ක සබඳතාවයක් ගොඩනගමිනි. |
2018-07-20T23:58:37.000Z | ඉන්දීය ධීවරයින් මෙරටින් භූමිතෙල් සැපයීමේ ජාවාරමක් හෙළිවෙයි | ඉන්දීය ධීවරයින් මෙරටින් භූමිතෙල් සැපයීමේ ජාවාරමක් | COLOMBO (News 1st) - ඉන්දීය ධීවරයින් සඳහා භූමිතෙල් සැපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවයි. භූමිතෙල් මිල පහත දැමීමත් සමග නීති විරෝධීව බස් සහ ලොරි රථ සඳහා භූමිතෙල් භාවිත කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. |
2018-07-20T23:46:44.000Z | කබල්ලෑ පොතු හා කොතල හිඹුටු තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට | කබල්ලෑ පොතු තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - කබල්ලෑ පොතු හා කොතල හිඹුටු තොගයක් සමග චීන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, එහි වටිනාකම රුපියල් 9 ලක්ෂයකට ආසන්න බවයි. ඔහු අද අලුයම චීනය බලා යාමට පැමිණි අවස්ථාවේදී අත්අඩගුවට ගෙන ඇත. 36 හැවිරිදි චීන ජාතිකයා මෙරට වාරි ව්‍යාපෘතියකට අනුයුක්තව සේවය කරන අයෙකි. අදාළ කොතල හිඹුටු සහ කබල්ලෑ පොතු තොගය රාජසන්තක කර තිබේ. සැකකරුට රුපියල් 50,000 ක දඩයක් නියම කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. |
2018-07-20T23:18:10.000Z | කතරගම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් | ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් | COLOMBO (News 1st) - කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ. අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට මාතර දක්වා අතිරේක දුම්රිය සේවා යොදවා ඇති බවයි. කතරගම ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය ද දෛනිකව අතිරේක බස් රථ 25 ක් පමණ යොදවා ඇත. |
2018-07-20T22:30:37.000Z | මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වාර්තා 3ක් ජනපතිට | මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන වාර්තා 3ක් ජනපතිට | COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හඳුනාගත් සිරකරුවන් සම්බන්ධයෙන්, වාර්තා තුනක් ජනාධිපතිතුමාට ඉදිරිපත් විය යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනූව නීතිපතිවරයාගේ, අධිකරණ අමාත්‍යවරියගේ සහ මරණ දඬුවමට අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයාගේ නිර්දේශ ඇතුළත් වාර්තා ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතුයි. අධිකරණ අමාත්‍යවරිය ජනාධිපතිතුමාට යොමු කරන නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කෙරෙන්නේ අධිකරණ අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවකින් බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය. එම කමිටුව සිරකරුවන්ගේ කරුණු විමසීම ද විශේෂත්වයකි. විත්තිකරුවෙකුට මරණ දඬුවම නියම කරන විනිසුරුවරයා ද එම නියෝගය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කළ යුතු වේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, නීතිපති නිර්දේශ ඇතුළත් වාර්තාව ද ජනාධිපතිතුමාට යොමු කළ යුතු බවයි. එම වාර්තා පදනම් කරගනිමින් සකස් වන අවසන් ලැයිස්තුවට ජනාධිපතිවරයා අත්සන් තැබීමෙන් පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවසර හිමි වනු ඇති. මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම නියමව, දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ය. |
2018-07-20T22:08:14.000Z | කෝටියකට අධික රන් බිස්කට් තොගයක් කටුනායකින් හමුවෙයි | කෝටියකට අධික රන් බිස්කට් තොගයක් කටුනායකින් හමුවෙයි | COLOMBO (News 1st) - කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් රුපියල් එක් කෝටි 95 ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් හමුවී තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, බිම වැටී තිබූ දුම්වැටි දවටන දෙකක, තිබී එම රන් බිස්කට් තොගය සොයා ගත් බවයි. |
2018-07-20T21:09:34.000Z | ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයෙන් ඉන්දීය අගමැති මෝදිට පහසු ජයක් | විශ්වාසභංගයෙන් මෝදිට පහසු ජයක්... | ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැටලු මුල් කර ගනිමින් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රමුඛ ආණ්ඩුව පහසු ජයග්‍රහනයක් හිමි කර ගෙන තිබේ. ඒ, විශ්වාසභංග විවාදයට ලොක් සභාවට පැමිණ සිටි පාර්ලිමේන්තු සභිකයින් 451 අතුරින් 325 ක බහුතර ඡන්දයෙනි. රජයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුනේ සභිකයින් 126 දෙනෙකු පමණි. විශ්වාසභංගය ජය ගැනීමට නම් සභිකයින් 226 දෙනෙකුගේ ඡන්දය ලැබිය යුතු විය. විශ්වාසභංග ඡන්ද විමසීම ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවැත්වුනේ පැය 12 ක් පුරා පැවති විවාදයෙන් අනතුරුවයි. විවාදය ආරම්භ කළ කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ සහ ඉන්දීය රජයේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කළේ ය. පැයකට අධික කාලයක් පැවති සිය දීර්ඝ කතාව අවසන් කළ රාහුල් ගාන්ධී, අග්‍රාමාත්‍ය මෝදී සිප වැලැඳ ගැනීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විණි. ඔහු එහිදී අග්‍රාමාත්‍යවරයාට පැවසූවේ, ඔබට අවශ්‍ය නම් මට අපහාස කළ හැකි බවයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පාර්ලිමෙන්තුව විවාදයට එක්වුනේ ඉන් අනතුරුවයි. දීර්ඝ කතාවක් කළ අගමැති මෝදී අවසානයේ රාහුල් ගාන්ධීගේ තර්ක එකින් එක බිඳ දැමුවේ ය. |
2018-07-20T20:53:23.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | 1. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉවත් නොකරන බව රජය කියයි: යුනෙස්කෝ සංවිධානයේ අවධානය යොමු වී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය. එහිදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ෆයිසර් මුස්තාපා, චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරුන් අදහස් පළ කර තිබේ. 2. ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග: හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට සැප්තැම්බර් 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසී යැවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියෝග කළේය. තංගල්ල වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 81 ක් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව යළි විමසා බැලිණි. 3. රු. ලක්ෂ 96 අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු කොටුවෙයි: අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806 ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය මගිනි. 4. ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ ගල් කොරියකට බලපත්‍ර ලබාදීමට යාමේදී උණුසුම් තත්ත්වයක්: ගාල්ල වඳුරඹ කීඹිකන්ද ලිට්නස්වත්ත ප්‍රදේශයේ ගල් කොරියකට බලපත්‍ර ලබාදීම සඳහා පරීක්ෂණාත්මක පිපිරීමක් සිදු කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශ නිලධාරීන් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය. විදෙස් පුවත් 5. ඉන්දීය අගමැති මෝදිගේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය: ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව තෙලිගු දේසාම් පක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊයේ දිනයේ පැවැත් විය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයට එරෙහිව තෙලිගු දේසාම් පක්ෂය පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ආවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇති ගැටලුවලට නිසි විසඳුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වූ බවට චෝදනා කරමිනි. ක්‍රීඩා පුවත් 6. ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක්: ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර තරග සඳහා වසරක තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි වැඩි දුරට ත් දැක්වෙන්නේ නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තහනම පැනවූ බව ය. 7. වසර 8කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පළමු කඩුල්ලට ශතක සබඳතාවක්: ඊයේ දිනයේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළවන දිනය කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත් විය. අද දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 277කි. වසර 8කට පසුව මෙරට පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගීමට දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක අද සමත් විය. |
2018-07-20T20:11:19.000Z | ගම්මැද්ද V'Force ක්‍රියාන්විතය ලෝක උරුම සීගිරියෙන් ඇරඹීමට සියල්ල සූදානම් | ගම්මැද්ද V'Force ඇරඹීමට සියල්ල සූදානම් | COLOMBO (News 1st) - නිව්ස්ෆස්ට් - ගම්මැද්ද V'Force ක්‍රියාන්විතය අද පෙරවරුවේ ආරම්භවීමට නියමිත වේ. ඒ, ඓතිහාසික සීගිරි උතුරු පිවිසුම අසළිනි. ඈත දුෂ්කර ගම්මානවල සිටින ජනතාවගේ ගැටලු විසදීමේ අරමුණින් ගම්මැද්ද ක්‍රියාන්විතය අප ආරම්භ කළේ, මීට වසර දෙකකට පෙරයි. ඉන් නොනැවතුණු අප ගම්මැද්ද වැඩදහසක් ක්‍රියාන්විතය ආරම්භ කළේ, හඳුනාගත් ජනතා ගැටලුවලට සැබෑම විසඳුම් ලබාදෙමිනි. මේ වන විට ගම්මැද්ද වැඩදහසක් ක්‍රියාන්විතය යටතේ ජනතා අයිතියට පත් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව සිය ගණනකි. එහි තව ත් පියවරක් තබමින් ගම්මැද්ද VForce ක්‍රියාන්විතය අද, අප ආරම්භ කරන්නේ රටක් වෙනුවෙන් සුන්දර හෙටක් තැනීමේ ඒකායන පරමාර්ථයෙන් යුතුවයි. |
