date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-07-06T05:32:45.000Z
පෑලියගොඩ දී ඇමෝනියා වායුව ප්‍රවාහනය කරන රථයක පිපිරීමක්
පෑලියගොඩ දී ඇමෝනියා ප්‍රවාහනය කරන රථයක පිපිරීමක්
COLOMBO (News 1st) - පෑලියගොඩ ප්‍රධාන මාළු වෙළඳපොළ ආසන්නයේදී ඇමෝනියා වායුව අඩංගු සිලින්ඩර් ප්‍රවාහනය කරන රථයක අද පස්වරුවේ පිපිරීමක් සිදුවිය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, රථයේ තිබූ එක් සිලින්ඩරයක් පුපුරා ගොස් ඇති බව ය. කළුතර ප්‍රදේශයේ සිට විදේශගත කිරීම සඳහා රැගෙන ආ ඇමෝනියා අඩංගු එම සිලින්ඩර් වරාය දක්වා රැගෙන යාමට ඒ සඳහා දී ඇති වේලාව පැමිණෙන තෙක් ලොරිය මාළු වෙළඳපොළ ආසන්නයේ නවතා තිබියදී සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ලොරියට යළිත් වරක් එම සිලින්ඩර් අසුරන බව ය. එය අධීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් යොදවා ඇති බව ද ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
2018-07-06T04:29:11.000Z
සංස්ථාවෙන් ඉන්ධන පරණ මිලටම: මිල අඩු කරන්නේ නැහැ - IOC
සංස්ථාවෙන් ඉන්ධන පරණ මිලටම: මිල වෙනසක් නැහැ-IOC
COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි පැරණි මිලටම ඉන්ධන අලෙවි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් චක්‍රලේඛන ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇති බව ය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමුණු අතර නව චක්‍රලේඛනය අනුව පැරණි මිලටම ඉන්ධන අලෙවි වනු ඇති. මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගමේ උප සභාපති සිද්ධාර්ත් අග්‍රවාල් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ, කැබිනට් අනුමැතිය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කළ මිලට තම ඉන්ධන නිකුත් කරන බව ය.
2018-07-06T04:16:19.000Z
පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹෙයි
බ්‍රසීලය සහ බෙල්ජියම අද තරග බිමට
COLOMBO (News 1st) - බ්‍රසීලය සහ බෙල්ජියම, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අද රාත්‍රි තරග වදින කණ්ඩායම් වේ. අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වීම සඳහා බෙල්ජියම කණ්ඩායම රුසියාවේ කසාන් වෙත පැමිණි අතර එහිදී වර්ෂාවෙන් බාධා එල්ල වුවද ඔවුන් පුහුණුවීම්වල නිරත විය. අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ඔවුන් බ්‍රසීලය පැරදවිය යුතුම වේ. ඊඩ්න් හසාඩ්, රොමේලු ලුකාකු, වින්සන්ට් කොම්පැනි ඇතුළු බෙල්ජියම් පාපන්දු ක්‍රිඩකයින් දැක බලා ගැනීම සඳහා ක්‍රීඩා ලෝලීන්ද පැමිණ සිටියේය. කණ්ඩායම් කළමනාකරු රොබේටෝ මාටිනෙස් විශ්වාසය පල කළේ, මෙම තරගයේදී බ්‍රසීලයෙන් තමන්ට දැඩි අභියෝගයක් එල්ල වනු ඇති බවටයි. ලෝක කුසලානය පස් වරක්ම දිනාගෙන සිටින බ්‍රසීලය පරාජය කර, අවසන් පූර්ව වටයට පිවිසීම එකම අරමුණ බව පුහුණුකරු මාටිනෙස් සඳහන් කළේය. බ්‍රසීල කණ්ඩායම ද ඊයේ පුහුණුවීම්වල නිරත විය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ බ්‍රසීලය තරග කළේ E කාණ්ඩයෙනි. සුපිරි 16 දෙනාගේ වටයේදී මෙක්සිකෝව පරාජය කරමින් බ්‍රසීලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිණි. බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක නේමාර්, බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති ක්‍රීඩකයෙකි. ඔහු පවසන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බව ය‍. 1994 වසරේ සිට පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලි සියල්ලෙහිදීම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බ්‍රසීලය සමත් විය. බ්‍රසීලය අවසන් වරට ලෝක කුසලානයක් දිනා ගත්තේ 2002 වසරේදී ය. බ්‍රසීල - බෙල්ජියම අර්ධ අවසන් පුර්ව තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 11.30 ට ආරම්භ වේ.
2018-07-06T04:06:09.000Z
උදය සෙනවිරත්න නව ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ
උදය සෙනවිරත්න නව ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ
COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඔහු අද වැඩ භාරගත් බව ය. ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ ඉල්ලා අස්වීමත් සමග ජනාධිපති ලේකම් ධුරය පුරප්පාඩු විය. ඒ අනුව උදය සෙනවිරත්න මහතා එම ධුරයට පත් කරනු ලැබිණි.
2018-07-06T02:42:06.000Z
අල්ලස් ගත් බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුට වැඩ වරදියි
අල්ලස් ගත් ධාවන කළමනාකරුවෙකුට වැඩ වරදියි
COLOMBO (News 1st) - ධාවන බලපත්‍රයක් ලබා දීම සඳහා පෞද්ගලික බස් රථ හිමිකරුවෙකුගෙන් රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 08කට වරදකරු කරනු ලැබූ බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද සිර දඬුවම් නියම කළේ ය. එහිදී විනිසුරුවරයා නියෝග කළේ, වසර 40ක බරපතල සිර දඬුවම් නියම කර එය වසර 05කින් ගෙවී යන පරිදි ලබා දීමට ය. පෞද්ගලික බස් රථ හිමිකරුට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙසට ද එහිදී නියෝග කළ විනිසුරුවරයා එම වන්දිය නොගෙවන්නේ නම් වසර 02ක බරපතල වැඩ සහිත සිර දඬුවම් ද නියම කළේ ය. ඊට අමතරව ඔහු අල්ලස් ලෙස ලබා ගත් රුපියල් 10,000 ක මුදල දණ්ඩනයක් ලෙස අය කර ගැනීමට එහිදී නියෝග කළ විනිසුරුවරයා රුපියල් 40,000 දඩයක් විත්තිකරුගෙන් අය කර ගැනීමටත් නියෝග කළේ ය. බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් 2015 ඔක්තෝබර් 12 වන දා පෞද්ගලික බස් රථ හිමිකරුවෙකුගෙන් එකී අල්ලස ලබා ගෙන ඇතැයි චෝදනා කරමින් කේ.ඒ. රාජා අජිත් රංජිත් නමැති විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබිණි.
2018-07-06T00:41:17.000Z
තායිලන්තයේ ලෙනක් තුළ සිරවී සිටින පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුමේදී කිමිදුම්කරුවෙකු මරුට
තායිලන්තයේ පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම
(News 1st) - තායිලන්තයේ ලෙනක් තුළ සිරවී සිටින පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුමේ නිරත කිමිදුම්කරුවෙකු මිය ගොස් තිබේ. තායිලන්තයේ ලෙනක් තුළ සිරවී සිටින දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර මෙලෙස මිය ගොස් ඇත්තේ, එරට නාවික හමුදාවේ හිටපු ‍සෙබලෙකු ලෙස කටයුතු කළ කිමිදුම්කරුවෙකි. සම්රාන් පුනම් නමැති ඔහු ඊයේ රාත්‍රියේ ලෙනේ පිටවීමේ මාර්ගයක් ලෙස භාවිත කළ හැකි ස්ථානයක් තුළ ඔක්සිජන් ටැංකි තැන්පත් කිරීමට යාමේදී මෙලෙස මරණයට පත්ව තිබේ. මේ අතර තායිලන්ත නාවික සීල් අංශයේ කොමාන්ඩර්වරයා ප්‍රකාශ කළේ, ලෙන තුළ ඉතා අසීරු තත්ත්වයක් පවතින බව ය. තද වැසි ආරම්භ වීමට පෙර පිරිස ඉන් පිටතට ගත යුතු බවට මුදා ගැනීමේ කණ්ඩායම් පවසති.
2018-07-05T23:53:58.000Z
කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජලය කැපේ
කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජලය කැපේ
COLOMBO (News 1st) - කොළඹ නගර සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට හෙට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, හදිසි නඩත්තුවක් හේතුවෙන් හෙට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බව ය. මේ අනුව කොළඹ 5 සහ කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව කොළඹ 4, කොළඹ 6, කොළඹ 7 සහ කොළඹ 8 යන ප්‍රදේශවලට මෙන් ම මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ ය.
2018-07-05T22:31:15.000Z
එච්.ආර්. ජෝතිපාලයන්ගේ 31 වන ගුණ සමරුව නිමිත්තෙන් හෙට සිට විශේෂ ප්‍රදර්ශනයක්
ජෝතිපාලයන්ගේ ගුණ සමරුව නිමිත්තෙන් ප්‍රදර්ශනයක්
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන්ගේ 31 වන ගුණ සමරුව නිමිත්තෙන් හෙට සිට විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වේ. ඒ, මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී ය. හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට එච්.ආර්. ජෝතිපාලයන්ගේ පුවත්පත් ලිපි, ඡායාරූප, සම්මුඛ සාකච්ඡා ඇතුළත් ය.
2018-07-05T22:15:36.000Z
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික අභාවප්‍රාප්ත වෙයි
වී.කේ. ඉන්දික අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික මහතා අභාවප්‍රාප්ත වී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, කොළඹ පිහිටි නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව ය. මිය යන විට වී.කේ. ඉන්දික මහතාගේ වයස අවුරුදු 51කි. මෘත ශරීරය මේ වන විට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.
2018-07-05T20:37:24.000Z
IOC තෙල් මිල ගණනුත් ඉහළ යයි
IOC තෙල් මිල ගණනුත් ඉහළ යයි
COLOMBO (News 1st) - අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල 146කි. එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නව මිල ගණන් යටතේ යුරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 158ක් වන බව ය. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118කි. සංශෝධිත නව මිල අනුව සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129ක් දක්වා ඉහළ දමා ඇති බව අයි.ඕ.සී. සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2018-07-05T20:21:07.000Z
සම්පූර්ණ කළ ඡන්ද හිමි නාම ලේඛනය 8 වන දාට පෙර ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන්න - මැතිවරණ කොමිෂන් සභාව
"ඡන්ද හිමි නාම ලේඛනය 8 වන දාට පෙර ලබා දෙන්න"
COLOMBO (News 1st) - ඡන්ද හිමි නාම ලේඛනය සම්පූර්ණ කර ලබන 8 වන දාට පෙර ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා මහතා සඳහන් කළේ, අදාළ කාලසීමාව තුළ ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට නොහැකි වූ පුද්ගලයින් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරීන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල දැනුවත් කර ඒ සඳහා නම ඇතුළත් කරගත හැකි බව ය.
2018-07-05T20:04:13.000Z
ඇලෝසියස්ගේ සිර මැදිරියේ තිබී ජංගම දුරකතන සොයා ගැනීම පිළිබඳව විශේෂ පරීක්ෂණ
ඇලෝසියස්ගේ සිර මැදිරියෙන් හමු වූ ජංගම දුරකතන
COLOMBO (News 1st) - බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් රඳවා ඇති වාට්ටුව තුළ තිබී සොයා ගත් දුරකතන සහ සිම් කාඩ්පත් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධානාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන්ට එරෙහි නඩුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන් රඳවා සිටින එච් වාට්ටුව පරීක්ෂා කළ බන්ධනාගාර විශේෂ නිලධාරීන් කණ්ඩායමකට එහි සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සහ සිම් කාඩ්පත් 5ක් සොයා ගැනීමට හැකි වූ බව ය. එක් ජංගම දුරකතනයක් අර්ජුන් ඇලෝසියස් මහතා නිදා ගන්නා කොට්ට අතර සඟවා තිබීයදී සොයා ගත් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බව ය. ඊට අමතරව මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක ය. සොයා ගත් දුරකතන භාවිත කර ඇති ආකාරය සම්බන්ධයෙන් සහ ඒවා අදාළ සිරකරුවන් රඳවා ඇති වාට්ටුවට ලැබුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය. පරීක්ෂණ වාර්තා මත පදනම්ව ඔවුන් වෙනත් වාට්ටුවකට හෝ වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බව ද තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ ය.
2018-07-05T19:36:29.000Z
පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ඉහළට
පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ඉහළට
COLOMBO (News 1st) - පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමිණි. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, නව මිල සූත්‍රයට අනුව සතියකට වරක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් සංශෝධනය කරන බව ය. නව මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8කින් ඉහළ දැමිණි. ඒ අනුව රුපියල් 137ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 7කිනි. ඒ අනුව රුපියල් 148ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155 ක් දක්වා ඉහළ යයි. නව මිල සූත්‍රය අනුව ඔටෝ ඩීසල් මිල රුපියල් 9 කින් ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය. මේ අනුව රුපියල් 109ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118කි. රුපියල් 119ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10කින් ඉහළ දැමිණි. සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 129කි. නව මිල සූත්‍රයට අනුව භූමිතෙල් මිල ගණන් සංශෝධනය නොවන බව ද මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.
2018-07-05T11:39:18.000Z
අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල ඉහළට
ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල ඉහළට
COLOMBO (News 1st) : මිල සූත්‍රය අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල ගණන් ඉහළ දමා ති‍බේ.
2018-07-05T08:01:42.000Z
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉල්ලා අස්වෙයි
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) : ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිවුස්ෆස්ට් වෙත ඒ බව තහවුරු කළේ ය. අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් වීමට අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී ඇති බවයි.
2018-07-05T07:53:47.000Z
ජාතික විගණන පනත සම්මතයි
ජාතික විගණන පනත සම්මතයි
ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.
2018-07-05T07:05:56.000Z
ලක්ෂ 71ක වල්ලපට්ට කටුනායකදී රේගු දැලේ
ලක්ෂ 71ක වල්ලපට්ට කටුනායකදී රේගු දැලේ
COLOMBO (News 1st) : ඩුබායි බලා රැගෙන යාමට තැත් කළ රුපියල් ලක්ෂ 71 කට අධික වටිනාකමින් යුත් වල්ලපට්ට තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක, සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔවුන්ගේ ගමන් මලුවල තිබී සොයාගත් වල්ලපට්ට තොගයේ බර කිලෝග්‍රෑම් 82කි. සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රේගු පරික්ෂණ ක්‍රියාත්මකයි.
2018-07-05T06:03:41.000Z
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) : ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව තහවුරු කළේ ය. ඔස්ටින් ප්‍රනාන්දු මහතා මීට පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සහ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළේ ය.
2018-07-05T05:50:51.000Z
ඇලෝසියස් සහ පාලිසේන සිටි සිර මැදිරියේ සඟවා තිබූ දුරකතන හා සිම් කාඩ්පත් 5 ක් සොයා ගනී
ඇලෝසියස් සිටි සිර මැදිරියේ දුරකතන හා සිම් කාඩ්
රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන යන මහත්වරුන් රඳවා සිටින H වාට්ටුව පරීක්ෂා කළ බන්ධනාගාර විශේෂ නිලධාරීන් කණ්ඩායමකට එහි සඟවා තිබූ ජංගම දුරකථන 3ක් සහ සිම් කාඩ්පත් 5 ක් සොයා ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළේ ය. එක් ජංගම දුරකථනයක් අර්ජුන් ඇලෝසියස් මහතා නිදා ගන්නා කොට්ට අතර සඟවා තිබියදී සොයාගත් බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 19 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේ ය. පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ සභාපති ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුට විදේශගත වීම වළක්වමින් මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කරනු ලැබීය.
2018-07-05T05:08:09.000Z
කිලිනොච්චි කොටියා මැරූ සැකකරුවන්ට ඇප
කිලිනොච්චි කොටියා මැරූ සැකකරුවන්ට ඇප
COLOMBO (News 1st) : කිලිනොච්චිය, අම්බල්කුලම්හිදී කොටියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනාට ඇප ලබා දී තිබේ. ඒ සැකකරුවන් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී එක් අයෙකුට රුපියල් පන්දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදාහැර තිබේ. සෑම මසක ම අවසන් සඳුදා දින කිලිනොච්චි පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස ද සැකකරුවන්ට අධිකරණය නියෝග කළේ ය. නඩුව සැප්තැම්බර් මස 27 වන දා යළි කැඳවීමට නියමිතයි.
2018-07-05T04:12:54.000Z
බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් තවත් හෙළිදරව්වක්
බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් තවත් හෙළිදරව්වක්
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් 2015 ජනවාරි 31 වන දා සිට 2016 සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය තුළ මිලියන 1134 ක චෙක්පත් 2487 ක් නිකුත් කර ඇතැයි අද අධිකරණයේදී අනාවරණ විය. අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ, ඇතැම් චෙක්පත් මූල්‍ය නීති උල්ලංඝනය කරමින් නිකුත් කර ඇති බැවින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ චෝදනා ගොනු කළ හැකි බවයි. බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන යන මහත්වරුන් අද යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණ විය.
2018-07-05T02:54:13.000Z
හදබිම අධිකාරියෙන් සමූපකාර ජාලයක්
හදබිම අධිකාරියෙන් සමූපකාර ජාලයක්
COLOMBO (News 1st) - හදබිම සමූපකාර ජාලයක් හඳුන්වා දීමට හදබිම අධිකාරිය සූදානම් වේ. හදබිම අධිකාරිය යටතේ පහසුකම් ලබන ගොවීන්ට මෙම ජාලය තවදුරටත් පුළුල් කිරීම මෙහි අරමුණයි. ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ම සමූපකාර සමිති ආරම්භ කර එය ජාතික මට්ටමේ සමිතියක් දක්වා ව්‍යාප්ත කරන බව ද හදබිම අධිකාරිය සඳහන් කළේ ය. එහි පළමු අදියර අද ආරම්භ වූයේ, අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදීයි.
2018-07-05T02:11:53.000Z
පාර්ලිමේන්තුවේ අශෝභනව හැසිරුණු මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ
අශෝභනව හැසිරුණු මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හරහා අදාළ විනය පරීක්ෂණය සිදු කිරීමට යෝජනාවී ඇති බවයි. ඒ අනුව ජාතික නිදහස් පෙරමුනේ, නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ට එරෙහිව එම පරීක්ෂණ මුලික වශයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස හැසිරුණු සහ අසභ්‍ය ප්‍රකාශ සිදු කළ තව ත් මන්ත්‍රීවරුන් සිටිනවා ද යන්න සම්බන්ධයෙන් ද වරප්‍රසාද කමිටුව මගින් විමර්ශනය කරන බව ද එම ජ්‍යේෂ්ඨ ප්‍රකාශකවරයා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කර ඇත. පාර්ලිමේන්තුවේ ඇති වූ එම සිද්ධියත් සමග සෞඛ්‍යය අමාත්‍යාංශයේ ඖෂධ සම්බන්ධයෙන් වන නව රෙගුලාසි පිළිබඳ විවාදය ප්‍රමාද විය. මේ අතර පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ඇති වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සම්බන්ධ ආයතනයක් විශේෂ සමීක්ෂණයක් සිදුකර තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, මහජන මතය අනුව 96% ක් අදාළ සිදුවීම හෙළා දැක ඇති බව සමීක්ෂණයෙන් අනාවරණ වී ඇති බවයි. මන්ත්‍රීවරුන් තම ගරුත්වය ආරක්ෂාවන පරිදි පාර්ලිමේන්තුවේදී කටයුතු කිරීම රටේ අභිවෘද්ධියට හේතුවන බව ද ඔහු අවධාරණය කළේ ය.
2018-07-05T00:55:41.000Z
දික්කැලේ රක්ෂිතයේ වල්ලාපට්ටා කැපු තිදෙනෙකුට වැඩවරදී
දික්කැලේ රක්ෂිතයේ වල්ලාපට්ටා කැපු තිදෙනාට වැඩවරදී
COLOMBO (News 1st) - වල්ලපට්ටා ලබා ගැනීමේ අරමුණින් පන්නල - දික්කැලේ රක්ෂිතයේ වල්ලාපට්ටා ශාක කපමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් අවුරුදු 26, 32 සහ 39 වයස්වල පසුවන ඇහැළියගොඩ, අවිස්සාවෙල්ල සහ ඇලබඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. ඔවුන්ට සහය ලබාදුන් පන්නල ප්‍රදේශයේ සැකකරුවෙකු ද සිය නිවසේ සඟවා තිබු වල්ලාපට්ටා කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්, දික්කැලේ රක්ෂිතයේ කපා දමා තිබූ ශාක කොටස් කිලෝග්‍රෑම් 26 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් සිව්දෙනා අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත වේ.
