date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-06-07T09:38:48.000Z
මාධ්‍යවේදී ප්‍රශ්න හමුවේ කිරිඇල්ල පැන යයි
මාධ්‍යවේදී ප්‍රශ්න හමුවේ කිරිඇල්ල පැන යයි
COLOMBO (News 1st) - නකල්ස් රක්ෂිතය ඉඩම් අයෝජකයින්ට ලබා දීමේ සූදානමක් ඇති බවට පරිසර සංවිධාන නගන චෝදනාවට පිළිතුරු දීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
2018-06-07T09:15:29.000Z
මිහින් ලංකා පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත්තේ ගෝඨාභය බව හෙළිවෙයි
මිහින් ලංකා පිළිබඳව ජනපති කොමිසමේදී හෙළිදරව්වක්
COLOMBO (News 1st) - මිහින් ලංකා පෞද්ගලික සමාගම සංස්ථාපනය කර ඇත්තේ එහි ආරම්භක අධ්‍යක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව අද අනාවරණය විය. ඒ, ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම් සහ ශ්‍රීලංකන් කේටරින් සමාගම්වල අක්‍රමිකතා විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සිදු කළ සාක්ෂි විමසීමේදී ය. ජනාධිපති කොමිසම අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නියෝජිත ඉන්දික ගුණවර්ධන මහතා සාක්ෂි දුන්නේ ය. ඔහු කියා සිටියේ, 2006 වසරේ ඔක්තෝබර් 25 වන දින මිහින් ලංකා පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අයැදුම් පතක් යොමු කර තිබූ බව ය. නමුත් එහි දෝෂ ඇතැයි සටහනක් එවක සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් යොදා තිබූ බව ඔහු අනාවරණය කළේ ය. අයැදුම් පත්‍රයේ සමාගමේ ලේකම් ලෙස අත්සන් තබා ඇත්තේ, එස්.එස්. කන්සල්ටන්ස් සහ කෝපරේට් සෙක්‍රට්‍රීස් නමැති සමාගම යි. එහි අයැදුම් කරන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස අත්සන් කර තිබූ බව ද සාක්ෂිකරු කියා සිටියේ ය. ඉන්දික ගුනවර්ධන මහතා පැවසුවේ මිහින් ලංකා සමාගමේ අයැදුම් පත්‍රයේ ප්‍රකාශක ලෙස ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් කර තිබූ බව ය. කෙසේ වෙතත් සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකය 2006 ඔක්තෝබර් 27 වන දා නිකුත් කර තිබේ. මිහින් ලංකා සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරු ලෙස ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය පී.බී ජයසුන්දර, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන යන මහත්වරු කටයුතු කළහ. අද අනාවරණය වූයේ, සංස්ථාපනය කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අවම සාමාජික ගණන 5ක් විය යුතුව තිබුණත් මිහින් ලංකා සමාගමේ ඒ වන විට අධ්‍යක්ෂ මණ්ඩලය සිව් දෙනෙකුට සීමා වූ බව ය. 2008 වසරේ සමාගම් රෙජිස්ට්‍රාර් ලේඛනවල මිහින් ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවේ. 2006 සිට 2014 ජුනි 27 වන දා දක්වා ලංකා පුත්‍ර බැංකුව හා මහා භාණ්ඩාගාරය මිහින් ලංකා සමාගමට වරින් වර රුපියල් බිලියන 14.4 ක ආයෝජන සිදු කර ඇති බව ද ජනාධිපති කොමිසම හමුවේ හෙළි විය. මිහින් ලංකා සමාගම කොමිසමේ පරීක්ෂාවට ලක්වන කාල සීමාවේ රුපියල් බිලියන 17 කට අධික පාඩුවක් ලබා තිබූ අතර සමාගමේ විවිධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 10 කට අධික ය. 2016 පළමු මාස 6 ඇතුළත සමාගමේ පාඩුව රුපියල් මිලියන 181කි.
2018-06-07T09:17:45.000Z
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පර්පෙචුවල් මුදල් ගත්තා ද? - කථානායකගෙන් ප්‍රකාශයක්
පා. මන්ත්‍රීවරුන් පර්පෙචුවල් මුදල් ගත්තා ද?
COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මන්ත්‍රීවරුන් මුදල් ගත් බවට පළ වන වාර්තා පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ ය. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතයෝ ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළහ.
2018-06-07T06:00:30.000Z
බැඳුම්කර මගඩියේ තවත් හෙළිදරව්වක්
බැඳුම්කර මගඩියේ තවත් හෙළිදරව්වක්
COLOMBO (News 1st) : මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම අවස්ථා තුනකදී රුපියල් මිලියන 3.2 ක චෙක්පත් නිකුත් කර ඇතැයි, අද අධිකරණයේදී අනාවරණ විය. බැඳුම්කර වංචාව පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවේදී කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ, මහ බැංකුව මහේන්ද්‍රන් මහතාට නිකුත් කර තිබූ සිමා රහිතව වියදම් කළ හැකි ක්‍රෙඩිට් කාඩ් පතෙන් සිදු කළ පෞද්ගලික වියදම් පියවිම සඳහා එම මුදල් වැය කර ඇති බවයි. අර්ජුණ මහේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික ලේකම්වරියවූ අමිලා දහනායක , මෙම චෙක්පත් මාරු කිරීම සඳහා කාර්යාල කාර්ය සහකයෙකුට ලබා දී ඇති බව ද අද අධිකරණයේදී අනාවරණ විය. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයෙකුට අවස්ථා 2 කදී රුපියල් මිලියනය බැගින් චෙක්පත් 2ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් නිකුත් කරනු ලැබ ඇතැයි ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය දැනුම් දුන්නේ ය. ඉන් එක් චෙක් පතක් නිකුත් කර ඇත්තේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදුවූ 2016 වසරේ මාර්තු 31 වන දිනයි. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ මැතිවරණ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇතැයි ද අධිකරණයේදී අනාවරණ විය. මීට පෙර අධිකරණයේදී මුදල් ගෙන ඇතැයි, අනාවරණ වූ මන්ත්‍රීවරයා තවත් රුපියල් මිලියනයක චෙක්පතක් ලබා ගෙන ඇතැයි ද අධිකරණයේදී හෙළි විය. නඩුවේ සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
2018-06-07T05:22:57.000Z
වැස්සට දත නියවන ආපදා කළමනාකරණයක් රටට කුමට ද?
වැස්සට දත නියවන ආපදා කළමනාකරණයක් කුමට ද?
COLOMBO (News 1st) : නිරිතදිග මෝසම සක්‍රිය වීම ත් සමග අනෝරා වැසි වැටීම ලක් පොළොවට අරුම පුදුම අලුත් සිදුවීමක් නොවන අතර අතීතයේ සිට ගොවි ජනතාව නිරිතදිග මෝසම භාවිත කළේ, මහ කන්නයේ ගෙවිතැන් කර ගැනීමට මිස ගෙවල් දොරවල් ගංවතුර බිලි දීමට නොවේ. එහෙත් දැන් ඒ සියල්ල වෙනස් වී හමාර ය. වරද මහ වැස්සේ නොව අහසින් වැටෙන මහා දිය කඳ පුරවා ගන්නට රට තුළ වැව්, අමුණු නිසි ලෙස පිළිසකර වී නොතිබීමත් අතිරික්තය අපහසුවකින් තොරව මුහුදට ගලා යන්නට නිසි ක්‍රමවේදයක් සකසා නොතිබීමත් ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පසුගිය සති කිහිපයේ අපේ රටේ සක්‍රීයම ආයතන කිහිපය බවට පත්ව තිබූ අතර වේදිකා දෙවනත් කරමින් එකිනෙකාට අවලාද කියා ගන්නා දේශපාලකයින්ගේ නම් කිසිදු හාවක් හූවක් නොවී ය. පිරිසක් කාලගුණ අනාවැකි කියද්දී, තවත් ආයතනනයක් නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර තවත් පිරිසක් මියගිය විපතට පත් පිරිසගේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට පෙනී සිටියේ ය. එහෙත් අද ස්වභාව ධර්මය වැස්ස කළමනාකරණය කරන තුරු දත නියවා සිටී නම්, ආපදා කළමනාකරණයට අමාත්‍යංශය අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ, ආපදා ඇතිවීම වැළැක්වීමේ අමාත්‍යංශක් පිහිටුවීමයි. පසුගිය දා සැකසූ ඇමති මණ්ඩල සංශෝධනයේ විද්‍යාත්මක ක්‍රමයට හෝ මේ විෂය හසු නොවුණේ, ඇයි ද යන්න විමතියට කරුණකි. අහිංසක මිනිසුන් ගංවතුරින් පණ කෙන්ද රැක ගන්නට අත්වැලක් සොයද්දී දියවන්නාවේ ඇත්තන් ගංවතුර ගැන විශේෂ විවාද ඉල්ලා එතැන එකම ගාලගෝට්ටියකි. 2017 වසරේ මැයි මාසයේ මෙලෙසින් ම මේ දිනවල රටට ගංවතුර ගැලුවේ ය. විශේෂ විවාද නොව මීට හරියටම අවුරුද්දකට මේ දිනවලම ඇති වූ ගංවතුරින් ජීවිත 200කට වැඩි සංඛ්‍යාවක් ගංවතුරේ ගසා ගෙන ගිය බව දියවන්නාවේ ඇත්තන්ට අමතක වී තිබීම පුදුමයට කරුණක් නම් නොවේ. දියන්නාවේ ඇත්තන් ගංවතුර විවාද ඉලද්දී ජනතාවට ඔවුන්ගෙන් අසන්නට ඇත්තේ, පසුගිය වසරේ මහ ගංවතුරින් පසු යළි එවැනි විනාශයක් සිදු නොවීමට ඔවුන් සිදු කළේ මොනවා ද යන්න විමසීමයි. මහ වැව් නොව එක කුළු වැවක හෝ පාසි, රොන් මඩ ඉවත් කර තවත් එක් අඟලකින් හෝ වැවක ගැඹුරක් වැඩි කිරීමට කැප වී ක්‍රියා කළ දේශපාලකයෙක් සිටී ද? ඒවා කරන්නට තරම් බලයක් නැති නම් අඩුම තරමේ ඉදිරි ගංවතුර ගැන සිතා කාණුවක් හො සුද්ද කළ ගමේ දේශපාලකයෙකු සිටී නම් ඒ අතක ඇඟිලි ගණනට වඩා අඩු ප්‍රමාණයකි. දැන් දේශපාලකයින් ඇතුළු වගකිවයුත්තන්ට ජනතාව හමුවේ කියන්නට ඇත්තේ, "ජනතාවනි, බිය නොවන්න ඩෙංගු මදුරුවා හෙට අනිද්දා ම ඔබේ ජීවිතවල ඉරණම විසඳා දේවි'' යන්නයි. ලබන වසරේ නිරිතදිග මෝසමට කලින් යමක් නොකරන්නේ නම්, අඩුම තරමින් මැයි මාසය ගංවතුර මාසය ලෙස නම් කිරීමට ක්‍රියා කළ හොත් ජනතාවට කල්වේලා ඇතිව ජීවිතය බේරා ගැනීමට අවදානමක් නැති තැනක කූඩාරමක් හෝ තනාගත හැකි ය. https://www.facebook.com/NewsfirstSL/videos/1971869539539961/
2018-06-07T02:36:08.000Z
ඇමති පාඨලී මව්බිමට එරෙහි නඩුවෙන් ඉවත් වෙයි
ඇමති පාඨලී මව්බිමට එරෙහි නඩුවෙන් ඉවත් වෙයි
COLOMBO (News 1st) - මව්බිම පුවත් පතෙන් රුපියල් බිලියන 1.5 ක වන්දියක් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩු අද ඉල්ලා අස්කර ගෙන තිබේ. පසුගිය මැතිවරණ සමයේ මව්බිම පුවත්පතේ පළ වූ ලිපි දෙකකින් සිය කීර්ති නාමයට හානි කර ඇති බව පවසමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩු ගොනු කර කළේ ය. අනතුරව මව්බිම පුවත්පත ද පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව හරස් ඉල්ලීමක් කර තිබුනේ ඔහු ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශවලින් පුවත්පතට අගතියක් වී ඇති බව පවසමිනි. අමාත්‍ය පාඨලී චම්මික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීති එම්. සී. ජයරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ, සිය සේවා දායකයා නඩු කටයුත්ත ඉදිරියට ගෙන යාමට අදහස් නොකරන බැවින් එය ඉවත් කර ගැනීමට අධිකරණයේ අවසර පතන බවයි. ඊට කොළඹ අංක 1 දිසා විනිසුරු අමිල රත්නායක මහතා අවසර ලබා දුන්නේ ය. මේ අනුව මව්බිම පුවත්පත වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ, ඔවුන් කළ හරස් ඉල්ලීම ද ඉවත් කර ගන්නා බවයි. පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් නීතිඥ එම්. සී. ජයරත්න මහතා අධිකරණයේ පෙනි සිටි අතර මව්බිම පුවත් පත වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා හා සුගත් කල්දේරා මහතා පෙනි සිටියහ.
2018-06-07T01:33:55.000Z
මහරගම නගර සභාවේ තව ත් අවුලක්
මහරගම නගර සභාවේ තව ත් අවුලක්...
COLOMBO (News 1st) - මහරගම නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායමෙන් තේරිපත් වූ මන්ත්‍රීවරුන් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූර සඳහා කාන්ති කොඩිකාර ඇතුලු නව මන්ත්‍රීවරු 06 දෙනෙකු පත්කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඇතුලු පිරිසක් සභාව වර්ජනය කර තිබේ. ඔවුන් පැවසූවේ, මෙය නීති විරෝධී ක්‍රියාවක් බවයි. මේ අතර කාන්ති කොඩිකාර ඇතුලු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අද හිටපු ජානධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන් පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා භාර දුන්නද එම නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විණි. ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව අලුතින් පත් වූ නාගරික මන්ත්‍රි කාන්ති කොඩිකාර මහත්මියගෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළා ය. පළාත් පාලන මැතිවරණ පනතට අනුව මෙවැනි පත්වීමක් කළ හැකිදැයි මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචි හේවා මහතාගෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.
2018-06-07T00:01:14.000Z
ගුරු සේවයට උපාධිධාරීන් පිරිසකට පත්වීම්
ගුරු සේවයට උපාධිධාරීන් පිරිසකට පත්වීම්
COLOMBO (News 1st) - බස්නාහිර පළාත් ගුරු සේවයට උපාධිධාරීන් 494 දෙනෙකු අද බඳවා ගැනේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. 2014, 2016 සහ 2017 වර්ෂවල පැවති තරග විභාගවලින් ඉහළම ලකුණු ලබා ගත් උපාධිධාරීන්ට ගුරු පත්වීම් ප්‍රදානය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙලේ තව ත් අදියරක් ලෙස මෙම නව පත් කිරීම් සිදුවනු ඇත. ඒ අනුව වාණිජ විෂය සඳහා ගුරු පත්වීම් 147 ක් කලා විෂයන් ඉගැන්වීම සඳහා උපාධිධාරීන් 75ක් ගණිත විෂය සඳහා උපාධිධාරීන් 67 ක් විද්‍යා උපාධිධාරීන් 62 ක් දෙමළ මාධ්‍ය උපාධිධාරීන් 81 දෙනෙකු සදහා අද ගුරු පත්වීම් ලිපි ප්‍රදානය කෙරෙනු ඇති. ඊට අමතරව චිත්‍ර විෂය සඳහා උපාධිධාරීන් 40 ක් තොරතුරු තාක්ෂණය සඳහා උපාධිධාරීන් 16 දෙනෙකු පෙරදිග සංගීතය සඳහා උපාධිධාරීන් 3 ක් නර්තනය සඳහා උපාධිධාරීන් 3 ක් වශයෙන් අද දින නව ගුරු පත්වීම් ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. බස්නාහිර පළාත අධ්‍යාපන කලාප 11 කින් සමන්විත වන අතර අධ්‍යාපන කොට්ඨාස 38 තුළ පාසල් 1288 ක් පිහිටා තිබේ. එම පළාත තුළ සිටින මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 750,000 ක් පමණ වන අතර මුළු ගුරුවරුන් සංඛ්‍යාව 35,147 කි. 2015 වර්ෂයේ සිට මේ දක්වා බස්නාහිර පළාත තුළ ලබාදී ඇති ගුරු පත්වීම් සංඛ්‍යාව 2822 ක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
2018-06-06T23:20:50.000Z
ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද යළි ගණන් කිරීමට නියෝගයක්
ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයට ආ නියෝගය...