2018-07-20T11:39:01.000Z | රු. ලක්ෂ 96 අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු කොටුවෙයි | අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු කොටුවෙයි | COLOMBO (news 1st) - අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806 ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය මගිනි. අයිස් මත්ද්‍රව්‍ය රුපියල් ලක්ෂ 96කට අධික වටිනාකමින් යුත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. එම ඉන්දීය ජාතිකයා බැංගලෝර් සිට මෙරටට පැමිණෙමින් සිටියදී එලෙස අත්අඩංගුවට පත් විය. ඡායාරූපය - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය |
2018-07-20T08:08:42.000Z | වසර 8කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පළමු කඩුල්ලට ශතක සබඳතාවක් | වසර 8කට පසු පළමු කඩුල්ලට ශතක සබඳතාවක් | COLOMBO (News 1st) - වසර 8කට පසුව මෙරට පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගීමට දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක අද සමත් විය. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි අද එස්.එස්.සී. ක්‍රිඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය. අද දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 277කි. කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක ඉනිම ආරම්භ කළේය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබදතාව ලකුණු 116කි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් වසර 8කට පසුව මෙරට පැවැති ටෙස්ට් තරගයකදී ගොඩනැගූ ඉහළම ලකුණු සබදතාව මෙය වේ. කරුණාරත්න ලකුණු 53ක් රැස් කළේය. ගුණතිලක ලකුණු 57යි. කුසල් මෙන්ඩිස් ලකුණු 21කට පිටියෙන් ඉවත් විය. මේ අතර ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 5000 සීමාව අද පසු කළේය. මැතිව්ස්ට රැස් කිරිමට හැකි වූයේ ලකුනු 10ක් පමණි. ධනංජය ද සිල්වා තම දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය අද වාර්තා කළේය. රොෂේන් සිල්වාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 22ක් පමණි. කගීසෝ රබාඩා ටෙස්ට් කඩුලු 150 සීමාව අද පසු කළේය. කේෂව් මහරාජ් පන්දුවාර 32කදි ලකුනු 116ට කඩුලු 8ක් දවා ගත්තේය. |
2018-07-20T11:06:17.000Z | ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් | ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට ජාත්‍යන්තර තරග සඳහා වසරක තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි වැඩි දුරට ත් දැක්වෙන්නේ නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරිම හේතුවෙන් මෙම තහනම පැනවූ බව ය. මේ අතර ඔහුගේ වාර්ෂික ගිවිසුමට අදාළ මුදලින් 20%ක ප්‍රමාණයක් දඩ ලෙස නියම කළ බව ද අදාළ නිවේදනයේ දැක්වේ. |
2018-07-20T08:46:21.000Z | ගම්මැද්ද V'Force පළමු අදියර සීගිරියේදී බලගැන්වීමට සියල්ල සූදානම් | ගම්මැද්ද V'Force සීගිරියේදී හෙට ඇරඹෙයි | COLOMBO (News 1st) - මෙරට තරුණ නායකයින් බලගැන්වෙන නිව්ස්ෆස්ට් නවතම ක්‍රියාන්විතය ගම්මැද්ද වී ෆෝර්ස්... එහි පළමු අදියර හෙට සීගිරියේදී ආරම්භ වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර තිබේ. ගම්මැද්ද වැඩසටහන යටතේ වී ෆොර්ස් වැඩසටහන කරළියට පැමිණෙන්නේ මෙරට ස්වෙච්ඡා ක්‍රියාකාරීන්ට නායකයින් ලෙස ඉදිරියට යාමට අවස්ථාව උදාකර දෙමින්. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා ගම්මැද්ද ස්වෙච්ඡා වැඩසටහන මෙරට මාධ්‍ය ඉතිහාසයේත් ඒවාගේම ශ්‍රී ලංකාවේ ජාතික උරුමය සම්බන්ධයෙනුත් ඉතාම සුවිශේෂි වැඩසටහනක් ලෙස හදුන්වන්න පුළුවන්. මෙවැනි වැඩසටහන් සිරස මාධ්‍ය ජාලය මගින් සම්පාදනය කිරීම තුළින් මෙරට ජාතික උරුමය ආරක්ෂා කිරීමත් ඒවාගේම අපේ අනාගත පරපුර සදහා මෙවැනි උරුම ස්ථානවල වටිනාකම දායාද කිරීම සදහා ගන්නා ප්‍රයත්නය ඉතාම ප්‍රසංශනීය තත්ත්වයක් මේජර් එන්.ඒ.ඒ.ඒ. නිශාන්ත මහතා - ව්‍යාපෘති කළමනාකරු (මධ්‍යම සංස්කෘතික අරමුදල - සීගිරිය ව්‍යාපෘතිය) අපගේ නිලධාරීන් විසින් ඒ ශ්‍රමදානය අධීක්ෂණය කරනවා.ඒවාගේම එම වැඩසටහනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරි කාර්යාලයේ සහයෝගයද මේ අධීක්ෂණ කටයුතු සදහා අපට ලබාදෙනවා. ඉතින් අපි මේකට ආරාධනා කරනවා සීගිරියට ඇලුම් කරන සීගිරියට ආදරය කරන යම් පිරිසක් ඉන්නවා නම් ඒ ගම්මැද්ද විසින් සංවිධානය කරනු ලබන මෙම ශ්‍රමදානයට සහභාගීවෙලා මේ වැඩසටහනට එකතු වෙන ලෙස. මේ අතර බේරේ වැව සහ ඒ අවට කලාපය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නෝ කුණු ව්‍යාපෘතිය හා එක්ව ගම්මැද්ද වී ෆෝර්ස් හෙට සිදු කෙරේ නෝ කුණු නිර්මාතෘ සුමී මුණසිංහ මහතා හෙට උදේ 8ට අපි පටන් ගන්නවා බේරේ ලේක් එකේ සීමා මාලකයෙන්. මට හරිම සන්තෝෂයි වී ෆෝර්ස් එක ගැන මොකද මේ වොලන්ටිය ෆෝර්ස් එක දැන් යනවා සීගිරිය සුද්ද කරන්න. මේ කිසි කෙනෙක් සල්ලිවලට නෙවෙයි.ඔක්කෝමලා වොලන්ටියර් කරලා එන්නේ මේක බොහොම හොඳයි |
2018-07-20T10:42:42.000Z | ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග | ගෝඨාභය අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග | COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට සැප්තැම්බර් 7 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසී යැවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියෝග කළේය. තංගල්ල වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් රුපියල් මිලියන 81 ක් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද යළි විමසා බැලුවේය. නීතිපති උපදෙස් පරිදි නඩුව ගොනුකර තිබුණේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයයි. ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, උදුලාවතී කමලදාස, කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, දේවක මහින්ද සාලිය, ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධිර යන මහත්ම මහත්මීන් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අමරතව නොතීසි නිකුත් කළ අනෙක් පාර්ශවයන් වේ. |
2018-07-20T10:37:09.000Z | ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉවත් නොකරන බව රජය කියයි | ගාල්ල ක්‍රිඩාංගණය ඉවත් නොකරන බව රජය කියයි | COLOMBO (News 1st) - යුනෙස්කෝ සංවිධානයේ අවධානය යොමු වී ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පලවිය. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ගාලු ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ගහන්න එපයි කියලා යුනෙස්කෝ එක කියන්නෙ නෑ. හැබැයි ගාලු භූමිය ඇතුළත ඒ හිස් අවකාශෙට විවෘත වෙලා තියෙන්නෙ ඕනෙයි කියන එක තමයි යුනෙස්කෝ එකේ නීතිය.දැන් ඒක උල්ලංගණය වෙලා තියෙන්නෙ 2006 වසරේ මේ ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්ෂ පැවිලියන් කියලා අනවසර ඉදි කිරීමක් කරලා තියෙනවා. ඒ අනවසර ඉදි කිරීම ඉවත් කරන්න කියලයි යුනෙස්කෝ සංවිධානය දැනුම්දීලා තියෙන්නෙ. මහින්ද රාජපක්ෂ පැවිලියන් තියාගෙන ලෝක උරුම ලැයිස්තුවෙන් මේක කපා ගන්නවද කියලා තමයි දැන් තියෙන ප්‍රශ්නය එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මම එවකට නාගරික සංවර්ධන ඇමතිතුමා. ප්‍රශ්නෙ කලින්ම යුනෙස්කෝ ගෙනාව වෙලාවෙ අපි කතා කළා. ඕක මහින්ද රාජපක්ෂ මැතිතුමා හදපු එකක් නෙමෙයි.වෙන කණ්ඩායමක් ඇති කළා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඒ අවස්ථාවෙදි යූ ඩී එක, යුනෙස්කෝ සංවිධානය, ක්‍රිකට් බෝඩ් එක මේ සියළු දෙනා කතා කරලා එකඟතාවයක් ආවා මින් එහාට ඉදිකිරීම් කරන්නෙ නෑ. මේකෙන් තමයි නවත්තන්නෙ කියලා. ඒ හින්දා එදා ඒ ප්‍රශ්නෙ ඉවර වුණා. හැබැයි එදත් අද ඕක කඩන්න උත්සහ කරන එක්කෙනාට ඕන කරලා මේ පිට්ටනිය කඩලා ගෙනියන්නම තමයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ගාමිණී ලොකුගේ ඇමතිතුමා කියපු ස්ථාවරයනම් අපිට පිළිගන්න බෑ. යුනෙස්කෝ එකේ ස්ථාවරය වෙනස් වෙලා නෑ. ගාලු නගර සභාව නෙමෙයි යුනෙස්කෝව කියන්නෙ. පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හෙට අනිද්දා මේක කඩන්නෙත් නැහැ. මං වගකීමකින් කියනවා ක්‍රීඩා ඇමති හැටියට විජයදාස රාජපක්ෂ ඇමතිතුමා සහ සාගල රත්නායක ඇමතිතුමත් එක්ක අපි සාකච්ඡා කරලා රටට සුබදායී තීන්දුවක් ගමු. ඒ වගේම අපිට 2019 සැප්තැම්බර් මාසෙ වෙනකන් අපිට කාලෙ තියෙනවා වාර්තා කරන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා 2004 සුනාමියෙන් පස්සෙ අපි කොග්ගල ප්‍රදේශයේ තැන් අඳුන ගත්තා. ඒ තැන ඉදි කෙරුණෙ නෑ. තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඒ සැලැස්ම අත ඇරලා නෑ.නමුත් මේ ගාල්ල නගරයේ මැද තියෙන මේ ක්‍රීඩා පිටිය කිසිසේත් ඉවත් කරන්න සැලැස්මක් නෑ.ඒක ඒ විදිහටම පවත්වන්නෙ ඒක තවත් දියුණු කරන්නෙ පාසල් ළමුන්ට, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍ය අවස්ථා වලදි ඒකට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ගොඩනැගිල්ල හදන වෙලාවෙ කිව්වා මේ ගොඩනැගිල්ල හදන්න එපා කියලා. හැබැයි ක්‍රිකට් පාලන මණ්ඩලයේ ගාල්ලෙ ඉන්න කට්ටියක් එක්කහු වෙලා මේ, මොකද එතනින් තමයි මුදල් හොරකම් කරන්නෙ. මේ පැවිලියන් එක හදලා අනවශ්‍ය විදිහට හැදුවට පස්සෙ මේක කඩන්න කිව්වා. කඩන්න යනකොට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ නම ගිහිල්ලා ඒකෙ ගැහුවා. ඊට පස්සෙ ඕක කැඩුනෙ නෑ. අළුත් තාක්ෂණයක් එක්ක අර ඉතාමත් ඉක්මනින් හදන්න පුළුවන් දෙයක් හදලා ඒක ඉවත් කර ගන්න පුළුවන් ක්‍රවේදයක් ඇතිබ කර ගන්න ඕනෙ. මොකද මේ ලෝක උරුමය නැති කර ගන්නත් බෑ. අනිත් එක ක්‍රිකට් පැත්තෙන් බලපුවම මේ ක්‍රීඩාංගණය හුඟාක් වෙලාවට අපිට වාසිදායක ක්‍රීඩාංගණයක්. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කොග්ගල එකත් හදන්න බලාපොරොත්තු වෙනවා ගාල්ල නගරයේ තියන ක්‍රීඩාංගනයත් ආරක්ෂා කරගන්නවා.අනවශ්‍ය ඉදිකිරීම් විතරක් ඉවත් කරලා ලෝක උරුමය රැක ගන්න ඕනේ |