2018-07-04T21:33:52.000Z
බොරතෙල් අපනයන නතර කිරීමට අමෙරිකාවෙන් ගන්නා උත්සහයට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
ඉරානය අමෙරිකාවට අනතුරු අඟවයි !
තම රටේ බොරතෙල් අපනයන නතර කිරීමට අමෙරිකාව පියවර ගතහොත් කලාපයේ සෙසු රටවල බොරතෙල් අපනයනය ද නතර කිරීමට පියවර ගන්නා බවට ඉරාන ජනාධිපති හසන් රුහානි තර්ජනය කර තිබේ. අමෙරිකාව ඉරානයට එරෙහි පියවර ගතහොත්, මැදපෙරදිග කලාපයේ බොරතෙල් ප්‍රවාහන නැව් යොදාගන්නා ප්‍රධාන මුහුදු මාර්ගයක් අවහිර කරන බවට ඉරාන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඉරානයේ බොරතෙල් අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බවට අමෙරිකාව පවසා ඇත්තේ එහි ප්‍රතිවිපාක පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව බවයි. ඉරානයෙන් බොරතෙල් අපනයනය ලබන නොවැම්බර් 4 වැනි දින සිට නතර කිරීමට පියවර නොගතහොත් එම රටවලට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකාව මීට පෙර කියා සිටියේ ය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම බිඳවැටීම වැලැක්වීමේ අරමුණින් මේ වනවිට වියානා නුවරට ගොස් සිටින ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළේ, ගිවිසුමට අත්සන් තැබූ සෙසු රටවල් ඉරානයේ ආරක්ෂාව තහවුරු කරන්නේ නම් අමෙරිකාව රහිතව වුවත් න්‍යෂ්ටික ගිවිසුමට බැඳී සිටීමට තමන් එකඟ බවයි. 2015 වසරේ එළඹි ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් චීන, ප්‍රංශ, ජර්මානු, බ්‍රිතාන්‍යය සහ රුසියානු විදේශ අමාත්‍යවරුන් හෙට වියානා නුවරදී ඉරාන බලධාරීන් හමුවීමට නියමිත වේ.
2018-07-04T21:00:24.000Z
උතුරේ - 'ආවා' මර්දනයට පොලිස් නිලධාරීන් 400 ක්
උතුරේ - 'ආවා' මර්දනයට පොලිස් නිලධාරීන් 400 ක්
COLOMBO (News 1st) - 'ආවා' කල්ලියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 400 දෙනෙකු පමණ අනියුක්ත කර ඇතැයි උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පැවසීය. උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවර සඳහන් කළේ, උතුරු පළාත තුළ පසුගිය කාලයේ සිදු වූ විවිධ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි කොට්ඨාසවලින් පොලිස් නිලධාරීන් 100 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද මෙහෙයුම සඳහා අනුයුක්ත කර ඇතැයි ඔහු සඳහන් කළේ ය. උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝගය පරිදි ඊයේ සිට සති දෙකක කාලයක් සඳහා උතුරු පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ද අවලංගු කෙරුණි. ඒ, අදාළ මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහායි.
2018-07-04T20:48:59.000Z
ඔරුගොඩවත්තෙන් කෝටියකට අධික මත්ද්‍රව්‍ය තොගයක් හමුවේ
ඔරුගොඩවත්තෙන් හමු වූ කෝටියකට අධික මත්ද්‍රව්‍ය තොගය
COLOMBO (News 1st) - ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී ඉතාලියේ සිට මෙරටට ආනයනය කෙරුණු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක, සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, හෂීස්, ගංජා, විදේශිය මත්පැන් ඇතුලු භාණ්ඩ තොගයක් එහි තිබී සොයා ගත් බවයි. ඒවායේ වටිනාකම රුපියල් එක් කෝටි එක් ලක්ෂ 53000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
2018-07-05T01:00:43.000Z
විගණන පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ
විගණන පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ
COLOMBO (News 1st) - ජාතික විගණන ප‍නත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත් වේ. ඒ, අවස්ථා කිහිපයකදී අදාළ විවාදය පැවැත්වීම ප්‍රමාද කිරීමෙන් අනතුරුවයි. යහපාලන රජයේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත එම රජයේ පළමු දින 100 තුළ සම්මත කිරීමට යෝජනා වී තිබුණි. 2015 මැයි මස 15 වන දින සම්මත වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ කොමිෂන් සභා අතරට විගණන කොමිසම ද ඇතුළත් ය. එම කොමිසම සඳහා සමාජිකයින් පවා පත් කරනු ලැබුණි. මේ අතර සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේ අවධානයට ලක් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන්නේ තිරසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ය.
2018-07-04T07:01:26.000Z
යොවුන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ඩිලාන් හා පාරමී සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකාවෙන් යොවුන් ඔලිම්පික් උළෙලට දෙදෙනෙක්
ආර්ජන්ටිනාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට ආසියාවෙන් සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලිය අද තායිලන්තයේ දී ආරම්භ විය. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙකු හා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු තරග වදීයි. තරග ආරම්භක දිනය වූ අද ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දෙමින් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මීටර් 400 බාලක සුදුසුකම් ලබා ගැනීමට කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ඩිලාන් බෝගොඩ සමත් විය. මේ අතර බාලිකා මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් පාරමී මාරිස්ටෙලා පෙරළිකාර යක් ලැබීය. තම පුද්ගලික් දක්ෂතාව තත්පර 24 කින් අලුත් කළ පාරමී මෙම වසරේ දී එම ඉසව්වෙන් ලොව ඉහළම දක්ෂතාව දැකවූ ක්‍රීඩිකාව බවට ද පත්විය. එම ඉසව්වටම සහභාගීවූ කුලියාපිටිය විද්‍යාලයේම අස්මිකා හේරත් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය. තරගාවලියේ පළමු දිනය අවසානයේ රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
2018-07-04T11:31:05.000Z
අර්බුද දැන දැන ත් ක්‍රීඩා ඇමති මේ අරඅදින්නේ කුමකට ද?
අර්බුද දැන දැන ත් ක්‍රීඩා ඇමති අරඅදින්නේ කුමකට ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට අදාළ නඩුව අද පැවැත්විණ. අද නඩුවේ තීරණය වුණේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර එකගතාව අනුව ව්‍යවස්ථාපිත රාමුව තුල නිලවරණ්‍යක් පැවැත්විය හැකි බවයි. නමුත්, තවදුරත් විරෝධතා ඇත්නම් සැප්තැම්බර් 3 වැනිදා අභියාචනාධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ හැකියි. මේ අතර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද සවස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරුන් සිව් දෙනෙකු හමු විය. ඒ, අවස්ථාවට අන්තර් පාලන කමිටුවල සභාපතිවරුන් ලෙස සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, ජයන්ත ධර්මදාස, ආනා පුංචිහේවා යන මහත්වරුන් සහභාගී වූහ. මේ අවස්ථාවට විජය මලසේකර සහ රියෙන්සි විජේතිලක මහත්වරුන් සහභාගීවීමට නියමිතව සිටියත් ඔවුන් ඊට සහභාගී නොවූහ. උපාලි ධර්මදාස මහතාත් අසනීප තත්ත්වයක් නිසා සහභාගී වීමට නොහැකි වූ බව ලිපියකින් දන්වා තිබිණ. ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිරිස හමු වූයේ ඇයි....? මීට සති කිහිපයකට පෙර මේ ආකාරයටම ක්‍රීඩා අමාත්‍යවරයා මෙරට කීර්තිමත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වන රොෂාන් මහානාම, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවෙ පරිපාලනයට උපදේශකයන් ලෙස කටයුතු කිරීමට ආරාධනා කළේ ය. ඔවුන් සියලු දෙනා ලිඛිතව නැවත ක්‍රිඩා අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාව වැටි තිබෙන තැනින් ගොඩගැනීමට ක්‍රිකට් ආයතනයේ දේශපාලන අතපෙවීම් නැවැත්විය යුතු බවයි. ඔවුන් යෝජනා කළේ, සෘජු හා ස්වාධීන ලෙස කටයුතු කිරීමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවයි
2018-07-04T10:38:27.000Z
ආණ්ඩුවක් ද මේ පාණ්ඩුවක් ද?
ආණ්ඩුවක් ද මේ පාණ්ඩුවක් ද?
COLOMBO (News 1st) : මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සඳහා ජපාන බැංකුවකින් ණය ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කි‍ලෝමීටර් 32.5ක කොටස ඉදිකිරීමට යෙන් බිලියන 100ක අරමුදලක් සලසා ගැනීමට ජපන් බැංකුවක් සමඟ ගිවිසුමකට එළඹීමට අගමැති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන් බවයි. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම ණයට ගත් ඉන්ධන සඳහා රුපියල් බිලියන 13 .45ක මුදලක් ඛණිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබේ. ඉන් රුපියල් මිලියන දොලොස්දාස් හයසිය පනහක මුදල ගෙවීම සඳහා පෞද්ගලික බැංකුවකින් ණය මුදලක් ලබාගැනීමට සමාගම සූදානම් වේ. පසුගිය ආණ්ඩුව ශ්‍රීලංකන් සමාගම ගොඩ ගැනීමට යැයි පවසමින් මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරයා ගුවන් සමාගමේ මුල් පුටුවට පත් කළේ ය. වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග සමාගම ගොඩ ගැනීමට යැයි පවසමින් සුරේන් රත්වත්තේ මහතා ප්‍රධාන විධායක අසුනට පත් කළේ ය. ඔහු අගමැතිවරයාගේ උපදේශක මෙන්ම සමීප මිතුරෙකු වන චරිත රත්වත්තේ මහතාගේ සහෝදරයායි. දැන් සමාගම බිලියන ගනනින් පාඩු ලබන තත්ත්වට පත්කර කලින් විශ්‍රාම ගැනීම සදහා සුරේන් රත්වත්තේ මහතා මිලියන ගණනක වන්දියක් ඉල්ලා සිටී. සමාගම පාඩු ලබන තත්ත්වයෙන් ගොඩ ගැනීමට අසමත් වූ ප්‍රධාන විධායක ධුරයෙන් විශ්‍රාම ගැනීමට වන්දි ඉල්ලද්දී තෙල් සැපයුමත් නවතා දැමීමේ අවදානමක් පසුගිය සතියේ මතුවිය. රුපියල් බිලියන 13 ක් දක්වා ණය පදනලබාදෙන අතර එම සීමාව ඉක්මවා ඉන්ධන ලබාගැනීම නිසා සැපයුම අද සිට අත්හිටුවන බවට පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් කළේ ය. පසුගිය 2 වනදා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් , සංස්ථා ප්‍රධානීන් හා ගුවන් සමාගමේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. මේ වන විට ගෙවීමට ඇති මුළු ණය මුදලින් රුපියල් මිලියන 800 ක් ලබන සතිය තුළ පියවීමට කටයුතු කරන බව මෙම සාකච්ඡාවේදී ගුවන් සමාගමේ සභාපතිවරයා දැනුම්දී තිබේ. ඉතිරි ණය මුදල පෞද්ගලික බැංකුවකින් ලබාගැනීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි . මේ අතර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතුවලදී ප්‍රායෝගික අත්විදීමට සිදුවූ කනගාටුදායක සිදුවීමක් පිළිබඳව ශ්‍රීලංකන් , මිහින් ලංකා හා කේටරින් යන ආයතනවල දූෂණ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේදී අද අනාවරණය විය. මිහින් ලංකා ගුවන් සමාගමේ ආරම්භක සාමාජිකාවක් වන ඉන්ග්‍රිඩ් ගුරුගේ මහත්මිය අද කොමිසමේදී සාක්ෂි ලබාදුන්නා ය. අඩු වියදම් ගුවන් සේවයක් ලෙස හඳුන්වා දුන් මිහින් ලංකා ගුවන් සමාගමේ කළමනාකාර තනතුරුවලට පත්කළ පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකු විශ්‍රාම වයස් සීමාව පසුකර සිටි අය බව ඇය කොමිසමේදී පැවසුවා ය. මිහින් ලංකා ගුවන් සමාගම සංස්ථාපිත කළ දිනයේ සිට ගුවන් යානා හැසිරවීම් කටයුතු සිදුකළේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි. 2008 වසරේදී ගුවන්යානා තරප්පු පේලි , ට්‍රොලි , ට්‍රැක්ටර් රථ හා ගමන් මලු ගුවන් යානා තුළට ඇතුළු කිරීමේ යන්ත්‍ර මිහින් ලංකා සමාගමේ ගුවන් යානා හැසිරවීම් කටයුතු සඳහා මීලදී ගෙන තිබේ. සාක්ෂීකාරිය සඳහන් කළේ, අදාළ උපකරණ ජර්මනියේ නිෂ්පාදිත නවතම උපකරණ බව තමන්ට දැනුම් දුන් බවයි . එහෙත්, අදාළ උපකරණ සියල්ල මීට පෙර භාවිතයට ගත් උපකරණ බවත් , එක් යන්ත්‍රයක් සේවාවෙන් ඉවත් කිරීමට සිදුවූ බවත් සාක්ෂිකාරිය සඳහන් කළා ය. මීට අමතරව විදුලිබල මණ්ඩලයේ ද සිදුවන්නට යන අක්‍රමිකතාවක් පිළිබඳව අනාවරණය වෙමින් තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියකින් තොරව ලබාගත් විදුලිය වෙනුවෙන් ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරයට මිලියන අටසියයකට අධික මුදලක් ගෙවීම ප්‍රතික්ෂේප කළ විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ. ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සදහා තිබූ දීර්ඝ කාලීන ගිවිසුම 2015 වසරේදී අවසන් වීමෙන් පසු යළි එම සමාගම විදුලිබල මණ්ඩලය සමග ඇති කරගත් ගිවිසුම තවත් වසර 3කට දීර්ඝ කිරීමට පියවර ගත්තේ ය. විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පසුගියදා පැවසුවේ , පසුගිය වසර 2 හා මේ වසරේ මුල් කාර්තුවේ පැවති කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගත්විට නව විදුලි ජනන ධාරිතාවක් පද්ධතියට එක්කිරීමේ අවශ්‍යතාව පැනනැගුණු බවයි. කෙටි කාලීන අවශ්‍යතා මත ඇඹිලිපිටිය හා මාතර පෞද්ගලික විදුලි බලාගාර සහ සපුගස්කන්ද දැවි තෙල් පෞද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය මිලදීගැනීමට සාකච්ඡා පැවැත්වුණු බවද මණ්ඩලය පැවසීය.
2018-07-04T08:52:31.000Z
පර්පෙචුවල් නිසා රාජ්‍ය ආයතන 5කට බිලියන ගණනක අලාභයක්
පර්පෙචුවල් නිසා රාජ්‍ය ආයතන 5කට බි. 8.5ක අලාභයක්
COLOMBO (News 1st) : මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් හෙට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් නොකරන බව ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය. ඒ තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යන සැකකරුවන් ගොනු කර තිබු ප්‍රතිශෝධන අයදුම්පත් කැඳ වු අවස්ථාවේදීයි. ප්‍රතිශෝධන අයැදුම්පත් අද සලකා බලනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේයි. අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් හෙට දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද ඇප ඉල්ලීමක් කිරීමට සුදානම් වන්නේ දැයි මෙහිදී අධිකරණය විමසා සිටියේ ය. එහිදී ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා කියා සිටියේ හෙට දිනයේ ඔහු වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලීමක් නොකරන බවයි. විත්ති පාර්ශ්වයේ කරුණු දැක්වීම ලබන 18 වැනි දිනට කල් තැබී ය. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් දිර්ඝ ලෙස නීතිමය කරුණු ගෙන හැර දැක්වී ය. මෙහිදි මහ බැංකු බැඳුම්කර වෙන්දෙසි දෙකකදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් නිත්‍යනූකූල නොවන ආකාරයෙන් වත්කම් ඉපයීම නිසා රාජ්‍ය ආයතන පහකට සිදුවී ඇති රුපියල් බිලියන 8.5 ක අලාභය එම සමාගමෙන් අයකර ගැනීම සඳහා සිවිල් නඩු 05 ක් ගොනුකර ඇතැයි යසන්ත කොදාගොඩ මහතා අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය. ලංකා බැංකුව, සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු රජ්‍ය ආයතන 05 ක් වෙනුවෙන් එම නඩු කොළඹ දිසාඅධිකරණය හමුවේ පවරා ඇති බවද අභියාචනාධි කරණය හමුවේ අනාවරණ විය.
2018-07-04T08:15:08.000Z
විජේකලාගේ ප්‍රකාශය ගැන අගමැති පාර්ලිමේන්තුවට කරුණු කියයි
විජේකලාගේ ප්‍රකාශය ගැන අගමැති කරුණු පහදයි
COLOMBO (News 1st) : රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය. කතානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ, මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් ඇය නියෝජනය කරන පක්ෂය නායකත්වය දැනුවත් කර නීතිපති උපදෙස් ලබාගැනීමට ක්‍රියා කරමින් සිටින බව ත් ය. එවැනි වටපිටාවකදී මන්ත්‍රීවරු දෙදෙනකු පාර්ලිමේන්තුවේදී අශෝභන පාර්ලිමේන්තුවට අපකීර්තියක් බවයි. "විජයකලා මහේවරන් රාජ්‍ය අමාත්‍යවරිය විසින් සිදු කල ප්‍රකාශය ගැන අපි දැනගත් විගසම එය පරීක්ෂා කිරීමට එදින උදේම මා විසින් ක්‍රියාත්මක කර තිබින.අවශ්‍ය කැසට් පටය ලබාගෙන එහි පරිවර්ථන අධ්‍යන කර කතානායක වශයෙන් මට ගත හැකි සෑම පියවරක්ම ගැනීමටත් ඇය නියෝජනය කරන පක්ෂය නායකත්වය දැනුවත් කර නීතිපති උපදෙස් ලබාගැනීමටද මේ අතර ක්‍රියාත්ම වෙමින් තිබින. එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකු ඉතාමත් අශෝභන ලෙස පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කරමින් කටයුතු කල අකාරය පාර්ලිමේන්තුවටද අපකීර්තියකි" මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ‍ මහතා ද අද පාර්ලිමේන්තුවේදී විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වී ය. එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට කැපවී සිටින බවයි. "අපි ආණ්ඩුවෙත් එක්සත් ජාතික පක්ෂයෙත් ස්ථාවරය හැටියට කියන්න කැමතියි මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරනවා. ඒ වගේම එල් ටී ටී ඊ සංවිධානය තහනම් කරලා තියනවා. ඒක යලිත් ඇති කරන්න වුවමනා නෑ. ඒ පදනම උඩ අපි ක්‍රියා කරනවා. ඒ රාමුව තුළ මේ රටේ ඒකීය භාවයයි බුදුදහමයි ආරක්ෂා කරගනිමින් මේ රටට වුවමනා දේශපාලන විසඳුමකින් මූලික අයිතිවාසිකම් ප්‍රශ්නත්, බලය බෙදීමේ ප්‍රශ්නත් විසඳන්න තියනවා" මේ අතර මහේෂ්වරන් අමාත්‍යවරියගේ ප්‍රකාශය පිළිබඳ දැනුම්වත් වූ අවස්ථාවේදී ම ඒ පිළිබඳව සොයා බැලූ බවයි. "ඊයේ ඔබතුමයි මමයි අපි දෙන්නම සාකච්ඡා කලා, මමත් මේ මහේශ්වරන් ඇමතිතුමියගේ කතාව ගැන දැනගත්ත අවස්ථාවේදිම ඒ ගැන හොයලා බැලුවා. අපේ දේශපාලන කමියුව ඊයේ රැස් වුනා.ඊයේ විජයකලා මහේශ්වන් ඇමතිතුමිය අසනීපෙන් හිටියේ. මම කිව්වා අද කොළඹට ආවම මට එතුමිය මුණගැහෙන්න ඕනේ.ඒ වගේම එතුමිය ගැන ගතයුතු පියවර ගැන, පරීක්ෂන ගැන අපි තීරණය කරලා තියෙන්නේ.එතුමිය මුණගැහුනම පස්සේ අපි ඒ පියවර ගන්න කැමතියි" විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය. "සභාගර්භයේදී ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා ඇතුළු පිරිසක් ගරු කතානායකතුමාට පෟද්ගලිකවම ඉතා පහත් අන්දමින් දෝශාරෝපනය කරමින් තර්ජනය කරමින් අශෝබන ආකාරයෙන් හැසිරෙමින් පාර්ලිමේන්තුවේ සියළු කටයුතු වලට බාධාකරමින් පාර්ලිමේන්තුව ඊලග දිනයට කල් තැබීමට කටයුතු සිද්ධ කලා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා වරප්‍රසාධ කාරක සභාවට ඉක්මනින් යොමු කරලා ආචාරිය ධර්ම නීති කඩ කිරීම පිලිබද වහා පියවර ගන්න කියලා කඩිනමින්"
2018-07-04T07:59:06.000Z
ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් තාප්පයකින් වැටී මරු දකී
ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් තාප්පයකින් වැටී මරුට
චීනයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන වැන්ග් ජිඈන් ප්‍රංශයේ සංචාරයක නිරතව සිටින අතරතුර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ලෝක ව්‍යාප්ත චීන HNA සමූහයේ සම නිර්මාර්තෘ මෙන්ම සභාපතිවරයා ද වන වැන්ග් මිය යන විට 57 වන වියේ පසු විය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සංචාරය අතරතුර ප්‍රංශයේ ප්‍රොවන්ස්හි තාප්පයක් උඩ ඡායාරූපයක් සඳහා පෙනී සිටීමට යාමේදී ඔහු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ප්‍රංශ පොලීසිය පවසන්නේ, අඩි 50ක් පමණ උස තාප්පයකින් සිය පවුලේ සාමාජිකයින් ද බලා සිටියදී ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි. වැන්ග් සභාපතිත්වය දරන HNA සමූහය ගුවන්, සංචාරක සහ මූල්‍යමය ක්ෂේත්‍රයේ ලොව විශාලතම ආයතන අතරින් එකක් වන අතර වැන්ග් ලෝක ව්‍යාප්ත බැංකු සමූහ, හෝටල් සමූහ මෙන්ම ලන්ඩනයේ පිහිටි skyscraperගොඩනැගිල්ල ඇතුළු වත්කම් රැසක කොටස් හිමිකරුවෙකු ද වේ. ලෝක ව්‍යාප්ත මෙම HNA සමූහයේ ඔහු යටතේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව 400,000කට අධික ය. HNA ආයතනය සිය ප්‍රධානියාගේ හදිසි වියෝව ශෝකය පළ කරමින් එහි වෙබ් අඩවියේ අළු පැහැ ගන්වා ඇති අතර ආයතනය නිවේදනය කරන්නේ, වැන්ග් අතිදක්ෂ නායකයෙකු මෙන් ම ආදර්ශමත් නායකයෙකු බවයි. කෙසේ වෙතත් ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැක පළ කිරීමක් සිදුකර නොමැති අතර හදිසි අනතුරක් සේ සලකා පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කර තිබේ.