COLOMBO (News 1st) - ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද යළි ගණන් කිරීමට එරට පාර්ලිමේන්තුව නියෝග කර තිබේ. ඒ, මැතිවරණයේදී අක්‍රමිකතා සිදු වූ බවට වාර්තා පළවීමෙන් අනතුරුවයි. අවතැන්වූවන්ගේ සහ විදේශිය රටවල සිටින පුද්ගලයින්ගේ ඡන්ද අවලංගු කිරීමට ද එරට පාර්ලිමේන්තුව කටයුතු කළේ ය. ඊට අමතරව එරට මැතිවරණ කොමිසමේ නායකත්වය ද වෙනස් කර තිබේ. ආරක්ෂක ඒජන්සි සතුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සාක්ෂි ඇති බවට ඉරාක අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාඩි ඊයේ අනතුරු ඇඟව්වේ ය. ඔහු සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමට විද්‍යුත් යන්ත්‍ර භාවිතා කිරීම මෙම අක්‍රමිකතාවන්ට හේතු වූ බවයි. ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 328 න් වැඩිම ආසන සංඛ්‍යාව වන ආසන 54 ක් දිනාගැනීමට ෂියා මුස්ලිම් පූජක මුක්තාදා සාදර්ගේ ජාතිවාදී සන්ධානය සමත් විණි. අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාඩිගේ සන්ධානයට දිනාගැනීමට හැකිවූයේ ආසන 42 ක් පමණි. මැතිවරණ ප්‍රතිඵල පිළිගෙන සන්ධානගත නව ආණ්ඩුවක් පිහිටුවීමට කැමැත්තෙන් පසුවුව ද ඉරාකයේ ආරක්ෂක සහ දූෂණ මර්දන ප්‍රධානීන්ගේ වාර්තාවක් අධ්‍යයනය කිරීමෙන් පසු ඡන්ද යළි ගණනය කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
2018-06-06T20:30:44.000Z
කෝප් කමිටුවට හා රාජ්‍ය ගිණුම් කාරක සභාවට සභාපතිවරුන් පත් කිරීම අද
කෝප් කමිටුවට අද නව සභාපතිවරයෙක්
COLOMBO (News 1st) - පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට අද නව සභාපතිවරුන් පත් කර ගැනීමට නියමිතව තිබේ. එම කාරක සභා අහෝසි වූයේ, පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අවසන් වීමත් සමගනි. කෝප් කමිටුවේ සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට හිමිව තිබූ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කටයුතු කළේ ය.
2018-06-06T20:21:37.000Z
කුකුළේ ගඟ වාන් දොරටුවක් විවෘත කෙරේ
කුකුළේ ගඟ වාන් දොරටුවක් විවෘත කෙරේ
COLOMBO (News 1st) - කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ රාත්‍රියේ විවෘත කර තිබේ. කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා සඳහන් කළේ, ඉන් තත්පරයට ඝනමීටර් 45 ක් මුදා හැරෙන බවයි. කලවාන ප්‍රදේශයට දැඩි වැසි ඇද හැලීම හේතුවෙන් වාන් දොරටුව විවෘත කළ බව ද ඔහු පැවසුවේ ය. මේ අතර අද දිනයේ සබරගමුව මධ්‍යම ඇතුලු ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2018-06-06T20:12:21.000Z
විදුලි ඉංජිනේරුවන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි
විදුලි ඉංජිනේරුවන් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි
COLOMBO (News 1st) - අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ. පෙරවරු 11.30 ට සාකච්ඡාව ආරම්භ වන්නේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
2018-06-06T20:02:59.000Z
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය
ශ්‍රී ලංකා-ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය
COLOMBO (News 1st) - තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද දෙවන දිනටත් ට්‍රිනිඩෑඩ්හි ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. පළමු දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 84 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 246 කි. තරගයේ කාසිය වාසිය දිනා ගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ඒ අනුව කොදෙව් ඉණිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ, ක්‍රෙයිග් බ්‍රෙත්වේයිට් හා වසර 3 කට පසු කොදෙව් කණ්ඩායමට එකතු වූ ඩෙවෝන් ස්මිත් ය. ආරම්භක කඩුල්ල සබඳතාව ලකුණු 4 කට සීමා කරමින් ලකුණු 3 ක් රැස් කරගෙන සිටි ක්‍රේග් බ්‍රෙත්වෙයිට් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් විය. අනතුරුව පිටියට එක් වූ ඩෙවෝන් ස්මිත් හා කිරන් පවෙල්ට කොදෙව් ඉණිම දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගීමට හැකි වූයේ ලකුණු 36 ක සබඳතාවක් පමණි. ඩෙවෝන් ස්මිත් ලකුණු 7 ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේ ය. ශායි හෝප් සිය ටෙස්ට් දිවියේ ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත් විණි. ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කිරන් පවෙල් දැවී ගියේ ලකුණු 38 ක් රැස් කරගෙන සිටියදීයි. ශායි හෝප් ලකුණූ 44 ක් රැස් කළේ ය. රොස්ටන් චේස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 38 කි. අනතුරුව පිටියට එක් වූ නායක ජේසන් හෝල්ඩර් හා ශේන් ඩෝර්විච් කොදෙව් ඉණිමේ හයවන කඩුල්ල සඳහා ලකුණූ 90 ක සබඳතාවක් ගොනැගුහ. නායක ජේසන් හෝල්ඩර් ලකුණු 40 යි. දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින ශේන් ඩෝර්විච් ලකුණු 46 ක් රැස් කරගෙන සිටියේ ය. පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 57 ට කඩුලු 3 ක් දවා ගත් අතර සුරංග ලක්මාල් හා රංගන හේරත් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේ ය.
2018-06-06T19:34:50.000Z
දකුණේ වෛරස් උණ රෝගය පාලනය වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි
දකුණේ වෛරස් උණ පාලනය වෙයි
COLOMBO (News 1st) - දකුණේ වෛරස් උණ රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවට ඊයේ පස්වරුවේ එක් වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අනතුරුව පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කළේ ය. වෛරස් උණ රෝගය පිළිබඳව පළාතේ ජනතාවට නිසි දැනුවත්වීමක් නොමැතිවීම රෝගය ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවක් වී ඇති බව සෞඛ්‍ය අංශ පවසා ඇත. ඒ අනුව වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබේ. ඉන්ෆ්ලුවෙන්සා A වෛරසයේ රෝග ලක්ෂණ ලෙස උණ, නාසයෙන් හොටු දියර ගැලීම, කිවිසුම් යාම, කැස්ස, උගුර ආසාදනය, හිසරදය හා හන්දිපත් වේදනාව ඇති විය හැකියි. මෙම රෝගය වැළඳුන රෝගීන් කහින විට හා කිවිසුම් යවන විට පිටවන සෙම් බිඳිති මගින් වෛරසය පැතිර යන බැවින් කිවිසුම් යන විටදී හෝ කහින විටදී ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියක් භාවිතා කරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබේ. රෝග ලක්ෂණ පහළ වූ වහාම වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ මහජනතාවට උපදෙස් ලබා දෙනු ඇත. වෛරස් උණ රෝගය හේතුවෙන් දකුණු පළාතේ රෝහල්වල මේ වනවිට 300 කට අධික පිරිසක් ප්‍රතිකාර ලබන අතර වෛරසය වැළදීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 19 ක් වේ. ඒ අතර කුඩා දරුවන් 14 ක් සිටිනු ඇත.
2018-06-06T19:07:31.000Z
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ. ඒ, ජනාධිපති නිල නිවසේදීයි. මෙය නව නිලධාරී මණ්ඩලය පත් කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මධ්‍යම කාරක සභා රැස්වීම වනු ඇත. පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව නිව්ස්ෆස්ට් කළ විමසීමකදී අමාත්‍ය එස්. බී. දිසානායක මහතා සඳහන් කළේ ය.
2018-06-06T08:38:02.000Z
ජල සම්පාදන සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරී
ජල සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරී..
COLOMBO (News 1st) - දින 09 ක් පුරා ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කළ බව ජල සම්පාදන ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. ඒ, අද පස්වරුවේ විෂයභාර අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය. වෘත්තීය සමිති ප්‍රකාශ කරන 25% ක වැටුප් වැඩිවීම ලබාදීමට රජය එකඟවුවා ද? ඒ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති අලහුඩින් අන්සාර් මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.
2018-06-06T08:38:57.000Z
"රතු නිවේදනයකින් අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්විය නොහැකියි" - අගමැති
අද පාර්ලිමේන්තුව උණුසුම් කළ ජාත්‍යන්තර රතු නිවේදනය
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා අද පිළිතුරුදී ඇත. ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබියදීත් ඇතැම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා එහිදී අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේ ය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම, අනුර කුමාර දිසානායක, ජාලිය වික්‍රමසුරිය, උදයංග වීරතුංග, අර්ජුන් මහේන්ද්‍ර ඔවුන් තිදෙනා මේරට අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට සඳහා ආණ්ඩුව විසින් ගෙන ඇති පියවර කවරේ ද? එහි වගකීම ආණ්ඩුවක් ලෙස භාර ගනු ලබන්නේ ද? අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ, 2008 වසරේ සිට 2014 දක්වා අමෙරිකානු එක්සත් ජනපදයේ තනාපති ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසුරිය මහාතා වරෙන්තු නිකුත් කර ඇති අතර මේ දක්වා අධිකරණයට ඉදිරිපත්වී නෑ. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඇපකරුවන් ද සැකකාරිය සමග විදේශගත ව ඇති බවයි. පෙබරවාරි 12 වන දින උදයංග විරතුංගට අදාළව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උදයංග වීරතුංග ශ්‍රී ලංකාව වෙත උදර්පණය කිරීම සඳහා ඉල්ලීමක් 2018 මැයි 17 වන දින ආරක්ෂක ලේකම් විසින් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා එක්සත් අරාබි එමිර් රාජයේ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙතින් ඉල්ලා තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහාතා සිටින ස්ථානය සොයා මෙරටට ගෙන්වා ගැනීම‍ට අවශය පියවර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය පතා ඇති අතර පොලිස් රතු නිවේදනය මත පදනමට තැනැත්තකු අත්අඩංගුවට නොගන්නා බැවින් උදර්පණ නීතිය යටතේ ඔහු මෙරටට උදර්පණය කිරීම සඳහා නියමිත ක්‍රමවේදයක් අනුව ඉල්ලිමක් කරන ලෙසට සිංගප්පුරු රජය දන්වා තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අර්ජුන් මහේද්‍රන් මහතා මෙරටට උදර්පණය කර ගැනීමට උදර්පණ නීතියට අනුව මෙරටට බලධරියා වන ආරක්ෂක ලේකම් වෙත ඉල්ලිමක් කර ඇති බව වර්තාවී තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම, අනුර කුමාර දිසානායක, අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවට ගියාට පසු මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවම ඔබතුමා පිළිතුරක් දුන්නා ඔහු විවහා උත්සවයක් සඳහා සභාගි වුනේ ඉතා ඉක්මනින් ඔහු මෙරටට ළඟා වන බව පහදලා දුන්නා‍. මට දැනුනා ඔහු විවහා උත්සව සඳහා යන ගමන් පවා ඔබතුමා දන්නවා නම් පෙන්නුම් කරනවා ඔබතුමා සමීප සබඳතාවක් තිබුණ බව. ඔබතුමා රටේ අග්‍රමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේන් ඔබතුමාගේ නිර්දේශ මත තමයි මහ බැංකු අධිපතිවරයා පත් කරන්නේ. ඒ නිසා මම හිතනවා ජාත්‍යන්තර වරේන්තු. රතු නිවේදන. ජාත්‍යන්තර පොලිස් සහාය උදර්පණ නීති. එවායේ සැඟ වෙන්නෙ නැතුව ඔබතුමාට මූලික වගකීමක් තියෙනවා. ඔහු මෙරටට කැඳවලා දෙන්න. මොකද ඔබතුමාගේ මිත්‍රයෙක් අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා මගේ යටතේ වැඩ කරන අවස්ථාවේදී එතුමා රට යනකොට මට දැනුම් දුන්නා රට යන අවස්ථාවේ මේ ගැන ප්‍රශ්නයක් තිබුණ නිසා කිව්වා. මම යන්නේ විවහා මංගල ගෙදරට ඊට පස්සේ එනවා කියලා දැන් ඉන්න මහා බැංකු අධිපතිතුමත් රට යනකොට මට කියනවා. ඇත්ත වශයෙන් කාලයක් තිස්සේ අපි කොමිසන්වලට යනකොට අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමත් එක්ක මට සම්බන්ධයක් තිබුනේ නෑ. එතුමා අන්තිමට ගිහින් තියෙන්නෙත් මම දැනුවත් ව හිටියේ නෑ. විටින් විට එතුමා කොහෙද ඉන්නෙ කියලා. සිංගප්පුරුවේ මම දන්නවා. මම දන්නවා එකක් එතුමා විටින් විට. එතුමා මීට ඉස්සලත් ඔය නිවාස මාරු කර කර හිටියේ හොඳ එකක් හම්බු වෙනකම්. මම දන්නවා සිංගප්පුරුවේ සිරිතක්. මම දන්නේ නෑ ඉතින් ඒ එක්කෙනෙක් ගැනවත් උදයන්ග වීරතුංග කොහොමත් මට දැනුමක් නෑ. ජාලියව නම් මම හම්බ වෙලා තියෙනවා ඒත් ඊට පස්සේ මම සම්බන්ධකම් තියා ගෙන නෑ. ඒ වැඩ කටයුතු කරන එකත් මෙකත්. මම ආණ්ඩුවේ අදාළ අංශවලින් ලබා‍ගෙන තියෙන්නෙ. ඕක සම්බන්දේ තිබුන නම් කියනවා. මමයි උදවු කරන්නෙ කියලා
2018-06-06T05:22:22.000Z
පොලිස් නිලධාරීන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්
පොලිස් නිලධාරීන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්
COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුලු පොලිස් නිලධාරීන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන් අතර සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සංඛ්‍යාව 08 කි. ස්ථාන මාරු කිරීම් ලැබූවන් අතර පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකු ද සිටිනු ඇත. ඔවුන් සියලු දෙනා පොලිස් ස්ථානාධිපතිවරුන් හා කොට්ඨාස භාරව සේවය කළ පිරිස් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, පොලිස්පතිතුමාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත් ව මෙම ස්ථාන මාරු කිරීම් කළ බවයි.
2018-06-06T04:57:51.000Z
හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණාවරණයක්
හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණාවරණයක්
COLOMBO (News 1st) - දේශීය හස්ත කර්මාන්ත ශිල්පියා ආරක්ෂා කර ගැනීම සඳහා රක්ෂණාවරණයක් ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. මෙම රක්ෂණාවරණය ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින සියලුම දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ට ලබා දෙනු ඇත. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ හස්ත කර්මාන්ත ශිල්පීන් උදෙසා ලබා දෙන ප්‍රථම රක්ෂණාවරණයයි.
2018-06-06T04:32:20.000Z
අ.පො.ස (සා.පෙළ) විභාගයට සෞඛ්‍ය විෂය අනිවාර්ය කෙරේ
සා.පෙළ විභාගයට සෞඛ්‍ය අනිවාර්ය කෙරේ
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සෞඛ්‍ය විෂය අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ගෙන ආ යෝජනාවකට අනූව එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි. ඒ, අද පැවැත් වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
2018-06-06T03:39:40.000Z
උගන්නන ගමන් රටක් හදන නෙදර්ලන්ත අගමැති.
උගන්නන ගමන් රටක් හදන නෙදර්ලන්ත අගමැති.