2018-07-20T02:00:43.000Z | ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට මහේලත් විරුද්ධ වෙයි | ගාල්ල ක්‍රීඩාංගණය ඉවත් කිරීමට මහේලත් විරුද්ධ වෙයි | COLOMBO (News 1st) - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව නැවතත් අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටීම හේතුවෙන් එය මේ වන විට ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ අසමසම ක්‍රීඩාංගණයක් බවට පත්ව ඇති බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු සාර්ථකම ක්‍රීඩාංගණයක් බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය. එම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව නැවතත් අවධානය යොමු කරන ලෙස තමන් කාරුණිකව ඉල්ලා සිටින බව මහේල එහි සඳහන් කර තිබේ. |
2018-07-20T01:26:22.000Z | ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ ගල් කොරියකට බලපත්‍ර ලබා දීමට යාමේදී උණුසුම් තත්ත්වයක් | ගල් කොරියකට බලපත්‍ර දීමට යාමේදී උණුසුම් තත්ත්වයක් | COLOMBO (News 1st) - ගාල්ල වඳුරඹ කීඹිකන්ද ලිට්නස්වත්ත ප්‍රදේශයේ ගල් කොරියකට බලපත්‍ර ලබා දීම සඳහා පරීක්ෂණාත්මක පිපිරීමක් සිදු කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශ නිලධාරීන් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය. අප වාර්තාකරු පැවසුවේ, මීට පෙර ද මෙම ගල් කොරිය සඳහා බලපත්‍ර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මෙවැනිම උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ය. අනතුරුව ගල් කොරියට බලපත්‍ර ලබා දීම සඳහා පරීක්ෂණාත්මක පිපිරීමක් සිදු කිරීමට පැමිණි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශ නිලධාරීන් බලපත්‍ර නොදී පිටව ගොස් තිබේ. |
2018-07-19T23:43:56.000Z | තරුණයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ පාතාල කල්ලි සාමාජිකයෙකුට මරණ දඬුවම | තවත් පාතාල කල්ලි සාමාජිකයෙකුට මරණ දඬුවම | COLOMBO (News 1st) - තරුණයින් තිදෙනෙකු ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි පැවසෙන මෙහොමඩ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැත්තාට අද මරණ දඬුවම නියම කෙරිණි. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී තරුණයින් 3 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ, 2006 වසරේ නොවැම්බර් 2 වන දා ය. |
2018-07-19T23:10:32.000Z | මහියංගනයේදී වැලි ගොඩකට යට වීමෙන් පුද්ගලයෙකු මරුට | මහියංගනයේදී වැලි ගොඩකට යට වීමෙන් පුද්ගලයෙකු මරුට | COLOMBO (News 1st) - මහියංගනය අක්කර 80 ප්‍රදේශයේදී වැලි ගොඩකට යට වීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මහවැලි ගඟ අසල කැණීම් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව ය. මිය ගොස් ඇත්තේ, මහියංගනය ප්‍රදේශයේ ම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක ය. |
2018-07-19T22:24:26.000Z | ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය අද ඇරඹේ | ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය අද | COLOMBO (News 1st) - අද ආරම්භ වන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාවට එරෙහිව ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය මනා පිටිවහලක් වන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ සවස පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වේ. ඒ, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 278කින් ජය ගත්තේ ය. අද ආරම්භ වන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්නේ වසර 12කට පසුව ය. ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගෙන තිබෙන්නේ, 2006 වසරේදී ය. පසුගිය 2016 /2017 තරග වාරයේදී කණ්ඩායම් දෙක අවසන් වරට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකදී එකිනෙකා මුණගැසී ඇති අතර එම තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ගත්තේ ය. දෙරට අතර අවසන් වරට මෙරටදී 2014 වසරේ ටෙස්ට් තරගාවලියක් පැවැති අතර එම තරගාවලිය ද තරග 1ට 0 ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ දකුණු අප්‍රිකා කණ්ඩායම යි. දෙරට අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිත ය. |
2018-07-19T22:11:57.000Z | ඉන්දීය අගමැති මෝදිගේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය අද | මෝදිගේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය අද | (News 1st) - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව තෙලිගු දේසාම් පක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පැවැත්වේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, විශ්වාසභංග විවාදය අද පෙරවරු 11.00ට ආරම්භ කෙරෙන බව ය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයට එරෙහිව තෙලිගු දේසාම් පක්ෂය පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ආවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇති ගැටලුවලට නිසි විසඳුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වූ බවට චෝදනා කරමිනි. කෙසේ වෙතත් විශ්වාසභංගය ජය ගැනීමට නම් මෝදි රජය ඉන්දීය පාර්ලිමේන්තුවේ සභිකයින් 533න් 267ක බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතු වේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ඉන්දීය කොංග්‍රස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක සභිකයින් 152 දෙනෙකු විශ්වාසභංගයට සහය දක්වන බව ය. |
2018-07-19T20:13:10.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. දකුණු පළාතේ සිදුවූ විවිධ අපරාධවලට සම්බන්ධ තොරතුරු රැසක් අර්ජුන් ඇලෝසියස් රඳවා සිටි බන්ධානාගාර වාට්ටුවේ තිබී සොයාගත් ජංගම දුරකතන හා සිම් කාඩ්පත් පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නේ ය. 2. අල්ලස් චෝදනාවකට වරදකරු වූ අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේ ය. 3. මත්තල ගුවන් තොටුපොළේ හිමිකාරීත්වය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේ ය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, යුද ගුවන් යානා යුදමය කටයුුතු හා සම්බන්ධ කිසිවකට ගුවන්තොටුපොළ භාවිත කිරිමට අවසර නොදෙන බවයි. 4. මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ශ්‍රී ලංකා රජයේ වියදමින් රුපියල් දෙකෝටියකට අධික සුඛෝපභෝගී නිවාඩුක් ගත කිරීම සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකුට දින 30 ක් එරට පාර්ලිමේන්තුව තහනම් කර තිබේ. 5. චීන සමාගම්වලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ට ලැබුණු බව කියන මුදල් පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ ය. විදෙස් පුවත් 6. තුර්කියට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. වසර දෙකක කාලයක් ක්‍රියාත්මක වූ එම හදිසි තත්ත්වය පැනවීමට මුල් වූයේ, 2016 වසරේ තුර්කි ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයයි. ක්‍රීඩා පුවත් 7. තමා වයස අවුරුදු 40වන තෙක් තරග බිමෙන් සමුගැනීමේ සූදානමක් නොමැති බව බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා පවසයි. |
2018-07-19T19:55:33.000Z | අද රාත්‍රී 9.00 සිට කොළඹට පැය 9ක ජල කප්පාදුවක් | අද රාත්‍රී 9.00 සිට කොළඹට පැය 9ක ජල කප්පාදුවක් | COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 9.00 සිට හෙට උදෑසන 6.00 දක්වා පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. බේස්ලයින් පාරේ කැලණි පාලම මංසන්ධියේ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ අතුරු මාර්ග ,හෙට්ටිවීදිය සහ සියලු අතුරු මාර්ග මෙන් ම කොළඹ 13, 14, හා 15 යන ප්‍රදේශවලට ඒ අනුව ජල සැපයුම අත්හිටවනු ඇති. මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය. |
2018-07-19T19:42:52.000Z | ඉදිරි මැතිවරණය පිළිබඳ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී | ඉදිරි මැතිවරණය පිළිබඳ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද | COLOMBO (News 1st) - ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් වන පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වේ. ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම රැස්වීම අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බව ය. එහිදී ඉදිරි මැතිවරණ පවත්වන ක්‍රමවේදය ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය. |
2018-07-19T10:19:46.000Z | හිටපු ප්‍රා. ලේකම්වරයෙකුට පස් වසරක සිර දඬුවම් | හිටපු ප්‍රා. ලේකම්වරයෙකුට පස් වසරක සිර දඬුවම් | COLOMBO (News 1st) : අල්ලස් චෝදනාවකට වරදකරු වූ අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද වසර 5 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේ ය. ඒ ගල් කොරියක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීමට නිර්දේශ ලබාදීම සඳහා ගල්කොරි හිමිකරුවෙකුගෙන් රුපියල් පනස් දහසක අල්ලසක් ඉල්ලා සිටීම සහ එය ලබා ගැනීම යන අධිචෝදනා දෙකකට වරදකරු කරමිනි. ඊට අමතරව රුපියල් දස දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා අල්ලස් ලෙස ලබාගත් රුපියල් පනස් දහසක මුදල දණ්ඩනයක් ලෙස අධිකරණයට අයකර ගැනීමටත් එහිදී නියෝග කළේ ය. 2012 මැයි මස 12 වන දා අකුරණ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස රාජකාරී කරමින් එකී අල්ලස් ලබාගෙන ඇතැයි පැමිණිල්ලේ සඳහන් ය. |
2018-07-19T10:13:25.000Z | මත්තල ඉන්දියාවට දීම ගැන ඇමති කරුණු පහදයි | මත්තල ඉන්දියාවට දීම ගැන ඇමති කරුණු පහදයි | COLOMBO (News 1st) : මත්තල ගුවන් තොටුපොළේ හිමිකාරීත්වය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේ ය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, යුද ගුවන් යානා යුදමය කටයුුතු හා සම්බන්ධ කිසිවකට ගුවන්තොටුපොළ භාවිත කිරිමට අවසර නොදෙන බවයි. ඉන්දියන් එයාර්පෝට් ඔතෝරටි එක මේක විකුනන්න නෙවෙයි ජොයින් වෙන්චර් එකකට හවුල් ව්‍යාපාරයක් වශයෙන් මෙය දියුණු කිරීමට කැමැත්ත ප්‍රකාශකරලා යෝජනාවක් ඉදිරිපත් කළා හවුල් ව්‍යාපාර සමාගමක් හදලා එහි වටිනාකමින් සියයට 70 ක කොටස් ඉන්දීය ගුවන්තොටුපල අධිකාරිය මිලදී ගැනීමටත් ඒ මිලදී ගන්නා මුදල් වලින් මේ තියන ණය කන්දරාව ගෙවලා දාන්න මේ කියන ආකාරයට යුදගුවන් යානා යුදමය කටයුුතු ඒ හා සම්බන්ධ කිසිම දේකට මේ ගුවන් තොටුපල පාවිච්චි කරන්න අපි ඉඩදෙන්නේ නැහැ .ගුවන් ගමන් පත හැසිරවීම කිසිම පිටරැටියෙකුට එන්න බැහැ . මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේ ය. |