2018-07-04T06:34:11.000Z
ගෝඨාභයට එරෙහි නඩුවේ ඉදිරි පියවර ගැනීම වළකමින් අතුරු තහනමක්
ගෝඨාභය නඩුවේ ඉදිරි පියවර ගැනීම වළකාලන අතුරු තහනමක්
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මෙම නඩුව ගොනු කර ඇත්තේ පා වෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමට අවසර ලබාදීම මගින් රජයට රුපියල් කෝටි 1140 ක අලාභයක් කරන ලදැයි චෝදනා කරමිනි. ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමක් ගොනු කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එම චෝදනාවලින් තමන් නිදොස් කර නිදහස් කරන ලෙසයි. අභියාචනාධිකරණය මගින් පෙත්සම විභාග කර අවසන් වනතුරු එම අතුරු තහනම් නියෝගය වලංගු වනු ඇති. අචල වෙන්ගප්පුලි සහ අර්ජුණ ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචනය අද සලකා බැලිණ. ගෝඨාභය රාජපක්ෂ මහතා, මහාධිකරණය හමුවේ ගොනු කර ඇති ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් නීතිමය ඌණතාවයක් ඇති බව බැලූ බැල්මට පෙනී යන බව නිගමනය කළ අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ය. ලබන 26 වන දා මේ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරන ලෙස නීතිපතිවරයාට අධිකරණය නියෝග කර සිටියේ ය.
2018-07-04T03:56:43.000Z
මැණික් සමග චීන කතක් කටුනායකදී කොටු
මැණික් සමග චීන කතක් කටුනායකදී කොටු
COLOMBO (News 1st) : මැණික් ගල් තොගයක් සමග චීන ජාතික කාන්තාවක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, එහි වටිනාකම රුපියල් 48 64,777ක් බවයි. ගමන් මලු තුළ සුක්ෂම ලෙස සඟවා ඇය මෙම මැණික් බැංකොක් සිට මෙරටට රැගෙන විත් ඇති බව ද ඔහු සඳහන් කළේ ය. සැකකාරිය සන්තකයේ තිබී විශාල ප්‍රමාණයේ මැණික් ගල් 18 ක් සහ ඇසුරුම් 13 ක රදවන ලද කුඩා ප්‍රමාණයේ මැණික් තොගයක් රේගු භාරයට ගෙන තිබේ. සැකකාරිය රුපියල් 40,000 දඩයක් මත මුදා හැර ඇති අතර මැණික් තොගය රාජසන්තක කළ බව විපුල මිනුවන්පිටිය මහතා පැවසී ය.
2018-07-04T02:07:42.000Z
කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ
කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ
COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ. පොලීසිය පැවසුවේ, මේ හේතුවෙන් කොළඹ ලේක්හවුස් වටරවුම ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බවයි. මේ හේතුවෙන් එම ප්‍රදේශය මග හැර විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.
2018-07-04T01:56:27.000Z
ඛනිජ තෙල් සංස්ථාවේ ණය ගෙවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම එකඟ වෙයි
ශ්‍රීලංකන් ගුවන් සමාගම ණය ගෙවීමට එකඟ වෙයි
COLOMBO (News 1st) - ගුවන් යානා ඉන්ධන වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට අයවිය යුතු මුදලින් ඩොලර් මිලියන 05 ක මුදලක් ඉදිරි සතියේ ගෙවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම එකඟ වී තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා සඳහන් කළේ, සාර්ථක සාකච්ඡාවකින් පසු ඉන්ධන සඳහා ගෙවීමට ඇති සෙසු ණය මුදල් කොටස් වශයෙන් ගෙවීමටත් ශ්‍රීලංකන් ගුවන් සමාගම එකඟ වූ බවයි. ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් යානා ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 87.05 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 13.45 ක් වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසූවේ, ඉන් ඩොලර් මිලියන 05 ක් ඉදිරි සතිය තුළ ගෙවීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම එකඟ වූ බවයි. ඉතිරි ණය පියවීම සඳහා පෞද්ගලික බැංකුවකින් ශ්‍රීලංකන් ගුවන් සමාගම ණය මුදලක් ගැනීම නියමිත ය. ඒ සඳහා වන යෝජනා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අදාළ සමාගම මගින් යොමු කිරීමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. එම ණය ලබාගෙන ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ඉතිරි ණය මුදල පියවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කර ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ. දෙපාර්ශවය අතර වූ සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සමාගමට අවශ්‍ය බන්ධන අඛණ්ඩව ලබාදීමටයි.
2018-07-04T00:40:51.000Z
උතුරු පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ
උතුරේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
COLOMBO (News 1st) - සති දෙකක කාලයක් සඳහා උතුරු පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ඒ, උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයකට අනූවයි. ආවා කල්ලියේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු පළාත තුළ ක්‍රියාත්මක මෙහෙයුමක් හේතුවෙන් එළෙස පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංලගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකා‍ශක කාර්යාලය සඳහන් කළේ ය.
2018-07-04T00:25:59.000Z
ඉක්වදෝරයේ හිටපු ජනපති රැෆියල් කොරෙයා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග
රැෆියල් කොරෙයාට අධිකරණ නියෝගයක්
ඉක්වදෝරයේ හිටපු ජනපති රැෆියල් කොරෙයා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. ඒ, 2012 වසරේදී සිදුව ඇති සිය විරුද්ධවාදියෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට එල්ල වන චෝදනාව මතය. හිටපු ජනපති රැෆියල් කොරෙයා සිය බිරිඳ උපන් රට වන බෙල්ජියමේ පදිංචිව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. එම වාර්තාවන්හි දැක්වෙන්නේ තමන්ට එල්ල වන චෝදනා ඉක්වදෝරයේ හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කරන බවයි.
2018-07-03T23:53:06.000Z
හැරී කේන් රන් සපත්තුව හඹා යයි
හැරී කේන් රන් සපත්තුව හඹා යයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ තරග වටයේ අවසන් තරගය එංගලන්තය හා කොලොම්බියාව අතර තරගය රුසියාවේ ස්පාටක් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. තරගයේ පළමු අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමේ අවස්ථාව හිමි නොවුනද 57 වන මිනිත්තුවේදී පළමු ගෝලය එංගලන්තය වාර්තා කළේ ය. ප්‍රතිවාදි කොලොන්බියානු පසුපෙළ ක්‍රීඩකයන්ගේ නීති විරෝධි ක්‍රිඩා විලාසය හේතුවෙන් ලබා දුන් දඬුවම් පහර සාර්ථක කර ගත්තේ එංගලන්ත නායක හැරී කේන් ය. ඒ අනුව ඔහු පැවති තරග 4දී ගෝල 6ක් වාර්ථා කර ගෙන සිටි. කෙසේ වෙතත් ජයග්‍රහණය එංගලන්තය සතුව තිබූ මොහොතේ අබාධ සඳහා ලබාදුන් අතිරේක කාලයේදී කොලොම්බියාව ගෝලයක් වාර්තා කළේ ය. ඒ අනුව ගෝල 1ට 1ක් ලෙස සම තත්ත්වයෙන් අතිරේක කාලයේදී ද දෙපිලෙන්ම ගෝල වාර්තා නොවු නිසා තරගයේ ජයග්‍රහණය තීරණය කළේ දඬුවම් පහර මගිනි. එහිදී එංගලන්තය දඬුවම් පහර 4ක් සාර්ථක කර ගනිද්දී කොලොම්බියාව සාර්ථක කර ගත්තේ දඬුවම් පහර 3ක් පමණි. ඒ අනුව එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට අවස්ථාව හිමිකර ගත්තේ ය. එසේම තරගාවලියේ වැඩිම ගෝල වාර්තා කරන්නන් අතර පෙරමුණ ගැනීමට එංගලන්තයේ හැරී කේන් මෙම තරගයේ දී සමත්වීම මත මෙවර රන් සපත්තුව දිනා ගැනීමේ වැඩි අවස්ථාව ඔහුට ලැබී තිබේ. ගෝල 6 ක් ලබා සිටින බෙල්ජියම් ක්‍රීඩක රොමේලෝ ලුකාකු ගෝල 5 ක් ලබා සිටින අතර පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල 4 ක් වාර්තා කර තිබේ. https://youtu.be/RbmaLT320hw
2018-07-03T23:17:45.000Z
වසර 24 කට පසු අලුත් වූ ස්වීඩනයේ පාපන්දු ගමන
වසර 24 කට පසු අලුත් වූ ස්වීඩනයේ පාපන්දු ගමන
COLOMBO (News 1st) - වසර 24 කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ස්විට්සර්ලන්තය පරාජය කළ ස්වීඩනය සමත් විය. මේ අතර එංගලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූයේ ප්‍රබල කොලොම්බියාව පරාජය කරමිනි. ඒ අනුව මේ වන විට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් 8 ක් සුදුසුකම් ලබා අවසන් ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ තරග වටයේ අවසන් තරග දෙක ඊයේ පැවැත් විණි. එහි පළමු තරගය වන ස්වීඩනය හා ස්විට්සර්ලන්තය අතර තරගය පැවැත් වූයේ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් හීදීයි. තරගයේ පළමු අර්ධයේ ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර ස්වීඩනයට අවස්ථා කිහිපයක් හිමිවුන ද ඔවුන් එම අවස්ථා සාර්ථක කර ගැනීමට තරම් වාසනාවන්ත වූයේ නැත. දෙවැනි අර්ධය ආරම්භවී මිනිත්තු 21 ට පසු එනම් 66 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ස්වීඩන ක්‍රීඩක ෆෝර්ස්බර්ග් ලබාගත් ගෝලයත් සමග ස්වීඩනයට මෙවර තරගාවලියේ රැඳී සිටීමේ වාසනාව හිමිවිණි. ස්වීඩනයේ එමිල් ෆෝර්ස්බර්ග් චතුරශ්‍රය පිටත සිට එල්ල කළ ප්‍රහාරයක් ගෝල රාමුව තුළට යොමුවූයේ ස්විට්සර්ලන්ත ගෝල රකින්නා වූ යෑන් සෝමර්ට කිසිදු අවස්ථාවක් හිමි කර නොදෙමිනි. අනතුරුව ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින් ප්‍රබල උත්සහයක් යෙදුව ද ගෝලයක් වාර්තා කර ගැනීමට ඔවුන්ට අවස්ථාවක් හිමිවුනේ නැත. කෙසේ වෙතත් ආබාධ සඳහා ලබාදුන් අතිරේක කාලයේදී ගෝලයක් සඳහා ඉදිරියට පැමිණ සිටි ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින් පසු කරමින් ස්වීඩන් ක්‍රීඩකයෙකු පන්දුවත් සමග ධාවනයේ නිරත වූ අතර දඬුවම් පහර චතුරශ්‍රය ආසන්නයේදී ඔහුට බාධා කළ ස්විට්සර්ලන්තයේ මයිකල් ලෑන්ග් හට රතු කාඩ්පතක් නියම කිරීමට විනිසුරු තීරණය කර තිබේ. කෙසේ වෙතත් ගෝල 1 ට 0 ක් ලෙස ස්විට්සර්ලන්ත කණ්ඩායම පරාජය කරමින් වසර 24 කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ස්වීඩනය සමත් විය. අවසන් වරට ස්වීඩනය 1994 වර්ෂයේදී බල්ගේරීයාවට එරෙහිව තෙවන ස්ථානය සඳහා පැවැති තරගයෙන් ගෝල 4-0 කින් ජය ගැනීමට ඔවුන් සමත් විණි.
2018-07-03T22:17:05.000Z
මලයාසියානු හිටපු අගමැති නජිබ් රසාක් අධිකරණය හමුවට
නජිබ් රසාක් අධිකරණය හමුවට
අත්අඩංගුවට පත් මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් අද උදෑසන ක්වාලාලම්පූර් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ. ඒ, මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු අග්‍රාමාත්‍යවරයා දූෂණ විරෝධි කොමිසම් මූලස්ථානයේ සිට අධිකරණය වෙත රැගෙන ආ බවය. මලයාසියානු නීතිපති ටොමී තෝමස් නජීබ් රසාක්ට එරෙහි නඩුවෙහි පැමිණිල්ල මෙහෙයවීමට ද නියමිත වේ. මලයාසියානු වාර්තාවන්හි දැක්වෙන්නේ හිටපු අගමැතිවරයාට එරෙහිව චෝදනා රැසක් එල්ල වන බවයි. මලයාසියානු සංවර්ධන අරමුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 10.6 ක මුදලක් නජීබ් රසාක්ට අයත් විදේශ බැංකු ගිණුමකට බැරකර තිබීම ඔහුට එල්ල වන එක් චෝදනාවකි. මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අතුරුදන් වූ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙම සැකකටයුතු ගනුදෙනු සිදුකෙරුණු සමාගම් හා බැංකු සම්බන්ධයෙන් ද විමර්ෂකයින්ගේ අවධානය යොමුව තිබේ.
2018-07-03T21:13:51.000Z
මැති සභයේ උණුසුමත් සමග හදිසියේ කල්තැබු පාර්ලිමේන්තුව අද යළිත් රැස් වෙයි
කල්තැබු පාර්ලිමේන්තුව අද යළිත් රැස් වෙයි
COLOMBO (News 1st) - ඊයේ දිනයේ කල් තැබුණු පාර්ලිමේන්තුව අද උදෑසන 10.00 රැස්වීමට නියමිත වේ. ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කෙරෙන නියෝග 18 ක් අද පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනීමට නියමිතය.
2018-07-03T20:49:19.000Z
මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවක
මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවක
COLOMBO (News 1st) - රැකියා ඉල්ලමින් මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් මධ්‍යම පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය. මධ්‍යම පළාත් සභාව රැස් වූ අවස්ථාවේදී, විරෝධතාකරුවන් පළාත් සභාවට පිවිසෙන පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත විණ. විරෝධතාව හේතුවෙන් ඒ ආසන්නයට පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා තිබේ. පැය කිහිපයක් විරෝධතාව පැවති අතර අවසානයේ පොලීසිය මැදිහත්ව විරෝධතාකරුවන් පළාත් සභාවේ පිවිසුම් දොරටුව අසළින් මෙලෙස ඉවත් කෙරුණි.
2018-07-03T20:31:46.000Z
ගුරු විදුහල්පතිවරුන් අද සේවයෙන් ඉවතට
ගුරු විදුහල්පතිවරුන් අද සේවයෙන් ඉවතට
COLOMBO (News 1st) - ගුරු විදුහල්පති ඇතුලු අධ්‍යාපන සේවා වෘත්තිය සමිති අද සේවයෙන් ඉවත්ව ඇත. ඒ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව පවසමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් ලබාදීමට එරෙහිවයි. මෙම වැඩ වර්ජනයට අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති 11 ක සාමාජිකයින් එක් ව සිටි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන වෘත්තිකයින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නීල් අතුකෝරල මහතා ප්‍රකාශ කළේ, වර්ජනයේ නිරත වෘත්තිය සමිති සාමාජිකයින් අද අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වන බවයි.
2018-07-03T11:30:08.000Z
කෝටි ගණනක ගනුදෙනුවක් ගැන හෙළි කළ මාධ්‍යවේදියෙකුට තුසිත හල්ලොලුව අසැබි වචනයෙන් බැන වදී
තුසිත හල්ලොලුව මාධ්‍යවේදියෙකුට බැන්නේ මෙහෙමයි
COLOMBO (News 1st) - 2015 ජනවාරි 8 වන දා යහපාලන රජය පිහිටුවන්නේ මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන බවට ප්‍රතිඥා දෙමිනි. නමුත් රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක් පිළිබඳව මාධ්‍යවේදියකු කළ අනාවරණයකට කිපුණු අමාත්‍යංශයක කාර්ය මණ්ඩල ප්‍රධානියකු මෙන්ම රජයේ ප්‍රබල ආයතනයක ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්වීම් ලබා ඇති තුසිත හල්ල්ලොලුව නැමැත්තා ප්‍රතිචාර දැකිවිය. මෙහි ඇති ඇතැම් වචන කපා දැමුනේ කුඩා දරුවන්ට කෙසේවෙතත් ඒවා වැඩිහිටියන්ට පවා අසා සිටීමට නොහැකිවීම හේතුවෙනි. මෙම තොරතුරුවලින් අනාවරණය වන ජෙයසුදීර් ජෙයරාම් නමැත්තා මීට මාස කිහිපයකට පෙර නීතිවිරෝධී අයුරින් විදෙස් මුදල් තොගයක් රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනිණි. එහෙත් ඔහු පසුව මුදාහැර තිබුනේ කාගේ බලපෑමක් මත ද? එස්එල්වීලොග් අනාවරණය කරන්නේ මෙම පුද්ගලයා සමග කළ ගනුදෙනුවක් ගැන සිදුකළ අනාවරණයකට තුසිත හල්ලොලුව නමැත්තා කෝපගෙන ඇති බවයි. මාධ්‍යවේදීන්ට ආණ්ඩුවේ තනතුරු දරන්නන් තර්ජනය කරන්නේ රටේ නායකයින් මාධ්‍ය නිදහස් ගැන පුන පුනා ප්‍රකාශ කරද්දී වීම විශේෂත්වයකි. තුසිත හල්ලොලුව නමැත්තාට මාධ්‍යවේදියා කළ අනාවරණයන් පිළිබඳව පැහැදිලි කිරීමක් හෝ අභියෝග කිරීමක් කරන්නට උවමනාවක් තිබුනා නම් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ පිළිගත් ක්‍රමවේදයන් රැසක්ම තිබේ. ඔහු විසින්ම මාධ්‍යයට තමන් හඳුන්වා දෙන්නේ අනුර ප්‍රියදර්ශන යාපා, අමරසිරි දොඩන්ගොඩ, ඩිලාන් පෙරේරා වැනි දේශපාලනඥයින්ගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ මාධ්‍ය ඒකකයේ නිලධාරියකු ලෙස ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රචාරණ අධ්‍යක්ෂකවරයකු ලෙස ද කටයුතු කර ඇති බවයි. නිසි ලියකිවිලි නොමැතිව වරක් මලයාසියාවේ රඳවා ගත්තේ ද අයතා අන්දමින් මුදල් රටින් බැහැර කරන්නට ගොස් කටුනායක ගුවන්තොටුපොළේදී ආරක්ෂක අංශ භාරයට පත්වූයේ ද මේ පුද්ගලයාම නොවේ ද? බලයෙන් හෝ තනතුරෙන් උදම්ව ගිය උද්දච්ච පුද්ගලයෙකුගේ ආකාරයෙන් කරන මෙම හැසිරීම ශිෂ්ඨ සම්පන්න සමාජය කිසිසේත්ම අනුමත නොකරනු ඇත. රජයට සම්බන්ධ තනතුරු දරමින් හෝ රජයේ කොටස්කරුවන් බවට කයිවාරු ගසමින් මාධ්‍යයට තර්ජනය කරමින් සහ බිය වද්දමින් කරන මෙවන් හැසිරීම්වලින් සිදුවන්නේ රජයම අපහසුතාවයට පත්වීම නොවේ ද? මාධ්‍යයට මෙවන් තර්ජන කරන අයට අප සිහිපත් කරන්නේ ඔවුන්ගේ රහසිගත ව්‍යාපාර සහ වත්කම් ගැන තොරතුරු මාධ්‍ය ආයතන සතුව ද පවතින බවයි.