නෙදර්ලන්තයේ අගමැති Mark Rutte එරට පාර්ලිමේන්තුවට ඇතුලු වෙමින් සිටියදී ඔහු රැගෙන එන කෝපි කෝප්පය බිම වැටීම සහ ඔහු විසින්ම එම ස්ථානය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් වූ වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය තුල සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ. https://youtu.be/FdcNo4Z62G8 පුහු මාන්නයකින් සහ ආත්මාර්ථකාමිත්වය ආභරණයක් කරගත් අගමැතිවරු, ජනාධිපතිවරු සහ දේශපාලකයින් සිටින අපේ රටට නම් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ එම ක්‍රියාව හරිම පුදුම වැඩක්. කවුද මේ Mark Rutte ? 1967 පෙබරවාරි 14 වනදා නෙදර්ලන්තයේ හේග් නුවරදී උපත ලැබූ Mark Rutte නෙදර්ලන්තයේ Leiden විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනාගනු ලැබුවා. කලක් පෞද්ගලික ආයතනයක සේවය කල ඔහු නෙදර්ලන්තයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතා පක්ෂය (People's Party for Freedom and Democracy (Volkspartij voor Vrijheid en Democratie – VVD) සමඟ සම්බන්ධ වනවා. ක්‍රමානුකූල මහත්මා දේශපාලන ගමනකින් පසු එම පක්ෂයේ නායකත්වයට පත්වන Mark Rutte 2006 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වීමත් සමඟ එරට විපක්ෂ නායකත්වයට පත්වනවා. බලය ලබාගැනීමට උපායශිලී නොවී ආණ්ඩුව මහජනයාට එපා වනතෙක් පිස්සු නටන ලොව අන් රටවල පක්ෂ නායකයින් සේ නොසිට ඉතා ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන Mark Rutte 2010 වසරේ ඔක්තෝම්බර් මස පැවති නෙදර්ලන්ත මහමැතිවරණයෙන් සිය පක්ෂයට ජයග්‍රහණය අත්කරදී එරට 50 වන අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනවා. එදා සිට අද දක්වාම විවිධ දේශපාලනික හැලහැප්පීම් වලට මුහුණ දෙමින් Mark Rutte අග්‍රාමාත්‍යවරයා වශයෙන් නෙදර්ලන්තයට ලබා දෙන නායකත්වය ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක්වී තිබේ. ඔහු විශේෂ වන්නේ ඇයි? නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා ස්වභාවයෙන්ම ඉතා සරළ ජීවිතයක් ගත කිරීමට කැමති පුද්ගලයෙක්. අවිවාහකයෙකු වන ඔහු එරට ප්‍රොතෙස්තන්ත පල්ලියේ අනුගාමිකයෙක්. අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසුව වුවද ඔහු සිය නිවසට ආසන්න විද්‍යාලයේ සතියකට පැය දෙකක කාලයක් ඉගැන්වීමේ කටයුතු සිදුකරන සුන්දර ගුරුවරයෙක්. උපතින්ම පියානෝ වාදනයට දක්ෂකම් දක්වන ඔහු අගමැති වුවද උදේ සවස කාර්‍යාලයට පැමිණෙන්නේ පාපැදියෙන්. පසුගිය මැයි මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර දර්මෝදාස් මෝදි මහතා නෙදර්ලන්තයේ කල සංචාරය අතරතුරදී අගමැති මාක් විසින් මෝඩිට පාපැදියක් පරිත්‍යාග කිරීම විශේෂ සිදුවීමක් බවට පත්විය. ජනතාව කෙතරම් ප්‍රතික්ෂේප කලද බලහත්කාරයෙන් මෙන් ධූරයේ රැදී සිට්න සමහරක් දේශපාලන නායකයින්ට නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් ඉගෙනගත හැකි දේවල් බොහොයි. සැබෑ නිහතමානීකම සහ තමන් ලද රාජකාරියේ කටයුතු වෙනුවෙන් බොරු ආටෝපයන්ගෙන් තොරව සැබෑ ලෙසම කැපවීම ලොව ඕනෑම රටක දේශපාලකයෙකුට මාර්ක් ලුට් ගෙන් ගත හැකි ආදර්ශයන්ය.
2018-06-06T02:38:19.000Z
ශ්‍රීලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සේවීමට පත් කළ ජනපති කොමිසම දෙවන සාක්ෂි විභාගය කැඳවයි
ශ්‍රීලංකන් අක්‍රමිකතා සේවීමට පත් කළ ජනපති කොමිසම
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි විභාගය අද පෙරවරු 10.00ට ආරම්භ විය. කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ, අද සාක්ෂි විමසීම සඳහා සමාගම් රෙජිස්ටාර් සහ එහි නිලධාරියෙකු කැඳවා තිබෙන බව ය. ශ්‍රීලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මහජන පැමිණිලි සංඛ්‍යාව 44 කට අධික ය. එම පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වේ. කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ, ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කර වාර්තා ලබා ගැනීමට නියමිත බව ය. ශ්‍රීලංකන්, මිහින් හා ශ්‍රීලංකන් කෙටරින් යන ආයතවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් පෙබරවාරි 14 වන දා විශේෂ කොමිසමක් පත් කළේ ය. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සභාපතිත්වය දරණ එම කොමිසමේ සෙසු සමාජිකයින් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ , විශ්‍රාමලත් විගණකාධිපති ඇම්.ඩී.ඒ. හැරල් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය යි.
2018-06-06T01:26:56.000Z
මලයාසියානු මහ බැංකු අධිපති සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි
මුහම්මද් ඊබ්‍රහිම් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි
(News 1st) - මලයාසියානු මහ බැංකු අධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අගමැති මහතීර් මොහොමඩ් වෙත භාර දී තිබේ. අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් ප්‍රකාශ කළේ, මහ බැංකු අධිපති මුහම්මද් ඊබ්‍රහිම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට භාර දුන් බව ය. නමුත් මහ බැංකු අධිපති තනතුරට අනුප්‍රාප්තිකයෙකු පත් කිරීම සඳහා මේ වන තුරු තීරණයක් ගෙන නොමැති බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේ ය. අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ, මලයාසියානු ආණ්ඩුව මහ බැංකුවට අනුප්‍රාප්තිකයෙකු පත් කිරීම පිළිබඳව තීරණයක් ගෙන නොමැති අතර ඒ සඳහා එරට රජුගේ අවසරය අවැසි බව ය. සිය ධූර කාලය නිමා කිරීමට තවත් වසර 3ක කාලයක් ඉතිරිව තිබියදී මලයාසියානු මහ බැංකු අධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේ, මූල්‍ය අක්‍රමිකතාවලට දායක වූ බවට එල්ල වන චෝදනා හේතුවෙනි. මහ බැංකුව ඉඩමක් අලෙවියෙන් ඉපැයූ අමෙරිකානු ඩොලර් මිලියන 520ක මුදලක් මලයාසියානු සංවර්ධන අරමුදලේ සිය ණය මුදල් පියවීමට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් භාවිත කළ බව මීට පෙර එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මලයාසියානු මහ බැංකු අධිපති මුහම්මද් ඊබ්‍රහිම්ගේ ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු වන්නේ එය බව ය . මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල් වංචා කළ බවට නජීබ් රසාක්ට චෝදනා එල්ල වේ.
2018-06-06T01:03:43.000Z
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි
ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි
(News 1st) - ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් සුදුසු පුද්ගලයෙකු පත් කරන තෙක් ඔහු තවදුරටත් එම තනතුරේ කටයුතු කරනු ඇති. වසර 17ක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ජේම්ස් සදර්ලන්ඩ්ගේ ඉවත් වීම තමන් වෙත දැන්වූ බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ දැක්වේ. තමන් එම තනතුරෙන් ඉවත් වීමට සුදුසු ම කාලය මෙය බවට ද ඔහු දක්වා තිබේ. සදර්ලන්ඩ් 1998 වසරේදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ වූ අතර ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූයේ 2001 වසරේදී ය. කෙසේ නමුත් වෙනත් පුද්ගලයෙකු ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් කර ගන්නා තෙක් සදර්ලන්ඩ් තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බවට විදෙස් වාර්තා පවසයි. ඒ අනුව ඉදිරි මාස 12ක කාලය තුළ ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීමට නියමිත ය.
2018-06-06T00:41:39.000Z
බැසිල් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 1
බැසිල් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව
COLOMBO (News 1st) - පසුගිය ජනපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක් වැය කර සෙවිලි තහඩු බෙදා දීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 01 වන දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද දින නියම කළේ ය. මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේ, පැමිණිල්ලේ 04 වන හා 21 වන සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යවන ලෙස ය. බැසිල් රාජපක්ෂ මහතාට අමතරව එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන් ය.
2018-06-05T22:49:52.000Z
වියළි කාලාපීය ප්‍රදේශවල කෘත්‍රීම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය
කෘත්‍රීම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියකට අනුමැතිය
COLOMBO (News 1st) - මෙරට වියළි කාලාපීය ප්‍රදේශවල කෘත්‍රීම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ය. මෙම ව්‍යාපෘතිය යටතේ අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර ඇතුළු වියළි කලාපීය ප්‍රදේශවලට කෘත්‍රීම වැසි ඇති කරන අතර එමගින් කෘෂි කර්මාන්තයට වන බලපෑම අවම කිරීමට නියමිත ය. අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ, චීනය සමග සම්බන්ධ වෙමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බව ය. මේ අතර විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවල කෘත්‍රීම වැසි ඇති කිරීමේ අධ්‍යයනයක් පසුගිදා සිදු විය. ඒ, තායිලන්ත විශේෂඥයින් පිරිසකගේ සහභාගීත්වයෙනි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් තායිලන්තයේ සංචාරය කිරීමට නියමිත බව ය.
2018-06-05T22:35:06.000Z
කාත්තන්කුඩි පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක්
කාත්තන්කුඩි පොලීසියේ නිලධාරීන් 2කුට ප්‍රහාරයක්
COLOMBO (News 1st) - සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය කාත්තන්කුඩි පොලීසියට අනියුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු විසින් ම එම පහර දීම සිදු කර ඇති බව ය. ඉන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මේ වන විට කාන්තන්කුඩිය රෝහලේ ප්‍රතිකාර ලබති. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-06-05T21:27:30.000Z
ට්‍රම්ප් - උන් හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී
ට්‍රම්ප් - උන් හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී
(News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික සමුළුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී පැවැත්වෙන බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ. ධවල මන්දිරය ප්‍රකාශ කළේ, ලබන සතියේ පැවැත්වෙන දෙරටේ නායක හමුව සඳහා සියල්ල මේ වන විටත් සූදානම් බව ය. සිංගප්පූරුවේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි සෙන්තෝසා දූපතෙහි පිහිටි කැපෙල්ලා හෝටලයේදී මෙම හමුව පැවැත්වෙනු ඇති බව ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් කියා සිටියා ය. ඇය පැවසුවේ, ආගන්තුක සත්කාර වෙනුවෙන් සිංගප්පූරු වැසියන්ට සිය ස්තුතිය පුද කරන බව ය.
2018-06-05T20:35:44.000Z
පාතාල කල්ලි නායක කෙසෙල්වත්තේ දිනුකගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට
කෙසෙල්වත්තේ දිනුකගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - පාතාල කල්ලි නායකයෙකු වන දැනට විදේශගතව සිටින කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කෙසෙල්වත්ත ගුණසිංහපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 35 හැවිරිදි නානයක්කාර වේරගොඩ විදානගේ අසංක සංජීව නමැත්තෙකි. ඔහු කොළඹ 12 සෝනඩ්ර්ස් පෙදෙසේ පදිංචිකරුවෙකි. සැකකරු කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ උපදෙස් මත මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන අතර ඔහු ළඟ තිබී හෙරොයින් තොගයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-06-05T20:12:44.000Z
විදෙස් මුදල් තොගයක් මෙරටින් රැගෙන යාමට තැත් කළ අයෙකු අත්අඩංගුවට
විදෙස් මුදල් තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් මිලියන 47.3කට අධික වටිනාකමින් යුත් විදේශීය මුදල් තොගයක් රැගෙන සිංගප්පූරුව බලා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබූ මුදල් අතර අමෙරිකානු ඩොලර්, හොංකොං ඩොලර්, ජපන් යෙන්, සෞදි රියාල් තිබූ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ය. ශ්‍රී ලංකා රේගුව පැවසුවේ සැකකරු මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක තරුණයෙකු බව ය.
2018-06-05T19:47:31.000Z
රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පැදවූ කැබ් රථය අනතුරකට ලක් වී 4 දෙනෙකුට තුවාල
රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පැදවූ කැබ් රථය අනතුරකට
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් අනතුරට ලක් වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව අද අලුයම 12.45ට පමණ ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මන්සන්ධියේදී මෙම අනතුර සිදුව ඇති බව ය. එහිදී කැබ් රථය තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී ඇති බව පොලීසිය පැවසුවේ ය. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර යශෝධ රංගේ බණ්ඩාර මහතා ඇතුළු දෙදෙනෙකු හලාවත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළේ ය.
2018-06-05T11:39:58.000Z
ජනපති විවේචනය කළ එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීවරුන්
ජනපති විවේචනය කළ එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීවරුන්
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. චමින්ද විජේසිරි - පා.ම. එක්සත් ජාතික පක්ෂය ''දින 100 තුළ තිබූ අන්තර්ගතය මේ සමාජයට ඉතාම වැදගත් කියන කාරණය මේ සමාජය පිළිගත්තා. ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරයා හැටියට පත් කර ගත්තේ. අවාසනාවකට එතුමට දින 100 වැඩපිළිවෙළ කරන්න බැරිවීම එතුමා දක්වනවා ඒක එතුමා දන්නේ නෑ කියන කාරණය. ඒ නිසා අපි කියන්න ඕනේ අපි දන්නවා කියලා. 2020 නැවත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා අපි ඉතාමත් වගකීමෙන් කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එක්සත් ජාතික පක්ෂයත් නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඉදිරියේදී සිද්ධ වෙන්නේ ගෙදර හිටියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී කියන වැඩේ. ඒ නිසා අපි නම් එතුමාව ජයග්‍රහණය කරවන්න කටයුතු කරන්න බැහැයි කියන කාරණය මේ වෙලාවේ මතක් කරනවා.'' හේෂාන් විතාණ - පා.ම. එක්සත් ජාතික පක්ෂය ''අතිගරු ජනාධිපතිතුමා අපි දැක්කා සෝභිත නාහිමියන්ගේ අනුස්මරණයේදී ප්‍රකාශයක් කරනවා. අපි දැක්කා ඒක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට චෝදනාත්මක ස්වරූපයෙන්. අපි විශ්වාස කරනවා මේ රටේ තවමත් ඇඟිල්ල දික් කරන්න බැරි නායකයෙක් ඉන්නවා නම් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. එතුමාට ඒ චෝදනාව කිරීම සාධාරණ නැහැ. මේ රටේ ජනතාව විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව ප්‍රතික්ෂේප කිරීමේ පාපය අපේ පිටට දැමීම වැරදියි. පළාත් පාලන මැතිවරණයේ ජනතාව මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන වද පීදිච්ච කෙසෙල් පැළය මුලින්ම කපලා දැම්මේ.''
2018-06-05T11:24:55.000Z
බැංකු මගේ යටතේ තිබුණට සම්පුර්ණ බලය මගේ අමාත්‍යංශයට පැවරුණේ නැහැ - කබීර් හෂීම්
''සම්පුර්ණ බලය මගේ අමාත්‍යංශයට පැවරුණේ නැහැ''
COLOMBO (News 1st) - කබීර් හෂීම් අමාත්‍යවරයා අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද බැඳුම්කර වංචාව පිළිබඳව ප්‍රශ්න කෙරිණි. ප්‍රශ්නය - 2016 මාර්තු මාසයේ බැඳුම්කර වෙන්දේසියෙදී ඔබතුමා යටතේ තමයි රාජ්‍ය බැංකු ටික තිබුණේ. ඒ අවස්ථාවෙදී රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා විදිහට බැංකු ප්‍රධානීන් කැඳවා ලංසු තියන ප්‍රතිශතයක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළා කියලා මාධ්‍ය වර්තා කළා. බැඳුම්කර කොමිසම හමුවේ ඔවුන් සාක්ෂි ලබා දුන්නා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත් වෙලා හිටිය ද රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට මේ වගේ නියෝගයක් දුන්නා කියලා රවි කරුණානායක ඇමතිතුමා? අමාත්‍ය කබීර් හෂීම් - සභාපති එක්සත් ජාතික පක්ෂය ''නෑ බැංකු මගේ යටතේ තිබුණට විටින් විට මුදල් අමාත්‍යංශය බැංකු ප්‍රධානීන් කැඳවලා මූල්‍ය ප්‍රතිපත්ති ගැන කතා කරනවා. ඒවා විටින් විට වෙන දේවල්. ඒ නිසා මම ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. සම්පූර්ණ බලය මගේ අමාත්‍යංශයට පැවරුණේ නෑ. ඒ ප්‍රතිපත්තිමය බලය අද වුණත් තියෙන්නේ මුදල් අමාත්‍යංශයට. එකේ සම්පූර්ණ බලය මගේ අමාත්‍යංශයට පැවරුණේ නෑ. ඒ නිසා සභාපතිවරයෙක් පත් කරන්න වුණත් මට ඇමතිවරයා හැටියට අවසර ගන්න උනේ මුදල් අමාත්‍යවරයාගෙන්. ඒක තමයි ක්‍රමවේදය. ඒක නඩත්තුව පාලනය ,ඔතන තමයි වෙන්නෙ.'' අප කළ විමසීමකදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසුවේ, කබීර් හෂීම් මහතාගේ ප්‍රකාශයේ සත්‍යයක් නොමැති බව ය. 2015 ජනවාරි සිට අගෝස්තු දක්වා රාජ්‍ය බැංකු කිහිපයක් තමන් යටතේ තිබූ අතර ඉන් පසුව ඒවා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පත් කළ බව කරුණානායක මහතා සඳහන් කළේ ය.
2018-06-05T10:57:24.000Z
නකල්ස් සංහාරයට වගකිව යුත්තේ කවුරුන්ද? මැති ඇමතිවරුන්ගෙන් පරස්පර ප්‍රකාශ
නකල්ස් සංහාරයට වගකිව යුත්තේ කවුරුන්ද?