2018-07-19T09:40:22.000Z | ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුදලින් මෙරට කළ සංචාරයක් නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකුට අසුන අහිමිවන ලකුණු | මෙරට සංචාරය කළ බ්‍රි.මන්ත්‍රීට අසුන අහිමිවෙයිද? | COLOMBO (News 1st) : මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ශ්‍රී ලංකා රජයේ වියදමින් රුපියල් දෙකෝටියකට අධික සුඛෝපභෝගී නිවාඩුක් ගත කිරීම සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකුට දින 30 ක් එරට පාර්ලිමේන්තුව තහනම් කර තිබේ. මේය බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකුට පනවන ලද දීර්ඝතම පාර්ලිමේන්තු තහනමක් බව විදෙස් වාර්තාවන්හි සඳහන් ය. ඉයන් පේස්ලි මන්ත්‍රීවරයාට මෙම තහනම පනවා ඇත්තේ 2013 වසරේ දී සිය පවුලේ සාමාජිකයින් සුඛෝපභෝගි නිවාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් විස්තර හෙළි නොකිරීම හේතුවෙනි. බ්‍රිතාන්‍යයේ ඩී.යු.පී. පක්ෂයේ මන්ත්‍රී ඉයන් පේස්ලි 2013 වසරේ දී දෙවතාවක් ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සිය පවුල සමග නිවාඩු ගත කළ බව ද ටෙලිග්‍රාෆ් පුවත්තේ පසුගියදා හෙළිදරව්කර තිබිණ. දඬුවමට ලක්වූ මන්ත්‍රීවරයා යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එනු ලැබූ යෝජනාවට අදාළව ශ්‍රී ලංකාවේ රජයට වාසිදායක අන්දමින් කටයුතු කරන ලෙස ඉල්ලා එවක අගමැති ඩේවිඩ් කැමරන්ට බලපෑම් කළ අයෙකු බව සඳහන් ය. චෝදනා විභාග කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආචාර ධර්ම කමිටුව මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය මුදල් ලබාගෙන බලපෑම් කිරීමක් ලෙසින් හඳුන්වමින් එමගින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කළ බවට තීන්දු කර තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ඔහුට දක්වන ලද පුද්ගලික ආගන්තුක සත්කාරය ඔහු කරන මැදිහත්වීම් සම්බන්ධයෙන් බලපෑමක් කිරීමට සමත් වේ යයි, අන් අය විසින් සිතනු ලැබීම සාධාරණ බව කමිටුවේ සභාපතිනි කැතරින් ස්ටෝන්ගේ නිගමනයයි. මේ අතර අකුරණ ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කළ මොහොමඩ් හනිෆා මොහොමඩ් නියාස්ට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහින් කුලතුංග මහතා විසින් වසර 05 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියමකර තිබේ. ඒ 2012 වසරේදී ගල්වලක් පවත්වාගෙන යෑම සඳහා අකුරණ ප්‍රාදේශීය සභාවෙන් නිකුත්කරන ලද බලපත්‍රයක් වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරදීම පදනම් කරගනිමින් රුපියල් 50000 ක් ලබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. |
2018-07-19T08:56:17.000Z | හිටපු ජනපති සහ චීන ගනුදෙනු ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක් | අනුර කුමාරගෙන් පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් | COLOMBO (News 1st) : චීන සමාගම්වලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ට ලැබුණු බව කියන මුදල් පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කළේ ය. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳට චීනයට බහුතර කොටස් ප්‍රමාණයක් හිමි CICT සමාගම 2012 වසරේ මැයි මස 5 වන දා HSBC බැංකුවේ ඩොලර් ගිණුමකින් ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ පනස් දහසක් එම බැංකුවේම රුපියල් ගිණුමට මාරුකර තිබේ. චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ පවත්වාගෙන ගිය 01335919019 අංකය දරණ ගිනුමෙන් 2014 දෙසැම්බර් 12 වනදා 981321 දරණ චෙක්පතින් තුන්කෝටි අනූලක්ෂ හැත්තෑපන් දහසක් ඊ.එච්.ආර්.එස් ෆ්‍රැන්සිස්කු නමැති අයෙකුට ලබාදී ඇතැයි මෙහිදි අනාවරණය විය. 2015 ජනවාරි 7 වන දා තවත් රුපියල් කෝටියක චෙක්පතක් ඔහුට ලබාදී තිබේ. නොරොච්චොලේ ඉදි කළ චයිනා මැෂිනරි කෝපරේෂන් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාටර්ට් බැංකුවේ 1358988-01 අංකය දරණ ගිණුමෙන් 2015 ජනවාරි 1 වනදා තවත් රුපියල් දොලොස් ලක්ෂ අනූපන්දහසක් ඩී.එස් ජයසිංහ නමැති අයෙකුට ලබාදී තිබේ. චීනයේ මෙම ක්‍රියාකාරකම් ගැන අප අවස්ථා ගනණාවකදී අනාවරණය කළේ, ලෝකයේ සෙසු රටවල ද අත්දැකීම් සමගයි. චීනය ආර්ථික වශයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ඕනෑතරම් උදාහරණ තිබියදීත් වත්මන් ආණ්ඩුව ද යළිත් ඔවුන් සමගම කටයුතු කිරීමට පියවර ගනිමින් සිටී. ජනාධිපතිවරණයට පෙර චීන ව්‍යාපෘති ගැන විවේචනය කළ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි වහා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අත්හිට වූ ටික දිනකින් නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ ය. හම්බන්තොට වරාය චීන සමාගමට 99 අවුරුදු බදු පදනමට ලබාදුන්නේ ඒ වෙනුවෙන් ගත් ණය මුදල රටට බරක්ව ඇති බව පවසමිනි. මේ අනුව චීනයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමවන අයුරින් පිහිටුවාගත් සමාගමකට වරාය පවරා තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා දැනටමත් චීන එක්සිම් බැංකුවෙන් ණයක් ලබාගැනීමට එකඟතාව පළකර ඇති අතර එහි ඉදිකිරීම් ද චීන සමාගමකට පැවරීමට සූදානමින් සිටී. අගමැතිවරයා පසුගිය දිනවල ප්‍රකාශ කළේ, විදුලිය හා ස්වභාවික ද්‍රව වායු සැපයීමේ ව්‍යාපෘති සඳහා ද ආයෝජනය කිරීමට චීනය සූදානමින් සිටින බවයි. චීන සමග මේ ආණ්ඩුව බොහෝ ව්‍යාපෘති පනගැන්වීම හා අලුතින් ඇරඹීමට සැළසුම් සකස් කළේ, අගමැතිවරයා ප්‍රධානත්වය දරන මලික් සමරවික්‍රම ඇමතිවරයා ද සිටින ආර්ථික කළමනාකරණ කැබිනට් අනුකමිටුව හරහායි. අපේ රටේ දේශපාලනඥයින් පාඩම් ඉගෙන ගන්නේ කවදා ද? |
2018-07-19T06:02:41.000Z | පෞ. ටැංකි රථ හිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළට | පෞ. ටැංකි රථ හිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළට | පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කළේ, පසුගිය ජුනි මස 15 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම දීමනාව ඉහළ දමා ඇති බවයි. ඉන්ධන මිල ඉහළ යාමත් සමග පෞද්ගලික ටැංකි රථ හිමියන්ට මුහුණ දීමට සිදුවන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ යටතේ ධාරිතාව අනුව රුපියල් 12.43 කින්, රුපියල් 16.43 කින් සහ රුපියල් 20කින් ප්‍රවාහන දීමනාව ඉහළ දමා තිබේ. |
2018-07-19T05:55:01.000Z | 40 වන තෙක් සමුදීමට සූදානමක් නැති ඇන්තනි ජොෂුවා... | 40 වන තෙක් සමුදීමට සූදානමක් නැති ඇන්තනි ජොෂුවා... | (News 1st) - තමා වයස අවුරුදු 40වන තෙක් තරග බිමෙන් සමුගැනීමේ සූදානමක් නොමැති බව බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා පවසයි 28 හැවිරිදි ඇන්තනි ජොෂුවා වෘත්තීය බොක්සිං ක්‍රීඩකයින්ගේ සංගමයේ සුපිරි බඳ පටිය, අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ වෙනුවෙන් ඉදිරියේදී තරග කරයි. ඒ, රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් සමගිනි. එම තරග ලබන 22 වන දා එංගලන්තයේ වෙම්බ්ලිහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඇන්තනි ජොෂුවා මේ වන විට හෙවිවේට් ලෝක කිරුළට හිමිකම් කියන අතර පසුගිය වසරේදී ඔහු එම ශූරතාව දිනා ගත්තේ යුක්රේනයේ ව්ලැදිමීර් ක්ලිෂ්කෝ පරාජය කරමිනි. හිටපු සුපිරි ක්‍රීඩකයින් මෙන් ම තමන්ට ද 40 වැනි විය වන තෙක් තරග බිමේ රැඳී සිටීමට හැකි වනු ඇතැයි ජොෂුවා විශ්වාසය පළ කරයි. |
2018-07-19T05:27:57.000Z | මහ කන්නයේ වගා හානිවලට වන්දි මුදල් | මහ කන්නයේ වගා හානිවලට වන්දි මුදල් | COLOMBO (News 1st) : මහ කන්නයේ වගා හානි සඳහා වූ වන්දි මුදල් මේ මස අවසන්වීමට පෙර ගොවීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කළේ, රුපියල් මිලියන 1800ක මුදලක් ඒ සඳහා වෙන්කර ඇති බවයි. හෙක්ටර්යාර් එක්ලක්ෂ අනු අටදහසකට අධික වගා බිම් ප්‍රමාණයක් මෙවර හානි වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. වීරසිංහ මහතා පැවසුවේ, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් වගා හානි තක්සේරු කිරීමේ කටයුතු සිදු කරන බවයි. |
2018-07-19T05:11:15.000Z | අර්ජුන් ඇලෝසියස්ගේ කොට්ට යටින් හමුවූ දුරකතන හා සිම්වලින් දකුණේ අපරාධ ගැන තොරතුරුත් එළියට | ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) : දකුණු පළාතේ සිදුවූ විවිධ අපරාධවලට සම්බන්ධ තොරතුරු රැසක් අර්ජුන් ඇලෝසියස් රඳවා සිටි බන්ධානාගාර වාට්ටුවේ තිබී සොයාගත් ජංගම දුරකතන හා සිම් කාඩ්පත් පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. පසුගිය ජුනි 29 වන දා බන්ධනාගාර නිලධාරින් විසින් අර්ජුන් ඇලෝසියස් මහතා රඳවා සිටින එච් වාට්ටුව පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන 3 ක සහ සිම් කාඩ්පත් 5 සොයා ගැනිණ. එහි විශ්ලේෂණ වාර්තාවට අනුව අභ්‍යන්තර තොරතුරු අනාවරණය වු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අද අධිකරණයට පෙන්වා දුන්නේ ය. දකුණු පළාතේ සිදුවූ විවිධ අපරාධවලට සම්බන්ධ තොරතුරු එමගින් අනාවරණය වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දිර්ඝ ලෙස පරික්ෂණ පවත්වා ඊට අදාළ කරුණු අධිකරණ හමුවේ වාර්තා කිරීමට අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා මහැංකුවේ ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහබැංකු බැඳුම්කර වෙන්දේසිවලදී ශ්‍රී ලංකා මහැංකුව විසින් නිකුත් කර ඇති මුල්‍ය රෙගුලාසි සහ මධ්‍යම තැන්පතු ක්‍රමය අනුගමනය නොකර නීති විරෝධී ආකාරයෙන් මුදල් ගණුදෙනු කිරීමෙන් මුදල් පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නා ය. අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවන් ලබන 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. |