2018-07-03T10:50:16.000Z
උතුරේ නීතිවිරෝධී කේබල් රූපවාහිනි රැහැන් ගැන වෙබ් මාධ්‍යවේදීන්ගෙන් විදුලි බල මණ්ඩලයට පැමිණිල්ලක්
කේබල් රූපවාහිනි රැහැන් සම්බන්ධයෙන් පැමිණිල්ලක්
COLOMBO (News 1st) - උතුරු හා නැගෙනහිර පළාත්වල නීතිවිරෝධී කේබල් රූපවාහිනි රැහැන් සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන් අද ලංකා විදුලි බල මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. නීතිවිරෝධි කේබල් රූපවාහිනි සඳහා රැහැන් භාවිත කිරීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර වහා ක්‍රියාමාර්ග ගන්නැයි මේ පැමිණිල්ලෙන් ඉල්ලා ඇත. යාපනය දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත කෙබල් රූපවාහිණි රැහැන් හේතුවෙන් ජීවිත හානි ද සිදු විය.
2018-07-03T10:34:44.000Z
මාධ්‍යවේදීන්ට බලපෑම් නොකර ජ්‍යේෂ්ඨ කතුවරුන් අමතන්නැයි මහින්ද රාජපක්ෂට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත දන්වයි
මහින්දට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් දැනුම්දීමක්
COLOMBO (News 1st) - නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය දක්වන ප්‍රතිචාරවලට එම පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරුදී තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට තම වාර්තාව සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට හිරහැර නොකර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජ්‍යේෂ්ඨ කතුවරුන් සම්බන්ධ කරගන්නා ලෙස එම පුවත්පත දැනුම්දී ඇත. පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මන් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ලිපිය සකස් කිරීමේදී සහය වූ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ විවේචනය කර ඇති බවයි. මේ අයුරින් මාධ්‍යවේදීන් බිය වැද්දීම කිසිසේත් අනුමත නොකරන බව පවසන නිව්යෝර්ක් ටයිම්ස් ජාත්‍යන්තර කතුවරයා එය විවේචකයින් නිහඬ කිරීමේ උත්සාහයක් මෙන්ම මාධ්‍ය නිදහස සීමා කිරීමක් බව ද පවසා ඇත. ඔහු අවධාරණය කරන්නේ මෙම ක්‍රියාව ශ්‍රී ලංකාවේ ජනතාව දැනගැනීමට උනන්දුවන තොරතුරු සීමා කිරීමක් බවයි. ශ්‍රී ලංකාවේ බලධාරීන් තමන්ගේ හා වෙනත් ඕනෑම ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කරන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසූවේ, තමන්ට හා මහින්ද රාජපක්ෂ මහතාට මාධ්‍යවේදීන් විවේචනය කරමින් ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීමට කාලයක් නොමැති බවයි. මාධ්‍යවේදීන්ට ඇති අයිතීන් මෙන්ම තමන් සම්බන්ධයෙන් පළවන අසත්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දැක්වීමට දේශපාලඥයින්ට ද අයිතියක ඇතැයි ඔහු පැවසීය. ඔහු නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ ජාත්‍යන්තර නතුවරයාට අභියෝග කරන්නේ මාධ්‍යවේදීන් බියවද්දන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්දැයි නිශ්චිතව පවසන ලෙසයි. මේ අතර විපක්ෂයේ සිටියදීත් පරණ පුරුදු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලැජ්ජාවන බව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් මාධ්‍යවේදීන් බියවැද්දීම හෙළා දැක ඇත. විදෙස් මාධ්‍යවේදීන්ගේ සංගමය පැවසූවේ, පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශ පිළිබඳව කනස්සල්ල පළ කරන බවයි.
2018-07-03T09:34:29.000Z
විජයකලා නිසා යකා නැටූ "රට හදන තැන"
විජයකලා නිසා යකා නැටූ "රට හදන තැන"
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමග අද පාර්ලිමේන්තුව උණුසුම් විය. වාද විවාද මැද සෙංකෝලය රැගෙනයාම උත්සහ කිරීමත් සමග රැස්වීම හෙට දිනය දක්වා කල් තැබුවේ අදට නියමිත කිසිදු කටයුත්තක් සිදු කිරීමෙන් තොරවයි. මේ වසර තුළ පාර්ලිමේන්තු රැස්වීම මේ අයුරින් පසුදිනය දක්වා කල්තැබීමට සිදු වූ දෙවන අවස්ථාව මෙය වේ. එක්සත් ජා‍තික පක්ෂයේ පා.ම, එස්. එම්.මරික්කාර්, දැන්‍ මේ විජයකලා මහේෂ්වරන් ඇමතිතුමිය ජාති ද්‍රෝහී ව්‍යවස්ථා උල්ලංඝණ ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි ඒක හෙළා දකිනවා වගේම එයට‍ විරුද්ධ වෙනවා. මේක රජයේ මතයද එක්සත් ජාතික පක්ෂයේ මතද ඔබතුමා මොකක්ද කියන්නේ? අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම්, මෙය අපි එක්සත් ජාතික පක්ෂය විදිහට සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මම මහලේකම්වරයා විදිහට එතුමියගෙන් මම ඇහුවා දුරකතනයෙන්. එතුමිය මට කිව්වේ ඒ වෙලාවේ තිබුන හිතේ අමාරුවට ඒ දැරිවියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඒ වාගේ ප්‍රකාශයක් කර කියලා. පක්ෂයක් විදිහට එය ප්‍රතික්ෂේප කරනවා වගේම කියන්න ඕනෑ පහුගිය දවස්වල හිට්ලර්ව උදාහරණයකට අරන් මේ වාගේ නායකයෝ සමාන කරා. ඒවගේ එකක් තමයි මේකත්. කතානායක, කරූ ජයසූරිය, මේක වාදයක් යන්න යන්න බෑ. ඔබතුමා ඉවර කරන්න එක්සත් ජා‍තික පක්ෂයේ පා.ම, එස්.එම්.මරික්කාර්, නෑ.. මගේ ප්‍රශ්නය..පොයින්ට් ඔ‍ෆ් ඕඩර්.. ගරු ඇමතිතුමා එයාට හිතේ අමාරුව තියෙනවා නම් අපේ කොළොන්නාව පැත්තේ තියනවා අර අංගොඩ මානසික රෝහල එහෙට එවන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම්, මම හිතන්නේ ඔබතුමාම මන්ත්‍රීතුමියට කිව්වනම් හොඳයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, විමල් වීරවංශ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් කරලා තියෙනවා. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොනවාහරි කරගන්න කියන්න. කතානායක, කරූ ජයසූරිය, ඔය කරුණ හතරපස්සැරයක් කියන්න ඕනෑ නෑ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, දයාසිරි ජයසේකර, මම කියන්න කැමතියි එතුමියට විරුද්ධව සී.අයි.ඩී එක පරීක්ෂණයක් කරලා ගන්න තියන පියවර ගන්න ඕනෑ. ඒවගේම මේ පාර්ලිමේන්තුව එතුමියට තහනම් කරන්න ඕනෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, රෝහිත අබේගුණවර්ධන, මේ ඇමතිතුමිය කළ ප්‍රකාශයත් සමග මුළු රටම අස්ථාවර වෙලා තියෙනවා. එක්සත් ජා‍තික පක්ෂයේ පා.ම, අශෝක ප්‍රියන්ත, අපේ මතයත් එවැනි ප්‍රකාශයක් කරලා ආණ්ඩුවේ ධූරයක් දැරීම වැරදියි. අපිත් කියන්නේ ඇමතිධූරයෙන් අයින් වෙන්න කියලා. කතානායක, කරූ ජයසූරිය, පක්ෂේ ගන්න ඕනෑ තිරණයක්. මන්ත්‍රීවරයෙක්, ඔබතුමා ගන්න තීරණය මොකක්ද කතානායක, කරූ ජයසූරිය, තීරණය ගන්නම් මම. ඒක බරපතළ කාරණයක් කියලා දන්නවා.මේ පුටුවේ ඉඳලා ගන්න බෑ. එහෙනම් මට නවත්වන්න වෙනවා පාර්ලිමේන්තුව. තර්ජනය කරලා බෑ එහෙම කරන්න. පක්ෂ නායකයෝ එක්ක කතා කරලා බරපතළ විදිහට මම කරන්නම්. ඉතා බරපතළ තීරණයක්. හරි දැන් වාඩිවෙන්න කරුණාරලා කතානායක, කරූ ජයසූරිය, වීරවංශ මන්ත්‍රීතුමා මම ඔබතුමාට ආපහු කියනවා වාඩිවෙන්න කියලා. මට වැඩකටයුතු කරන්න ඉඩදෙන්න. කතානායක, කරූ ජයසූරිය, මේක රඟමඩලක් කරගන්න එපා. පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවනවා. අනතුරුව පාර්ලිමේන්තුව රැස්වුව ද නැවත වතාවක් විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශය පිළිබඳ සංවාදය මතු විය. කතානායක, කරූ ජයසූරිය, මේ සිද්ධිය කතානායකවරයාට බලපාන සිද්ධියක් නෙවෙයි. ඒවාට දේශපාලන පක්ෂ ඉන්නවා.දේශපාලන නායකයෝ ඉන්නවා. දැන් ගරු අගමැතිතුමාට කතාකලා. අගමැතිතුමා ඒ ගැන පරීක්ෂණයක් කරලා අවශ්‍ය පියවර ගනියි. සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මේ සම්බන්ධයෙන් ඉදිරිපියවර ගන්න අපි අගමැතිතුමාත් එක්ක සාකච්ජා කරනවා. කතානායක, කරූ ජයසූරිය, නෑ මේ ගැන‍ නෝ ආගියුමන්ට්. මෙතනින් ඉවරයි. නෝ පොයින‍්ට් ඔ‍ෆ් ඕඩර් මේක ඉවරයි අපි වැඩකටයුතු කරගෙන යනවා. ගරු හේෂාන් විතානගේ මන්ත්‍රීතුමා. කතානායකවරයා එලෙස සභාවේ වැඩකට‍යුතු කරගෙන යෑමට උත්සහ කළ ද නැවත විපක්ෂ මන්ත්‍රීවරු ඊට‍ බාධා කළහ. කතානායක, කරූ ජයසූරිය, විමල් වීරවංශ මන්ත්‍රීතුමා මතක තියාගන්න මට එහෙම කිව්වට මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියපු අය ඉන්නවා. පාර්ලිමේන්තුවට ගිනිතියන්න කියපු අය ඉන්නවා. මට කව්රුවත් නවත්වන්න බෑ. මගේ යුතුකමක් තියෙනවා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරගෙන යන්න. බෑ දෙන්න බෑ... සොරි. අගමැතිතුමා ප්‍රකාශයක් දුන්නට පස්සේ ගහන්න රේස් එක. පාර්ලිමේන්තුව කල්දාන්න බෑ. මහජන මුදල් වියදම් කරනවා. විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඔබතුමාව නම්කරන්න සිද්ධ වෙනවා. ඔබතුමා වාඩිවෙන්න. කතානායක, කරූ ජයසූරිය, මේක පාර්ලිමේන්තුවක් මොකක්ද මේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, මේ ඒකාධිපතියෙක්නේ කතානායක, කරූ ජයසූරිය, ඒකාධිපතියෙක් නෙවෙයි.මට අවස්ථාවක් දෙන්න කථාකරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, ඔබතුමාට ඕනෑ විදහට නටන්නේ. කතානායක, කරූ ජයසූරිය, මට ඕනෑ විදිහට නටන්නේ නෑ. එතුමිය මම කැඳවලා පරීක්ෂා කරනවා. විරවංශ මන්ත්‍රීතුමා කටපරිස්සම් කරගන්න. මට අවස්ථාව දෙන්න. ඔබතුමාගේ මුඛය පරීක්ෂා කරගන්න. ඉතාම කැතවිදිහට කතාකරනවා. මන්ත්‍රීවරු ඔබතුමාගේ තීන්දුව අපි බලාපොරොත්තු වෙනවා. කතානායක, කරූ ජයසූරිය, තීන්දුව තමා අගමැතිතුමා හම්බෙලා කතා කරලා අවශ්‍යනම් පාර්ලිමේන්තුවේ විනය පරීක්ෂණයක් කරනවා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මේ සිද්ධිය සම්බන්ධයෙන් වීනය පරීක්ෂණයක් තියලා සියලු දෙනාටම අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්නම්. කතානායක, කරූ ජයසූරිය, මම කරනදේ මම දන්නවා. මෙතන න‍ටන්නේ නැතුව ඉඩදෙන්න. කතානායක, කරූ ජයසූරිය, මට ඔබතුමාව නම් කරන්න වෙනවා. ඔබතුමා මේ බෝම්බ ගහන්නත් කතා කරලා මෙතන සුදනා. මන්ත්‍රීතුමා ප්‍රවේශම්වෙන්න ඔය කැලණියේ කරපුවා මෙහේ කරන්න බෑ. විජයකලාට මම ගන්නම් ඔබතුමා මන්ත්‍රීවරයෙක් විදිහට හැසිරෙන්න. ‍මොකක්ද මේ හැසිරීම චන්ඩියෙක් වගේ. කතානායක, කරූ ජයසූරිය, ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා මට අයින්කරන්න වෙනවා. ඔබතුමා අයින්වෙනවද නැද්ද. කතානායක, කරූ ජයසූරිය, හෙට උදේ වෙනකන් පාර්ලිමේන්තුව කල්දානවා.
2018-07-03T08:22:28.000Z
ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායකයාගේ ලකුණු රැස් කිරීම වාර්තා අතරට එක්වෙයි
ඔස්ට්‍රේලියාවෙන් තව ත් ක්‍රිකට් වාර්තාවක්
COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ලෙස අද වාර්තා අතරට එක් විය. ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී පන්දු 76 කින් ලකුණු 172 ක් රැස් කරමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 2කට ලකුණු 229 ක් රැස් කළේ ය.
2018-07-03T05:09:12.000Z
පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම ඉහළට
පන්දුව පළුදු කළ ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම ඉහළට
COLOMBO (News 1st) - පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම්ද වැඩි කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ. අයර්ලන්තයේ ඩබ්ලින් හීදී පැවැති 75 වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ. මින් පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2 වන මට්ටමේ වැරැද්දක් ලෙස සැළකු පන්දුව පළුදු කිරීම, නව නීතීය යටතේ 3 වන මට්ටමේ වැරැද්දක් ලෙස සඳහන් කර තිබේ. ඒ අනුව පන්දුව පළුඳු කිරීමට වැරදිකරුවන ක්‍රීඩකයෙකුට තහනම් ලකුණු හෙවත් ඩී මෙරිට් ලකුණු 12 නියම කිරීමට නියමිත ය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අචාර ධර්ම පද්ධතියට අනුව තහනම් ලකුණු 12 ක් ටෙස්ට් තරග 6 ක හෝ පන්දුවාර 20 යි 20 තරග 12 ක තහනමකට සමාන වේ. මේ අතර අන්තර්ජාතික ටෙස්ට් කවුන්සිලය විසින් සංවිධානය කරන ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය පිළිබඳ නීතී හා රෙගුලාසි එළැඹෙන සති කිහිපය තුළ නිවේදනය කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. පසුගියදා නිමාවට පත්වූ ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි නිල අන්තර්ජාතික ක්‍රිකට් තරග ලෙස නම් කිරිමට ද එහීදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
2018-07-03T04:08:07.000Z
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඉදිරි මාස 6 තුළ නොපැවැත්වුවොත් ICC සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්?
ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්?
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඉදිරි මාස 6 ක කාලය තුළ නොපැවැත්වුහහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සමාජිකත්වය පිළිබඳව ගැටළුවක් ඇති විය හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය. අයර්ලන්තයේ ඩබ්ලින් හීදී පැවැති 75 වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි මාස 6 ක කාලයක් තුළ නිලවරණය පැවැත්වීමට පසුගියදා පැවැති රැස්වීමේදී එකඟ වූ බවත් ඒ අනුව ඉදිරි මාස 6 ක කාලය තුළ එම නිලවරණය පැවැත්විය යුතු බව ය. එසේ නොකළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සමාජිකත්වය පිළිබඳ ගැටළුවක් ඇති වන බව ඔවුන් වැඩි දුරට ත් සඳහන් කළේය.
2018-07-03T03:52:14.000Z
මලයාසියානු හිටපු අගමැති නජීබ් රසාක් අත්අඩංගුවට
මලයාසියානු හිටපු අගමැති නජීබ් රසාක් අත්අඩංගුවට
(News 1st) - මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි. සිය නිවසේ සිටියදී නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-07-03T03:45:02.000Z
විජයකලා නිසා නොසන්සුන් වූ පාර්ලිමේන්තුවේ අදට නියමිත කටයුතු අත්හිටුවයි
විජයකලා නිසා පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු සභාව තුළ ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් අදට නියමිත පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට කතානායකවරයා පියවර ගැනිණි. විජයකලා මහේස්වරන් රාජ්‍ය ඇමතිවරියට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම බාධා කළ අතර එහිදි හටගත් නොසන්සුන්තාව මත සෙංකෝලය පැහැර ගැනීමට මන්ත්‍රිවරුන් උත්සාහ දැරිමත් සමගම සභාවේ කටයුතු අත්හිටවනු ලැබිණි.
2018-07-03T03:10:36.000Z
රියැදුරු බලපත් ඉල්ලුම් කරන 7%කට අක්ෂි අබාධ
රියැදුරු බලපත් ඉල්ලුම් කරන 7%කට අක්ෂි අබාධ
නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන්නන්ගෙන්, 7%ක පිරිසක් අක්ෂි ආබාධ සහිත අයැදුම්කරුවන් බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි. එහි සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, දෛනිකව පැමිණෙන පිරිසෙන් 10% ඉක්ම වූ පිරිසක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් ද පෙළෙන බවයි. මේ තත්ත්වය මත බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික නිකුත් කිරීමේදී නව නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.
2018-07-03T02:51:09.000Z
එමිල් රංජන් හා නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්
එමිල් රංජන් හා නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්
වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා සහ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 17වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. මෙහිදී අපරාධ ස්ථානයේ තිබී සොයා ගත්, ටී-56 ගිනිඅවි 25ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙස අධිකරණය නියෝග කළේ ය.