COLOMBO (News 1st) - අද ලෝක පරිසර දිනය යි. එහෙත් අද දිනයේත් අපට අවධානය යොමු කිරීමට සිදුව ඇත්තේ පරිසර විනාශයක් පිළිබඳව ය. රාජ්‍ය වැවිලි සමාගම්වලට අයත් වතුවල ඉඩම් පෞද්ගලික අංශයට පැවරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව මේ වන විට පරිසර සංවිධානවල දැඩි අවධානයට ලක්ව තිබේ. රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ප්‍රවේශය සහ තිරසර හා මූල්‍යමය වශයෙන් ශක්තිමත් සැලසුම් සහිතව සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයින්ට ලබා දීම යන තේමාව ඔස්සේ මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද යොමු කර ඇත්තේ අමාත්‍ය කබීර් හෂීම් මහතා ය. මේ යෝජනාව ප්‍රකාරව නකල්ස් අඩවියට යාබද ඕපල්ගල, මැදවත්ත, නිකොලොඔය, කැලෑබොක්ක, අලකොළේ, ගෝමරේ, ගල්පිහිල්ල, හග්ගල්ල, කොටගඟ, රංගල, හෙයාර් පාර්ක් යන රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතුවල හෙක්ටයාර 9675න් හෙක්ටයාර 6192ක් පෞද්ගලික අංශයට ලබා දීමට නියමිත ය. පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ පරිසර සංවේදී මධ්‍යම කඳුකරයේ ජල පෝෂිත ආශ්‍රිතව පවතින ඉඩම්වල මෙවැනි ව්‍යාපෘති ඇරඹීම ඔස්සේ මෙරට ජෛව විවිධත්වයට සිදු විය හැකි බලපෑම සුළු පටු නොවන බව ය. ආන්දෝලනයට තුඩු දී ඇති මෙම කැබිනට් පත්‍රිකාව පිළිබඳව අමාත්‍ය කබීර් හෂීම් මහතාගෙන් ද මාධ්‍යවේදීන් ඊයේ විමසීමක් කළේ ය. මේ අතර අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ද මේ පිළිබඳව අවධානය යොමු වී තිබේ. කෙසේ වෙතත් අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ කළ ප්‍රකාශයට පරස්පර අදහසක් අද පස්වරුවේ ප්‍රකාශ කළේ ය.
2018-06-05T09:56:32.000Z
යාපනයේ කේබල් නාලිකාවලට නීති විරෝධී ලෙස සම්බන්ධ කර තිබූ විදුලි රැහැන් ඉවතට
යාපනයේ කේබල් නාලිකාවලට සම්බන්ධ කෙරූ විදුලි රැහැන්
COLOMBO (News 1st) - යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ විදුලි කණු මතින් දිව යන රූපවාහිනී කේබල් නාලිකාවලට නීති විරෝධී ලෙස සම්බන්ධ කර තිබූ විදුලි රැහැන් අද විදුලිබල මණ්ඩල නිලධාරීන් විසින් ඉවත් කරනු ලැබී ය. වඩමාරච්චි වල්ලෙයිවෙලි ප්‍රදේශයේදී මේ කටයුතු සිදු කළ බව අප වාර්තාකරු පැවසුෙව් ය. මෙලෙස සවි කර තිබූ රූපවාහිනී කේබල් නාලිකා එකිනෙක ඇතිල්ලීමෙන් සිදු වූ විදුලි කාන්දු නිසා පසුගිය මාසයේ 23 වන දා පුද්ගලයින් දෙදෙනෙක් මිය ගියහ. පියාට විදුලි සැර වැදීමෙන් ඔහු බේරා ගැනීමට ගිය පුතා ද මිය ගිය අතර මොවුන් දෙදෙනා බේරා ගැනීමට ගිය තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කළේ ය. ප්‍රදේශවාසීන් පවසන්නේ, මේ අයුරින් පසුගිය සමයේ මරණ කිහිපයක් ම සිදුව ඇති බව ය. කිසිදු අනුමැතියක් නොමැතිව විදුලිබල මණ්ඩලයට අයත් කණු හරහා මෙම රූපවාහිනී කේබල් නාලිකා රැහැන් ද සම්බන්ධ කර තිබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍ර‍කාශකවරයා පැවසුවේ ය. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර සොයා බැලීමට කටයුතු කළ බව ය. ඇතැම් නාලිකා රජයට විශාල වශයෙන් මුදල් ගෙවමින් අනුමැතිය ගෙන තම සේවා ක්‍රියාත්මක කරද්දී මෙවැනි ආයතන නීති විරෝධී ලෙස, ජනතාවගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත් කරමින් දීර්ඝ කාලීනව මෙවැනි කේබල් නාලිකා සේවාවන් පවත්වාගෙන යන්නේ කෙසේ ද?
2018-06-05T09:37:42.000Z
ක්‍රිකට් විස්තර විචාරක විජේසේකර වලිසුන්දර ඉවත් කිරීම හා තරග පාවා දීම අතර සම්බන්ධයක් තිබේ ද?
විජේසේකර වලිසුන්දර ඉවත් කළේ අැයි?
COLOMBO (News 1st) - ගාල්ල ජාත්‍යන්තර තණතීරු පිළිබඳ අල්ජසීරා වාර්තාවෙන් ඔබ්බට ගිය තොරතුරු රැසක් ස්පොර්ස්ට්ස් ෆස්ට් පසුගිය දිනවල වාර්තා කළේ ය. මේ ඒ පිළිබඳව කෙරෙන තවත් අනාවරණයක්. මුදලට තණතිලි වෙනස් කිරීමක් සම්බන්ධයෙන් අල්ජසීරා වාර්තාවට පාදක වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව හදිසියේ පිළිසකර කිරීමක් සම්බන්ධයෙන් අපි තොරතුරු වාර්තා කළෙමු. චෝදනා එල්ල වන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ විජේසේකර වලිසුන්දර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෙකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් මත ඉන් ඉවත් කිරීමේ සිද්ධියක් ද දැන් වාර්තා වේ.
2018-06-05T11:14:38.000Z
ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තා කියන එක චෝදනාවක් විතරයි - රෝසි සේනානායක
"ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තා කියන එක චෝදනාවක් විතරයි"
COLOMBO (News 1st) - කොළඹ නගරාධිපතිණී රෝසි සේනානායක මහත්මියගෙන් මාධ්‍යවේදීහු අද බැඳුම්කර ගනුදෙනු පිළිබඳව කරුණු විමසූහ. ප්‍රශ්නය - - අර්ජුන ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තා කියලා චෝදනාවක් තිබෙනවා. ඒ ගැන ඔබතුමියගේ අදහස මොකක් ද? රෝසි සේනානායක කොළඹ නගරාධිපතිණී "මට ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ චෝදනාවක් විතරයි මං දකිනවා වෙබ් අඩවිවලයි ෆේස්බුක්වලයි යනවා. නමුත් ඒ චෝදනාව කොතනින් ද එන්නේ කියන එක මම තාම දන්නේ නැහැ. බොරු චෝදනා ගණනාවක් තිබෙනවා මම දැන් ටොයිලට්වලට මිලියන 5.7 ක් මගෙත් නෙමෙයි පෞද්ගලික දේකුත් නෙමෙයි ඒක. ජනතාව සතු දේපලකට වියදම් කරා කියලා බොරු චෝදනාවක් කිව්වා මම ටොයිලට්වලට මිලියන 5.7 ක් නිල නිවසට. නිල නිවස මගේ නෙමෙයි ජනතාව සතු දේපලක් ඒක. ඒකේ මුළු රෙපෙයාර්වලට මිලියන 5.2 යි. ඔහොම ගහන අවස්ථාවල් තිබෙනවා. මට තාම කවුරුත් චෝදනා කරලත් නැහැ. මගෙන් අහලත් නැහැ. එහෙම එකක් මම දන්නෙත් නැහැ. තමාගේ වාහන දෙනවා. මුදල්වලින් ආයෝජනය කරනවා මේවා සාමාන්‍යයෙන් අපේ මැතිවරණ ක්‍රමවේදයේ තිබෙන දෙයක්. ඉතිං ඒක එහෙම නැතුව මැතිවරණය කරන්නත් බැහැ. ඒක සාමාන්‍යයෙන් නීත්‍යානුකූලව කෙරෙන දෙයක්'' ප්‍රශ්නය - - එතකොට පර්පෙච්චුවෙල් ට්‍රෂරීස් සමාගම සහ ඔය මෙන්ඩිස් සමාගම හරහා ගත්ත සල්ලි සාධාරණ ද? රෝසි සේනානායක කොළඹ නගරාධිපතිණී ''මම සාධාරණයි කියලා කියන්නේ නැහැ. පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ඒකෙන් ද මෙන්ඩිස් එකෙන් ද කොහෙන් ද දුන්නේ කියලා කියන්නේ නැහැ. හැබැයි මම කියන්නේ යම් කෙනෙක් දෙනවා නම් කොහෙන්ද දෙන්නේ කින්ද මන්ද කියලා. විශේෂයෙන් මංකොල්ල කාලා දෙනවද නැත්නම් මිනියක් මරලා දෙනවද එහෙම දෙන පුද්ගලයෝ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ''
2018-06-05T07:52:19.000Z
මලයාසියානු මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වෙයි
මලයාසියානු මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමට එකඟ වෙයි
(News 1st) - මලයාසියානු මහ බැංකු අධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟත්වය පල කර තිබේ. එම වාර්තාවල දැක්වෙන්නේ මේ වනවිට ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන අතර හෙට දින ඔහු ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ය. මහ බැංකුව ඉඩමක් අලෙවියෙන් ඉපැයූ අමෙරිකානු ඩොලර් මිලියන 520 ක මුදලක්, මලයාසියානු සංවර්ධන අරමුදලේ සිය ණය මුදල් පියවීමට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් භාවිත කළ බව මීට පෙර එරට මාධ්‍ය වාර්තා කර තිබුණි . විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මලයාසියානු මහ බැංකු අධිපති මහමුද් ඊබ්‍රාහිම්ගේ ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුවන්නේ එය බව ය. මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල් වංචා කළ බවට නජීබ් රසාක්ට චෝදනා එල්ල විය.
2018-06-05T07:37:39.000Z
සෞදි අරාබිය ප්‍රථම වරට එරට කාන්තාවන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කරයි
සෞදියේ කාන්තාවන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කරයි
(News 1st) - සෞදි අරාබිය ප්‍රථම වරට එරට කාන්තාවන් සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කර තිබේ. ඒ අනුව මුල්වරට කාන්තාවන් 10 දෙනෙකු සිය විදේශික රියැදුරු බලපත්‍ර, සෞදි අරාබි රියැදුරු බලපත්‍ර බවට පත් කර ගත්තේ කාන්තා රියැදුරන් වෙනුවෙන් පැනවූ තහනම ඉවත් කිරීමට සති කිහිපයක් තිබියදී ය . සෞදි අරාබිය එරට කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලබා දෙමින් අත්සන් කළ නීතිය ලබන 24 වැනි දින සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.
2018-06-05T04:31:48.000Z
එජාපයේ උප සභාපති තනතුර මංගල සමරවීරට
එජාපයේ උප සභාපති තනතුර මංගල සමරවීරට
COLOMBO (News 1st) - අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂ උප සභාපති ලෙස පත් කර තිබේ. මේ අතර මංගල සමරවීර මහතා අදාළ පත්වීමේ ලිපිය සිය ට්විටර් ගිණුමට ඇතුළත් කර තිබුණි.
2018-06-05T05:48:12.000Z
නියෝජ්‍ය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට
නියෝජ්‍ය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස ආනන්ද කුමාරසිරි මහතා තේරී පත්විය. කුමාරසිරි මහතා තේරී පත් වූයේ පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙනි. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා විය. ඒ ආනන්ද කුමාරසිරි මහතාගේ නම ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශවයෙන් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ නම ඒ සඳහා යෝජනා විය. අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළේය. ඒ අනුව රහස් ඡන්දයේදී ආනන්ද කුමාරසිරි මහතාට ඡන්ද 97ක් හිමි වූ අතර සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට හිමි වූයේ ඡන්ද 53ක් පමණි. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප විය.
2018-06-05T04:08:12.000Z
නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් 2ක් යෝජනා වෙයි
නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් 2ක් යෝජනා වෙයි
COLOMBO (News 1st) - නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තුවට නම් දෙකක් යෝජනා විය. ආණ්ඩු පක්ෂයෙන් ඒ සඳහා යෝජනා කළේ, ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයායි. එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශවයෙන් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ගේ නම ඒ සඳහා යෝජනා විය. ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළේය.
2018-06-05T03:23:33.000Z
ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි
හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - ප්‍ර‍වීණ මාධ්‍යවේදියෙකු හා ජනප්‍රිය රූපවාහිනී සන්නිවේදකයෙකු වන හේම නලින් කරුණාරත්න මහතා අද දහවල් හදිසියේ අභාවප්‍රාප්ත විය. ප්‍ර‍වීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අද දහවල් මාලඹේ මිල්ලගහවත්ත පිහිටි ඔහුගේ නිවසේදී අවභාවප්‍රාප්ත වි‍ණි. හදිසි රෝගාබාධයක් හේතුවෙන් මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 56කි. දරු දෙදෙනෙකුගේ සෙ‍නෙහෙබර පියෙකු වූ කරුණාරත්න මහතා ඉරේෂා කරුණාරත්න මහත්මියගේ ආදරණීය සැමියා යි. මෙරට ජනමාධ්‍ය කලාවේ පුරෝගාමී වෙනසක් ඇති කළ හේම නලින් කරුණාරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1983 වසරේදී පුහුණු නිෂ්පාදකවරයෙකු ලෙස ජාතික රූපවාහිනියට බැදුණු හේම නලින් කරුණාරත්න මහතා සඟරාමය වැඩසටහන්වලට නවමු ආරක් එක් කරමින් අතිශය ජනප්‍රියතාවට පත් වි‍ණි. ගීත කලාවට රූප රචනා හදුන්වාදීමේ පුරෝගාමීයෙකු ලෙස ද කරුණාරත්න මහතා හැඳින්විය හැකි ය. රූපවාහිනී සන්නිවේදකයෙකු, පිටපත් රචකයෙකු හා ගවේෂකයෙකු ලෙස නිවැරදි භාෂා භාවිතය කෙරෙහි අතිශය සැලකිලිමත් වූ ඔහු , මාධ්‍ය ක්ෂේත්‍ර‍යට බිහි කළ සිසු සිසුවියන් ප්‍ර‍මාණය ද අති විශාල ය.
2018-06-05T03:08:40.000Z
තිලංග සුමතිපාල නි. කතානායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි
තිලංග සුමතිපාල නි. කතානායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) - තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස් වූ බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ. තිංලග සුමතිපාල මහතා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අද සභාවට ඉදිරිපත් කරන ලදි. මේ අතර බැඳුම්කර විමර්ශන ජනපති කොමිසමේ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ සී 350 - සී 360 දක්වා කොටස් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තමන් වෙත භාරදුන් බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.
2018-06-05T01:36:00.000Z
ග්වාතමාලාවේ ගිනි කන්දක් විදාරණය වීමෙන් 69 ක් මරුට
ග්වාතමාලාවේ ගිනි කන්දක් විදාරණය වීමෙන් 69 ක් මරුට
COLOMBO (News 1st) - ග්වාතමාලාවේ ෆුඒගෝ ගිනි කන්ද විදාරණයවීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 69 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ගිනි කන්ද විදාරණයවීමෙන් පුද්ගලයින් රැසක් අතුරුදන් ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මේ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. අවතැන් වූ පුද්ගලයින් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ ගිනි කන්දෙන් මුත්ක වන ගල් කැබලි හා ලාවා හේතුවෙන් ගම්මාන කිහිපයක් විනාශ වී ඇති බවය. පුද්ගලයින් දහස් ගණනක් තාවකාලික නිවාසවල රඳවා සිටින බව බලධාරීන් සඳහන් කළහ.
2018-06-05T00:23:12.000Z
බැඳුම්කර වාර්තාවේ ප්‍රසිද්ධි නොකළ කොටස් කතානායකවරයාට භාර දෙයි
බැඳුම්කර වාර්තාවේ ප්‍රසිද්ධි නොකළ කොටස් කතානායකට
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වාර්තාවේ, මෙතෙක් ප්‍රසිද්ධි නොකළ C350 - C360 දක්වා කොටස්, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කතානායකවරයා වෙත භාරදී තිබේ.