2018-07-19T02:12:16.000Z | කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි | කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි | COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා හෙට රාත්‍රි 9.00 සිට අනිද්දා පෙරවරු 6.00 දක්වා පැය 9 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව බේස්ලයින් පාරේ කැලණි පාලම මංසන්ධියේ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධිත අතුරු මාර්ග, හෙට්ටි වීදිය සහ සියලු අතුරු මාර්ග මෙන්ම කොළඹ 13, 14 හා 15 යන ප්‍රදේශවලට ජල සැලයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය. |
2018-07-19T01:34:16.000Z | කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් යළි ඇරඹේ | කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් යළි ඇරඹේ | COLOMBO (News 1st) - පසුගිය සඳුදා සිට නවතා දමා තිබූ කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදු කිරීම යළි ආරම්භ කර තිබේ. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ, ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් යළි සැත්කම් සිදු කිරීම ආරම්භ කළ බවයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ අක්‍රියවී ඇති වායු සමීකරණ පද්ධතියේ ගැටලුවට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පසුගිය දා සැත්කම් සිදු කිරීම නතර කළේ ය. පසුව අදාළ ගැටලුව විසඳීම සඳහා සමාගමක් වෙත පවරා ඇති අතර එම සමාගම වායු සමීකරණ පද්ධතිය මාස දෙකහාමාරක් තුළ පිළිසකර කර දෙන බව එකඟවී ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව හෘද සැත්කම් සිදු කිරීම ඊයේ දිනයේ යළි ආරම්භ කෙරුණි. |
2018-07-18T22:41:03.000Z | වසර දෙකක් පැවති තුර්කියේ හදිසි තත්ත්වය ඉවතට | වසර දෙකක් පැවති තුර්කියේ හදිසි තත්ත්වය ඉවතට | තුර්කියට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. වසර දෙකක කාලයක් ක්‍රියාත්මක වූ එම හදිසි තත්ත්වය පැනවීමට මුල්වූයේ, 2016 වසරේ තුර්කි ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයයි. එම හදිසි තත්ත්වය යටතේ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපළ වූ පුද්ගලයන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම මෙන් ම රැකියාවලින් ඉවත්කිරීම ද සිදු කෙරුණි. කුමන්ත්‍රණයට සම්බන්ධ බවට අමෙරිකාවේ රැකවරණය ලබන පූජක ෆෙතුල්ලා ගුලෙන්ට චෝදනා එල්ල වූ නමුත් ඔහු එය දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය. කෙසේ වෙතත් ප්‍රතිඥා දුන් පරිදි වරින් වර සත් වරක් දීර්ඝ කිරීමට බඳුන් වූ එම හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ නොකරන බව ජනපති රිසෙප් තයීප් අර්ඩොගන් පැවසී ය. |
2018-07-18T20:23:01.000Z | විපක්ෂයේ නිල අයිතිය දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක් | ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක් | COLOMBO (News 1st) - විපක්ෂයේ නිල අයිතිය ලබා දෙන්නැයි ඉල්ලා කථානායකවරයාට ලිපියක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා ප්‍රකාශ කළේ, විපක්ෂයේ අයිතිය පිළිබඳව තම මන්ත්‍රී කණ්ඩායම ඊයේ කථානායක කරූ ජයසූරිය මහතා හමුවී සාකච්ඡා කළ බවයි. ඒ අනුව අදාළ ඉල්ලීම ලිඛිතව ලබා දෙන ලෙස කථානායකවරයා තම කණ්ඩායමට දැනුම් දුන් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය. ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ, මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සනින් යුතුව අදාළ ලිපිය භාරදෙන බවයි. |
2018-07-18T20:09:29.000Z | උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | COLOMBO (News 1st) - උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවයි. ඊයේ රාත්‍රීයේ මෙම දුම්රිය පීලිපැනීම සිදු විය. දුම්රිය පීලිගත කිරීමට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය. |
2018-07-18T19:59:50.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | 1. ETI අධ්‍යක්ෂවරුන් 4දෙනෙකුට විදේශගතවීම තහනම්: එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකුට විදේශගතවීම වළක්වමින් අධිකරණය පැන වූ තහනම දින නියමයක් නොමැතිව දිර්ඝ කර තිබේ. ඒ, අද එම නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. 2. ගෝඨාභය ගැන මහින්දගේ නමින් අසත්‍ය ලියවිල්ලක් පළ කර ඇතැයි පැමිණිල්ලක්: ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළැයි පවසා ව්‍යාජ ලෙස සකස් කළ නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පිළිබඳව එම පාර්ශව ආයතන කිහිපයකට පැමිණිලි කිරීමට උත්සාහ කළේ ය. මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කරන ලදැයි පවසා ප්‍රසිද්ධ කර ඇති මෙම ලියවිල්ලේ සඳහන් වන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කර ඇති බවයි. 3. newsfirst.lk රන් සම්මානයෙන් පිදුම් ලබයි: බෙස්ට් වෙබ් 2018 – සම්මාන උළෙලේදී නිව්ස්ෆස්ට් මෙවර රන් සම්මාන 2ක් හිමි කර ගනු ලැබිණි. ප්‍රවෘත්ති වෙබ් අඩවියක් මෙම සම්මාන උළෙලේ සමස්ත අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය හිමි කර ගත්තේ පළමු වරටයි. හොඳම මාධ්‍ය, ක්‍රීඩා සහ විනෝදාත්මක වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය ද newsfirst.lk වෙබ් අඩවියට මෙවර හිමිවිය. සම්මාන උළෙල පැවැත්වූයේ, කොළඹ ගලදාරි හෝටලයේදීයි. 4. බස්නාහිර පළාත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වැඩ වර්ජනයක: බස්නාහිර පළාත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, ජ්‍යේෂ්ඨ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් පිරිසකට ගම් ප්‍රදේශවලට ස්ථාන මාරු ලබා නොදී නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පිරිසකට සිය ගම් ප්‍රදේශ ආසන්නයට පත්වීම් ලබා දීමට විරෝධය පළ කරමිනි. විදෙස් පුවත් 5. රුසියාවේ මැදිහත්වීම පිළිබඳව ට්‍රම්ප්ගේ දෙබිඩි පිළිවෙත: 2016 වර්ෂයේ අමෙරිකාවේ පැවති ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා දෙරටේ නායකයෝ ප්‍රතික්ෂේප කරති. පසුගිය සඳුදා ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර පැවති හමුවෙන් පසු කළ මාධ්‍ය සාකච්ඡාවේදී, රුසියාව කිසිදු ලෙස අමෙරිකානු හෝ වෙනත් රටක මැතිවරණ කටයුතුවලට මැදිහත් වී නොමැති බවට ජනපති පුටින් ප්‍රකාශ කළේ ය. ඉන් දිනකට පසුව ජනපති ට්‍රම්ප්, අමෙරිකානු බුද්ධි අංශ විසින් නිගමනය කළ මෙම කාරණය තමන් පිළිගන්නා බවට කළ ප්‍රකාශය මේ වන විට සියලු දෙනාගේ අවධානයට ලක් ව තිබේ. ව්‍යාපාරික පුවත් 6. පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව මේ වසරේ කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්: පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මෙරට කොටස් වෙළෙඳපොළ ඒකක 6398 ක් දක්වා 4.1%කින් පහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. රුපියල අවප්‍රමාණයවීම, ආර්ථිකය තුළ පැවති මන්දගාමීත්වය හා කොළඹ කොටස් වෙළෙඳපොළ තුළින් විදේශීය ආයෝජකයින් පිරිසක් ඉවත්වී යාම වැනි කරුණු කොටස් වෙළෙඳපොළේ ඇති වූ පහළ යාමට හේතුව බව එම වාර්තාවේ සඳහන් ය. |
2018-07-18T12:19:25.000Z | ඊටීඅයි අධ්‍යක්ෂවරුන් 4කට විදේශගතවීම තහනම් | ඊටීඅයි අධ්‍යක්ෂවරුන් 4කට විදේශගතවීම තහනම් | එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකුට විදේශගතවීම වළක්වමින් අධිකරණය පැනවූ තහනම දින නියමයක් නොමැතිව දිර්ඝ කර තිබේ. ඒ අද එම නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවු අවස්ථාවේදීයි. මේ නියෝගයට ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින එදිරිසිංහ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකුට විදේශගතවීම තහනම් වනු ඇති. කොටුව මහේස්ත්‍රාත්වරිය අද ඔවුන්ට නියෝග කළේ ඊ ටි අයි ආයතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි. මෙම අධ්‍යක්ෂවරුන් 4 දෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර පියවර ගනු ලැබුවේ නීතිපතිවරයා අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීය. ඊ. ටි. අයි. ආයතනය 2011 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇත්තේ මුල්‍ය නීතිවලට පටහැනි ආකාරයෙන් බව බැංකු නොවන මුල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා නීතිපති දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණ. මේ හේතුවෙන් සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතාව රුපියල් බිලියන 33 කි. |
2018-07-18T12:11:38.000Z | ගෝඨාභය ගැන මහින්දගේ නමින් අසත්‍ය ලියවිල්ලක් පළ කර ඇතැයි පැමිණිල්ලක් | ගෝඨාභය ගැන පළකළ අසත්‍ය ලියවිල්ලක් ගැන පැමිණිල්ලක් | ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළැයි පවසා ව්‍යාජ ලෙස සකස්කළ නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පිළිබඳව එම පාර්ශ්ව අද ආයතන කිහිපයකට පැමිණිලි කිරීමට උත්සාහ කළේ ය. මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කරන ලදැයි පවසා ප්‍රසිද්ධ කර ඇති මෙම ලියවිල්ලේ සඳහන් වන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කර ඇති බවයි. එහෙත් එවැනි නිවේදනයක් නිකුත් නොකළ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති අපේක්ෂයා ලෙස තවම නම්කර නොමැති බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා අද පස්වරුවේ නිවේදනය කළේ ය. හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරු සංචාරය සදහා පිටව යන තෙක් බලාසිට මෙම කූඨ ලේඛනය මුදාහැර ඇති බවද ඔහු පවසයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සහ නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා අද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ කොළඹ ඇල්විටිගල මාවතේ පිහිටි වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් භාර දීමට පැමිණියේ ය. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ බව කියැවෙන 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස සදහන්වන මාධ්‍ය නිවේදනය ව්‍යාජ එකක් බවයි. එය සම්පුර්ණ අසත්‍ය බවත් ජනතාව නොමග යමින් දේශපාලනික වශයෙන් ව්‍යාකුල තත්තවයක් ඇති කිරීමට යම් පාර්ශ්වයක් විසින් කරලන ලද උත්සාහයක් බවත් ගෝඨාභ රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. |