2018-07-03T01:29:20.000Z
මහින්දානන්ද නඩුව ත් විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කරන්නැයි, ඉල්ලීමක්
මහින්දානන්ද නඩුව විශේෂ මහාධිකරණයට යයිද?
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුව විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කිරීමට අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇතැයි, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අසාද් නවාවී මහතා අද අධිකරණයට දැනුම් දුන්නේ ය. මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි මෙම නඩුව ගොනු කර ඇත්තේ, පසුගිය ජනපතිවරණ සමයේ රජයේ ඇමතිවරයෙකුව සිටියදී රුපියල් මිලියන 40 කට අධික රාජ්‍ය මුදල් අවභාවිත කරමින් කැරම්බෝඩ් ගෙන්වා දේශපාලන අරමුණින් බෙදාදීමේ චෝදනා සම්බන්ධයෙනි. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේ, විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට අදහස් කරන බවයි. ඒ අනුව නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 4 වන දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ ය. විශේෂ මහාධිකරණය පිහිටුවනු ලැබුවේ, දූෂණ චෝදනා සහ මූල්‍ය අපරාධ චෝදනා කඩිනමින් විභාග කිරීම සඳහායි.
2018-07-02T22:52:00.000Z
හිටි හැටියේ ම බිමට සමතලා වූ චීන වැඩක් (VIDEO)
හිටි හැටියේ ම බිමට සමතලා වූ චීන වැඩක් (VIDEO)
චීනයේ, සිචුවාන් පළාතේ මාර්ගයක කොටසක් හදිසියේ ම කඩා වැටෙන අයුරු දැක්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය ඔස්සේ පළ වී තිබේ. එම දර්ශන පෙළට අනුව මාර්ගයේ මීටර් 50ක පමණ කොටසක් රැඳවුම් බිත්ති සහ වීථි ලාම්පු ද සමගින් කඩා වැටෙන අයුරු දැක ගත හැකි ය. (මාර්ග කොටස ගිලා බසින අයුරු දැක්වෙන දර්ශන පෙළ පහතින්) https://www.youtube.com/watch?v=0_YTvqtFjN0 මාර්ග කොටස කඩා වැටීමට පෙර එහි ඉරිතැලීම් සිදුව ඇති අතර එහිදී බලධාරීන් මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා, ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබිණ. ඒ අනුව අනතුරින් සිදු වන්නට තිබූ ජීවිත හානි වළක්වා ගැනීමට හැකි වී ඇති අතර කෙසේ වෙතත් මාර්ගයේ ගිලා බැසිම සම්බන්ධයෙන් චීන බලධාරින් විමර්ශන ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දින කිහිපයක් තිස්සේ අදාළ ප්‍රදේශයට අධික වැසි පතිතව ඇති බවයි.
2018-07-02T21:17:15.000Z
ගිනිඅවි බලපත්‍ සහතික කර ගන්නැයි, පොලීසිය දැනුම් දෙයි
ගිනිඅවි බලපත්‍ සහතික කර ගන්න - පොලීසිය
COLOMBO (News 1st): ගිනිඅවි බලපත්‍ර යළි සහතික කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකා පොලීසිය පවසයි. එහි ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, බලපත්‍රලාභීන් සිය බලපත්‍රය ළඟ ම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර එය සහතික කිරීමට කටයුතු කළ යුතු බවයි. සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සඳහා ගිනිඅවි භාවිතය ඉහළ යාම සහ බලපත්‍ර නොමැති නුසුදුසු පුද්ගලයින් සතුව ගිනි අවි පැවතීම හේතුවෙන්, එම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර සංවිධානාත්මක අපරාධ ක්‍රියාවල නිරත අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලිසියේ ජ්‍යේෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේ ය. අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන්, තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ වහා ම පොලීසිය දැනුම්වත් කරන්නැයි ද, ඔහු ජනතාවට දැනුම්දෙයි. මේ අතර සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීම සඳහා සංවිධානාත්මක අපරාධ නිවරාණ කොට්ඨාසයේ කණ්ඩායම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරුවලට අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ, අපරාධ ක්‍රියා වැඩි වශයෙන් වාර්තා වන දකුණු පළාත ආශ්‍රිතව කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි. එම කණ්ඩායම්වලට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායම් 10ක් ද දිවයින පුරා හඳුනාගත් විශේෂ කාර්ය බලකා කඳවුරුවලට යොමු කර ඇති තිබේ. මේ අතර බලපත්‍ර සහිත ගිනිඅවි බලපත්‍රලාභීන් සතුව පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් විශේෂ අධ්‍යනයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භ කර තිබේ. ඒ බලපත්‍රලාභීන් සතු ගිනි අවි නුසුදුසු පුද්ගලයින් අතට පත් ව ඇති බවට තොරතුරු අනාවරණ වීමත් සමගයි.
2018-07-02T21:01:41.000Z
පළතුරු ඉදවීමට රසායනික යෙදීම අහිතකර ඵල
පළතුරු ඉදවීමට රසායනික යෙදීම අහිතකර ප්‍රතිඵල
COLOMBO (News 1st) : පළතුරු ඉදවීම විවිධ රසායනික යෙදීම නුදුරේදී බීජ අර්බුදයක් ඇතිවීමට හේතුවී ඇතැයි අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කලේ, ඒ සම්බන්ධයෙන්, වැටලීම් සිදුකිරිමට පියවර ගෙන ඇති බවයි. පළතුරු ඉදවීම සඳහා යොදන විවිධ රසායනික හේතුවෙන්, රෝපණය වීම සඳහා පවතින ශක්තිය හීන විම මත ඉදිරියේදී රටට විශාල බලපෑමක් ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.
2018-07-02T20:20:39.000Z
බලපිටියට පැය 10ක ජල කප්පාදුවක්
බලපිටියට පැය 10ක ජල කප්පාදුවක්
ගාලු පාර බලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට පස්වරු 7 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව, බලපිටියේ සිට කොස්ගොඩ දක්වා සහ ඒ ආශ්‍රිත සියලු අතුරු මාර්ගවල මෙන්ම ගල්මංගොඩ සහ බෙන්තර ජල සම්පාදන ක්‍රමයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
2018-07-02T20:06:40.000Z
තායිලන්ත ගුහාවේ සිරව සිටි ළමුන් නිරුපද්‍රිතව බේරා ගැනේ
තායිලන්ත ගුහාවේ සිරව සිටි ළමුන් බේරා ගැනේ
දින 9ක් පුරා තායිලන්තයේ ගුහාවක සිර වී සිටි පිරිමි ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු නිරුපද්‍රිතව බේරා ගැනීමට ගලවා ගැනීමේ නිලධාරීන් සමත්විය. ගුහාව තුළ සිරවී ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයාගනු ලැබුවේ, චියන්ග් රායි ප්‍රදේශයේ පිහිටි තම් ලුවන්ග් ලෙන් ආසන්නයේ සිදුකරන ලද දැවැන්ත බේරාගැනීමේ මෙහෙයමකින් අනතුරුවයි. නාවික හමුදාවේ විශේෂ බලකා සාමාජිකයින් ඊට සමත් වූ බව තායිලන්ත බලධාරීහු සඳහන් කළහ. දිගින් දිගටම ඉහළ යමින් තිබූ මඩ තට්ටු හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී තිබිණ. අවුරුදු 11 සිට 16 දක්වා වූ වයසේ සිටින ළමයින් ශිඅන්ග් රායි පළාතේ පිහිටි ලෙනට ඇතුළු වූයේ පසුගිය මස 23 වන සෙනසුරාදායි. කිලෝමීටර ගණනාවක් පොළව යටින් විහිදෙන මෙම ගුහාව සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. මියන්මාර දේශසීමාව ආසන්නයෙන් දිවෙන ලෙන සමීපයෙහි කඳවුරු බැඳ සිටි නොඉවසිලිමත් ඥාතීහු තම දරුවන් ආරක්ෂාකාරීව නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් යාඥා කරමින් පසුවූහ.
2018-07-02T19:42:45.000Z
අඛන්ඩව 6 වන වරටත් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට
බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට
අඛන්ඩව 6 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල බ්‍රසීලය කණ්ඩායම සමත් විය. බෙල්ජියම් කණ්ඩායම ද මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ තියුණු තරගයකින් පසුව ජපානය පරාජය කරමිනි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්යම් 16 දෙනාගේ වටයේ බ්‍රසීලය හා මෙක්සිකෝව අතර තරගය රුසියාවේ සාමාරා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ගියවර ශූරයින් මෙන්ම අනුශූරයන් ද මෙවර තරගාවලියෙන් ඉවත් වන විට එකී කණ්ඩායම්වලට අභියෝග කරමින් නේමාර් ප්‍රමුඛ බ්‍රසීලය පහසුවෙන්ම මෙම තරගය ජය ගැනීමට අවස්ථාවක් හිමිවීම විශේෂත්වයකි. තරගයේ පළමු අර්ධය උණුසුම් මුහුණුවරක් ගත් අතර කිසිවෙකු නොසිතු ලෙස මෙක්සිකෝව ප්‍රබල බ්‍රසීලයට තියුණු තරගයක් ලබා දුන්නේ ඔවුන්ගේ උත්සාහයන් 11ක්ම ආසාර්ථක කරමිනි. එම අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමිනොවීය. නමුත් දෙවන අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ බ්‍රසීල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නේමාර් මිලියන 200 ක බ්‍රසීල පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කරමින් තරගයේ 51 වන මිනිත්තුවේදී සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළේ ය. බ්‍රසීල ක්‍රීඩක විලියන් විශිෂ්ට ධාවනයකින් අනතුරුව පන්දුව නේමාර් වෙත යොමු කළ අතර දඬුවම් පහර චතුරශ්‍රයේ ලිස්සා ගිය ඔහු දක්ෂ ලෙස පන්දුව ගෝල රාමුව තුළින් දැල තුළට යොමු කිරීමට සමත් විය. එම ගෝලයත් සමගින් බ්‍රසීලය ලෝක කුසලාන තරගාවලිවල ගෝල 227ක් සම්පූර්ණ කර ගත් අතර ජර්මනිය පසුකරමින් ලෝක කුසලාන තරගවල වැඩිම ගෝල ලබාගත් කණ්ඩායම ලෙස ඉතිහාසගත වන්නට ඔවුන්ට හැකි වීම විශේෂත්වයකි. තරගය නිමාවීමට මිනිත්තු 2 ක් ඉතිරිව තිබියදී, යළිත් ක්‍රියාත්මක වූ නේමාර් පන්දුව වේගවත් ධාවනයක් ඔස්සේ රොබෙර්ටෝ ෆර්මිනෝට පිරිනැමීම හමුවේ බ්‍රසීලය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට ෆර්මිනෝ සමත් විය. ප්‍රතිවාදී මෙක්සිකෝ කණ්ඩායමට එම අර්ධයේදී ද කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාව හිමි නොවීය. ඒ අනුව ගෝල 2 ට 0 ක් ලෙස මෙක්සිකෝ කණ්යම පරාජය කරමින් අඛන්ඩව 6 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බ්‍රසීලය සමත් විය.
2018-07-02T11:27:49.000Z
යූරෝ 4 වෙළෙඳපොළට: සුපිරි ඩීසල් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ඉවතට
යූරෝ 4 වෙළෙඳපොළට
COLOMBO (News 1st) - යුරෝපීය ප්‍රමිතිය සහිත නව පෙට්‍රල් හා ඩීසල් විශේෂයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද හඳුන්වාදී තිබේ. අද කොළඹ පැවති උත්සවයකදී හඳුන්වාදුන් ඩීසල් හා පෙට්‍රල් විශේෂය හඳුන්වන්නේ යුරෝ ෆෝ ලෙසයි. මෙම හඳුන්වාදීමත් සමග සුපිරි ඩීසල් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වෙළෙඳපොළෙන් ඉවත්වනු ඇති. එම ඉන්ධන අළෙවිකළ මිල ගණන්වලටම යුරෝ ෆෝ අළෙවිකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
2018-07-02T11:06:35.000Z
නොරොච්චෝලේ දැලට තවමත් පරිසර අධිකාරියේ අවසර ගෙන නොමැති බවට හෙළිවෙයි
නොරොච්චෝලේ දැලට පරිසර අධිකාරියේ අවසරයක් නැහැ
COLOMBO (News 1st) - නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් නිකුත්වන අපද්‍රව්‍ය අවට ප්‍රදේශවල ව්‍යාප්තවීම වැලැක්වීමේ අරමුණින් ඉදිකරන සුළං බාධක ව්‍යාපෘතිය සඳහා මෙතෙක් පරිසර අධිකාරියේ අවසර ලබාගෙන නොමැති බව අනාවරණය වී තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් අධ්‍යක්ෂ සමන් ලෙනදූව මහතා පැවසුවේ, අදාළ ව්‍යාපෘතිය සඳහා පරිසර බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් තමන් අධ්‍යනයක් කරමින් සිටින බවයි. නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයේ බටහිර දෙසින් මීටර් 1200 ක් දිගින් හා මීටර් 15 ක් උසින් මෙම සුළං බාධකය ඉදිකිරීමට පසුගිය 22 වැනි දා මුල්ගල තැබිණි. ඒ සඳහා රුපියල් කෝටි 75 ක් වැය වන අතර ව්‍යාපෘතිය වසර 02 කින් අවසන් කිරීමට නියමිතය. මෙවැනි විශාල ව්‍යාපෘතියක් කිරීමේදී ඒ සඳහා පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ලබාගත යුතු වේ. ඊට අදාළ ඉල්ලුම් පත්‍රය මේ වන විට තමන්වෙත ලැබී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් අධ්‍යක්ෂ සමන් ලෙනදූව මහතා ප්‍රකාශ කළේ ය. අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර පරිසර වාර්තා ලබාගත යුතු වුව ද ව්‍යාපෘතිය යන අතරතුරු මෙවැනි අවසරයක් ඉල්ලාසිටීම පිළිබඳව අප කළ විමසුමකදී අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, පරිසරික බලපෑමක් අවම කිරීම වෙනුවෙන් කරන වැඩපිළිවෙළක් හේතුවෙන් එය එතරම් ප්‍රශ්නයක් නොවන බවයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය කරන අධ්‍යයනයක ප්‍රතිඵල හා තමන් සිදුකරන විමර්ශනවල ප්‍රතිඵල මත ඉදිරියේදී අදාළ පරිසර බලපත්‍රය ලබාදීමට කයුතු කරන බව ද සමන් ලෙනදූව මහතා පැවසීය. නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් පරිසරයට සිදුව බලපෑම පිළිබඳව ගොනුකර ඇති නඩුවකට අදාළව අධිකරණයට ඉදිරිපත් කර ඇති ලිපි ලේඛනවල දැක්වෙන්නේ මෙම යෝජිත සුළං මුවාව සැබැවින්ම අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද අධික හිම පතනය වැලැක්වීමට භාවිතා කරන දැලක් බවයි.
2018-07-02T10:56:28.000Z
විගණන පනතේ ප්‍රමාදය ගැන විගණකාධිපති මහනාහිමිවරුන්ට කරුණු දන්වයි
විගණන පනතේ ප්‍රමාදය ගැන විගණකාධිපති කරුණු කියයි
COLOMBO (News 1st) - විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද අස්ගිරි හා මල්වතු පාර්ශවයන්හි මහනා හිමිවරුන් බැහැ දැක 5 වන දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන යෝජිත විගණන පනත පිළිබඳව කරුණු පැහැදිලි කර ඇත. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් බැහැ දුටු විගණකාධිපතිවරයා මේ පිළිබඳව කරුණු දැනුම් දුන්නේ ය. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි, මතවාද තියනවද? විගණකාධිපති, ගාමිණි විජේසිංහ, වැරදි කරන අයට තමයි ප්‍රශ්නේ. ඉතිං වැරදි කරන අයමනේ ශක්තිමත් වෙලා තියෙන්නේ රාජ්‍ය සේවයේ. ඒ නිසා ඒගොල්ලෝ ටිකක් බලපෑම් කරනවා. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි, අපිත් මේ අවස්ථාවේදී අපේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට ප්‍රකාශ කරන්නේ ඉක්මනින් මේ පනත සම්මත කරලා මුදල් පිළිබඳව මේ වෙලා තියන විපත්ති කරදර අපි කවුරුත් දන්නවා. ඒවා නැති කරලා රටට සාමය ජාතියට සාමය උදා කිරීම සඳහා ඒ කාර්ය සිදු කරන හැටියට අපි ඔබතුමන්ලාට මතක් කර සිටිනවා. අනතුරුව විගණකාධිපතිවරයා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැ දුටුවේ ය. සියම් මහා නිකායේ මල් වතු පාර්ශවයේ මහා නායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි, මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් තියනවද? විගණකාධිපති ගාමිණි විජේසිංහ, විරෝධතාවය සැරටම තියනවා අපේ හාමුදුරුවනේ. රාජ්‍ය නිලධාරීන්ගෙන් තමයි තියෙන්නේ. පසුගිය දසක දෙක තුළම මූල්‍ය අවභාවිතය වැඩි වෙලා තිබුණේ. ඒක පාලනය කරන්න තියන වැදගත් පනතක් මේක. සියම් මහා නිකායේ මල් වතු පාර්ශවයේ මහා නායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි, රටට යහපතක් වෙන දෙයක්නම් අපි කැමතියි. සුළු පිරිසක් අකමැති වුනත් විගණකාධිපති ගාමිණි විජේසිංහ, මහජනතාවට තමයි සෙත සැලසෙන්නේ. නැතුව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙවත් විගණකාධිපතිගෙවත් ශක්තිය වැඩි වෙන්නේ නෑ. විගණකාධිපතිට බලය තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. සියම් මහා නිකායේ මල් වතු පාර්ශවයේ මහා නායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි බලය පාවිච්චි කරන්නේ නැති එකයි ප්‍රශ්නේ විගණන පනත 2003 සිට මේ දක්වා අවස්ථා ගණනාවකදී වෙනස්කම්වලට ලක්වී ඇති අතර මුලින්ම යෝජනාවූයේ සියලු දෙපාර්තමේන්තු හා සංස්ථා අධීක්ෂණ බලය විගණකාධිපතිවරයාට පැවරීමටයි. දැන් ඉදිරිපත්ව ඇති කෙටුම්පතේ එම බලය හීන වී තිබේ. රාජ්‍ය නිලධාරියෙකු වරදක් කළහොත් ඊට එරෙහිව අධිභාරයක් පැනවීමට විගණකාධිපතිට තිබූ බලය අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට නව කෙටුම්පතින් යෝජනාවී ඇත. යම් අයභාරයක් පැනවීමෙන් පසුව අභියාචන විමසීමට තිබූ බලය ද විගණන කොමිසමෙන් ඉවත්කර වෙනම කමිටුවකට පැවරීමට යෝජනා කර තිබේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, විශාල වශයෙන් මාතෘකාවක් තමයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළි කළ හම්බන්තොට වරාය සම්බන්ධ මුදල් අවභාවිතය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනව ද? විගණකාධිපති ගාමිණි විජේසිංහ, ඒක අපිට කරන්න පුළුවන් කමක් ලැබිලා නෑ. හේතුව හම්බන්තොට වරාය ඒක විශේෂ ප්‍රජකට් එකක් හැටියට තමයි ගියේ. ඒ ප්‍රජක්ට් එක අපේ විගණනයට යටත් වෙලා තිබුණේ නෑ. ඒ නිසා අපිට සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන්න පුලුවන් කමක් ලැබුණේ නෑ. නමුත් විශේෂ ඉල්ලීමක් අපිට පාර්ලිමේන්තුවෙන් කලොත් අපිට ඒ සඳහා වාර්තාවක් හදන්න පුලුවන්.