2018-06-05T00:31:29.000Z
සෙරීනා විලියම්ස් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට
සෙරීනා ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට
COLOMBO (News 1st) - හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය. ඒ, ඇය ආබාධයකට ලක්වීම හේතුවෙනි. ලොව ප්‍රධාන පෙලේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක් වන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය පැරිස්හිදී මේ දිනවල පැවැත් වෙනු ඇත. සෙරීනා විලියම්ස් මෙලෙස ආබාධයකට ලක්වී ඇත්තේ, රුසියාවේ මාරියා ශරපෝවා සමග කාන්තා ඒකල අංශයේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයකදීය. ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය 23වරක් දිනාගෙන ඇති සෙරීනා මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වුනේ සිය දරු ප්‍රසූතියෙන් පසුවයි. ශරපෝවා සමග තරගය අතරතුර තමන් පාදයේ ආබාධයකට ලක් වූ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෙරීනා ප්‍රකාශ කළා ය. සෙරීනා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තමන් මෙම ආබාධය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බවත් ඉදිරි ටෙනිස් තරගාවලි සඳහා සිය සහභාගීත්වය මෙම අබාධය සුවවීම මත පවතින බවයි. ආබාධය සුව වන තුරු සෙරීනා ප්‍රංශයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2018-06-04T23:34:30.000Z
2015 විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම අද ඇරඹේ
2015 විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම අද ඇරඹේ
COLOMBO (News 1st) - 2015 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම අද ආරම්භ වේ. විද්‍යාපීඨ කොමසාරිස් කේ. එන්. බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙවර සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ සිසුන් 4756 ක් ලියාපදිංචි කිරීමට නියමිත බවයි. මෙවර අයැදුම්පත් 32000 කට අධික ප්‍රමාණයක් අපේක්ෂකයින්ගෙන් ලැබුන බවත් ඉන් 12000 කට අධික තෝරාගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූ බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. මෙවර විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා සිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රාථමික අංශය සඳහා යොමු කෙරෙනු ඇති. දිවයිනපුරා පාසල්වල ප්‍රාථමික ගුරුවරුන් සඳහා විද්‍යාපීඨ සිසුන් 1500 ක් පමණ බඳවා ගන්නා බව ද කොමසාරිස්වරයා සඳහන් කළේ ය. 2015 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම හෙට දිනයේ ද සිදු කෙරෙනු ඇත.
2018-06-04T23:07:39.000Z
කොළඹ ඇඳුම් නිෂ්පාදන ආයතනයක හටගත් ගින්න පාලනය කෙරේ
ඇඳුම් නිෂ්පාදන ආයතනයක හටගත් ගින්න පාලනය කෙරේ
COLOMBO (News 1st) - කොළඹ රොස්මිඩ් පෙදෙසේ ඇඳුම් නිෂ්පාදන ආයතනයක හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, අද උදෑසන 4.30 ට පමණ හටගත් එම ගින්න පාලනය ජල බවුසරයක් සහ ගිනි නිවීම් සේවා රථ එකක් යොමු කළ බවයි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙනු ඇත. ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.
2018-06-04T22:52:17.000Z
දේශීය ටින් මාළු මිල ඉහළ යයි ද?
දේශීය ටින් මාළු මිල ඉහළ යයි ද?
COLOMBO (News 1st) - දේශීය ලොකු ටින් මාළු මිල ගණන් ඉහළ නංවන ලෙස දේශීය ටින් මාළු නිෂ්පාදකයින් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. දේශීය ලොකු ටින් මාළු එකක තොග මිල රුපියල් 140 ක් වන අතර විදේශීය ලොකු ටින් මාළු එකක මිල රුපියල් 146 ක් වේ. දේශීය ටින් මාළු නිෂ්පාදකයින් රජයට පෙන්වාදී ඇත්තේ, නිෂ්පාදන වියදම වැඩිවීම හේතුවෙන් දේශීය ටින් මාළු මිල විදේශීය ටින් මාළු මිල හා සමානව වැඩිකරන ලෙසයි. ඒ පිළිබඳ හෙට රැස්වන ජීවන වියදම් කමිටු රැස්විමේදී තීරණය ගන්නා බව ජීවන වියදම් කමිටු සාමාජිකයෙකු සඳහන් කළේ ය.
2018-06-04T20:46:04.000Z
නිරිත දිග මෝසම සක්‍රිය වෙයි: මුහුදේ සුළං වේගය ඉහළට
නිරිත දිග මෝසම සක්‍රිය වෙයි
COLOMBO (News 1st) - නිරිත දිග මෝසම සක්‍රියවීම හේතුවෙන් ඉදිරි දිනවල දිවයින අභ්‍යන්තරයේ හා දිවයින වටා මුහුදේ සුළං වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පළාත් රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව ද අද අලුයම නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වේ. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ, ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත් වන ලෙසයි.
2018-06-04T20:17:19.000Z
ජල සම්පාදන සේවකයින් අද කොළඹට
ජල සම්පාදන සේවකයින් අද කොළඹට...
COLOMBO (News 1st) - වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල සැපයුමට හා නඩත්තු කටයුතුවලට අද ත් බාධා මතුව තිබේ. කෙසේ වෙතත් වර්ජනය අද ත් ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසා ඇත. එහි කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, මෙතෙක් තම ඉල්ලීම්වලට විසඳුම් ලැබි නොමැති බවයි. අතිකාල ප්‍රතික්ෂේප කිරීම සහ වැටුප් වර්ධක නොලැබීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති නඩත්තු කටයුතු අතිකාල සේවා ඇතුලු සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇත. උපාලි රත්නායක මහතා සඳහන් කළේ, අද දහවල් 12.00 - 1.00 අතර ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය ඉදිරිපිට බස්නාහිර පළාතේ සේවකයින් සියලු දෙනා විරෝධතාවක නිරත වන බවයි. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී. යූ. සුමනසේකර මහතා ප්‍රකාශ කළේ, සේවක ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවය. මේ අතර තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය ද අද මධ්‍යම රාත්‍රිය වන තෙක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් මහතා පවසා ඇත. තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සේවය ස්ථිර නොකිරීම ඇතුලු ඉල්ලිම් 07 ක් මුල් කරගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබේ. තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ, වර්ජනය හේතුවෙන් තැපැල් බෙදා හැරීමේ කටයුතුවලට බාධාවක් නොමැති බවයි. මේ අතර දිගු කාලින විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේ ය.
2018-06-04T19:54:00.000Z
ට්‍රම්ප් හා උ. කොරියා නායක සමුළුවට දින නියම වෙයි
ට්‍රම්ප් හා උ. කොරියා නායක සමුළුවට දින නියම වෙයි
COLOMBO (News 1st) - අමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සමුළුව මෙමස 12 වන දා සිංගප්පූරු වේලාවෙන් උදෑසන 9.00 පැවැත්වීමට තීරණය කර තිබේ. දෙරට අතර සමුළුව පැවැත්වීමට මෙලෙස තීරණය කර ඇත්තේ, උතුරු කොරියානු ධූත පිරිස විසින් අමෙරිකානු ජනපතිවරයා හමුවී දින 3 කින් අනතුරුවයි. සමුළුව මීට පෙර අවලංගු කර තිබුණ ද අමෙරිකානු ජනපතිවරයා විසින් එය නැවතත් ප්‍රකාශයට පත් කර තිබේ. තවදුරටත් සබඳතා ගොඩනගමින් ඉදිරියටම යා යුතුබව උතුරු කොරියානු ධූත පිරිස විසින් අමෙරිකානු ජනපතිවරයා වෙත ලබා දුන් ලිපියේ සඳහන්ව ඇතැයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසා ඇත. කෙසේ වෙතත් ඇය වැඩිදුරටත් කියා සිටියේ, උතුරු කොරියාව බලවත් රාජ්‍ය බවත් ඔවුන් න්‍යෂ්ටික අවිහරණය කරන තුරු අමෙරිකාව විසින් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බවයි.
2018-06-04T19:33:51.000Z
නව නියෝජ්‍ය කතානායක ධූරය කාට ද?
නව නියෝජ්‍ය කතානායක ධූරය කාට ද?
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා අද දිනයේදී නව නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කිරීමට නියමිතව තිබේ. නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාධන් මහතාගේ නම යෝජනා වී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය. මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාව යෝජනා කිරීමට ඊයේ පස්වරුවේ රැස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මහත්මියව නියෝජ්‍ය කතානායක ධූරයට යෝජනා කර ඇත. ඊට අමතරව කාදර් මස්තාන්, මලිත් ජයතිලක හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ද නම් මේ සඳහා යෝජනා වී ඇති බව සඳහන් වේ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය හිස්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙමින් තිලංග සුමතිපාල මහතා ආණ්ඩුවෙන් මෙන් ම නියෝජ්‍ය කතානායක ධූරයෙන් ද ඉවත්වීමෙන් පසුවයි. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීම, අද දිනයේදී නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිත වේ.
2018-06-04T10:36:36.000Z
එජාපය මේ කියන කතා ඇත්තක්ද? සත්‍යයක්ද?
එජාපය මේ කියන කතා ඇත්තක්ද? සත්‍යයක්ද?
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නව මාධ්‍ය ඒකකය පිහිටුවීම අද සිදු කෙරිණි. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ නව වැඩපිළිවෙළ නිල වශයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පිළිගැන්වනු ලැබිණි.
2018-06-04T09:53:58.000Z
ජල සේවක වැඩ වර්ජනය තව දුරට ත්: දිවයින පුරා බිඳ වැටීම්
ජල සේවක වැඩ වර්ජනය තව දුරට ත්
COLOMBO (News 1st) - වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ආරම්භ කළ සිය වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල සැපයුමට හා නඩත්තු කටයුතුවලට බාධා මතුව තිබේ. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සියලු සේවකයින් දින 8 තිස්සේ අකුරට වැඩ කිරීම හේතුවෙන් දිවයිනේ බොහො ජල පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මුහුණදී සිටි. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට හේතු වූයේ කුමක් ද යන කරුණු අද වෘත්තය සමිති පැහැදිලි කර ඇත. ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු, උපාලි රත්නායක, මැයි 28 වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළා. කිසිම සවන්දීමක් සිද්ධ වෙලා නැහැ. අපිට මීට පෙර වැටුප් වැඩිවීමක් සිද්ධ වුනේ 2015 ජනවාරි 2018 ජනවාරි සිට නව වැටුප් වැඩිවීම ලැබිය යුතුව තිබුණා. ඒ වැඩුප් වැඩි විමේ ප්‍රමාදයක් ඇති වුණා. ඒ අනුව අපි 2018 පෙබරවාරි මාසයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කළා. අපිට එක් වුණා. ලිඛිතව මුලික වැටුප 15% ක වැඩි කිරීමට මේ ලිඛිත ඒකඟතාවය තවම ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ නිසා දැන් ජනතාව පීඩාවට පත් වෙනවා නම් ඒකේ වගකීම සම්පුර්ණයෙන්ම පාලකියින් විසින් භාරගත යුතුයි. ජලසම්පාදන හා නගර සැලසුම් අමාත්‍ය, රවුෆ් හකීම්, මම මේ අමාත්‍යංශය භාර ගත්තට පස්සේ දැනට දැන් වෙනකොට මෑතකදිත් 20% ක් වැඩි කළා. 25 ක් ඉල්ලුවා. 23 ක් හරි ලබා දෙන්න කියලා කිව්වා. ඊට පෙර ආණ්ඩුව ගත්ත ගමන් 30% ක් දුන්නා. එතකොට 50% ක් අවුරුදු 3 ක් තිස්සේ ඒක තවත් තුනක් වැඩි කරන්න කියලා තමයි මේ වැඩ වර්ජනය කරන්නේ. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් කැඩී ගිය ජල නල නඩත්තු නොකර ඇති බව වාර්තා වේ. දෙව්නුවර හා බත්තරමුල්ල ප්‍රදේශවල අද ජලය අපතේ ගොස් තිබේ.
2018-06-04T09:26:22.000Z
දකුණේ පැතිර යන වෛරසය ඉන්ෆ්ලුවෙන්සා A බවට තහවුරු වෙයි
දකුණේ පැතිරෙන වෛරසය ඉන්ෆ්ලුවෙන්සා A බවට තහවුරු වේ
COLOMBO (News 1st)-දකුණු පළාතේ පැතිර යන උණ රෝගය ඉන්ෆ්ලුවෙන්සා A ඛාණ්ඩයේ වෛරසයකින් ඇති වන බව මේ වන විට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය සති තුනක කාලය තුළ මේ හේතුවෙන් කුඩා දරුවන් ඇතුලු මියගිය පිරිස 13 කි. පසුගිය මස 21 වන දා සිට 30 වන දා දක්වා කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති වෛරස් උණ රෝගීන් සංඛ්‍යාව 1068 ක් වේ. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 744 දෙනෙකු වාර්තා විය. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 500 ක් පමණ වනු ඇති.
2018-06-04T09:07:13.000Z
"පොලිතින් තහනමට එරෙහිව පාරට බැස්ස එකම රට ලංකාව" - ජනපති
"පොලිතින් තහනමට එරෙහිව පාරට බැස්ස එකම රට ලංකාව"
COLOMBO (News 1st) - හෙටට යෙදෙන ජගත් පරිසර දින සැමරුම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත් විය. ''ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු'' යන්න මෙවර පරිසර දිනයේ තේමාවයි. ජගත් පරිසර දිනය වෙනුවෙන් රුක් රෝපනයක් ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. ජනපති මෛත්‍රීපාල සිරිසේන, කාලගුණ සහ දේශගුණ විපර්යාස එකක් ඔබ අද දකිනවා චීනයේ බීජිං නුවර ජනතාව ඔක්සිජන් බෑග් එක අරගෙන නහය වගගෙන ඔක්සිජන් ලබාගෙන ගමන් කරන්න පටන් අරගෙන තියනවා. මීට මාස 2 කට කලින් ඉන්දියාවේ දිල්ලී නගරයේ සතියක් ඇතුළත 100කට වැඩිය මිය ගියා විශේෂයෙන්ම ඇති වූ පාරිසරක දූෂණයත් සමග වායු දූෂණයත් සමග දිල්ලි නගරයේ ජනතාවට හුස්ම ගන්න බැරුව ගියා. අපේ රටේ ප්ලාස්ටික් පොලිතින් ඔබ දන්නවා අපි පාලනය කරන්න මොන තරම් තීන්දු තීරණ ගත්ත ද කියලා. ඒ වගේම පොලිතින් පිළිබඳව අලුත් ගැසට් නිවේදන ඉදිරිපත් කළා. ප්ලාස්ටික් පොලිතින් තහනම් කලහම ලෝකේ ඕනෑම මොළයක් ඔළුවක් දැනුමක් අඹ පියල්ලක තිබෙන ජනතාව ඒකට සතුටු වෙනවා. පොලිතින් තහනමට විරුද්ධව ලෝකයේ මහපාරට බැහැලා විරෝධතාවයක් දැක් වූ එකම රට ලංකාව. පොලිතින් තහනම ගැසට් නිවේදනය වලක්වන්න විශාල පිරිසක් උත්සහ ගත්තා කැබිනට් මණ්ඩලයටත් ඒ යෝජනාව ආවා. නමුත් මං ඒකට පසුබට වුනේ නැහැ. මං කිව්වා. අවලංගු කරන්නේ නැහැ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කරන්න කිව්වා.
2018-06-04T08:04:10.000Z
ජෝර්දාන අග්‍රාමාත්‍ය හානී අල් - මුල්කි ධූරයෙන් ඉවතට
හානී අල් - මුල්කි ධූරයෙන් ඉවතට
ජෝර්දාන අග්‍රාමාත්‍ය හානී අල් - මුල්කි ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් දින ගණනාවක සිට එරට වැසියන් කලහාකාරී විරෝධතාවල නිරතවීම හේතුවෙනි. රජයේ ආර්ථික ප්‍රතිපත්ති දැඩිව විචේනය කරමින් ජෝර්දාන වැසියන් දින 5ක් පුරා අම්මාන් අගනුවර විරෝධතාවල නිරත විය. බදු වැඩි කිරීමේ ආසන්නතම හේතුව ලෙස ජනතාව කෝප වී ඇත්තේ, ඉන්ධන මිල වැඩි කිරීම වන අතර සියලු භාණ්ඩ මත බදු ඉහළ දමමින් රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව මත බර පටවන බවට විරෝධතාකරුවන් චෝදනා කරති.
2018-06-04T07:37:24.000Z
රජයේ රෝහල්වලටත් ඊ චැනලින්
රජයේ රෝහල්වලටත් ඊ චැනලින්
COLOMBO (News 1st) - රජයේ රෝහල් සඳහා ද ඊ චැනලින් සේවාව හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතයාතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ප්‍රකාශ කළේ, එහි පළමු අදියර දොම්පේ රෝහලෙන් ආරම්භ කළ බවයි. අදියර කිහිපයක් යටතේ, සියලු රෝහල් සඳහා එම ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සභාපතිවරයා සඳහන් කළේ, මෙම ක්‍රමවේදය යටතේ, රෝහල්වල පවතින තදබදය අවම කිරීමට අපේක්ෂා කරන බවයි.
2018-06-04T06:49:08.000Z
රත්නපුර - නිවිතිගල ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ
රත්නපුර - නිවිතිගල ප්‍රධාන මාර්ගය වසා දැමේ
COLOMBO (News 1st) - රත්නපුර - නිවිතිගල ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ සබරගමු පළාත් අධ්‍යක්ෂ ජී. ඩි. කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ, කම්බදොළ පාලමේ මතුව ඇති ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම පියවර ගත් බවයි. පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සතියක පමණ කාලයක්ගත වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මාර්ගය වසා දැමීම හේතුවෙන්, මතුගම, අගලවත්ත, කලවාන ඇතුලු ප්‍රදේශ වෙත ගමන් කිරීමට බාධා මතුව ඇති අතර ඒ සඳහා විකල්ප මාර්ග ලෙස රත්නපුර පළවෙල හරහා කරවිට දක්වා ගමන් කළ හැකි බව ද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය. මීටර් 100 ක පමණ දිගින් යුක්ත එම පාලම බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ඉදිකරන ලද්දක් බව ද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.