2018-07-18T12:00:24.000Z | දුමින්දට මරණ දඬුවම නියම කළේ, සාක්ෂි සහිතව අධිකරණයේ කරුණු තහවුරු කිරීමෙන් පසුවයි නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක් | දුමින්ද සිල්වා ගොනු කළ අභියාචනය යළි සලකා බලයි | හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 5 දෙනෙකුට මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා මරණ දඬුවම නියම කළේ, සාක්ෂි අනුව ඔවුන් භාරත ලක්ෂ්මන් ඝාතනයට සක්‍රීයව සහභාගී වී ඇති බවට සනාථ වීමෙන් පසුව යැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ මරණ දඬුවමට එරෙහිව දුමින්ද සිල්වා මහතා ගොනු කළ අභියාචනය අද යළි සලකා බැලූ අවස්ථාවේදීයි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ නඩුව මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරුණු අතර එහිදී විනිසුරුවරුන් දෙදෙනෙකුගේ තීරණය මත දුමින්ද සිල්වා මහතා ඇතුළු පස්දෙනෙකුට මරණ දඬුවම නියම විය. මෙම තීරණය පිළිබඳව සිල්වා මහතා කළ අභියාචනය මේ දිනවල අගවිනිසුරු ප්‍රියදාස් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලමින් සිටී. අද නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා තවදුරටත් කරුණු දැක්වීම සිදු කළේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ මෙම අපරාධයට පෙර සිදුවු සියලු සිද්ධිවලට දුමින්ද සිල්වා මහතා නායකත්වය ලබා දී ඇතැයි පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂිවලින් මනාව පැහැදිලි වන බවයි. 2011 පළාත් පාලන මැතිවරණයේදී මුල්ලේරියාව කොටිකාවත්ත සභාපති ධුරයට තරග වැදුණු සිය අනුගාමිකයාට හැර ඔහුගේ ප්‍රතිවාදියාට ඡන්දය ලබා නොදෙන ලෙස දුමින්ද සිල්වා මහතා ප්‍රචාරක රැළිවලදී ප්‍රකාශ කර තිබීමෙන් එකම පක්ෂයෙන් තරග වැදුණු පිරිස අතර ගැටුමක් ඇති කිරීමට දරා ඇති උත්සාහය සනාථ වන බව ද ඔහු කියා සිටියේ ය. මෙම අභියාචනය පිළිබඳව වැඩිදුර විභාගය මෙම මස 22 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. |
2018-07-18T09:37:06.000Z | newsfirst.lk රන් සම්මානයෙන් පිදුම් ලබයි | newsfirst.lk රන් සම්මානයෙන් පිදුම් ලබයි | COLOMBO (News 1st) - BestWeb 2018 – සම්මාන උළෙලේදී නිව්ස්ෆස්ට් මෙවර රන් සම්මාන 2ක් හිමි කර ගත්තේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/2042374642489450/ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් මෙම සම්මාන උළෙලේ සමස්ත අංශයේ හොඳ ම වෙබ් අඩවියට හිමි සම්මානය හිමි කර ගත්තේ පළමු වරටයි. හොඳ ම මාධ්‍යල, ක්‍රීඩා සහ විනෝදාත්මක වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය ද newsfirst.lk වෙබ් අඩවියට මෙවර හිමිවිය. සම්මාන උළෙල අද පැවැත්වුණේ කොළඹ ගලදාරි හෝටලයේදීයි. rtiwatch.lk වෙබ් අඩවියට සමස්ත උළෙලේ රිදී පදක්කම හිමි වූ අතර , එහි ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ලාෆස් හොල්ඩින් ලිමිටඩ් සමාගමේ laugfs.lk වෙබ් අඩවියයි. හොඳම වෙබ් අඩවි නිර්මාණය සදහා වූ සම්මානය මෙවර දිනා ගත්තේ 3CS ඒෂීයා පෞද්ගලික සමාගමයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව රාජ්‍ය අංශයේ හොඳ ම වෙබ් අඩවියට හිමි රන් සම්මානය දිනා ගත් අතර, නාවික හමුදාව ජනප්‍රියම රාජ්‍ය ආයතන වෙබ් අඩවියට හිමි සම්මානය දිනා ගත්තේ ය. BestWeb.LK සම්මාන උළෙලට මූලිකත්වය ගනු ලබන්නේ, L.K. ඩොමේන් රෙජිස්ට්‍රි සංවිධානය සහ මොරටුව විශ්වවිද්‍යාලයයි. ප්‍රමුඛ පෙළේ විනිසුරු මඩුල්ලක් අදාළ සම්මාන සඳහා වෙබ් අඩවි තෝරා ගන්නා අතර තාක්ෂණය, නිර්මාණාත්මභාවය, අන්තර්ගතය සහ අන්තර් ක්‍රියාකාරීත්වය එහිදී සලකා බලනු ලැබේ. භාෂා ත්‍රිත්වය ම භාවිත කරමින් වීඩියෝ දර්ශන ද ඉදිරිපත් කරමින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත ප්‍රමුඛතම වෙබ් අඩවිය newsfirst.lk වෙබ් අඩවියයි. 2007 වසරේ ඔක්තෝබර් 10 වන දා සිංහල මාධ්‍යයෙන් ආරම්භ කළ අපගේ වෙබ් අඩවිය, 2009 වසරේ සිට ඉංග්‍රීසි හා දෙමළ භාෂාවලින් ද තොරතුරු සන්නිවේදනය ආරම්භ කළේ ය. |
2018-07-18T02:58:59.000Z | නව කලාකරු - 2018 ඇරඹෙයි | නව කලාකරු - 2018 ඇරඹෙයි | COLOMBO (News 1st) - නව කලාකරු - 2018 කලා නිර්මාණ ප්‍රදර්ශනය ඊයේ ජේ.ඩී.ඒ. පෙරේරා ශාලාවේදී ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ, 22 වන වරට ය. ප්‍රදර්ශනය මේ මස 17 වන දා සිට 22 වන දා දක්වා පැවැත්වීමට නියමිත ය. |
2018-07-18T02:29:36.000Z | ETI අධ්‍යක්ෂවරුන් 4 දෙනාට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ | ETI අධ්‍යක්ෂවරුන්ට පැනවූ විදෙස් ගමන් තහනම | COLOMBO (News 1st) - එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂවරුන් 4 දෙනෙකුට විදේශගත වීම වළක්වමින් අධිකරණය පැනවූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ. ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසිනි. ඒ අනුව ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ට විදේශගත වීම තහනම් වනු ඇති. අධිකරණය නිකුත් කළ නොතීසිවලට අනුව අද දින ජීවක එදිරිසිංහ ඇතුළු අධ්‍යක්ෂවරුන් 4 දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙහිදී කොටුව මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර සිටියේ, ඊ.ටී.අයි. ආයතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා සහයෝගය ලබා දෙන ලෙස ය. මෙම අධ්‍යක්ෂවරුන් 4 දෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර පියවර ගනු ලැබුවේ, නීතිපතිවරයා අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීය. ඊ.ටී.අයි. ආයතනය 2011 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇත්තේ මූල්‍ය නීතිවලට පටහැනි ආකාරයෙන් බව බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා නීතිපති දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි. මේ හේතුවෙන් සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාව රුපියල් බිලියන 33කි. |
2018-07-18T01:38:13.000Z | වන්දනාවේ යන බැතිමතුන්ට දඩ මස් කැප ද? | වන්දනාවේ යන බැතිමතුන්ට දඩ මස් කැප ද? | COLOMBO (News 1st) - කතරගම උත්සව සමය ආරම්භ වීමත් සමග විශාල ජනතාවක් කතරගම වන්දනාවේ පැමිණෙන අතර පැමිණෙන ජනතාවට අලෙවි කිරීම වෙනුවෙන් ශීඝ්‍රයෙන් සතුන් දඩයම් කෙරෙන බව වාර්තා වේ. හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ අලුයම 4.00ට පමණ වනජීවී නිලධාරීහු හම්බන්තොට වල්සපුගල රක්ෂිත ප්‍රදේශයේ වැටලීමක් සිදු කළහ. රක්ෂිතයට ඇතුළු වූ වනජීවී නිලධාරීන්ට දැක ගත හැකි වූයේ, රක්ෂිතයේ පිහිටා තිබූ වැවක් ආසන්නයේ කුඩා දියකඩිත්තක් සදා ඊට විෂ මිශ්‍ර කර ඇති බව ය. ඉන් සාම්පල කිහිපයක් පරීක්ෂණ කටයුතු සඳහා වනජීවී නිලධාරීන් රැගෙන ගොස් තිබේ. සැකකරුවන් පැමිණෙන තෙක් උදෑසන 5.00 පමණ වන තෙක් වනජීවී නිලධාරීහු රක්ෂිතයේ රැඳී සිටියහ. වනජීවී නිලධාරීන් පැවසුවේ, උදෑසන 5.00ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පළා ගිය බව ය. එමෙන් ම මිය ගිය මුවෙකුගේ සිරුරක් ද ඒ අසල තිබී සොයා ගනු ලැබිණි. මෙම වැටලීමට තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද එක්විය. |
2018-07-18T00:20:30.000Z | බන්ධනාගාර 2ක්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යෙදවීමට පියවර | බන්ධනාගාර 2ක් පුනරුත්ථාපන කටයුතුවලට යෙදවීමට පියවර | COLOMBO (News 1st) - බන්ධනාගාර 2ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යෙදවීමට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සඳහන් කළේ, මීතිරිගල බන්ධනාගාරය හා කන්දෙවත්ත බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කරන බව ය. ඒ අනුව පවරා ගන්නා බන්ධනාගාර 2ක අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලට අනුයුක්ත කරමින් පුනරුත්ථාපන සහ ප්‍රතිකාර කටයුතු සිදු කරනු ඇති. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ලයේ යටතේ ඇති පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පවතින තදබදය හේතුවෙන් මෙම පියවර ගත් බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් විමසීමක් කළේ ය. එහි පුනරුත්ථාපනය භාර අධ්‍යක්ෂ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා සඳහන් කළේ, මේ වන විට ඊට අදාළ අනුමැතිය බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ලැබී ඇති බව ය. ඒ අනුව සකස් කළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. |