2018-07-02T09:32:00.000Z
කොළඹ පිටත අධිවේගය නිසි කලට පවරා නොගැනීම නිසා ජපානයේ තයිසේ සමාගම මහාමාර්ග ඇමතිගෙන් රුපියල් බිලියන 4 ක වන්දියක් ඉල්ලයි
ජපානයේ තයිසේ සමාගම බිලියන 4 ක වන්දියක් ඉල්ලයි
COLOMBO (News 1st) - ටෙන්ඩර් ක්‍රියාවලියට පිටින් මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබාගත් කුප්‍රකට ජපානයේ තයිසේ සමාගම කොළඹ පිටත වටරවුම පාරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අදාළව ආණ්ඩුවෙන් රුපියල් බිලියන 4 ක ප්‍රමාද ගාස්තුවක් ඉල්ලා තිබේ. මේ ඒ පිළිබඳව විශේෂ අනාවරණයක්, කොළඹ පිටත වටරවුම් පාරේ කඩුවෙල සහ කඩවත අතර කොටස ඉදිකළේ ජපානයේ තයිසේ සමාගමයි. මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව අවසන් කර ව්‍යාපෘතිය ආපසු භාරගැනීම මාර්ග සංවර්ධන අධිකාරිය දින 190 ක් ප්‍රමාද කර ඇත. තයිසේ සමාගම පසුගිය ජුනි 4 වන දා දිනැතිව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයාට යැවූ මේ ලිපියේ දැක්වෙන්නේ මෙම දින 190 ට අදාළව තමන්ට දැරීමට සිදු වූ රුපියල් බිලියන 4 ක ඉංජිනේරු වියදම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගෙවිය යුතු බවයි. තයිසේ සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත හිරෝකී හොරිකාවාගේ අත්සනින් මෙම ලිපිය යවා ඇත. මෙම මුදල ගෙවීම අදාළ ව්‍යාපෘතිය භාර නියෝජ්‍ය ප්‍රධානියා ප්‍රතික්ෂේප කර ඇති බව ද අදාළ ලිපියේම සඳහන් වේ. තයිසේ සමාගම අනතුරු අඟවන්නේ මෙම බිලියන 4 නොගෙවන්නේ නම් තමන් සමග ඇති ගිවිසුම අනුව නීතියම ක්‍රියාමාර්ගවලට එළැඹුනහොත් ඊට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි. මීට පෙර පසුගිය රජය සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියරේ ඉදිකිරීම් සිදු කළ ජපානයේ කුමගායී ගුමී සමාගමද මේ අයුරින් ප්‍රමාද ගාස්තු ඉල්ලා සිටි අවස්ථාවේ බේරුම්කරණ ක්‍රියාවලියකට එළැඹීම හේතුවෙන් රුපියල් බිලියන 5 කට අධික මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදු වූ බව තයිසේ සමාගම සිහිපත් කරනු ඇත. ඔවුන් අමාත්‍යවරයාට දැනුම් දුන්නේ, එවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවහොත් විවිධ ගාස්තු ඇතුළත්ව විශාල වියදමක් දැරීමටත් කාලයක් වැය කිරීමටත් සිදුවනු ඇති බවයි. එම නිසා අමාත්‍යවරයාගේ සුහදශීලීත්වය මත සාකච්ඡා කර මෙම ගැටලුව විසඳාගත හැකි බව තයිසේ සමාගම යෝජනා කර ඇත. ඔවුන් මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයාට දැනුම් දුන්නේ, ඔහු පවසන ඕනෑම අවස්ථාවක සාකච්ඡාවක් සඳහා පැමිණීමට තම නියෝජිතයින් සූදානම් බවයි. මෙම බිලියන 4 ක ගාස්තුව සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් නොගන්නේ නම් ජයිකා ණය පහසුකමට අදාළ අවසන් වාරිකය මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම්වලට ද බලපෑමක් වනු ඇතැයි තයිසේ සමාගම අනතුරු අඟවා තිබේ.
2018-07-02T07:49:41.000Z
තලාව රාජ්‍ය බැංකුවෙන් කොල්ලකෑ රත්‍රං සහ මුදල්වල වටිනාකම රු. මිලියන 95ක්
තලාව රාජ්‍ය බැංකු කොල්ලයේ වටිනාකම රු. මිලියන 95ක්
COLOMBO (News 1st) - අනුරාධපුර, තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ පිරිසක් රුපියල් මිලියන 95 ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් පැහැරගෙන පලාගොස් තිබේ. පොලීසිය සැකරන්නේ මෙම බැංකු කොල්ලය පසුගිය සෙනසුරාදා හෝ ඉරිදා සිදුව ඇති බව ය. ගෑස් සහිත යකඩ කපන උපකරණයක් ආධාරයෙන් බැංකුවේ පිටුපස දොරටුව කඩා ඇතුළු වී ඇති මංකොල්ලකරුවන් එහි තිබූ සේප්පු 3ක් විවර කර ඇතැයි පොලීසිය පවසයි. අරක්ෂක කැමරා පද්ධතියේ දත්ත අඩංගු සියලුම උපාංග සොරු විසින් ගලවාගෙන ගොස් තිබෙන අතර ආරක්ෂිත අනතුරු ඇඟවීමේ පද්ධතියද කොල්ලකරුවන් විසින් විසන්ධි කරනු ලැබ තිබේ. බැංකුවේ ආරක්ෂක නිලධාරීන් වැඩ කරන දිනයන්හිදී පමණක් සේවය කරන බව පොලීසිය පවසයි. කොල්ලකරුවන් බැංකුවේ ඇති සේප්පු 4 න් 3ක්ම කඩා රන් භාණ්ඩ සහ මුදල් පැහැරගෙන ගොස් තිබූ අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් මිලියන 95කි. බැංකු ගොඩනැගිල්ලට පිටුපසින් පුද්ගලික ඉඩමක් ඇති අතර එම ප්‍රදේ‍ශයේ මෙන්ම කොල්ලකරුවන් පැන යන්නට ඇතැයි සැකකරන මාර්ගයේ ද විමර්ශන සිදු කෙරුණේ නිල සුනඛයින් ද යොදවමිනි. පාදෙණිය - අනුරාධපුර ප්‍ර‍ධාන මාර්ගයේ, තලාව පොලිස් ස්ථානයට මිටර් 750 කට නොවැඩි දුරකින් පිහිටා ඇති මෙම රාජ්‍ය බැංකුව කොල්ල කා ඇති බව වගකිවයුත්තන් දැනගෙන ඇත්තේ අද උදෑසනයි. රාජ්‍ය බැංකුවක ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් යොදවන්නේ රාජකාරී දිනවල පමණක්ද ? ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් උදය ඉමල්ෂාන් මහතා "අපි මේ බැංකුවේ ආරක්ෂක පද්ධතියේ නවීන බව හා නවීන තාක්ෂණය අනුව, ඒ කියන්නේ සෙන්සර්ස් හා කැමරා පද්ධති අනුව තමයි වීකෙන්ඩ් එකේ කටයුතු කරන්නේ. නිවාඩු දිනවල මේ සඳහා ආරක්ෂක නිලධාරින් යොමු කරන්නේ නැහැ. පරීක්ෂණවලින් පස්සේ තමයි අපිට දැනගන්න වෙන්නේ මේ සඳහා මොවුන් කුමන තාක්ෂණයක් ද යොදා ගත්තේ කියලා. ඉන්පසු අපිට පුළුවන් වෙයි අපේ බැංකුවේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කරන්න" අති නවීන බව පැවසෙන ආරක්ෂිත කැමරා හා සංඥා පද්ධතිය ද විසන්ධි කර, මහාමාර්ගයක් ආසන්නයේ ඇති රාජ්‍ය බැංකුවකට ඇතුළු වීමටතරම් කොල්ලකරුවන්ට හැකි වූයේ කෙසේද යන්න මහජනතාවට ඇති ගැටළුවයි.
2018-07-02T06:02:49.000Z
2018 නවසීලන්ත ජාත්‍යන්තර සිනමා උළෙලට සියල්ල සූදානම්
නවසීලන්ත ජාත්‍යන්තර සිනමා උළෙලට සියල්ල සූදානම්
2018 නවසීලන්ත ජාත්‍යන්තර සිනමා උළෙල ලබන 19 වන දා ආරම්භවීමට නියමිත වේ. ඒ සඳහා මෙවර ඉදිරිපත්ව ඇති සිනමා පට සංඛ්‍යාව 100 කට අධික ය. නවසීලන්ත ජාත්‍යන්තර සිනමා උළෙලේ සමාප්ති උත්සවය අගෝස්තු 5 වන දා ලොව විවිධ රටවල සිනමා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇති.
2018-07-02T02:53:28.000Z
තලාවේ බැංකු කොල්ලයක්
තලාවේ බැංකු කොල්ලයක්
COLOMBO (News 1st) : තලාව ප්‍රදේශයේ රාජ‍්‍ය බැංකුවකට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පසුගිය සිකුරාදා දිනයේ මෙම කොල්ලය සිදුව ඇති බවයි. බැංකුවේ පිටුපස දොරටුව, ගෑස් සහිත යකඩ කපන උපකරණයකින් සූක්ෂම ලෙස විවර කර කොල්ලකරුවන් පිරිස ඇතුළු බැංකුවට ඇතුළු වී තිබේ.
2018-07-02T01:35:41.000Z
දළඳා පෙරහැරේ නර්තන ශිල්පීන්ට විශේෂ වෛද්‍ය පරීක්ෂණයක්
දළඳා පෙරහැරේ නර්තන ශිල්පීන්ට වෛද්‍ය පරීක්ෂණයක්
COLOMBO (News 1st) : දියවඩන නිළමේ ප්‍රදිප් නිළංග දෑල මහතාගේ උපදෙස් මත දළඳා මාළිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයට සහභාගී වන නර්තන ශීල්පීන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර තිබේ. දළඳා පෙරහැර සඳහා සහභාගී වන සියලු නර්තන ශීල්පීන් එම පරීක්ෂණය සඳහා සහභාගි වී තිබේ. මහනුවර රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සර්දා හේමප්‍රිය මහතාගේ උපදෙස් මත ඊයේ සහ පෙරේදා දිනයන්හි මෙම කටයුත්ත සිදු කෙරිණ. ඔහු පවසන්නේ දියවැඩියාව අධිරුධිර පීඩනය ආදි රෝග කිහිපක් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි. පල්ලේකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනයට අනුබද්ධිත උඩරට නර්තන පීඨයේදී මෙම වෛද්‍ය පරීක්ෂණය සිදු කෙරිණ. දියවඩන නිළමේවරයා පැවසුවේ, දළඳා මාළිගාවේ වාර්ෂික පෙරහැරට සහභාගී වන සියලුම නර්තන කණ්ඩායම් ඔවුන්ගේ දක්ෂතාව අනුව වර්ගීකරණයට ද පියවර ගෙන ඇති බවයි.
2018-07-02T01:09:34.000Z
පොලිස් නිලධාරියාට ජීවිතය අහිමි කළ මාතර කොල්ලයේ තවත් තතු හෙළිවෙයි
මාතර ස්වර්ණාභරණ කොල්ලයේ තවත් තතු හෙළිවෙයි
COLOMBO (News 1st) : මාතර ස්වර්ණාභරණ අළෙවිසල කොල්ලකෑමට කොල්ලකරුවන් පැමිණි මෝටර් රථය, හොරණ මොරගහහේන ප්‍රදේශයේ තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, වාහනයේ හිමිකාරියගේ ස්වාමි පුරුෂයා සමග වාහනය පොලීසිය භාරයට ගත් බවයි. කොස්ගොඩ ඩිල්ෂාන් නමැත්තා කොල්ලය සඳහා මෙම මෝටර් රථය පදවා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර කොල්ලයේදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කොල්ලකරුවන් තිදෙනෙකු රෝහල්ගත කිරීම සඳහා ද මෙම මෝටර් රථය භාවිත කර ඇති බවට හෙළි වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. කොල්ලයට පැමිණි සැකකරුවන් මාස කිහිපයක් මොරගහහේන තලගල ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසියට තොරතුරු ලැබී තිබේ. පසුගිය ජුනි 22 වන දා සිදු වූ මෙම කොල්ලයට පැමිණි සංවිධානාත්මක අපරාධකරුවන් හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තවත්, නිලධාරීන් දෙදෙනෙක් හා සිවිල් වැසියෙක් තුවාල ලැබූහ. වෙඩි හුවමාරුවේදී එලෙස ජීවිතක්ෂයට පත් වූයේ, මාතර පොලීසියට අනුයුක්තව සේවය කළ ඩබ්ලිව් ජී.පී.එන්. වීරසිංහ නැමති පොලිස් කොස්තාපල්වරයායි. පසුව කොල්ලයට පැමිණි කොස්ගොඩ තාරක ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. කොස්ගොඩ තාරක සැලකෙන්නේ, මනුෂ්‍ය ඝාතන හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු ලෙසයි. පසුව මෙම කොල්ලය සැලසුම් කළ බව කියන චාමර ඉන්ද්‍රජිත් නමැති ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට ද පොලීසියට හැකිවිය. පසුව සැකකරු සඟවා තිබූ බව කියන බෑගයක් සෙවීම සඳහා මාතර කිරළ කැලේ ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ පොලිස් වෙඩි පහරින් මිය ගියේ ය. පොලීසිය පැවසුවේ, සැකකරු බෑගයේ සඟවා තිබූ අත්බෝම්බයක් රැගෙන පොලීසියට එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක් වූ චාමර ඉන්ද්‍රජිත් සැකලෙන්නේ, පසුගිය කාලයේ දිවයින පුරා අපරාධ රැසකට සම්බන්ධ වූ අයෙකු ලෙසයි.
2018-07-02T00:10:10.000Z
ඉරානයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්
ඉරානයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්
අමෙරිකාව සිය බොරතෙල් අපනයන කටයුතු වෙත බලපෑම් කළ හොත් බොරතෙල් අපනයනය පෞද්ගලික සමාගම් වෙත භාර දෙන බව ඉරානය පවසයි. ඉරානය සඳහන් කළේ, තම රටෙන් බොරතෙල් ආනයනය නොකරන ලෙසට අමෙරිකාව සෙසු රටවලට කළ බලපෑම් එමගින් වැළැක්වීමට හැකිවනු ඇති බවයි. ඉරානයට හිමි ස්ථානය ඔපෙක් සංගමයේ ප්‍රතිවාදී බොරතෙල් නිෂ්පාදක සෞදි අරාබියට කිසිවිටකත් ලබාගත නොහැකි වනු ඇති බවට ද ඉරාන බලධාරීහු අනතුරු ඇඟවූහ. ඉරාන රජයට මේ සම්බන්ධයෙන් සැලසුමක් ඇති බවත් අවශ්‍ය තරම් බොරතෙල් අලෙවි කිරීමට ඉරානයට හැකිවනු ඇතැයි ද ඉරාන බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ලබන නොවැම්බර් මස 4 වන දින වන විට ඉරානයෙන් බොරතෙල් ආනයනය නතර නොකළ හොත් සම්බාධක පනවන බවට ජනපති ට්‍රම්ප් ඉරානයේ වෙළෙඳ හවුල්කරුවන්ට අනතුරු අඟවා අවසන් ය. පෙර පුවතට පිවිසිම සඳහා Click කරන්න...
2018-07-01T20:18:10.000Z
කහවත්තේ අලි කුලප්පුවක්
කහවත්තේ අලි කුලප්පුවක්
COLOMBO (News 1st) : කහවත්ත ප්‍රදේශයේ පෙරහැරක අලියෙකු කුලප්පුවීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු සුළු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, තුවාලකරුවන් මේ වන විට කහවත්ත සහ රත්නපුර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද පොලීසිය සඳහන් කළේ ය. පෙරහැරේ ගමන් කළ අලියා කුලප්පුවීමෙන් පසු බිය වූ ජනතාව දිවයාමේදී සිදු වූ අනතුරු හේතුවෙන් මෙම පිරිස සුළු තුවාල ලබා තිබේ.
2018-07-01T20:10:38.000Z
SAITM වෛද්‍ය විද්‍යාලයට කුමක් සිදුවේ ද?
SAITM වෛද්‍ය විද්‍යාලයට කුමක් සිදුවේ ද?
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. අද පෙරවරුවේ ජනාධිපති ලේකම්කාර්යාලයේදී පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය අචාර්ය විජේදාස රාජපක්ෂ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා, සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතයි. එහිදී සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා පැවැත්වෙනු ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසී ය. ලේකම්වරයා පැවසුවේ, අනතුරුව ඉදිරි දිනයක සයිටම් සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් සමග ද සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බවයි.
2018-07-01T19:49:44.000Z
ඌරුබොක්කේ ඝාතනයක්, ඝාතකයා ත් මරුට
ඌරුබොක්කේ පුද්ගලයෙක් කාන්තාවක් ඝාතනය කරයි
ඌරුබොක්ක, විජයගම, මිල්ලමුල්ලහේන ප්‍රදේශයේදී මානසික රෝගියෙකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් කාන්තාවක මියගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ පහරදීම සිදුකළ සැකකාර මානසික රෝගියා ද මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. සැකකරු ඊයේ පස්වරු 6.30ට පමණ පෞද්ගලික අවශ්‍යතාවක් යැයි පවසා නිවසක් වෙත ගොස් එහි සිටි 66 සහ 33 හැවිරිදි හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබේ. එම අවස්ථාවේදී ම තවත් නිවෙසක් වෙත ගොස් ඇති සැකකරු තම ළමුන්ට ආහාර ලබා දෙමින් සිටි 29 හැවිරිදි කාන්තාවකට තියුණු ආයුධයෙන් පහර දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඇය එම ස්ථානයේදී ම මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇති බවයි.
2018-07-01T11:33:20.000Z
රුසියාව වසර 32කට පසු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට
රුසියාව ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට
2018 වසරේ සත්කාරක රුසියාව වසර 32කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, ලෝක ශූර ස්පාඤ්ඤ සමග පැවැති තරගය දඬුවම් පහර 4 ට 3 ක් ලෙස ජය ගනිමිනි. තරගයේ නියමිත කාලය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබා ගෙන සම තත්ත්වයේ පසුවිය. අනතුරුව ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා අතිරේක කාලයක් ලබා දුන් අතර එම කාලය තුළදී ද ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් 2කම අසමත් විය. පසුව ජයග්‍රාහකයා තීරණය කිරීමට දඬුවම් පහර ලබා දිමට විනිසුරුවරුන් තීරණය කළ අතර එහිදී දඬුවම් පහර 4ට 3ක් ලෙස රුසියාව අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කර ගත්තේ ය.
2018-07-01T09:06:17.000Z
තෙල් සංස්ථාවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමට අනතුරු ඇඟවීමක්..!
තෙල් සංස්ථාවෙන් ගුවන් සමාගමට අනතුරු ඇඟවීමක්..!