2018-06-04T06:24:21.000Z
ශ්‍රීලනිප නව මහලේකම් ලෙස රෝහණ ලක්ෂ්මන් වැඩ භාරගනී
ශ්‍රීලනිප නව මහලේකම් ලෙස රෝහණ ලක්ෂ්මන් වැඩ භාරගනී
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් සහ ජාතික සංවිධායක අද සිය ධූරයන්හි වැඩ භාරගනු ලැබුවේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද සිය ධූරයේ වැඩ භාරගනු ලැබුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද අද දින සිය ධූරයේ වැඩභාරගනු ලැබීය. එම අවස්ථාවන්ට අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් රැසක් ද එක් ව සිටියහ.
2018-06-04T05:30:46.000Z
කිරි ගොවීන්ට සහන ණය පහසුකම්
කිරි ගොවීන්ට සහන ණය පහසුකම්
COLOMBO (News 1st) - තරුණ කිරි ගොවි ව්‍යවසායකයින් සඳහා සහන ණය පහසුකම් ලබාදීමට රජය තීරණය කර තිබේ. රජයේ පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි. මෙම ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ මධ්‍යම පළාතේ වයස අවුරුදු 40ට අඩු ව්‍යවසායකයින් 100 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව ද රජයේ පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ ය.
2018-06-04T02:44:07.000Z
බෝගොල්ලාගමගේ බිරිඳ හා දියණිය අධිකරණයට භාරවෙති
බෝගොල්ලාගමගේ බිරිඳ හා දියණිය අධිකරණයට භාරවෙති
COLOMBO (News 1st) : නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූහ. මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබිණ. ඒ, කාන්තාවකට පහරදීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි. නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත භාර වූ මොවුන් දෙදෙනා රැපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප මත මුදා හැරිණ.
2018-06-04T02:27:33.000Z
නියෝජ්‍ය ඇමති රංජන්ට වැඩ වරදින ලකුණු
නියෝජ්‍ය ඇමති රංජන්ට වැඩ වරදින ලකුණු
COLOMBO (News 1st) : මෙරට අධිකරණ විනිසුරුවරුන් හා නිතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවට නි. රන්ජන් රාමනායක මහතා කර ඇති ප්‍රකාශය පිරික්සීමේදී එමගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව බැලූ බැල්මට පෙනී යන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. අද මෙම නඩුව කැඳවනු ලැබුවේ ඊවා වනසුන්දර සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේයි. මෙහිදී වග උත්තරකාර පාශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ලිඛිත දේශන ගොනුකරමින් අධිකරණයට පෙන්වා දුන්නේ, මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි බවයි. නඩුව ලබන 18 වන දා තෙක් කල් තැබිණ.
2018-06-04T02:08:17.000Z
දුම් පරීක්ෂණයේ සහ හරිතකරණයේ බොරුව
දුම් පරීක්ෂණයේ සහ හරිතකරණයේ බොරුව
ලෝකයේ බොහෝ ධනවත් රටවල් මේ වන විට හරිතකරණය පිළිබඳව කතා කරයි. ඒ වෙනුවෙන් ක්‍රියා කරයි. එය හෘදයාංගමව සිදු කිරීම අනිවාර්යයෙන් ම අගය කළ යුතු ය. එම ආර්ථික වශයෙන් දියුණුවක් ලබමින් පරිසරය පිළිබඳව ද අවධානය යොමු කිරීම අනාගතයේ බිහි වන සියලු ලෝ වැසියන්ගේ හිත සුව පිණිස වනු නොඅනුමාන ය. එහෙත්, සෑම කාරණයකදී මෙන් ම හරිතකරණයේදී ද ශ්‍රී ලංකාව අතිශයින් වෙනස් ජාතියක් බව තහවුරු වී තිබේ. මෙරට හරිතකරණයට ලක් කිරීමේ පළමු පියවර ගනු ලැබුවේ, මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ය. ඒ, පාඨලී චම්පික රණවක මහතා විසිනි. වාහනයක ආදායම් බලපත්‍රය නිකුත් කිරීමේදී දුම් පරීක්ෂණ සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු බවට එහිදී නීති පැනවිණි. මුලින් ම එම සහතිකය අනිවාර්ය කෙරුණේ, වසර 3කට වඩා පැරණි වාහන සඳහා පමණි. එහෙත්, දුම් පරීක්ෂණයේ ආදායමට වහ වැටුණු එවකට රජය එය සෑම වාහනයක් සඳහා ම අනිවාර්ය කළේ ය. එහෙත්, රජයේ වාහන, ලංගම බස් රථ, දුම්රිය ආදිය සඳහා මේ හරිත නීතිය අදාළ වූයේ නැත. සාමාන්‍යයෙන් පෞද්ගලිකව භාවිත කරන වාහන හොඳින් නඩත්තු වන අතර පරිසරයට වැඩි ම හානි වන ආකාරයෙන් දුම් පිට කරන රජයේ වාහනවලට මෙම නීතිය අදාළ නොකිරීම කෙතරම් විහිළුවක් ද? ඉන්පසු බලයට පත්වූ යහපාලන රජය විසින් දුම් පරීක්ෂණ ගාස්තුව තවදුරටත් ඉහළ දමන ලදී. මේ සියලු වියදම් දැරීමට සිදුව ඇත්තේ, සියල්ල සඳහා බදු ගෙවන සාමාන්‍ය ජනතාවට ම ය. මේ සියල්ල හාස්‍යයක් බවට පත්වෙද්දී, පසුගිය අයවැය නීල හරිත අයවැයක් බවට අණබෙර ගසමින් තවත් විහිළුවක් සැපයීය. ඒ, පරිසරය රැක ගැනීම සඳහා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහනවල බදු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම යි. සාමාන්‍යයෙන් මාස තුනක් වැසි නොවැටුණහොත් විදුලි බලය කපන රටක විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන සඳහා දිරිදීම කෙතරම් සාර්ථක ද? ඊට අමතරව, ගල් අඟුරු, ඉන්ධන ආදියෙන් විදුලිය නිපදවීමේදී පරිසරයට සිදුවන හානිය කෙබඳු ද? මේ සියල්ල විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, මේ සියල්ල ඒ ඒ ආණ්ඩුවලට ආදායම් ඉපයීමේ අරමුණින් කරන කූට උපක්‍රම පමණක් බව ය. Kumudu Jayawardana
2018-06-04T01:03:27.000Z
නි. කතානායක අසුන කාට ද?
නි. කතානායක අසුන කාට ද?
COLOMBO (News 1st) : නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවනු ඇතැයි, පාර්ලිමේන්තු වාර්තා පවසයි. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එහෙත් මේ වන තෙක් කිසිදු පක්ෂයකින් ඒ සඳහා නම් ඉදිරිපත්ව නොමැති බවයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා හෙට දිනයේදී නව නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය හිස්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙමින් තිලංග සුමතිපාල මහතා ආණ්ඩුවෙන් මෙන්ම නියෝජ්‍ය කතානායක ධූරයෙන් ද ඉවත්වීමෙන් පසුවයි. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීම, හෙට දිනයේදී නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය.
2018-06-04T00:12:14.000Z
රුවන්වැල්ලේ කාන්තාවක ඝාතනය කෙරේ
රුවන්වැල්ලේ කාන්තාවක ඝාතනය කෙරේ
COLOMBO (News1st) : රුවන්වැල්ල, පාරාවත්ත, කන්නන්තොට ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කර තිබේ. එසේ ඝාතනයට ලක්ව ඇත්තේ, 36 හැවිරිදි කාන්තාවකි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අදාළ කාන්තාවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
2018-06-03T22:33:16.000Z
තවත් ජනපති කොමිසමක් සාක්ෂි විභාගය අරඹයි
තවත් ජනපති කොමිසමක සාක්ෂි විභාගය ඇරඹෙයි
COLOMBO (News 1st) : ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පළමු සාක්ෂි විභාගය අද ආරම්භ වේ. කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ, සාක්ෂි විමසීම සඳහා අද උදෑසන 10 ට සමාගම් රෙජිස්ටාර් සහ එහි නිලධාරියෙකු කැඳවා ඇති බවයි. ශ්‍රීලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි, පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මහජන පැමිණිලි සංඛ්‍යාව 44 කට අධිකයි. එම පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වේ. කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ, ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන්, විමර්ශන කර වාර්තා ලබා ගැනීමට නියමිත බවයි. ශ්‍රීලංකන් , මිහින් හා ශ්‍රී ලංකන් කෙටරින් යන ආයතවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් පෙබරවාරි 14 වන දා විශේෂ කොමිසමක් පත් කළේ ය. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා එම කොමිසමේ සභාපතිත්වය දරයි. අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර , විශ්‍රාමලත් මාහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ , විශ්‍රාමලත් විගණකාධිපති ඇම්.ඩී.ඒ. හැරල් යන මහත්වරු සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය එහි සෙසු සමාජිකයෝ වෙති.
2018-06-03T22:07:08.000Z
උ. කොරියා හමුදාවේ ප්‍රබලයින් තිදෙනෙක් ධුරවලින් ඉවතට
උ. කොරියා හමුදාවේ ප්‍රබලයින් 3ක් ධුරවලින් ඉවතට
උතුරු කොරියානු හමුදාවේ ප්‍රබලතම නිලධාරීන් තිදෙනා ධුරවලින් ඉවත් කර ඒ සඳහා නව නිලධාරීන් පත්කර ඇතැයි, අමෙරිකානු බලධාරීහු පවසති. අමෙරිකාව පවසන්නේ උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු සහ අමෙරිකානු නිලධාරීන් හමුවීම සම්බන්ධයෙන් එරට හමදාව තුළ කිසියම් මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බවයි. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ලබන 12 වන දා අමෙරිකානු ජනපතිවරයාව හමුවීමට නියමිත වේ.
2018-06-03T20:15:27.000Z
තැපෑලත් වර්ජනයේ...
තැපෑලත් වර්ජනයේ...
COLOMBO (News 1st) : තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සේවය ස්ථීර නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් මහතා පැවසුවේ, ‍හෙට මධ්‍යම රාත්‍රිය දක්වා සිය වැඩ වර්ජනය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවයි. මේ අතර තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, එම වර්ජනය සඳහා තම සහය ලබා නොදෙන බවයි. කෙසේ වෙතත් තම සංගමයට අයත් වෘත්තීය රැසක් ලබන 11 වනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ඔහු සඳහන් කළේ ය. තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ, ඉදිරි සති කිහිපයක ඇතුළත එම සේවකයින්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන බවයි. මීට අමතරව ජල විදුලි හා තැපැල් යන ක්ෂේත්‍රවල සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජන ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ. වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ආරම්භ කල සිය වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල සැපයුමට බාධා මතුව ඇතැයි ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු උපාලි රත්නායක මහතා ප්‍රකාශ කළේ, සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමත් සමග බොහෝ ප්‍රදේශවල නඩත්තු කටයුතු සිදු නොකළ බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ජලසම්පාදන හා නගර සැලසුම් අමාත්‍යාංයේ ලේකම් එම්. වී. හපුආරච්චි මහතා ප්‍රකාශ කළේ, සේවකයින් සඳහා 20%ක වැටුප් වැඩි කිරීමක් ජනවාරි මාසයේ සිට ලබා දී ඇති බවයි. 25%ක් දක්වා වැටුප් වැඩි කිරීමට අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2018-06-03T19:59:29.000Z
පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකාගේ මව පදිංචි නිවසේ ගින්නක්
හිරුණිකාගේ මව පදිංචි නිවසේ ගින්නක්
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිගේ මව පදිංචිව සිටි නිවසේ ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, කැප්පෙට්ටිපොල මාවතේ පිහිටි එම නිවසේ අද උදෑසන 4.20 ට පමණ ගින්න හට ගෙන ඇති බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගින්න මැඩ පවත්වා තිබේ. ඒ සඳහා ජල බවුසර් 2 ක් ගිනි නිව්ම් සේවා රථයක් යොමු කර තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් එම නිවසේ දෙවන තට්ටුවේ කාමරයක එම ගින්න හට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර කුරුඳුවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
2018-06-03T19:51:04.000Z
ගැහැනු දරුවෙකු පැහැරගත් බව කියන ලිදුල සභාපති අත්අඩංගුවට
ලිදුල සභාපති අත්අඩංගුවට
COLOMBO (news 1st): ලිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. තලවාකැලේ, ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල, එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ ඉෂාර අනුරුද්ධ මංචනායක යන මහත්වරුන් සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි. ඒ, 2017 වර්ෂයේදී පෝර්ට්මෝර් වත්ත, ආගරපතන ප්‍රදේශයේදී පදිංචිව සිටි 5 හැවිරිදි දැරියක් පැහැර ගෙන ගොස් මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.
2018-06-03T19:36:58.000Z
උතුරු මුහුදේදී පුද්ගලයින් 7 ක් සමග ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට
උතුරු මුහුදේදී අනවසර සංක්‍රමණිකයින් අත්අඩංගුවට
COLOMBO (News 1st) : සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සමග පුද්ගලයින් 7 දෙනෙකු නාවික හමුදා භාරයට තිබේ. නාවික හමුදාව පැවසුවේ, කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කර ඒ දෙසට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවිමට කටයුතු කළ බවයි. ඒ අනුව කළ වැටලීමේදී නිති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට පුද්ගලයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය. නාවික හමුදාව පැවසුවේ, අදාළ පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ සඳහා කන්කසන්තුරේ පොලීසිය වෙත භාර දුන් බවයි.
2018-06-03T11:32:53.000Z
ශ්‍රීලංකන් ගුවන් ගමන් පවා වෙනස් කළ අග්නි...
ශ්‍රීලංකන් ගුවන් ගමන් පවා වෙනස් කළ අග්නි...
COLOMBO (News 1st) : අග්නි 5 බැලැස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බැලීමත් සමග ඉන්දියාව අද සිය බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් ක්‍රියාවලියේ නව සංධිස්ථානයක් සනිටුහන් කළේ ය. මීටර් 17 ක් දිග සහ මීටර් 2 ක් පළල අග්නි පහ බැලිස්ටික් මිසයිලයට ටොන් 1.5 ක බරින් යුත් න්‍යෂ්ටික යුධ ශීර්ෂ රැගෙන යා හැකියි. ඔරිස්සාහි පිහිටි ආචාර්ය අබ්දුල් කලාම් දිවයිනේ සිට එම මිසයිලය අත්හදා බැලූ අතර මිසයිලයට කිලෝමීටර 5000 ක ඉලක්කයක් කරා ළඟා විය හැකි බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. මෙම මිසයිලය නිර්මාණය කර ඇත්තේ සිය ගමන් මාර්ගයෙහි උච්චතම ස්ථානයට ළඟාවීමෙන් පසුව පෘථිවි ගුරුත්වාකර්ෂණයට මුහුණ දෙමින් අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කිරීමටයි. නව තාක්ෂණය උපරිම ලෙස භාවිත කරමින් මෙම මිසයිලය නිපදවා ඇති අතර එය වරින් වර නඩත්තු කිරිමේ අවශ්‍යතාවක් නොමැති බව ද එරට බලධාරින් පෙන්වා දෙයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඉන්දියාව මීට පෙර අත්හදා බැලු මිසයිල මෙන් නොව ඇග්නි-5 මග පෙන්වීම , එන්ජින් නව තාක්ෂණයත් සමඟ වඩාත්ම දියුණු තත්ත්වයක පවතින බවයි. එමෙන්ම මෙම මිසයිල ඉතා ඉහළ සක්‍යතාවයකින් යුත් නාවික පද්ධතියකින් ද සමන්විත බව විදෙස් වාර්තාවල සඳහන් ය. මෙම අත්හදා බැලීම හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්වන හා ළඟා වන ගුවන් ගමන් වේලාවන් ද අද දිනයේ සංශෝධනය කර තිබිණ. මේ යටතේ කොළඹ සිට ක්වාලාලම්පුර්, සිංගප්පූරුව, බැංකොක්, බලා පියාසර කරන ගුවන් ගමන් 11 ක් පමණ පිටත්වන සහ ළඟා වන වේලාවන් සංශෝධනය කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය.