2018-07-17T21:48:20.000Z | රුසියාවේ මැදිහත්වීම පිළිබඳව ට්‍රම්ප්ගේ දෙබිඩි පිළිවෙත | රුසියාවේ මැදිහත්වීම ගැන ට්‍රම්ප්ගේ දෙබිඩි පිළිවෙත | (News 1st) - 2016 වර්ෂයේ අමෙරිකාවේ පැවති ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන චෝදනා දෙරටේ නායකයෝ ප්‍රතික්ෂේප කරති. පසුගිය සඳුදා ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර පැවති හමුවෙන් පසු කළ මාධ්‍ය සාකච්ඡාවේදී, රුසියාව කිසිදු ලෙස අමෙරිකානු හෝ වෙනත් රටක මැතිවරණ කටයුතුවලට මැදිහත් වී නොමැති බවට ජනපති පුටින් ප්‍රකාශ කළේ ය. ඉන් දිනකට පසුව ජනපති ට්‍රම්ප්, අමෙරිකානු බුද්ධි අංශ විසින් නිගමනය කළ මෙම කාරණය තමන් පිළිගන්නා බවට කළ ප්‍රකාශය මේ වන විට සියලු දෙනාගේ අවධානයට ලක්ව තිබේ. ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, රුසියාව 2016 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයට යම් කිසි මැදිහත් වීමක් සිදු කර ඇති බව ය. කෙසේ නමුත් එය නිසියාකාරව සන්නිවේදනය වී නොමැති බව ද ඔහු සඳහන් කර තිබේ. සඳුදා පැවති හමුවේදී ජනපති ට්‍රම්ප් මේ පිළිබඳව පළ කළ අදහස් දැඩි විවේචනයට ලක් වූ අතර ජනාධිපතිවරයාගේ පාක්ෂකයින් ද මේ පිළිබඳව ඔහුගේ ස්ථාවරය නිසි ලෙස පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි බව සඳහන් ය. අමෙරිකානු බුද්ධි අංශය පිළිබඳව සිය සම්පුර්ණ විශ්වාසය සහ උපරිම සහයෝගය ලබා දෙන බව ද මෙහිදී ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කරගැනීමට දෙරටේ රාජ්‍ය නායකයින් මේ හමුවේදී එකගතාවය පල කළා. |
2018-07-17T21:21:49.000Z | බස්නාහිර පළාත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වැඩ වර්ජනයක | පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වැඩ වර්ජනයක | COLOMBO (News 1st) - බස්නාහිර පළාත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, ජ්‍යේෂ්ඨ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් පිරිසකට ගම් ප්‍රදේශවලට ස්ථාන මාරු ලබා නොදී නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පිරිසකට සිය ගම් ප්‍රදේශ ආසන්නයට පත්වීම් ලබා දීමට විරෝධය පළ කරමිනි. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18ක වර්ජනය ක්‍රියාත්මක බව ය. මේ හේතුවෙන් සායන 27ක් අවලංගු කිරීමට සිදු වන බව ද ඇය පැවසුවා ය. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමට උත්සහ කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වී ය. |
2018-07-17T20:28:50.000Z | පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව මේ වසරේ කොටස් වෙළෙඳපොළේ පසුබෑමක් | මේ වසරේ කොටස් වෙළෙඳපොළේ පසුබෑමක් | COLOMBO (News 1st) - පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මෙරට කොටස් වෙළෙඳපොළ ඒකක 6398ක් දක්වා 4.1%කින් පහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය මේ බව පෙන්වා දෙන්නේ, රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව වසර මැද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. රුපියල අවප්‍රමාණය වීම, ආර්ථිකය තුළ පැවති මන්දගාමීත්වය හා කොළඹ කොටස් වෙළෙඳපොළ තුළින් විදේශීය ආයෝජකයින් පිරිසක් ඉවත් වී යාම වැනි කරුණු කොටස් වෙළෙඳපොළේ ඇති වූ පහළ යාමට හේතුව බව එම වාර්තාවේ සඳහන් ය. මීට සමගාමීව එස් හා පී.එස්.එල්. 20 දර්ශකය මේ වසරේ මැයි අග වන විට 6.6%කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යංශ වාර්තාවේ සඳහන් ය. මේ වසරේ මුල් මාස 6 තුළ මෙරට ආර්ථික වර්ධනය සටහන් වන්නේ 3.8%ක් ලෙස ය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 7.3%ක්ව පැවති උද්ධමනය මේ වසරේ 5.4%ක් දක්වා පහළ ගොස් ඇති බව ද මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි. අමාත්‍යංශ වාර්තාවට අනුව බදු ආදායම් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව ආදායම් බදු අදායම රුපියල් මිලියන 38620 ක් දක්වා 11.4%කින් ද එකතු කළ අගය මත බදු ආදායම 4.5%කින් ද, නිෂ්පාදන බදු ආදායම 9.7%කින් ද වැඩි වී තිබේ. අදාළ කාලය තුළ ජාතිය ගොඩ නැගීමේ බදු ආදායමේ වර්ධනය සටහන් වනනේ 7.2%ක් ලෙස ය. කෙසේ වෙතත් ආනායන බදු ආදායම 38.1%කින් අඩු වී තිබේ. |
2018-07-17T20:12:03.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ. ක්‍රීඩාංගණයේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය ද ඊට ඇතුළත් වීම විශේෂත්වයකි. 2. ETI තැන්පත්කරුවෝ ඊයේ තම තැන්පතු සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා මහ බැංකුවට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියහ. මහ බැංකුවට පැමිණි ETI තැන්පත්කරුවන්ට නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දී තිබිණි. 3. බස්නාහිර පළාත තුළ ඒඩ්ස් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. විදෙස් පුවත් 4. ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී පැවැත්වුණු ට්‍රම්ප් සහ පුටින් සුපිරි බලවතුන්ගේ හමුව මේ වන විට ලෝකයේ ම අවධානයට ලක්ව තිබේ. ඔවුන් දෙදෙනා පැය දෙකක් පුරා රහසිගතව සාකච්ඡා කර ඇත. ක්‍රීඩා පුවත් 5. 21 වන ලෝක කුසලාන පාපන්දු කිරුළ දිනාගත් ප්‍රංශ කණ්ඩායම යළි සිය රට බලා පැමිණියේ ය. |
2018-07-17T19:55:14.000Z | විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක සමුළුවට ජනපති එක්වෙයි | විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව සමුළුවට ජනපති එක්වෙයි | COLOMBO (News 1st) - ජෝර්ජියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක සමුළුවට අද සහභාගී වේ. සමුළුව අද පෙරවරුවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී ආරම්භ වේ. ජනාධිපතිතුමා ආරම්භක දිනයේම සමුළුව අමතන අතර හවුල්කාරිත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනීය පියවර පිළිබඳව එහිදී ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට නියමිත ය. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය - පුරවැසියන් කෙරෙහි දැක්වෙන විනිවිද භාවය, වගවීම සහ මහජන සහභාගීත්වය වැඩි දියුණු කිරීම උදෙසා සැකසුනු යාන්ත්‍රණයකි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර එහිදී වර්තමාන රජය විසින් ගෙනයනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එකී හවුල්කාරිත්වය සමග එක් වන ලෙස ලැබුණු ආරාධනාව අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාව ඒ හා එක්විණි. ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබා ගත් ප්‍රථම දකුණු ආසියාතික රට යි. මේ වන විට ලොව රාජ්‍යයන් 75ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ. |
2018-07-17T11:38:06.000Z | ETI තැන්පත්කරුවන් සාධාරණය ඉල්ලා මහ බැංකුවට හා ජනාධිපති ලේකම් කාර්යාලයට යයි | ETI තැන්පත්කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට | COLOMBO (News 1st) - ETI තැන්පත්කරුවන් අදත් තම තැන්පතු සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා මහ බැංකුවට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේය. මහ බැංකුවට පැමිණි ETI තැන්පත්කරුවන්ට නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දී තිබුණි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව් දෙනාගේ පෞද්ගලික වත්කම් සම්බන්ධයෙන් මහ බැංකුව වාර්තාවක් ඉල්ලා ඇති බව තැන්පත් කරුවන්ට එහි දී දැනුම් දී තිබේ. ETI තැන්පත්කරුවෙක් අද වෙන තුරු මේ අය තමන්ට තියන පෞද්ගලික දේපල කිසිම දෙයක් සෙන්ට්‍රල් බැංකුවට දැනුවත් කරලා නෑ කියනවා එතකොට දැන් මේ ඒ අනුව සෙන්ට්‍රල් බැංකුව සියලු පියවර අරන් තියනවා කියලා කිව්වා මෙයාලගෙ පෞද්ගලික වත්කම් ගැන හොයන්න. අපට කියන්න තියෙන්නෙ මේ අවස්ථාවේදි තැන්පත්කරුවෝ සියලුම දෙනා එකතුවෙලා මේ අධ්‍යක්ෂක මණ්ඩලයට බල කර්න්න ඕන කොඓන් හෝ අපේ සල්ලි අපි දාපු සල්ලි මේ බිලියන පහලොව ගෙනත් දාලා අපට සාධාරනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා අනතුරුව පිරිස මුදල් අමාත්‍යංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ද පැමිණි සාකච්ඡා කළේය. ETI තැන්පත්කරුවෙක් අතිගරු ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් සුනන්ද කාරිප්පෙරුම මහතා හමුවුණා. එතුමාගෙන් අපිට ලැබුණ උත්තරය තමයි. ආයතනයක් සහ පුද්ගලයකු අතර සිද්වුණ ගිවිස ගෙන ඇති ගණදෙනුවක් හා සමාන දෙයක් තමා මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මහ බැංකුවේ නියාමනය පමණයි. මෙතන සිද්ධ වෙන්නේ කියලා. මහ බැංකුවේ නියාමන කියන්නේ ඔයලගේ මුදල්වලට වගකියනවා නෙවෙයි කිවා. ඒහේමනමි අපේ මුල්‍ය ආයතනවල මහ බැංකුව මේ සමිබන්දව නියාමනය කරන්නේ නැත්නම් අපේ රටේ තිබෙන සියලුම ෆිනැෂ් කමිපැණි මුල්‍ය ආයතන සම්බන්ධ ගැටළුවක් තියෙනවා. අපි දන්නේ නැහැ මහ බැංකුව ප්‍රකාශ කරන්නෙත් නැහැ. මූල්‍ය ආයතනවල කොපමණ ඇතුලේ හිල් තියෙනවාද කියලා. කොපමණ මුදල්වල අඩුවක් තියෙනවාද කියලා |
2018-07-17T11:25:32.000Z | බස්නාහිර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට | බස්නාහිර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට | COLOMBO (News 1st) - බස්නාහිර පළාත් තුළ ඒඩ්ස් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේය. ශ්‍රී ලංකාව තුළ ජනගහන ඝණත්වය අධිකතම මෙන්ම සීඝ්‍රයෙන් කාර්මිකරණයකට ලක්වන පළාත වන්නේ බස්නාහිර පළාතයි. 2017 වසරේ බස්නාහිර පළාත තුළ නව ඒඩ්ස් රෝගීන් වාර්තාවීම ද සැළකිය යුතු වර්ධනයක් දැකිය හැකියි. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ 70ක්. ගම්පහ 40ක් හා කළුතර 20ක්. මීට වර්ෂ ගාණකට පෙර මුළු ලංකාවෙවත් වර්ෂයකට 20ක් වාර්තා වුණේ නැහැ මෙයද ඇතුළුව පළාත තුළ ප්‍රධාන සෞඛ්‍ය ගැටළු 05ක් හඳුනාගෙන ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පෙන්වා දෙන්නේය. එනම්, - රිය අනතුරු - ඩෙංගු - එච්.අයි.වී.ඒඩ්ස් - දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග හා - මත්ද්‍රව්‍යයි. මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය - බස්නාහිර පළාත ඇතුලේ මේ අංශ 5 යටතේ දැඩි අවධානමක් තියෙනවා කියල ද ඔබතුමා කියන්නේ? බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා පැහැදිලි ලෙසම. හවස ප්‍රවෘත්ති බලන්න වාඩිවුණාම ගොඩක් වෙලාවට ප්‍රවෘත්ති පටන් ගන්නේ මාරක රිය අනතුරකින්. ගොඩක් වෙලාවට වෙන්නේ සිහියෙන් රිය පදවන්නේ නැති හින්දා. ඒ වගේම අපි පැහැදිලිව දන්නවා ඩෙංගු. අපි එක්තරා සැලසුම් සහගත ස්ථානයක හිටියා එච්.අයි.වී. වැඩිවීම අවම මට්ටමක තිබුණේ. දැන් ක්‍රමක් ක්‍රමයෙන් හැම වසරේම නව රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා. බෝ නොවන රෝග ගැන අපි හොඳටම. කොතරම් සුලබද කියලා අපි දන්නවා. මත්ද්‍රව්‍ය සංවාදය එන්න එන්නම වැඩිවෙනවා |