ශ්‍රීලංකන් ගුවන් සමාගම තමන්ට ගෙවිය යුතු හිඟ මුදල් ලබන බදදා වන විට ලබා නොදෙන්නේ නම් ඉන්ධන සැපයීම අත්හිටුවීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, ඒ සඳහා වන සිහි කැඳවීම් ලිපිය මේ වන විටත් ශ්‍රීලංකන් ගුවන් සමාගමට යොමු කර ඇති බවයි. ඛනිජ තෙල් සංස්ථාව සමග ඇතිකරගත් එකඟතාවන් මත ශ්‍රීලංකන් ගුවන් සමාගමට රුපියල් බිලියන 13ක සීමාව දක්වා ණය පදනම යටතේ ඛනිජ තෙල් ලබාදීම සිදුවේ. මේ වන විට ණය පදනම මත ලබාදී ඇති ඛනිජ තෙල් තොගයේ වටිනාමක රුපියල් බිලියන 14කි. ඉන් රුපියල් බිලියන 8ක් 2008 වසරේ මිලදී ගත් ඛනිජ තෙල් සඳහා ලැබිය යුතු මුදල් බව සංස්ථාව පවසයි. ඉතිරි රුපියල් බිලියන 6ක මුදල ඉන් පසු අවස්ථා කිහිපයකදී ණය පදනම මත ලබාගත් ඛනිජ තෙල් සඳහා ගෙවිය යුතු වේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළේ ය. සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් එහි ප්‍රතිඵල ලබාගැනීමට තවත් කාලය ගත වන බැවින් රජය මෙම ණය මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බව ඔහු පවසයි. ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් මේ වන විට රජය සමග සාකච්ඡා කරන බව ද ගුවන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඛනිජ තෙල් සංස්ථාවේ සිහි කැඳවීම් ලිපිය තමන්ට ලැබී නොමැති බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ජානක විජේපතිතර්න පවසන්නේ, නිෂ්චිත ව්‍යාපාර සැලැස්මක් සහ ඉලක්කයකින් තොරව ජාතික ගුවන් සේවයට පැවැත්මක් නොමැති බවයයි. "ප්‍රධාන නිලධාරීන් පත් කරන්න මිලියන ගණන් වැය කරන රජය තවත් වෙලාවක ඔහුන් ඉවත් කරන්න මහජන මුදල් මිලියන ගණන් වන්දි ගෙවනවා. එක් වෙලාවක සේවක අතිරික්තයක් තියෙනවා කියන රජය තවත් වෙලාවක සේවකයින් බඳවා ගන්න ඇමතිවරුන් හරහා බල කරනවා. මෙහෙම මේ ගුවන් සේවයට යන්න බැහැ. එක් වෙලාවක වහන්න ඕනි කියනවා. තව ඇමතිවරයෙක් වහල දාන්න ඕනි කියනවා. තව වෙලාවකට විකුණන් ඕනි කියනවා තව වෙලාවකට ප්‍රතිව්‍යුහගත කරන්න ඕනි කියනවා. නිෂ්චිත ව්‍යාපාර සැලැස්මක් ඉලක්කයක් නැතුව ජාතික ගුවන් සේවයට පැවැත්මක් නැහැ. මේක සිල්ලර කඩයක් විදිහට කරන්න බැහැ. ඒහේම ගියාම වන අවසන් ප්‍රතිඵලය තමා මේ. අපි රජයට වහාම කියනවා මේ අවුරුදු 3ක් පිස්සු නැටුවා ඇති ජාතික ගුවන් සේවය සමග" ‍මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ද රුපියල් බිලියන 45ක පමණ ණය මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදිය යුතු වේ. එමෙන්ම රජයේ ඉන්ධන සහනාධාරය වෙනුවෙන් මහා භාණ්ඩගාරයෙන් රුපියල් බිලියන 312ක පමණ මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ලැබිය යුතු බව ද එම සංස්ථාව පවසයි. සමස්තයක් ලෙස රාජ්‍ය ආයතනවලින් ඛනිජ තෙල් සංස්ථාවට මේ වන විට ලැබිය යුතු මුළු ණය මුදල රුපියල් බිලියන 69 ක් පමණ වේ. එසේ තිබියදී පසුගිය 22 වන දා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඛනිජ තෙල් සංස්ථාවේ සියලු බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර ගත්තේ රුපියල් මිලියන 762ක බදු මුදලක් නොගෙවීම හේතුවෙනි. මේ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ සියලු කටයුතු පැය කිහිපයකට ඇනහිට ඇති අතර ඉන්ධන බෙදාහැරීම් , මිලදී ගැනීම් හා අනෙකුත් කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ. සංස්ථාව සඳහන් කළේ,රුපියල් මිලියන 500ක මුදලක් ගෙවිමෙන් අනතුරුව සියලු කටයුතු සක්‍රිය තත්ත්වයට පත්කරගැනීමට හැකිවූ බවයි. ඉතිරි රුපියල් මිලියන 262 මුදල ලබන 20 වෙනිදාට පෙර ගෙවිය යුතු බවට ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සංස්ථාවට දන්වා තිබේ. නමුත් සංස්ථාවේ ඉහළ නිලධාරීන් සඳහන් කරන්නේ රාජ්‍ය ආයතනවලින් අයවිය යුතු මුදල්වලින් මෙය අය කරගන්නා ලෙසට දැන්නුව ද අදාළ බලධාරින් එය සිදුනොකරන බවයි.
2018-07-01T08:28:03.000Z
නිව්යෝර්ක්ස් ටයිම්ස් පුවත්පතට නඩු දමන බවට හිටපු ජනපති මහින්දගෙන් තර්ජනයක්
"නිව්යෝර්ක්ස් ටයිම්ස් පුවත්පතට නඩු දානවා"
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ ගවේෂණාත්මක වාර්තාවේ අන්තර්ගත කරුණු සාවද්‍ය බැවින් තමන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හැමෝම කියනවා දැන් මට නඩු දාන්න කියලා. මම දැන් ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් යවන්න ලෑස්ති කරලා තියනවා. පක්ෂයෙනුත් යනවනවා. මේක පක්ෂයට දුන්නා කියල නේ චෝදනා කරලා තියෙන්නේ. මගේ සාක්කුවට දුන්නා කියලා නෑනේ. එතකොට පක්ෂය විසින් අනිවාර්යෙන්ම , එතකොට නීතීඥවරුන්ට අපි දැන් උපදෙස් දීලා තියනවා. කොහොම ද කරගෙන යන්නේ කියලා. පිටරටකින් සල්ලි අපි කොයි වෙලාවකවත් අපේ මැතිවරණ ව්‍යාපාරයට අවේ නෑ හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද කුරුණෑගලදී පැවති උත්සවයක් අමතමිනි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම පුවත්පත් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ. - උපුටා ගැනීම - - චයිනා හාබර් සමාගම මාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග කළේ නැත. - මගේ සගයන් හා මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන්නන්ට එම මුදල් ලබා දී ඇති බවත්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය විසින් අදාළ චෙක්පත් අරලියගහ මන්දිරයට ගෙනගොස් දුන් බවත් කීව ද, නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ මුදල් හරියටම ගත්තේ කවු ද? දුන්නේ කවු ද ? යන කාරණා සම්බන්ධයෙන් සිතා මතා ම අපහැදිලි වදන් භාවිත කොට ඇත. - නිව්යෝක් ටයිම්ස් ලිපියේ ඇතැම් කරුණු ඔවුන් ලබාගත්තේ ආණ්ඩුවේ විමර්ශනයකින් බව එහි සඳහන් වේ. මේ ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට විපක්‍ෂයට මඩ ගැසීම හැරුණු විට වෙන කිසිවක් කර නැති බව සෑම ශ්‍රී ලාංකිකයෙකුම හොඳින් දනී. - උපුටා ගැනීම අවසන් - නිව්යෝක් ටයිම්ස් වාර්තාව පූර්ව නිගමනවලින් සහ සාක්ෂිවලින් තොර එකක් යැයි විවිධ පාර්ශව පවසන බව නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා කිසියම් රටක් මැදිහත්වීම දැඩි ලෙස හෙළා දකින බවයි. ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතා සැමවිට ම මිත්‍රත්වය මත පදනම්ව සිදු වන බව පෙන්වා දෙන තානාපති කාර්යාලය පවසන්නේ මෙරට නිදහසට,ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවයට චීනය සැමවිට ගරු කරන බවයි. එහෙත් හිටපු ජනාධිපතිවරයා මැතිවරණ කටයුතු සඳහා අදාළ මුදල් යෙද වූයේ ද යන්න සම්බන්ධයෙන් චීනය මෙහිදී කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ ආන්දෝලනයට තුඩු දුන් වාර්තාව නිකුත් කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මරියා අබි හබීබ් මාධ්‍යවේදිනිය සිය පෞද්ගලික ට්ටිවර් ගිණුමේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. - උපුටා ගැනීම - 1 . මඩ ගැසීම්, බිය වැද්දීම් වැනි දේට වඩා වෘත්තීය මට්ටමින් සිය පුවත්පත් වාර්තාවට ප්‍රතිචාර දැක්වීම වැදගත් 2. මම ශ්‍රී ලංකාවේ මාධ්‍යට , රජය වගේම , පොදු විපක්ෂයට පවසා තිබෙන විදිහට සම්මුඛ සාකච්ඡාවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කළා. මම අමාත්‍යවරයාට කිව්වා ඔවුන්ගේ දේශපාලන සංදර්ශනවලට මා සහභාගීවන්නේ නැහැ කියලා. මූලාශ්‍ර කිහිපයක් මගේ පුවත් වාර්තාවට යොදාගෙන තිබෙනවා . ඔවුන්ගේ අන්‍යනතාවය මම සංස්කාරකවරුන්ට හැර වෙන කිසිවෙකුට හෙළි කරන්නේ නැහැ. - උපුටා ගැනීම අවසන් -
2018-07-01T07:10:56.000Z
ජනපති ට්‍රම්ප් මේ අරඅදින්නේ කුමකට ද?
ජනපති ට්‍රම්ප් මේ අරඅදින්නේ කුමකට ද?
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 2කින් ඉහළ නංවන ලෙස සෞදි අරාබියෙන් ඉල්ලීමක් කර තිබේ. ඉන්ධන පිරිවැය ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් සෞදි සල්මන් රජුගෙන් එම ඉල්ලීම කළ බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. දිනක බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 2ක් දක්වා ඉහළ නංවන ලෙස කළ ඉල්ලීමට සෞදි රජු එකඟත්වය පළ කළ ට්‍රම්ප් පවසයි. Just spoke to King Salman of Saudi Arabia and explained to him that, because of the turmoil & disfunction in Iran and Venezuela, I am asking that Saudi Arabia increase oil production, maybe up to 2,000,000 barrels, to make up the difference...Prices to high! He has agreed! — Donald J. Trump (@realDonaldTrump) June 30, 2018 ජනාධිපතිවරයා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉරානයේ සහ වෙනිසුවෙලාවේ ආරවුල් සමග බොර තෙල් නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් සෞදියෙන් මෙම ඉල්ලීම කිරීමට සිදුවූ බවයි. මේ අතර සෞදි පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, අමෙරිකානු ජනාධිපතිවරයා දුරකතනයෙන් සෞදි රජු ඇමතූ බව ත් එහිදී ඉන්ධන වෙළෙඳපොළේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව ත් ය. එහෙත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීමට සල්මන් රජු එකඟ වූ බව ක් සෞදි පුවත් ඒජන්සිය වාර්තා කර නොමැත. ඇමරිකාව, ලොව ප්‍ධානත ම ඉන්ධන නිෂ්පාදකයෙකු වන ඉරානයට එරෙහි සම්බාධක යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීමෙන් පසුව පසුගිය සතියේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් යළි ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. උද්ගත වූ තත්ත්වය හමුවේ ඉරානය, ඉරාකය, කුවෙට්, සෞදි අරාබිය සහ වෙනිසුවෙලාව යන ප්‍රධාන තෙල් නිෂ්පාදකයින්ගෙන් සමන්විත ඔපෙක් සංවිධානය ඉන්ධන නිෂ්පාදනය ඉහළ නැංවුව ද වෙළෙඳපොළ අවශ්‍යතා සහතික කිරීමට එය ප්‍රමාණවත් නොවී ය. සෞදි අරාබිය ලොව විශාලතම ඉන්ධන අපනයනකරු වන අතර මැයි මාසය තුළ එක් දිනකට නිෂ්පාදනය කර ඇත්තේ, ඉන්ධන බැරල් මිලියන 10ක් පමණ ය. කෙසේ වෙතත් සෞදි රජයේ උසස් නිලධාරියෙකු පවසා ඇත්තේ, අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් අමෙරිකානු ජනාධිපතිවරයා ඉල්ලන පරිදි ඉන්ධන නිෂ්පාදනය ඉහළ නැංවීමට සිය රටට හැකියාවක් නොමැති බව ය. ඉරානයෙන් දොස්... මේ අතර ඉරානය අමෙරිකානු ජනාධිපතිවරයාට දොස් නගමින් පවසන්නේ, ට්‍රම්ප් ඔපෙක් සංවිධානය දේශපාලනීකරණය කිරීමට තැත් කරන බව ත් සෞදිය අමෙරිකානු ජනාධිපතිවරයාගේ පදයට නටමින් සිටින බව ත් ය. මේ අතර පසුගිය දා ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පැවසුවේ, අමෙරිකාව සිය රට ආර්ථික පීඩනයකට ලක් කරමින් ජනතාව සහ රජය අතර ඝට්ටනයක් ඇති කිරීමේ ප්‍රයත්නයක නිරතව සිටින බවයි. ට්‍රම්ප් පමණක් නොව මීට පෙර සිටි අමෙරිකානු ජනාධිපතිවරුන් 6 දෙනෙකු ම මෙය සිදු කිරීමට උත්සාහ කළ බව ත් ඒ සියල්ල නිෂ්ඵල වූ බව ත් ඉරනයේ ආධ්‍යාත්මික නායකයා සිහපත් කර සිටී. අමෙරිකාව පසුගිය මැයි මාසයේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වූ අතර එතැන් සිට ඉරාන රියාල් මුදල් ඒකකයේ අගය ද පහත වැටෙන්නට විය. මිල ගණන් ඉහළ යාම සහ රියාල් වටිනාකම පහත වැටීමට එරෙහිව මෙම සතියේ මුල් භාගයේදී දහස් ගණනක් වූ වෙළෙඳුන් ටෙහෙරාන්හි විරෝධතාවක නිරත වූ අතර එය සැලකෙන්නේ, 2012 වසරෙන් පසු එරට පැවති විශාලතම ජනතා විරෝධතාව ලෙසයි.
2018-07-01T06:32:36.000Z
කොළඹ කසළ බැහැර කරන ස්ථානවල CCTV කැමරා සවි කිරීමට පියවර
කොළඹ කසළ බැහැර කරන ස්ථානවල CCTV සවි කිරීමට පියවර
COLOMBO (News 1st) - කොළඹ නගරයේ කසළ බැහැර කරන ස්ථානවල CCTV කැමරා පද්ධති සවි කිරීමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, දෛනිකව කොළඹ නගරය තුළ කසළ ටොන් 50 ක් පමණ එක් රැස් වන බවයි. කසළ වෙන් කිරීම සඳහා සේවකයින් යෙදවීමට පියවර ගෙන ඇති බවත්, තවදුරටත් වෙන් නොකරන ලද කසළ එක්වීම ගැටලුවක් වී ඇති බව ද ඔහු පැවසුවේ ය. ලලිත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ආදාළ ස්ථානවල CCTV කැමරා පද්ධති සවි කිරීමට අදාළ ටෙන්ඩර් කැඳවීම සිදු කර ඇති බවයි. මේ අතර නීති විරෝධි ලෙස කසළ බැහැර කරන්නන් සොයා පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන් සහ නගර අලංකරණ ඒකකයේ නිලධාරීන් පැය 24 පුරා ක්‍රියාත්මක බව ද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේ ය.
2018-07-01T05:53:20.000Z
අද සිට දුම්රිය ස්ථානවල අනවසර වෙළෙඳාම් තහනම් !
අද සිට දුම්රිය ස්ථානවල අනවසර වෙළෙඳාම් තහනම් !
COLOMBO (News 1st) - අද සිට දුම්රියවල සහ දුම්රිය ස්ථානවල අනවසර වෙළෙඳාම්, සිඟමන් යැදීම සපුරා තහනම් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවයි. දුම්රිය ස්ථානවල, දුම්රිය මැදිරිවල සිඟමන් යදින්නන්ට සහ අනවසර වෙළෙඳාම් කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විජය සමරසිංහ මහතා පැවසුවේ ය.
2018-07-01T03:38:47.000Z
කොකේන් ගිල මෙරටට පැමිණි තවත් බ්‍රසීල ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
කොකේන් ගිල මෙරටට පැමිණි තවත් බ්‍රසීල ජාතිකයෙක්
COLOMBO (News 1st) - කොකේන් මත්ද්‍රව්‍ය ගිල මෙරටට පැමිණි තවත් බ්‍රසීල ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු දෝහා කටාර් සිට අද පෙරවරුවේ මෙරටට පැමිණි බව ය. බ්‍රසීල ජාතිකයෙකු කොකේන් රැගෙන පැමිණෙන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි. ඒ, අනුව කළ පරික්ෂාවකදී අත්අඩංගුවට ගත් සැකකරු ගිලින ලද කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 5 ක් පිටතට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය. මේ අතර ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් කොකේන් ගිල මෙරටට පැමිණි බ්‍රසීල ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. ඔහුගේ උදරයේ තිබී පිටතට ගත් කොකේන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකි. ඡායාරූප අනුග්‍රහය – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය
2018-07-01T01:34:27.000Z
‍දේශපාලනය පාසල්වලට ඇවිල්ලා ළමයින්ගේ විනය විනාශ කරලා: ඕන්න රටට කරලා තියෙන පිංකම - අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
‍දේශපාලනය පාසලට ඇවිල්ලා ළමයින්ගේ විනය විනාශ කරලා
* ඔක්කෝම ආණ්ඩු එකතු වෙලා රටේ අධ්‍යාපනය විනාශ කරලා ඉවරයි * අධ්‍යාපන අධ්‍යක්ෂවරු කීදෙනෙක් ඉන්නවද නමුත් ඉරිදට පෝයට ටියුෂන් තහනම් කරන්න බැරි ඇයි? * හොඳම පාසල ළඟම පාසල කියලා කටින් කියලා වැඩක් නැහැ * නීතිරීති සේරම යටයි පගාවට COLOMBO (News 1st) - පාසල් පද්ධතිය තුළට දේශපාලනය ඇතුළුවීම හරහා වර්තමානයේ දඩබ්බර සමාජයක් මෙරට නිර්මාණය වී ඇති බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අගරදගුරු හිමිපාණන් ඒ බව පැවසුවේ හංවැල්ලේ ඊයේ පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. දරුවන්ට ආගමික අධ්‍යාපනයක් ලබා නොදී අධ්‍යාපන ක්‍රමය අනාගමික පරිසරයකට ගෙනගොස් ඇති බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේය. එබැවින් ආගමික විනය පාසල්වලින් බැහැරට ගොස් දේශපාලන විනය පාසල් තුළට ඇතුළු වී තිබෙන බව අගරදගුරු හිමිපාණන් පවසයි. එවැනි පසුබිමත් තුළ දේශපාලනඥයින් ඉදිරියේ ගුරුවරුන්ට දණ ගැස්සවීමේ පරිසරයක් නිර්මාණය වී තිබෙන බව අගරදගුරු හිමිපාණන් සඳහන් කළේය. උපකාරක පන්ති හේතුවෙන් ඉරිදා දිනවල දරුවන්ට දහම් පාසල යාමට නොහැකි වීම පිළිබඳව එහිදී පැමිණි සිටි මාධ්‍යවේදීන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් විමසීමක් කළේය. ඒ පිළිබඳව අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ, අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ලිපියක් යැවූ බවත් ඊට පිළිතුරු ලිපියක් ද ලැබුණු බවය. නමුත් දැන් වසර එකහමාරක් පමණ ගතව ඇතත් ඒ සඳහා විසඳුමක් නොලැබී ඇති බව අගරදගුරු හිමිපාණන් සඳහන් කළේය. අධ්‍යාපන අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු සිටියත් තවමත් ඉරිදාට සහ පෝය දිනවල පවත්වන උපකාරක පන්ති තහනම් කිරීමට නොහැකි වී තිබෙන බව අගරදගුරු හිමිපාණන් පවසයි. සමහර උපකාරක පන්තිවල ඉගෙනුම ලබන දරුවන්ට ගුරුවරයාගේ මුහුණ දකින්නට වන්නේ පුළුල් රූපවාහිනි තිර වලින් බව ත් එවැනි ආකාරයට දරුවන් අධ්‍යාපනය ලබන්නේ කෙසේද යන්න පිළිබඳව අගරදගුරු හිමිපාණන් ප්‍රශ්න කළේය. වර්තමානය වනවිට සම්පූර්ණයෙන්ම වැඩ වරද්දාගෙන ඇති බව ත් අධ්‍යාපනය විනාශ කර ඇති බව ත් අගරදගුරු හිමිපාණන් පවසයි. වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ දෙමාපියන් හා දරුවන් මුහුණපාන තවත් ගැටළු කිහිපයක් පිළිබදව මෙහිදි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අදහස් පල කළේය. "ඒවාගේම බලන්න ළමයිට දැන් දෙමාපියෝ තව වියදම් කරන දෙයක් තියෙනවා මේ වෑන්වල ළමයිව කොළඹ එවන එක. හොඳම පාසල ළඟම පාසල කියලා කටින් කියලා වැඩක් නෑ. කරන්න ඕනේ.ඉතින් මොකද වෙලා තියෙන්නේ වෑන්වලටත් මේ දෙමාපියෝ ගෙවනවා. එතකොට ආණ්ඩුවෙන් වෙන් කරලා තියෙන්නේ සියයට 6යි. ටියුෂන් පන්තිවලට වැය කරන මුදල් දෙමාව්පියෝ ඒවායි අනිත් වෑන්වලට ගෙවන සල්ලියි එකට දැම්මොත් විශාල ප්‍රාග්‍ ධනයක් වැය කරලා මේ ළමයිගේ විනයක් ඔක්කෝම විනාශ කරලා ඕන්න රටට කරලා තියෙන ලොකු පින්දහම" මේ අතර ගල්කොරි හේතුවෙන් හංවැල්ල ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශය පිළිබඳව ද මෙහිදි අගරදගුරු හිමිපාණන් අදහස් පල කළේය. "මට ඇවිල්ලා කියපු වෙලා‍වේ මම ඒක අදාළ ආයතනවලට ජනාධිපතිතුමාට මේක යැව්වා. යැව්වාට පස්සේ ඕගොල්ලෝ දන්නවා ඒ‍ගොල්ලෝ ඒක තහනම් කෙරුවා කියලා. නමුත් ඕගොල්ලොම මට කිව්වා අද ආයිත් සැරයක් පටන් අරන් කියලා. ඒ කියන්නේ කවුරු හරි පගාව දීලා ඇති. පගාවක් අරගෙන අවසර දීලා ඇති. දන්නවානේ මේ රටේ තියෙන ලොකුම ව්‍යසනය මොකද්ද කියලා. අවංකකමක් නෑ පගාවට තමයි හැමදේම කරන්නේ. එතකොට නීතිරීති සේරම යටයි පගාවට. ඒකයි ඒකට හේතුව දැන්වත් දේශපාලන නායකයෝ ඒකට ඇස් ඇර ගනී කියලා අපි විශ්වාස කරනවා"
2018-07-01T00:26:10.000Z
දෛනික ඉන්ධන ප්‍රමාණය බැරල් මිලියන 2 කින් ඉහළ දමන්නැයි ට්‍රම්ප් සෞදි රජුගෙන් ඉල්ලයි
ට්‍රම්ප් සෞදි රජුගෙන් ඉල්ලීමක් කරයි
(News 1st) - දෛනිකව ලබාදෙන බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 2 කින් ඉහළ දමන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි රජුගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ඉහළ යන ඉන්ධන වියදම පාලනය කිරීමේ අරමුණිනි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කළේ සෞදි රජු ඊට එකඟ වූ බව ය. ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමත් සමග බොරතෙල් අවශ්‍යතාව සපුරා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට විසඳුම් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබුණි.