2018-06-03T10:40:54.000Z
යාත්‍රා කරමින් තිබූ නැවේ බඩු මහ මුහුදේ පාවෙයි
යාත්‍රා කරමින් තිබූ නැවේ බඩු මහ මුහුදේ පාවෙයි
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් බහාලුම් 83ක් මුහුදට වැටී තිබේ. ඕස්ට්‍රේලියා සමුද්‍රීය බලධාරීන් පවසන්නේ, බහාලුම්වලින් මුහුදට වැටුණු සනීපාරක්ෂ උපකරණ, ශල්‍යකර්ම ආවරණ සහ නැපීස් උතුරු සිඩ්නිහි මුහුදු වෙරළවලට ගොඩ ගසා ඇති බවයි. කෙසේ වෙතත් තල්මසුන් ඇතුළු මුහුදු සත්ත්වයින් මෙම සනීපාරක්ෂක ද්‍රව්‍ය ගිල දැමුව හොත් එය සත්ත්වයින්ගේ පැවැත්මට බරපතළ හානියනක් වනු ඇති බව පැවසේ. තායිවානයට අයත් නෞකාවකින් ප්‍රවාහනය කරමින් තිබූ බහලුම් තොගයක් මෙලෙස මුහුදට වැටී ඇති අතර හානි වීමෙන් පසු විවෘත වූ බහාලුම් නැවෙන් ඉවතට එල්ලෙමින් ඇති ආකාරය දිස්වෙන දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය පළ කර තිබේ. https://www.youtube.com/watch?v=rgt2PJAbetY මේ අතර ඔස්ට්‍රේලියානු සමුද්‍රීය බලධාරීන් දැනුම් දී ඇත්තේ, නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් හේතුවෙන් බෝට්ටු සහ වෙළෙඳ නෞකාවල ගමනාගමනයට බාධා ඇති වනු ඇති බවටයි.
2018-06-03T10:01:51.000Z
බාලගිරි වැළඳුණු විගණන පනත් කෙටුම්පත් විවාදය
විගණන කෙටුම්පතට බාලගිරි...
COLOMBO (News 1st) : ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය තවදුරටත් කල් දැමීම සම්බන්ධයෙන් විගණන සේවා සංගමය අප්‍රසාදය පළ කරයි. එහි සභාපති කේ. එන්. එම්. කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ, දිගින් දිගට ම සංශෝධන සිදුකිරිමට ඇති බව පවසමින්, පනත විවාදයට ගැනීම ප්‍රමාද කිරිමේ සැලැස්මක් ක්‍රියාත්මක බවයි. යහ පාලන රජයේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත එම රජයේ පළමු දින 100 තුළ සම්මත කිරීමට යෝජනා කර තිබිණ. 2015 මැයි මස 15 වන දින සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ කොමිෂන් සභා අතරට විගණන කොමිසම ද ඇතුළත් වූ අතර එම කොමිසම සඳහා සමාජිකයින් පවා පත් කෙරිණ. අවස් කිහිපයකදී සංශෝධනයට ලක්වූ ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද ඊට අදාළ විවාදය පැවැත්වීමට හැකිවී නොමැත. විගණන සේවා සංගමයේ සභාපති කේ. එන්. එම්. කුමාරසිංහ පැවසුවේ, පනත නොමැති වීමෙන් විගණන කොමිසමට කිසිවක් කර ගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. "කඩවුණු පොරොන්දුවක්. විගණන කොමිසම පත් කරලා දැන් මාස ගණනක් වෙනවා. එක අකුරක් ලියාගන්න බෑ.හේතුව මොකද්ද මේ පනත නැති එක. පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ දින නියම වෙලා තිබ්බ එක. අග්‍රාමාත්‍යවරයා ඔහු විසින් මේක සෘජුව මැදිහත් වෙලා කල් දැම්මා කියලා අප සංගමයට වාර්තා වෙලා තියනවා" විගණාකාධිපති ගාමිණි විජේසිංහ පැවසුවේ, විවිධ හේතු මත විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් යමින් පවතින බවයි. "විගණන පනතට අදාළ බිල්පත 2018 මාර්තු මාසේ 16 වන දින ගැසට් කරනු ලැබුවා. නමුත් අද මැය මාසේ මුල් සතිය වෙලකත් කල් යමින් තමයි පවතින්නේ. එක සංවිධානයක් පමණක් සුප්‍රියම් කෝට් එකට විරෝධතාවයක් ගෙනාවා මේකේ යම් යම් දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා නමුත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් දැනුම් දීලා ඒ සම්බන්ධයෙන් පයහැනිතාවයක් නොමැති බවට කතානායකතුමා ප්‍රකාශකලා. පසු ගිය 24 වෙනිදා මේක පාර්ලිමේන්තුවෙදී සාකච්ඡාවට ගන්න කියලා ටයිම් ටේබල් එකට පවා ඇතුලත් කරලා තිබුණා. ඒක ආයිත් කල් දැම්මා. දැන් මේ මාසේ 3, 4 , 5, නැවත ගන්නවා කියලා කතාව තිබුණා. නමුත් දැන් ආරන්චිය ඒක කෙරනේනෙත් නෑ. නැවත ආයිත් මේ මාසේ අන්තිම කෙරෙයි කියලා කතාවක් තියනවා. ඉතිං මේක කොහෙන් කෙලවර වෙයි ද කියලා අපිට අවබෝධයකුත් නෑ" https://www.youtube.com/watch?v=vskskWJFXQ4
2018-06-03T08:48:53.000Z
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් ලැයිස්තුව හෙළි වේද? තීන්දුව ලබන සතියේ
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් ලැයිස්තුව හෙළි වේද?
COLOMBO (News 1st) : මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ හඳුනාගත් ලේඛනයක් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ C 350 දරන එම ලේඛනයේ අදාළ සමාගමෙන් මුදල් ලබාගත් බව කියන පුද්ගලයින් රැසකගේ සංවේදී තොරතුරු අන්තර්ගත බව කැෆේ සංවිධානය පසුගිය දා අනාවරණ කළේ ය. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, එම ලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන්, බැඳුම්කර විමර්ශනවලට බාධාවක් ඇතිවේ ද නැද්ද? යන්න පිළිබඳ විශේෂ අධ්‍යනයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ද යොමු කර තිබේ. සිදු කරමින් ඇති අධ්‍යයනයෙන් පසු අවසන් නිගමනය ජනාධිපති ලේකම්වරයාට දැනුම් දීමට කටයුතු කරන බව ද, නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ ය. අදාළ ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා ද තමන්ගෙන් විමසූ බව ඔහු වැඩිදුරටත් පැවසී ය. කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාවේ දෙවන ඇමුණුමේ මුල් පිටපත මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසී ය. අදාළ පිටපත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත්තේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිසමේ ලේකම්වරයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. https://www.youtube.com/watch?v=bNvLD0BNwP8
2018-06-03T06:51:14.000Z
හෂාන් අ.වු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු තනතුරට
හෂාන් අ.වු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු තනතුරට
COLOMBO (News 1st) - හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද සවස ප්‍රකාශ කළේ, හෂාන් තිලකරත්න මහතා මීළඟ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා එම තනතුරේ කටයුතු කරන බවයි. හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කළේ ය. ටෙස්ට් තරග 83 කදී සහ එක්දින ජාත්‍යන්තර තරග 200 කදී ශ්‍රී ලංකාවට සිය දායකත්වය ලබා දුන් හෂාන් තිලකරත්න මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 4 කදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබේ.
2018-06-03T06:44:49.000Z
තල්මස් උදරයෙන් ප්ලාස්ටික් බෑග් 80ක් ඉවතට
තල්මස් උදරයෙන් ප්ලාස්ටික් බෑග් 80ක් ඉවතට
දකුණු තායිලන්තයට ඔබ්බෙන් වූ මුහුදේදී ප්ලාස්ටික් බෑග් 80ක් ගිලී දැමූ තල්මසෙකු මිය ගොස් තිබේ. තායිලන්ත සමුද්‍රීය බලධාරීන් පවසන්නේ, ඇළ මාර්ගයකට දමා ඔහු බේරා ගැනීමට තැත් කරද්දී තල්මසා ඉන් බෑග් 5 වමනය කර ඇති බවයි. සමුද්‍රීය විමර්ශන නිලධාරීන් පවසන්නේ, කිලෝ ග්‍රෑම් 8ක් පමණ බරැති මෙම ප්ලාස්ටික් බෑග් ගිල දැමීම හේතුවෙන් ආහාර ගැනීමට අපහසුවීම තුළ තල්මසා මිය යන්නට ඇති බවයි. මේ අතර පසුගිය දා වාර්තාවකින් හෙළිදරව් කෙරුණේ, ප්ලාස්ටික් භාවිතය අවම නොකළ හොත් දශකයක් ඇතුළත මුහුදේ ප්ලාස්ටික් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ යා හැකි බවයි. තායිලන්තය විශාල වශයෙන් ප්ලාස්ටික් බෑග් භාවිත කරන රටවල් අතර ප්‍රධානතම රටකි. කෙසේ වෙතත් පසුගිය දා තායිලන්ත රජය නිවේදනය කළේ, ප්ල්ස්ටික්වලින් නිෂ්පාදිත භාණ්ඩ මත බදු පැනවීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. ප්ලාස්ටික් ආහාරයට ගැනීම හේතුවෙන් වාර්ෂිකව මුහුදු ජීවින් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව පැවසේ.
2018-06-03T06:28:22.000Z
ජල වෘත්තීය සමිති වර්ජනයෙන් සැපයුමට බාධා: තැපැල් සේවකයිනුත් වර්ජනයකට සැරසේ
තැපැල් සේවකයින් වර්ජනයකට සැරසේ
COLOMBO (News 1st) - වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ජල සම්පාදන මණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු උපාලි රත්නායක මහතා ප්‍රකාශ කළේ, පොරොන්දු වූ පරිදි සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවය. වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, ජල සැපයුමට බාධා එල්ලවීමේ සිදුවීම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්‍යාංශයේ ලේකම් එම්. වී. හපුආරච්චි මහතා ප්‍රකාශ කළේ, 20% ක වැටුප් වැඩි කිරීමක් ජනවාරි මාසයේ සිට ලබා දී ඇති බවයි. 25% ක් දක්වා වැටුප් වැඩි කිරීමට අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සමාන්‍යාධිකාරි ඩී. යු. සුමනසේකර මහතා ප්‍රකාශ කළේ, දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ජලය බිඳවැටීම් වාර්තා වන බවයි. අලුත්වැඩියා කටයුතු සඳහා කණ්ඩායම් යොමු කිරීමට කටයුතු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය පවසා ඇත. එහි ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සේවය ස්ථීර නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට යොමු වන බවයි. තව ද දිගු කාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින්, අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දැඩිකිරීමට පියවර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසා තිබේ. එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කළේ, ලබන අඟහරුවාදා විධායක කමිටු රැස්වීමේදී අවසන් තීරණයකට එළැඹෙන බවයි.
2018-06-03T05:49:42.000Z
"වසර අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වනවා" - ජනපති
"වසර අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වනවා"
COLOMBO (News 1st) - මේ වසර අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර තිබේ. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පක්ෂ භාණ්ඩාගාරික එස්. බී. දිසානායක මහතා ඒ බව අනාවරණ කළේ ය. ඒ අනුව මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹ නොමැති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
2018-06-03T05:28:40.000Z
රට තුළ කාසි හිඟයක් නොමැති බව මහ බැංකුව කියයි
රට තුළ කාසි හිඟයක් නොමැති බව මහ බැංකුව කියයි
COLOMBO (News 1st) - රට තුළ කාසි හිඟයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි දීපා සෙනවිරත්න මහත්මිය පැවසුවේ, කාසි අවශ්‍ය ඕනෑම අවස්ථාවක වාණිජ බැංකු මගින් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව පවතින බවයි. රටට අවශ්‍ය කාසි මහ බැංකුව සතුව ඇති බව ද ඇය ප්‍රකාශ කළා ය.
2018-06-03T01:22:31.000Z
මෙරටට රැකියා සඳහා පැමිණෙන විදේශිකයින්ගෙන් වෛද්‍ය වාර්තා ලබා ගැනීමේ වැඩපිළිවෙළක්
මෙරට රැකියාවලට එන විදේශිකයින්ගෙන් වෛද්‍ය වාර්තා
COLOMBO (News 1st) - මෙරටට රැකියා සඳහා පැමිණෙන විදේශිකයින් පිළිබඳ වෛද්‍ය වාර්තා ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර සංක්‍රමනිකයින් පිළිබඳ සංවිධානය සමග ඒ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව ය. එම ගිවිසුමට අනුව මෙරට රැකියා සඳහා විදේශිකයින් ගෙන්වනු ලබන ආයතන අදාළ පුද්ගලයින් සම්බන්ධ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු වේ. ශ්‍රී ලංකාවේ රැකියා සඳහා මේ වන විට විදේශිකයින් රැසක් දිවයිනට පැමිණ තිබේ. එම රටවල තිබෙන විවිධ රෝග මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ඉදිරියේදී තවත් සැලසුම් සකස් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය.
2018-06-03T00:54:49.000Z
ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කෙරේ
ශ්‍රී.ල.නි.ප.යේ මහ ලේකම් ධූරය රෝහණ ලක්ෂ්මන්ට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා තාවකාලිකව අද නව නිලධාරී මණ්ඩලයක් පත් කෙරිණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කාරක සභාව හා සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී ය. රැස්වීම පැවැත්වුණේ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ය. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව මෙතෙක් පැවති පක්ෂයේ නිලධාරී මණ්ඩලය විසුරුවා හැරිණි. ඒ අනුව තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කෙරුණු අතර නව මහ ලේකම්වරයා ලෙස පත් කෙරුණේ, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ය. ජාතික සංවිධායක ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පත් කෙරිණි. එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පත් කෙරුණේ, පක්ෂ භාණ්ඩාගාරික ලෙස ය. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ, තමාව මහ ලේකම් ධූරය සඳහා ඒකමතිකව පත් කෙරුණු බව ය. අද උදෑසන පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ පිරිසක් ද සහභාගී වූහ.
2018-06-02T23:51:24.000Z
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
ශ්‍රී.ල.නි.ප. සමස්ත ලංකා කාරක සභාව ඇරඹේ
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව මේ වන විට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ. අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභා රැස්වීම ද පැවැත්වීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළේ ය. බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ද අද එක්ව සිටියහ.
2018-06-02T22:24:48.000Z
සිංගප්පූරු සංචාරයට යන කිම් ජොන් උන්ගේ හෝටල් බිල්පත් ගෙවන්නේ කවුරුන්දැයි ගැටලුකාරී තත්ත්වයක්
උන්ගේ හෝටල් බිල්පත් ගෙවීම පිළිබඳ ගැටලුවක්
(News 1st) - සිංගප්පූරු සාකච්ඡා සඳහා යන උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ හෝටල් බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ. උතුරු කොරියාව පවසන්නේ, අමෙරිකාව තම රටට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් වෙනත් රටක් සිය බිල්පත් ගෙවිය යුතු බව ය. ඔහු නවාතැන් ගැනීමට නියමිත තරු පහේ හෝටලයේ ජනාධිපතිවරයෙකු නවාතැන් ගන්නා විට එක් රැයක් සඳහා ගෙවිය යුතු මුදල ඩොලර් 6000කි. මීට අමතරව සිංගප්පූරුවේ ෂැන්ගිලා හෝටලයේ ද ඔහු නවාතැන් ගැනීමට නියමිත ය. හෝටල් බිල්පත්වලට අමතරව උතුරු කොරියානු නායකයාගේ සංචාරයේ ගුවන් ගමන් වියදම් ද කවුරුන් විසින් හෝ දැරිය යුතු වේ. පසුගිය වසරේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් උතුරු කොරියාවට හිමි වූ නොබෙල් සාම ත්‍යාග මුදලින් කොටසක් කිම් ජොන් උන්ගේ බිල්පත් ගෙවීම සඳහා ලබා දීමට අදාළ සමාගම කැමැත්ත පළ කර තිබේ. ඒ, මෙම සාකච්ඡාවලින් උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් වනු ඇතැයි යන විශ්වාසය මත පදනම්ව ය. කෙසේ වෙතත් සිංගප්පූරු සාකච්ඡා සඳහා පැමිණෙන උතුරු කොරියානු නායකයාගේ හෝටල් බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළැඹීමට සූදානම් බව ධවල මන්දිරය ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී පැවැත්වෙන්නේ ලබන 12 වන දා ය.