2018-07-17T11:12:47.000Z | ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය අනවසර ඉදිකිරීම් ලැයිස්තුවට | ගාල්ල ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය අනවසර ඉදිකිරීමක් වෙයි | COLOMBO (News 1st) - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ. ක්‍රීඩාංගණයේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය ද ඊට ඇතුළත් වීම විශේෂත්වයකි. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලු කොටු පවුර රැක ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය. ඊට අදාළ පළමු සාකච්ඡාව පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැත්වුණේ අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, සාගල රත්නායක, ෆයිසර් මුස්තාපා, විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ සහභාගිත්වයෙනි. එහි දිගුවක් ලෙස තවත් සාකච්ඡාවක් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සෙත්සිරිපායේදී පැවැත්විය. එහිදි තීරණය වී ඇත්තේ ලබන වසරේ දෙසැම්බර් මස 01 වැනිදාට පෙර අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කළ යුතු බවටයි. එම ඉවත් කළ යුතු ගොඩනැගිලි ලැයිස්තුවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ පරිපාලන ගොඩනැගිල්ල හා ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයද ඇතුළත්ව තිබෙන බවට ගාල්ල ක්‍රීඩාංගනයේ පාලනාධිකාරිය පවසයි. |
2018-07-17T10:46:20.000Z | සුපිරි බලවතුන්ගේ හමුව ලෝකයේ ම අවධානයට | සුපිරි බලවතුන්ගේ හමුව ලෝකයේ ම අවධානයට | ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී පැවැත්වුණු ට්‍රම්ප් සහ පුටින් සුපිරි බලවතුන්ගේ හමුව මේ වන විට ලෝකයේ ම අවධානයට ලක් ව තිබේ. ඔවුන් දෙදෙනා පැය දෙකක් පුරා රහසිගතව සාකච්ඡා කර ඇත. සෝවියට් දේශය බිඳ වැටී වසර 30 ක්ගත වූවත් අදටත් එය අමෙරිකාව හා සමාන සුපිරි බලවතෙකි. නමුත් පසුගිය වසර කිහිපය තුළ ඇතිවුන විරසකය මේ රටවල් දෙක පැරණි සීතල යුධ සමයට ගෙන ගියේ ය. අමෙරිකානු ජනපති ට්‍රම්ප් පැවසූවේ, රටවල් දෙක අතර පවතින පරස්පර අදහස් ගැන ජනපති පුටින්ත් දිගින් දිගටම සාකච්ඡා කළ අතර රුසියාවත් අමෙරිකාවත් අතර ප්‍රගතිශීලී කතාබහක් ඇතිවූවිට ලෝක සාමය සහ ස්ථාවරභාවය පිළිබඳ නව මාවතක් විවෘත වන බවයි. රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පැවසුවේ, මොස්කව් සහ වොෂින්ටන් දෙපාර්ශවයටම පොදු අරමුණු රැසක් ඇති බව ත් ඒ සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම ජාත්‍යන්තර ආරක්ෂාවට අතිශයින්ම වැදගත් බවයි. මෙහිදී රුසියානු ජනපතිවරයා විසින් ජනපති ට්‍රම්ප් ට ලෝක කුසලාන පාපන්දුවක් සමරු තිළිණයක් ලෙස ලබා දුන්නේ ය. මේ සාකච්ඡාවේදී ට්‍රම්ප්ගේ හැසිරීම අමෙරිකානු දේශපාලනය තුළ දැඩි කතාබහකට ලක් ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ. |
2018-07-17T09:46:27.000Z | ගෝඨාභයට වඩා මම හොඳයිනේ - මර්වින් සිල්වා කියයි | ගෝඨාභයට වඩා මම හොඳයිනේ - මර්වින් සිල්වා කියයි | COLOMBO (News 1st) - අමාත්‍ය සරත් ෆොන්සේකා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යන මහත්වරුන් ස්ථාන දෙකකදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව අදහස් පළ කර තිබේ. හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඔයගොල්ලෝ මේ අඩිකෝනයක් දැකලානේ මේ කතා කරන්නේ. ඔයගොල්ලෝ දැක්කද මහසොහොනා, ඔයගොල්ලෝ දැක්කද පෙරේතයෝ ?? ඔයගොල්ලෝ දැක්කද කියන්නකෝ. මේ නොදැක්ක කෙනෙක් ගැන කතා කරන්න එපා. ගෝඨාභය කියන්නේ කවු ද? මේ රටේ වීරත්වයෙන් හමුදාව සටන් කරන වෙලාවේ රට දාලා ගිය එකෙක්නේ අමෙරිකාවට. ඒ මිනිහද රටේ ජනාධිපති කරන්න කියන්නේ. හමුදාවේ එහෙම නැද්ද තව වීරවරයෝ. ගෝඨාභය මේ පිස්සුවක්නේ මේ යක්කුන්ට. ඊට වැඩිය හොඳයිනේ මේ මර්වින් සිල්වා. තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, හොඳයි ඉතින් එයාගේ අතීතය ගැන මුළු රටම දන්නවනේ, සුදූ වෑන් ඒ ඔක්කේම වැඩ කරපු ආකාරය. නීතිය අතට අරන් දේපොළ කොල්ලකාපූ හැටි. මම දැන් ඊයේ හිටියේ හම්බන්තොට. හම්බන්තොට තමයි මම රට වටේ යනකොට දැකපු විනාශකාරීම තැන. හැම තැනම ගල් කොරි දාගෙන හාරනවා. වැලි ගොඩ දානවා. පරිසර අවශ්‍යතාවන් සම්පූර්ණයෙන් අමතක කරලා තමයි ඒවා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මුළු රටටම ආයේ කර ගන්න ඕනනම් ඔය ඔබතුමා කියපු අය ගෙන්න ගන්න පුලුවන්. |
2018-07-17T09:31:28.000Z | පාතාලයේ 5 ස්දෙනෙකු රකින ඇමති කවු ද? | පාතාලයේ 5 ස්දෙනෙකු රකින ඇමති කවු ද? | COLOMBO (News 1st) - පාතාල සාමාජිකයින් කිහිපදෙනෙකු රජයේ අමාත්‍යවරයෙකුගේ ආරක්ෂකයින් ලෙස සිටින බවට පළවූ පුවත්පත් වාර්තාවක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති විය. එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම, පද්ම උදයශාන්ත, විවිධ සන්නද්ධ කණ්ඩායම් උතුරේ සැරිසරමින් විවිධ ඝාතන සිදුවීම් විවිධ ප්‍රහාරයන් විවිධාකාරයෙන් සිදුවුනා. ඔබතුමාගෙන් මම අහන ප්‍රශ්නේ තමයි මේ පිළිබඳව පූර්ණ වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි ද කියන එක නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, නලීන් බණ්ඩාර, පැහැදිලිවම මෙතන ත්‍රස්තවාදී කණ්ඩායමක් නෙවෙයි. මේ ආයුධ අතට ගත්තු දකුණු ඉන්දියානු චිත්‍රපටි බලලා ඒකෙන් උන්මාදයට පත්වුනු කණ්ඩායමක් මීට වඩා බරපතළ ගණයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් මේ දකුණේ ඉන්නවා. දකුණේ මවන භිෂණය ආවා කල්ලිය පෙන්නලා කොට් එනවා කොට් එනවා සම්පුර්ණ වැරදියි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, පද්ම උදයශාන්ත, අද පත්තරේ තියෙනවා ඉදිරි පෙළම පාතාලයේ 5 දෙනෙක් ඇමතිවරයෙක්ගේ රැකවලුන් බවට පත්වෙලා කියලා. පොලීසිය වාර්තා කරලා තිබෙනවා. ඒ සිද්ධිය සත්‍ය නම් ඒ සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ගය ඇමතිවරයා කවුද එහෙම පාතාලය තියාගෙන හිටිය ද කියන එක මේ පාර්ලිමේන්තුව දැනුවත් විය යුතුයි. ඒ සම්බන්ධව නීති ක්‍රියාමාර්ග මේ රටේ වගකියන පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක්ට ලංකාවේ පාතාලයේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික රැකවලුන් විදියට තියාගන්න පුලුවන්නම් මේ රටේ ආරක්ෂාව මොකක් ද? නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර, පාතාලය හැදුවේ වැඩුවේ කවුද කියන එක මේ රටේ අය හොඳට දන්නවා. පැහැදිලිව ඒ කරුණු සම්බන්ධව අපි හොයලා බලලා මේ ගරු පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න කැමතියි. ඔය පාතාලයේ අපි අද කතාවෙන ප්‍රධාන නම් පහුගිය කාලයේ කවුරු එක්ක ද හිටියේ කියන එක අපි පැහැදිලිවම හෙළිදරව් කරනවා අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මේක ලංකාදීපේ පත්තරේ දැකලා මම කිව්වා ලංකාදීප පත්තරෙන් හොයාගන්න කියලා කොහෙන්ද මේ තොරතුරු ආවේ. මොකද පොලීසිය කිව්වම එතන පොලීසියේ නිල ප්‍රකාශ කියලා නැ ඉතින් අපි හොයාගෙන කියන්නම්. අනික මේ ගැණු දූෂණය කරපු ප්‍රාදේශිය සභා සභාපතිවරයෙක් අයින් කරන්න බැරි පක්ෂයක් ද මෙහෙම කැගහන්නේ. තංගල්ලේ අර විදේශිය කාන්තාව දූෂණය කරපු සභාපතිවරයෙක්ට නඩු දාන්න බැරි අය ද මේ කතා කරන්නේ. පාතාලය තියාගත්තා ස්ත්‍රී දූෂකයෝ තියාගත්තා දැන් ඇවිල්ලා තකා කරනවා නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර, පහුගිය කාලේ මගුල් ගෙවල්වලට පාතාල නායකයෝ ඇවිල්ලා ඉන්නවා. ඒ අය ගැනත් අපි ඉදිරියේදි හෙළිදරව් කරනවා |
2018-07-17T08:45:59.000Z | පොලු රැගත් සේවක පිරිසක් අග්නිදිග විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට ඇතුළු වෙයි | පොලු රැගත් පිරිසක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයට | COLOMBO (News 1st) - අග්නිදිග විශ්වවිද්‍යාල පරිපාලනය මේ වනවිට අර්බුද රැසකට මුහුණදී තිබේ. අද පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව සංවාදයක් ඇති විය. පොලු රැගෙන අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඊයේ ඇතුලුවූ සේවක පිරිසක් පන්ති තහනම් කළ ශිෂ්‍යයින් පිරිසක් සොයා සෝදිසියක් ක්‍රියාත්මක කළහ. අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය භාර නිලධාරියා, ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය උපදේශක, පරිපාලන ආරක්ෂක නිලධාරීන් සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් මෙසේ පැමිණ තිබුනේ නේවාසිකාගාර පාලක ද සමගිනි. අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ පරිපාලන ලේඛකාධිකාරීවරයා පැවසුවේ, නවක වදය සම්බන්ධ සිද්ධියක් මත පසුගිය 14 වන දා සිට සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බවයි. මේ වනවිට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයකු නොමැති අතර නිසි බලධාරියා ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය පත්කර සිටි. |
2018-07-17T07:09:24.000Z | 'ජෝර්ජ් ක්ලූනි' වසරේ වැඩිම ආදායම් වාර්තා අතරට | 'ජෝර්ජ් ක්ලූනි' වසරේ වැඩිම ආදායම් වාර්තා අතරට | ඉකුත් වසරේ වැඩිම ආදායමක් ඉපැයූ හොලිවුඩ් රංගන ශිල්පියා බවට සුපිරි බොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි පත් ව තිබේ. ෆෝබ්ස් සඟරාව වාර්තා කළේ, ජෝර්ජ් ක්ලූනි සමහිමිකාරීත්වය දරන මත්පැන් නිෂ්පාදන සමාගමේ අළෙවිය ඉහළයාම ඊට ප්‍රබල හේතුවක් වී ඇති බවයි. ඒ අනුව ඉකුත් වසරේ ජූනි 01 වන දින සිට මේ දක්වා කාලය තුළ ජෝර්ජ් ක්ලූනි උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 239 ක් බව වාර්තා වේ. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.