2018-07-01T00:14:59.000Z
රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයට වන අලියෙකු කඩා වදී
රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයට වන අලියෙකු කඩා වදී
COLOMBO (News 1st) - රඹුක්කන, කඩිගමුව ප්‍රදේශයට වන අලියෙකු කඩා වැදී තිබේ. පොලීසිය සදහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය, වනජීවි නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව වන අලියා ඇල්ලීම සදහා මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවය. ඊයේ පස්වරුවේ ගම්වැදුණු වන අලියා හලාගිරිය, ගොඩගංදෙණිය, පත්තම්පිටිය ,කංසල්මුව ඇතුළු ගම්මානවල සැරිසරන බවට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේය
2018-06-30T22:40:26.000Z
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහිව අමෙරිකාවේ විරෝධතා
ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා
(News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහිව අමෙරිකාවේ ප්‍රධාන නගර රැසක් පුරා විරෝධතා ආරම්භ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසී ඇතුළු ප්‍රධාන නගරවල විරෝධතා ක්‍රියාත්මක බව ය. මෙක්සිකෝ - අමෙරිකානු දේශසීමාව ආසන්නයේදී සංක්‍රමණික දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කිරීමට ජනපති ට්‍රම්ප් ගත් තීරණය ලොව විවිධ රටවල නායකයින්ගේ විවේචනයට ලක්විය. පසුව වෙන්කළ දරුවන් යළි දෙම්ව්පියන්ට භාරදීමට ජනපති ට්‍රම්ප් තීරණය කළ ද එය නිසි ආකාරයෙන් සිදුනොවන බවට ජනතාව චෝදනා කළේය.
2018-06-30T21:15:58.000Z
රු. ලක්ෂ 130ක කොකේන් ගුලි 73 ක් බ්‍රසීල ජාතිකයාගේ උදරයෙන් සොයා ගනී
රු. ලක්ෂ 130ක කොකේන් බ්‍රසීල ජාතිකයාගේ උදරයෙන්
COLOMBO (News 1st) - කටුනායක ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයාගේ උදරයේ තිබී කොකේන් ගුලි 73 ක් පිටතට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. ග්‍රෑම් 500 ක් පමණ බරැති එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අධික බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය. දෝහා කටාර් සිට මෙරටට පැමිණි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පෙරවරුවේදී ය. ඒ, විදේශිකයෙකු කෝකේන් රැගෙන එන බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි. අත්අඩංගුවට ගත් 30 හැවිරිදි සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය. ඡායාරූප අනුග්‍රහය - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය
2018-06-30T20:30:41.000Z
යූරෝ 4 ඉන්ධන හෙට සිට මෙරට වෙළඳපොළට
යූරෝ 4 ඉන්ධන හෙට සිට මෙරට වෙළඳපොළට
COLOMBO (News 1st) - යූරෝ 4 ඉන්ධන හෙට සිට මෙරට වෙළඳපොළට නිකුත් කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ, නව ඉන්ධන විශේෂය හඳුන්වාදීමත් සමග වෙළඳපොළේ දැනට පවතින ඔක්ටේන් 95 පෙට්‍රල් හා සුපිරි ඩීසල් භාවිතයෙන් ඉවත් කරන බව ය. යුරෝ 4 ඉන්ධනය දහනයේදී පරිසරයට පිටවන අහිතකර වායු ප්‍රමාණය අවම බව ද ඔහු සඳහන් කළේය. උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ යුරෝ 4 ඉන්ධන විශේෂය සතියක් තුළ දිවයිනේ සියලු පිරවුම්හල් වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ය.
2018-06-30T20:21:31.000Z
එඩින්සන් කවානි රොනාල්ඩෝගේ ලෝක කුසලාන සිහිනය බොඳ කරයි
කවානි රොනාල්ඩෝගේ ලෝක කුසලාන සිහිනය බොඳ කරයි
(News 1st) - 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට ප්‍රබල පෘතුගාල කණ්ඩායමට ඊයේ සිදුවිය. ඒ, සුපිරි 16 දෙනාගේ වටයේදී උරුගුවේ කණ්ඩායම සමග පැවති තරගය ගෝල 2ට 1ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙනි. මූලික වටයේ සිට අවසන් 16 දෙනාගේ වටයට අපරාජිතව පැමිණි උරුගුවේ කණ්ඩායම් ආරම්භයේ සිටම පෘතුගාලයට දැඩී පීඩනයක් එල්ල කල අතර උරුගුවේ ක්‍රීඩක එඩින්සන් කවානි පළමු අර්ධයේදී සිය කණ්ඩායමට ප්‍රථම ගෝලය එක් කළේය. නමුත් පෘතුගාලයට එම අර්ධයේදී කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමිනොවුණු අතර ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමුවුණේ ගෝල 1 ට 0 ක් ලෙස උරුගුවේ ක්‍රීඩකයින්ට පෙරමුණ හිමිකර දෙමිනි. තරගයේ දෙවන අර්ධයේදී පෘතුගාලයේ පෙපේ සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළද නැවතත් ක්‍රියාත්මක වූ කවානි උරුගුවේ කණ්ඩායමට දෙවන ගෝලය එක් කලේ සිය කණ්ඩායමට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දොරගුළු විවර කර දෙමිනි. ඒ අනුව ගෝල 2 ට 1 ක් ලෙස පෘතුගාලය පාරජය කළ උරුගුවේ කණ්ඩායම මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. පෘතුගාලය කණ්ඩායමේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) වැනි ප්‍රබල ක්‍රීඩකයෙකු සිටි නමුත් අවසානයේ ඔවුන්ට පරාජය වැළඳ ගැනීමට සිදුවිය.
2018-06-30T19:20:08.000Z
මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට
පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - මසක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතුරින් අට දෙනෙකු අඟුලාන අංජු නැමති පාතාල කල්ලි ප්‍රධානියාගේ ගෝලයින් බව ය. සෙසු පිරිස මාකඳුර මධුෂ් නැමැත්තාගේ ගෝලයින් බව ද ඔහු පවසයි. මේ අතර අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී තවත් පාතාල කල්ලි සාමාජිකයින් තුන් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එම බලකාය සදහන් කළේ, මේ වනවිට මෙරට ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයින් 6 දෙනෙකු විදේශගතව සිටින බව ය. ඔවුන් අතර අංගොඩ ලොක්කා හා මාකඳුර මධුෂ් යන අය ඉන්දියාවේත්, අඟුලාන අංජු ඩුබායි රාජ්‍යයේත් සිටින බවට තොරතුරු තහවුරු වී ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. කෙසේ වෙතත් විදේශගතව සිටින ලඩියා, කොස්ගොඩ සුජී, කෙසෙල්වත්ත දිනුක යන පාතාල කල්ලි නායකයින් කුමන රටක සැඟවී සිටින්නේදැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැත. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා නිවේදන නිකුත් කර ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලාකායේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය. මේ අතුරින් කොස්ගොඩ සුජී හා මධුෂ් යන පුද්ගලයින් දුටු තැන අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබේ. මේ අතර මසක් තුළ කළ මෙහෙයුම්වලින් ගිනි අවි 6ක් ද සොයා ගත් බව එම නිලධාරියා වැඩි දුරට ත් සඳහන් කළේය.
2018-06-30T19:26:47.000Z
හෙළ සිනමාවෙන් බොක්ස් ඔෆීස් වාර්තා තැබූ රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද අලුයම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූ බව ය. අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 80 කි. 1937 වසරේ අගෝස්තු 30 වැනිදා කොළඹදී උපන් රෝයි ද සිල්වා යන නාමය හෙළ සිනමා ඉතිහාසය තුළ රන් අකුරින් සනිටුහන්ව තිබේ. රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, තිර රචකයෙකු මෙන්ම පසුබිම් ගී ගායකයෙකු ලෙස හෙළ සිනමාව සුපෝෂණය කිරීමට ඒ මහතා දැක්වු දායකත්වය අති විශාලයි. මධු සිහින, සැනසිලි සුවය, පික්පොකට්, මේ දෑස කුමටද, මිනිසුන් අතර මිනිසෙක්, මිහිඳුම් සිහින සහ ඔබට දිවුරා කියන්නම් ආදී චිත්‍රපට විශාල ප්‍රමාණයක් ඔහු සිය රංග ප්‍රතිභාවෙන් වර්ණවත් කළේය. 1990 දශකයේ සිනමාවේ කඩා වැටීමක් පැවති යුගයේ සිනමා පට 7 ක් අධ්‍යක්ෂණය කරමින් ආදායම් වාර්තා අතරට පැමිණෙන්නට ඔහුට හැකි වන්නේ බිඳ වැටුණු සිනමාවට යළි ජීවය දිය හැකි බව රටටම පෙන්වා දෙමිනි. සුමිතුරෝ, චෙරියෝ ඩාලිං, චෙරියෝ කැප්ටන්, රෑ ඩැනියෙල් දවල් මිගෙල්, රැජිණ මමයි, විජේ සහ අජේ, ඔක්කොම කණපිට සහ ගෙදර බුදුන් අම්මා යන ආදී සිනමා පට රැසක් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවිය. එදා ආදායම් වාර්තා තබමින් තිරගත වූ ඔහුගේ සිනමාපට ප්‍රේක්ෂක හදවත් තුළ අදටත් ජීවමානයි. සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් අරගල කළ සිනමාකරුවන් අතර රෝයි ද සිල්වා යන නාමය ජන ප්‍රසාදිතයි. රංගනය ඉක්මවා ගිය භූමිකා රැසක් ඔස්සේ 71 වසරක සිංහල සිනමාවේ ස්වර්ණමය මතක තැබූ රෝයි ද සිල්වා මහතාණෙනි ඔබට නිවන් සුව...!!
2018-06-30T11:47:02.000Z
ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට
ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට
(News 1st) - ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ වටයේ තරග ආරම්භ කරමින් අද පැවැති පළමු තරගයෙන් ප්‍රංශ කණ්ඩායම ජය ගත්තේය. ඒ, අනුව අවස්ථා දෙකකදී ලෝක ශූරයින් බවට පත් වු ආර්ජන්ටිනාවට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ වටයේ තරගය ආරම්භ කරමින් එහි පළමු තරගය පැවැත් වුණේ ප්‍රංශය සහ ආර්ජන්ටිනාය අතරයි. තියුණු මහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී දඩුවම් පහරක් සාර්ථාක කර ගනිමින්, ප්‍රංශය පළමු ගෝලය තරගයේ 13 වැනි මිනිත්තු වේදී වාර්තා කළේය. එම අර්ධයේදී ප්‍රතිවාදී ආර්ජන්ටිනා කණ්ඩායමට ගෝල රැස් කිරීමට හැකි වුණේ නැහැ. දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වු, ප්‍රංශ ක්‍රීඩකයින් තරග 57, 64 සහ 68 වැනි මිනිත්තුවලදී ගෝල වාර්තා කළේය. ප්‍රතිවාදී ආජන්ටිනා ක්‍රීඩකයින් එම අර්ධයේදී ගෝල 3 ක් වාර්තා කළ එය තරගය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අනුව ප්‍රංශ ක්‍රීඩකයින් තරගයේ ජය තමන් සතු කර ගත්තේ ගොල් 4 ට 3 ක් ලෙස ය.
2018-06-30T11:33:49.000Z
මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි
මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - සිළුමිණ සහ රැස පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 39 වන වියේ පසුවිය. චාමර ලක්ෂාන් මහතා ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වලද කලක් සේවය කළේය.
2018-06-30T05:24:29.000Z
මත්තලදී හක්කපටස් ගිලීමෙන් අසාධ්‍ය වු ඇතින්න මරුට
මත්තලදී හක්කපටස් ගිලීමෙන් අසාධ්‍ය වු ඇතින්න මරුට
COLOMBO (News 1st) - මත්තල, මල්ආර ප්‍රදේශයේදී හක්ක පටස් ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇතින්න මියගොස් තිබේ. දකුණ සහ ඌව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා සඳහන් කළේ, දින 5 ක් ඇතින්නට ප්‍රතිකාර කළ බව ය. මියගිය ඇතින්නගේ වයස අවුරුදු 30 කි. ඇතින්න අසල සිටි අවුරුදු 2 ක් පමණ වන අලි පැටවා ඇත් අතුරු සෙවනට යොමු කළ බව ද ප්‍රසන්ත විමලදාස මහතා සඳහන් කළේය.
2018-06-30T06:55:22.000Z
newsfirst.lk 2018 වසරේ හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය ඇතුළු සම්මාන 2ක් දිනා ගනී
newsfirst හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය දිනයි
COLOMBO (News 1st) - BestWeb 2018 - සම්මාන උළෙලේදී news 1st මෙවර රන් සම්මාන 2ක් හිමි කර ගත්තේය. ප්‍රවෘත්ති වෙබ් අඩවියක් මෙම සම්මාන උළෙලේ සමස්ත අංශයේ හොඳ ම වෙබ් අඩවියට හිමි සම්මානය හිමි කර ගත්තේ පළමු වරටයි. හොඳම මාධ්‍ය, ක්‍රීඩා සහ විනෝදාත්මක වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය ද newsfirst.lk වෙබ් අඩවියට මෙවර හිමිවිය. rtiwatch.lk වෙබ් අඩවියට සමස්ත උළෙලේ රිදී පදක්කම හිමි වූ අතර , එහි ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ලාෆස් හොල්ඩින් ලිමිටඩ් සමාගමේ laugfs.lk වෙබ් අඩවියයි. හොඳම වෙබ් අඩවි නිර්මාණය සඳහා වූ සම්මානය මෙවර දිනා ගත්තේ 3CS ඒෂීයා පෞද්ගලික සමාගමයි. රාජ්‍ය අංශයේ හොඳ ම වෙබ් අඩවියට හිමි රන් සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගත් අතර , නාවික හමුදාව ජනප්‍රියම රාජ්‍ය ආයතන වෙබ් අඩවියට හිමි සම්මානය දිනා ගත්තේ ය. BestWeb.LK සම්මාන උළෙල සඳහා මූලිකත්වය ගනු ලබන්නේ, L.K. ඩොමේන් රෙජිස්ට්‍රි සංවිධානය සහ මොරටුව විශ්වවිද්‍යාලයයි. ප්‍රමුඛ පෙළේ විනිසුරු මඩුල්ලක් අදාළ සම්මාන සඳහා වෙබ් අඩවි තෝරා ගන්නා අතර තාක්ෂණය, නිර්මාණාත්මභාවය, අන්තර්ගතය සහ අන්තර් ක්‍රියාකාරීත්වය ද එහිදී සළකා බලනු ලැබේ. භාෂා ත්‍රිත්වය ම භාවිත කරමින් වීඩියෝ දර්ශන ද ඉදිරිපත් කරමින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත ප්‍රමුඛතම වෙබ් අඩවිය newsfirst.lk වෙබ් අඩවියයි. 2007 වසරේ ඔක්තෝබර් 10 වන දා සිංහල මාධ්‍යයෙන් ආරම්භ කළ අපගේ වෙබ් අඩවිය, 2009 වසරේ සිට ඉංග්‍රීසි හා දෙමළ භාෂාවලින් ද තොරතුරු සන්නිවේදනය ක‍ළේ ය. ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය ආයතන අභිබවමින් නිව්ස්ෆස්ට් ඉහළින් ම ඔසවා තැබීමට මූලික වූ ප්‍රේක්ෂක ජනතාවට අපගේ හද පිරි ප්‍රණාමය...!!
2018-06-30T00:33:26.000Z
බදු හමුවේ යටත් වෙන්නේ නැහැ - කැනඩා අමෙරිකාවට කියයි
බදු හමුවේ යටත් වෙන්නේ නැහැ - කැනඩා අමෙරිකාවට කියයි
(News 1st) - අමෙරිකාව වානේ සහ ඇලුමීනියම් ආනයන මත පැනවූ නව තීරු බදු හමුවේ තමන් යටත් නොවන බව කැනඩාව පවසයි. කැනඩා විදේශ අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් කියා සිටියේ සිය රට තුළින් ඇලුමීනියම් සහ වානේ අවශ්‍යතාව සපුරා ගැනීමට කටයුතු කරන බව ය. ඒ සඳහා දේශීය වානේ සහ ඇලුමීනියම් කර්මාන්තකරුවනට සිය නිලධාරීන් නව පැකේජයන් හඳුන්වා දී ඇතැයි ද ඇය සඳහන් කළාය. එකට එක කිරීමක් ලෙස අමෙරිකානු නිෂ්පාදන මත කැනඩාව පැනවූ තීරු බදු හෙට සිට ක්‍රියාත්මක වන බව ද කැනඩා විදේශ අමාත්‍යවරිය කියා සිටියාය.
2018-06-30T00:22:12.000Z
සූර්මා බොලිවුඩ් චිත්‍රපටයේ තෙවන ගීතය අන්තර්ජාලයට
සූර්මා බොලිවුඩ් චිත්‍රපටයේ තෙවන ගීතය අන්තර්ජාලයට
COLOMBO (News 1st) - සූර්මා බොලිවුඩ් චිත්‍රපටයේ තෙවන ගීතය අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ. එම ගීතය නම් කර ඇත්තේ “ගුඩ් මෑන් දි ලාල්තෙයීන්” (Good Man Di Laaltain) යනුවෙනි. ෂාද් අලීගේ අධ්‍යක්ෂණයක් වන සූර්මා බොලිවුඩ් චිත්‍රපටය ලබන 13 වන දින සිනමාශාලා වෙත නිකුත් කිරීමට නියමිත ය.
2018-06-30T00:10:46.000Z
ජනපති විසින් බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් ධුරයට උසස් කෙරේ
ජනපති විසින් යුද හමුදා නිලධාරීන්ට උසස්වීම් ලබාදෙයි
COLOMBO (News 1st) - යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ. ඒ, බ්‍රිගේඩියර් එච්.ජී.අයි. විද්‍යානන්ද, බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාර, බ්‍රිගේඩියර් ඩී.එම්.දවුලගල, බ්‍රිගේඩියර් ශාන්ත තිරුණාවකරසු, බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය යන මහත්වරුන් ය. යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ, මෙම නිලධාරීන් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී හා මානුෂවාදී මෙහෙයුමේදී පාබල, සන්නද්ධ සේවා, සහයක ආදි ක්ෂේත්‍රවල සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බව ය. මීට අමතරව සේනාධි නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුද හමුදා කපිතාන්වරු 34 දෙනෙකු මේජර් නිලයට උසස් කර තිබේ.