2018-06-02T21:34:12.000Z
වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සය මස් ගැබිණියක මිය යාම පිළිබඳව පරීක්ෂණයක්
ජාතික රෝහලේදී ගැබිණියක මිය යාම පිළිබඳ පරීක්ෂණයක්
COLOMBO (News 1st) - උදරාබාධයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කෙරුණු සය මස් ගැබිණියක මිය යාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බව ජාතික රෝහල පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇති බව ය. මිය ගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ, වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ඇය මිය ගිය බව ය. බ්ලූමැන්ඩල්හි පදිංචි 25 හැවිරිදි මිලානි පෙරේරා පසුගිය 19 වන දා ජාතික රෝහලට ඇතුළත් වන්නේ, සිය පළමු දරු ගැබෙහි ඇති වූ වේදනාවක් හේතුවෙනි. නමුත් පසුගිය 29 වන දා වන විට පවුලේ ඥාතීන්ට දැන ගන්නට ලැබෙන්නේ, ඇගේ දරුවා කුස තුළ ම මිය ගොස් ඇති බව ය. අනතුරුව අදාළ කාන්තාව ද මිය ගියා ය. අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ, මිලානිගේ උණ්ඩුක පුච්ඡය පුපුරා යාමෙන් අනතුරුව උදර කුහරය හා අභ්‍යන්තර අවයව ආසාධනයෙන් හටගත් කම්පනයක් මරණයට හේතුව බව ය. https://www.youtube.com/watch?v=On7YiTtX7Yo
2018-06-02T20:44:34.000Z
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණාත්මක මධ්‍යම කාරක සභා හමුව අද
නිදහස් පක්ෂ තීරණාත්මක මධ්‍යම කාරක සභා හමුව අද
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පක්ෂ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ, මධ්‍යම කාරක සභාවේදී පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ තාවකාලික කමිටුවක් පත් කිරීමට සැලසුම් කර ඇති බව ය.
2018-06-02T20:33:48.000Z
විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් දැමීම සම්බන්ධයෙන් අප්‍රසාදය
විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය
COLOMBO (News 1st) - ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය තවදුරටත් කල් දැමීම සම්බන්ධයෙන් විගණන සේවා සංගමය අප්‍රසාදය පළ කරයි. එහි සභාපති කේ.එන්.එම්. කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ, දිගින් දිගට ම සංශෝධන සිදු කිරීමට ඇති බව පවසමින් පනත විවාදයට ගැනීම ප්‍රමාද කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක බව ය. වංචාව හා දූෂණය නැවැත්වීමට වත්මන් ආණ්ඩුවට කිසිම වුවමනාවක් නොමැති බව ද කුමාරසිංහ මහතා අවධාරණය කරයි. කුමාරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, වෙනත් පනත් දින කිහිපයකින් ගෙන එන පසුබිමක විගණන පනත ගෙන ඒමට බාධා කරන බව ය. විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ, සංශෝධනවලට මැදිහත් වීමට නොහැකි බැවින් නිහඬව බලා සිටීමට සිදුව ඇති බව ය. මේ සම්බන්ධයෙන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, හෙට පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමෙන් පසු ඒ පිළිබඳව දැනුම් දිය හැකි බව ය.
2018-06-02T19:53:17.000Z
උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වයස් සීමාව ඉහළ දමයි
උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වයස් සීමාව
COLOMBO (News 1st) - උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවය සඳහා අවුරුදු 35ට අඩු උපාධිධාරීන් බඳවා ගත යුතු බවට පැවති නීතිය ලිහිල් කළ බව ය. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම වෙනස සිදු කළ බව ලේකම්වරයා සඳහන් කළේ ය. ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. මේ මාසයේදී රැකියා විරහිත උපාධිධාරීන් 5000ක් සඳහා පුහුණු පත්වීම් ලබා දීමට ද නියමිත ය. තවත් උපාධිධාරීන් 15000ක් සඳහා ලබන සැප්තැම්බර් මාසයේදී පුහුණු පත්වීම් ලබා දීමට ද සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. පුහුණු කාලය තුළ හිමිවන මාසික දීමනාව රුපියල් 20,000කි. ලබන වසරේදී අදියර තුනක් යටතේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි ද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ය.
2018-06-02T19:31:53.000Z
කටුනායක ගුවන් ගමන් වේලාවන්වල අද සංශෝධනයක්
කටුනායක ගුවන් ගමන් වේලාවන්වල අද සංශෝධනයක්
COLOMBO (News 1st) - කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වන හා ළඟා වන ගුවන් ගමන් වේලාවන් අද දිනයේ සංශෝධනය කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේ, ඉන්දීය සාගරය ආශ්‍රිතව සිදුවන අත්හදා බැලීමක් මෙම ගුවන් ගමන් වේලාවන් සංශෝධනයට හේතු වී ඇති බව ය. මේ යටතේ කොළඹ සිට ක්වාලාලම්පූර්, සිංගප්පූරුව සහ බැංකොක් බලා පියාසර කරන ගුවන් ගමන් 11ක පමණ පිටත් වන සහ ළඟා වන වේලාවන් සංශෝධනය කර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය. ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා 1979 අමතන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් මගීන්ට දැනුම් දෙයි.
2018-06-02T08:33:46.000Z
ක්‍රිකට් වංචාව ගැන තවත් හෙළිදරව්වක්
ක්‍රිකට් වංචාව ගැන තවත් හෙළිදරව්වක්
COLOMBO (News 1st) - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරු වාසි සහගත ලෙස සැකසීම පිළිබඳව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අප කළ අනාවරණයෙන් පසුව තවත් තොරතුරු රැසක් ලැබී තිබේ. මෙම තණතීරු වෙනස් කිරීමේ චෝදනාවට වරදකරු වූ තරංග ඉන්දික නමැත්තා 2000 වර්ෂයේ සිට 2015 දක්වා කටයුතු කර ඇත්තේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කායවර්ධන මධ්‍යස්ථානයේ සහයකයෙකු ලෙස ය. නමුත් අභ්‍යන්තර මෙමෝ පතකින් තරංග ඉන්දිකව ගාල්ල ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස පත් කර තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකිව යුතු නිලධාරියෙකු වන ගොඩ්ෆ්‍රි දාබරේ මහතා විසිනි. කායවර්ධන මධ්‍යස්ථානයක සහයකයෙකු ලෙස කටයුතු කළ තරංග ඉන්දික හදිස්සියේම ගාල්ල ක්‍රීඩාංගණ සහකාර කළමනාකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ගත් තීරණය ගැටලු මතු වූයේ ඔහුට තණතීරු සම්බන්ධයෙන් කටයුතු කර අත්දැකීමක් නොමැති වීම හේතුවෙනි. අදාළ පත් කිරීම සම්බන්ධයෙන් එවකට ගාලු ක්‍රිකට් සංගමයේ ලේකම් ප්‍රේමසිරි හැලබගේ මහතා විරුද්ධත්වය පළ කළත් එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. නමුත් චෝදනා එල්ල වන ගාලු ක්‍රිකට් තරගය අවසන් වී දින 6කට පසුව ප්‍රේමසිරි මහතා අභිරහස් ලෙස ඝාතනය කෙරිණි. මේ අතර 2016 මාර්තු මස 01 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගොඩ්ෆ්‍රි දාබරේ මහතා සහ නිලධාරීන් පැමිණ එම ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවරා ගන්නා බව දකුණු පළාත් ක්‍රිකට් සංගමයට දැනුම් දී තිබේ. ඒ, එවකට එහි කටයුතු කළ ක්‍රීඩාංගණ සම්බන්ධීකාරක මහේෂ් සංජීව, ගිණුම්කරන ලිපිකාරිණී රිෆානා නිසාම්, පරිගණක ක්‍රියාකාරිනී දිස්නා සංජීවනී ඇතුළු තිදෙනා වෙනත් ක්‍රීඩාංගණයකට මාරු කරන බව ද දන්වමිනි. ක්‍රීඩාංගණය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී ඉබි යතුරු කඩා අලුතින් යතුරු දැමූ බව ආරක්ෂක නිලධාරීන් පැවසීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගාල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබුණේ, 2016 වසරේ මාර්තු 3 වන දා ය. මෙම ක්‍රියාවලිය සහ සිදුවූ බලපෑම් පිළිබඳව අදාළ පැමිණිල්ල ගාල්ල පොලීසිය වෙත යොමු කිරීමට ප්‍රේමසිරි හැලබගේ මහතා සහ එහි නිලධාරීන් කටයුතු කර තිබිණි. එවැනි පසුබිමක් තුළ තණතීරු වාසි සහගත ලෙස සකසමින් තරග පාවා දීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අදාළ ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රියාත්මක වන්නේ ද මෙම පත් කිරීම් සිදු කළ දිනයේ සිට වීම ගැටලු මතු කරන්නකි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අප වෙත වාර්තා වන තවත් තොරතුරු අනුව අදාළ පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණි තිබේ. එවැනි පත් කිරීමක් නීත්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ සිදු වූවා නම් ඔවුන් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කොට නිවැරදි ක්‍රමවේදයක් යටතේ පත් වීමේ ලිපි ප්‍රදානයක් සිදුවී තිබිය යුතු ය. එවැනි කිසිදු ක්‍රියා පටිපාටියකින් තොරව අල්ජසීරා රූපවාහිනී වාර්තාවට අනුව තරග පාවා දීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිට අදාළ පත් කිරීම් සිදු කිරීම ද ගැටලු මතු කරන්නකි. ගාල්ල ක්‍රීඩාංගණයේ සිදුවූ යකඩ සොරකමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තණතීරු සැකසීමේ කළමනාකරු හා පහසුකම් සපයන්නා ලෙස කටයුතු කළ ගොඩ්ෆ්‍රි දාබරේ, හර්ෂ මුණසිංහට සහ තරංග ඉන්දිකට චෝදනාවක් එල්ල වන්නේ 2016 වසරේ මාර්තු මාසයේදී ය. ගාල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ යකඩ සහ අබලි ද්‍රව්‍ය ටෙන්ඩර් පටිපාටියකින් තොරව විකිණීම සම්බන්ධයෙන් ද තරංග ඉන්දිකට හෝ අනෙක් දෙදෙනාට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම ද ගැටලු මතු කරන්නකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙළා ගැනීමට බලා සිටින දූෂණ සහ වංචා පිළිබඳ තවදුරටත් තොරතුරු හෙළි කිරීමට ස්පෝර්ට්ස් ෆස්ට් සූදානම්...
2018-06-02T07:40:15.000Z
නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා ඝාතනය පිළිබඳ විමර්ශන CIDයට
රන්ජන් සිල්වා ඝාතනය පිළිබඳ විමර්ශන CIDයට
COLOMBO (News 1st) - දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා ඝාතනය පිළිබඳ විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඊට අමතරව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ඇතුළු තවත් විශේෂ ඒකක කිහිපයක් ද විමර්ශනය සඳහා සහය ලබා දෙන බව ය. නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා පසුගියදා රත්මලාන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.
2018-06-02T09:00:12.000Z
රාජිත නැතැයි කියන මලික් සමරවික්‍රම ඇතැයි කියන ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය
ආන්දෝලනාත්මක ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම
COLOMBO (News 1st) - පසුගිය දිනවල කතාබහට ලක්වුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කරුණු විමසීමට අපි වතාවන් ගණනාවකම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා හෝ, අමාත්‍යංශයේ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළෙමු. එනමුත් ඒ කිසිදු අවස්ථාවක අපට සාර්ථක ප්‍රතිචාරයක් නොලැබිණි. නමුත් අද මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට උත්සහ කර තිබේ. මෙම නිවේදනයේ දැක්වෙන්නේ, මෙම වෙළෙඳ ගිවිසුම සකස් කර ඇත්තේ, 2017 අගෝස්තු මාසයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය අනුව බව ය. නමුත් 2018 ජනවාරි මස 08 වන දා කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කරන ජනාධිපතිවරයා පවසන්නේ, 2017 ජූලි මාසයේදී අනුමත කර ගන්නා ලද ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියට අනුව මෙය සකස් විය යුතු බව ය. තව ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් විමසූ විට ඔහු තහවුරු කර සිටියේ, ශ්‍රී ලංකාවට පිළිගත් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් නැති බව ය. එසේ නම් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පවසන මෙම කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය තිබෙන්නේ කොහේ ද? ඒ පිළිබඳව කැබිනට් ප්‍රකාශක තුමා පවා නොදන්නේ මන්ද? මෙම මාධ්‍ය නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ, අදාළ ගිවිසුම පිළිබඳව අමාත්‍යවරුන් 14 දෙනෙකු ඉදිරිපත් කළ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන මෙම ගිවිසුම සකස් කර ඇති බව ය. එහෙත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉදිරිපත් කළ නිරීක්ෂණවලට සිදු වූයේ කුමක් ද? ඇතැම් දේශපාලනඥයින් මෙන් ම වෘත්තීයවේදීන් යැයි කියා ගන්නා සුළු පිරිසක් විසින් වැරදි සහගත කරුණු පදනම් කරගෙන කරන චෝදනා සහ පහර ගැසීම් අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
2018-06-02T08:44:32.000Z
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගත් මන්ත්‍රීවරු කවුද?
පර්පෙචුවල් වෙතින් මුදල් ගත් මන්ත්‍රීවරු කවුද?
COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කවුද.? ඒ ගැන තොරතුරු තිබෙන බව කියන බලධාරීන් තවමත් ඒ තොරතුරු ජනතා හමුවේ තබා නැත. ඒ නිසා ම අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය විමසා බලන්නට තීරණය කළෙමු. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් තමන්ට මුදල් ලැබුණු බවත්, තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දී ඇති බවත් පළමුව ප්‍රකාශ කළේ, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ය. පසුව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ද තමන්ට ද ලක්ෂයක මුදලක් ලැබුණු බව පිළිගත්තේ ය. අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර දරණ අර්ජුන රණතුංග, ගාමිණි ජයවික්‍රම, පාඨලී චම්පික රණවක, රන්ජන් රාමනායක, රංජිත් මද්දුම බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන්, විජිත් විජයමුණි සොයිසා, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු මෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ද තමන් මුදල් ලබා නොගත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලැබුණේ ද යන පැනයට ලැබුණු තවත් ප්‍රතිචාර කිහිපයක් මේ... https://www.youtube.com/watch?v=enM-3obkyJU
2018-06-02T06:06:28.000Z
ලබන 6 වන දා සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
ලබන 6 වන දා සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
COLOMBO (News 1st) - ලබන 6, 7 සහ 8 යන දිනයන්හිදී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පවතින කාලගුණ තත්ත්වයත් සමග යළිත් රෝගය උත්සන්න වීමේ අවදානමක් පවතින බව ය. ඒ හේතුවෙන් තෝරා ගත් දිස්ත්‍රික්ක 10ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සමරවීර මහත්මිය සඳහන් කළා ය. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 21,000ක් වාර්තා වී ඇති අතර ඩෙංගු වැළඳීමෙන් මිය ගිය සංඛ්‍යාව 20කි.
2018-06-02T04:58:57.000Z
ගංවතුර හා නාය යාම්වලින් ආපදාවට ලක්වූවන්ට මූලික අරමුදල් සැපයීම සඳහා රු. මිලියන 54.1ක්
ආපදාවට ලක්වූවන්ට අරමුදල් සැපයීමට රු. මිලියන 54.1ක්
COLOMBO (News 1st) - ගංවතුර හා නාය යාම්වලින් ආපදාවට ලක්වූවන්ට මූලික අරමුදල් සැපයීම සඳහා රුපියල් මිලියන 54.1ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලබා දී ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, මේ යටතේ රුපියල් 10000ක දීමනා ගෙවීම් ආරම්භ කර ඇති බව ය. දිස්ත්‍රික්ක 19ක ආපදාවට ලක් වූ පවුල් සඳහා මෙම අරමුදල් ගෙවනු ඇති. මේ අතර එම ආපදා තත්ත්වයෙන් ආරක්ෂිත ස්ථානවල සිටි පුද්ගලයින්ට පිසූ ආහාර සහ වියළි සලාක ලබා දීම සඳහා ද රුපියල් මිලියන 54.9ක මුදලක් වෙන් කර ඇති බව චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ ය.
2018-06-02T04:44:45.000Z
රුපියල් 69 ලක්ෂයක රත්‍රං සමග ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
රු. 69 ලක්ෂයක රත්‍රං සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් හැට නව ලක්ෂ හැට දහසක් වටිනා වටිනා රත්‍රං තොගයක් සමග ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, ඔහු සන්තකයේ තිබී රත්‍රං බිස්කට් 10 ක් සොයා ගත් බව ය. එහි බර කිලෝ ග්‍රෑම් 01 කි . ශරීරය තුළ සූක්ෂම ලෙස සඟවා ඔහු එම රත්‍රන් මෙරටට රැගෙනවිත් තිබේ. සැකකරු 40 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මේ අතර නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ ‍ඔවුන් සන්තකයේ තිබී දුම්වැටි 40,000 ක් සොයා ගත් බව ය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 20කි. ‍ඔවුන් දෙදෙනා මේ වන විට මුදා හැර ඇති බව ද සුනිල් ජයරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.
2018-06-02T03:39:26.000Z
කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ
කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කෙරේ
COLOMBO (News 1st) - කොස්ගම, වැරැල්ලමණ්ඩිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ 34 හා 78 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු එලෙස ඝාතනයට කර ඇති බව ය. ඝාතනයට ලක්වූ 34 හැවිරිදි කාන්තාව දින 15 ක් වයසැති බිළිදෙකුගේ මවකි. අදාළ කාන්තාවන් දෙදෙනා ඥාතීන් වන අතර ඔවුන් නිවසේ රැඳී සිටියදී ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. මුදල් ආරවුලක් මත මෙම ඝාතන සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු, ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ ඥාතීන් වන අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.